13වෙනි පරිච්ඡේදය
“සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න”
දෙවියන්ට කැප වෙලා ඉන්න අපි, ජීවිතේ හැම දෙයක්ම දෙවියන්ගේ ප්‍රශංසාව සහ ගෞරවය වෙනුවෙන් කරන්න බැඳිලා ඉන්නවා. පාවුල් ඒ ගැන මතක් කළේ මෙහෙමයි. “ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න.” (1 කොරි. 10:31) එහෙම කරන්න නම් දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව අපි ජීවත් වෙන්න ඕනේ. දෙවියන්ගේ පෞද්ගලිකත්වය ඒ ප්‍රමිතිවලින් පිළිබිඹු වෙනවා. (කොලො. 3:10) දෙවියන්ගේ ශුද්ධ සෙනඟ විදිහට අපි දෙවියන්ව අනුකරණය කරන්න ඕනේ.—එෆී. 5:1, 2.
2 පාවුල් ක්‍රිස්තියානීන්ට මෙහෙම කිව්වා. “කීකරු දරුවන් වන්න. ඔබ මීට පෙර නොදැනුවත්කමින් තෘප්තිමත් කරගත් ආශාවලට අනුව තවදුරටත් ක්‍රියා නොකරන්න. ඔබව කැඳවූ ශුද්ධ තැනැත්තාණන් මෙන් ඔබත් ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි. මන්ද, ‘මා ශුද්ධව සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි’ කියා ලියා ඇත.” (1 පේතෘ. 1:14-16) ඊශ්‍රායෙල් සෙනඟගෙන් වගේම ක්‍රිස්තියානි සභාවේ අයගෙනුත් දෙවියන් බලාපොරොත්තු වෙනවා ඔවුන් ශුද්ධව ඉඳියි කියලා. ඒ දේ කරන්න නම් ඔවුන් මේ සමාජයේ තියෙන පව්කාර දේවලින් අපවිත්‍ර නොවී දෙවියන්ට පරිශුද්ධ සේවයක් පිරිනමන්න වෙන් වුණු සෙනඟක් විදිහට ජීවත් වෙන්න ඕනේ.—නික්. 20:5.
3 දිගටම ශුද්ධව ඉන්න නම් අපි බයිබලයේ සඳහන් වෙලා තියෙන යෙහෝවා දෙවියන්ගේ නීති සහ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න ඕනේ. (2 තිමෝ. 3:16) අපි බයිබලය පාඩම් කරද්දී යෙහෝවා දෙවියන් ගැනත් ඔහු කැමති අකමැති දේවල් ගැනත් දැනගත්තා. ප්‍රතිඵලයක් විදිහට අපි දෙවියන්ට ළං වුණා. දෙවියන්ගේ රාජ්‍යයටත් දෙවියන්ගේ කැමැත්ත කරන එකටත් ජීවිතයේ මුල් තැන දෙන එක මොන තරම් වැදගත්ද කියලා අපි තේරුම්ගත්තා. (මතෙ. 6:33; රෝම 12:2) ඒ සඳහා අනිවාර්යයෙන්ම අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න ඕනෙ කියලත් අපි තේරුම්ගත්තා.—එෆී. 4:22-24.
නමස්කාරය සහ සදාචාරය අතින් පවිත්‍රව සිටීම
4 යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන එක සමහර අවස්ථාවලදී අභියෝගයක් වෙනවා. මොකද අපේ සතුරා වන යක්ෂයා මාන බලාගෙන ඉන්නේ අපිව සත්‍ය නමස්කාරයෙන් එළියට ඇදලා ගන්න. ඒ විතරක් නෙවෙයි මේ ලෝකයේ තියෙන දුෂ්ට බලපෑමත් අපිට උරුම වෙලා තියෙන පව්කාරකමත් ඒකට හේතු වෙනවා. ඒ නිසා අපේ කැප වීමට එකඟව ජීවත් වෙන්න නම් අපිට ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා. අපිට පීඩා එද්දී අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරද්දී අපිට අනිවාර්යයෙන්ම පීඩා එනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝ. 3:12) පීඩාවලට මුහුණ දෙන්න වෙද්දී අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. අපි දෙවියන්ගේ කැමැත්ත කරනවා කියලා ඒකෙන් ඔප්පු වෙනවා.—1 පේතෘ. 3:14-16; 4:12, 14-16.
