ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • kr 12 පරි. 118-131 පි.
  • “සමාදානයේ දෙවිට” සේවය කරන්න සංවිධානය වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සමාදානයේ දෙවිට” සේවය කරන්න සංවිධානය වෙයි
  • දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘සමාදානයෙන් කටයුතු කරන රැකබලා ගන්නන්ව පත් කරන්නෙමි’
  • ක්‍රිස්තුස් සභාවට මඟ පෙන්වන විදිහ
  • “රැළට ආදර්ශයක් වෙන්න”
  • වැඩිමහල්ලන් දෙවිගේ රැළ රැකබලා ගන්න විදිහ
  • දෙවිගේ සෙනඟ අතර තියෙන එක්සත්කම වැඩි වෙයි
  • රැළ රැකබලා ගන්නා සහෝදරයන්
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • පෙරමුණ ගන්නන්ට කීකරු වන්න
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩිමහල්ලෙනි, ශ්‍රේෂ්ඨතම එඬේරුන්ව අනුකරණය කරන්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානීන්ව සංවිධානය කරලා තියෙන්නේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
kr 12 පරි. 118-131 පි.

12වෙනි පරිච්ඡේදය

“සමාදානයේ දෙවිට” සේවය කරන්න සංවිධානය වෙයි

මේ පරිච්ඡේදයේ මූලික කරුණ

යෙහෝවා දෙවි ක්‍රමානුකූලව ඔහුගේ සෙනඟව සංවිධානය කරයි

1, 2. 1895 ජනවාරි ‘මුරටැඹ’ සඟරාවේ තිබුණු අලුත් වෙනස මොකක්ද? සහෝදරයන්ට ඒ ගැන හැඟුණේ කොහොමද?

බයිබල් ශිෂ්‍යයෙක් විදිහට උද්‍යෝගයෙන් සේවය කරපු සහෝදර ජෝන් ඒ. බෝනෙට් 1895 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාව අතට අරන් පුදුමයෙන් ඒ දිහා බලාගෙන හිටියා. සඟරාවේ මුල් පිටුවට අලුත් පෙනුමක් ඇවිල්ලා. ඒකේ තිබුණේ අඳුරු අහසට ආලෝකය විහිදුවන කැලඹුණු මුහුදක් ළඟ ශක්තිමත්ව තියෙන ප්‍රදීපාගාරයක්.

2 ඒ වෙනස ගැන සතුටු වුණු සහෝදර බෝනෙට් සහෝදර රසල්ට ලියපු ලියුමක මෙහෙම සඳහන් කළා. “මුරටැඹ සඟරාව මෙච්චර ලස්සනට තියෙන එක ගැන මට හරිම සතුටුයි.” තවත් විශ්වාසවන්ත බයිබල් ශිෂ්‍යයෙක් වුණු ජෝන් එච්. බ්‍රවුන් සහෝදර රසල්ට ඒ අලුත් වෙනස ගැන කිව්වේ මෙහෙමයි. “කුණාටුව සහ කැලඹුණු රළ පහර මැද වුණත් ප්‍රදීපාගාරය ශක්තිමත් අත්තිවාරමක් මත නොසෙල්වී තියෙන විදිහ හිතට කාවදිනවා.” ඒ අවුරුද්දේම නොවැම්බර් මාසයේදී තවත් ලොකු වෙනසක් වුණා. ඒ මොකක්ද?

3, 4. 1895 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ සඳහන් වුණේ මොන ප්‍රශ්නය ගැනද? ඒ සඟරාවේ සඳහන් වුණේ ඉක්මනින්ම කරන්න යන මොන වෙනස ගැනද?

3 1895 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ පළ වුණු ලිපියක බයිබල් ශිෂ්‍යයන් අතර තිබුණු ප්‍රශ්නයක් ගැන සඳහන් වුණා. ඒ තමයි සභාවේ නායකයා හැටියට කටයුතු කරන්න ඕනෙ කවුද කියන එක. ඒ ගැන ඒ කාලේ සහෝදරයන් නිතර නිතර වාද කරලා තියෙනවා. කැලඹුණු මුහුදේ රළ පහරවල් වගේ ආපු ඒ ප්‍රශ්න නිසා බයිබල් ශිෂ්‍යයන් අතර තිබුණු සමාදානයට ලොකු තර්ජනයක් ඇති වුණා. ඒ ප්‍රශ්නෙට විසඳුමක් ගේන්න නම් කරන්න ඕනෙ මොකක්ද කියන එක පැහැදිලි කරන්න ඒ ලිපියේ අපේ සංවිධානය නැවකට සමාන කරලා තිබුණා. මූලිකත්වය අරන් වැඩ කරපු අය දරුණු කුණාටුවලට ඔරොත්තු දෙන විදිහට සංවිධානය කියන නැව සූදානම් කරලා නැහැ කියලා ඒකේ සඳහන් වුණා.

4 හොඳ කපිතාන්වරයෙක් කුණාටුවක් ළඟ ළඟම එනවා කියලා දැක්කාම ඉක්මනින්ම නැවේ ඉන්න අයගේ ජීවිතය බේරගන්න ඕන කරන දේවල් ලෑස්ති කරලා ඒ අයව සූදානම් කරනවා කියලත් ඒ ලිපියේ සඳහන් වුණා. සංවිධානයේ මූලිකත්වය අරන් වැඩ කරපු අයටත් තිබුණේ ඒ වගේ වැඩක්. ඒ තමයි කුණාටු වගේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න සභාවේ අයව සූදානම් කරන එක. ඒ වෙනුවෙන් ඉක්මනින්ම කරන්න යන ලොකු වෙනසක් ගැන 1895 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම සඳහන් වුණා. “මින් ඉදිරියට රැළ ‘රැකබලා ගැනීමට’ හැම සභාවකම වැඩිමහල්ලන්ව පත් කරනවා.”—ක්‍රියා 20:28.

5. (අ) වැඩිමහල්ලන්ව පත් කරන්න ගත්ත පියවර හරි වෙලාවට සිද්ධ වුණු වෙනසක් කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

5 වැඩිමහල්ලන්ව පත් කරන සැලැස්ම සභාව සංවිධානය කරන්න ගත්ත වැදගත් පියවරක්. ඒක වුණේ හරිම වෙලාවෙදියි. ඒ නිසා පළවෙනි ලෝක මහා යුද්ධයත් එක්ක කැලඹුණු රළ පහරවල් වගේ ආපු පීඩාවලට හොඳින් මුහුණ දෙන්න සහෝදරයන්ට පුළුවන් වුණා. එදා ඉඳලා සංවිධානයේ තවත් වෙනස්කම් සිද්ධ වුණා. ඒ හැම වෙනසක්ම යෙහෝවා දෙවිට හොඳින් සේවය කරන්න සහෝදරයන්ට උදව් වෙලා තියෙනවා. සංවිධානයේ වෙලා තියෙන ඒ වගේ වෙනස්කම් නිසා ඉටු වෙලා තියෙන බයිබල් අනාවැකිය මොකක්ද? දෙවිගේ සෙනඟව හොඳින් සංවිධානය කරන්න, කරලා තියෙන සමහර වෙනස්කම් මොනවාද? ඒකෙන් ඔබට ලැබිලා තියෙන ප්‍රයෝජන මොනවාද? අපි දැන් ඒ ප්‍රශ්නවලට උත්තර බලමු.

‘සමාදානයෙන් කටයුතු කරන රැකබලා ගන්නන්ව පත් කරන්නෙමි’

6, 7. (අ) යෙසායා 60:17 සඳහන් වෙන පොරොන්දුවෙන් අදහස් වෙන්නේ මොකක්ද? (ආ) ඒ පොරොන්දුවේ “රැකබලා ගන්නන්” සහ “වැඩ පවරන්නන්” ගැන සඳහන් වෙන එකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද?

6 යෙහෝවා දෙවි තම සෙනඟව ගණනින් වැඩි කරන්න පොරොන්දු වෙලා තියෙන විදිහ ගැන අපි 9වෙනි පරිච්ඡේදයෙන් දැනගත්තා. (යෙසා. 60:22) හැබැයි ඔහු පොරොන්දු වෙලා තියෙන්නේ ඒක විතරක් නෙවෙයි. දෙවි මෙහෙමත් පොරොන්දු වෙලා තියෙනවා. “මම තඹ වෙනුවට රන්ද යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට තඹද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම ඔබව බලාගැනීමට සමාදානයෙන් හා ධර්මිෂ්ඨකමින් කටයුතු කරන රැකබලා ගන්නන්වද වැඩ පවරන්නන්වද පත් කරන්නෙමි.” (යෙසා. 60:17) ඒ පොරොන්දුවෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක අදට අදාළ වෙන්නේ කොහොමද?

