ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lf ප්‍රශ්නය 2 8-12 පි.
  • ඕනෑම ආකාරයක සෛලයක් ඇත්තෙන්ම සරලද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඕනෑම ආකාරයක සෛලයක් ඇත්තෙන්ම සරලද?
  • ජීවයේ ආරම්භය වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සෛලයේ ආරක්ෂක පවුර
  • “කර්මාන්ත ශාලාවක්”
  • නිර්මාණය කර තිබෙන්නේ සදාකල් ජීවත්වීමටය
    1996 පිබිදෙව්!
  • අණ්වීක්ෂයක් තුළින් එබිකම් කිරීම
    1999 පිබිදෙව්!
  • පිළිතුරු දැනගත යුතු වැදගත් ප්‍රශ්න දෙකක්
    2015 පිබිදෙව්!
  • මතභේදයක් පවතින්නේ මන්ද?
    2002 පිබිදෙව්!
තව තොරතුරු
ජීවයේ ආරම්භය වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු
lf ප්‍රශ්නය 2 8-12 පි.

2වන ප්‍රශ්නය

ඕනෑම ආකාරයක සෛලයක් ඇත්තෙන්ම සරලද?

මොළයේ සෛල, අක්ෂි සෛල, අස්ථි සෛල, පේශි සෛල සහ රතු රුධිරාණු සෛල

ශරීරයේ තිබෙන 200කට අධික සෛල වර්ග සෑදුණේ ඉබේමද?

අපගේ ශරීරය විශ්වයේ තිබෙන වඩාත් සංකීර්ණ දේවලින් එකක් ලෙස හැඳින්විය හැකියි. එය සැකසී තිබෙන්නේ කුඩා සෛල ට්‍රිලියන 100ක් පමණ එකතු වීමෙනුයි.7 ඒවා අස්ථි සෛල, රුධිර සෛල හා මොළයේ සෛල වැනි කාණ්ඩවලට බෙදිය හැකියි. ඒ අනුව බලන විට අපගේ ශරීරයේ විවිධ සෛල වර්ග 200කටත් වඩා තිබෙනවා.8

එම සෛලවල හැඩය හා ක්‍රියාකාරිත්වය එකිනෙකට වෙනස් වුණත් ඒ සෑම එකක්ම එකිනෙකට බැඳී ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් පුදුමාකාරයි. ඒ වගේම ඉතාමත් සංකීර්ණයි. ලොව පුරා මිලියන ගණනක් පරිගණක, අන්තර්ජාලය ඔස්සේ එකිනෙකට සම්බන්ධ වී තිබුණත් එම පද්ධතිය අපගේ සෛල එකිනෙකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන ආකාරය සමඟ කිසිවිටෙක සසඳන්න බැහැ. ඒ වගේම තාක්ෂණය අතින් බැලුවත් මිනිසා මෙතෙක් නිපදවා ඇති කිසිම දෙයක්, සරලයි කියා හඳුන්වන සෛලයක් තරම් දියුණු නැහැ. එසේනම් මෙවැනි සෛල බිහි වුණේ කෙසේද?

බොහෝ විද්‍යාඥයන් පවසන දේ. සියලුම ජීව සෛල ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි. එනම් ඉයුකැරියෝටික් (න්‍යෂ්ටියක් සහිත) සහ ප්‍රෝකැරියෝටික් (න්‍යෂ්ටියක් රහිත) සෛල ලෙසයි. මිනිසුන්, සතුන් හා ශාක අයත් වන්නේ ඉයුකැරියෝටික් ගණයට වන අතර බැක්ටීරියා අයත් වන්නේ ප්‍රෝකැරියෝටික් ගණයටයි. ප්‍රෝකැරියෝටික් සෛල ඉයුකැරියෝටික් සෛල තරම්ම සංකීර්ණ නැහැ. එමනිසා සමහර අය පවසන්නේ බැක්ටීරියා සෛල ක්‍රමානුකූලව පරිණාමය වීමෙන් සත්ව හා ශාක සෛල බිහි වුණා කියායි.

