ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bhs 2 පරි. 19-28 පි.
  • බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක්
  • බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • කියවන්න බයිබලයේ ඉගැන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ තොරතුරු නිවැරදියි
  • හොඳ උපදෙස්වලින් පිරුණු පොතක්
  • බයිබලයේ තියෙන අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා
  • බයිබලයට පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න
  • දෙවි පිළිබඳ දැනුම හෙළි කරන ග්‍රන්ථය
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • බයිබලය විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • බයිබලය විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - බයිබලය ගැන ඉගෙනගන්න
  • අනාවැකිවලින් යුත් පොතක්
    සියලුම ජනයා සඳහා පොතක්
තව තොරතුරු
බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
bhs 2 පරි. 19-28 පි.

2වෙනි පරිච්ඡේදය

බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක්

1, 2. බයිබලය දෙවියන්ගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක් කියන්නේ ඇයි?

යාළුවෙක් තෑග්ගක් දුන්නාම ඒක ඇරලා බලන කල් ඔයාට ඉස්පාසුවක් නෑ නේද? තෑග්ගක් ලැබුණු නිසා විතරක් නෙවෙයි ‘යාළුවා මං ගැන හිතුවානේ’ කියන හැඟීම නිසාත් ඔයාට ලොකු සතුටක් දැනෙනවා. එයාට ස්තුති කරන්න ඔයා අමතක කරන්නේ නැහැ.

2 බයිබලය දෙවියන්ගෙන් අපිට ලැබුණු තෑග්ගක්. වෙන කොහෙන්වත් හොයාගන්න බැරි තොරතුරු ඒකේ තියෙනවා. උදාහරණෙකට දෙවියන් අහසත් පොළොවත් මිනිසුන්වත් නිර්මාණය කළා කියලා බයිබලයේ තියෙනවා. ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන තොරතුරුත් බයිබලයේ තියෙනවා. අනාගතයේදී පොළොව ලස්සන තැනක් කරන්න දෙවියන් පියවර ගන්නේ කොහොමද කියලත් බයිබලයෙන් දැනගන්න පුළුවන්. ජීවිතයට නියම සතුටක් එක් කර දෙන ඒ වගේ තොරතුරු තියෙන්නේ බයිබලයේ විතරයි.

3. බයිබලය ඉගෙනගද්දී ඔයාට තේරුම්ගන්න පුළුවන් මොනවාද?

3 බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී ඔයාට තේරෙයි ඔයාව යාළුවෙක් කරගන්න දෙවියන් ආසාවෙන් ඉන්නවා කියලා. දෙවියන් ගැන ඔයා තව තවත් ඉගෙනගද්දී දෙවියන් එක්ක ඔයාට තියෙන යාළුකම තව වැඩි වෙනවා කියලත් ඔයාට දැනෙයි.

4. බයිබලය වෙන පොත්වලට වඩා වෙනස් කියලා ඔයාට හිතෙන්නේ ඇයි?

4 බයිබලය භාෂා 2,800කට විතර පරිවර්තනය කරලා තියෙනවා. පිටපත් බිලියන ගාණක් මුද්‍රණය කරලා තියෙනවා. ලෝකේ ජනගහනයෙන් 90%කට වඩා එයාලගෙම භාෂාවෙන් බයිබලය කියවන්න පුළුවන්. හැම සතියකම මිලියනයකට වැඩිදෙනෙක් බයිබලයක් ලබාගන්නවා. ඒකට සමාන කරන්න වෙන කිසිම පොතක් නැහැ.

5. බයිබලය ලියලා තියෙන්නේ ‘දෙවිගේ මඟ පෙන්වීමෙන්’ කියන්නේ ඇයි?

5 බයිබලය ලියලා තියෙන්නේ ‘දෙවිගේ මඟ පෙන්වීමෙන්.’ (2 තිමෝති 3:16 කියවන්න.) ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? බයිබලයේ මෙහෙම කියනවා. “මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.” (2 පේතෘස් 1:21) ඒක තේරුම්ගන්න මේ ගැන හිතන්න. ආයතනයක ප්‍රධානියෙක්ට ඕන වෙනවා කෙනෙක්ට ලියුමක් ලියන්න. ඒකට ඇතුල් කරන්න ඕන දේවල් එයා ලේකම්ට කියලා ලියුම ලියාගන්නවා. ඒ ලියුමේ තියෙන්නේ කාගේ අදහස්ද? ලේකම්ගෙද නැත්නම් ප්‍රධානියාගෙද? ප්‍රධානියාගේ නේද? බයිබලයත් ඒ වගේ. දෙවියන් ඒක ලියන්න මිනිසුන්ව යොදාගත්තත් ඒකේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්. දෙවියන් ලියන්න ඕන දේවල් එයාලට දැනුම් දුන්නා. ඒ නිසයි බයිබලය “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්” කියලා කියන්නේ.—1 තෙසලෝනික 2:13; 2වෙනි අමතර සටහන බලන්න.

‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ විවිධ භාෂාවලින්

‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ හුඟක් භාෂාවලට පරිවර්තනය කරලා තියෙනවා

බයිබලයේ තොරතුරු නිවැරදියි

6, 7. බයිබලයේ අදහස් එකකට එකක් ගැටෙන්නේ නැහැ කියන්නේ ඇයි?

6 බයිබලය ලියන්න අවුරුදු 1,600කට වැඩි කාලයක් ගත වුණා. ඒක ලිව්වේ විවිධ කාලවකවානුවල හිටපු අය. උගත් අයත් ඒ තරම් උගත් නැති අයත් ඒ අතරේ හිටියා. ඒ අයගෙන් එක් කෙනෙක් වෛද්‍යවරයෙක්. ගොවියන්, ධීවරයන්, එඬේරුන්, අනාගතවක්තෘවරුන්, විනිශ්චයකරුවන් වගේම රජවරුත් බයිබලයේ පොත් ලිව්වා. ඒත් එයාලගේ අදහස් ගැටෙන්නේ නැහැ. මුළු බයිබලයම ලියලා තියෙන්නේ එකම තේමාවක් යටතෙයි.a

7 මිනිසුන් අද්දකින ප්‍රශ්න ගැටලු හැම එකක්ම පටන්ගත්තේ කොහොමද කියලා බයිබලයේ පළවෙනි පොතේ තියෙනවා. දෙවියන් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා පොළොව ලස්සන උයනක් කරන්නේ කොහොමද කියලා බයිබලයේ අන්තිම පොතේ තියෙනවා. අවුරුදු දහස් ගණනක් පුරාම මිනිස් ඉතිහාසයේ සිද්ධ වුණු සිද්ධීන් ගැන බයිබලයේ සඳහන් වාර්තාවලින් පැහැදිලි වෙන්නේ දෙවියන්ගේ අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන එකයි.

8. බයිබලයේ තොරතුරු විද්‍යානුකූලව නිවැරදියි කියන්න උදාහරණ දෙන්න.

8 බයිබලය විද්‍යාව උගන්වන පොතක් නෙවෙයි. ඒත් විද්‍යාවට සම්බන්ධ කාරණා බයිබලයේ තියෙනවා. ඒ හැම එකක්ම නිවැරදියි. උදාහරණෙකට බෝ වන රෝග පැතිරෙන එක වළක්වාගන්න විදිහ ගැන දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු උපදෙස් බයිබලයේ ලෙවී කතාව පොතේ තියෙනවා. බැක්ටීරියාවලින්, වයිරස්වලින් ලෙඩ රෝග බෝ වෙනවා කියලා මිනිසුන් හොයාගන්න සියවස් ගාණකට කලිනුයි ඒ උපදෙස් ලිව්වේ. ඒ වගේම පෘථිවිය ආධාරකයක් නැතුව හිස් අවකාශයේ පිහිටලා තියෙනවා කියලත් බයිබලයේ තියෙනවා. (යෝබ් 26:7) හුඟක් අය පොළොව පැතලි වස්තුවක් කියලා විශ්වාස කරපු කාලේ වුණත් බයිබලයේ සඳහන් වුණේ ඒක ගෝලයක් කියලයි. (යෙසායා 40:22) දෙවියන් පොළොව නිර්මාණය කරපු නිසා දෙවියන්ගෙන් ලැබුණු පොතේ ඒ කරුණු නිවැරදිව තියෙන එක පුදුමයක්ද!

