11වෙනි පරිච්ඡේදය
ඔන්ලයින් මිතුරුකම් කමක් නැද්ද?
ඔයා කෙනෙක් එක්ක කතාබහ කරන්න කැමති කොහොමද?
□ හම්බ වෙලා
□ ෆෝන් එකෙන්
□ ඉන්ටර්නෙට් එකෙන්
ඔයාට ලෙහෙසියෙන්ම කතා කරන්න පුළුවන් කා එක්කද?
□ ඉස්කෝලේ ළමයි එක්ක
□ පවුලේ අය එක්ක
□ සභාවේ අය එක්ක
ඔයා අඩුවෙන්ම කතා කරන්නේ කොහේදීද?
□ ඉස්කෝලේදී
□ ගෙදරදී
□ නමස්කාර මධ්‍යස්ථානයේදී
පළමුවෙනි ප්‍රශ්නෙට ඔයා ලකුණු කළේ ඉන්ටර්නෙට් එක කියලාද? ගොඩක් යෞවනයන් අලුත් අයව අඳුනගන්න, යාළුකම් තියාගන්න කැමති ඉන්ටර්නෙට් එක හරහායි. ඉලේන් කියන තරුණිය මෙහෙම කියනවා. “ඉන්ටර්නෙට් එකෙන් ලෝකේ ඕනම තැනක ඉන්න, අපිට හම්බ වෙලා කතා කරන්න බැරි අය එක්ක වුණත් කතා කරන්න පුළුවන්. ඒක නම් නියම දෙයක්.” අනිත් අයත් එක්ක ඔන්ලයින් චැට් කරන තවත් හේතුවක් ගැන අවුරුදු 19ක් වයස ටැමී මෙහෙම කියනවා. “හම්බ වෙලා කතා කරද්දී අනිත් අය අපේ අඩුපාඩුකම් දකිනවා. එතකොට ඒගොල්ලෝ අපිට එච්චර කැමති නැති වෙන්නත් පුළුවන්. ඒත් ඔන්ලයින් චැට් කරද්දී අපේ අඩුපාඩු කාටවත් පේන්නේ නැහැ. ඒ හින්දා යාළුවෝ දිනාගන්න අපිට කැමති කැමති දේවල් කියන්න පුළුවන්.”
දෙවෙනි ප්‍රශ්නෙටයි තුන්වෙනි ප්‍රශ්නෙටයි ඔයා ලකුණු කළේ මොන එකද? ඔයා දීපු උත්තරවලින් පැහැදිලි වෙනවා නම් ඔයාට ලෙහෙසියෙන්ම කතා කරන්න පුළුවන් ඉස්කෝලේදී කියලා ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? අවුරුදු 18ක් වයස ජැස්මින් මෙහෙම කියනවා. “ඉස්කෝලේ ළමයි එක්ක ඕන දෙයක් ගැන නිදහසේ කතා කරන්න පුළුවන්. මොකද එයාලත් අපි වගේ කියන හැඟීම අපිට තියෙනවා.”
ඒ අදහස් බලද්දී ඔයාට හිතෙන්න පුළුවන් ඉස්කෝලේ ළමයි එක්ක ඔන්ලයින් චැට් කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා. ටැමීත් ඉස්කෝලේ යාළුවෝ එක්ක කාලයක් ඔන්ලයින් චැට් කළා. එයා මෙහෙම කියනවා. “මගේ පන්තියේ ළමයි හැමෝම වගේ ඔන්ලයින් චැට් කළා. මං විතරක් එහෙම කළේ නැත්නම් ඒගොල්ලෝ මාව කොන් කරන්න තිබුණා.”a නතාලී කියන තරුණියත් යාළුවන් එක්ක නිතරම කතා කරන්න ඕන නිසාම වෙබ් පිටුවක් හදාගත්තා. ඒ ගැන එයාගේ අදහස වුණේ මේකයි. “තාක්ෂණය දියුණු වෙනවා. ඒ හින්දා අදහස් හුවමාරු කරගන්න අලුත් ක්‍රම තියෙනවා. මේකත් ඒ වගේ එක ක්‍රමයක්. මං ඒකට කැමතියි.”
