11වෙනි පාඩම
යේසුස් ගැන ලියපු අය
මේ පින්තූරේ ඉන්න අයව ඔයා දන්නවද?— මතෙව්, මාක්, ලූක්, යොහන්, පේතෘස්, යාකොබ්, යූද්, පාවුල් කියන අය තමයි එතන ඉන්නේ. ඒ අය ජීවත් වුණේ යේසුස් පොළොවේ හිටපු කාලේ. ඒගොල්ලෝ යේසුස් ගැන හුඟක් දේවල් ලිව්වා.
ඔයා මේ අය ගැන දන්නවද?
මෙතන ඉන්නවා යේසුස් ළඟින්ම හිටපු ගෝලයෝ දොළොස්දෙනාගෙන් තුන්දෙනෙක්. ඒ කවුද කියලා ඔයාට කියන්න පුළුවන්ද?— ඒ තමයි මතෙව්, යොහන්, පේතෘස්. යේසුස් මේ පොළොවේ ඉද්දී කරපු කියපු දේවල් මතෙව් සහ යොහන් පොත් දෙකක ලිව්වා. මතෙව් ලිව්වේ ඒ පොත විතරයි. ඒත් යොහන් තව පොත් හතරක් ලිව්වා. ඒවා තමයි එළිදරව්, පළවෙනි යොහන්, දෙවෙනි යොහන් සහ තුන්වෙනි යොහන් කියන පොත්. පේතෘස් පොත් දෙකක් ලිව්වා. පළවෙනි පේතෘස්, දෙවෙනි පේතෘස් කියන්නේ ඒ පොත් දෙක. පේතෘස් එයාගේ දෙවෙනි පොතේ යෙහෝවා දෙවි ස්වර්ගයේ ඉඳලා කතා කරලා යේසුස් ගැන කියපු දෙයක් ලිව්වා. ඒ තමයි ‘මේ ඉන්නේ මගේ පුතා. මම එයාට හුඟක් ආදරෙයි. එයා ගැන මට හුඟක් සතුටුයි’ කියලා දෙවි කියපු දේ.
මාක් කියන්නෙත් යේසුස් ගැන හුඟක් දේවල් ලියපු කෙනෙක්. නරක මිනිසුන් කට්ටියක් යේසුස්ව අල්ලගත්ත වෙලාවේ එයාත් එතන ඉන්න ඇති. ලූක් කියන්නේ දොස්තර කෙනෙක්. එයා ක්‍රිස්තියානි කෙනෙක් වුණේ යේසුස් මැරුණට පස්සෙයි.
පින්තූරේ ඉන්න අනිත් දෙන්නා යේසුස්ගේ මල්ලිලා දෙන්නෙක්. ඒ දෙන්නගේ නම් ඔයා දන්නවද?— යාකොබ් සහ යූද් කියන්නේ ඒ දෙන්නටයි. යේසුස් ජීවත් වෙලා හිටපු කාලේ ඒ දෙන්නා යේසුස්ව විශ්වාස කළේ නැහැ. ඒගොල්ලෝ හිතුවේ යේසුස්ට පිස්සු කියලයි. ඒත් පස්සේ කාලෙක ඒගොල්ලෝ යේසුස්ගේ ගෝලයෝ වුණා.
පින්තූරේ ඉන්න අනිත් කෙනා පාවුල්. යේසුස්ගේ ගෝලයෙක් වෙන්න ඉස්සෙල්ලා එයාට කිව්වේ සාවුල් කියලයි. ඒ කාලේ එයා ක්‍රිස්තියානීන් එක්ක හුඟක් තරහයි. ඔයා දන්නවද පාවුල් යේසුස්ගේ ගෝලයෙක් වුණේ කොහොමද කියලා?— දවසක් පාවුල් පාරේ යනකොට ස්වර්ගයේ ඉඳලා කෙනෙක් කතා කරනවා එයාට ඇහුණා. ඒ යේසුස්. යේසුස් පාවුල්ගෙන් ඇහුවා ‘ඇයි ඔයා මගේ යාළුවන්ට කරදර කරන්නේ’ කියලා. යේසුස් එයා එක්ක කතා කරපු දවසේ ඉඳන් පාවුල් වෙනස් වෙලා දෙවි ගැන අනිත් අයට කියලා දෙන්න පටන්ගත්තා. රෝම පොතේ ඉඳන් හෙබ්‍රෙව් පොත වෙනකම් බයිබලයේ තියෙන පොත් 14ම ලිව්වේ පාවුල්.
හැමදාම බයිබලය කියවන්න අපි ආසයි නේද?— බයිබලය කියෙව්වොත් අපිට යේසුස් ගැන හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඔයා කැමතිද යේසුස් ගැන තව දේවල් ඉගෙනගන්න?—