5 යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් ඔහු වින්ද දුක් පීඩාවලින් කීකරුකම ඉගෙනගත්තා. සාතන් ඉදිරිපත් කරපු දේවල් ගැනවත් උසස් තනතුරු ලබාගන්න එක ගැනවත් ඔහු මොහොතකටවත් හිතුවේ නැහැ. (මතෙ. 4:1-11; යොහ. 6:15) දෙවියන්ගේ ප්‍රතිපත්ති කඩ කරන එක ඔහුගේ හිතේවත් තිබුණේ නැති දෙයක්. දෙවියන්ට විශ්වාසවන්තව හිටපු නිසා ලෝකයේ මිනිසුන් ඔහුට වෛර කළත් ඔහු දිගටම දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වුණා. ලෝකයේ මිනිසුන් ගෝලයන්ටත් වෛර කරයි කියලා යේසුස් අනතුරු ඇඟෙව්වා. ඒ කාලයේ ඉඳන් මේ වෙන කල්ම යේසුස්ගේ අනුගාමිකයන් විවිධ පීඩා අද්දැකලා තියෙනවා. ඒත් ඔවුන් නොසැලී ඉන්නේ දෙවියන්ගේ පුත්‍රයා මේ ලෝකයෙන් ජය ගත් බව ඔවුන් හොඳින්ම දන්න නිසයි.—යොහ. 15:19; 16:33; 17:16.
6 මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී ඉන්න නම් අපි යේසුස් වගේ දිගටම දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඕනේ. දේශපාලනය ඇතුළු මේ සමාජයට සම්බන්ධ දේවලට හවුල් නොවී ඉන්නත් පිරිහුණු සදාචාරය නිසා ඇති වන බලපෑම් ප්‍රතික්ෂේප කරන්නත් අපි වගබලා ගන්න ඕනේ. යාකොබ් 1:21 මෙහෙම සඳහන් වෙනවා. “සෑම අපවිත්‍ර ක්‍රියාවකින්ම සහ කිසි වැදගැම්මකට නැති, නපුරු දේවලින්ද දුරස් වී දෙවිගේ වදන් මෘදුකමින් පිළිගෙන ඒවා ඔබේ හදවත් තුළ රෝපණය වීමට ඉඩහරින්න.” බයිබලය අධ්‍යයනය කරන එකත් රැස්වීම්වලට සහභාගි වෙන එකත් දෙවියන්ගේ වදන් අපේ හදවතේ සහ මනසේ “රෝපණය” කරගන්න උදව් වෙනවා. එතකොට ලෝකයේ දේවලට ඇලුම් නොකර ඉන්න අපිට පුළුවන්. බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “අනාචාරයේ යෙදෙන්නෙනි, ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වන බව ඔබ දැන සිටියේ නැද්ද? ඒ අනුව කෙනෙකු ලෝකයේ අය සමඟ මිත්‍ර වීමට කැමති නම් ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.” (යාකො. 4:4) ඒ නිසයි මේ ලෝකයේ දේවලට සම්බන්ධ වෙන්න එපා කියලත් දිගටම දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න කියලත් බයිබලයේ අනතුරු අඟවන්නේ.
