ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • od 6 පරි. 53-58 පි.
  • වැදගත් සේවයක් ඉටු කරන සහායක සේවකයන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැදගත් සේවයක් ඉටු කරන සහායක සේවකයන්
  • යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සහායක සේවකයන්ට තියෙන්න ඕන සුදුසුකම්
  • සහායක සේවකයන් ඉටු කරන විවිධ පැවරුම්
  • සහායක සේවකයන් කරන්නේ මොන වගේ සේවයක්ද?
    දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
  • වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් අතර සමගිය පවත්වා ගැනීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩිමහල්ලෙනි, වගකීම් ඉසිලීමට අන්‍යයන්ව පුහුණු කරන්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සහෝදරයෙනි, සහායක සේවකයෙක් වෙන්න ඔයාට ඉලක්කයක් තියෙනවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
od 6 පරි. 53-58 පි.

6වෙනි පරිච්ඡේදය

වැදගත් සේවයක් ඉටු කරන සහායක සේවකයන්

පාවුල් ෆිලිප්පි සභාවට ලියපු ලියුම පටන්ගත්තේ මෙහෙමයි. “ක්‍රිස්තුස් යේසුස්ගේ දාසයන් වන පාවුල් සහ තිමෝති මෙම ලිපිය ලියන්නේ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින සභාව රැකබලා ගන්නන් සහ සහායක සේවකයන් ඇතුළු ෆිලිප්පියේ සිටින සියලු ශුද්ධ තැනැත්තන් වෙතටය.” (ෆිලි. 1:1) ඔහු සහායක සේවකයන්වත් ඒ ලිපියට ඇතුළත් කරලා තියෙනවා. ඒ අය වැඩිමහල්ලන්ට උපරිමයෙන් සහාය වුණා. අද ඉන්න සහායක සේවකයනුත් කටයුතු කරන්නේ ඒ විදිහටමයි. ඔවුන් වැඩිමහල්ලන්ට උපරිමයෙන් සහාය වෙන නිසා සභාවේ වැඩකටයුතු පිළිවෙළකට කරගෙන යන්න පුළුවන්.

2 ඔයාගේ සභාවේ ඉන්න සහායක සේවකයන්ව ඔයා දන්නවාද? සභාවේ හැමෝම වෙනුවෙන් ඒ අය මොන තරම් දේවල් කරනවාද කියලා ඔයා දන්නවාද? ඔවුන් වෙහෙස නොබලා කරන සේවය යෙහෝවා දෙවියන් අගය කරන බවට නම් සැකයක් නැහැ. පාවුල් ඔවුන් ගැන මෙහෙම කිව්වා. “හොඳින් සේවය කරන පුරුෂයන්ට සියලුදෙනා ඉදිරියේ හොඳ නමක් දිනාගැනීමටත් කිසි බියක් සැකක් නැතුව ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි ඇති තම විශ්වාසය ගැන කතා කිරීමටත් හැකියාව ලැබේ.”—1 තිමෝ. 3:13.

සහායක සේවකයන්ට තියෙන්න ඕන සුදුසුකම්

3 සහායක සේවකයන් ආදර්ශවත් ජීවිත ගත කරන, වගකීමෙන් වැඩ කරන වගේම තමන්ගේ පැවරුම හොඳින් ඉටු කරන අය වෙන්න ඕනේ. සහායක සේවකයන් වෙන්න කැමති අයට තියෙන්න ඕන සුදුසුකම් හැටියට පාවුල් සඳහන් කරලා තියෙන මේ දේවල් දිහා බලද්දී ඒක පැහැදිලි වෙනවා. “සහායක සේවකයන්ද ගෞරවනීයව හැසිරෙන, දිව දෙකේ කතා නොකියන, බොහෝ වයින් බීමට ලොල් නොවූ, අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන අය විය යුතුයි. එලෙසම ඔවුන් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව දෙවිගේ පරිශුද්ධ රහසක් වන ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට ඇලී සිටින අය විය යුතුයි. මුලින්ම ඔවුන් සුදුස්සන්ද කියා සෝදිසි කර බැලිය යුතුයි. ඔවුන්ට විරුද්ධව කිසි චෝදනාවක් එල්ල වී නැත්නම් ඔවුන්ට එවැනි සේවයක් කළ හැක. සහායක සේවකයන්ටත් සිටිය යුත්තේ එක භාර්යාවක් පමණි. ඔවුන් තම දරුවන්වද තම නිවසේ සිටින අයවද හොඳින් රැකබලා ගන්නා අය විය යුතුයි.” (1 තිමෝ. 3:8-10, 12) ඒ සුදුසුකම් තියෙන අයව සහායක සේවකයන් හැටියට පත් කළාම සභාවේ වගකීම් දරන අය ගැන චෝදනා කරලා සභාවට දොස් කියන්න කිසිම කෙනෙක්ට පුළුවන් වෙන්නේ නැහැ.

4 සහායක සේවකයන් තරුණ වයසේ හිටියත් මහලු වයසේ හිටියත් ඔවුන් හැමෝම නොකඩවා දේශනා සේවයේ හවුල් වෙනවා. යේසුස්ව ආදර්ශයට ගන්නා ඔවුන් සේවයේ හවුල් වෙන්නේ ලොකු උද්‍යෝගයකින්. ඒකෙන් ඔවුන් පෙන්වන්නේ යෙහෝවා දෙවියන් වගේම ඔවුනුත් මිනිසුන් ගැලවෙනවා දකින්න ආශාවෙන් ඉන්නවා කියන එකයි.—යෙසා. 9:7.

5 සහායක සේවකයන් ඇඳුම් පැළඳුම්, කතාබහ, ආකල්ප සහ හැසිරීම අතින් ආදර්ශවත් අය වෙනවා. හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන ඔවුන් අනිත් අයගේ ගෞරවයත් දිනාගන්නවා. දෙවියන් එක්ක තියෙන බැඳීමවත් සභාවේ වගකීම් ඉටු කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදයවත් ඔවුන් සැහැල්ලුවට ගන්නේ නැහැ.—තීත. 2:2, 6-8.

6 සහායක සේවකයන්ව පත් කරන්නේ ඔවුන් ‘සුදුස්සන්ද කියලා සෝදිසි කළාට’ පස්සෙයි. ඒ පැවරුම ලැබෙන්න කලින් ඉඳලාම ඔවුන් ඔප්පු කරලා තියෙනවා ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම දේ යෙහෝවා දෙවියන්ට සේවය කරන එක කියලා. ඒ වගේම තමන් දේවරාජ්‍යයට මුල් තැන දෙනවා කියලත් දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න ලැබෙන ඕනෙම වරප්‍රසාදයක් අත් කරගන්න වෑයම් කරනවා කියලත් ඔවුන් ඔප්පු කරලා තියෙනවා. ඔවුන් සභාවේ හැමෝටම හොඳ ආදර්ශයක්.—1 තිමෝ. 3:10.

සහායක සේවකයන් ඉටු කරන විවිධ පැවරුම්

7 සහායක සේවකයන් සභාව වෙනුවෙන් හුඟක් දේවල් කරන නිසා ඉගැන්වීමේ කටයුතුවලටත් සහෝදරයන්ව මුණගැහිලා දිරිගැන්වීමේ කටයුතුවලටත් මූලික අවධානය දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්. වැඩිමහල් මණ්ඩලය සහායක සේවකයන්ට පැවරුම් දෙන්නේ ඔවුන්ගේ හැකියාවන් සහ සභාවේ අවශ්‍යතාවන් සැලකිල්ලට අරගෙනයි.

සහායක සේවකයන් සභාව වෙනුවෙන් හුඟක් දේවල් කරන නිසා ඉගැන්වීමේ කටයුතුවලටත් සහෝදරයන්ව මුණගැහිලා දිරිගැන්වීමේ කටයුතුවලටත් මූලික අවධානය දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්

8 පොත් පත් භාරව කටයුතු කරන්න සහායක සේවකයෙක්ට පැවරෙන්න පුළුවන්. පෞද්ගලික පිටපත් වගේම සේවයට අවශ්‍ය කරන ප්‍රකාශන ලබාගන්න ඒක අපිට උදව් වෙනවා. සභාවේ ගිණුම් වාර්තා හරි සේවය කරන ප්‍රදේශයේ වාර්තා හරි සකස් කරන්න, මයික්‍රෆෝන හසුරුවන්න, ශබ්ද විකාශන යන්ත්‍ර මෙහෙයවන්න, පරිවාරකයන් විදිහට වැඩ කරන්න සහ වෙනත් විදිවලින් වැඩිමහල්ලන්ට උපකාර කරන්න වගේ පැවරුම් සහායක සේවකයන්ට පැවරෙන්න පුළුවන්. ඊට අමතරව නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන්නත් ඒක පිරිසිදුව තියාගන්නත් හුඟක් වැඩ කරන්න සිද්ධ වෙන නිසා ඒ දේවලට උදව් කරන්න තවත් අයට පැවරුම් ලැබෙන්න පුළුවන්.

9 සමහර සභාවන්වල ඒ එක් එක් පැවරුම් සඳහා වෙන වෙනම සහායක සේවකයන්ව පත් කරන්න පුළුවන්. තවත් සභාවල පැවරුම් කිහිපයක්ම එක සහායක සේවකයෙක්ට ලැබෙන්න පුළුවන්. තවත් සභාවල එක පැවරුමක් ඉටු කරන්න සහායක සේවකයන් කිහිපදෙනෙක්ව පත් කරන්න ඉඩ තියෙනවා. සහායක සේවකයන් අඩු අවස්ථාවලදී ඒ පැවරුම් සඳහා බව්තීස්ම වුණු ආදර්ශවත් සහෝදරයන්ව පත් කරන්න වැඩිමහල් මණ්ඩලය තීරණය කරන්න පුළුවන්. ඉදිරියේදී ඒ අය සහායක සේවකයන් වුණාම තමන්ගේ පැවරුම් හොඳින් ඉටු කරන්න ඒ පුහුණුව ඔවුන්ට උදව් වෙයි. සාමාන්‍යයෙන් සහායක සේවකයන් විදිහට සහෝදරියන්ව පත් කරන්නේ නැහැ. හැබැයි ප්‍රමාණවත් සහෝදරයන් නැත්නම් යම් පැවරුම් ඉටු කරන්න ආදර්ශවත් සහෝදරියන්ව පත් කරන්න ඉඩ තියෙනවා. නමස්කාර කටයුතු සහ හැසිරීම සම්බන්ධයෙන් හොඳ නමක් දිනාගෙන තියෙන අයව තමයි ආදර්ශවත් අය විදිහට හඳුන්වන්නේ. රැස්වීම්වලට සහභාගි වීම, සේවයේ හවුල් වීම, පවුල් ජීවිතය ගෙවන විදිහ, විනෝදයට තෝරාගන්න දේවල්, අඳින පළඳින විදිහ ඇතුළු හැම පැත්තකින්ම ඒ අය අනිත් අයට ආදර්ශයක් වෙනවා.

10 වැඩිමහල්ලන් අඩු සභාවල බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අයත් එක්ක මේ පොතේ උපග්‍රන්ථයේ සඳහන් ප්‍රශ්න සාකච්ඡා කරන්න සුදුසුකම් තියෙන සහායක සේවකයන්ව පත් කරන්න පුළුවන්. බයිබල් ඉගැන්වීම්වලට අදාළ කොටස් සාකච්ඡා කරන්න තමයි ඔවුන්ව පත් කරන්නේ. ඔවුන් සාකච්ඡා කරන්නේ මේ පොතේ උපග්‍රන්ථයේ “බයිබල් සත්‍යයන්” යන මාතෘකාව යටතේ තියෙන 1වෙනි කොටසයි. “ක්‍රිස්තියානි ජීවිතය” යන මාතෘකාව යටතේ තියෙන 2වෙනි කොටසේ සඳහන් වෙන තොරතුරුවල ස්වභාවය නිසා ඒ කොටස සාකච්ඡා කරන්න ඕනෙ වැඩිමහල්ලෙක් විසිනුයි.

11 හොඳ හේතුවක් තිබුණොත් සහායක සේවකයෙක් ඉටු කරන පැවරුමක් වෙනත් සහායක සේවකයෙක්ට පවරන්න වැඩිමහල් මණ්ඩලය තීරණය කරන්න පුළුවන්. හැබැයි කෙනෙක් යම් කාලයක් පුරා එක පැවරුමක් ඉටු කරද්දී අද්දැකීම් ලබාගෙන ඒ සම්බන්ධයෙන් දක්ෂ වෙන්න ඔහුට පුළුවන් වෙනවා.

12 දියුණු වෙමින් ඉන්න සහායක සේවකයන්ට සභාවේ තත්වයන් අනුව අමතර පැවරුම් ලැබෙයි. (1 තිමෝ. 4:15) උදාහරණයකට වැඩිමහල්ලන් අඩු සභාවල කණ්ඩායම භාර වැඩිමහල්ලාට සහාය වෙන කෙනා විදිහට හරි වැඩිමහල්ලන්ගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් සේවක විදිහට හරි වැඩ කරන්න පැවරුමක් ලැබෙන්න ඉඩ තියෙනවා. ජීවිතය සහ දේවසේවය සඳහා රැස්වීමේ කොටස් මෙහෙයවන්නත් අවශ්‍යතාවක් මතු වුණොත් ඒ රැස්වීමටම ඇතුළත් සභා බයිබල් පාඩම මෙහෙයවන්නත් ඔවුන්ට පැවරුමක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම බයිබල් දේශන ඉදිරිපත් කරන්නත් ඔවුන්ට පැවරුම් ලැබෙන්න පුළුවන්. යම් අවශ්‍යතාවන් මතු වුණොත් ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් තියෙනවා නම් තවත් පැවරුම් පවා ඔවුන්ට ලැබෙන්න ඉඩ තියෙනවා. (1 පේතෘ. 4:10) වැඩිමහල්ලන්ට අවශ්‍ය උපකාර ලබා දෙන්න සහායක සේවකයන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන එක හුඟක් වැදගත්.

