40වෙනි පරිච්ඡේදය
සමාව දීම ගැන පාඩමක්
- පව්කාර ස්ත්‍රියක් යේසුස්ගේ පාදවල තෙල් ආලේප කරයි 
- ණය වෙලා හිටිය කෙනෙකු ගැන කියපු උපමාවකින් සමාව දීම ගැන උගන්වයි 
මිනිසුන් යේසුස් කියන කරන දේවල් පිළිගන්නවාද නැද්ද කියන එක රඳා පවතින්නේ ඒ අයගේ හිතේ තත්වය අනුවයි. ගලීලයේ ඉන්න පරිසිවරයෙක් වන සීමොන්ගේ නිවසේදී සිද්ධ වෙන දෙයින් ඒක පැහැදිලි වෙනවා. ඔහු යේසුස්ට කෑමකට ආරාධනා කරනවා. ඔහු එහෙම කරන්නේ බලවත් ක්‍රියාවන් කරන යේසුස්ව දැන හඳුනා ගන්න හිතාගෙන වෙන්න ඇති. බදු එකතු කරන අය සහ පව්කාරයන් එක්ක කෑමට ලැබුණු ආරාධනාවන් පිළිගත්තා වගේ යේසුස් මේ ආරාධනයත් පිළිගන්නවා. කෑමට එන අයට දේශනා කරන්න ඒක කදිම අවස්ථාවක් කියලා ඔහු හිතන්න ඇති.
කොහොමවුණත් සාමාන්‍යයෙන් අමුත්තෙක්ට ලැබෙන පිළිගැනීම සීමොන්ගේ නිවසට එන යේසුස්ට නම් ලැබෙන්නේ නැහැ. පලස්තීනයේ දූවිලි පිරුණු පාරවල් දිගේ ඇවිදන් එද්දී කකුල් කිලුටු වෙන එකත් රත් වෙන එකත් සාමාන්‍යයි. ඒ නිසා තමයි නිවසට එන අමුත්තාගේ කකුල් සීතල වතුරෙන් සෝදන්නේ. ඒ වගේම නිවසට එන අමුත්තාව සිපගන්න එකත් ඔහුට සත්කාර කිරීමක් හැටියට හිසට තෙල් ආලේප කරන එකත් එදා තිබුණු සිරිතක්. හැබැයි යේසුස්ට ඒ කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.
අමුත්තන් දැන් කෑම කන්න පටන් අරන්. ඒ අතරතුරේදී “පව්කාර තැනැත්තියක ලෙස එම නුවරෙහි ප්‍රසිද්ධව සිටි ස්ත්‍රියක්” ආරාධනාවක් නැතුවම ඒ නිවසට එනවා. (ලූක් 7:37) පෙනෙන විදිහට ඇය ගණිකාවක්. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි” කියලා යේසුස් කරපු ආරාධනාව ගැන ඇයට දැනගන්න ලැබෙන්න ඇති. (මතෙව් 11:28, 29) යේසුස් කියපු කරපු දේවල් ඇගේ හිතට තදින්ම කාවැදිලා තියෙන නිසා වෙන්න ඇති ඇය දැන් යේසුස්ව හොයාගෙන ඇවිත් තියෙන්නේ.
නිවසට ඇතුල් වන ස්ත්‍රිය යේසුස්ගේ පාද ළඟින් ඉඳගෙන අඬන්න පටන්ගන්නවා. ඇගේ කඳුළු ඔහුගේ පාදවලට වැටෙද්දී ඇය තම හිසකෙස්වලින් ඒවා පිස දමා ඔහුගේ පාද සිපගන්නවා. ඉන්පසු ඇය සුවඳවත් තෙල් ඔහුගේ පාදවල ආලේප කරනවා. ඒ ගැන අසතුටු වෙන සීමොන් හිතන්නේ මෙහෙමයි. “මොහු අනාගතවක්තෘවරයෙක් නම් තමන්ට අත තබන්නේ කවුද කියාත් ඇය මොන වගේ ස්ත්‍රියක්ද කියාත් දැන සිටිය යුතුයි. ඇය පව්කාර ස්ත්‍රියක්.”—ලූක් 7:39.
