හතරවෙනි පරිච්ඡේදය
රැවටිලිකාර සිතට හසු නොවන්න
1, 2. අපේ සිතුවිලිවල, හැඟීම්වල, චේතනාවල හා ආකල්පවල යම් වරදක් තිබෙනවාද කියා හඳුනාගැනීම අපහසු දෙයක් වන්නේ ඇයි?
අපි හැමෝම ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත්. අපේ ශරීරයේ යම් වේදනාවක් දැනුණොත් අප ඉක්මනින්ම ඒ සම්බන්ධයෙන් යමක් කිරීමට පෙලඹෙන්නේ ඒ නිසයි. උදාහරණයකට කෙනෙකුට පපුවේ කැක්කුමක් ඇති වී හුස්ම ගැනීමට අපහසුවක් දැනුණොත් ඔහු ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පියවර ගන්නවා. වෛද්‍යවරයාද ඔහුව සෝදිසි කිරීමෙන් අනතුරුව හෘදයේ ක්‍රියාකාරිත්වය හොඳින් සිදු වෙනවාද කියා දැනගැනීමට යම් පරීක්ෂණවලට ඔහුව යොමු කරයි. ඔහුගේ ජීවිතය තිබෙන්නේ අවදානමක බව එම පරීක්ෂණවලින් හෙළි වුණොත් ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා වහාම ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍යයි.
2 ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ලෙසම අප සැලකිලිමත් විය යුතු තව වැදගත් දෙයක්ද තිබෙනවා. ඒ කුමක්ද? එය නම් අපේ සිතයි. ඊට අපේ සිතුවිලි, හැඟීම්, චේතනා හා ආකල්ප ඇතුළත් වෙනවා. නමුත් ඒවායේ යම් වරදක් තිබෙනවාද කියා හඳුනාගැනීම යම් රෝගයක් හඳුනාගැනීම තරම් පහසු දෙයක් නොවෙයි. මන්ද බයිබලයේ පවසන්නේ, “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය. ඒ රැවටිලිකාර සිත තේරුම්ගත හැක්කේ කාටද” කියායි. (යෙරෙ. 17:9) අපේ සිත අපව රවටන්නේ කෙසේද? අප තුළ තිබෙන පව්කාර ආශාවන් නිසාත් සාතන්ගෙන් හා මේ දුෂ්ට සමාජයෙන් එල්ල වන බලපෑම නිසාත් අප අතින් යම් වරදක් සිදු වුණත් එහි කිසි වරදක් නැහැයි කියා අපට සිතෙන්න පුළුවන්. එලෙස අපේ සිත අපව රවටන නිසා නිතරම එය සෝදිසි කර බැලීම ඉතා වැදගත්. ඒ සම්බන්ධයෙන් වටිනා තොරතුරු අපට යෙරෙමියාගෙන් හා ඔහුගේ කාලයේ ජීවත් වූ යුදෙව්වන්ගෙන් ඉගෙනගත හැකියි.
3. අද බොහෝදෙනෙකුට දෙවිවරුන් වී තිබෙන්නේ මොනවාද?
3 යෙරෙමියාගේ කාලයේ ජීවත් වූ යුදෙව්වන් වැඩිදෙනෙකුගේ සිත් ඉතා දූෂ්‍ය වී තිබූ නිසා ඔවුන් යෙහෝවා දෙවිව අත්හැර කානානිවරුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළා. දෙවි යෙරෙමියා මාර්ගයෙන් ඔවුන්ට පැවසූ මේ දෙයින් ඒ බව පැහැදිලියි. “ඔබට අයිති නුවරවල ගණනටම ඔබට දෙවිවරු සිටිති.” (යෙරෙ. 2:28) ඔවුන් එවැනි බරපතළ වැරදි කරමින් සිටියත් ඔවුන්ගේ සිත් ඔවුන්ට වධ දුන්නේ නැහැ. සැබෑ ක්‍රිස්තියානීන් වන අපෙන් කිසිවෙකු අද දින බොරු දෙවිවරුන්ට නමස්කාර කරයි කියා සිතිය නොහැකියි. නමුත් එදා යුදෙව්වන් හසු වූ උගුලට අද අපිත් හසු විය හැකියි. එක් ශබ්දකෝෂයක “දෙවි” යන වචනය නිර්වචනය කර තිබෙන්නේ, “කෙනෙක් තම ජීවිතයේ වටිනාම දෙය ලෙස සලකන ඕනෑම දෙයක් හෝ ඕනෑම කෙනෙකු” ලෙසයි. අද සමාජයේ බොහෝදෙනෙකු තම රැකියාවට, ශරීර සෞඛ්‍යයට, පවුලේ අයට හෝ තමන් ඇති කරන සුරතල් සතුන්ට ජීවිතයේ ප්‍රමුඛ තැන දී තිබෙනවා. තවත් සමහරක් අය ක්‍රීඩාවලට, ප්‍රසිද්ධ පුද්ගලයන්ට, නවීන තාක්ෂණයට, නිවාඩු ගත කිරීම සඳහා ගමන්බිමන් යෑමට හා චාරිත්‍ර වාරිත්‍රවලට ජීවිතයේ මූලික තැන දී තිබෙනවා. ඔවුන් ඒ දේවල් වෙනුවෙන් කොතරම් කැප කිරීම් කරනවාද කියනවා නම් සැබෑ දෙවි වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයේ කිසිම ඉඩක් නැහැ.