7 ලැජ්ජාසහගත පහත් ක්‍රියාවන් ගැන බයිබලයේ මෙහෙම අනතුරු අඟවලා තියෙනවා. “වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි. ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත.” (එෆී. 5:3) ඒ නිසා අසභ්‍ය, ලැජ්ජාසහගත නැත්නම් අගෞරවනීය දේවල් ගැන හිතන එකෙන් අපි වළකින්න ඕනේ. ඒ දේවල් ගැන කතාබහ කරන එකවත් සුදුසු නැහැ. අපි ඒ දේවල් අදාළ කරගද්දී සදාචාරය සම්බන්ධයෙන් යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න අපි කැමතියි කියලා ඔප්පු වෙනවා.
ශාරීරික පවිත්‍රකම
8 නමස්කාරය සහ සදාචාරය පවිත්‍රව තියාගන්න එක ගැන වගේම ශාරීරික පවිත්‍රකම ගැනත් ක්‍රිස්තියානීන් සැලකිලිමත් වෙනවා. ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ කඳවුර පවිත්‍රව තියාගන්න කියලා ශුද්ධ දෙවියන් යෙහෝවා කියලා තිබුණා. අපිත් හැම පැත්තකින්ම පවිත්‍රව ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඒක දෙවියන් ඉදිරියේ ශුද්ධව ඉන්න අපිට උදව් වෙනවා.—ද්වි. 23:14.
9 ශුද්ධව ඉන්න ශාරීරික පවිත්‍රකම උදව් වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට පාවුල් මෙහෙම කියලා තියෙනවා. “ප්‍රේමණීය සහෝදරයෙනි, අපට ඒ පොරොන්දු ලබා දී තිබෙන නිසා අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු. එලෙසම දේවගරුබිය දක්වමින් අපගේ ශුද්ධකම දිනෙන් දින පූර්ණ මට්ටමකට ගෙනෙමු.” (2 කොරි. 7:1) ඒ නිසා ක්‍රිස්තියානීන් නිතිපතා නෑමෙන් සහ ඇඳුම් සෝදාගැනීමෙන් පවිත්‍රව ඉන්න ඕනේ. රටින් රටට තත්වයන් වෙනස් වුණත් ශාරීරිකව පවිත්‍රව ඉන්නත් දරුවන්ව පවිත්‍රව තියාගන්නත් අවශ්‍ය වතුර, සබන් හුඟක් වෙලාවට හොයාගන්න පුළුවන්.
10 අපි දේශනා සේවයේ හවුල් වෙන නිසා හුඟක් වෙලාවට අපි ජීවත් වෙන පළාතේ අය අපිව හොඳින් දන්නවා. පවුලේ හැමෝම එකතු වෙලා නිවසත් වටපිටාවත් පවිත්‍රව, පිළිවෙළකට තියාගන්නවා නම් ඒක අසල්වැසියන්ට කදිම සාක්ෂියක්. ඒ නිසා නිවස සහ ඒ අවට පවිත්‍රව, පිළිවෙළකට තියාගන්න එක ගැන සහෝදරයන් සැලකිලිමත් වෙන්න ඕනේ. ස්වාමිපුරුෂයන් ඒ දේ හොඳින් කරනවා නම් ඒ වගේම පවුලක් විදිහට දෙවියන්ට කරන නමස්කාරයේදී පෙරමුණ ගන්නවා නම් පවුලේ මූලිකයන් සතු වගකීම් ඔවුන් හොඳින් ඉටු කරනවා කියලා කියන්න පුළුවන්. (1 තිමෝ. 3:4, 12) සහෝදරියන්ටත් යම් වගකීම් තියෙනවා. ඒ අතරින් නිවස පවිත්‍රව, පිළිවෙළකට තියාගැනීම ගැන ඔවුන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. (තීත. 2:4, 5) ඒ වගේම දරුවන් පිරිසිදුව ඉන්නත් ඔවුන්ගේ කාමර පිළිවෙළකට තියාගන්නත් ඕනේ. පවුලේ හැමෝම එකතු වෙලා පවිත්‍රකම ගැන ඒ විදිහට සැලකිලිමත් වෙද්දී දෙවියන්ගේ රාජ්‍යයේ පාලනය යටතේ දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන්න ඒක හොඳ පුහුණුවක් වෙනවා.
