13වෙනි පරිච්ඡේදය
ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් අධිකරණයේ පෙනී සිටියි
1, 2. (අ) දේශනා සේවය නතර කරන්න උත්සාහ කරපු ආගමික නායකයන් කළේ මොනවාද? නියෝජිතයන් කළේ මොනවාද? (ආ) දේශනා සේවය තහනම් කළත් නියෝජිතයන් සේවය නතර කළේ නැත්තේ ඇයි?
ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමේ ක්‍රිස්තියානි සභාව පිහිටුවලා වැඩි කාලයක් යන්න කලින් සාතන් සභාවට විරුද්ධව ක්‍රියා කරන්න පටන්ගත්තා. ඔහුට ඕන වුණේ සභාව ශක්තිමත් වෙන්න කලින් ඒක විනාශ කරලා දාන්නයි. ඒ නිසා ආගමික නායකයන් මාර්ගයෙන් ශුභාරංචිය දේශනා කරන එක නතර කරන්න ඔහු උත්සාහ කළා. ඒත් යේසුස්ගේ නියෝජිතයන් නිර්භීතව දේශනා සේවය දිගටම කරපු නිසා ස්ත්‍රීන් සහ පුරුෂයන් හුඟදෙනෙක් “ස්වාමීන්ව විශ්වාස කරන්න” පටන්ගත්තා.—ක්‍රියා 4:18, 33; 5:14.
“යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද කියා සිතමින්” නියෝජිතයන් සතුටු වුණා
2 විරුද්ධවාදීන් ආයෙත් වතාවක් නියෝජිතයන්ට පීඩා කළා. මේ වතාවේදී ඔවුන් නියෝජිතයන් හැමෝවම හිරේ දැම්මා. හැබැයි යෙහෝවා දෙවි දේවදූතයෙක් මාර්ගයෙන් හිරගෙදර දොරවල් ඇරිය නිසා ඒ අය නිදහස් වෙලා ගිහින් පහුවෙනිදා උදෙන්ම ආයෙත් දේශනා කරන්න පටන්ගත්තා. ඒ නිසා විරුද්ධවාදීන් ඒ අයව පාලකයන් ළඟට අරන් ගියා. සේවය තහනම් කරලා තියෙද්දීත් ඒ දේ කරන්නේ ඇයි කියලා ඔවුන්ගෙන් ප්‍රශ්න කළාම ඔවුන් නිර්භීතව මෙහෙම කිව්වා. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.” ඒ ගැන පාලකයන්ට කොයි තරම් කේන්ති ගියාද කියනවා නම් “නියෝජිතයන්ව මරා දැමීමට” ඒ අය උත්සාහ කළා. හැබැයි නොහිතපු විදිහට හැමෝම හුඟක් ගෞරවයෙන් සලකපු නීතිය ගැන ඉගැන්නුව ගමාලියෙල් පාලකයන්ට මෙහෙම කිව්වා. “මේ මිනිසුන්ට ඔබ කරන්න සිතාගෙන සිටින දේ ගැන පරෙස්සම් වෙන්න. . . . මේ මිනිසුන්ගේ වැඩකටයුතුවලට මැදිහත් වෙන්න එපා. පවතින තත්වයට අනුව ඔවුන්ට ඉන්න ඉඩහරින්න.” ඒ නිසා පාලකයන් නියෝජිතයන්ව නිදහස් කළා. මොන දේ වුණත් නියෝජිතයන් “යේසුස් පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය නතර කළේ නැහැ.”—ක්‍රියා 5:17-21, 27-42; හිතෝ. 21:1, 30.
3, 4. (අ) දේශනා සේවය නතර කරන්න සාතන් කාලයක් තිස්සේ යොදාගෙන තියෙන ක්‍රමය මොකක්ද? (ආ) මේ පරිච්ඡේදයෙන් සහ ඊළඟ පරිච්ඡේද දෙකෙන් අපි බලන්නේ මොනවා ගැනද?
3 ක්‍රි.ව. 33දී නියෝජිතයන්ට විරුද්ධව පවත්වපු ඒ නඩු විභාගය බලධාරීන් ක්‍රිස්තියානි සභාවට විරුද්ධව ක්‍රියා කරපු මුල්ම වතාව හැටියට හඳුන්වන්න පුළුවන්. හැබැයි විරුද්ධවාදීන් එතැනින් නතර වුණේ නැහැ. (ක්‍රියා 4:5-8; 16:20; 17:6, 7) විරුද්ධවාදීන් මාර්ගයෙන් බලධාරීන්ව පොලඹවලා දේශනා සේවය නතර කරන්න සාතන් දැනටත් උත්සාහ කරනවා. දෙවිගේ සෙනඟ සාමයට බාධා කරනවා, ආණ්ඩුවට විරුද්ධව දේවල් ප්‍රචාරය කරනවා සහ ගෙවල් ගානේ ගිහින් පොත් පත් විකුණලා ලාභ උපයනවා කියලා විරුද්ධවාදීන් දෙවිගේ සෙනඟ ගැන බොරු චෝදනා නඟලා තියෙනවා. ඒවා බොරු කියලා ඔප්පු කරන්න අපේ සහෝදරයන් සුදුසුම අවස්ථාවලදී අධිකරණයට ගිහින් තියෙනවා. ඒ නඩු විභාගවල ප්‍රතිඵල මොනවාද? අවුරුදු ගණනාවකට කලින් ලැබිලා තියෙන අධිකරණ තීන්දු අද ඔබට බලපාන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න අපි දැන් නඩු විභාග කිහිපයක් ගැන බලමු. “ශුභාරංචිය වෙනුවෙන් කතා කර එය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීමට” ඒවා දායක වෙලා තියෙන විදිහ එතකොට අපිට පැහැදිලි වෙයි.—ෆිලි. 1:7.
4 අපි මේ පරිච්ඡේදයෙන් මූලිකවම බලන්නේ සේවය කරන්න අපිට තියෙන අයිතිය රැකගන්න කරලා තියෙන දේවල් ගැනයි. මේ ලෝකයේ කොටසක් නොවී දෙවිගේ රාජ්‍යයට පක්ෂපාතව ජීවත් වෙන්න අපි අරන් තියෙන නීතිමය පියවර ගැන ඊළඟ පරිච්ඡේද දෙකෙන් දැනගන්න පුළුවන්.
ප්‍රශ්න ඇති කරන අයද දෙවිගේ රාජ්‍යය ගැන ප්‍රකාශ කරන අයද?
5. 1930 අගභාගයේදී සාක්ෂිකරුවන්ව අත්අඩංගුවට ගත්තේ ඇයි? මූලිකත්වය අරන් වැඩ කරපු අය කරන්න හිතුවේ මොකක්ද?