රැවිටිලිකාර සිත අපව නොමඟ යවන අයුරු
4. “යෙහෝවා දෙවි පැවසූ දේ තවම ඉටු නොවුණේ ඇයි” කියා යුදෙව්වන් ඇසුවේ කුමන චේතනාවෙන්ද?
4 රැවටිලිකාර සිතේ බලපෑමට හසු වී සිටි යුදෙව්වන්, “යෙහෝවා දෙවි පැවසූ දේ තවම ඉටු නොවුණේ ඇයි” කියා ප්‍රශ්න කරමින් සිටි බව යෙරෙමියා සඳහන් කර තිබෙනවා. (යෙරෙ. 17:15) ඔවුන් එසේ ප්‍රශ්න කළේ දෙවි පැවසූ දේවල ඉටු වීම දැකගැනීමට ඔවුන් තුළ අවංක ආශාවක් තිබූ නිසා නොවෙයි. ඒ වන විට ඔවුන් සිටියේ යෙහෝවා දෙවිගෙන් බොහෝ දුරස්වයි. ඔවුන් දෙවි කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට මිනිසුන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටියා. ‘යූදා වැසියන්ගේ පාපය යකඩ පන්හිඳකින් ලියා තිබේ. ඒවා දියමන්ති තුඩකින් ඔවුන්ගේ සිත්වල කොටා තිබේ’ කියා යෙරෙමියා පැවසුවේ ඒ නිසයි.—යෙරෙ. 17:1, 5, 7.
5. යුදෙව්වන් දෙවි දුන් මඟ පෙන්වීම් සැලකුවේ කෙසේද?
5 යුදෙව්වන් යෙහෝවා දෙවි දුන් මඟ පෙන්වීම් නොසලකාහැරියා. ඔවුන්ගේ සිතුවිලි, හැඟීම් හා චේතනා මොන වගේද කියා ඉන් හෙළි වුණා. (යෙරෙමියා 17:21, 22 කියවන්න.) සබත සම්බන්ධයෙන් දෙවි දුන් නීතිය ඔවුන් සැලකූ ආකාරය ගැන ටිකක් සිතා බලන්න. දෙවි ඔවුන්ට පැවසුවේ සබත් දවසේදී සතියේ අනිකුත් දවස්වල කරන වැඩවලින් විවේක ගෙන, දෙවිට කරන නමස්කාරය වෙනුවෙන් ඒ දවස යොදාගන්න කියායි. නමුත් යුදෙව්වන් ඒ නීතිය නොසලකාහරිමින් තමන්ට රිසි ලෙස ක්‍රියා කළා. ඔවුන්ද ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙන් ‘සිත් දැඩි කරගෙන දෙවිගේ හික්මවීම් ප්‍රතික්ෂේප කළා.’ ඔවුන්ගේ සිත් කොතරම් දූෂ්‍ය වී තිබුණාද කියා ඉන් පැහැදිලියි.—යෙරෙ. 17:23; යෙසා. 58:13.
6, 7. (අ) විශ්වාසවන්ත නුවණ ඇති දාසයා දී තිබෙන මඟ පෙන්වීම් ගැන දැනුවත් වී සිටියත් කෙනෙකු කෙසේ සිතීමට පෙලඹිය හැකිද? (ආ) අපට රැස්වීම් අතපසු විය හැක්කේ කෙසේද?
6 සැබෑ ක්‍රිස්තියානීන් වන අප සබත පැවැත්වීමට බැඳී නැහැ. නමුත් එදා සිටි යුදෙව්වන් මෙන් දෙවි දුන් මඟ පෙන්වීම් නොසලකාහරින තරමටම අපේ සිත් දූෂ්‍ය විය හැකියි. (කොලො. 2:16) සමහරවිට දෙවිට සේවය කිරීම සඳහා බොහෝ පරිත්‍යාග කළ යුතු බව අප දන්නවා. අපට පහසු අයුරින් දෙවිගේ මඟ පෙන්වීම් වෙනස් කර ඔහුට සේවය කළ නොහැකි බවත් අප දන්නවා. තම ජීවිතයේ මුල් තැන දෙවිට දී සතුටින් හා තෘප්තියෙන් ජීවිත ගත කරන බොහෝදෙනෙකු ගැනත් අප දන්නවා ඇති. ඒ දේවල් ගැන අප දැනුවත් වී සිටියත් අපේ රැවටිලිකාර සිත අපව නොමඟ යැවිය හැකියි. එය තේරුම්ගැනීමට මේ උදාහරණය සලකා බලන්න.