දෙවි පොරොන්දු වෙන්නේ හොඳ අමුද්‍රව්‍යයක් වෙනුවට ඉස්තරම්ම වර්ගයේ අමුද්‍රව්‍යයක් ගෙනෙන එක ගැනයි

7 දෙවි පොරොන්දු වෙන්නේ නරක අමුද්‍රව්‍යයක් වෙනුවට හොඳ අමුද්‍රව්‍යයක් ගෙනෙන එක ගැන නෙවෙයි. ඒ වෙනුවට හොඳ අමුද්‍රව්‍යයක් වෙනුවට ඉස්තරම්ම වර්ගයේ අමුද්‍රව්‍යයක් ගෙනෙන එක ගැනයි. උදාහරණයකට තඹ වෙනුවට රන් ගෙනෙන එක ඒ වගේ වෙනසක්. ඒ පොරොන්දුවෙන් අපිට තේරෙනවා ඒ වෙනස ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක් කියලා. ඇත්තටම ඒක මොන විදිහේ වෙනසක්ද? ඒ පොරොන්දුවේම “රැකබලා ගන්නන්” සහ “වැඩ පවරන්නන්” ගැනත් කියලා තියෙනවා. එහෙමනම් ඒ වෙනස සෙනඟව රැකබලා ගන්න විදිහ සහ සංවිධානය කරන විදිහ ගැන වෙනසක් කියලා පැහැදිලියි.

8. (අ) යෙසායා පොතේ සඳහන් වෙන වෙනස්කම් කරන්නේ කවුද? (ආ) ඒ වෙනස්කම් නිසා අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? (“නිහතමානීව උපදෙස් පිළිගත්ත කෙනෙක් නිහතමානීව උපදෙස් පිළිගත්ත කෙනෙක්” යන කොටුවත් බලන්න.)

8 වෙනස්කම් කරලා සංවිධානය ඉදිරියටම ගෙනියන්නේ කවුද? යෙහෝවා දෙවි කියපු මේ දෙයින් ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. ‘මම රන්ද රිදීද ගෙනෙන්නෙමි. මම ඔබව බලාගැනීමට සමාදානයෙන් කටයුතු කරන රැකබලා ගන්නන්වද පත් කරන්නෙමි.’ එහෙමනම් සභාව හොඳින් සංවිධානය කරන්න අවශ්‍ය වෙනස්කම් කරන්නේ කිසිම මිනිසෙක් නෙවෙයි, යෙහෝවා දෙවියි. යේසුස් දෙවිගේ රාජ්‍යයේ රජ හැටියට පත් වුණාට පස්සේ ඔහු මාර්ගයෙන් යෙහෝවා දෙවි අවශ්‍ය වෙනස්කම් කරලා තියෙනවා. ඒ වෙනස්කම්වලින් අපිට ප්‍රයෝජන ලැබෙනවාද? ඔව්. ඒ පොරොන්දුවේ “සමාදානය” සහ “ධර්මිෂ්ඨකම” ගැනත් සඳහන් වෙනවා. යෙහෝවා දෙවි “සමාදානයේ” හා ධර්මිෂ්ඨකමේ දෙවි කෙනෙක් නිසා අපි ඔහුගේ මඟ පෙන්වීම් පිළි අරන් වෙනස්කම් කරද්දී අපි අතරත් සමාදානය සහ ධර්මිෂ්ඨකම තියෙනවා. (ෆිලි. 4:9) එතකොට සංවිධානය තවත් වර්ධනය වෙනවා.

9. සභාව හොඳින් සංවිධානය වෙන්නත් සභාවේ එක්සත්කම තියෙන්නත් වැදගත්ම දේ මොකක්ද? ඒ ඇයි?

9 “දෙවි අවුල්සහගත දෙවි කෙනෙකු නොව සමාදානයේ දෙවි කෙනෙක්” කියලා පාවුල් කිව්වා. (1 කොරි. 14:33) ඒ බයිබල් පදයේ අවුල්සහගත කියන වචනයේ විරුද්ධ පදය හැටියට පාවුල් සඳහන් කරලා තියෙන්නේ නිරවුල් හෝ පිළිවෙළ කියන වචනය නෙවෙයි. ඒ වෙනුවට සමාදානය කියන වචනයයි. පාවුල් එහෙම කියන්න හේතුව මොකක්ද? ඒක තේරුම්ගන්න මේ ගැන හිතන්න. යුධ සෙබළුන් කණ්ඩායමක් සැලැස්මකට අනුව හරිම පිළිවෙළින් යුධ බිමට ගියත් ඒකෙන් සමාදානයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔවුන් යන්නේ යුද්ධයකට. යම් දෙයක් පිළිවෙළකට වෙන නිසාම එතැන සමාදානයක් ඇති වෙන්නේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි. ඒ නිසා අපි මේ වැදගත් කාරණය මතක තියාගන්න ඕනේ. ඒ තමයි යම් සැලැස්මක් පිළිවෙළකට සිද්ධ වුණත් ඒක සමාදානය මුල් කරගෙන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වැඩි කල් තියෙන්නේ නැහැ කියන එක. දෙවිගෙන් ලැබෙන සමාදානය මුල් කරගෙන යම් සැලැස්මක් ක්‍රියාත්මක වෙද්දී ඒක හැමදාටම තියෙනවා. ඒ නිසා “සමාදානය ලබා දෙන දෙවි” අපිට මඟ පෙන්වලා සංවිධානයේ වෙනස්කම් කරන එක ගැන අපි කොච්චර සතුටු වෙන්න ඕනෙද! (රෝම 15:33) හැමෝටම ප්‍රයෝජන ලැබෙන විදිහට ලොව පුරාම තියෙන සභා හොඳින් සංවිධානය වෙලා තියෙන්නෙත් අපි එක්සත් සෙනඟක් විදිහට ඉන්නෙත් දෙවිගෙන් ලැබෙන සමාදානය නිසයි.—ගීතා. 29:11.

10. (අ) 19වෙනි සියවසේ ඉඳලා සංවිධානයේ සිද්ධ වෙලා තියෙන සමහර වැදගත් වෙනස්කම් මොනවාද? (“සභාව රැකබලා ගන්නා විදිහේ වුණු වෙනස්කම්” යන කොටුව බලන්න.) (ආ) අපි සලකා බලන ප්‍රශ්න මොනවාද?

10 19වෙනි සියවසේ ඉඳලා සංවිධානයේ සිද්ධ වෙලා තියෙන සමහර වැදගත් වෙනස්කම් ගැන “සභාව රැකබලා ගන්නා විදිහේ වුණු වෙනස්කම්” යන කොටුවේ සඳහන් වෙනවා. අපි දැන් මේ ප්‍රශ්නවලට උත්තර බලමු. මෑත කාලයේදී “තඹ වෙනුවට රන්” ගෙනෙනවා වගේ යෙහෝවා දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන් කරලා තියෙන සමහර වැදගත් වෙනස්කම් මොනවාද? සභාව රැකබලා ගන්න එක ගැන කරලා තියෙන වෙනස්කම් නිසා ලොව පුරාම තියෙන සභාවල සමාදානය හා එක්සත්කම වැඩි වෙලා තියෙන්නේ කොහොමද? “සමාදානයේ දෙවිට” තවත් හොඳින් සේවය කරන්න ඒ වෙනස්කම් ඔබට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

ක්‍රිස්තුස් සභාවට මඟ පෙන්වන විදිහ

11. (අ) බයිබලයට සම්බන්ධ තොරතුරු ගැන අධ්‍යයනය කරද්දී අවබෝධ වුණේ මොකක්ද? (ආ) පාලක මණ්ඩලයේ සහෝදරයන් කළේ මොකක්ද?