එය පදනම් කරගෙන බොහෝදෙනා පවසන්නේ අවුරුදු මිලියන ගණනක් පුරා “සරල” ප්‍රෝකැරියෝටික් සෛල වෙනත් සෛල ගිලගෙන ඒවා ජීරණය නොකර තබාගත් බවයි. ඉන්පසු සිදු වූ දේ ගැන ඔවුන් තවදුරටත් පවසන්නේ බැක්ටීරියා සෛල විසින් ගිලගත් සෛලවල ක්‍රියාකාරිත්වයෙහි වෙනස්කම් කිරීමට “සොබාදහම” පටන්ගත් බවයි. එමෙන්ම බැක්ටීරියා සෛල බෙදී යන විට ඒත් සමඟම ආගන්තුක සෛලත් බෙදී නව පිටපතක් බිහි වූ බවත් ඔවුන් පවසනවා.9a

බයිබලයේ සඳහන් වන දේ. ජීවය, බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක් බව බයිබලයේ සඳහන් වෙනවා. එය තහවුරු කිරීමට එහි මෙවැනි තර්කයක්ද ඉදිරිපත් කරනවා. “ඇත්තෙන්ම සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.” (හෙබ්‍රෙව් 3:4) බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. ‘යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය. පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ. ලොකු කුඩා ජීවීහු එහි සැරිසරති.’—ගීතාවලිය 104:24, 25.

පුපුරා ගිය ගිනිකන්දක්

“සරලයි” කියා හඳුන්වන සෛලයක් පවා අජීවී රසායනික ද්‍රව්‍යයන් එකතු වී ඉබේ හටගත හැකිද?

සාක්ෂිවලින් ඔප්පු වන දේ. ක්ෂුද්‍ර ජීව විද්‍යාව ඉතා දියුණු මට්ටමකට පැමිණ ඇති නිසා සරලයි කියා හඳුන්වන ප්‍රෝකැරියෝටික් සෛලයක ක්‍රියාකාරිත්වය පවා හොඳින් නිරීක්ෂණය කිරීමට හැකි වී තිබෙනවා. එමනිසා පරිණාමවාදී විද්‍යාඥයන් පවසන්නේ මුල්ම ජීවී සෛල ප්‍රෝකැරියෝටික් සෛලවලට සමානකමක් තිබෙන්න ඇති කියායි.10

ජීවය ඇති වූයේ අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් නම් එය ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි. අනික් අතට ජීවය බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක් නම් ඒ බව ඔප්පු කිරීමටද සාක්ෂි තිබිය යුතුයි. එනම් සරලයි කියා හඳුන්වන සෛලයක පවා එය දැකගත හැකි විය යුතුයි. ඒ සඳහා ප්‍රෝකැරියෝටික් සෛලයක් තුළ සංචාරයක් කිරීමට ඔබ කැමතිද? මෙවැනි සෛලයක් පවා අහම්බෙන් ඇති වෙන්න පුළුවන්ද කියා මේ සංචාරය අතරතුරේදී ටිකක් සිතා බලන්න.

සෛලයේ ආරක්ෂක පවුර

මෙම ප්‍රෝකැරියෝටික් සෛලය තුළට ඇතුල් වීමට නම් ඔබට මෙම වාක්‍ය අවසානයේ තිබෙන තිතට වඩා සිය ගුණයකටත් වැඩියෙන් කුඩා වීමට සිදු වෙනවා. දැන් ඔබ මේ දකින්නේ සෛලයේ පටලය හෙවත් නම්‍යශීලී පිටත ආවරණයයි. නමුත් එය නිකම්ම නිකම් ආවරණයක් නොවෙයි. එය කර්මාන්ත ශාලාවක ආරක්ෂක පවුරක් වගෙයි. එම පටලය කොතරම් සියුම්ද කියනවා නම් කඩදාසියක තරම් ගනකමක් ලබාගැනීමට එම පටල 10,000ක් පමණ එක මත එක තබන්න සිදු වෙයි. ඒ වුණත් මෙම පටලය විශාල පවුරකටත් වඩා සංකීර්ණයි. ඒ කොහොමද?