7 යෙහෝවා දෙවිට සේවය කරන කෙනෙකු සමහරවිට මෙසේ සිතිය හැකියි. ‘මගේ පවුලේ අයගේ අවශ්‍යතාවන් පිරිමහන්න නම් මම හොඳ රැකියාවක් කරන්න ඕනේ.’ එසේ සිතීම වරදක් නොවෙයි. නමුත් ඉන්පසු ඔහු මෙසේ සිතුවොත්, ‘හොඳ රැකියාවක් හොයාගන්න හෝ දැනටමත් මම කරමින් ඉන්න රැකියාව රැකගන්න මම අමතර අධ්‍යාපනයක් ලබාගන්න ඕනේ.’ ඒ අදහසෙත් එතරම් වරදක් නැහැයි කියා සිතමින් සමහරවිට ඔහු මෙසේද සිතිය හැකියි. ‘දැන් ඉස්සර වගේ නෙමෙයි, හොඳ රැකියාවක් හොයාගෙන, ඒක දිගටම කරන්න නම් ගොඩක් සුදුසුකම් අවශ්‍යයි. ඒ නිසා මම වැඩිදුර ඉගෙනගෙන උපාධියක් ගන්න ඕනේ.’ එලෙස ඔහු ක්‍රමානුකූලව තම රැවටිලිකාර සිතට හසු වී විශ්වාසවන්ත නුවණ ඇති දාසයා උසස් අධ්‍යාපනය ගැන ලබා දී තිබෙන වටිනා මඟ පෙන්වීම් නොසලකාහරින්න පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා ඔහු ටිකෙන් ටික රැස්වීම් නොයන්න පවා ඉඩ තිබෙනවා. කනගාටුදායක ලෙස අපෙන් සමහරදෙනෙකුට ඒ දේ සිදු වී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ඔවුන් තම සිතුවිලි හා ආකල්ප මේ සමාජයේ රැල්ලට අනුව ක්‍රමානුකූලව හැඩගසාගෙන තිබීමයි. (එෆී. 2:2, 3) නමුත් බයිබලයේ අපට පැහැදිලිවම අනතුරු අඟවා තිබෙන්නේ, “අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න” කියායි.—රෝම 12:2.a
ඔබේ සිත ඔබව රවටා ඇද්ද?
8. (අ) කුමන දේවල් නිසා ක්‍රිස්තියානියෙකු තුළ ආඩම්බර හැඟීම් ඇති විය හැකිද? (ආ) යෙහෝවා දෙවි ගැන හා ඔහු ක්‍රියා කරන ආකාරය ගැන දැනුම තිබීම පමණක් ප්‍රමාණවත් නැහැයි කියා පැවසිය හැක්කේ ඇයි?
8 කෙසේවෙතත් ධන සම්පත් හා සමාජයේ හොඳ පිළිගැනීමක් තිබූ අය පළමුවෙනි සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිටියා. අද දින අප අතරෙත් එවැනි අය සිටිනවා විය හැකියි. ඔවුන්ට තමන් ගැන තිබිය යුතු ආකල්පය කුමක්ද? අපට ඔවුන් ගැන තිබිය යුත්තේ මොන වගේ ආකල්පයක්ද? ඊට පිළිතුර යෙරෙමියා මාර්ගයෙන් දෙවි පැවසූ දෙයකින් අපට සොයාගත හැකියි. (යෙරෙමියා 9:23, 24 කියවන්න.) මිනිසෙකු සතු ධන සම්පත්, දැනුම හෝ සමාජයෙන් ලැබෙන පිළිගැනීම විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිව දැන හඳුනා ගැනීම තරම් වටින්නේ නැති බව අප තේරුම්ගත යුතුයි. ඒ නිසා එවැනි දේවල් ගැන ආඩම්බර වීමට අපෙන් කිසිවෙකුට හේතුවක් නැහැ. (1 කොරි. 1:31) නමුත් අපට ආඩම්බර විය හැකි යම් දෙයක් ගැන දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසුවා. එය නම් යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගෙන සිටීම ගැන හා ඔහු ගැන ගැඹුරු අවබෝධයක් ඇතුව සිටීම ගැනයි. නමුත් ඒ සඳහා දෙවි ගැන නිකම්ම තොරතුරු දැන සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන් දෙවිගේ නම කුමක්ද කියා දැන සිටියා. රතු මුහුද අසලදී, පොරොන්දු දේශයට යන ගමනේදී, විනිශ්චයකරුවන්ගේ කාලයේදී හා විශ්වාසවන්ත රජවරුන්ගේ කාලයේදී දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ආරක්ෂා කළ ආකාරය ගැනත් ඔවුන් දැනුවත් වී සිටියා. ඒ සෑම දෙයක් ගැනම ඔවුන් දැන සිටියත් යෙහෝවා දෙවි මොන වගේ කෙනෙකුද කියා ඔවුන් තේරුම්ගත්තේවත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඔවුන්ට තිබුණේවත් නැහැ. ඒ වුණත් ඔවුන් පැවසුවේ, “අපි කිසි වරදක් කළේ නැහැ. අපි හරි අහිංසකයි. දෙවිගේ උදහස දැන් අප වෙතින් පහව ගිහින්” කියායි.—යෙරෙ. 2:35.