11 පාලක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 1964 ඉඳන් 1971 වෙන කල් බයිබලයට සම්බන්ධ තොරතුරු ගැඹුරින් අධ්‍යයනය කරන වැඩසටහනක් පටන්ගත්තා.a ඒ අධ්‍යයනයෙන් පළවෙනි සියවසේ ක්‍රිස්තියානි සභාව සංවිධානය වෙලා තිබුණු විදිහ ගැන තවත් හොඳින් අවබෝධ වුණා. ප්‍රතිඵලයක් විදිහට සභාව රැකබලා ගන්න ඕනෙ වැඩිමහල්ලන් මණ්ඩලයක් මිසක් තනි වැඩිමහල්ලෙක් නෙවෙයි කියලා පැහැදිලි වුණා. (ෆිලිප්පි 1:1; 1 තිමෝති 4:14 කියවන්න.) ඒක අවබෝධ වුණාම පාලක මණ්ඩලයේ සහෝදරයන්ට හොඳින්ම තේරුණා දෙවිගේ සෙනඟව තවත් හොඳින් සංවිධානය කරන්න තමන්ගේ රජ මඟ පෙන්වනවා කියලා. ඒ මඟ පෙන්වීමට කැමැත්තෙන්ම කීකරු වුණු ඒ අය ඉක්මනින්ම වැඩිමහල්ලන්ව පත් කරන එක ගැන ශුද්ධ ලියවිල්ලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්තා. ඒත් එක්කම 1970 ගණන්වල මුල්භාගයේ වැදගත් වෙනසක් සිද්ධ වුණා.

නිහතමානීව උපදෙස් පිළිගත්ත කෙනෙක්

ෆින්ලන්ත භාෂාවෙන් ප්‍රකාශයට පත් වුණු 1916 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ සහෝදර රසල්ගේ ලියුමක් පළ වුණා. ඒ ලියුම සහෝදර රසල් ස්කැන්ඩිනේවියාවේ හිටිය සහෝදරයන් කිහිපදෙනෙකුට ලියපු එකක්. ඒ අයගෙන් එක්කෙනෙක් තමයි සහෝදර කාලෝ හාර්ටවා. සහෝදර රසල් ඒ ලියුමේ මෙහෙම සඳහන් කරලා තිබුණා. “ආදරණීය සහෝදරයෙනි, සත්‍යයට ආපහු එන්න. මේ කාලයේ කරන්න තියෙන වැඩේට අවධානය දෙන්න.” සහෝදර රසල් ඒ වගේ ඉල්ලීමක් කළේ ඇයි?

කාලෝ හාර්ටවා

කාලෝ හාර්ටවා

1882දී ඉපදුණු සහෝදර හාර්ටවා ෆින්ලන්තයේ හිටිය මුල්ම බයිබල් ශිෂ්‍යයන්ගෙන් කෙනෙක්. එයා බව්තීස්ම වුණේ 1910 අප්‍රියෙල් මාසයේදියි. 1912දී සහෝදර රසල් ‘මුරටැඹ’ සඟරාව ෆින්ලන්ත භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන වගකීම සහෝදර හාර්ටවාට භාර දුන්නා. ටික කාලයක් ඒ වැඩේ හොඳින් සිද්ධ වුණත් පළවෙනි ලෝක මහා යුද්ධය පටන්ගත්තාට පස්සේ ‘මුරටැඹ’ සඟරාව ප්‍රකාශයට පත් කරන එක ලේසි වුණේ නැහැ. ඒ ගැන 1914 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ සහෝදර හාර්ටවා මෙහෙම දෙයක් සඳහන් කළා. “දැන් තියෙන අමාරු ආර්ථිකය නිසා . . . මේ අවුරුද්දේ සඟරාව සාමාන්‍ය විදිහට නියමිත පිටු ප්‍රමාණයෙන්ම ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙයි කියලා කියන්න බැහැ.” ඒත් මුදල් හොයාගන්න සහෝදර හාර්ටවා සහ තවත් කිහිපදෙනෙක් 1915දී අරරත් කියලා වෙනම සංගමයක් පිහිටෙව්වා. ඊටපස්සේ ඒ නමින්ම සඟරාවකුත් ප්‍රකාශයට පත් කළා.

සහෝදර හාර්ටවා එයාගේ මුළු අවධානයම දුන්නේ ඒ අලුත් සංගමයට සහ ඒකෙන් ප්‍රකාශයට පත් කරපු සඟරාවටයි. ඒ අතරතුරේ තවත් සහෝදරයෙක් තමයි ෆින්ලන්ත භාෂාවෙන් ප්‍රකාශයට පත් කරපු ‘මුරටැඹ’ සඟරාවේ සංස්කාරක විදිහට වැඩ කළේ. “අරරත්” කියන සඟරාවේ පළ වුණේ බයිබලයට සම්බන්ධ තොරතුරු විතරක් නෙවෙයි. ප්‍රතිකාර ක්‍රම ගැනත් එස්පරැන්ටෝ කියන අලුත් භාෂාව ගැනත් ඒ සඟරාවේ තොරතුරු පළ වුණා. වැඩි කාලයක් යන්න කලින් ඒ සඟරාව නිසා බයිබලයේ තියෙන සත්‍ය පණිවිඩයෙන් සහෝදරයන්ගේ හිත් වෙන පැත්තකට හැරුණා. සහෝදර රසල්ට ඒ අනතුර තේරුණ නිසා තමයි ඔහු සහෝදර හාර්ටවාගෙන් සහ අනිත් අයගෙන් හරිම ආදරෙන් ඉල්ලුවේ “සත්‍යයට ආපහු එන්න” කියලා.

සහෝදර හාර්ටවා ඒ ඉල්ලීම පිළිගත්තාද? ඔව්. සහෝදර රසල් ඔහුට එවපු ලියුම සහ ඒකට තමන්ගේ පිළිතුර ඔහු “අරරත්” සඟරාවේ පළ කළා. තමන් කරපු දේ ගැන සමාව ඉල්ලපු සහෝදර හාර්ටවා තමන්ගේ පිළිතුරට මේ ටිකත් එකතු කළා. “මගේ අතින් වුණු වරද නිවැරදි කරන්න මට පුළුවන් දේ මම කරනවා.” ඔහු ප්‍රකාශයට පත් කරපු අන්තිම “අරරත්” සඟරාවෙත් තමන් අතින් වුණු වරදට සමාව ඉල්ලලා ඔහු මෙහෙම සඳහන් කළා. “කාගෙවත් හිත් සත්‍ය පණිවිඩයෙන් වෙන පැත්තකට හරවන කිසිම දෙයක් නොකරන්න මම පොරොන්දු වෙනවා.” ඒ කාලේ හිටිය ඡන්දෙන් පත් වෙච්ච සමහර උඩඟු වැඩිමහල්ලන්ට වඩා ඔහු කොච්චර වෙනස්ද! ඔහු නිහතමානීව උපදෙස් පිළිගත්තා.

ටික කාලෙකට පස්සේ සහෝදර හාර්ටවා ෆින්ලන්ත භාෂාවෙන් පළ වුණු ‘මුරටැඹ’ සඟරාවේ සංස්කාරක විදිහටත් ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක විදිහටත් ආපහු වැඩ පටන්ගත්තා. ඔහු 1950 වෙන කල්ම තමන්ට ලැබුණු ඒ වගකීම් හොඳින් ඉටු කළා. සහෝදර හාර්ටවා 1957දී පොළොවේ ගත කරපු ජීවිතය අවසන් කරනකොටත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා. තම සේවකයන්ව පවිත්‍ර කරන්න රජ ඔවුන්ව නිවැරදි කරද්දී ඒවා නිහතමානීව පිළිගන්න අයට අනිවාර්යයෙන්ම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබන්න පුළුවන්.

12. (අ) පාලක මණ්ඩලයේ සිද්ධ වුණු වෙනස මොකක්ද? (ආ) අද පාලක මණ්ඩලය සංවිධානය වෙලා තියෙන විදිහ පැහැදිලි කරන්න. (“පාලක මණ්ඩලය දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ දේවල් බලාගන්න විදිහ” යන කොටුව බලන්න.)

