බව්තීස්ම වෙන්න ආශාවෙන් ඉන්න අය සඳහා ප්‍රශ්න
1වෙනි කොටස බයිබල් සත්‍යයන්
ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් කරපු නිසා ඔයාට දැන් සත්‍යය ගැන හොඳ දැනුමක් තියෙනවා. දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න වගේම දේවරාජ්‍යයේ පාලනය යටතේ පාරාදීස පොළොවක හැමදාම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව ඉන්න ඔයාට ඒ තොරතුරු උදව් වෙන්න ඇති. බයිබලය ගැන ඔයාට තිබුණු විශ්වාසය දැන් තවත් ශක්තිමත් වෙලා. ඒ වගේම ක්‍රිස්තියානි සභාවේ අයව ආශ්‍රය කරන්න ලැබුණු එකෙන් ඔයා මේ වෙද්දී හුඟක් ආශීර්වාද අද්දැකලත් ඇති. යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟට සලකන විදිහ ගැන දැන් ඔයාගේ හිතේ ලොකු අගයක් තියෙනවා.—සෙක. 8:23.
දැන් ඔයා බව්තීස්ම වෙන්න සූදානමින් ඉන්න නිසා සභාවේ වැඩිමහල්ලන් මූලික බයිබල් සත්‍යයන් ගැන ඔයාට ආයෙත් මතක් කරද්දී ඒ තොරතුරු ඔයාට ප්‍රයෝජනවත් වෙයි. (හෙබ්‍රෙ. 6:1-3) යෙහෝවා දෙවියන්ව දැන හඳුනා ගන්න ඔයා දරපු වෙහෙසට දෙවියන්ගේ ආශීර්වාදය දිගටම ලැබෙන්න කියලත් දෙවියන් පොරොන්දු වෙලා තියෙන විදිහට සදහටම ජීවත් වෙන්න ඔයාට අවස්ථාව ලැබෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.—යොහ. 17:3.
1. ඔයා බව්තීස්ම වෙන්න කැමති ඇයි?
2. යෙහෝවා දෙවියන් කියන්නේ කවුද?
• ‘යෙහෝවා දෙවි සැබෑ දෙවි. ස්වර්ගයේ හෝ පොළොවේ හෝ ඔහු හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.’—ද්වි. 4:39.
• “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවියි.”—ගීතා. 83:18.
3. ඔයා දෙවියන්ගේ නම පාවිච්චි කරන එක වැදගත් ඇයි?
• “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!’”—මතෙ. 6:9.
• “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය.”—රෝම 10:13.
4. බයිබලයේ යෙහෝවා දෙවියන්ව විස්තර කරලා තියෙන්නේ කොහොමද?
• “මුළු මහත් පොළොවම නිර්මාණය කළ යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම පවතින දෙවි කෙනෙකු කියා ඔබ දන්නේ නැද්ද?”—යෙසා. 40:28.
• “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි.”—මතෙ. 6:9.
• “දෙවි ප්‍රේමයයි.”—1 යොහ. 4:8.
5. ඔයාට යෙහෝවා දෙවියන්ට දෙන්න පුළුවන් මොනවාද?
• “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.”—මාක් 12:30.
• “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.”—ලූක් 4:8.
6. ඔයා යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න කැමති ඇයි?
• “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කර මාගේ සිත සතුටු කරන්න.”—හිතෝ. 27:11.
7. ඔයා යාච්ඤා කරන්නේ කාටද? කවුරු මාර්ගයෙන්ද?
• “ඇත්තෙන්ම මම [යේසුස්] ඔබට කියන්නේ, ඔබ පියාණන්ගෙන් ඉල්ලන ඕනෑම දෙයක් ඔහු මගේ නාමයෙන් ඔබට දෙන බවයි.”—යොහ. 16:23.
8. ඔයාට යාච්ඤා කරන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද?
• “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා! දිනපතා අපට අවශ්‍ය ආහාර අපට ලබා දෙන්න. අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන ආකාරයටම අපේ වැරදිවලටද අපට සමාව දෙන්න. වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.’”—මතෙ. 6:9-13.
• “අපට තිබෙන ස්ථිර විශ්වාසය නම් දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.”—1 යොහ. 5:14.
9. යෙහෝවා දෙවියන් කෙනෙක්ගේ යාච්ඤාවකට ඇහුම්කන් දෙන්නේ නැති වෙන්න බලපාන්න පුළුවන් මොන වගේ හේතුද?
• “ඔබ යෙහෝවා දෙවිගෙන් උපකාරය පැතුවද ඔහු ඔබට ඇහුම්කන් දෙන්නේ නැත. ඔබ නපුරු දේ කරන නිසා ඔහු ඔබ දෙස නොබලන්නේය.”—මීකා 3:4.
• “යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ. නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරයි.”—1 පේතෘ. 3:12.
10. යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද?
• “සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, ‘ඔබ ක්‍රිස්තුස්. ජීවමාන දෙවිගේ පුත්‍රයා ඔබයි’ කියා කීවේය.”—මතෙ. 16:16.
11. යේසුස් පොළොවට ආවේ ඇයි?
• “මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”—මතෙ. 20:28.
• “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව [යේසුස්ව] එවා තිබෙන්නේ ඒ සඳහායි.”—ලූක් 4:43.
12. යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා කියලා පෙන්වන්න ඔයාට පුළුවන් කොහොමද?
• “ඔහු මිය ගියේ ඔහුගේ මරණය නිසා ජීවත් වන සියලුදෙනා තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවී තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා වන ඔහු උදෙසා ජීවත් වීම සඳහාය.”—2 කොරි. 5:15.