අපේ සිත රැවටිලිකාරයි කියා තේරුම්ගැනීම වැදගත් වන්නේ ඇයි? අපේ සිතුවිලි සෝදිසි කර බැලීමෙන් දෙවිට අපි ගැන හැඟෙන ආකාරය තේරුම්ගත හැක්කේ කෙසේද?
දෙවි අපේ සිතුවිලි සකස් කරන අයුරු
ඔබේ සිත සකස් කිරීමට ඔබ දෙවිට ඉඩහරිනවාද?
9. අපේ සිතුවිලි, හැඟීම් හා චේතනා දෙවිට ප්‍රසන්න වන අයුරින් හැඩගස්වා ගත හැකියි කියා නිසැක විය හැක්කේ ඇයි? අපට එය කළ හැක්කේ කෙසේද?
9 යෙරෙමියාගේ කාලයේ සිටි යුදෙව්වන්ට දෙවිගේ අනුමැතිය දිනාගැනීමට නම් දෙවි දුන් මඟ පෙන්වීම් ගැන ඔවුන්ට හැඟුණු ආකාරය වෙනස් කරගත යුතු වුණා. ඒ සඳහා ඔවුන්ට තම සිතුවිලි, හැඟීම් හා චේතනා දෙවිට ප්‍රසන්න වන අයුරින් හැඩගස්වා ගැනීමට සිදු වුණා. එය ඔවුන්ට කළ නොහැකි වූ දෙයක් නොවෙයි. මන්ද වහල්භාවයෙන් නිදහස් වී නැවත පැමිණෙන අය ගැන දෙවි මෙවැනි දෙයක් පවසා තිබුණා. “මා යෙහෝවා දෙවි බව තේරුම්ගැනීමට හැකි හදවතක් මම ඔවුන්ට ලබා දෙන්නෙමි. ඔවුන් මුළු හදවතින්ම මා වෙතට හැරී එන නිසා මාගේ සෙනඟ ලෙස මම ඔවුන්ව පිළිගන්නෙමි. ඔවුන්ගේ දෙවි වන්නෙමි.” (යෙරෙ. 24:7) ඒ හා සමානව අපේ සිතුවිලි, හැඟීම් හා චේතනා දෙවිට ප්‍රසන්න වන අයුරින් හැඩගස්වා ගන්න අද දින අපටත් හැකියි. ඒ සඳහා අප ප්‍රධාන වශයෙන් දේවල් තුනක් කළ යුතුයි. අප කළ යුතු පළමු දේ නම් උනන්දුවෙන් දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමයි. දෙවෙනි දෙය නම් දෙවි අපේ ජීවිතයට මඟ පෙන්වීම් ලබා දෙන ආකාරය තේරුම්ගැනීමයි. දෙවි දෙන මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගැනීම අප කළ යුතු තුන්වෙනි දෙයයි. අප සෑම කෙනෙකුගේම ආශාව විය යුත්තේ යෙහෝවා දෙවි අපේ සිත් සෝදිසි කර ඔහුට කැමති අයුරින් අපේ සිත හැඩගස්වනවාටයි. ඊට අමතරව අපේ සිත් සෝදිසි කර බැලීමට අපටත් හැකියි. එය කළ හැක්කේ කෙසේද? අපේ සිතුවිලි, හැඟීම් හා චේතනා බයිබලයේ සඳහන් උපදෙස් සමඟ කොතරම් දුරට එකඟද කියා බැලීමෙනුත් විවිධ අවස්ථාවලදී යෙහෝවා දෙවි අපේ ජීවිතයට මඟ පෙන්වා තිබෙන ආකාර ගැන සිතා බැලීමෙනුත් අපට එය කළ හැකියි.—ගීතා. 17:3.
10, 11. (අ) කුඹල්කරුවෙකුගේ නිවසට යන්න කියා දෙවි යෙරෙමියාට පැවසුවේ කුමක් පැහැදිලි කර දීමටද? (ආ) යම් කෙනෙකු සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද කියා දෙවි තීරණය කරන්නේ කුමක් මතද?
10 තමන්ට කැමති අයුරින් අපේ සිතුවිලි, හැඟීම් හා චේතනා සකස් කිරීමට තැත් කරන සාතන්ට වඩා යෙහෝවා දෙවි කොතරම් වෙනස්ද! දෙවි අපේ සිත් සකස් කරන්නේ අප එක් එක් කෙනා ගැන සැලකිලිමත් වෙමිනුයි. යෙරෙමියා පොතේ සඳහන් එක් සිදුවීමකින් ඒ බව පැහැදිලි වෙනවා. එක් අවස්ථාවක දෙවි යෙරෙමියාට කුඹල්කරුවෙකුගේ නිවසට ගොස් ඔහු සකපෝරුවෙන් වැඩ කරන අයුරු නිරීක්ෂණය කරන්න කියා පැවසුවා. යෙරෙමියා එහි ගිය විට කුඹල්කරු සාදමින් සිටි මැටි බඳුන ඔහු සිතූ අයුරින් නොසෑදුණු නිසා ඔහු ඒ මැටිම පාවිච්චි කර වෙනත් බඳුනක් සෑදූ අයුරු යෙරෙමියා දුටුවා.—යෙරෙමියා 18:1-4 කියවන්න.