12 මුල්ම වෙනස වුණේ පාලක මණ්ඩලයෙයි. ඒ වෙන කල්ම පාලක මණ්ඩලයේ සේවය කළේ “වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් පෙන්සිල්වේනියා” කියන සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු අභිෂේක ලත් සහෝදරයන් හත්දෙනාමයි. හැබැයි 1971දී වෙනසක් වුණා. ඒ අවුරුද්දේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් ගණන 11 වෙන කල් වැඩි කළා. ඒ වගේම පාලක මණ්ඩලයට අයිති නැති සහෝදරයන්වත් සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් විදිහට පත් කළා. පාලක මණ්ඩලයේ හැම කෙනෙක්ම අවුරුද්දකට වතාවක් මාරුවෙන් මාරුවට පාලක මණ්ඩලයේ සභාපති විදිහට කටයුතු කරන්න පටන්ගත්තා. පාලක මණ්ඩලයේ ඉන්න කිසිම කෙනෙක් හිතුවේ නැහැ තමන් පාලක මණ්ඩලයේ සේවය කරන අනිත් අයට වඩා උසස් කියලා.

13. (අ) 1932 ඉඳන් 1972 වෙන කල් සභාව රැකබලා ගන්න තිබුණු සැලැස්ම මොකක්ද? (ආ) 1972දී පාලක මණ්ඩලය කළේ මොකක්ද?

13 අනිත් වෙනස වුණේ සභාව සංවිධානය කරලා තියෙන විදිහට අදාළවයි. 1932 ඉඳන් 1972 වෙන කල් සභාව රැකබලා ගත්තේ එක සහෝදරයෙක් විතරයි. 1936ට කලින් ඒ වගකීම ඉටු කරපු සහෝදරයාට කිව්වේ සේවා අධ්‍යක්ෂක කියලයි. ඊටපස්සේ සභා සේවකයා විදිහටත් අන්තිමට සභාව රැකබලා ගන්නා කෙනා හැටියත් ඒ අයව හැඳින්නුවා. ඒ සහෝදරයන් සභාවේ හැම කෙනෙක් ගැනම හොයලා බැලුවා. ඒ කාලේ සභාව රැකබලා ගන්න වගකීම තිබුණු සහෝදරයා සභාවට අදාළ තීරණ ගත්තේ තනියෙන්මයි. හැබැයි 1972දී පාලක මණ්ඩලය වැදගත් වෙනසක් කළා. ඒ මොකක්ද?

14. (අ) 1972 ඔක්තෝබර් 1වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වුණු අලුත් සැලැස්ම මොකක්ද? (ආ) වැඩිමහල්ලන්ගේ මණ්ඩලයේ සම්බන්ධීකාරක විදිහට සේවය කරන සහෝදරයා ෆිලිප්පි 2:3 තියෙන දේ අදාළ කරගන්නේ කොහොමද?

14 තනි වැඩිමහල්ලෙක් සභාව රැකබලා ගන්නවා වෙනුවට ශුද්ධ ලියවිල්ලේ සඳහන් සුදුසුකම් තියෙන තවත් සහෝදරයන්වත් වැඩිමහල්ලන් විදිහට පත් කරන්න පටන්ගත්තා. ඒ අලුත් සැලැස්ම ක්‍රියාත්මක වුණේ 1972 ඔක්තෝබර් 1වෙනිදා ඉඳලයි. ඒ නිසා වැඩිමහල්ලන්ට පුළුවන් මණ්ඩලයක් විදිහට එකතු වෙලා සභාව රැකබලා ගන්න. සභාවක වැඩිමහල්ලන්ගේ මණ්ඩලයේ සම්බන්ධීකාරක විදිහට සේවය කරන සහෝදරයා හිතන්නේ නැහැ අනිත් වැඩිමහල්ලන්ට වඩා තමන් උසස් කියලා. ඒ වෙනුවට ඔහු “නිහතමානීව” සේවය කරනවා. (ලූක් 9:48) ඒ වගේ නිහතමානී වැඩිමහල්ලන් ලොව පුරාම තියෙන හැම සභාවකම ඉන්න සහෝදර සහෝදරියන්ට මොන තරම් ලොකු ආශීර්වාදයක්ද!—ෆිලි. 2:3.

අපේ රජ හරිම ප්‍රඥාවන්ත විදිහට නියමිත කාලයේදී තම අනුගාමිකයන්ව රැකබලා ගන්න එඬේරුන්ව පත් කරලා තියෙනවා

15. (අ) සභාව රැකබලා ගන්න වැඩිමහල්ලන් මණ්ඩලයක් පත් කරලා තියෙන නිසා ලැබෙන ප්‍රයෝජන මොනවාද? (ආ) අපේ රජ ප්‍රඥාවන්තව වැඩ කරලා තියෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

15 වැඩිමහල්ලන් කිහිපදෙනෙක් එකතු වෙලා මණ්ඩලයක් විදිහට සභාව රැකබලා ගන්න තියෙන සැලැස්ම නිසා සභාවට හුඟක් ප්‍රයෝජන ලැබිලා තියෙනවා. ප්‍රයෝජන තුනක් බලන්න. පළවෙනි සහ වැදගත්ම දේ තමයි සභාවේ හිස යේසුස් කියන එක මතකයේ තියාගන්න හැම වැඩිමහල්ලෙක්ටම ඒකෙන් පුළුවන් වෙන එක. (එෆී. 5:23) දෙවෙනි ප්‍රයෝජනය තමයි සභාවට බලපාන දේවල් ගැන මණ්ඩලයක් විදිහට සාකච්ඡා කරද්දී හැමෝගෙම අදහස් ලැබෙන නිසා බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට එකඟව තීරණ ගන්න පුළුවන් වෙන එක. (හිතෝ. 27:17) එහෙම තීරණ ගද්දී යෙහෝවා දෙවි ආශීර්වාද කරන නිසා සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. හිතෝපදේශ 15:22 කියන්නෙත් “උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි” කියලයි. තුන්වෙනි ප්‍රයෝජනය තමයි සුදුසුකම් තියෙන තවත් සහෝදරයන්ව වැඩිමහල්ලන් විදිහට පත් කළාම සභාවල ඉන්න අය ගණනින් වැඩි වුණත් ඒ අයව රැකබලා ගන්න පුළුවන් වෙන එක. (යෙසා. 60:3-5) ඒ වෙනස වෙලා තියෙන්නේ නියම වෙලාවටයි. මොකද 1971දී ලෝකෙ පුරාම තිබුණේ සභා 27,000ක් විතරයි. හැබැයි 2013 වෙද්දී සභා 1,13,000කටත් වඩා තිබුණා. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා අපේ රජ හරිම ප්‍රඥාවන්ත විදිහට නියම වෙලාවට තම අනුගාමිකයන්ව රැකබලා ගන්න එඬේරුන්ව පත් කරලා තියෙනවා කියලා.—මීකා 5:5.

සභාව රැකබලා ගන්නා විදිහේ වුණු වෙනස්කම්

  • 1881—එකට එකතු වෙලා දිගටම රැස්වීම් පවත්වන අයට රැස්වීම් පවත්වන තැන ගැන “වොච් ටවර්” කාර්යාලයට දන්වන්න කියලා සහෝදර රසල් දිරිගැන්නුවා. එහෙම කළේ ඒ පළාතේ ඉන්න අනිත් බයිබල් ශිෂ්‍යයන්ටත් ඒවාට හවුල් වෙන්න ඉඩ සලසන්නයි.

  • 1895—සහෝදරයන් අතරින් සුදුසුකම් තියෙන කෙනෙක්ව වැඩිමහල්ලෙක් හැටියට පත් කරන්න කියලා හැම සභාවකටම මඟ පෙන්වීම් දුන්නා.

  • 1919—ශාඛා කාර්යාලයෙන් හැම සභාවකම සේවා අධ්‍යක්ෂක හැටියට සේවය කරන්න සහෝදරයෙක්ව පත් කළා. එයාගේ වගකීම වුණේ දේශනා සේවය සංවිධානය කරන එක සහ ඒකට හවුල් වෙන්න අනිත් අයව දිරිගන්වන එක. හැබැයි සමහර වැඩිමහල්ලන් ඒ සැලැස්මට කැමති වුණේ නැහැ.

  • 1932—අවුරුද්දකට වතාවක් ඡන්දෙන් වැඩිමහල්ලෙක්ව පත් කරන සැලැස්ම අවලංගු වුණා. ඒ වෙනුවට සභාවේ අයට ඡන්දෙන් සේවා කමිටුවක් පත් කරන්න අවස්ථාව ලැබුණා. ඒ සේවා කමිටුවට පත් කරන්න ඕනෙ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නමට එකඟව දේශනා සේවයේ උනන්දුවෙන් හවුල් වුණු සහෝදරයන්වයි. ඒ අයගෙන් කෙනෙක්ව ශාඛා කාර්යාලය සේවා අධ්‍යක්ෂක විදිහට පත් කළා.