භයානක පැති අඳුනගන්න
සමහර අයට ඔන්ලයින් චැට් කරන එක තමයි අලුත් යාළුවන්ව හොයාගන්න, ඒ යාළුවන්ව ආශ්‍රය කරන්න තියෙන ලෙහෙසිම ක්‍රමය. නතාලී කිව්වෙත්, “හම්බ වෙලා කතා කරනවා වගේ නෙමෙයි, චැට් කරද්දී හිතට හයියක් දැනෙනවා” කියලයි. ටැමී කිව්වෙත් ඒ වගේ අදහසක්. “ඔන්ලයින් චැට් කරද්දී කියන්න යන්නේ මොනවාද කියලා හිතන්න වෙලාව තියෙනවා. ඒ නිසා ලැජ්ජා කෙනෙකුට ඔන්ලයින් චැට් කරන එක ලෙහෙසියි.”
ඒ වුණත් ඔන්ලයින් චැට් කරන එකේ භයානක පැතිත් තියෙනවා. ඒ දේවල් එච්චර ගණන් ගන්නේ නැතුව ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක හරියට නරක මිනිස්සු ඉන්න පාරක ඇස් බැඳගෙන තනියෙන් යනවා වගේ වැඩක්.
ඉන්ටර්නෙට් එකෙන් යාළුවන්ව හොයාගන්න එකේ තියෙන භයානකකම ගැන කාලයක් ඔන්ලයින් ගිහින් අඳුනන්නේ නැති අය එක්ක චැට් කරපු ඉලේන් මෙහෙම කියනවා. “ඔන්ලයින් චැට් කරද්දී නරක මිනිස්සු එක්ක කතා කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. සමහරක් අය චැට් කරන්න පටන් අරන් විනාඩි ගාණකට පස්සේ ‘ඔයා ලිංගික සම්බන්ධකම් පවත්වලා තියෙනවාද? ඔයා කරලා තියෙන්නේ මොන විදිහේ ලිංගික ක්‍රියාද’ කියලා අහන්න පටන්ගන්නවා. සමහරු ලිංගික දේවල් ගැන චැට් කරමුද කියලත් කෙළින්ම අහනවා.”
ඔයා චැට් කරන්නේ ඔයා හොඳට දන්න අඳුනන කෙනෙක් එක්ක වෙන්න පුළුවන්. ඒත් ඔයා පරෙස්සම් වෙන්න ඕනේ. ඒ ගැන ජොඈන් මෙහෙම කියනවා. “යාළුවෝ වගේ ඉන්න ගැහැනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ඔන්ලයින් චැට් කරද්දී සාමාන්‍යයෙන් හම්බ වෙලා කතා කරනවාට වඩා වැඩි වෙලාවක් කතා කරකර ඉන්න පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා දෙන්නාට දෙන්නා ගොඩක් කිට්ටු වෙනවා. ඊටපස්සේ සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති දේවල් ගැනත් ඒ දෙන්නා කතා කරන්න පටන්ගන්නවා.”
‘තමන් කවුද කියලා හංගන අයගෙන්’ පරෙස්සම් වෙන්න
අතීතයේ හිටපු දාවිත් රජ නරක අයව යාළුවන් විදිහට ආශ්‍රය කරන එකේ තියෙන භයානකකම තේරුම්ගත්තා. ඒකයි එයා මේ වගේ දෙයක් කිව්වේ. “වංක මිනිස්සුන් සමඟ හිඳ නොගත්තෙමි. තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි.”—ගීතාවලිය 26:4.
ඔන්ලයින් චැට් කරද්දී තමන් කවුද කියලා හංගන අයව ඔයාටත් හම්බ වෙලා තියෙනවාද? සාමාන්‍යයෙන් මිනිස්සු ඒගොල්ලන්ගේ ඇත්ත තොරතුරු හංගන්නේ මොන හේතු නිසා කියලාද ඔයා හිතන්නේ? ․․․․․
චැට් කරන වෙලාවලදී ඔයාත් ඔයා කවුද කියලා අනිත් අයගෙන් හංගනවාද? කතා කුටිවලට ගිහින් අනිත් අයත් එක්ක චැට් කරපු අබිගායිල් කියන යෞවනිය මෙහෙම කියනවා. “මං කාත් එක්ක හරි චැට් කරන්න පටන්ගත්තාම කතා කරන දේට හරි යන විදිහට මගේ විස්තර වෙනස් කරනවා.”