13 වැඩිමහල්ලන් ඉටු කරන පැවරුම්වලට වඩා සහායක සේවකයන් ඉටු කරන පැවරුම්වල වෙනසක් තියෙන බව ඇත්ත. ඒත් ඔවුන් ඉටු කරන පරිශුද්ධ සේවාවන් කොයිම විදිහකින්වත් අවතක්සේරු කරන්න බැහැ. ඔවුන් කරන සේවාවන් සභාවේ වැඩකටයුතු පිළිවෙළකට පවත්වාගෙන යන්න උදව් වෙනවා. සහායක සේවකයන් තම පැවරුම් හොඳින් ඉටු කරනවා නම් ඒ වගේම දක්ෂ ගුරුවරුන් සහ එඬේරුන් වෙන්න අවශ්‍ය සුදුසුකම් අත් කරගන්නවා නම් ඔවුන්ව වැඩිමහල්ලන් වෙන්න සුදුසු අය විදිහට නිර්දේශ කරන්න ඉඩ තියෙනවා.

14 ඔයා තරුණ සහෝදරයෙක් නම් එහෙමත් නැත්නම් ළඟදී බව්තීස්ම වුණු කෙනෙක් නම් සහායක සේවකයෙක් වෙන්න ඔයා වෑයම් කරනවාද? (1 තිමෝ. 3:1) හැම අවුරුද්දකම සැබෑ නමස්කාරයට අලුත් අය එකතු වෙන නිසා වගකීම් ඉටු කරන්න අවබෝධයෙන් වැඩ කරන සහෝදරයන්ව ඕනේ. අනිත් අයට උදව් කරන්න ඔයා ආශාවක් ඇති කරගන්නවා නම් සහායක සේවකයෙක් විදිහට වැඩ කරන්න වෑයමක් දරන්න ඔයාත් පෙලඹෙයි. යේසුස්ගේ ආදර්ශය ගැන කල්පනා කරන එක කැමැත්තෙන්ම අනිත් අයට උදව් කරන්න ඔයාට උදව්වක් වෙයි. (මතෙ. 20:28; යොහ. 4:6, 7; 13:4, 5) දීමෙන් ලැබෙන සතුට අද්දකිද්දී සහායක සේවකයෙක් වෙන්න ඔයාට තියෙන ආශාව තවත් වැඩි වෙයි. (ක්‍රියා 20:35) ඒ නිසා අනිත් අයට උදව් කරන්නත් නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන්න සහාය වෙන්නත් ජීවිතය සහ දේවසේවය සඳහා රැස්වීමේ ශිෂ්‍ය පැවරුම් ස්වේච්ඡාවෙන් කරන්නත් කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න. ඒ වගේම පෞද්ගලික අධ්‍යයනය නිතිපතාම කරලා දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්නත් උත්සාහ කරන්න. (ගීතා. 1:1, 2; ගලා. 5:22, 23) සහායක සේවකයෙක් වෙන්න වෑයම් කරන සහෝදරයන් තමන්ට ලැබෙන ඕනෙම පැවරුමක් විශ්වාසවන්තව ඉටු කරන එකත් හුඟක් වැදගත්.—1 කොරි. 4:2.

15 දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමෙන් සහායක සේවකයන්ව පත් කරන්නේ සභාවේ යහපත වෙනුවෙනුයි. ඔවුන් තම පැවරුම් ඉටු කරද්දී සභාවේ හැමෝටම පුළුවන් ඒ අයට සහාය දීමෙන් ඔවුන් කරන සේවය අගය කරන්න. එහෙම කරද්දී යෙහෝවා දෙවියන් සභාවේ වැඩකටයුතු පිළිවෙළකට කරන්න ඇති කරලා තියෙන සැලැස්ම අගය කරන බව පෙන්වන්න සභාවේ හැමෝටම පුළුවන් වෙනවා.—ගලා. 6:10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න