  • 1937—අභිෂේක ලත් සහෝදරයන්ට අමතරව මහත් සමූහයට අයිති සහෝදරයන්ටත් සභාවේ සේවා කමිටුවේ සේවය කරන්න අවස්ථාව ලැබුණා.

  • 1938—සභාවල ඡන්දෙන් සහෝදරයන්ව පත් කරන සැලැස්ම සම්පූර්ණයෙන්ම අවලංගු වුණා. ඒ වෙනුවට හැම සහෝදරයෙක්වම ශාඛා කාර්යාලයේ මඟ පෙන්වීම යටතේ පත් කරන්න පටන්ගත්තා.

දෙවිගේ සේවකයන්ව තවත් හොඳින් සංවිධානය කරන්න කරලා තියෙන වැදගත් දේවල් ගැන Jehovah’s Witnesses—Proclaimers of God’s Kingdom පොතේ 204-235 පිටුවල සඳහන් වෙනවා.

1920 ගණන්වලදී වාර්ෂිකව වැඩිමහල්ලන්ව ඡන්දයෙන් පත් කරන අවස්ථාවක්

“අපි සහෝදරයෙක්ව පත් කරන්න ඡන්දේ දුන්නේ දකුණු අත උඩට උස්සලයි. එතකොට කී දෙනෙක් අත උස්සනවාද කියලා සහෝදරයෙක් ගණන් කළා.”—ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝවල සහෝදරි රෝස් ස්වින්ගල්.

“රැළට ආදර්ශයක් වෙන්න”

16. (අ) වැඩිමහල්ලන්ට තියෙන වගකීම මොකක්ද? (ආ) “බැටළුවන්ව රැකබලා ගන්න” කියලා යේසුස් දුන්න ආඥාව ගැන බයිබල් ශිෂ්‍යයන්ට හැඟුණේ කොහොමද?

16 දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න සභාවේ හැම කෙනෙක්ටම උදව් කරන වගකීම තියෙන්නේ තමන්ටයි කියලා බයිබල් ශිෂ්‍යයන්ගේ කාලයේ ඉඳලම වැඩිමහල්ලන් තේරුම් අරන් හිටියා. (ගලාති 6:10 කියවන්න.) 1908 ‘මුරටැඹ’ සඟරාවක “මගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න” කියලා යේසුස් කියපු දේ ගැන සාකච්ඡා කරලා තිබුණා. (යොහ. 21:15-17) ඒ වගේම ඒ ලිපියේ වැඩිමහල්ලන්ට මේ උපදෙස දීලා තිබුණා. “රැළ රැකබලා ගන්න කියලා ස්වාමියා දීලා තියෙන ආඥාව අපිට කවදාවත් සුළුවට ගන්න බැහැ. ස්වාමීන්ගේ අනුගාමිකයන්ව පෝෂණය කරන්නත් රැකබලා ගන්නත් අපිට ලැබිලා තියෙන වගකීම වරප්‍රසාදයක් විදිහට සලකමු.” 1925 ‘මුරටැඹ’ සඟරාවක ඒ වගකීම ගැන ආපහු මේ විදිහට මතක් කරලා තිබුණා. “සභාව අයිති දෙවිටයි. . . . සභාවේ අයව රැකබලා ගන්න වගකීම තියෙන අය ඒ ගැන දෙවිට ගණන් දෙන්න ඕනේ.”

17. සභාවේ ඉන්න අයව හොඳින් රැකබලා ගන්න වැඩිමහල්ලන්ට උදව් වෙලා තියෙන්නේ මොනවාද?

17 යකඩ වෙනුවට රිදී ගේනවා වගේ සභාව රැකබලා ගන්න වගකීම තවත් හොඳින් කරන්න දෙවිගේ සංවිධානයෙන් වැඩිමහල්ලන්ව පුහුණු කරලා තියෙන්නේ කොහොමද? 1959දී පත් කළ සහෝදරයන් සඳහා පවත්වපු පාසැලේදී (වැඩිමහල්ලන්ට) “සභාවේ එක් එක් කෙනා ගැන සැලකිලිමත් වීම” කියන මාතෘකාවෙන් දේශනයක් ඉදිරිපත් කළා. ඒ වගේම “සභාවේ අයව ගෙවල්වලටම ගිහින් මුණගැහෙන්න හොඳ කාලසටහනක් හදාගන්න” කියලත් වැඩිමහල්ලන්ව දිරිගැන්නුවා. එහෙම ගියාම ඒ අයව දිරිගන්වන්න කරන්න පුළුවන් දේවල් ගැනත් සාකච්ඡා කළා. 1966දී පත් කළ සහෝදරයන් සඳහා පවත්වපු පාසැලේදී “සභාවේ අයව රැකබලා ගන්න එකේ තියෙන වැදගත්කම” ගැන සාකච්ඡා කළා. “දෙවිට අයිති රැළ ආදරෙන් රැකබලා ගන්න අතරතුර තමන්ගේ පවුලේ අයට සහ දේශනා සේවයට අවධානය දෙන එක අඩු කරන්න එපා” කියන වැදගත් කාරණයත් වැඩිමහල්ලන්ට කාවැද්දුවා. පහුගිය කාලයේදී වැඩිමහල්ලන් වෙනුවෙන් හුඟක් පාසැල් පවත්වලා තියෙනවා. ඒ විදිහට යෙහෝවා දෙවිගේ සංවිධානයෙන් දිගටම වැඩිමහල්ලන්ට හොඳ පුහුණුවක් දීලා තියෙන නිසා ලොව පුරාම තියෙන සභාවල ඉන්න අයව රැකබලා ගන්න දක්ෂ එඬේරුන් දහස් ගණනක් අද ඉන්නවා.

1966දී පත් කළ සහෝදරයන් සඳහා පිලිපීනයේ පවත්වපු පාසැලක්

1966දී පවත්වපු පත් කළ සහෝදරයන් සඳහා පාසැල

18. (අ) වැඩිමහල්ලන්ට විශ්වාසයෙන් භාර දීලා තියෙන බරපතළ වගකීම මොකක්ද? (ආ) යෙහෝවා දෙවිට සහ යේසුස්ට වැඩිමහල්ලන් ගැන ලොකු ආදරයක් තියෙන්නේ ඇයි?

18 සභාවේ අයව රැකබලා ගන්න වැඩිමහල්ලන්ව පත් කරන සැලැස්ම අපේ රජ මාර්ගයෙන් ඇති කළේ යෙහෝවා දෙවියි. මිනිස් ඉතිහාසයේ දරුණුම කාලපරිච්ඡේදය වන මේ කාලයේ තම බැටළුවන්ට මඟ පෙන්වන බරපතළ වගකීම ඔවුන්ට භාර දෙන්නයි ඔහු ඒක කළේ. (එෆී. 4:11, 12; 2 තිමෝ. 3:1) “ඔබට භාර දී ඇති දෙවිගේ රැළ රැකබලා ගන්න. . . . කැමැත්තෙන්ද . . . අවංක උනන්දුවකින්ද . . . රැළට ආදර්ශයක් වෙමින්ද එසේ කරන්න” කියන උපදෙස වෙහෙස මහන්සිය නොබලා සේවය කරන වැඩිමහල්ලන් පිළිපැදලා තියෙන නිසා යෙහෝවා දෙවිට සහ යේසුස්ට ඒ අය ගැන තියෙන්නේ ලොකු ආදරයක්. (1 පේතෘ. 5:2, 3) රැළ රැකබලා ගන්න එක අතින් වැඩිමහල්ලන් ආදර්ශයක් වෙලා තියෙන විදි හුඟක් තියෙනවා. ඒ අතරින් විදි දෙකක් ගැනත් සභාවේ සමාදානය සහ සතුට වැඩි කරන්න ඒ අය දායක වෙලා තියෙන විදිහ ගැනත් දැන් අපි බලමු.