5 1930 අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දේශනා සේවයේ යන්න බලපත්‍රයක් ගන්න කියලා රජයෙන් නියෝග කළා. හැබැයි ඕනෙම වෙලාවක ඒ බලපත්‍රය අවලංගු කරලා සේවය තහනම් කරන්න රජයට පුළුවන් කියලා සහෝදරයන් දැනගෙන හිටියා. ඒ වගේම ශුභාරංචිය දේශනා කරන්න යේසුස් දීලා තියෙන අණට බාධා කරන්න කිසිම රජයකට අයිතියක් නැහැ කියලත් ඒ අය දැනගෙන හිටියා. ඒ නිසා සහෝදරයන් බලපත්‍රය ගත්තේ නැහැ. (මාක් 13:10) ප්‍රතිඵලයක් විදිහට සේවයේ හවුල් වුණු සිය ගණනක්ව අත්අඩංගුවට ගත්තා. ඒ නිසා සංවිධානයේ මූලිකත්වය අරන් වැඩ කරපු අය නීතිමය පියවර ගන්න හිතුවා. ඒ අයට ඕන වුණේ සාක්ෂිකරුවන්ට නිදහසේ ආගමික කටයුතුවලට හවුල් වෙන්න තියෙන අයිතියට රජයෙන් බාධා කරලා තියෙනවා කියලා පෙන්වන්නයි. ඒ කාලෙදීම හරිම වැදගත් නඩුවකට මඟ පෑදුව සිද්ධියක් 1938දී සිද්ධ වුණා. ඒකෙන් සාක්ෂිකරුවන් අදටත් ප්‍රයෝජන ලබනවා. ඒ ගැන දැන් බලමු.
6, 7. කැන්ට්වෙල් පවුලේ අයට සිද්ධ වුණේ මොනවාද?
6 1938 අප්‍රියෙල් 26වෙනිදා අවුරුදු 60ක් වයස නිව්ටන් කැන්ට්වෙල් ඔහුගේ බිරිඳ වුණු එස්ටර් සහ පුත්තු තුන්දෙනා වුණු හෙන්රි, රසල් සහ ජෙසී එක්ක කනෙටිකට්වල නිව් හෙවන් කියන ප්‍රදේශයේ සේවයේ ගියා. ඒ හැමෝම විශේෂ පුරෝගාමීන්. සේවයේ යද්දී කිහිප සැරයක්ම ඒ අයව අත්අඩංගුවට අරන් තිබුණු නිසා සමහරවිට එදත් ඒ අයව අත්අඩංගුවට ගනියි කියලා ඒ අය හිතුවා. මොනවාවුණත් සේවයේ යන්න තිබුණු උනන්දුව නම් අඩු වෙලා තිබුණේ නැහැ. නිව්ටන් එක වාහනයක පවුලේ කට්ටියත් එක්ක පොත් පත් සහ තැටි වාදන යන්ත්‍ර අරන් ගියා. අවුරුදු 22ක් වයස හෙන්රි ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කරලා තිබුණු අනිත් වාහනෙන් ගියා. හැබැයි සේවය පටන් අරන් පැය කිහිපයක් යද්දී පොලිසියෙන් ඒ අයව නතර කළා.
7 මුලින්ම අත්අඩංගුවට ගත්තේ අවුරුදු 18ක් වයස රසල්ව. ඊටපස්සේ නිව්ටන්වත් එස්ටර්වත් අත්අඩංගුවට ගත්තා. අවුරුදු 16ක් වයස ජෙසී ඈත ඉඳන් ඒ දිහා බලන් හිටියා. හෙන්රි හිටියේ වෙන තැනක නිසා ජෙසී තනි වුණා. හැබැයි ඔහු තැටි වාදන යන්ත්‍රය පාවිච්චි කරලා දිගටම දේශනා කළා. “සතුරන්” කියන මාතෘකාව යටතේ සහෝදර රදෆර්ඩ්ගේ දේශනයකට ඇහුම්කන් දෙන්න කතෝලික ආගමේ මිනිසුන් දෙන්නෙක් කැමති වෙලා තියෙනවා. හැබැයි ඒක අහගෙන ඉද්දී ඒ දෙන්නාට හොඳටම කේන්ති ගිහින් ජෙසීට ගහන්න හදලා තියෙනවා. ඒත් ජෙසී සන්සුන් විදිහට එතැනින් පිට වෙලා ගිහින්. වැඩි වෙලාවක් යන්න කලින් පොලිසියෙන් ජෙසීවත් අත්අඩංගුවට ගත්තා. සහෝදරි කැන්ට්වෙල්ට පොලිසියෙන් කිසිම චෝදනාවක් කළේ නැහැ. ඒත් සහෝදර කැන්ට්වෙල්ටත් පුත්තු තුන්දෙනාටත් චෝදනා එල්ල වුණා. එදාම ඒ අයව ඇප පිට නිදහස් කළා.
8. ජෙසී කැන්ට්වෙල් සාමය කඩ කළා කියලා අධිකරණය චෝදනා කළේ ඇයි?
8 1938 සැප්තැම්බර් මාසයේදී කැන්ට්වෙල් පවුලේ අයට නිව් හෙවන්වල පහළ අධිකරණයේ පෙනී ඉන්න වුණා. නිව්ටන්, රසල් සහ ජෙසීට විරුද්ධව තිබුණේ බලපත්‍රයක් නැතුව සම්මාදම් එකතු කරනවා කියන චෝදනාවයි. ඒ වගේම සාමයට බාධා කරනවා කියලත් ජෙසීට විරුද්ධව චෝදනා කරලා තිබුණා. මොකද තැටිගත කළ දේශනයට සවන් දුන්නු කතෝලික ආගමේ මිනිසුන් දෙන්නා කියලා තිබුණා ඒ දේශනයෙන් ඔවුන්ගේ ආගමට අපහාසයක් වුණු නිසා ඒක අහගෙන ඉද්දී කේන්තියක් ඇති වුණා කියලා. ඒ නිසා කනෙටිකට්වල ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළත් සාමය කඩ කළා කියන චෝදනාවට ජෙසී වරදකරු කියලා තීන්දු වුණා. ඒ නිසා අපේ සහෝදරයන් එක්සත් ජනපදයේ තිබුණු ඉහළම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා.