11 එම සිද්ධියෙන් දෙවි යෙරෙමියාට හා යුදෙව්වන්ට පෙන්වීමට උත්සාහ කළේ කුඹල්කරුට මැටිවලින් තමන් කැමති ඕනෑම දෙයක් සෑදීමට අයිතියක් තිබෙනවා හා සමානව දෙවිටත් ඕනෑම කෙනෙකුව හෝ ඕනෑම ජාතියක් ඔහුට කැමති අයුරින් සකස් කිරීමට අයිතියක් තිබෙන බවයි. නමුත් කුඹල්කරුට වැරදුණු ලෙස යෙහෝවා දෙවිට කිසිම අවස්ථාවක වරදින්නේ නැහැ. කෙනෙකුගේ සිත සකස් කිරීමට යෙහෝවා දෙවි දරන උත්සාහය ක්ෂණිකයෙන් ඔහු අත්හරින්නෙත් නැහැ. දෙවි යම් අය සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද කියා තීරණය කරන්නේ ඔවුන් දෙවිගේ මඟ පෙන්වීම් පිළිගෙන තම සිතුවිලි සකස් කරගන්නා ආකාරය අනුවයි.—යෙරෙමියා 18:6-10 කියවන්න.
12. (අ) යෙහෝයාකිම් රජුගේ සිතුවිලි නිවැරදි කිරීමට දෙවි දැරූ උත්සාහයට ඔහු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) යෙහෝයාකිම් රජුගෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?
12 යම් කෙනෙකු බයිබලය කියවා එහි සඳහන් දේවල් තම ජීවිතයට අදාළ කරගන්නා විට ඔහු තම සිත සකස් කිරීමට දෙවිට ඉඩහරිනවා කියා පැවසිය හැකියි. නමුත් යූදාහි රජු වූ යෙහෝයාකිම් එසේ ක්‍රියා කළේ නැහැ. යම් වැඩක් කරගැනීමට කෙනෙකුව කුලියට ගත්තොත් ඔහුගෙන් “අයුතු ප්‍රයෝජන ගන්න එපා” කියා මෝසෙස්ට දුන් නීතියේ පැහැදිලිව සඳහන් කර තිබුණා. (ද්වි. 24:14) නමුත් යෙහෝයාකිම් රජ තමාට “සුවිසල් මන්දිරයක්” ඉදි කරගැනීම සඳහා කුලියට ගත් සෙසු ඊශ්‍රායෙල්වරුන්ට නිසි ලෙස කුලී ගෙව්වේ නැහැ. (යෙරෙ. 22:13, 14, 17) දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් රජුගේ සිතුවිලි නිවැරදි කිරීමට උත්සාහ කළත් ඔහු ඒවා පිළිගත්තේ නැහැ. ඒ වන විට ඔහුගේ සිත ඔහුව රවටා තිබූ නිසා “ඔබට ඇහුම්කන් දෙන්න මට බැහැ” කියා පවසමින් ඔහු දිගින් දිගටම දෙවිට පිටුපෑවා. ඒ නිසා ඔහුට සිදු වීමට යන දේ ගැන දෙවි මෙසේ පැවසුවා. “මිය ගිය බූරුවෙකුව යෙරුසලමේ දොරටුවලින් පිටතට ඇදගෙන ගොස් වීසි කර දමන්නාක් මෙන් ඔහුගේ මළ කඳත් වීසි කර දමනු ඇත.” (යෙරෙ. 22:19, 21) දෙවි එදා යෙරෙමියා මාර්ගයෙන් මඟ පෙන්වීම් ලබා දුන් ලෙස අද විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මාර්ගයෙන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත යුතු ආකාර ගැන අපට පෙන්වා දෙනවා. උදාහරණයකට අඳින පළඳින ආකාරය ගැන හෝ විවාහ උත්සවයකදී නැත්නම් වෙනත් විශේෂ අවස්ථාවකදී යොදාගත යුතු සංගීතය, නටන විලාසය වැනි දේවල් ගැන මඟ පෙන්වීම් ලබා දී තිබෙනවා. යෙහෝයාකිම් රජු මෙන් අපත් දෙවි ලබා දෙන එවැනි මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරනවාද? නැත්නම් ඒවා අදාළ කරගනිමින් අපේ සිතුවිලි සකස් කිරීමට දෙවිට ඉඩහරිනවාද?
13, 14. (අ) හෙබ්‍රෙව් ජාතික දාසයන්ව නිදහස් කර හැරීමට යුදෙව්වන් තීරණය කළේ ඇයි? (ආ) දෙවිගේ මඟ පෙන්වීම් පිළිපැදීමට ඔවුන්ට අවංක ආශාවක් නොතිබුණු බව පැහැදිලි වුණේ කුමකින්ද?