“ඒක නම් හරිම පුදුමයි”

ආසියාවේ මිෂනාරි සේවය කරපු යුවළකට අවුරුදු ගාණක් තිස්සේ කිසිම වර්ධනයක් තිබුණේ නැති සභාවක සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒ සභාවේ සහෝදර සහෝදරියන් හරිම ප්‍රේමණීය වුණත් සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නේ නැහැ කියලා ඒ දෙන්නා තේරුම්ගත්තා. ඒ නිසා සභාවේ අයත් එක්ක හුඟක් හිතවත් වුණාට පස්සේ ඒ සහෝදරයා ටිකෙන් ටික උත්සාහ කළා අනිත් සභාවන් සංවිධානය වෙලා තියෙන විදිහටම ඒ සභාවත් සංවිධානය කරන්න. ප්‍රතිඵලයක් විදිහට අවුරුදු දෙකක් ඇතුළත රැස්වීම් එන අය දෙගුණයකින් වැඩි වුණා. අලුත් අයත් සේවයේ යන්න පටන්ගත්තා. 20දෙනෙකුට වඩා බව්තීස්මත් වුණා. ඒ යුවළ ඒ ගැන කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවි අපිට ආශීර්වාද කරලා තියෙන විදිහ හිතාගන්නවත් බැහැ! ඒක නම් හරිම පුදුමයි. දෙවිගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් අදාළ කරගත්තාම ලැබෙන ප්‍රතිඵල දැකලා සභාවේ හැමෝම සතුටු වුණා.”

වැඩිමහල්ලන් දෙවිගේ රැළ රැකබලා ගන්න විදිහ

19. අපිත් එක්ක දේශනා සේවයේ යන වැඩිමහල්ලන් ගැන අපිට හැඟෙන්නේ කොහොමද?

19 වැඩිමහල්ලන් රැළ රැකබලා ගන්න එක අතින් ආදර්ශයක් වෙලා තියෙන එක විදිහක් තමයි සභාවේ අයත් එක්ක සේවයේ හවුල් වෙන එක. යේසුස් ඒ දේ කළා. “දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට නුවරින් නුවරටත් ගමින් ගමටත් ගිය යේසුස් එය සෑම තැනම පතළ කළේය. ඔහුගේ මෙම ගමනට ගෝලයෝ දොළොස්දෙනාද . . . සහභාගි වූහ” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 8:1, 2) යේසුස් එදා නියෝජිතයන් එක්ක ශුභාරංචිය දේශනා කරන්න හවුල් වුණා වගේ අද ඉන්න වැඩිමහල්ලනුත් සභාවේ අයත් එක්ක එකතු වෙලා දේශනා සේවයේ හවුල් වෙනවා. ඒකෙන් සභාවේ හැම කෙනෙක්ම හුඟක් ප්‍රයෝජන ලබනවා. උදාහරණයකට අවුරුදු 80ක් වයස ජෙනීන් කියන සහෝදරිය කියපු දේ බලන්න. “වැඩිමහල්ලෙක් එක්ක සේවයේ යද්දී එයත් එක්ක කතාබහ කරලා එයාව හොඳට දැන අඳුන ගන්න පුළුවන්.” අවුරුදු 30 ගණන්වල ඉන්න ස්ටේවන් කියන සහෝදරයා මෙහෙම කිව්වා. “වැඩිමහල්ලන් එක්ක සේවයේ යද්දී ඒ අය පුළුවන් හැම විදිහෙන්ම මට උපකාර කරන්න උත්සාහ කරනවා. ඒක මට ලොකු සතුටක්.”

වැසි සහිත තද සුළං හමන රාත්‍රියක එඬේරෙක් අතරමං වූ බැටළුවාව සොයාගෙන

නැති වුණු බැටළුවාව හොයාගෙන යන එඬේරෙක් වගේ වැඩිමහල්ලනුත් සභාවෙන් ඈත් වෙලා ඉන්න අයව හොයන්න මහන්සි වෙනවා

20, 21. යේසුස් කියපු උපමාවේ ඉන්න එඬේරාව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න. (“නැති වුණු බැටළුවන් හොයාගෙන ගිය ගමනක්” යන කොටුවත් බලන්න.)

20 වැඩිමහල්ලන් රැළ රැකබලා ගන්න එක අතින් ආදර්ශයක් වෙලා තියෙන දෙවෙනි විදිහ තමයි රැස්වීම් එන්නේ නැතුව සභාවෙන් ඈත් වෙලා ඉන්න අය ගැන සැලකිලිමත් වෙන එක. (හෙබ්‍රෙ. 12:12) ඒ වගේ අයට වැඩිමහල්ලන් උදව් කරන්න ඕනෙ කොහොමද? නැති වුණු බැටළුවාව හොයාගෙන ගිය එඬේරා ගැන යේසුස් කියපු උපමාවෙන් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. (ලූක් 15:4-7 කියවන්න.) ඒ උපමාවේ සඳහන් වෙන විදිහට බැටළු රැළේ එක බැටළුවෙක් නැති වුණාම එඬේරා ඌව හොයාගන්න මහන්සි වෙන්නේ හරියට එයාට හිටිය එකම බැටළුවා නැති වුණා වගෙයි. අද ඉන්න වැඩිමහල්ලන් ඒ එඬේරාව ආදර්ශයට ගන්නේ කොහොමද? නැති වුණු බැටළුවා ගැන එඬේරාට ලොකු වටිනාකමක් තිබුණා. ඒ වගේ තමයි රැස්වීම් එන්නේ නැති දුර්වල තත්වයක ඉන්න අයව වැඩිමහල්ලන්ටත් හුඟක් වටිනවා. වැඩිමහල්ලන් ඒ වගේ අයව දකින්නේ නැති වුණු බැටළුවන් වගෙයි. එහෙම අයව හොයලා එයාලට උදව් කරන එක කාලය නාස්ති කරන වැඩක් කියලා එයාලා කවදාවත් හිතන්නේ නැහැ. උපමාවේ සඳහන් වෙන එඬේරා “නැති වූ බැටළුවාව සම්බ වන තුරු මහත් වෙහෙසක් දරා සොයන්න” පියවර ගත්තා වගේ වැඩිමහල්ලනුත් දුර්වල වෙලා ඉන්න අයට උදව් කරන්න මුල් පියවර අරන් වැඩ කරනවා.

21 නැති වුණු බැටළුවාව හොයාගත්තාට පස්සේ එඬේරා කරපු දේ ඔබට මතකද? ඒ එඬේරා හරිම ආදරෙන් බැටළුවා අතට අරන් ‘ඌව කරේ තියාගෙන’ ගිහින් ආපහු රැළට එකතු කළා. ඒ වගේ තමයි වැඩිමහල්ලනුත් දුර්වල වෙලා ඉන්න කෙනා ගැන හිතලා හරිම ආදරෙන් කතා කරද්දී ඒ කෙනා දිරිගැන්වෙනවා. ඒකෙන් සභාවේ අයත් එක්ක එකතු වෙලා ආපහු දෙවිට සේවය කරන්න එයා පෙලඹෙන්න පුළුවන්. කාලයක් පුරා රැස්වීම් යන්නේ නැතුව දුර්වල වෙලා හිටිය අප්‍රිකාවේ වික්ටර් කියන සහෝදරයාට වුණේ ඒකයි. එයා මෙහෙම කියනවා. “මම අවුරුදු අටක් තිස්සේ රැස්වීම්වලටවත් සේවයේවත් ගියේ නැහැ. ඒත් ඒ කාලේ පුරාම වැඩිමහල්ලන් මට උදව් කරන්න උත්සාහ කළා. එක දවසක් මාව බලන්න වැඩිමහල්ලෙක් ආවා. එයාගේ නම ජෝන්. මායි එයයි දෙන්නාම පුරෝගාමි පාසැලට ගියේ එකට. පාසැල තිබුණු දවස්වල ගත්ත ෆොටෝ වගයක් එයා මට ගෙනත් පෙන්නුවා. ඒවා බැලුවාම යෙහෝවා දෙවිට සතුටින් සේවය කරපු ඒ සුන්දර අතීතය මට ආපහු මතක් වුණා. ඒ කාලේ ආයෙත් එනවා නම් කොච්චර හොඳද කියලා මට හිතුණා.” සහෝදර ජෝන්, වික්ටර්ව මුණගැහිලා ටික දවසක් ගියාට පස්සේ එයා ආපහු සභාවට එන්න පටන්ගත්තා. දැන් එයා ආයෙත් පුරෝගාමියෙක් විදිහට සේවය කරනවා. රැළ ගැන සැලකිලිමත් එඬේරුන් අපේ සතුටට කොච්චර දායක වෙනවාද කියලා ඒකෙන් පැහැදිලියි.—2 කොරි. 1:24.b

දෙවිට සේවය කරන එක නතර කර තිබෙන කෙනෙකුව දිරිගැන්වීමට ගොස් සිටින සහෝදරයන් දෙදෙනෙක්

නැති වුණු බැටළුවන් හොයාගෙන ගිය ගමනක්

නැති වුණු බැටළුවන් වගේ සභාවෙන් ඈත් වෙලා ඉන්න අයට උදව් කරන්න එක්සත් ජනපදයේ එක සභාවක හිටපු වැඩිමහල්ලන්ට ඕන වුණා. ඒ ගැන කතාබහ කරද්දී ඒ අයට තේරුණා අවුරුදු ගාණකට කලින් යෙහෝවා දෙවිට සේවය කරන එක නතර කරපු 30දෙනෙක් විතර තාමත් සභාවට අයිති ප්‍රදේශයේම ජීවත් වෙනවා කියලා. ඒ වෙද්දී ඒ අයගෙන් වැඩිදෙනෙක් වයසටත් ගිහින්.