9. බයිබලය ලියපු අයගේ අවංකකමෙන් තේරුම්ගන්න පුළුවන් මොනවාද?

9 ඉතිහාසය ගැන බයිබලයේ තියෙන හැම වාර්තාවක්ම සියයට සියයක් නිවැරදියි. ඒත් ගොඩක් ඉතිහාස පොත්වල තියෙන තොරතුරු සියයට සියයක්ම නිවැරදි නැහැ. මොකද ඒවා ලියපු අය හැම තොරතුරක්ම ඒවාට ඇතුළත් කරලා නැහැ. උදාහරණෙකට ඉතිහාස පොත් ලියපු ගොඩක් අය එයාලගේ ජාතිය යුද්ධයෙන් පැරදුණු හැම අවස්ථාවක් ගැනම ලියලා නැහැ. ඒත් බයිබලයේ පොත් ලියපු අය ඊශ්‍රායෙල් ජාතිය පරාජය වුණු අවස්ථාවන් අවංකවම සඳහන් කරලා තියෙනවා. එයාලා අතින් වුණු අඩුපාඩු ගැනත් ලියලා තියෙනවා. උදාහරණෙකට ගණන් කතාව පොත ලියපු මෝසෙස් එයා අතින් වුණු බරපතළ වරදක් ගැනත් දෙවියන් ඒකට දීපු දඬුවම ගැනත් ලියලා තියෙනවා. (ගණන් කතාව 20:2-12) බයිබලය ලියපු අයගේ අවංකකමින් පැහැදිලි වෙන්නේ බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් කියන එකයි. ඒ නිසා ඒක විශ්වාස කරන්න පුළුවන්.

හොඳ උපදෙස්වලින් පිරුණු පොතක්

10. බයිබලයේ උපදෙස් අද ඉන්න අපිටත් ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

10 බයිබලය ලියලා තියෙන්නේ ‘දෙවිගේ මඟ පෙන්වීම තුළින්. ඒක ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ප්‍රයෝජනවත්.’ (2 තිමෝති 3:16) ඒකේ තියෙන උපදෙස් අපිටත් ප්‍රයෝජනවත්. අපිව නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් නිසා අපි හිතන විදිහ, අපිට හැඟෙන විදිහ තේරුම්ගන්න ඔහුට පුළුවන්. අපිටත් වඩා හොඳින් දෙවියන් අපි ගැන දන්නවා. ඔහුට ඕනෙ අපි සතුටින් ඉන්නවා දකින්න. සතුටින් ඉන්න අපි කරන්න ඕනෙ මොනවාද, වළකින්න ඕනෙ මොන දේවලින්ද කියලා ඔහු දන්නවා.

11, 12. (අ) මතෙව් 5-7 පරිච්ඡේදවල යේසුස් දුන්නේ මොන වගේ උපදෙස්ද? (ආ) බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන් තව මොන වගේ දේවල් ගැනද?

11 බයිබලයේ මතෙව් පොතේ 5-7 පරිච්ඡේද කියෙව්වොත් යේසුස් දීපු ගොඩක් වටිනා උපදෙස් ඔයාට හොයාගන්න පුළුවන්. සතුටින් ඉන්නත් අනිත් අයත් එක්ක පෑහිලා වැඩ කරන්නත් උදව් වෙන තොරතුරු, යාච්ඤා කරන්න ඕන විදිහ වගේම සල්ලි ගැන හිතන්න ඕන විදිහ ගැනත් එතන තියෙනවා. යේසුස් ඒ දේවල් කිව්වේ මීට අවුරුදු 2,000කට කලින් වුණත් අදටත් මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න ඒ වචනවලට පුළුවන්.

12 හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න, වැඩ කරලා සතුටක් ලබන්න, අනිත් අය එක්ක සාමයෙන් ඉන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. අපි හැදුණු පරිසරය මොකක් වුණත් අපි කොහේ ජීවත් වුණත් මොන විදිහේ ප්‍රශ්නවලට මුහුණ දුන්නත් ඒ ප්‍රතිපත්ති අදාළ කරගත්තොත් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.—යෙසායා 48:17 කියවන්න; 3වෙනි අමතර සටහන බලන්න.