13 ශෙදකියා රජු හා ඔහුගේ කාලයේ ජීවත් වූ යුදෙව්වන්ද දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහැරියා. බැබිලෝනිවරුන්ට යටත්ව දිගටම රජකම් කරන්න කියා දෙවි යෙරෙමියා මාර්ගයෙන් ශෙදකියා රජුට පැවසුවත් ඔහු එම මඟ පෙන්වීම නොසලකාහරිමින් බැබිලෝනිවරුන්ට විරුද්ධව කැරලිගැසුවා. (යෙරෙ. 27:8, 12) එහි ප්‍රතිඵලයක් ලෙස බැබිලෝනිවරුන් යෙරුසලම වැටලුවා. ඒ අවස්ථාවේ දෙවිගේ නීතියේ සඳහන් දේවල් පිළිපදින්න ශෙදකියා රජු ඇතුළුව අධිපතීන් ඉක්මනින් පියවර ගත්තා. හත්වෙනි අවුරුද්දේදී හෙබ්‍රෙව් ජාතික දාසයන්ව නිදහස් කළ යුතුයි කියා දී තිබූ නීතිය ඔවුන් ඒ අවස්ථාවේ විගස ක්‍රියාත්මක කළා. (නික්. 21:2; යෙරෙ. 34:14) ඔවුන් එසේ කළේ නීතිය පිළිපැද්දොත් යෙහෝවා දෙවිගේ ආරක්ෂාව ඔවුන්ට ලැබෙයි කියා සිතූ නිසයි.—යෙරෙමියා 34:8-10 කියවන්න.
14 නමුත් ඊජිප්තු හමුදාව යෙරුසලමේ උපකාරයට පැමිණෙන බව බැබිලෝනිවරුන්ට ආරංචි වී ඔවුන් යෙරුසලම අත්හැර ගිය පසු යූදාහි වැසියන් තම තීරණය වෙනස් කළා. (යෙරෙ. 37:5) නිදහස් කර හැරිය දාසයන්ව ඔවුන් නැවතත් ගෙන්වාගත්තා. (යෙරෙ. 34:11) යම් අවදානම් වාතාවරණයක සිටියදී දෙවිගේ නීතිය පිළිපැදීමට ඔවුන් තීරණය කළත් එම වාතාවරණය වෙනස් වූ සැණින් ඔවුන් කලින් කළ වැරදි නැවතත් කළා. ඉන් පැහැදිලි වන්නේ දෙවිගේ මඟ පෙන්වීම් පිළිගෙන ඒ අනුව තම සිතුවිලි සකස් කරගැනීමට ඔවුන්ට අවංක ආශාවක් නොතිබුණු බවයි.
කුඹල්කරු හා සම්බන්ධ සිද්ධියෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද? කෙනෙකුගේ සිතුවිලි, හැඟීම් හා චේතනා යෙහෝවා දෙවි සකස් කරන්නේ කෙසේද?
ඔබේ සිතුවිලි සකස් කිරීමට දෙවිට ඉඩහරින්න
15. යම් කාරණයක් සම්බන්ධයෙන් දෙවිට හැඟෙන ආකාරය අවබෝධ කරගත් විට ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා උදාහරණයක් දෙන්න.
15 ජීවිතයේ විවිධ අවස්ථාවලදී අදාළ කරගත යුතු බයිබල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේ වන විට අපට හොඳ අවබෝධයක් තිබෙනවා විය හැකියි. උදාහරණයකට අපව කේන්ති ගස්සවන අයුරින් සහෝදරයෙකු ක්‍රියා කළොත් අප කටයුතු කළ යුත්තේ කෙසේද කියා අප දන්නවා. (එෆී. 4:32) ඒ සම්බන්ධයෙන් බයිබලයේ දී තිබෙන මඟ පෙන්වීම් ප්‍රඥාවන්ත මෙන්ම නිවැරදි මඟ පෙන්වීම් බවත් අප දන්නවා. නමුත් එවැනි අවස්ථාවක අප දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්නවාද? යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පිළිගැනීමට කැමති සිතක් අපට තිබෙනවා නම් ඔහු කැමති අයුරින් අපේ සිත සකස් කර වඩා ගෞරවනීය අරමුණක් වෙනුවෙන් අපිව යොදාගැනීමට ඔහුට හැකියි. (රෝම 9:20, 21; 2 තිමෝති 2:20, 21 කියවන්න.) එමනිසා යෙහෝයාකිම් රජු, ශෙදකියා රජු හා ඔහුගේ කාලයේ සිටි යුදෙව්වන් මෙන් නොවී අපි යෙහෝවා දෙවිට අපේ සිතුවිලි, හැඟීම් හා ආකල්ප සකස් කිරීමට ඉඩහරිමු.
16. යෙරෙමියා හොඳින්ම තේරුම්ගෙන සිටියේ කුමක්ද?