11 හුඟක් සාක්ෂිකරුවන් රැස්වීම්වලට යන්නේ තමන්ගේම වාහනවලින්. සමහර ප්‍රදේශවල සේවයේ යන්න වාහනයක් නැතුවම බැහැ. වාහනය පවිත්‍රව තියාගන්න එකත් හොඳින් නඩත්තු කරන එකත් හුඟක් වැදගත්. අපි යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන ශුද්ධ, පිරිසිදු සෙනඟක් කියන එක අපේ නිවෙස් සහ වාහන දකිද්දී අනිත් අයට පැහැදිලිව පෙනෙන්න ඕනේ. අපි සේවයේ ගෙනියන බයිබලයත් අපේ බෑග් එකත් පිරිසිදුව පිළිවෙළකට තියෙන්න ඕනේ.
12 අපි අඳින පළඳින විදිහ වගේම අපේ පෙනුමත් දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව තියෙන්න ඕනේ. රජයේ උසස් නිලධාරියෙක්ව මුණගැහෙන්න යන්න වුණොත් අපි කවදාවත් අපිළිවෙළට ඇඳගෙන යන්නේ නැහැ. එහෙමනම් යෙහෝවා දෙවියන්ව නියෝජනය කරමින් ගෙයින් ගෙට සේවයේ යද්දී, වේදිකාවට නඟිද්දී ඊටත් වඩා කොයි තරම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙද! අපි යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය ගැන අනිත් අය දරන ආකල්පයට අපි අඳින පළඳින විදිහ බලපාන්න පුළුවන්. ඒ නිසා අපිළිවෙළටවත් අනිත් අයව අපහසුතාවට පත් වෙන විදිහටවත් අඳින එක කොහෙත්ම සුදුසු නැහැ. (මීකා 6:8; 1 කොරි. 10:31-33; 1 තිමෝ. 2:9, 10) සේවයේ යද්දී, රැස්වීම් සහ සමුළුවලට යද්දී පවිත්‍රව ඉන්න එක ගැනත් පෙනුම පිළිවෙළකට පවත්වාගන්න එක ගැනත් බයිබලයේ සඳහන් දේවල් අපි මතක තියාගන්න ඕනේ. හැම අවස්ථාවකදීම අපි උත්සාහ කරන්නේ යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්නයි.
දෙවියන්ට කැප වෙලා ඉන්න අපි, ජීවිතේ හැම දෙයක්ම දෙවියන්ගේ ප්‍රශංසාව සහ ගෞරවය වෙනුවෙන් කරන්න බැඳිලා ඉන්නවා
13 සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය හරි ශාඛා කාර්යාලයක් හරි බලන්න යද්දීත් ඒ දේවල් අදාළයි. බෙතෙල් කියන වචනයේ අදහස “දෙවියන්ගේ ගෘහය” කියලා අපි මතක තියාගන්න ඕනේ. ඒ නිසා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙද්දී අපි අඳින විදිහත් හැසිරෙන විදිහත් තමයි ඒ තැන්වලට යද්දීත් අපි අනුගමනය කරන්න ඕනේ.
14 අනිත් අවස්ථාවලදීත් අඳින පළඳින විදිහ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ප්රශ්නය ගැන හිතන එක ඒකට උදව්වක් වෙයි. ‘මං ඇඳගෙන ඉන්න විදිහ නිසා මට අවිධිමත්ව සාක්ෂි දරන්න බැරි වෙයිද?’
විනෝද වීම
15 සමබර ජීවිතයකටත් නිරෝගී සෞඛ්යයකටත් විවේක ගැනීම සහ විනෝද වීම දායක වෙනවා. එක අවස්ථාවකදී යේසුස් පවා “විවේක ගන්න” පාළු තැනකට එන්න කියලා ගෝලයන්ට ආරාධනා කළා. (මාක් 6:31) විවේක ගැනීමෙන් සහ විනෝදයට යම් දේවල් කරන එකෙන් අපි ප්‍රබෝධවත් වෙනවා. අපේ එදිනෙදා වැඩකටයුතු හොඳින් කරගෙන යන්න ඒක උදව් වෙනවා.