බයිබලයේ තියෙන අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා

බැබිලෝනිය යටත් කරගත්ත විදිහ ගැන යෙසායා පොතේ තියෙන වාර්තාව කියවන කෙනෙක් සිද්ධිය හිතේ මවා ගනිමින්

බැබිලෝනිය යටත් කරගන්න විදිහ ගැන බයිබල් ලේඛකයෙක් වුණු යෙසායා කලින්ම කිව්වා

13. බැබිලෝනියට සිද්ධ වෙන දේ ගැන යෙසායා කලින්ම කිව්වේ මොනවාද?

13 මේ වෙනකොටත් බයිබලයේ තියෙන හුඟක් අනාවැකි ඉටු වෙලා ඉවරයි. අපි ඒවාවලින් එකක් බලමු. බැබිලෝනිය කියන්නේ ලොකු ගඟකින් වට වුණු, විශාල දොරටු තිබුණු බලවත් නගරයක්. ඒත් ඒ නගරය විනාශ වෙනවා කියලා යෙසායා කලින්ම කියලා තිබුණා. (යෙසායා 13:19) ඒක යටත් කරගද්දී නගරය වටේ තිබුණු ගඟේ වතුර වියළී යනවා කියලත් නගරයේ දොරටු ඇරලා තියෙනවා කියලත් සටනක් නොකරම නගරය යටත් කරගන්නවා කියලත් යෙසායා කියලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඒක යටත් කරගන්න රජගේ නම සයිරස් කියලත් යෙසායා කිව්වා.—යෙසායා 44:27–45:2 කියවන්න; 4වෙනි අමතර සටහන බලන්න.

14, 15. යෙසායාගේ අනාවැකිය ඉටු වුණේ කොහොමද?

14 යෙසායා ඒ අනාවැකිය කියලා අවුරුදු 200කට පස්සේ බැබිලෝනිය යටත් කරගන්න හමුදාවක් ආවා. යෙසායා කිව්වා වගේම ඒ හමුදාවේ නායකයා තමයි පර්සියාවේ සයිරස් රජ. බැබිලෝනිය යටත් කරගන්න සයිරස්ට පුළුවන් වුණාද?

15 ප්‍රහාරය එල්ල කරපු දවසේ රෑ බැබිලෝනිවරු ලොකු උත්සවයක් පැවැත්තුවා. නගරේ වටේ තිබුණු ගඟත් ලොකු තාප්පත් නිසා තමන්ට ආරක්ෂාව තියෙනවා කියලයි එයාලා හිතුවේ. ඒත් සයිරස් රජ ඇළ මාර්ගයක් හදලා ගඟේ වතුර වෙන පැත්තකට හැරෙව්වා. වතුර මට්ටම පහතට බැස්ස නිසා සයිරස්ගේ හමුදාවට ලේසියෙන්ම ගඟ හරහා යන්න පුළුවන් වුණා. ඒත් තාප්පවලින් වට වුණු නගරයට එයාලා ඇතුල් වුණේ කොහොමද? යෙසායා කිව්වා වගේම එදා නගරේ දොරටු ඇරලයි තිබුණේ. ඒ නිසා සටන් කරන්නේ නැතුවම නගරය අල්ලාගන්න පුළුවන් වුණා.

16. (අ) අවසානයේදී බැබිලෝනියට වෙන්න යන දේ ගැන යෙසායා කිව්වේ මොනවාද? (ආ) යෙසායා කිව්ව දේ හරියටම ඉටු වුණා කියලා අපි දන්නේ කොහොමද?