16 යෙරෙමියා තම සිතුවිලි, හැඟීම් හා ආකල්ප සකස් කිරීමට දෙවිට ඉඩහැරියා. මන්ද ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසාට හැකියාවක් නැති’ බව ඔහු හොඳින් තේරුම්ගෙන සිටියා. ‘යෙහෝවා දෙවියනි, මාව නිවැරදි කරන්න’ කියා ඔහු දෙවිගෙන් ඉල්ලා සිටියේ ඒ නිසයි. (යෙරෙ. 10:23, 24) නමුත් අද සිටින බොහෝ යෞවනයන් ක්‍රියා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයටයි. ඔවුන් ජීවිතයේ තීරණ ගන්නා විට දෙවිගේ මඟ පෙන්වීම් පතන්නේ නැහැ. ඔවුන් ක්‍රියා කරන්නේ ඔවුන්ගේ හිතුමනාපෙට අනුවයි. නමුත් යෞවනයෙකු ලෙස ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? ජීවිතයේ තීරණ ගන්නා විට ඔබ යෙරෙමියා මෙන් දෙවිගේ මඟ පෙන්වීම් පතනවාද? දෙවිගේ මඟ පෙන්වීම් නොමැතිව මිනිසුන්ට සාර්ථක විය නොහැකි බව ඔබ තේරුම්ගෙන සිටිනවාද? ඇත්තෙන්ම ඔබ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්නා විට ඔහු ඔබේ සිතුවිලි, හැඟීම් හා ආකල්ප සකස් කරයි.
17-19. (අ) යෙරෙමියා යුප්‍රටීස් වෙතට ගියේ ඇයි? (ආ) දෙවි පැවසූ දේට කීකරු වීම යෙරෙමියාට අභියෝගයක් වන්න ඇත්තේ ඇයි? (ඇ) ලිනන් පටිය හා සම්බන්ධ සිද්ධියෙන් දෙවි ඉගැන්වීමට උත්සාහ කළ පාඩම කුමක්ද?
17 යෙරෙමියා යෙහෝවා දෙවි දුන් මඟ පෙන්වීම්වලට නිරතුරුවම කීකරු වුණා. එය තේරුම්ගැනීමට මේ සිද්ධිය සලකා බලන්න. ලිනන් රෙදිවලින් සාදාගත් පටියක් ගෙන එය ඉණ වටා බැඳගන්න කියා එක් අවස්ථාවක දෙවි යෙරෙමියාට පැවසුවා. ඉන්පසු එම පටිය රැගෙන යුප්‍රටීස් ගඟ ළඟට ගොස් ඒ අසල තිබෙන පර්වත විවරයක එය සඟවා නැවත යෙරුසලමට පැමිණෙන්න කියා දෙවි ඔහුට පැවසුවා. ඒ සඳහා ඔහුට කිලෝමීටර් 1,000ක පමණ දුරක් ගමන් කිරීමට සිදු වුණා. (යෙරෙමියා 13:1-9 කියවන්න.) කාලයක් ගත වූ පසු දෙවි නැවතත් යෙරෙමියාට පැවසුවේ යුප්‍රටීස් ගඟ අසල සඟවා තැබූ පටිය රැගෙන එන්න කියායි. ඔහු එහි ගිය විට එම පටිය ‘කිසි ප්‍රයෝජනයක් ගත නොහැකි වන ලෙස දිරා ගොස්’ තිබුණා. ඒ අනුව බලන විට දෙවතාවක්ම යුප්‍රටීස් වෙතට ගොස් නැවත යෙරුසලමට පැමිණෙන්න යෙරෙමියාට කිලෝමීටර් 2,000ක පමණ දුරක් යෑමට සිදු වුණා. මාස ගණනාවක් පුරා යෙරෙමියා එතරම් දිගු ගමනක් ගියා කියා බයිබල් විචාරකයන්ට සිතාගත නොහැකියි.b (එස්රා 7:9) නමුත් දෙවි පැවසූ දේ යෙරෙමියා එලෙසම ඉටු කළා.
18 ලිනන් පටිය සැඟවීමට යෙරෙමියාට සෑහෙන දුරක් යෑමට සිදු වුණා පමණක් නොව එය ඉතා දුෂ්කර ගමනක්ද වුණා. ඒ ගමනේදී ඔහුට යූදාහි කඳුකර ප්‍රදේශ පසු කරගෙන යෑමට සිදු වූ අතර ඇතැම්විට ඔහුට කාන්තාරයක් මැදින් පවා ගමන් කිරීමට සිදු වෙන්න ඇති. ඒ කාලය තුළ ඔහු යූදා දේශයේ පෙනෙන්න නොසිටි නිසා යෙරෙමියාට කුමක් සිදු වන්න ඇද්ද යන ප්‍රශ්නය යූදාහි වැසියන්ගේ මනස්වල නැඟෙන්න ඇති. ඔහුට එම ගමන එක වතාවක් නොව දෙවතාවක්ම යෑමට සිදු වුණා. ඒ ගැන යෙරෙමියාට කෙසේ හැඟෙන්න ඇද්ද? ‘මේක කිසි තේරුමක් නැති වැඩක්. ආයේ නම් මට එච්චර දුරක් යන්න බැහැ’ කියා ඔහු සිතුවාද? කොහෙත්ම නැහැ. තමාට භාර දුන් කාර්යය ගැන මැසිවිලි නඟනවා වෙනුවට දෙවි පැවසූ දේ ඔහු එලෙසම ඉටු කළා. මන්ද තම සිත සකස් කිරීමට ඔහු දෙවිට ඉඩහැර තිබුණා.
දෙවි යමක් පැවසීමට හේතුව කුමක්ද කියා අපට නොතේරුණත් අප ඒවාට කීකරු විය යුත්තේ ඇයි?