ලියෑන් කියන ගැහැනු ළමයාත් හරි කපටි දෙයක් කළා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ළඟපාත සභාවක හිටපු පිරිමි ළමයෙක් එක්ක මං චැට් කරන්න පටන්ගත්තා. ටික දවසක් යන කොට අපි දෙන්නා අතරේ ආදරයක් ඇති වුණා. හැබැයි ඒ ගැන අපේ අම්මලා මුකුත් දැනගෙන හිටියේ නැහැ. මං එයාත් එක්ක චැට් කරකර ඉද්දී අම්මා හරි තාත්තා හරි එතැනින් ගියොත් මං ටක් ගාලා ඒක වහනවා. ඒගොල්ලෝ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති අවුරුදු 13ක් වයස ඒගොල්ලන්ගේ දුව අවුරුදු 14ක කොල්ලෙක්ට පෙම් හසුන් ලියනවා ඇති කියලා.”
දෙපාරක් හිතන්න
සමහර වෙලාවලදී ඉන්ටර්නෙට් හරහා කතා කරන එකෙන් ප්‍රයෝජන තියෙනවා. තරුණ අය විතරක් නෙමෙයි වැඩිහිටි අයත් ඒගොල්ලන්ගේ නෑදෑයන්ගේ, යාළුවන්ගේ සැප දුක් දැනගන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඔයාත් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ ඒ වගේ හොඳ හේතුවකට වෙන්න පුළුවන්. එහෙමනම් අනතුරකට වැටෙන්නේ නැතුව ඉන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
● ඉන්ටර්නෙට් එකේ කොච්චර වෙලාවක් ඉන්නවාද කියලා කල්පනා කරලා බලන්න. වැදගත් දේවල්වලට දෙන්න ඕන වෙලාව ඒකට දෙන්න එපා. වැදගත් දේවල් කියද්දී ඒකට නිදාගන්න එකත් ඇතුළත්. බ්‍රයන් කියන යෞවනයා මෙහෙම කියනවා. “ඉස්කෝලේ සමහර ළමයි පාන්දර තුන වෙනකම් ඉන්ටර්නෙට් එකේ ඉන්නවා.”—එෆීස 5:15, 16.
● හොඳට දන්න අඳුනන, කවුද කියලා ඔප්පු කරගන්න පුළුවන් අය එක්ක විතරක් කතා කරන්න. අහිංසක යෞවනයන්ව ගොදුරු කරගන්න මාන බලන ගොඩක් අය ඉන්ටර්නෙට් එකේ සැරිසරනවා.—රෝම 16:18.
● ඉන්ටර්නෙට් එකෙන් ගනු දෙනු කරද්දී පරෙස්සම් වෙන්න. මොකක් හරි ගනු දෙනුවක් කරද්දී ඔයාගේ විස්තර දෙන්න අවශ්‍ය වුණොත් ඒවා දෙන්න කලින් හොඳට හිතන්න. සමහරවිට ඔයාගේ විස්තර අරගෙන මුදල් වංචාවක් හරි ඊට වඩා දරුණු දෙයක් හරි කරන්න ඉඩ තියෙනවා.—මතෙව් 10:16.
● යාළුවන්ට ඔයාගේ ෆොටෝ යවද්දී මේ ගැන හිතන්න. “මේ ෆොටෝ එක බැලුවාම මං යෙහෝවා දෙවිට නමස්කාර කරන ආදර්ශවත් කෙනෙක් කියලා පේනවාද?”—තීතස් 2:7, 8.
● ඔන්ලයින් කතා කරද්දී කතාව නරක අතට හැරෙනවා කියලා දැනුණොත් ඒ වෙලාවේම කතාව නතර කරන්න.—එෆීස 5:3, 4.
