ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 93 පරි. 218 පි.-219 පි. 3 ¶
  • මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වීමට නියමිතයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වීමට නියමිතයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වන විට
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • දෙවිගේ රාජ්‍යය මිනිසුන්ගේ සිත්වල තිබෙන දෙයක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නියෝජිතයන් ලකුණක් ඉල්ලයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් ඔබට අදහස් කළ හැකි දෙය
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 93 පරි. 218 පි.-219 පි. 3 ¶
ජලයේ පාවෙමින් තියෙන නෝවාගේ නැව

93වෙනි පරිච්ඡේදය

මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වීමට නියමිතයි

ලූක් 17:20-37

  • දෙවිගේ රාජ්‍යය ඔවුන් අතරෙයි

  • යේසුස් එළිදරව් වෙන දවසේදී සිද්ධ වෙන දේ

සමහරවිට යේසුස් තවමත් ඉන්නවා ඇත්තේ සමාරියේ නැත්නම් ගලීලයේ. දෙවිගේ රාජ්‍යයේ පැමිණීම උත්සවාකාරයෙන් සිද්ධ වෙන දෙයක් කියලා හිතාගෙන ඉන්න පරිසිවරුන් ඒ රාජ්‍යය පැමිණෙන්නේ කවදාද කියලා යේසුස්ගෙන් අහනවා. හැබැයි යේසුස් කියන්නේ මෙහෙමයි. “දෙවිගේ රාජ්‍යය පැමිණෙන්නේ සියලුදෙනාටම පැහැදිලිව දැකිය හැකි ආකාරයකින් නොවෙයි. ‘මෙන්න එය මෙතැනයි’ හෝ ‘එතැනයි’ කියා කිසි කෙනෙක් පවසන්නෙත් නැහැ. ඇත්තටම දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ඔබ අතරෙහියි.”—ලූක් 17:20, 21.

යේසුස් කියපු ඒ දේ නිසා රාජ්‍යය තියෙන්නේ දෙවිගේ සේවකයන්ගේ හිත්වල කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. ඒත් යේසුස් කතා කරමින් ඉන්නේ පරිසිවරුන් එක්ක නිසා ඒ අයගේ හිත්වල රාජ්‍යය තියෙනවා කියලා හිතන්න බැහැ. දෙවිගේ රාජ්‍යයේ රජ වෙන යේසුස් ඔවුන් එක්ක හිටිය නිසයි ඔහු කිව්වේ දෙවිගේ රාජ්‍යය ඔවුන් අතරේ තියෙනවා කියලා.—මතෙව් 21:5.

යේසුස් දැන් දෙවිගේ රාජ්‍යයේ පැමිණීම ගැන තවත් තොරතුරු ගෝලයන්ට කියනවා. පෙනෙන විදිහට ඔහු මේ තොරතුරු කියන්නේ පරිසිවරුන් පිටත් වුණාට පස්සෙයි. රාජ්‍යයේ රජු විදිහට තමන් පැමිණ සිටින කාලය ගැන යේසුස් මෙහෙම කියනවා. “මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේදී එක දවසක් හෝ ජීවත් වෙන්න ඔබ ආශා වුණත් ඒ දේ කරන්න ඔබට හැකි වන්නේ නැහැ.” (ලූක් 17:22) යේසුස් පැහැදිලි කරන්නේ මනුෂ්‍ය පුත්‍රයා රාජ්‍යයේ පාලනය භාරගන්නේ අනාගතයේදී කියලයි. ඒ දවස එන කල් සමහර ගෝලයන් ලොකු ආශාවකින් බලන් හිටියත් ඒ වෙනුවෙන් දෙවියන් නියම කරලා තියෙන දවස උදා වෙන කල් ඔවුන්ට බලන් ඉන්න සිද්ධ වෙනවා.

යේසුස් මෙහෙමත් කියනවා. “මිනිස්සු ඔබට, ‘අන්න එතැනට ගොස් බලන්න’ හෝ ‘මෙන්න මෙහෙ ඇවිත් බලන්න’ කියා පවසයි. ඒ වුණත් ඔබ නොයා යුතුයි. ඔවුන් පසුපස යන්න එපා. අකුණු ගසද්දී විදුලි සැරය අහසේ එක් දිශාවක සිට අනික් දිශාව දක්වා විහිදී යන ආකාරය ඔබ දැක ඇති. මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වන අවස්ථාවේදීත් එලෙසම වෙයි.” (ලූක් 17:23, 24) මෙසියස් කියලා කියාගන්නා අයට රැවටෙන්නේ නැතුව ඉන්න ගෝලයන්ට පුළුවන් කොහොමද? යේසුස් කියන්නේ අහසේ විහිදිලා යන විදුලි සැරය පෙනෙනවා වගේ සැබෑ මෙසියස් පැමිණෙද්දී ඒක පැහැදිලිව දැකගන්න පුළුවන් කියලයි. ලොකු උනන්දුවකින් බලන් ඉන්න හැමෝටම යේසුස් රජු විදිහට පැමිණ සිටින කාලය හඳුනාගන්න පුළුවන් වෙනවා.

