8වන කොටස
පොරොන්දු වූ තැනැත්තාගේ පැමිණීම
පොරොන්දු වුණු තැනැත්තා ගැන දානියෙල් අනාවැකිය කියලා අවුරුදු 500කට විතර පස්සේ ගාබ්‍රියෙල් නම් දේවදූතයා මරියාට මෙහෙම කිව්වා. “ඔබට සුබ දවසක්! ඔබ බොහෝ සෙයින් ආශීර්වාද ලැබූ තැනැත්තියක්. මන්ද යෙහෝවා දෙවි ඔබ සමඟයි.” (ලූක් 1:28) දේවදූතයා මරියාට කතා කරද්දී ඇයට භයක් දැනුණා.
යේසුස්ව මෙලොවට බිහි කරන්නේ මරියා බව ගාබ්‍රියෙල් නම් දේවදූතයා කිව්වා
ඔහු ඇයට මෙහෙම කියනවා. ‘මරියා, බිය නොවන්න. ඔබ දෙවියන්ගේ ආශීර්වාදය ලැබූ තැනැත්තියක්. දැන් මා කියන දේට හොඳින් සවන් දෙන්න. ඔබේ කුසේ දරුවෙක් පිළිසිඳගනියි. ඔබට බිහි වෙන්නේ පුතෙක්. ඔහුට යේසුස් යන නම තබන්න. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය ලබා දෙයි. ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.’ (ලූක් 1:30-33) දෙවියන් එවන්න පොරොන්දු වූ තැනැත්තා එනකල් මිනිසුන් ආශාවෙන් බලන් හිටියා. ඔහුව මෙලොවට බිහි කිරීමේ අවස්ථාව ලැබුණේ මරියාට.
දේවදූතයා කියපු විදිහටම මරියා, යේසුස්ව බිහි කළා. එදා රෑ දේවදූතයෙක් එඬේරුන් පිරිසකට මෙහෙම කිව්වා. ‘මම ආවේ ඔබට ශුභාරංචියක් කීමටයි. අද දාවිත්ගේ නුවරෙහි ඔබට ගැලවුම්කරුවෙක් ඉපදී සිටිනවා. ස්වාමීන් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි.’ (ලූක් 2:10, 11) යේසුස් ක්‍රිස්තුස් ඉපදුණේ බෙත්ලෙහෙමෙදී වුණත් කාලයකට පස්සේ ඔහුගේ පවුලේ අය නාසරෙත් නුවරේ පදිංචියට ගියා.
ක්‍රිස්තු වර්ෂ 29දී යේසුස්, දෙවියන්ට සේවය කරන්න පටන්ගත්තම පොරොන්දු වූ තැනැත්තා ඔහු බව මිනිසුන් තේරුම්ගත්තා. ඔවුන් පැවසුවේ, “අප අතරට උතුම් අනාගතවක්තෘවරයෙක් ඇවිල්ලා” කියලයි. (ලූක් 7:16, 17) ඒ වන විට යේසුස්ට වයස අවුරුදු 30ක් පමණ වුණා. (ලූක් 3:23) යේසුස් දක්ෂ ගුරුවරයෙක්. ඔහු ඉගැන්වූ කාරණා තුනක් දැන් බලමු.
දෙවියන්ට මුළු හදවතින්ම ප්‍රේම කරමින් ඔහුට නමස්කාර කරන්න: යේසුස් මෙහෙම කිව්වා. “අපගේ දෙවි යෙහෝවායි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි. ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මාක් 12:29, 30) “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි” කියලත් ඔහු කිව්වා.—ලූක් 4:8.
එකිනෙකාට ප්‍රේම කරන්න: “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.” (මාක් 12:31) “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න” කියලා යේසුස් ඉගැන්නුවා.—මතෙව් 7:12.
දෙවියන් ස්වර්ගයේ පිහිටුවලා තියෙන රාජ්‍යය ගැන: “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි” කියලා යේසුස් කිව්වා. (ලූක් 4:43) දෙවියන්ගේ රාජ්‍යය ඒ තරම් වැදගත් වෙන්නේ ඇයි?
ඒ රාජ්‍යය මගින් අනාගතයේදී පොළොව පාලනය කරන බව බයිබලයේ සඳහන් වෙනවා. දෙවියන් ඒ රාජ්‍යයේ රජු විදිහට පත් කරලා තියෙන්නේ යේසුස්ව. දෙවියන් ඔහුට “රාජ්‍යයද බලයද ගෞරවයද” ලබා දෙන බව අනාගතවක්තෘ දානියෙල් දර්ශනයකින් දැක්කා. (දානියෙල් 7:14) දෙවියන්ගේ රාජ්‍යය මගින් මුළු පොළොවම ලස්සන උයනක් කරන කාලයේදී දෙවියන්ගේ සෙනඟට හැමදාමත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එය මොන තරම් ප්‍රීතිමත් පණිවිඩයක්ද!