ඇල්ෆ්‍රෙඩෝ කියන වැඩිමහල්ලා ඒ අයගේ නම් ලැයිස්තුවක් හදාගෙන හැම සිකුරාදාම උදේ වරුවේ ඒ අයව හොයාගෙන ගියා. එයාලව මුණගැහුණාම ඒ සහෝදරයා හරිම ආදරෙන් ඒ අය එක්ක කතාබහ කරලා දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් ඒ අය මහන්සි වෙලා කරපු සේවය සභාවේ අයට අමතක වෙලා නැහැ කියලා කියනවා. ඒ වගේ එක සිද්ධියක් ගැන ඇල්ෆ්‍රෙඩෝ මතක් කළේ මෙහෙමයි. “සභාවට එන්නේ නැතුව හිටපු එක සහෝදරයෙක්ව මම දවසක් බලන්න ගියා. එයා ටිකක් වයසයි. එයත් එක්ක කතා කරද්දී 1976 එයාගේ අන්තිම සේවා වාර්තාවේ කොච්චර පැය ගණනක් සහ සඟරා ගණනක් එයා වාර්තා කරලා තිබුණාද කියලා මම එයාට කිව්වා. එතකොට ඒ සහෝදරයාගේ ඇස්වල කඳුළු පිරුණා.” සභාවෙන් ඈත් වෙලා ඉන්න අයව බලන්න ගියාම ඇල්ෆ්‍රෙඩෝ ඒ අයත් එක්ක ලූක් 15:4-7 සහ 10 කියවලා මෙහෙම කියනවා. “නැති වුණු බැටළුවෙක් සභාවට ආවාම මොකද වෙන්නේ කියලා හිතන්න. යෙහෝවා දෙවි, යේසුස් සහ දේවදූතයන් ඒ ගැන හුඟක් සතුටු වෙනවා. ඒක කොයි තරම් වටින දෙයක්ද!”

පහුගිය අවුරුදු දෙක පුරාම ඇල්ෆ්‍රෙඩෝ සභාවෙන් ඈත් වෙලා ඉන්න අයව මුණගැහෙන්න ගිහින් තියෙනවා. ලොකු උත්සාහයක් දරලා එයා කරන මේ වැඩෙන් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවාද? ඔව්. දැන් ඒ වගේ සහෝදරයන් දෙන්නෙක් ආපහු සභාවට එනවා. ඒ දෙන්නා දිගටම ඉරිදා රැස්වීම්වලට හවුල් වෙනවා. ඇල්ෆ්‍රෙඩෝට ඒ ගැන හුඟක් සතුටුයි. එයා මෙහෙම කිව්වා. “ඒ අය නමස්කාර මධ්‍යස්ථානයට ඇතුල් වෙද්දී දැනුණ සතුට නිසා මට ඇඬුණා. දැන් එයාලා රැස්වීම්වලට එනවා වුණත් මම තාමත් හැම සිකුරාදාම ඒ අයව බලන්න යනවා. මොකද එයාලා හරි ආසයි මම එයාලව බලන්න එනවාට. ඒ වගේම මාත් ආසයි එයාලව බලන්න යන්න.”

දෙවිගේ සෙනඟ අතර තියෙන එක්සත්කම වැඩි වෙයි

22. ධර්මිෂ්ඨකම සහ සමාදානය නිසා දෙවිගේ සෙනඟ අතර තියෙන එක්සත්කම වැඩි වෙලා තියෙන්නේ කොහොමද? (“ඒක නම් හරිම පුදුමයි” යන කොටුවත් බලන්න.)

22 යෙහෝවා දෙවි තම සෙනඟ අතරේ ධර්මිෂ්ඨකම සහ සමාදානය වැඩි කරන්න පොරොන්දු වෙලා තියෙනවා. (යෙසා. 60:17) ධර්මිෂ්ඨකම සහ සමාදානය නිසා දෙවිගේ සෙනඟ අතර තියෙන එක්සත්කම තවත් වැඩි වෙලා තියෙනවා. ධර්මිෂ්ඨකම නිසා අපේ එක්සත්කම වැඩි වෙලා තියෙන්නේ කොහොමද? බයිබලයේ කියනවා “යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි” කියලා. (ද්වි. 6:4) ඒ නිසා රටින් රටට සභාවෙන් සභාවට යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති වෙනස් වෙන්නේ නැහැ. හරි දේ සහ වැරදි දේ ගැන දෙවිගේ ප්‍රමිති “ශුද්ධ තැනැත්තන් සිටින සෑම සභාවකම” එක හා සමානයි. (1 කොරි. 14:33) දෙවිගේ ප්‍රමිති අදාළ කරගන්න හැම සභාවකටම හුඟක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. සමාදානය නිසාත් අපේ එක්සත්කම වැඩි වෙලා තියෙනවා. සභාවේ තියෙන සමාදානය නිසා අපි ඉන්නේ හරිම සතුටින්. ඒත් ඒක විතරක් මදි. අපි එක් එක් කෙනා “සාමය ඇති කිරීමට වෙහෙසෙන අය” වෙන්නත් ඕනේ. (මතෙ. 5:9) ඒක අපේ රජ අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා “සමාදානයට දායක වන දේවල් . . . කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු.” සමහර වෙලාවට අපි අතර ප්‍රශ්න ඇති වුණත් ඒවා ඉක්මනින්ම විසඳගන්න පියවර ගමු. (රෝම 14:19) ඒ විදිහට වැඩ කරද්දී සභාවේ සාමය සහ එක්සත්කම තවත් වැඩි කරන්න අපිට පුළුවන්.—යෙසා. 60:18.

23. යෙහෝවා දෙවිගේ සේවකයන් හැටියට අපිට සතුටු වෙන්න තියෙන හේතුව මොකක්ද?

23 මූලිකත්වය අරන් වැඩ කරපු සහෝදරයන් 1895 නොවැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ හැම සභාවකටම වැඩිමහල්ලෙක් පත් කරනවා කියලා කියන ගමන්ම ඒ වෙනසත් එක්ක බලාපොරොත්තු වුණේ මොනවාද කියලත් සඳහන් කළා. ඒ සහෝදරයන් බලාපොරොත්තු වුණෙත් දෙවිට යාච්ඤා කළෙත් සංවිධානයේ වුණු ඒ වෙනස නිසා “එක්සත්ව දෙවිට නමස්කාර කරන්න” දෙවිගේ සෙනඟට පුළුවන් වෙන්න ඕනෙ කියලයි. පහුගිය දශක ගණනාව පුරා යෙහෝවා දෙවි අපේ රජ මාර්ගයෙන් ක්‍රමානුකූලව සභාව රැකබලා ගන්නා විදිහට අදාළව වෙනස්කම් කරලා තියෙනවා. ඒ නිසා එක්සත්ව දෙවිට නමස්කාර කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. (ගීතා. 99:4) ඒක අපිට මොන තරම් ලොකු සතුටක්ද! අද ලොව පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සෙනඟට එකම විදිහට කටයුතු කරමින් ‘එකම ආකල්පයකින්’ සහ “එක්සත්කමින්” “සමාදානයේ දෙවිට” සතුටින් සේවය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි.—2 කොරි. 12:18; ශෙපනියා 3:9 කියවන්න.

a ඒ අධ්‍යයනයෙන් හොයාගත්ත තොරතුරු ඇතුළත් කරලා ඉංග්‍රීසි භාෂාවෙන් ‘බයිබලය තේරුම්ගැනීමට අත්වැලක්’ කියන පොත ප්‍රකාශයට පත් වුණා.

b 2013 ජනවාරි 15 ‘මුරටැඹ’ සඟරාවේ 27-31 පිටුවල සඳහන් “අපේ සතුට ගැන හිතන වැඩිමහල්ලන්” යන ලිපිය බලන්න.

දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?

  • දෙවිගේ රාජ්‍යයෙන් සංවිධානයේ කරලා තියෙන සමහර වැදගත් වෙනස්කම් මොනවාද?

  • සභාව රැකබලා ගන්න විදිහට අදාළව කරලා තියෙන වෙනස්කම් නිසා “සමාදානයේ දෙවිට” තවත් හොඳින් සේවය කරන්න ඔබට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

  • ඔබේ සතුටට බලපාලා තියෙන්නේ වැඩිමහල්ලෙක් කියපු හෝ කරපු මොන වගේ දේවල්ද?

  • සභාවේ සමාදානය සහ එක්සත්කම තවත් වැඩි කරන්න ඔබට පුළුවන් කොහොමද?

පාලක මණ්ඩලයේ කමිටුවක සාමාජිකයන් සහ ඒකට උපකාර කරන සහෝදරයන් එකට රැස් වෙලා ඉන්නවා

පාලක මණ්ඩලය දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ දේවල් බලාගන්න විදිහ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සේවය කරන්නේ අභිෂේක ලත් සහෝදරයන් කිහිපදෙනෙක්. ඒ අය එක කණ්ඩායමක් විදිහට වැඩ කරද්දී “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට එයාලව හඳුන්වනවා. ඒ අයගේ වගකීම් අතරට දෙවිගේ සෙනඟව දේවවචනයෙන් පෝෂණය කරන එක, මඟ පෙන්වීම් දෙන එක සහ පොළොව පුරා සිද්ධ වෙන ශුභාරංචිය දේශනා කරන වැඩකටයුතු බලාගන්න එක අයිති වෙනවා.—මතෙ. 24:14, 45-47.

සතියකට වතාවක් පාලක මණ්ඩලයේ සහෝදරයන් එකට එකතු වෙලා රැස්වීමක් පවත්වනවා. හුඟක් වෙලාවට ඒ රැස්වීම තියෙන්නේ බදාදාට. ඒ විදිහට රැස් වෙන එක එක්සත්ව වැඩ කරන්න ඒ අයට උදව් වෙනවා. (ගීතා. 133:1) පාලක මණ්ඩලයේ සේවය කරන මේ සහෝදරයන් විවිධ කමිටුවලත් සේවය කරනවා. දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ මේ පොළොවේ තියෙන දේවල් බලාගන්න ඒ හැම කමිටුවකින්ම ලොකු වැඩ කොටසක් සිද්ධ වෙනවා. ඒ ගැන දැන් අපි බලමු.

  • ලොව පුරා සිටින සහෝදරයන්ට උපකාර ලබා දෙන්න සහෝදරයන් දෙන්නෙක් අවශ්‍ය කටයුතු සැලසුම් කරමින්

    සම්බන්ධීකාරකයන්ගේ කමිටුව

    මේ කමිටුවේ සේවය කරන සහෝදරයන් තමයි නීතිමය කාරණා බලාගන්නේ. ඒ වගේම ජනමාධ්‍යයෙන් අපේ විශ්වාසයන් ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන්න වෙන අවස්ථාවලදී ඒවා බලාගන්නෙත් ඒ අයමයි. ඒ වගේම ලෝකයේ ඕනම තැනක ඉන්න සාක්ෂිකරුවන් ස්වාභාවික විපත්, විරුද්ධවාදිකම් සහ වෙනත් හදිසි තත්වයකට මුහුණ දෙනකොට ඒ අයට ඕන කරන උපකාර සැලසුම් කරන්නෙත් මේ කමිටුවෙන්.

  • බෙතෙල් සේවකයන් විවිධ පැවරුම් ඉටු කරමින්

    බෙතෙල් කමිටුව

    ලොව පුරාම ඉන්න බෙතෙල් පවුලේ සාමාජිකයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් දේවල් සැලසුම් කරන්නේ මේ කමිටුවයි. බෙතෙල් පවුලට අලුතින් සහෝදර සහෝදරියන් බඳවාගන්න එක වගේම බෙතෙල් සේවය හා සම්බන්ධ ප්‍රශ්න විසඳන එක මේ කමිටුවෙන් සිද්ධ වෙනවා.

  • බෙතෙල් සේවකයෙක් බයිබල් පොත් පත් මුද්‍රණය කරන්නත් ඒවා නැව්ගත කරන්නත් හවුල් වෙමින්

    ප්‍රකාශන කමිටුව

    පොත් පත්, සඟරා මුද්‍රණය කරන එක සහ ඒවා ලොව පුරා බෙදාහරින එක බලාගන්නේ මේ කමිටුවයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අයිති විවිධ නීත්‍යනුකූල ආයතන භාරයේ තියෙන මුද්‍රණාල, ගොඩනැඟිලි සහ තවත් දේපොළ බලාගන්නෙත් මේ කමිටුවෙන්. ලොව පුරාම කරන ඉදි කිරීම් වැඩකටයුතු සහ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන වැඩකටයුතු බලාගන්නෙත් ශුභාරංචිය දේශනා කරන කටයුතු වෙනුවෙන් ලැබෙන පරිත්‍යාග හොඳින් පාවිච්චි කරන විදිහ සැලසුම් කරන්නෙත් මේ කමිටුවයි.

  • සහෝදරයෙක් මේසයක් ළඟින් ඉඳගෙන යම් තොරතුරු සූදානම් වෙමින්

    සේවා කමිටුව

    ලොව පුරා කරන දේශනා සේවයට අදාළ හැම දෙයක්ම බලාගන්නේ මේ කමිටුවේ සේවය කරන සහෝදරයන්. ලොව පුරාම තියෙන සභාවන්වලට බලපාන දේවල් බලන්නෙත් මේ කමිටුවෙන්. ප්‍රචාරකයන්ට, පුරෝගාමීන්ට, වැඩිමහල්ලන්ට, සංචාරක සේවකයන්ට සහ මිෂනාරි සේවකයන්ට මඟ පෙන්වීම් දෙන්නෙත් මේ කමිටුවයි. ඒ වගේම රෝහල් සබඳතා කමිටුවලටත් මඟ පෙන්වීම් දෙනවා.

  • සහෝදරයෙක් දේශනයක් දෙමින්

    ඉගැන්වීම් කමිටුව

    සමුළුවලදී සහ සභා රැස්වීම්වලදී ඉදිරිපත් කරන තොරතුරු සැලසුම් කරන්නේ මේ කමිටුවයි. මේ කමිටුවෙන් ගිලියද් පාසැල, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල, පුරෝගාමි පාසැල සහ තවත් පාසැල්වලට අදාළ විෂය මාලාව සකස් කරනවා. ඒ වගේම ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතට’ ඇතුළත් කරන තොරතුරු තීරණය කරන්නෙත් ඕඩියෝ සහ වීඩියෝ වැඩසටහන් සම්බන්ධ වැඩකටයුතු බලාගන්නෙත් මේ කමිටුවෙන්.

  • මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන්වලින් තිබෙන ප්‍රකාශන ඇතුළු jw.org වෙබ් අඩවියේ ලාංඡනය

    ලේඛන කමිටුව

    සාක්ෂිකරුවන්ට හා මහජනයාට මුද්‍රිත මාධ්‍යයෙන් සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් බයිබලය මත පදනම් තොරතුරු ලබා දෙන කටයුතු සිද්ධ කරන්නේ මේ කමිටුවෙන්. සංවිධානයේ නිල වෙබ් අඩවියේ කටයුතුවලට වගේම ලෝක ව්‍යාප්තව සිද්ධ කරන පරිවර්තන කටයුතුවලට මඟ පෙන්වීම් ලබා දෙන්නෙත් මේ කමිටුවයි. ඒ වගේම ප්‍රකාශනවල ඉදිරිපත් කරලා තියෙන සමහර අදහස් ගැනත් බයිබලයේ තියෙන සමහර තොරතුරු ගැනත් අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ මේ කමිටුවයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න