16 ‘කිසිම කෙනෙක්ට බැබිලෝනියේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැති’ කාලයක් එනවා කියලත් යෙසායා කිව්වා. (යෙසායා 13:20) ඒ දේ ඉටු වුණාද? ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට කිලෝමීටර් 80ක් විතර දුරකින් තමයි බැබිලෝනිය පිහිටලා තිබුණේ. දැන් එතන තියෙන්නේ නටබුන් විතරයි. අදටත් එතන කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නැහැ. අනාවැකියේ කියපු විදිහටම යෙහෝවා දෙවියන් ‘ඒ දේශය මුළුමනින්ම අතු ගා දැම්මා.’—යෙසායා 14:22, 23.b

බැබිලෝනියේ නටබුන්

බැබිලෝනියේ නටබුන්

17. යෙහෝවා දෙවියන් දීලා තියෙන හැම පොරොන්දුවක්ම විශ්වාස කරන්න පුළුවන් ඇයි?

17 බයිබලයේ තියෙන තවත් හුඟක් අනාවැකි ඒ විදිහටම ඉටු වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා අනාගතය ගැන බයිබලයේ තියෙන හැම අනාවැකියක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා. මුළු පොළොවම ලස්සන උයනක් කරනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුවත් ඔහු ඒ විදිහටම ඉටු කරයි කියලා සැක කරන්න කිසිම හේතුවක් නැහැ. (ගණන් කතාව 23:19 කියවන්න.) මොකද ‘බොහෝ කලකට පෙර පොරොන්දු වූ සදාකාල ජීවනය කියන බලාපොරොත්තුව’ අපිට දීලා තියෙන්නේ “කිසි බොරුවක් නොපවසන” දෙවියන් විසිනුයි.—තීතස් 1:2.c

බයිබලයට පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න

18. “දෙවිගේ වදන්” ගැන පාවුල් කිව්වේ මොනවාද?

18 හැම පොතකටම වඩා බයිබලය විශේෂයි කියලා අපි බලපු දේවලින් පේනවා. ඒකේ අදහස් ගැටෙන්නේ නැහැ. විද්‍යාවට, ඉතිහාසයට සම්බන්ධ දේවල් ගැන කතා කරද්දී ඒක සියයට සීයක්ම නිවැරදියි. අපිට ප්‍රයෝජනවත් උපදෙස් වගේම දැනටමත් ඉටු වුණු අනාවැකි ගණනාවක් ඒකේ තියෙනවා. බයිබලය විශේෂ පොතක් කියන්න තවත් හේතුවක් තියෙනවා. බයිබල් ලේඛකයෙක් වුණු පාවුල් කිව්වා “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය” කියලා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?—හෙබ්‍රෙව් 4:12 කියවන්න.

19, 20. (අ) ඔයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න බයිබලය ඔයාට උදව් කරන්නේ කොහොමද? (ආ) දෙවියන් දීපු තෑග්ග අගය කරනවා නම් ඔයා මොනවාද කරන්න ඕනේ?

19 පාවුල් කිව්ව දෙයින් අදහස් කරන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න බයිබලයට පුළුවන් කියලයි. ඔයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද, ඒ කියන්නේ ඔයාගේ සිතුවිලි, හැඟීම් මොන වගේද කියලා ඔයාටම තේරුම්ගන්න උදව් කරන්න බයිබලයට පුළුවන්. උදාහරණෙකට අපි දෙවියන්ට හුඟක් ආදරෙයි කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒත් බයිබලය කියවද්දී අපිට තේරෙනවා ඒ ආදරේ හිතේ තිබිලා මදි, ඒක අපි වැඩ කරන විදිහෙනුත් පෙන්වන්න ඕනෙ කියලා. අපි ඇත්තටම දෙවියන්ට ආදරෙයි නම් බයිබලයේ තියෙන දේවල්වලට අනුව අපි ජීවිතේ වෙනස් කරගන්නවා.