පවුරකින් කර්මාන්ත ශාලාවකට ආරක්ෂාව ලැබෙනවා හා සමානව මෙම පටලය මගින්ද සෛලයට ආරක්ෂාව ලැබෙනවා. එය සිදු වන ආකාරය ඉතාමත් පුදුමාකාරයි. එම පටලයේ තැනින් තැන කුඩා සිදුරු තිබෙනවා. ඒවා මගින් සෛලයට අවශ්‍ය ඔක්සිජන් වැනි කුඩා අණු ඇතුල් කරගැනීමත් පිට කිරීමත් සිදු වෙනවා. එමෙන්ම සෛලයට හානි කළ හැකි සංකීර්ණ අණු ඇතුල් වීම වැළැක්වීමටත් ප්‍රයෝජනවත් අණු සෛලය තුළම රඳවාගැනීමටත් එය වගබලා ගන්නවා. එවැනි දස්කමක් දැක්වීමට සෛල පටලයට හැක්කේ කෙසේද?

මෙසේ සිතන්න. කර්මාන්ත ශාලාවක සිටින ආරක්ෂක භටයින් එහි දොරටුවලින් ඇතුල් වන හා පිට වන පුද්ගලයන් හා දේවල් පරීක්ෂා කරනවා. ඒ හා සමානව සෛල පටලයේ ඇති විශේෂිත ප්‍රෝටීන අණුද ආරක්ෂක භටයින් ලෙස ක්‍රියා කරනවා.

සෛල පටලයක්

සෛල පටලයේ ඇති “ආරක්ෂක භටයින්ට” සමාන ප්‍රෝටීන මගින් ඊට ඇතුල් වීමට සහ පිට වීමට ඉඩ දෙන්නේ විශේෂිත වූ ද්‍රව්‍යයන්ට පමණයි

ඒ කෙසේද කියා අපි බලමු. (1) සමහර ප්‍රෝටීනවල මැද සිදුරක් තිබෙනවා. ඒ තුළින් සෛලයට ඇතුල් වීමට සහ පිට වීමට හැක්කේ යම් විශේෂ වූ අණුවලට පමණයි. (2) තවත් ප්‍රෝටීනවල එක් පැත්තක් වැසී තිබෙන අතර අනික් පැත්ත විවෘත වී තිබෙනවා. (3) තවත් ප්‍රෝටීන සැකසී තිබෙන්නේ විශේෂිත වූ හැඩයකින් යුත් අණුවලට පමණක් ඇතුල් විය හැකි ආකාරයටයි. (4) එවැනි අණුවක් ප්‍රෝටීනයට ඇතුල් වූ විට එය අනික් දොරටුවෙන් සෛලයට මුදාහරිනවා. සරලයි කියා හඳුන්වන සෛල පටලයක පවා මොන තරම් සංකීර්ණ ක්‍රියාවලියක් සිදු වෙනවාද!

“කර්මාන්ත ශාලාවක්”

ඔබට එම සෛලය තුළට ඇතුල් වීමට එහි “ආරක්ෂක භටයින්” අවසර දුන්නා කියා සිතන්න. එහි පෝෂ්‍ය පදාර්ථ, ලවණ සහ වෙනත් ද්‍රව්‍යයන් සහිත දියරයක් තිබෙන බව ඔබ දකියි. සෛලයට අවශ්‍ය සෑම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ මෙම දියරය භාවිත කරමිනුයි. එය සිදු වන්නේ මනා පිළිවෙළකින් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලාවක් හා සමානවයි. ඇත්තෙන්ම සෛලයක් තුළ නිශ්චිත පිළිවෙළකට මෙන්ම නියමිත කාලසටහනකට අනුව රසායනික ප්‍රතික්‍රියාවන් දහස් ගණනක් සිදු වෙනවා.

