3වෙනි පරිච්ඡේදය
‘ඔබ අතරෙහි පෙරමුණ ගෙන කටයුතු කරන අයව අමතක නොකරන්න’
ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ ඉඳන් යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයන් පාලක මණ්ඩලයක් විදිහට ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්වන්න පටන්ගත්තා. (ක්‍රියා 6:2-4; හෙබ්‍රෙ. 13:7) ක්‍රි.ව. 49 විතර වෙද්දී ඔවුන්ට අමතරව තවත් අයත් පාලක මණ්ඩලයට අයිති වුණා. චර්මච්ඡේදනය ගැන ප්‍රශ්නයක් ඇති වුණාම පාලක මණ්ඩලය විදිහට කටයුතු කරපු අය අතරේ නියෝජිතයන්ට අමතරව ‘වැඩිමහල්ලනුත්’ ඉඳලා තියෙන එකෙන් ඒක පැහැදිලි වෙනවා. (ක්‍රියා 15:1, 2) ඒ අයට තිබුණු වගකීම් අතරට ක්‍රිස්තියානීන්ට බලපාන ප්‍රශ්න ගැටලු ගැන හොයලා බලන එකත් ඇතුළත් වුණා. සභාවන් ශක්තිමත් කරන්නත් ගෝලයන් අතරේ එකමුතුකම පවත්වාගන්නත් උපකාරවත් වන මඟ පෙන්වීම් ඇතුළත් ලිපි ඒ අය සභාවලට යැව්වා. හැම සභාවකම ඉන්න අය ඒ මඟ පෙන්වීම්වලට කීකරු වුණු නිසා සභාවන් දිගින් දිගටම වර්ධනය වුණා. යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදයත් අද්දැක්කා.—ක්‍රියා 8:1, 14, 15; 15:22-31; 16:4, 5; හෙබ්‍රෙ. 13:17.
2 නියෝජිතයන්ගේ මරණයෙන් පස්සේ මහ කැරැල්ල ඇති වුණා. (2 තෙස. 2:3-12) තිරිඟු සහ කිරිඳි ගැන උපමාවේ යේසුස් කියපු විදිහටම තිරිඟු (අභිෂේක ලත් ක්‍රිස්තියානීන්) අතරේ කිරිඳි (ක්‍රිස්තියානියයි කියාගන්නා අය) ඇති වුණා. කපන කාලය වන තුරුම ඒ කියන්නේ “පවතින මේ සමාජයේ අවසාන කාලය” වන තුරුම ඒ කණ්ඩායම් දෙකම එකට වැඩුණා. ඒ දේ සියවස් ගණනාවක් පුරාම සිද්ධ වුණා. (මතෙ. 13:24-30, 36-43) ඒ කාලය පුරාම අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට යේසුස්ගේ අනුමැතිය තිබුණා. ඒත් ඒ කාලයේදී යේසුස් තම අනුගාමිකයන්ට මඟ පෙන්වන්න යොදාගත්ත විශේෂ සැලැස්මක් දකින්න ලැබුණේ නැහැ. ඒ කියන්නේ පාලක මණ්ඩලයක් තිබුණේ නැහැ. (මතෙ. 28:20) හැබැයි අස්වැන්න කපන කාලයේදී වෙනසක් වෙනවා කියලා යේසුස් කියලා තිබුණා.
3 “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද” කියලා අහපු යේසුස් ඒ ගැන පැහැදිලි කරන්න නිදර්ශනයක් කිව්වා. ඒක “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනාගන්න ඔහු දීපු ‘ලකුණට’ අයිතියි. (මතෙ. 24:3, 42-47) විශ්වාසවන්ත දාසයා “නියම වේලාවට” දෙවියන්ගේ සෙනඟට පෝෂණය දෙන්න වෙහෙස නොබලා වැඩ කරනවා කියලා යේසුස් පැහැදිලි කළා. පළමුවෙනි සියවසේදී යේසුස් අනුගාමිකයන්ට මඟ පෙන්නුවේ එක පුද්ගලයෙක් මාර්ගයෙන් නෙවෙයි, කණ්ඩායමක් මාර්ගයෙන්. ඒ හා සමානව අවසාන කාල පරිච්ඡේදය වන මේ කාලයේදීත් යේසුස් අනුගාමිකයන්ට මඟ පෙන්වන්න යොදාගන්න විශ්වාසවන්ත දාසයා තනි පුද්ගලයෙක් නෙවෙයි, කණ්ඩායමක්.