16 විනෝද වෙන්න අද ඕන තරම් දේවල් තියෙනවා. හැබැයි ක්‍රිස්තියානීන් බුද්ධිමත් විදිහට හිතලා බලලා ඒ අතරින් දෙවියන් කැමති දේවල් විතරක් තෝරාගන්න ඕනේ. විනෝද වෙන එක වැරදි නැති වුණත් ඒක අපේ ජීවිතේ වැදගත්ම දේ කරගන්න එක සුදුසු නැහැ. “අවසාන කාලයේදී” මිනිසුන් “දෙවිට වඩා විනෝදයට ඇල්මක්” දක්වනවා කියලා අපිට අනතුරු අඟවලා තියෙනවා. (2 තිමෝ. 3:1, 4) මිනිසුන් විනෝද වෙන්න කරන හුඟක් දේවල් යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන අයට සුදුසු නැහැ.
17 මුල් ක්‍රිස්තියානීන් ජීවත් වුණු කාලේ හුඟක් මිනිසුන් පහත් විනෝදාංශවල නියැලුණා. රෝම තරඟ භූමියේ අනිත් අයට කරන හිරිහැර දිහා බලලා ඒවා නරඹපු අය විනෝද වුණා. තරඟ භූමියේ ප්‍රචණ්ඩකාරී, ලේ වගුරුවන, අනාචාරමය දේවල් එළිපිටම දකින්න තිබුණා. හැබැයි ක්‍රිස්තියානීන් ඒ දේවලට කිසිම විදිහකින් සම්බන්ධ වුණේ නැහැ. අපේ කාලෙදීත් මිනිසුන් විනෝද වෙන්න තෝරාගන්නේ ඒ හා සමාන දේවල්. ඒ පහත් විනෝදාංශවලට හවුල් නොවී ‘ඉතා සෝදිසියෙන් ජීවිතය ගත කිරීමට’ අපි වගබලා ගන්න ඕනේ. (එෆී. 5:15, 16; ගීතා. 11:5) යම් විනෝදාංශයක කිසිම වරදක් නැති වුණත් ඒවාට හවුල් වෙද්දී සමහරවිට අපි අනිත් අයගේ නරක බලපෑම්වලට හසු වෙන්න පුළුවන්.—1 පේතෘ. 4:1-4.
18 ක්‍රිස්තියානීන්ට විනෝද වෙන්න තෝරාගන්න පුළුවන් සුදුසු දේවල් අද තියෙනවා. ඒ දේවල් ඥානවන්ත විදිහට තෝරාගන්න බයිබලයේ තියෙන උපදෙස් සහ අපේ ප්රකාශනවල සඳහන් යෝජනා හුඟක් අයට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.
19 එකිනෙකාව ඇසුරු කිරීමෙන් ප්රබෝධයක් ලබන්න සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානි පවුල් කිහිපයකට ආරාධනාවක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් විවාහ උත්සවයකට හරි වෙනත් උත්සවයකට හරි ආරාධනාවක් ලැබෙන්න පුළුවන්. (යොහ. 2:2) ඒ අතරතුරේදී සිද්ධ වෙන දේවල් ගැන ඒවා සැලසුම් කරන අය වග කියන්න ඕනේ. ලොකු සෙනඟක් එකට එකතු වෙන අවස්ථාවලදී හොඳ අවධානයකින් ඉන්න එක වැදගත්. මොකද ඒ වගේ අවස්ථාවලදී සමහර අය සීමාව ඉක්මවලා කෑම බීම ගන්නත් තවත් බරපතළ වැරදි කරන්නත් පෙලඹිලා තියෙනවා. ඒ නිසා අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් උත්සව අවස්ථාවන් සඳහා ප්‍රමාණවත් පිරිසකට විතරක් ආරාධනා කරන්නත් නියමිත වේලාවේදී උත්සවය අවසන් කරන්නත් වගබලා ගන්නවා. මත්පැන් පිළිගන්වනවා නම් ඒවාට සීමාවක් තියාගන්න ඕනේ. (ෆිලි. 4:5) ප්රබෝධයක් ලබන්නත් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්නත් පුළුවන් විදිහට සුහද හමුවන් සැලසුම් කරනවා නම් කෑම බීම වඩාත් වැදගත්ම දේ විදිහට සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
20 ආගන්තුක සත්කාරය පිරිනමන එක හොඳ දෙයක්. (1 පේතෘ. 4:9) කෑමක් කන්න, ප්රබෝධයක් ලබන්න, විවේකයක් ගන්න වගේම එකිනෙකාව ඇසුරු කරන්න අපි අපේ නිවසට සහෝදර සහෝදරියන්ට ආරාධනා කරද්දී දිලිඳු අය ගැනත් මනසේ තියාගන්න එක සුදුසුයි. (ලූක් 14:12-14) අපිට ඒ වගේ දේකට ආරාධනයක් ලැබුණොත් මාක් 12:31 සඳහන් දේට එකඟව අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි හැම අවස්ථාවකදීම අනිත් අය කරන කාරුණික ක්‍රියාවන් අගය කරන්න ඕනේ.
21 යෙහෝවා දෙවියන් අපිට සතුටු වෙන්න ඇති තරම් දේවල් දීලා තියෙනවා. අපි “වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින්” ඉන්නවා දකින්න ඔහු කැමතියි. (දේශ. 3:12, 13) අපි අනිත් අයට ආරාධනා කළත් අනිත් අයගෙන් අපිට ආරාධනාවක් ලැබුණත් “දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන්” හැම දෙයක්ම කරනවා නම් දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වුණු අවස්ථාවන් හැටියට ඒවා අපේ මතකයේ රැඳිලා තියෙයි.
පාසැල් ක්‍රියාකාරකම්
22 සාක්ෂිකරුවන් අතරේ ඉන්න දරුවන් පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබනවා. ඒ අය කියවන්න, ලියන්න ඉගෙනගන්නේ පාසැලෙන්. පාසැලෙන් උගන්වන සමහර විෂයන් දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න හිතාගෙන ඉන්න දරුවන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. පාසැල් යන කාලයේදීම දෙවියන්ගේ නමස්කාරයට මුල් තැන දීමෙන් තමන්ට ‘ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව සිහි කරන්නයි’ දරුවන් උත්සාහ කරන්නේ.—දේශ. 12:1.
23 ඔයා පාසැල් ශිෂ්‍යයෙක් නම් ලෝකයේ යාළුවන් එක්ක කිට්ටු බැඳීම් ඇති කරගන්න එපා. (2 තිමෝ. 3:1, 2) යෙහෝවා දෙවියන් අපිව ආරක්ෂා කරගන්න ඇති තරම් සැපයුම් දීලා තියෙන නිසා ලෝකයේ බලපෑම්වලට අහු වෙන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්. (ගීතා. 23:4; 91:1, 2) ඒ නිසා යෙහෝවා දෙවියන් දීලා තියෙන හැම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්න.—ගීතා. 23:5.
24 ලෝකයේ තියෙන දේවලට සම්බන්ධ වීමෙන් වැළකිලා ඉන්න ඕන නිසා හුඟක් දරුවන් පාසැලේ අමතර ක්‍රියාකාරකම්වලට හවුල් වෙන්නේ නැහැ. සමහරවිට යාළුවන්, ගුරුවරුන් ඒකට හේතුව තේරුම්ගන්න එකක් නැහැ. හැබැයි වැදගත්ම දේ දෙවියන්ව සතුටු කරන එකයි. එහෙම කරන්න නම් ඔයා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව පුහුණු කරලා තියෙන හෘදය සාක්ෂිය පාවිච්චි කරලා තරඟකාරී දේවලටවත් ජාතිය උසස් කරලා සලකන දේවලටවත් හවුල් නොවී ඉන්න ඕනේ. (ගලා. 5:19, 26) දෙවියන්ට ගරුබිය ඇති දෙමාපියන්ගෙන් ලැබෙන උපදෙස් වගේම සභාවේ ආදර්ශවත් අයව ඇසුරු කරන එක, දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඔයාට උදව් වෙයි.