ඒ කාලයේදී මිනිසුන් කටයුතු කරන්නේ කොහොමද කියලා යේසුස් අතීතයේදී වුණු සිද්ධීන්වලින් මෙහෙම පැහැදිලි කරනවා. ‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන කාලයේ සිදු වන දේවල් නෝවාගේ කාලයේ සිදු වූ දේවලට සමාන වෙයි. ලොත්ගේ කාලයෙත් ඒ හා සමාන දෙයක් සිදු වුණා. ඔවුන් කමින්, බොමින්, මිල දී ගනිමින්, විකුණමින්, වගා කටයුතු කරමින්, ගෙවල් ගොඩනඟමින් සිටියා. නමුත් ලොත් සොදොම් නුවරින් පිටතට ආ දවසේදී අහසෙන් ගිනිද ගෙන්දගම්ද වැටී සියලුදෙනා විනාශ වුණා. මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වීමට නියමිත දවසේදීත් එවැනිම දෙයක් සිදු වෙයි.’—ලූක් 17:26-30.

යේසුස් පැහැදිලි කරන්නේ නෝවාගේ කාලේ සහ ලොත්ගේ කාලේ හිටිය මිනිසුන් විනාශ වුණේ ඔවුන් කමින්, බොමින්, මිල දී ගනිමින්, විකුණමින්, වගා කටයුතු කරමින් සහ ගෙවල් ගොඩනඟමින් හිටිය නිසා කියලා නම් නෙවෙයි. මොකද නෝවාගේ පවුලේ අයත් ලොත්ගේ පවුලේ අයත් ඒ දේවල් කරන්න ඇති. හැබැයි අනිත් මිනිසුන් දෙවිගේ කැමැත්ත ගැනවත් ඔවුන් ජීවත් වෙමින් හිටිය කාලය ගැනවත් කිසිම තැකීමක් කළේ නැහැ. ඒ නිසා යේසුස් දැන් ගෝලයන්ට උනන්දු කරන්නේ දෙවිගේ කැමැත්තට ජීවිතයේ මුල් තැන දෙන්න කියලයි. එහෙම කළොත් විතරයි අනාගතයේදී දෙවියන් ගෙනෙන විනාශයෙන් ඔවුන්ට ගැලවෙන්න පුළුවන් වෙන්නේ.

ලොත්ගේ භාර්යාව ලුණු කණුවක් බවට පත් වෙයි

ලෝකයේ තියෙන දේවල් නිසාවත් “දමා ගිය දේවල්” නිසාවත් තමන්ගේ අවධානය වෙනතකට යොමු නොකරන්න ගෝලයන් වගබලා ගන්න ඕනේ. ඒ ගැන යේසුස් මෙහෙම කියනවා. “එදින වහල්තලයේ සිටින්නා පහතට ඇවිත් තම නිවසෙහි තිබෙන බඩු බාහිරාදිය ගැනීමට ගෙට ඇතුල් නොවිය යුතුයි. එසේම කෙතෙහි සිටින තැනැත්තා තමා දමා ගිය දේවල් ගැනීමට ආපසු හැරී නොයා යුතුයි. ලොත්ගේ බිරිඳට සිදු වූ දේ කිසිවිටකත් අමතක කරන්න එපා.” (ලූක් 17:31, 32) අන්තිමේදී ඇය ලුණු කණුවක් වුණා.

දෙවිගේ රාජ්‍යයේ රජු හැටියට යේසුස් පත් වුණාම සිද්ධ වෙන දෙයක් ගැන ඔහු ගෝලයන්ට මෙහෙම කියනවා. “ඒ රාත්‍රියේදී මිනිසුන් දෙදෙනෙක් එකම ඇඳේ නිදාගෙන සිටියි. එක් කෙනෙකුව ගෙන යනු ලබයි. අනික් තැනැත්තාව අත්හරිනු ලබයි.” (ලූක් 17:34) ඔව්, සමහර අයට ගැලවෙන්න අවස්ථාව ලැබුණත් තවත් අයට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ.

“ස්වාමීනි, මේ දේවල් සිදු වන්නේ කොහේදීද” කියලා දැන් ගෝලයන් අහනවා. යේසුස් උත්තර දෙන්නේ “යම් තැනකට රාජාලීන් රැස් වන විට මළ කුණත් තිබෙන්නේ එතැන බව වටහාගන්න” කියලයි. (ලූක් 17:37) සමහර අය ක්‍රියා කරන්නේ හරියට ඈත පෙනෙන රාජාලීන් වගෙයි. ඒ අය මනුෂ්‍ය පුත්‍රයා වන සැබෑ ක්‍රිස්තුස් වෙතට රැස් වෙනවා. ඒ කාලයේදී සැබෑ විශ්වාසයක් තියෙන ගෝලයන්ට සදාකාල ජීවිතය අත් කරගන්න උදව් වෙන සත්‍ය තොරතුරු යේසුස් දැනුම් දෙයි.

  • දෙවිගේ රාජ්‍යය පරිසිවරුන් අතරේ තියෙනවා කියලා කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද?

  • ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය විදුලි සැරයකට සමාන වෙන්නේ කොහොමද?

  • මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේදී ගෝලයන් සෝදිසියෙන් ඉන්න එක වැදගත් ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න