19 එවැනි කාර්යයක් තමාට භාර දුන්නේ ඇයි කියා යෙරෙමියා දැන සිටියේ නැහැ. දෙවි ඒ ගැන ඔහුට දැන්වූයේ දෙවෙනි වතාවට ඔහු යුප්‍රටීස් වෙතට ගිය පසුවයි. එය පැහැදිලි කරමින් දෙවි ඔහුට පැවසුවේ මෙයයි. “මාගේ හඬට කීකරු වීමට අකමැති මේ දුෂ්ට සෙනඟ, මුරණ්ඩු ලෙස තමන්ට රිසි සේ ක්‍රියා කරති. ඔවුහු වෙනත් දෙවිවරුන්ගේ පිහිට පතමින් ඒවා ඉදිරියේ වැඳ වැටෙමින් ඒවාට නමස්කාර කරති. එසේ කරන මේ දුෂ්ට සෙනඟට සිදු වන්නෙත් මේ පටියට සිදු වූ දේමය. එනම්, කිසිම ප්‍රයෝජනයක් නැති තත්වයකට පත් වීමය.” (යෙරෙ. 13:10) ඒ පණිවිඩය තම සෙනඟට දැන්වීම සඳහා දෙවි යොදාගත් ක්‍රමය කොතරම් ප්‍රබලද! යෙරෙමියාට භාර දුන් කාර්යය එතරම් වැදගත් දෙයක් ලෙස නොපෙනුණත් දෙවි පැවසූ දේට කීකරු වීමෙන් යුදෙව්වන්ගේ හදවතට කාවදින අයුරින් දෙවිගේ පණිවිඩය ඉදිරිපත් කිරීමට යෙරෙමියාට හැකි වුණා.—යෙරෙ. 13:11.
20. සමහරදෙනෙකු අපව විවේචනය කිරීමට හෝ සමච්චලයට ලක් කිරීමට පෙලඹෙන්නේ ඇයි? අපට නිසැක විය හැක්කේ කුමක් ගැනද?
20 දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වූ යෙරෙමියාගෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව අප ජීවත් වන නිසා ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, රැකියාව හා මත්පැන් පානය වැනි දේවල් සම්බන්ධයෙන් අප දරන ආකල්පය සමාජයේ බහුතරයක් දරන ආකල්පයට වඩා වෙනස්. ඒ නිසා සමහරදෙනෙකු අපව විවේචනය කිරීමට හෝ සමච්චලයට ලක් කිරීමට පෙලඹෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී පවා යෙරෙමියා මෙන් අපත් දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමට අදිටන් කරගෙන සිටිනවාද? අපගේ සිතුවිලි සකස් කිරීමට අප දෙවිට ඉඩහැර තිබෙනවා නම් එවැනි අවස්ථාවලදී දෙවි ගැන හොඳ සාක්ෂියක් දැරීමට අපට අවස්ථාවක් උදා විය හැකියි. කෙසේවෙතත් අප බයිබලයේ සඳහන් දෙවිගේ මඟ පෙන්වීම් පිළිගෙන විශ්වාසවන්ත නුවණ ඇති දාසයා ලබා දෙන උපදෙස් අදාළ කරගන්නවා නම් සදාකාල ආශීර්වාද අපට ලබාගත හැකි බව අමතක කරන්න එපා. රැවටිලිකාර සිතට හසු නොවී යෙරෙමියා මෙන් ඔබේ හැඟීම්, සිතුවිලි හා ආකල්ප සකස් කිරීමට දෙවිට ඉඩහරින්න. එවිට වඩා ගෞරවනීය අරමුණක් වෙනුවෙන් ඔබව යොදාගැනීමට දෙවිට හැකි වෙයි.
අපේ පව්කාර ආශාවන්ට, සාතන්ගෙන් හා මේ දුෂ්ට සමාජයෙන් එල්ල වන බලපෑම්වලට අප විරුද්ධව සිටීම වැදගත් වන්නේ ඇයි?
a එක් බයිබල් පරිවර්තනයක එම පදයට අදාළ පාදසටහනේ පවසන්නේ කෙනෙකු මේ සමාජයේ රැල්ලට හසු වන බව ඔහුටවත් නොදැනෙන්න ඉඩ තිබෙනවා කියායි. නමුත් සමහර අවස්ථාවලදී තමා මේ සමාජයට අනුව හැඩගැසෙන බව යම් දුරකට ඔහුට වැටහෙන්නත් පුළුවන්. බොහෝදුරට කෙනෙකු තුළ ඒ දෙකම සිදු විය හැකියි.
b සමහරදෙනෙකු පවසන්නේ යෙරෙමියා යුප්‍රටීස් ගඟ අසලට නොව යෙරුසලමට කිට්ටු ස්ථානයකට ගිය බවයි. ඔවුන් එසේ පවසන්නේ බොහෝ වෙහෙසක් දරා යෙරෙමියා එතරම් දිගු ගමනක් දෙවතාවක් නොගිය බව ඇඟවීමටයි කියා එක් විශාරදයෙක් පවසනවා.