ඔහු හිතන දේ තේරුම්ගන්නා යේසුස් “සීමොන්, මම කැමතියි ඔබට යමක් කියන්න” කියා පවසනවා. “ගුරුතුමනි, කියන්න” කියා සීමොන් පිළිතුරු දුන්නාම යේසුස් මෙහෙම කියනවා. “එක්තරා ණයහිමියෙකුට මිනිසුන් දෙදෙනෙක් ණය වෙලා සිටියා. එක් කෙනෙකුට ගෙවන්න තිබුණු ණය ඩිනාරි පන්සියයයි. අනික් තැනැත්තාගේ ණය ඩිනාරි පනහක් පමණයි. ඔවුන් දෙදෙනාටම එම ණය ආපසු ගෙවන්න බැරි වුණු නිසා ණයහිමියා කැමැත්තෙන්ම ඔවුන් දෙදෙනාවම ණයෙන් නිදහස් කළා. දැන් මේ ගැන හිතන්න. ඔවුන් දෙදෙනාගෙන් ණයහිමියාට වැඩියෙන් ආදරය කරන්නේ කවුද?” සීමොන් ඊට පිළිතුරු දෙන්නේ “වැඩියෙන් ණය වෙලා සිටි තැනැත්තා විය යුතුයි” කියලයි. (ලූක් 7:40-43) ඔහු එහෙම කියන්න ඇත්තේ යේසුස් කියපු දේ තමන්ට අදාළ වෙන්නේ නැහැ කියලා හිතාගෙන වෙන්න ඇති.
ඔහු කියපු දේට එකඟ වන යේසුස් ස්ත්‍රිය දෙස බලා මෙහෙම කියනවා. “ඔබට මේ ස්ත්‍රියව පෙනෙනවාද? මම ඔබේ නිවසට ආවත් ඔබ මගේ පාද සේදීමට වතුර ගෙනාවේ නැහැ. නමුත් මේ ස්ත්‍රිය ඇගේ කඳුළුවලින් මගේ පාද තෙමා, ඇගේ හිසකෙස්වලින් ඒ කඳුළු පිස දැමුවා. ඔබ මාව සිඹ පිළිගත්තේවත් නැහැ. නමුත් මේ ස්ත්‍රිය මා ඇතුළට පැමිණි පැයේ පටන් මගේ පාද සිපගෙන මාව පිළිගත්තා. ඔබ මගේ හිසට තෙල් ආලේප කළේ නැහැ. නමුත් මේ ස්ත්‍රිය ඇවිත් මගේ පාද සුවඳ තෙලින් ආලේප කළා.” පව්කාර ජීවිතයක් ගත කරන එක ගැන ඇය කොයි තරම් පසුතැවෙනවාද කියලා තේරුම්ගත්ත නිසයි යේසුස් මෙහෙම කියන්නේ. “මේ ස්ත්‍රිය බොහෝ පව් කර තිබුණත් ඇයට සමාව ලැබෙනවා. ඒ නිසා ඇය මට වැඩියෙන් ප්‍රේමය පෙන්වනවා. නමුත් ස්වල්ප වශයෙන් පව් කර සමාව ලබන තැනැත්තා අන් අයට වැඩියෙන් ප්‍රේමය පෙන්වන්නේ නැහැ.”—ලූක් 7:44-47.
පව්කාර ජීවිතයක් ගත කරන එක හරියි කියලා යේසුස් අදහස් කරන්නේ නැහැ. බරපතළ වැරදි කරලා තියෙන අය අවංකවම පසුතැවිලා සහනයක් බලාපොරොත්තුවෙන් තමන් ළඟට එද්දී ක්‍රිස්තුස්ට ඔවුන් ගැන ලොකු අනුකම්පාවක් දැනෙනවා. ‘ඔබේ පව්වලට දැන් සමාව ලැබිලා. ඔබට දැන් සමාදානයෙන් යන්න පුළුවන්. ඔබේ විශ්වාසය නිසා ඔබට ගැලවීම ලැබුණා’ කියලා යේසුස් කියද්දී ඒ ස්ත්‍රියට මොන තරම් සහනයක් දැනෙන්න ඇද්ද!—ලූක් 7:48, 50.