“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා”
4 තම අනුගාමිකයන්ට අවශ්‍ය පෝෂණය දෙන්න යේසුස් පත් කළේ පොළොවේ ඉන්න අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව. ඔවුන්ව හඳුන්වලා තියෙන්නේ “රාජකීය පූජක පන්තියක්” විදිහටයි. “අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ, ‘ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීමට’” තමයි ඔවුන්ව පත් කරලා තියෙන්නේ. (1 පේතෘ. 2:9; මලා. 2:7; එළි. 12:17) කොහොමවුණත් පොළොවේ ඉන්න අභිෂේක ලත් හැමෝම ඒ කණ්ඩායමට අයිතිද? නැහැ. ස්ත්‍රීන් සහ දරුවන්ට අමතරව පුරුෂයන් 5,000කට යේසුස් ආශ්චර්යවත් විදිහට කන්න දීපු වෙලේ කෑම බෙදලා දීපු විදිහ ගැන හිතන්න. (මතෙ. 14:19) ඒ තරම් ලොකු සෙනඟකට කෑම බෙදලා දෙන්න යේසුස් පාවිච්චි කළේ තමන්ගේ ගෝලයන් ටිකදෙනෙක්ව විතරයි. මේ කාලයේදීත් තම අනුගාමිකයන්ට අවශ්‍ය පෝෂණය දෙන්න යේසුස් පාවිච්චි කරන්නේ ඒ හා සමාන ක්‍රමයක්.
5 ඒ අනුව බලද්දී “විශ්වාසවන්ත හා නුවණ ඇති සේවකයා” කියන්නේ අවසාන දවස්වල දේවවචනයෙන් අවශ්‍ය පෝෂණය ලබා දෙන අභිෂේක ලත් සහෝදරයන් කිහිපදෙනෙක්ට කියලා පැහැදිලියි. (ලූක් 12:42) “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට කටයුතු කරන සහෝදරයන් අවසාන කාලය පුරාම ලෝක මූලස්ථානයේ සේවය කරමින් ඉන්නවා. ඔවුන්ව හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය විදිහටයි.
6 බයිබල් අනාවැකි ඉටු වෙන විදිහ ගැනත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ඕන විදිහ ගැනත් අවශ්‍ය මඟ පෙන්වීම් ක්‍රිස්තුස් ලබා දෙන්නේ පාලක මණ්ඩලය හරහායි. දෙවියන්ගේ සෙනඟට ඒ පෝෂණය ලැබෙන්නේ සභාව මාර්ගයෙන්. (යෙසා. 43:10; ගලා. 6:16) ඉස්සර කාලේ ගෙවල්වල වැඩකටයුතු බලා කියා ගත්තේ ඒ සඳහා පත් කරපු විශ්වාසවන්ත සේවකයෙක්. ඒ හා සමානව දෙවියන්ගේ සෙනඟව බලාගන්න විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව පත් කරලා තියෙනවා. සංවිධානයට අයිති දේපළ ඇතුළු වත්කම් බලාගැනීම, දේවසේවය සංවිධානය කිරීම, සමුළු වැඩසටහන් සකස් කිරීම, සංවිධානයේ වැඩ අධීක්ෂණය කරන්න සහෝදරයන්ව පත් කිරීම සහ බයිබලය මත පදනම් සඟරා පොත් පත් සකස් කිරීම ඔවුන්ගේ වගකීම්වලට ඇතුළත්. ඒ හැම දෙයකින්ම “මෙහෙකරුවන්” හුඟක් ප්‍රයෝජන ලබනවා.—මතෙ. 24:45.