9, 10. (අ) එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය කැන්ට්වෙල් පවුල ගැන දීපු තීන්දුව මොකක්ද? (ආ) එදා ලැබුණු තීන්දුව අදටත් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
9 1940 මාර්තු 29වෙනිදා ඉඳන් අගවිනිසුරු චාල්ස් ඊ. හියුස් සහ තවත් විනිසුරුවන් අටදෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් කතා කරපු නීතිඥයෙක් වුණු සහෝදර හේඩන් කවිංටන් ඉදිරිපත් කරපු තර්කවලට සවන් දුන්නා.a කනෙටිකට් ප්‍රාන්තය නියෝජනය කරපු නීතිඥයා සාක්ෂිකරුවන් සාමයට බාධා ඇති කරනවා කියලා චෝදනා ඉදිරිපත් කරද්දී එක විනිසුරුවෙක් ඔහුගෙන් මෙහෙම ඇහුවා. “යේසුස් මේ පොළොවේ හිටිය කාලෙත් මිනිස්සු ඔහු කියපු පණිවිඩයට සවන් දෙන්න කැමති වුණේ නැහැ නේද?” එතකොට නීතිඥයා කිව්වේ මෙහෙමයි. “ඔව්, ඒක ඇත්ත. මට මතක විදිහට යේසුස් දේශනා කරපු නිසා අන්තිමේදී ඔහුට වුණු දේ ගැනත් බයිබලේ තියෙනවා.” මොන තරම් කදිම සාක්ෂියක්ද! ඒ නීතිඥයා කියපු දේ නිසා ඔහු නොදැනුවත්වම සාක්ෂිකරුවන් කරන සේවය එදා යේසුස් කරපු සේවයටත් සාක්ෂිකරුවන්ට විරුද්ධව චෝදනා නඟන අයව යේසුස්ව මරලා දාපු අයටත් සමාන කළා. අන්තිමේදී 1940 මැයි 20වෙනිදා අධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව ඒකමතික තීන්දුවක් දුන්නා.
නඩුවක් දිනලා අධිකරණයෙන් එළියට එන හේඩන් කවිංටන් (ඉදිරියේ, මැද) ග්ලෙන් හව් (වම) සහ අනිත් අය
10 අධිකරණයෙන් ලැබුණු ඒ තීන්දුව හරිම වැදගත් එකක් කියලා කියන්න පුළුවන් ඇයි? ඒ තීන්දුව නිසා හැමෝටම තියෙන ආගමික නිදහස තහවුරු වුණා විතරක් නෙවෙයි ආගමික නිදහසට බාධා කරන්න කිසිම ආණ්ඩුවකට බැහැ කියලත් ඔප්පු වුණා. අන්තිමේදී ජෙසී “සාමයට බාධා කරනවා කියලා කියන්න කිසිම පදනමක් නැහැ” කියලා අධිකරණයෙන් තීන්දු වුණා. ඒකෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිසිම විදිහකින් සාමයට බාධා කරන්නේ නැහැ කියලා ඔප්පු වුණා. ඒක නීතිමය පැත්තෙන් දෙවිගේ සෙනඟ ලබපු ලොකු ජයග්‍රහණයක්. ඒකෙන් අපිට තියෙන ප්‍රයෝජනය මොකක්ද? සාක්ෂිකරුවන් අතරේ ඉන්න නීතිඥයෙක් කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “අපි අද කොහේ ජීවත් වුණත් ශුභාරංචිය ගැන බය නැතුව කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අසාධාරණ සීමා තහංචි නැතුව ආගම නිදහසේ අදහන්න අපිට ලැබිලා තියෙන අයිතිය නිසයි.”
ආණ්ඩු විරෝධීන්ද සත්‍යය ප්‍රචාරය කරන අයද?
‘දෙවිටත් ක්‍රිස්තුස්ටත් වෛර කරන නිදහස උල්ලංගනය කරන ක්විබෙක් ප්‍රදේශය මුළු කැනඩාවටම ලැජ්ජාවක්’
11. කැනඩාවේ හිටිය අපේ සහෝදරයන් කළේ මොනවාද? ඒ ඇයි?
11 1940 ගණන්වලදී කැනඩාවේ හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟක් පීඩාවලට මුහුණ දුන්නා. තමන්ගේ ආගමික නිදහස අහිමි වෙලා තියෙනවා කියලා මිනිසුන්ට දැනුම් දෙන්න 1946දී අපේ සහෝදරයන් දවස් 16ක් තිස්සේ පත්‍රිකාවක් බෙදාහැරියා. ඒ පත්‍රිකාව නම් කරලා තිබුණේ මෙහෙමයි. ‘දෙවිටත් ක්‍රිස්තුස්ටත් වෛර කරන නිදහස උල්ලංගනය කරන ක්විබෙක් ප්‍රදේශය මුළු කැනඩාවටම ලැජ්ජාවක්.’b පිටු හතරක් තිබුණු ඒ පත්‍රිකාවේ පූජකයන් ඇති කරන ප්‍රශ්න, පොලිසියේ අමානුෂික ක්‍රියා සහ අපේ සහෝදරයන්ට මුහුණ දෙන්න වෙලා තියෙන හිංසා ගැන පැහැදිලි කරලා තිබුණා. ඒකේ සඳහන් වුණු මේ දේ බලන්න. “නීති විරෝධී විදිහට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව අත්අඩංගුවට ගන්නවා. මොන්ට්‍රියල් නගරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව නඩු 800ක් විතර ගොනු කරලා තියෙනවා.”
12. (අ) පත්‍රිකා බෙදපු එක ගැන විරුද්ධවාදීන් ක්‍රියා කළේ කොහොමද? (ආ) සාක්ෂිකරුවන්ට විරුද්ධව නඟපු චෝදනාව මොකක්ද? (පාදසටහනත් බලන්න.)
12 ක්විබෙක් ප්‍රදේශයේ අගමැති විදිහට ක්‍රියා කරපු මොරිස් ඩුප්ලෙසී සාක්ෂිකරුවන් බෙදාහැරිය පත්‍රිකාව ගැන පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. ඒ නිසා ඔහු රෝමානු කතෝලික සභාවේ කාදිනල්වරයෙක් වුණු විලෙනෙවුවි එක්ක එකතු වෙලා සාක්ෂිකරුවන්ට “කිසිම දයාවක් පෙන්නන්නේ නැතුව ක්‍රියා කළා.” වැඩි කාලයක් යන්න කලින් සාක්ෂිකරුවන්ට විරුද්ධව තිබුණු නඩු ගණන 800 ඉඳන් 1,600ක් වෙන කල් වැඩි වුණා. පුරෝගාමි සහෝදරියක් කිව්වේ “පොලිසියෙන් අපිව කී වතාවක් අත්අඩංගුවට ගත්තාද කියනවා නම් ඒ වාර ගණන මතකත් නැහැ” කියලයි. පත්‍රිකා බෙදපු සාක්ෂිකරුවන්ට විරුද්ධව තිබුණු චෝදනාව වුණේ ඒ අය “ආණ්ඩුවට විරුද්ධව ලිඛිත තොරතුරු බෙදාහරිනවා” කියන එකයි.c
13. රජයට විරුද්ධව ලිඛිත තොරතුරු බෙදාහරිනවා කියන චෝදනාව පිට මුලින්ම අධිකරණයට යන්න වුණේ කාටද? අධිකරණයෙන් දීපු තීන්දුව මොකක්ද?
13 රජයට විරුද්ධව ක්‍රියා කරනවා කියන චෝදනාව පිට මුලින්ම අධිකරණයට යන්න වුණේ 1947දී සහෝදර එමේ බූෂේට සහ ඔහුගේ දියණියන් දෙන්නාට. ඒ වෙනකොට ලොකු දුව ජිසෙල්ට අවුරුදු 18යි. දෙවෙනි දුව ලූසීල්ට අවුරුදු 11යි. ඔවුන්ට විරුද්ධව ඒ චෝදනාව නැඟුවේ ඒ අය හිටිය පළාතේ ‘ක්විබෙක් ප්‍රදේශය මුළු කැනඩාවටම ලැජ්ජාවක්’ කියන පත්‍රිකාව බෙදපු නිසයි. ඒ අය නීති විරෝධී විදිහට හැසිරෙමින් සාමයට බාධා කරනවා කියලා නම් හිතන්නවත් බැහැ. මොකද සහෝදර බූෂේ පුංචි ගොවිපොළක් කරගෙන ගිය, ඉඳලා හිටලා අශ්ව කරත්තෙන් ටවුම පැත්තට ගිය හරිම නිහතමානී කෙනෙක්. සාක්ෂිකරුවන් බෙදපු පත්‍රිකාවේ සඳහන් වුණු හිංසා පීඩා සහෝදර බූෂේගේ පවුලේ අයත් අද්දැකලා තිබුණා. කොහොමවුණත් පහළ අධිකරණයේ හිටිය විනිසුරු සාක්ෂිකරුවන්ට පොඩ්ඩක්වත් කැමති නැති නිසා නඩු විභාගයේදී සහෝදර බූෂේ නිර්දෝෂයි කියලා ඔප්පු කරන්න ඉදිරිපත් කරපු සාක්ෂිවලට ඇහුම්කන් දෙන්නවත් ඔහු කැමති වුණේ නැහැ. ඒ වෙනුවට චෝදනා කරපු අයගේ කීමට එකඟ වුණු ඔහු බූෂේ වරදකරුවෙක් කියලා තීන්දු කළා. ඒ තීන්දුවෙන් විනිසුරු නොකියා කිව්වේ සත්‍යය ප්‍රකාශ කරන එක වැරදියි කියලයි. ආණ්ඩුවට විරුද්ධව ලිඛිත තොරතුරු බෙදාහරිනවා කියන වරදට එමේ සහ ජිසෙල් වරදකරුවන් වුණා. ඒ විතරක් නෙවෙයි පුංචි ලූසීල්ටත් දවස් දෙකක් හිරේ ඉන්න සිද්ධ වුණා. අපේ සහෝදරයන් ඒ වැරදි තීන්දුව ගැන කැනඩාවේ තියෙන ඉහළම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාම ඒ ගැන හොයලා බලන්න අධිකරණය කැමති වුණා.
14. වධ හිංසා විඳින්න වුණු කාලයේදීත් ක්විබෙක්වල හිටිය අපේ සහෝදරයන් කළේ මොනවාද?
14 හුඟක් වධ හිංසා විඳින්න සිද්ධ වුණත් ක්විබෙක්වල හිටිය සහෝදර සහෝදරියන් දිගටම සේවයේ හවුල් වුණා. ඒ අයට හොඳ ප්‍රතිඵලත් ලැබුණා. 1946දී පත්‍රිකාව බෙදන්න පටන්ගද්දී ක්විබෙක්වල හිටියේ සාක්ෂිකරුවන් 300යි. හැබැයි අවුරුදු හතරකට පස්සේ සාක්ෂිකරුවන් 1,000ක් හිටියා.d
15, 16. (අ) බූෂේගේ පවුලේ අයට තිබුණු චෝදනාව සම්බන්ධයෙන් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණේ මොන තීන්දුවද? (ආ) ලබපු ජයග්‍රහණය අපේ සහෝදරයන්ටත් අනිත් අයටත් බලපෑවේ කොහොමද?
15 1950 ජූනි මාසයේදී එමේ බූෂේගේ නඩු විභාගයට කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටිය විනිසුරුවන් නවදෙනාම ඇහුම්කන් දුන්නා. මාස හයකට පස්සේ ඒ කියන්නේ දෙසැම්බර් 18වෙනිදා අධිකරණය අපිට පක්ෂව තීන්දුවක් දුන්නා. ඒ ඇයි? සාක්ෂිකරුවන් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරනවා කියලා චෝදනා කරලා තිබුණත් ඒ අය රජයට විරුද්ධව කැරලිගහන්න මිනිසුන්ව පෙලඹෙව්වේවත් කණ්ඩායමක් රැස් කරගෙන පාලකයන්ට විරුද්ධව ක්‍රියා කළේවත් නැහැ. ඒ නිසා නීතිඥයෙක් වන සහෝදර ග්ලෙන් හව් කියපු විදිහට ඒ වගේ චෝදනාවක් සාක්ෂිකරුවන්ට විරුද්ධව නඟන එක සාධාරණ නැහැ කියලා අධිකරණය පිළි අරන් තියෙනවා. සාක්ෂිකරුවන් බෙදපු පත්‍රිකාවේ “ආණ්ඩුවට විරුද්ධව කිසිම දෙයක් සඳහන් වෙලා නැති නිසා අදහස් ප්‍රකාශ කරන්න නීතියෙන් දීලා තියෙන නිදහසට ඒක එකඟයි” කියලා කියපු සහෝදර හව් මෙහෙමත් කිව්වා “අපිට මේ ජයග්‍රහණය දුන්නේ යෙහෝවා දෙවි කියලා මට හොඳින්ම පැහැදිලි වුණා.”e
16 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු ඒ තීන්දුව දෙවිගේ රාජ්‍යය ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. ඒ තීන්දුව නිසා ආණ්ඩුවට විරුද්ධව ලිඛිත තොරතුරු බෙදාහරිනවා කියලා ක්විබෙක්වල හිටිය සාක්ෂිකරුවන්ට විරුද්ධව ගොනු කරලා තිබුණු නඩු 122කට කිසිම පදනමක් නැහැ කියලා ඔප්පු වුණා. ඒ විතරක් නෙවෙයි කැනඩාවේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයට අයිති රටවල ඉන්න අයට රජය ක්‍රියා කරන විදිහ ගැන කිසිම බයක් නැතුව ප්‍රශ්න කරන්නත් නිදහස තියෙනවා කියලා හැමෝටම පැහැදිලි වුණා. අන්තිමේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ප්‍රශ්න ඇති කරපු පූජකයන්ට සහ ආණ්ඩුවට නිහඬ වෙන්න සිද්ධ වුණා.f
පොත් විකුණන අයද රාජ්‍යය ගැන ප්‍රකාශ කරන අයද?
17. සමහර ආණ්ඩු දේශනා සේවය නතර කරන්න උත්සාහ කරන්නේ කොහොමද?
17 පළවෙනි සියවසේ හිටිය ක්‍රිස්තියානීන්ව ආදර්ශයට ගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් “දෙවිගේ පණිවිඩය විකුණා ජීවත් වන අය” නෙවෙයි. (2 කොරින්ති 2:17 කියවන්න.) ඒ වුණත් ව්‍යාපාරවලට අදාළ යම් නීති පනවලා සාක්ෂිකරුවන් කරන සේවය සීමා කරන්න දැනටත් සමහර ආණ්ඩු වෑයම් කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පොත් විකුණන අයද නැත්නම් රාජ්‍යය ගැන ප්‍රකාශ කරන අයද කියන එක තේරුම්ගන්න උදව් වෙන සුවිශේෂී නඩු දෙකක් ගැන දැන් අපි බලමු.
18, 19. ඩෙන්මාර්කයේ නිලධාරීන් දේශනා සේවය නතර කරන්න උත්සාහ කළේ කොහොමද?
18 ඩෙන්මාර්කය. 1932 ඔක්තෝබර් 1වෙනිදා පනවපු නීතියක් නිසා බලපත්‍රයක් නැතුව පොත් පත් බෙදන එක තහනම් වුණා. කොහොමවුණත් අපේ සහෝදරයන් බලපත්‍ර ගත්තේ නැහැ. පහුවෙනිදා ප්‍රචාරකයන් පස්දෙනෙක් රොස්කිල කියන ටවුමේ සේවයේ ගියා. හැබැයි සේවය නතර කරනකොට ඕගස්ට් ලේමාන් හිටියේ නැහැ. බලපත්‍රයක් නැතුව පොත් විකුණුවා කියලා එයාව අත්අඩංගුවට අරන් තිබුණා.
19 1932 දෙසැම්බර් 19වෙනිදා ඕගස්ට් ලේමාන් අධිකරණයේ පෙනී හිටියා. තමන් මිනිසුන්ට බයිබලය මත පදනම් පොත් පත් ඉදිරිපත් කළත් පොත් විකුණුවේ නම් නැහැ කියලා ඔහු කිව්වා. ඒ දේ පිළිගත්ත පහළ අධිකරණයෙන් කිව්වේ මෙහෙමයි. “විත්තිකරුට . . . ඔහුගේ වියදම් පියවගන්න හැකියාව තියෙනවා. ඔහු කරන සේවයෙන් කිසි ලාභයක් උපයාගෙනවත් ලාභයක් උපයන්න බලාපොරොත්තුවක්වත් ඔහුට නැහැ. හැබැයි ඔහු කරන සේවයට ඔහුගේ අතින් වියදම් වෙලා තියෙනවා.” ලේමාන් කරලා තියෙන්නේ “වෙළදාමක්” නෙවෙයි කියලා අධිකරණය පිළිගත්තා. කොහොමවුණත් දෙවිගේ සතුරන් උත්සාහ කළේ මොන විදිහකින් හරි ඒ රටේ දේශනා සේවය නතර කරන්නයි. (ගීතා. 94:20) රජය වෙනුවෙන් කතා කරපු කෙනා ඒ තීන්දුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළා. එතකොට අපේ සහෝදරයන් කළේ මොනවාද?
20. ඩෙන්මාර්කයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුව මොකක්ද? අපේ සහෝදරයන් කළේ මොනවාද?
20 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගය පවත්වන්න සතියකට කලින් ඉඳලම ඩෙන්මාර්කයේ සහෝදරයන් හුඟක් උනන්දුවෙන් සේවයේ හවුල් වුණා. 1933 ඔක්තෝබර් 3වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය පහළ අධිකරණයෙන් දීපු තීන්දුවටම සමාන තීන්දුවක් දුන්නා. ඕගස්ට් ලේමාන් නීතිය කඩ කරලා නැහැ කියලා ඒ තීන්දුවේ සඳහන් වුණු නිසා සාක්ෂිකරුවන්ට ආපහු නිදහසේ සේවය කරගෙන යන්න පුළුවන් වුණා. යෙහෝවා දෙවි ලබා දීපු ඒ ජයග්‍රහණයට ස්තුති කරන්න ඕන නිසා සාක්ෂිකරුවන් තව තවත් වැඩියෙන් සේවයේ හවුල් වෙන්න පටන්ගත්තා. ඒ තීන්දුවෙන් පස්සේ ඩෙන්මාර්කයේ දේශනා සේවයට ආණ්ඩුවෙන් කිසිම විරුද්ධත්වයක් එල්ල වුණේ නැහැ.
1930 ගණන්වල ඩෙන්මාර්කයේ හිටිය නිර්භීත සාක්ෂිකරුවන්
21, 22. සහෝදර මර්ඩොක්ට එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව මොකක්ද?
21 එක්සත් ජනපදය. 1940 පෙබරවාරි 25වෙනිදා පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ සේවයේ යද්දී පුරෝගාමියෙක් වුණු රාබර්ට් මර්ඩොක්වත් තවත් සාක්ෂිකරුවන් හත්දෙනෙක්වත් අත්අඩංගුවට ගත්තා. බලපත්‍රයක් නැතුව පොත් පත් බෙදනවා කියලා ඒ අයව වරදකරුවන් කළා. එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාම ඔවුන් ඒ නඩුව විභාග කරන්න කැමති වුණා.
22 1943 මැයි 3වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව තීන්දුවක් දුන්නා. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව” පොත් පත් බෙදන්න බලපත්‍රයක් ගන්න අවශ්‍ය නැහැ කියලා අධිකරණය ප්‍රකාශ කළා. ඒ නගරයේ දාලා තිබුණු ආඥා පණත අධිකරණයෙන් අවලංගු කළා. මොකද ඒකෙන් මුද්‍රණ නිදහස සහ කැමති ආගමක් අදහන්න තියෙන නිදහස සීමා වෙනවා කියලා අධිකරණය ප්‍රකාශ කළා. අධිකරණයේ වැඩිදෙනෙක් දරන මතය ගැන විනිසුරු විලියම් ඕ. ඩග්ලස් කිව්වේ මෙහෙමයි. සාක්ෂිකරුවන් “කරන්නේ දේශනා කරන එක විතරක් නෙවෙයි. ඒ අය කරන්නේ පොත් පත් බෙදන එක විතරකුත් නෙවෙයි. ඒ අය කරන සේවය ඒ දෙකේම එකතුවක්. පල්ලිවල ආගමික වත්පිළිවෙත් කරන්නත් අල්තාරවල ඉඳන් දේශන දෙන්නත් නිදහස තියෙනවා වගේ මේ ආගමේ අයටත් ඒ අයගේ වැඩකටයුතු කරගෙන යන්න නිදහස තියෙන්න ඕනේ.”
23. 1943දී ලැබුණු නඩු තීන්දුව අපිට වැදගත් වෙන්නේ ඇයි?
23 ශ්‍රේෂ්ඨාධිකරණය දීපු ඒ තීන්දුව සාක්ෂිකරුවන්ට හුඟක් වැදගත් වුණා. අපි සැබෑ ක්‍රිස්තියානි දේවසේවකයන් මිසක් ලාභ ලබන වෙළෙන්දන් නෙවෙයි කියලා ඒකෙන් ඔප්පු වුණා. 1943දී ඒ සුවිශේෂී තීන්දුව ලැබුණු දවසේම ‘මර්ඩොක්’ නඩුව ඇතුළුව සාක්ෂිකරුවන්ට තිබුණු නඩු 13කින් 12ක්ම දිනන්න පුළුවන් වුණා. අපේ සේවය නතර කරන්න විරුද්ධවාදීන් නඩු ගොනු කරද්දී ශුභාරංචිය ප්‍රචාරය කරන්න අපිට තියෙන අයිතිය තහවුරු කරන්න ඒ නඩු තීන්දු අදටත් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි”
24. ආණ්ඩුවෙන් අපේ සේවය තහනම් කළොත් අපි කරන්නේ මොනවාද?
24 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට අපිට ශුභාරංචිය දේශනා කරන්න ආණ්ඩුවලින් නිදහස ලැබෙද්දී අපි ඒක හුඟක් අගය කරනවා. කොහොමවුණත් ආණ්ඩුවලින් දේශනා සේවය තහනම් කරද්දී අපි සේවය නතර කරන්නේ නැහැ. ඒ වෙනුවට සේවය කරන විදිහ වෙනස් කරනවා. මොකද “අපි කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි.” (ක්‍රියා 5:29; මතෙ. 28:19, 20) ඒ වගේම අපි අවශ්‍ය අවස්ථාවලදී අපේ සේවයට දාලා තියෙන තහංචි ගැන අධිකරණවලට අභියාචනා ඉදිරිපත් කරනවා. උදාහරණ කිහිපයක් බලන්න.
25, 26. නිකරගුවාවල සාක්ෂිකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න වුණේ ඇයි? ප්‍රතිඵලය මොකක්ද?
25 නිකරගුවාව. 1952 නොවැම්බර් 19වෙනිදා ශාඛා කාර්යාලයේ වැඩ බලාගත්ත මිෂනාරි සේවකයෙක් වුණු ඩොනවන් මන්ස්ටර්මාන්, මනාගුවාවල ආගමන විගමන කාර්යාලයට ගියා. ඔහු එතැනට ගියේ එහෙ වැඩ භාරව හිටිය ආනොල්ඩො ගාසියාව මුණගැහෙන්නයි. ඔහු ඩොනවන්ට කිව්වා නිකරගුවාවේ සාක්ෂිකරුවන්ට “සේවයේ හවුල් වෙන්නත් නමස්කාර කටයුතුවල හවුල් වෙන්නත් අවසර නැහැ” කියලා. ඒකට හේතුව ගැන ඇහුවාම ඔහු කිව්වේ සාක්ෂිකරුවන්ට ඒ දේවල් කරන්න පළාත් පාලන ඇමතිගෙන් අවසර ලැබිලා නැහැ, සාක්ෂිකරුවන් කොමියුනිස්ට්වාදීන් කියලා චෝදනා ලැබිලා තියෙනවා කියලයි. ඒ චෝදනාව නඟලා තිබුණේ රෝමානු කතෝලික සභාවේ පූජකයන්.
තහනම තිබුණු කාලයේ නිකරගුවාවේ සහෝදරයන්
26 ඒක දැනගත්තාම සහෝදර මන්ස්ටර්මාන් පළාත් පාලන සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයටත් ජනාධිපති ආනාස්ටාසියෝ සොමොසා ගාසියාටත් ඒ ගැන දැනුම් දුන්නා. ඒත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. ඒ නිසා තත්වයට අනුව සකස් වුණු සහෝදරයන් නමස්කාර මධ්‍යස්ථානය වහලා දාලා පුංචි කණ්ඩායම් විදිහට එකතු වුණා. වීදි සේවයත් නතර කළා. හැබැයි දේශනා සේවය නම් නතර කළේ නැහැ. ඒ වගේම සාක්ෂිකරුවන්ට පනවලා තියෙන තහනම අවලංගු කරන්න කියලා නිකරගුවාවල ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. වැඩි කාලයක් යන්න කලින් ඒ තහනම ගැනත් පෙත්සමේ සඳහන් වුණු දේවල් ගැනත් පුවත්පත්වල පළ වුණා. පෙත්සම සැලකිල්ලට ගත්ත ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව අහන්න කැමති වුණා. ප්‍රතිඵලයක් විදිහට 1953 ජූනි 19වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව ඒකමතික තීන්දුවක් දුන්නා. සාක්ෂිකරුවන්ට පනවලා තියෙන තහනම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන හෘදය සාක්ෂියේ නිදහස, අදහස් ප්‍රකාශ කරන්න තියෙන නිදහස සහ ආගමික ක්‍රියාකාරකම්වල හවුල් වෙන්න තියෙන නිදහස කඩ වෙලා තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. ඒ වගේම නිකරගුවාවල ආණ්ඩුව සහ සාක්ෂිකරුවන් අතර කලින් තිබුණා වගේ හොඳ බැඳීමක් පවත්වාගන්න කියලත් නියෝග කළා.
27. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව ගැන නිකරගුවාවල මිනිසුන් පුදුම වුණේ ඇයි? ඒ තීන්දුව ගැන සහෝදරයන් තේරුම්ගත්තේ මොනවාද?
27 ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන්ට පක්ෂව දීපු ඒ තීන්දුව ගැන නිකරගුවාවල මිනිසුන් හුඟක් පුදුම වුණා. ඒ වෙන කල් පූජකයන්ගේ බලපෑම හුඟක් තදින් තිබුණු නිසා අධිකරණය ඔවුන්ට ඉහළින් ගියේ නැහැ. ඒ වගේම රජයේ බලපෑමත් තදින්ම තිබුණු නිසා අධිකරණය ඊට ඉහළින් ගියෙත් නැහැ. ඒ වගේ තීන්දුවක් ලැබුණේ රජු වන යේසුස් ඔවුන්ව ආරක්ෂා කරපු නිසාත් ඔවුන් දිගටම සේවයේ ගිය නිසාත් කියලා නිකරගුවාවල හිටිය අපේ සහෝදරයන් තේරුම්ගත්තා.—ක්‍රියා 1:8.
28, 29. 1980 ගණන්වල මැදභාගයේදී සයිරේවල හිතපු නැති විදිහට තත්වයන් වෙනස් වුණේ කොහොමද?
28 සයිරේ. 1980 ගණන්වල සයිරේ විදිහට හඳුන්වපු කොංගෝ ජනරජයේ සාක්ෂිකරුවන් 35,000ක් විතර හිටියා. රාජ්‍යයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල වර්ධනයක් තිබුණු නිසා ශාඛා කාර්යාලය ඒවාට සරිලන විදිහට ඉදි කිරීම් වැඩකටයුතු පටන්ගත්තා. එහෙ අගනුවර වුණු කින්ෂාසාවල 1985 දෙසැම්බර් මාසයේ පවත්වපු ජාත්‍යන්තර සමුළුවට වෙන රටවලින් 32,000ක් ඇවිත් හිටිය නිසා සමුළුව පවත්වපු ක්‍රීඩාංගණය පිරිලා තිබුණා. හැබැයි වැඩි කාලයක් යන්න කලින් තත්වය වෙනස් වුණා.
29 කැනඩාවේ ක්විබෙක්වල ඩුප්ලෙසීගේ පාලන කාලයේ පීඩා විඳලා පස්සේ කාලෙක සයිරේවල මිෂනාරි සේවය කරපු සහෝදර මාර්සෙල් ෆිල්ටෝ ඒ ගැන මෙහෙම කිව්වා. “සයිරේවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරන සේවය නීති විරෝධියි කියලා සඳහන් වුණු ලිපියක් 1986 මාර්තු 12වෙනිදා වගකීම් දරන සහෝදරයන්ට ලැබුණා.” ඒ ලියුමේ ජනාධිපති මොබුටු සෙසෙ සෙකෝගේ අත්සනත් තිබුණා.
30. ශාඛා කමිටුවේ සහෝදරයන්ට ගන්න වුණු බැරෑරුම් තීරණය මොකක්ද? අන්තිමේදී ඒ අය ගත්ත තීරණය මොකක්ද?
30 ඊළඟ දවසෙම “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ආපහු කවදාවත්ම අහන්න ලැබෙන්නේ නැහැ” කියලා ජාතික ගුවන්විදුලියෙන් නිවේදනය කළා. ඒත් එක්කම පීඩා රැල්ලක් ආවා. නමස්කාර මධ්‍යස්ථාන කැඩුවා. සහෝදරයන්ට අයිති දේවල් පැහැරගත්තා. සහෝදරයන්ව අත්අඩංගුවට අරන් හිරේ දාලා හොඳටම ගැහුවා. පුංචි දරුවන්වත් හිරේ දැම්මා. 1988 ඔක්තෝබර් 12වෙනිදා අපේ සංවිධානයට අයිති හැම දෙයක්ම රජයට පවරගත්තා. ඒ නිසා සිවිල් ආරක්ෂක භටයන් සහ හමුදා නිලධාරීන් ඇවිත් ශාඛා කාර්යාලය අයිති කරගත්තා. වගකීම් දරන සහෝදරයන් ජනාධිපති මොබුටුට ඒ හැම දෙයක් ගැනම දැනුම් දුන්නත් ඒකෙන් පලක් වුණේ නැහැ. ඒ නිසා “ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරනවාද නැත්නම් තව ටිකක් බලන් ඉන්නවාද” කියන බැරෑරුම් තීරණය ගන්න ශාඛා කමිටුවේ සහෝදරයන්ට සිද්ධ වුණා. ඒ කාලයේදී ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක විදිහට වැඩ කරපු සහෝදර තිමති හෝම්ස් කිව්වේ “නිවැරදි තීරණයක් ගන්න අපි යෙහෝවා දෙවි මතම රඳා සිටියා” කියලයි. ශාඛා කමිටුවේ සහෝදරයන් ඒ ගැන යාච්ඤා කරලා හොඳින් හිතලා බැලුවාට පස්සේ ඒ අය තේරුම්ගත්තා නීතිමය පියවරක් ගන්න මේක හොඳම කාලය නෙවෙයි කියලා. ඒ නිසා ඒ අය සහෝදරයන්ව රැකබලා ගන්නත් දේශනා සේවය දිගටම කරගෙන යන්නත් වැඩි අවධානයක් දුන්නා.
“යෙහෝවා දෙවිට ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන්”
31, 32. සයිරේවල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු වැදගත් තීන්දුව මොකක්ද? ඒක අපේ සහෝදරයන්ට බලපෑවේ කොහොමද?
31 අවුරුදු කිහිපයකට පස්සේ සාක්ෂිකරුවන්ට ආපු පීඩා අඩු වුණා. ඒ වගේම මානව අයිතිවාසිකම්වලටත් රටේ තැනක් ලැබුණා. සාක්ෂිකරුවන්ට පනවලා තියෙන තහනම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්න හොඳම වෙලාව ඇවිත් කියලා ශාඛා කමිටුවේ සහෝදරයන් හිතුවා. ඒ නිසා ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කළා. ඒක සලකලා බලලා නඩු විභාගයක් පවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණය කැමති වුණාම සහෝදරයන් පුදුම වුණා. ජනාධිපති අපේ සේවය තහනම් කරලා අවුරුදු හතකට විතර පස්සේ ඒ කියන්නේ 1993 ජනවාරි 8වෙනිදා සාක්ෂිකරුවන්ට ආණ්ඩුවෙන් දාලා තිබුණු තහනම නීති විරෝධියි කියලා අධිකරණය ප්‍රකාශ කරපු නිසා තහනම ඉවත් කළා. ඒක හිතාගන්නවත් බැරි දෙයක්. මොකද විනිසුරුවන් තමන්ගේ ජීවිත අනතුරේ දාලා ජනාධිපති පනවපු තහනම නීති විරෝධියි කියලා ප්‍රකාශ කළා. සහෝදර හෝම්ස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවිට ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන් කියලා ඒ නඩුව විභාග කරපු කාලය පුරාම අපි දැක්කා.” (දානි. 2:21) ඒ ජයග්‍රහණය නිසා සහෝදරයන්ට දෙවි ගැන තිබුණු විශ්වාසය තව තවත් ශක්තිමත් වුණා. පියවර ගන්න ඕන හරිම වෙලාව සහ ඒක කරන්න ඕන විදිහ තේරුම්ගන්න රජු වන යේසුස් මඟ පෙන්වනවා කියලා අපේ සහෝදරයන් ඒකෙන් තේරුම්ගත්තා.