රැකියාව සහ ආශ්‍රිතයන්
25 පවුල් මූලිකයන්ට වගකීමක් තියෙනවා පවුලේ අයට අවශ්‍ය දේවල් සපයන්න. (1 තිමෝ. 5:8) ඒ වෙනුවෙන් රැකියාවක් කරන්න ඕන වුණත් මුල් තැන දෙන්න ඕනෙ දෙවියන්ගේ රාජ්‍යයට කියලා ඔවුන් තේරුම් අරගෙනයි ඉන්නේ. (මතෙ. 6:33; රෝම 11:13) දෙවියන්ට භක්තියෙන් සේවය කරමින්, තියෙන දේවලින් සෑහීමට පත් වෙනවා නම් ධන සම්පත් පසුපස හඹා යෑමේ උගුලෙන් සහ ධන සම්පත් නිසා ඇති වෙන කනස්සල්ලෙන් වැළකිලා ඉන්න පුළුවන්.—1 තිමෝ. 6:6-10.
26 රැකියාවක් කරන හැම ක්‍රිස්තියානියෙක්ම බයිබල් ප්‍රතිපත්ති මනසේ තියාගන්න එක වැදගත්. අපි හැම කාරණයකදීම අවංකව කටයුතු කරන නිසා දෙවියන්ගේ නීතිවත් රටේ නීතිවත් කඩ කරන්නේ නැහැ. (රෝම 13:1, 2; 1 කොරි. 6:9, 10) නරක ආශ්‍රිතයන්ගෙන් වෙන්න පුළුවන් හානි ගැන අපි මතක තියාගන්නවා. ක්‍රිස්තුස්ගේ හේවායන් විදිහට අපි දෙවියන්ගේ ප්‍රමිති කඩ වෙන ව්‍යාපාර කටයුතුවලටවත් දෙවියන් එක්ක තියෙන බැඳීමට බාධා වෙන දේවලටවත් හවුල් වෙන්නේ නැහැ. (යෙසා. 2:4; 2 තිමෝ. 2:4) “මහ බැබිලෝනිය” විදිහට හඳුන්වන, දෙවියන් ගැන බොරු උගන්වන ආගම් එක්ක අපි කිසිම බැඳීමක් ඇති කරගන්නේවත් නැහැ.—එළි. 18:2, 4; 2 කොරි. 6:14-17.
27 දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන කෙනෙක් නමස්කාර කටයුතුවලට රැස් වෙන අවස්ථාවලදී ව්‍යාපාර කටයුතු සහ පෞද්ගලික කාරණාවලට සම්බන්ධ දේවල් කරන එකෙන් වැළකෙනවා. අපි රැස්වීම්වලට සහ සමුළුවලට යන්නේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න. ඒ අවස්ථාවලදී දෙවියන්ගෙන් පෝෂණය ලබන්නත් ‘එකිනෙකාව දිරිගන්වන්නත්’ පුළුවන් වෙනවා. (රෝම 1:11, 12; හෙබ්‍රෙ. 10:24, 25) ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී අපි නමස්කාරයට සම්බන්ධ දේවලට සම්පූර්ණ අවධානය දෙන්න ඕනේ.