සෛලයක් තුළ වැඩියෙන්ම සිදු වන්නේ ප්‍රෝටීන නිපදවීමයි. එය සිදු වන්නේ කෙසේද? මුලින්ම සෛලය තුළ විවිධ ඇමයිනෝ අම්ල වර්ග 20ක් පමණ නිපදවනවා. (5) ඉන්පසු ඒවා රයිබසෝමය වෙත යවනු ලබනවා. රයිබසෝමයක් කර්මාන්ත ශාලාවක තිබෙන ස්වයංක්‍රීය යන්ත්‍රයක් හා සමානයි. ඉන් සිදු වන්නේ එක් එක් ප්‍රෝටීනයට අවශ්‍ය ඇමයිනෝ අම්ල නිශ්චිත පිළිවෙළකින් එකිනෙකට සම්බන්ධ කිරීමයි. නවීන කර්මාන්ත ශාලාවක එහි වැඩි වැඩ කොටසක් පාලනය වන්නේ විශේෂිත වූ දත්ත ඇතුළත් කළ පරිගණක වැඩසටහනකිනුයි. (6) එලෙසම සෛලයකත් වැඩි වැඩ කොටසක් පාලනය වන්නේ එහි ඇති විශේෂිත වූ දත්ත ඇතුළත් DNA අණුව මගිනුයි. (7) නිපදවිය යුතු ප්‍රෝටීනය ගැනත් එය නිපදවිය යුතු ආකාරය ගැනත් සියලුම තොරතුරු ඇතුළත් පිටපතක් රයිබසෝමයට ලබා දෙන්නේ මෙම DNA අණුවයි.

ඊළඟට සිදු වන ක්‍රියාවලියද ඇත්තෙන්ම හරිම පුදුමාකාරයි. (8) සෛලය විසින් නිපදවූ ප්‍රෝටීනය විශේෂිත වූ ත්‍රිමාන හැඩයකට සකස් වෙනවා. එක් එක් ප්‍රෝටීනය විසින් සිදු කළ යුතු කාර්යය කුමක්ද කියා තීරණය වන්නේ එහි හැඩය මගිනුයි.b එය තේරුම්ගැනීමට වාහන එන්ජිමක විවිධ කොටස් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ගැන සිතන්න. වාහනයේ එන්ජිම නිසියාකාරයෙන් ක්‍රියාත්මක වීමට නම් එන්ජිමේ සෑම කොටසක්ම ඉතාමත් නිවැරදිව නිම කළ යුතුයි. ඒ හා සමානව ප්‍රෝටීනයද නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් නිසියාකාර රසායනික සංයෝගයට මෙන්ම නියමිත හැඩයට අනුව සකස් විය යුතුයි. එසේ නොවුණොත් සෛලයට හානි සිදු විය හැකියි.

කර්මාන්ත ශාලාවක් වගේ සෛලය

“කර්මාන්ත ශාලාවක්” බඳු සෛලය – ප්‍රෝටීන සෑදෙන ආකාරය: සංකීර්ණ අණු නිෂ්පාදනය කර බෙදාහරින සෛලය, ස්වංක්‍රීය යන්ත්‍ර සහිත කර්මාන්ත ශාලාවක් හා සමානයි

ප්‍රෝටීනය නිපදවූ ස්ථානයේ සිට එය යා යුතු නියමිත ස්ථානය හඳුනාගන්නේ කෙසේද? සෛලය මගින් එය යා යුතු “ලිපිනයද” ඊට ඇතුළත් කරනවා. ඒ නිසා සෛලයක් සෑම විනාඩියකදීම ප්‍රෝටීන දහස් ගණනක් නිපදවුවත් ඒ එකක්වත් කිසිවිටෙක වැරදි ස්ථානයකට යන්නේ නැහැ.

එම තොරතුරු වැදගත් වීමට හේතුව. සරල සෛලයක් තුළ තිබෙන සංකීර්ණ අණුවලට සෛලයෙන් පිටතදී කිසිවක් කළ නොහැකියි. ඊට හේතුව සෛලයෙන් පිටතදී අණුව විනාශ වන නිසයි. සෛලය තුළදී පවා එක් එක් අණුවට තවත් ඒවා නිපදවීම සඳහා අනිකුත් අණුවල සහයෝගය අත්‍යවශ්‍යයි. උදාහරණයකට ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් (ATP) නමැති ශක්තිය ලබා දෙන විශේෂ අණුව නිපදවීමට එන්සයිම අවශ්‍යයි. එමෙන්ම එන්සයිම නිපදවීමට ATP අණු අවශ්‍යයි. එලෙසම එන්සයිම නිපදවීමට DNA අණු අවශ්‍ය වන අතර DNA අණු නිපදවීමට එන්සයිම අවශ්‍යයි. (මෙම අණුව ගැන 3වන කොටසේ සාකච්ඡා කරයි.) ප්‍රෝටීන නිපදවිය හැක්කේ සෛලයක් තුළ පමණයි. එමෙන්ම සෛලයක් ඇති වීමට නම් ප්‍රෝටීන අවශ්‍යමයි.c