යෙහෝවා දෙවිට නමස්කාර කරන්න තියෙන නිදහස ගැන අද කොංගෝ ජනරජයේ ඉන්න සාක්ෂිකරුවන් සතුටු වෙනවා
32 තහනම ඉවත් වුණාට පස්සේ මිෂනාරි සේවකයන්ව ගෙන්වන්නත් ශාඛා කාර්යාලයේ අලුත් ගොඩනැඟිලි ඉදි කරන්නත් පොත් පත් රටට ගෙන්නගන්නත් පුළුවන් වුණා.g යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟව රැකබලා ගන්න විදිහ ගැන ලොව පුරාම ඉන්න ඔහුගේ සෙනඟට මොන තරම් සතුටු වෙන්න පුළුවන්ද!—යෙසා. 52:10.
“මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය”
33. අපි බලපු නඩු විභාගවල ප්‍රතිඵලවලින් හොඳින්ම පැහැදිලි වෙන්නේ මොනවාද?
33 “මම ඔබට ප්‍රඥාවන්තව කතා කරන්න හැකියාව ලබා දෙනවා. ඒ නිසා ඔබ පවසන දේවලට විරුද්ධව දේවල් කියන්න ඔබට විරුද්ධව නැඟී සිටින අයට කොහොමටවත් බැරි වෙයි.” (ලූක් 21:12-15 කියවන්න.) යේසුස් දීපු ඒ පොරොන්දුව ඔහු ඒ විදිහටම ඉටු කරනවා කියලා අපි බලපු නඩු විභාගවල ප්‍රතිඵලවලින් පැහැදිලි වෙනවා. ගමාලියෙල් දෙවිගේ සෙනඟ වෙනුවෙන් කතා කළා වගේ මේ කාලයේදීත් දෙවිගේ සෙනඟ වෙනුවෙන් නිර්භීතව කතා කරන්න යෙහෝවා දෙවි සමහර විනිසුරුවන්ව සහ නීතිඥයන්ව පොලඹවලා තියෙනවා. අපිට විරුද්ධව හදන කිසිම ආයුධයක් සාර්ථක වෙන්න දෙවි ඉඩ දීලා නැහැ. (යෙසායා 54:17 කියවන්න.) දෙවි අපිට භාර දීලා තියෙන සේවය නතර කරන්න කිසිම සතුරෙක්ට බැහැ.
34. නඩු විභාගවලදී අපි ලබපු ජයග්‍රහණවල තියෙන විශේෂත්වය මොකක්ද? ඒ ජයග්‍රහණවලින් ඔප්පු වෙන්නේ මොකක්ද? (“ශුභාරංචිය දේශනා කිරීමේ අයිතිය තහවුරු කරපු අධිකරණ තීන්දු” යන කොටුවත් බලන්න.)
34 නඩු විභාගවලින් අපි ලබලා තියෙන ජයග්‍රහණවල තියෙන විශේෂත්වය මොකක්ද? මේ ගැන හිතන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමාජයේ ඉහළ තැනක් තියෙන බලපුළුවන්කාර සෙනඟක් නෙවෙයි. අපි ඡන්දෙ දාන්නේ නැහැ. දේශපාලන වැඩකටයුතුවලට හවුල් වෙන්නේ නැහැ. රටේ පාලකයන්ගෙන් වාසි ගන්නෙත් නැහැ. හුඟක් වෙලාවට අපි නඩු විභාගවලට පෙනී ඉද්දී ඒ අය අපිව සලකන්නේ “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” විදිහටයි. (ක්‍රියා 4:13) ඒ නිසා අපිට විරුද්ධව ක්‍රියා කරන බලවත් පුද්ගලයන්ට, පාලකයන්ට සහ ආගමික නායකයන්ට විරුද්ධව තීන්දුවක් දෙන්න අධිකරණවලට කිසිම හේතුවක් නැහැ. ඒ වුණත් අධිකරණවලින් අපිට පක්ෂව තීන්දු දීලා තියෙනවා. ඒ ජයග්‍රහණවලින් පැහැදිලි වෙන්නේ අපි “දෙවි ඉදිරියෙහි පෙනී සිටින ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්” කියලයි. (2 කොරි. 2:17) ඒ නිසා “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි” කියලා අපි හැමෝටම කියන්න පුළුවන්.—හෙබ්‍රෙ. 13:6.
a සහෝදර හේඩන් කවිංටන් එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අපේ සහෝදරයන් වෙනුවෙන් නඩු 43ක් කතා කරලා තියෙනවා. මුල්ම එක තමයි ‘කැන්ට්වෙල් එදිරිව කනෙටිකට් ප්‍රාන්තය’ නඩුව. 1978දී ඔහු මැරුණා. ඔහුගේ භාර්යාව ඩොරති 2015දී මිය යන තෙක්ම දෙවිට විශ්වාසවන්තව හිටියා. ඒ වෙද්දී ඇයට අවරුදු 92යි.
b ඉංග්‍රීසියෙන්.
c මේ චෝදනාව නැඟුවේ 1606 පනවපු නීතියක් පදනම් කරගෙනයි. ඒ නීතියට අනුව කෙනෙක් කියපු දෙයක් ඇත්ත වුණත් ඒකෙන් ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා නම් ඒක කියපු කෙනාව වරදකරු කරන්න ජූරි සභාවට අයිතිය තිබුණා.
d ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ ශිෂ්‍යයන් 63දෙනෙක් ඇතුළු පූර්ණකාලීන සේවකයන් 164දෙනෙක් 1950දී දරුණු හිංසා පීඩා තිබුණු ක්විබෙක්වල සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.
e නීතිඥයෙක් වුණු සහෝදර ග්ලෙන් හව් 1943ත් 2003ත් අතර කාලයේදී සාක්ෂිකරුවන්ට විරුද්ධව කැනඩාවේ සහ වෙනත් රටවල විභාග කෙරුණු නඩු සිය ගණනකදී දක්ෂ විදිහට කතා කරලා තියෙනවා.
f මේ නඩුව ගැන වැඩි විස්තර දැනගන්න 2000 අප්‍රියෙල් 22 ‘පිබිදෙව්!’ සඟරාවේ (ඉංග්‍රීසියෙන්) 18-24 පිටුවල ඇති ලිපිය බලන්න.
g සිවිල් ආරක්ෂක භටයන් ශාඛා කාර්යාලයේ ඉඩම ආපහු භාර දෙද්දී සහෝදරයන් වෙනත් තැනක ශාඛා කාර්යාලය ඉදි කරලා තිබුණා.