එක්සත්ව කටයුතු කිරීම
28 යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න නම් දෙවියන්ගේ සෙනඟ තමන් අතරේ තියෙන “එක්සත්කම රැකගැනීමටත් සමාදානයෙන් ජීවත් වීමටත් මහත් වෑයමක්” දරන්න ඕනේ. (එෆී. 4:1-3) තමන්වම සතුටු කරගන්නවා වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ අනිත් අයගේ යහපත වෙනුවෙන් දේවල් කරන්නයි. (1 තෙස. 5:15) ඔයාගේ සභාවේ අයත් ඒ විදිහට කටයුතු කරනවා ඔයා දැකලා ඇති. දෙවියන්ගේ සේවකයන් හැටියට අපි හැමෝටම තියෙන්නේ එකම ධර්මිෂ්ඨ ප්‍රමිති. අපි මොන රටක ජීවත් වුණත්, දුප්පත් වුණත් පොහොසත් වුණත්, උගත් වුණත් නූගත් වුණත් ඒ ප්‍රමිති වෙනස් වෙන්නේ නැහැ. ඒ කාරණය ලෝකයේ මිනිසුන්ට පවා පැහැදිලිව පෙනිලා තියෙනවා.—1 පේතෘ. 2:12.
29 අපේ එක්සත්කමට දායක වෙන තවත් දෙයක් ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “ඇත්තේ එක ශරීරයක්ය. ක්‍රියාත්මක වන්නේ එක බලයක්ය. එලෙසම කැඳවනු ලැබූ ඔබ සියලුදෙනාටම ඇත්තේ එක බලාපොරොත්තුවක්ය. සිටින්නේ එක ස්වාමියෙක්ය. අපගේ විශ්වාසයට ඇත්තේ එක පදනමක්ය. ඇත්තේ එක බව්තීස්මයක්ය. සියලුදෙනාටම සිටින්නේ එකම දෙවි කෙනෙක් සහ එකම පියාණන්ය. සියලුදෙනාටම ඉහළින් සිටින්නේ ඔහුය. එලෙසම සියලුදෙනා මාර්ගයෙන් ක්‍රියා කරන්නේ ඔහුය. සියලුදෙනා තුළ ක්‍රියා කරන්නේ ඔහුගේ බලයය.” (එෆී. 4:4-6) බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් සහ ගැඹුරු කාරණා ගැන අපි අතරේ පරස්පර විරෝධී අදහස් නැහැ. අපි අපේ පාලකයා විදිහට දෙවියන්ව පිළිගන්නවා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. යෙහෝවා දෙවියන් තම සෙනඟට සත්‍යය නමැති පවිත්‍ර භාෂාව දීලා තියෙන නිසා ඔවුන්ට එක්සත්ව සේවය කරන්න පුළුවන් වෙලා තියෙනවා.—ශෙප. 3:9.
30 ක්‍රිස්තියානි සභාවේ තියෙන එක්සත්කම නිසා දෙවියන්ගේ සෙනඟ ලොකු ප්රබෝධයක් ලබනවා. “එකම ගාලක සිටින බැටළුවන් මෙන්ද තණබිමේ සිටින බැටළු රැළක් මෙන්ද මම ඔවුන්ට එකමුතුව විසීමට සලස්වන්නෙමි” කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුව ඔහු ඉටු කරලා තියෙනවා. (මීකා 2:12) අපි හැමෝටම ඕනෙ දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙමින් අපි අතරේ තියෙන එක්සත්කම රැකගන්නයි.
31 යෙහෝවා දෙවියන්ගේ පවිත්‍ර සභාවේ කෙනෙක් වෙන්න ලැබිලා තියෙන එක ලොකු වරප්‍රසාදයක්. අපිට මොන දේ කැප කරන්න වුණත් ඒ හැම දේටම වඩා දෙවියන්ගේ නම දරන්න ලැබිලා තියෙන අවස්ථාව හුඟක් වටිනවා. යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම දිගටම පවත්වාගන්නා අතරතුරේ අපි උත්සාහ කරන්නේ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙමින් ඒ ප්‍රමිති ගැන අනිත් අයටත් කියා දෙන්නයි.—2 කොරි. 3:18.