ජීවයේ ආරම්භය ගැන ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ රාඩු පෝපා පැවසූ දෙය සලකා බලමු. ජීවයේ ආරම්භය ගැන බයිබලයේ සඳහන් වාර්තාව ඔහු පිළිගන්නේ නැහැ. ඒ වුණත් 2004දී ඔහු මෙවැනි දෙයක් පැවසුවා. “ජීවයක් ඇති විය හැකියි කියා සිතන සෑම පාරිසරික තත්වයක් යටතේදීම ඉතා හොඳින් අත්හදා බැලීම් කිරීමෙන් පසුවත් අපට ජීවයක් බිහි කිරීමට නොහැකි වුණා නම් සොබාදහම එය කරන්නේ කොහොමද?13 ජීව සෛලයක ක්‍රියාකාරිත්වය සඳහා මොන තරම් සංකීර්ණ ක්‍රියාවලියක් සිදු විය යුතුද කියා කල්පනා කරනකොට එය ඉබේ ඇති වුණා කියා කොහෙත්ම හිතන්න බැහැ.”14

ස්ථිර අත්තිවාරමක් නැතුව හදපු ලොකු ගොඩනැඟිල්ලක් කඩා වැටෙන අයුරු

අත්තිවාරමක් නොමැතිව ඉදි කර ඇති ගොඩනැඟිල්ලක් කඩා වැටෙනවා නම් ජීවයේ ආරම්භය ගැන පැහැදිලි සාක්ෂි නැතුව ගොඩනඟා ඇති පරිණාමවාදය නමැති මතය කඩා නොවැටී තිබෙයිද?

ඔබ සිතන්නේ කුමක්ද? පරිණාමය විශ්වාස කරන අය උත්සාහ කරන්නේ ජීවය ආරම්භ වීමට දෙවි කෙනෙකු මැදිහත් වුණේ නැහැ කියා ඔප්පු කිරීමටයි. කෙසේනමුත් ජීවය පිළිබඳව විද්‍යාඥයන් වැඩි වැඩියෙන් තොරතුරු සොයාගන්නා තරමටම ඉන් ඔප්පු වන්නේ එය ඉබේ ඇති වුණා කියා විශ්වාස කිරීම අපහසු බවයි. එමනිසා සමහර අය උත්සාහ කරන්නේ ජීවීන්ගේ පරිණාමය එක් දෙයක් බවත් ජීවය ආරම්භ වූ ආකාරය ඊට අදාළ නැති ප්‍රශ්නයක් බවත් පවසමින් එය මඟහැර යෑමටයි. එසේ කිරීම සාධාරණයි කියා ඔබ සිතනවාද?

ජීවය ආරම්භ වුණේ අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් බවත් ජෛව විවිධත්වය ඇති වුණේ ඉන්පසුව සිදු වූ විස්මිත අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයකින් බවත් පරිණාමවාදයේ මූලික පදනමයි. නමුත් එය ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි නැත්නම් ඒ මත ගොඩනඟා ඇති කෙළවරක් නැති අනිකුත් මතවාදයන් ගැන කුමක් කිව හැකිද? අත්තිවාරමක් නොමැතිව ඉදි කළ තට්ටු රැසක් සහිත ගොඩනැඟිල්ලක් අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා හා සමානව සාක්ෂි නැතුව ගොඩනඟා ඇති මතවාදයන්ද අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා.

මෙතෙක් කළ සාකච්ඡාවේදී “සරලයි” කියා හඳුන්වන සෛලයක සැකැස්ම හා ක්‍රියාකාරිත්වය ගැන ඔබ යම් අවබෝධයක් ලබන්න ඇති. දැන් ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද? එය අහඹු සිදුවීම් පෙළක ප්‍රතිඵලයක්ද? නැත්නම් බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක්ද? ඒ ගැන පැහැදිලි තීරණයක් ගැනීමට ඔබට තවත් සාක්ෂි අවශ්‍යද? එසේනම් සෑම සෛලයකම ක්‍රියාකාරීත්වය පාලනය කරන එහි ඇති “විශේෂිත වැඩසටහන” ගැන දැන් අපි සලකා බලමු.