20 බයිබලය ඇත්තටම දෙවියන්ගෙන් ලැබුණු පොතක්. ඔයා ඒක කියවලා ඒ තොරතුරු ගැන හොඳට හිතයි කියලත් ඒ ගැන ලොකු ආශාවක් හිතේ ඇති කරගනියි කියලත් දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. දෙවියන් දීපු තෑග්ග අගය කරනවා නම් දිගටම ඒකේ තොරතුරු හොයලා බලන්න ඕනේ. එහෙම කළොත් දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන්. ඒ ගැන අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

a සමහරු කියන්නේ බයිබලයේ සමහර කොටස් ගැටෙනවා කියලයි. ඒත් ඒක ඇත්තක් නෙවෙයි. වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පළ කරපු ‘බයිබලය - එහි පණිවිඩය කුමක්ද?’ සඟරාවේ 3 සහ 31 පිටු බලන්න.

b බයිබල් අනාවැකි ගැන වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පළ කරපු ‘සියලුම ජනයා සඳහා පොතක්’ නමැති සඟරාවේ 27-29 දක්වා පිටු බලන්න.

c බැබිලෝනියේ විනාශය, ඉටු වුණු අනාවැකිවලින් එක අනාවැකියක් විතරයි. යේසුස් ක්‍රිස්තුස් ගැන තියෙන අනාවැකි ගැන දැනගන්න 5වෙනි අමතර සටහන බලන්න.

සාරාංශය

1වෙනි ඉගැන්වීම: බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක්

“මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.”—2 තිමෝති 3:16

බයිබලය අනිත් පොත්වලට වඩා වෙනස් ඇයි?

බයිබලය භාෂා 2,800කට වැඩියෙන් පරිවර්තනය කරලා තියෙනවා. පිටපත් බිලියන ගාණක් මුද්‍රණය කරලත් තියෙනවා.

වෙන කොහෙන්වත් හොයාගන්න බැරි තොරතුරු බයිබලයේ තියෙනවා.

  • 1 තෙසලෝනික 2:13

    බයිබලයේ කර්තෘ දෙවියන්.

  • 2 පේතෘස් 1:21

    දෙවියන් ඔහුගේ අදහස් ලියන්න මිනිසුන්ට මඟ පෙන්නුවා.

2වෙනි ඉගැන්වීම: බයිබලය අනාවැකි තියෙන පොතක්

‘දෙවි කිසි බොරුවක් පවසන්නේ නැහැ.’—තීතස් 1:2

බයිබලයේ තියෙන දේවල් ඔයාට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

  • යෙසායා 44:27–45:2

    බැබිලෝනිය යටත් කරගත්ත විදිහ ගැන ඒක වෙන්න අවුරුදු 200කට විතර කලින් බයිබලයේ කියලා තිබුණා.

  • 2 තිමෝති 3:1-5

    බයිබලයේ තියෙන අනාවැකි අද ඉටු වෙනවා.

  • ගණන් කතාව 23:19

    අනාගතය ගැන බයිබලයේ තියෙන පොරොන්දු විශ්වාස කරන්න අපිට පුළුවන්.

3වෙනි ඉගැන්වීම: බයිබලය ලියලා තියෙන්නේ ඔයාගේ ප්‍රයෝජනයටයි

“මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නේ මමය.”—යෙසායා 48:17

ඔයා බයිබලය ගැන ඉගෙනගත්තේ මොනවාද?

  • යෝබ් 26:7; යෙසායා 40:22

    බයිබලයේ තියෙන තොරතුරු විද්‍යානුකූලව නිවැරදියි.

  • ගණන් කතාව 20:2-12

    බයිබලයේ පොත් ලියපු අය අවංකයි.

  • මතෙව් 5-7

    සතුටින් ඉන්න, අනිත් අයත් එක්ක සාමයෙන් ඉන්න, යාච්ඤා කරන්න වගේම සල්ලි ගැන හිතන්න ඕනෙ කොහොමද කියලා යේසුස් ඉගැන්නුවා.

4වෙනි ඉගැන්වීම: බයිබලයට පුළුවන් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න

“දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය.”—හෙබ්‍රෙව් 4:12

දෙවියන්ගේ වචනයෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

  • දෙවියන්ගේ අරමුණ ගැන තේරුම්ගන්න පුළුවන් වෙනවා.

  • ඔයා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන් වෙනවා.

  • දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා තේරුම්ගන්න පුළුවන් වෙනවා.

ඔයා බයිබලය කියවලා, අධ්‍යයනය කරලා ඒ ගැන ලොකු ආසාවක් ඇති කරගන්නවාටයි දෙවියන් කැමති.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න