13. යේසුස්ට තියෙන්නේ මොන වගේ අධිකාරියක්ද?
• “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය මට දී තිබෙනවා.”—මතෙ. 28:18.
• “දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය. එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය.”—ෆිලි. 2:9.
14. යේසුස් පත් කරපු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයයි කියලා ඔයා විශ්වාස කරනවාද?
• “ස්වාමියා විසින් තම මෙහෙකරුවන්ට නියම වේලාවට ආහාර දීම සඳහා ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?”—මතෙ. 24:45.
15. දෙවියන්ගේ බලය පුද්ගලයෙක් කියලා බයිබලයේ සඳහන් වෙනවාද?
• “දේවදූතයා ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. ‘ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි. දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්. ඔහු දෙවිගේ පුත්‍රයායි.’”—ලූක් 1:35.
• “ඔබ දුෂ්ට වුණත් ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්න ඔබ දන්නවා. එසේනම් යමෙක් ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන් ඔහුට ඒ දේ ලබා දෙයිද!”—ලූක් 11:13.
16. දෙවියන් ඔහුගේ බලය යොදාගෙන තියෙන්නේ මොනවාටද?
• “යෙහෝවා දෙවිගේ අණ පරිදි අහස නිර්මාණය කර ඇත. ඔහුගේ හුස්මෙන් එහි ඇති සියල්ල සෑදුවේය.”—ගීතා. 33:6.
• “ඔබට දෙවිගේ බලය ලැබුණු විට . . . පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.”—ක්‍රියා 1:8.
• “ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් කිසිම අනාවැකියක් යමෙකුගේ පෞද්ගලික අදහස් පදනම් කරගෙන ලියවී නැති බව ඔබ මුලින්ම තේරුම්ගත යුතුයි. මන්ද අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.”—2 පේතෘ. 1:20, 21.
17 දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද?
• “ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”—දානි. 2:44.
18. දෙවියන්ගේ රාජ්‍යයෙන් ඔයාට ලැබෙන ආශීර්වාද මොනවාද?
• “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළි. 21:4.
19. දෙවියන්ගේ රාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ළඟදිම අද්දකින්න ලැබෙනවා කියලා ඔයා දන්නේ කොහොමද?
• “ගෝලයෝ ඔහුව තනිව හමු වී ඔහුගෙන් මෙසේ ඇසුවෝය. ‘ඔබ පැවසූ ඒ දේ සිදු වන්නේ කවදාද? ඔබ පැමිණ සිටින කාලය හා පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය දැනගන්න කුමක් හෝ ලකුණක් තිබෙනවාද?’ එවිට යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. ‘. . . ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි. රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.’”—මතෙ. 24:3, 4, 7, 14.
• “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.”—2 තිමෝ. 3:1-5.
20. දෙවියන්ගේ රාජ්‍යය ඔයාට හුඟක් වැදගත් කියලා ඔයා පෙන්වන්නේ කොහොමද?
• “නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න.”—මතෙ. 6:33.
• “යේසුස් තම ගෝලයන්ට මෙසේ කීවේය. ‘යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවිට කැප කර තම වධකණුව රැගෙන දිගටම මා අනුව එන්න අවශ්‍යයි.’”—මතෙ. 16:24.
21. සාතන් කියන්නේ කාටද? භූතයන් කියන්නේ කාටද?
• “ඔබේ පියා යක්ෂයායි. . . . ඒ තැනැත්තා නොමඟ ගිය දා සිට මිනී මරුවෙක්.”—යොහ. 8:44.
• “ඒ මහත් මකරාව පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහුව පොළොවට හෙළන ලදි. ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.”—එළි. 12:9.
22. යෙහෝවා දෙවියන්ටත් ඔහුට නමස්කාර කරන අයටත් විරුද්ධව සාතන් කරලා තියෙන චෝදනා මොනවාද?
• “ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය. ‘උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්. නමුත් උයන මැද තියෙන ගහේ පලතුරු කන්න අපිට බැහැ. “ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා” කියා දෙවි අපිට පැවසුවා.’ එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. ‘ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.’”—උත්. 3:2-5.
• “එවිට සාතන් යෙහෝවා දෙවිට මෙසේ පිළිතුරු දුන්නේය. ‘මිනිසෙකු තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ? ඔහු තමා සතු සියල්ල වුවත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරයි. ඔහු තම ජීවිතය රැකගන්න වෙනත් ජීවිතයක් වුණත් දෙන්න සූදානම්.’”—යෝබ් 2:4.
23. සාතන් කරපු චෝදනා බොරුයි කියලා ඔප්පු කරන්න ඔයාට පුළුවන් කොහොමද?
• “ඔබේ මුළු හදවතින්ම . . . ඔහුට [දෙවිට] සේවය කරන්න.”—1 ලේක. 28:9.
• “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි.”—යෝබ් 27:5.
24. මිනිස්සු මැරෙන්නේ ඇයි?
• “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.
25. මැරුණාට පස්සේ වෙන්නේ මොකක්ද?
• “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.”—දේශ. 9:5.
26. මිය ගිය අය ගැන තියාගන්න පුළුවන් බලාපොරොත්තුව මොකක්ද?
• “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බව මට විශ්වාසයි.”—ක්‍රියා 24:15.
27. යේසුස් එක්ක පාලනය කරන්න කීදෙනෙක් ස්වර්ගයට යනවාද?
• “බලන්න, බැටළු පැටවා සියොන් කන්ද මත සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ.”—එළි. 14:1.