7 “මෙහෙකරුවන්” කියන්නේ කාටද? දාසයා ලබා දෙන පෝෂණයෙන් ප්‍රයෝජන ගන්න හැමෝවම තමයි ඒ විදිහට හඳුන්වන්නේ. අවසාන දවස් පටන්ගත්ත මුල් කාලයේ මෙහෙකරුවන් වුණේ අභිෂේක ලත් අය විතරයි. හැබැයි කාලයක් යද්දී ‘වෙනත් බැටළුවන්ට’ අයත් මහත් සමූහයත් ඒ අතරට අයිති වුණා. (යොහ. 10:16) විශ්වාසවන්ත දාසයා ලබා දෙන පෝෂණයෙන් ඒ දෙපිරිසම ප්‍රයෝජන ලබනවා.
8 මහත් පීඩාව අතරතුරේදී යේසුස් විනිශ්චය කරන්න ආවාම ‘තමන් සතු සියලු දේවල් බලා කියා ගැනීමට’ දාසයාව පත් කරනවා. (මතෙ. 24:46, 47) ඒ වෙද්දී විශ්වාසවන්ත දාසයාට අයිති හැම කෙනෙක්ම ස්වර්ගයේ ඉඳියි. 1,44,000දෙනාට අයිති අනිත් අයත් එක්ක එකතු වෙලා ක්‍රිස්තුස්ගේ හවුල් පාලකයන් විදිහට ක්‍රියා කරන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඒ වෙද්දී විශ්වාසවන්ත දාසයා තවදුරටත් පොළොවේ නැතත් යෙහෝවා දෙවියන් සහ යේසුස් දෙවියන්ගේ රාජ්‍යයේ “අධිපතීන්” විදිහට වැඩ කරන්න පත් කරලා තියෙන අය මාර්ගයෙන් අනිවාර්යයෙන්ම පොළොවේ ඉන්න අයට මඟ පෙන්වීම් ලබා දෙයි.—ගීතා. 45:16.
‘පෙරමුණ ගෙන ක්‍රියා කරන අයව අමතක නොකරන්න’ ඕන ඇයි?
9 ‘පෙරමුණ ගෙන කටයුතු කරන අයව අමතක නොකරන්නත්’ ඒ අයව විශ්වාස කරන්නත් හොඳ හේතු තියෙනවා. පාවුල් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඔබ ගැන ගණන් දිය යුතු අය ලෙස ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති. තම කාර්යය සුසුම්ලමින් කිරීමට සිදු වුවහොත් එයින් ඔබට හානියක් සිදු වේ.” (හෙබ්‍රෙ. 13:17) දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන් දේවල් ගැන ඔවුන් සෝදිසියෙන් ඉන්න නිසා ඒ අය දෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වෙන එක හුඟක් වැදගත්.
10 “ඔබ කරන සෑම දෙයක්ම ප්‍රේමයෙන් කිරීමට වගබලා ගන්න” කියලා පාවුල් කිව්වා. (1 කොරි. 16:14) ප්‍රේමය කියන උතුම් ගුණාංගය පදනම් කරගෙන තමයි පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන් දෙවියන්ගේ සේවකයන්ට අදාළ හැම තීරණයක්ම ගන්නේ. ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් ගැන 1 කොරින්ති 13:4-8 පදවල මෙහෙම සඳහන් වෙනවා. “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. ඔහු අමනාපයක් සිතේ තබාගන්නේ නැත. ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත. ඒ වෙනුවට සත්‍යය ජය ගන්නා විට ඔහු ඒ ගැන ප්‍රීති වෙයි. ඔහු සියල්ල ඉවසා දරාගනියි. සියල්ල විශ්වාස කරයි. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි. සියල්ල විඳදරාගනියි. ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකය.” පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන් හැම තීරණයක්ම ගන්නේ ප්‍රේමය පදනම් කරගෙන නිසා ඔවුන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම් අපේම යහපතට හේතු වෙනවා. යෙහෝවා දෙවියන් අපිට කොයි තරම් ප්‍රේම කරනවාද කියලා ඒ හැම දේකින්ම පැහැදිලියි.
දෙවියන් එක්ක තියෙන අපේ බැඳීමට හානි වෙන දේවල් ගැන සෝදිසියෙන් ඉන්න අයට කීකරු වීම හුඟක් වැදගත්
11 පළමු සියවසේදී වගේම මේ කාලයේදීත් යෙහෝවා දෙවියන් තම සෙනඟට මඟ පෙන්වන්න යොදාගන්නේ පව්කාරකම උරුම වෙලා තියෙන මිනිසුන්වයි. අතීතයෙත් යෙහෝවා දෙවියන් තමන්ගේ කැමැත්ත ඉටු කරන්න යොදාගත්තේ ඒ වගේ අයව. නෝවා ඒ අතරින් කෙනෙක්. නැව හදන අතරතුරේදී ඔහු පැමිණෙන්න නියමිතව තිබුණු විනාශය ගැන දේශනා කළා. (උත්. 6:13, 14, 22; 2 පේතෘ. 2:5) ඊජිප්තුවේ වහල්භාවයේ හිටිය ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගන්න යෙහෝවා දෙවියන් මෝසෙස්ව පාවිච්චි කළා. (නික්. 3:10) බයිබලය ලියන්න දෙවියන් පාවිච්චි කළෙත් පව්කාරකම උරුම වෙලා තිබුණු මිනිසුන්ව. (2 තිමෝ. 3:16; 2 පේතෘ. 1:21) දේශනා කිරීමේ සහ මිනිසුන්ට ගෝලයන් වෙන්න උදව් කිරීමේ වැඩයට දෙවියන් අද මඟ පෙන්වන්නෙත් පව්කාරකම උරුම කරගෙන තියෙන මිනිසුන් මාර්ගයෙන්. හැබැයි ඒ නිසා අපි දෙවියන්ගේ සංවිධානය ගැන තියෙන විශ්වාසය අඩු කරගන්න ඕන නැහැ. මේ වෙද්දී සංවිධානයෙන් ඉටු කරලා තියෙන දේවල් දිහා බලද්දී දෙවියන්ගේ මඟ පෙන්වීම නොඅඩුව ඊට ලැබෙනවා කියලා හොඳින්ම පැහැදිලියි. අභියෝගාත්මක අවස්ථාවලදී වගේම හැම කාරණයක් සම්බන්ධයෙන්ම තමන්ට මඟ පෙන්වන්නේ දෙවියන් කියලා විශ්වාසවන්ත දාසයා ඔප්පු කරලා තියෙනවා. යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසට දෙවියන් ආශීර්වාද කරන බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ නිසා දෙවියන්ගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් මුළු හිතින්ම විශ්වාස කරලා අපේ උපරිම සහයෝගය ඊට ලබා දෙමු.
යෙහෝවා දෙවියන්වත් ඔහු ඇති කරලා තියෙන සැලැස්මත් විශ්වාස කරන බව පෙන්වන්න පුළුවන් කොහොමද?
12 සභාවේ වගකීම් දරන සහෝදරයන් පැවරුම් සතුටින් පිළි අරන් ඒවා විශ්වාසවන්තව ඉටු කරද්දී ඔවුන් දෙවියන්වත් දෙවියන් ඇති කරලා තියෙන සැලැස්මත් විශ්වාස කරන බව පැහැදිලි වෙනවා. (ක්‍රියා 20:28) අපි ගෙයින් ගෙට සේවයේ හවුල් වෙන්නෙත් නැවත බැලීම් කරන්නෙත් බයිබල් පාඩම් පවත්වන්නෙත් ලොකු උද්යෝගයකින්. (මතෙ. 24:14; 28:19, 20) විශ්වාසවන්ත දාසයා ලබා දෙන පෝෂණයෙන් ප්‍රයෝජන ලබන්න අපි ආස නිසා චාරිකා සහ තුන්දින සමුළු ඇතුළු ක්‍රිස්තියානි රැස්වීම්වලට අපි හොඳින් සූදානම් වෙලා සහභාගි වෙනවා. ඒවාට හවුල් වෙද්දී සහෝදර ආශ්රයෙන් එකිනෙකාව දිරිගන්වන්නත් අවස්ථාව ලැබෙනවා.—හෙබ්‍රෙ. 10:24, 25.