a එවැනි දෙයක් සිදු වූ බවට මෙතෙක් කිසිම සමීක්ෂණයකින් හෙළි වී නැහැ.

b සෛලවලින් නිපදවන එක් ප්‍රෝටීන වර්ගයක් වන්නේ එන්සයිමයි. එක් එක් එන්සයිමය විවිධ රසායනික ප්‍රතික්‍රියා සිදු වීම සඳහා විවිධ හැඩයන්ට අනුව සැකසෙනවා. ඒ අනුව සෛලය තුළ සිදු වන විවිධ ක්‍රියාකාරකම් සඳහා එවැනි එන්සයිම සිය ගණනක් දායක වෙනවා.

c මිනිස් සිරුරේ ඇති සමහර සෛලවල විවිධ ප්‍රෝටීන වර්ග11 දශලක්ෂ ගණන් තිබෙන අතර ඒවායෙහි ඇති ප්‍රෝටීන අණුවල12 එකතුව 10,00,00,00,000ක් පමණ වෙනවා.

මවගේ ගර්භාෂයේ ඉන්න දරුවෙක්

නව සෛලයක් බිහි වන වේගය

බැක්ටීරියා සෛලයක් බෙදී අලුත් සෛලයක් බිහි වන සෑම අවස්ථාවකදීම මුල් සෛලයේ තිබෙන සියලුම තොරතුරු හෙවත් එහි සියලුම ක්‍රියාකාරකම් පාලනය කරන දත්ත අලුත් සෛලයටද ලබා දෙනවා. සමහර බැක්ටීරියාවලට මෙම ක්‍රියාවලිය සඳහා ගත වන්නේ විනාඩි 20ක් වැනි කාලයක් පමණයි. නමුත් යම් හෙයකින් එවැනි තනි සෛලයක් නොනවත්වාම දර්ශක අගයකින් බෙදුණා නම් දවස් දෙකකින් පෘථිවියේ බර මෙන් 2,500 ගුණයක් තරම් බරට අලුත් සෛල බිහි වීමේ හැකියාවක් තිබෙනවා.15 වඩාත් සංකීර්ණ සෛලවලට පවා ඉක්මනින් බෙදී යෑමේ හැකියාවක් තිබෙනවා. උදාහරණයකට මවකගේ කුසේ සිටින දරුවෙකුගේ මොළයේ සෛල විනාඩියකට 2,50,000ක් තරම් වේගකින් බිහි වෙනවා.16

සාමාන්‍ය කර්මාන්ත ශාලාවක යම් භාණ්ඩයක් ඉතා වේගයෙන් නිෂ්පාදනය කිරීමේදී එහි තත්වය බාල වෙනවා. එසේනම් සෛලයක් ඉබේ හටගත්තා නම් ඉතා වේගයෙන් මෙන්ම නිවැරදිව ඒ හා සමාන පිටපත් බිහි කිරීමට ඊට හැක්කේ කෙසේද?

සත්‍යය සහ ඊට අදාළ ප්‍රශ්න

  • සත්‍යය: සෛලයක් සෑදී තිබෙන්නේ DNA, RNA සහ ප්‍රෝටීන යන ඉතා සංකීර්ණ අණුවලින් වන අතර සෛලයේ ක්‍රියාකාරිත්වය සඳහා ඒවා සහයෝගයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි.

    ප්‍රශ්නය: ඔබට පිළිගැනීමට වඩාත් පහසු වන්නේ 10වන පිටුවේ ඇති සංකීර්ණ යන්ත්‍ර ඉබේ බිහි වුණා කියාද නැත්නම් ඒවා බුද්ධිමත් කෙනෙක් නිර්මාණය කළා කියාද?

  • සත්‍යය: ගෞරවයට පාත්‍ර වූ සමහර විද්‍යාඥයන් පවසන්නේ “සරලයි” කියා හඳුන්වන සෛලයක් පවා ඉබේ ඇති වුණා කියා සිතීම ඉතා දුෂ්කර බවයි.

    ප්‍රශ්නය: ජීවය ආරම්භ වුණේ යම් අධිමානුෂික බලවේගයකින් කියා සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා නම් ඒ බලවේගය දෙවියන් කියා පිළි නොගැනීමට තිබෙන පදනම කුමක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න