● අවංක වෙන්න. ඔයා ඔන්ලයින් ගිහින් කරන දේවල් ගෙදර අයගෙන් හංගනවා කියන්නේ ඔයා වැරදි දේවල් කරනවා කියන එකයි. “මං අම්මලාගෙන් මුකුත් හංගන්නේ නැහැ. ඔන්ලයින් ගිහින් මං කරන හැම දෙයක්ම ඒගොල්ලන්ට පෙන්නනවා.” එහෙම කිව්වේ කිරන් කියන යෞවනියයි.—හෙබ්‍රෙව් 13:18.
හදිස්සි වෙන්න එපා
යාළුවෝ ආශ්‍රය කරලා සතුටු වෙන්න අපි හැමෝම ආසයි. ඒක සාමාන්‍ය දෙයක්. මොකද දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ ඒ විදිහට. (උත්පත්ති 2:18) හැබැයි යාළුවන් විදිහට ආශ්‍රය කරන්න ඔයා තෝරගන්නේ කාවද කියන එක ගැන හොඳට හිතලා බලන්න.
යාළුවන්ව තෝරගද්දී බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් ඔයාට හොඳ යාළුවන් හොයාගන්න පුළුවන්. එක යෞවනියක් ඒ ගැන මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිටයි ඔයාටයි ආදරේ කරන හොඳ යාළුවෙක් හොයාගන්න කාලයක් යන්න පුළුවන්. ඒත් එහෙම කෙනෙක්ව හම්බ වුණාම කාලයක් හිටපු එක ගැන දුකක් දැනෙන්නේ නැහැ.”
ඕපදූප නිසා අනිත් අයගේ හිත් ගොඩක් රිදෙන්න පුළුවන්. ඒවාට හවුල් වෙන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන් කොහොමද?
[පාදසටහන]
a ඉස්කෝලේ යාළුවන් ගැන වැඩි විස්තර 17වෙනි පරිච්ඡේදයේ සාකච්ඡා කරනවා.
බයිබල් උපදෙස
“වංක මිනිස්සුන් සමඟ හිඳ නොගත්තෙමි. තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි.”—ගීතාවලිය 26:4.
යෝජනාවක්
ඉන්ටර්නෙට් එකේ ඉන්නේ කොච්චර වෙලාවකටද කියලා කලින්ම තීරණය කරන්න. ඒ වෙලාව ඉක්මවා යන්න එපා. ඕනේ නම් එලාම් එකක් තියාගන්න.
මේක දැනගෙන හිටියාද?
නරක කෙනෙක් ඉන්ටර්නෙට් එකෙන් ඔයාගේ වාසගමයි, ඉස්කෝලේ නමයි, ෆෝන් නොම්බරෙයි දැනගත්තොත් ඔයා ඉන්නේ කොහේද කියලා හොයාගන්න එයාට ඒ ටික හොඳටම ඇති.
ඔයාට වැඩක්!
මං සතියකට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන වෙලාව මෙච්චරකට සීමා කරනවා ․․․․․ ඒකට මං මෙහෙම කරනවා ․․․․․
බැරි වෙලාවත් දන්නේ නැති කෙනෙක් එක්ක ඉන්ටර්නෙට් එකෙන් සම්බන්ධ වුණොත් මං මෙහෙම කරනවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● හම්බ වෙලා කතාබහ කරනවාට වඩා ඔන්ලයින් කතා කරන එකේ තියෙන වාසි, අවාසි මොනවාද?
● ඔන්ලයින් චැට් කරද්දී බොරු මවාපෑමක් කරන්න ලෙහෙසි ඇයි?
● ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාව ඔයාට සීමා කරන්න පුළුවන් කොහොමද?
● ඉන්ටර්නෙට් එක හරහා කතාබහ කරන එක, ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
[103වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘නොදන්නා අය එක්කවත් එච්චර හොඳ නැහැ කියලා හිතෙන අය එක්කවත් මං කවදාවත් ඔන්ලයින් සම්බන්ධ වෙන්නේ නැහැ.’’—ජොඈන්
[100, 101වන පිටුවේ පින්තූරය]
ඔන්ලයින් චැට් කරන එකේ භයානක පැති ගණන් ගන්නේ නැති එක හරියට නරක මිනිස්සු ඉන්න පාරක ඇස් බැඳගෙන තනියෙන් යනවා වගේ වැඩක්