13 අපේ මිල මුදල් සහ වටිනා දේවල් සංවිධානයට දෙන එකෙනුත් සංවිධානය ගැන අපිට විශ්වාසයක් තියෙනවා කියලා පැහැදිලි වෙනවා. (හිතෝ. 3:9, 10) සහෝදරයන් හිඟකම්වලින් පෙළෙනවා දකිද්දී අපි ඉක්මනින්ම ඔවුන්ට උදව් කරනවා. (ගලා. 6:10; 1 තිමෝ. 6:18) අපි එහෙම කරන්නේ ඔවුන්ට ආදරේ නිසයි. (යොහ. 13:35) අපි ඒක සලකන්නේ යෙහෝවා දෙවියන් සහ ඔහුගේ සංවිධානය අපි වෙනුවෙන් කරලා තියෙන දේවලට අගය ප්‍රකාශ කරන්න පුළුවන් අවස්ථාවක් විදිහටයි.
14 සංවිධානය ගන්නා තීරණවලට අපේ උපරිම සහයෝගය දීමෙනුත් අපිට ඇත්තටම සංවිධානය ගැන විශ්වාසයක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. “පෙරමුණ ගෙන කටයුතු කරන” චාරිකා සේවකයන් ඇතුළු සභාවේ වැඩිමහල්ලන් ලබා දෙන මඟ පෙන්වීම්වලට කැමැත්තෙන්ම කීකරු වෙන එකත් ඊට ඇතුළත්. (හෙබ්‍රෙ. 13:7, 17) සමහර තීරණ ගන්න හේතුව අපිට හරියටම අවබෝධ වුණේ නැතත් ඒවාට කීකරු වෙන එක හුඟක් ප්‍රයෝජනවත් කියලා අපි දන්නවා. දෙවියන්ගේ වචනයේ සඳහන් මඟ පෙන්වීම්වලටත් සංවිධානය මාර්ගයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලටත් කැමැත්තෙන්ම කීකරු වෙද්දී යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය අද්දකින්න අපිට පුළුවන්. ඒ නිසා හැම කාරණයකදීම අපි අපේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්ට කීකරු වෙමු.
15 විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව විශ්වාස කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. මේ සමාජයේ දෙවියා වන සාතන් උත්සාහ කරන්නේ මොන විදිහකින් හරි යෙහෝවා දෙවියන්ටත් දෙවියන්ගේ සංවිධානයටත් නින්දා කරන්න. (2 කොරි. 4:4) ඔහු අටවන උගුල්වලට අහු වෙන්න එපා. (2 කොරි. 2:11) තමන්ට තියෙන්නේ ටික කාලයක් විතරයි කියලා හොඳින්ම දන්න සාතන් උත්සාහ කරන්නේ පුළුවන් තරම් දෙනෙක්ව දෙවියන්ගෙන් ඈත් කරන්නයි. (එළි. 12:12) සාතන් ඔහුගේ කූට උපායන් තව තවත් වැඩියෙන් යොදාගද්දී අපි ඊටත් වඩා වැඩියෙන් යෙහෝවා දෙවියන්ට ළං වෙමු. යෙහෝවා දෙවියන් ගැනත් තම සෙනඟට මඟ පෙන්වන්න දෙවියන් ඇති කරලා තියෙන සැලැස්ම ගැනත් අපි පූර්ණ විශ්වාසය තියමු. එතකොට සහෝදරයන් අතරේ තියෙන එකමුතුකම දිගටම පවත්වාගන්න පුළුවන් වෙනවා.