පාලක මණ්ඩලයෙන් ලියුමක්
ශුභාරංචිය ප්‍රකාශ කරන දයාබර මිතුර,
එකම සැබෑ දෙවියන් වන යෙහෝවාට එක්සත්ව නමස්කාර කරන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව මොන තරම් වරප්‍රසාදයක්ද! අපි හැමෝම “දෙවිගේ හවුල් වැඩකරුවන්.” (1 කොරි. 3:9) දෙවියන් අපිට ජීවිත ගලවන පරිශුද්ධ සේවයක් භාර දීලා තියෙනවා. ඒ තමයි ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීම සහ ඉගැන්වීම. (මතෙ. 28:19, 20) ඒ කාර්යය ලොව පුරාම සාමයෙන් සහ එක්සත්ව කරන්න නම් අපි හොඳින් සංවිධානය වෙන්න ඕනේ.—1 කොරි. 14:40.
අද දින ක්‍රිස්තියානි සභාවේ වැඩකටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ පොතෙන් ඔයාට තේරුම්ගන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට ඔයාට ලැබිලා තියෙන වරප්‍රසාද සහ වගකීම් ගැනත් මේ පොතේ සඳහන් වෙනවා. ඔයාට ලැබිලා තියෙන වරප්‍රසාද අගය කරමින් වගකීම් හරියට ඉටු කරනවා නම් ඔයාගේ “විශ්වාසය ශක්තිමත්” කරගන්න ඔයාට පුළුවන්.—ක්‍රියා 16:4, 5; ගලා. 6:5.
ඒ නිසා මේ පොතේ තියෙන තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න කියලා අපි ඔයාලාව දිරිගන්වන්න කැමතියි. ඒ තොරතුරු ඔයාගේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් විදිහ ගැන හොඳින් කල්පනා කරන්න. උදාහරණයකට ඔයා මෑතකදී බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් විදිහට සේවය කරන්න පටන්ගත්තා නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද? ඔයා දැනටමත් බව්තීස්ම වුණු කෙනෙක් නම් අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් විදිහට දියුණු වෙලා යෙහෝවා දෙවියන්ට වැඩිපුර සේවයක් කරන්න ඔයාට පුළුවන් කොහොමද? (1 තිමෝ. 4:15) සභාවේ සාමයට දායක වෙන්න ඔයාට පුළුවන් කොහොමද? (2 කොරි. 13:11) මේ පොතෙන් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්.
ඔයා බව්තීස්ම වුණු සහෝදරයෙක් නම් මුලින්ම සහායක සේවකයෙක් විදිහටත් ඊටපස්සේ වැඩිමහල්ලෙක් විදිහටත් සේවය කරන්න අවශ්‍ය සුදුසුකම් අත් කරගන්න පුළුවන් කොහොමද? දෙවියන්ගේ සංවිධානයට දහස් ගණන් සෙනඟ එකතු වෙන නිසා පෙරමුණ අරන් වැඩ කරන්න සුදුසුකම් තියෙන සහෝදරයන්ව ඕනේ. ඒ සුදුසුකම් අත් කරගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න මේ පොත උදව් වෙනවා.—1 තිමෝ. 3:1.
යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ ඔයාට ලැබිලා තියෙන වරප්‍රසාද සහ වගකීම් තේරුම් අරන් ඒක අගය කරන්න මේ පොතේ තියෙන තොරතුරු උදව් වෙයි. අපි ඒ වෙනුවෙන් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා. අපි ඔයාලාට හුඟක් ආදරෙයි. අපේ පියාණන් වන යෙහෝවා දෙවියන්ට සදාකාලයටම සේවය කරන්න ඔයාලා හැමෝටම අවස්ථාව ලැබෙන්න කියලා අපි දිගටම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා.—ගීතා. 37:10, 11; යෙසා. 65:21-25.
ඔයාලාගේ සහෝදරයෝ,
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය