38වෙනි පාඩම
යෙහෝවා සැම්සන්ට ශක්තිය දුන්නා
ඊශ්‍රායෙල්වරු ආයෙත් රූපවලට වඳින්න පටන්ගත්තා. ඉතින් යෙහෝවා පිලිස්තිවරුන්ට ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න ඉඩහැරියා. හැබැයි සමහර ඊශ්‍රායෙල්වරු දෙවියන්ට ආදරෙන් හිටියා. මානෝවා ඒ වගේ කෙනෙක්. එයාගේ බිරිඳට ළමයි හිටියේ නැහැ. දවසක් යෙහෝවා මානෝවාගේ බිරිඳ ළඟට දේවදූතයෙක්ව එවලා මෙහෙම කිව්වා. ‘ඔයාට පුතෙක් ලැබෙයි. එයා ඊශ්‍රායෙල්වරුන්ව පිලිස්තිවරුන්ගෙන් බේරගනියි. එයා නසරීතවරයෙක් වෙයි.’ ඔයා දන්නවාද නසරීතවරු කියන්නේ කාටද කියලා? එයාලා යෙහෝවා විශේෂ සේවයකට තෝරගත්ත අය. ඒගොල්ලන්ට කොණ්ඩේ කපන්න අවසර තිබුණේ නැහැ.
කාලයක් ගියාට පස්සේ මානෝවාගේ පුතා ඉපදුණා. එයාගේ නම සැම්සන්. එයා ලොකු වෙද්දී යෙහෝවා එයාට ලොකු ශක්තියක් දුන්නා. දවසක් සැම්සන් සිංහයෙක්ව එයාගේ අත් දෙකෙන් ඉරලා දැම්මා. එයා තනියම පිලිස්තිවරු 30දෙනෙක්වත් මැරුවා. ඒ හින්දා එයාත් එක්ක කේන්තියෙන් හිටිය පිලිස්තිවරුන්ට ඕන වුණා එයාව මරන්න. දවසක් රෑ සැම්සන් ගාසා කියන නගරේ නිදාගෙන ඉද්දී පිලිස්තිවරු එයාව මරන්න හිතාගෙන නගරේ ගේට්ටුව ළඟට ගිහින් රැකගෙන හිටියා. හැබැයි රෑ 12ට විතර සැම්සන් නැඟිටලා නගරේ අගුලු දාලා තිබුණු දොරවල් දෙක උළුවහු කණු දෙකත් එක්කම උස්සගෙන හෙබ්‍රොන් ළඟ තිබුණු කඳුකරයට ගියා.
ඊටපස්සේ පිලිස්තිවරු සැම්සන් ආදරේ කරපු දෙලීලා ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. ‘සැම්සන්ගේ ශක්තියට හේතුව දැනගෙන අපිට කිව්වොත් අපි ඔයාට රිදී ෂෙකෙල් දහස් ගාණක් දෙනවා. අපිට ඕනෙ එයාව හිරේ දාන්න.’ දෙලීලා සල්ලිවලට ආස වුණ හින්දා ඒ වැඩේට කැමති වුණා. මුලින්ම සැම්සන් එයාගේ ශක්තියට හේතුව කියන්න කැමති වුණේ නැහැ. හැබැයි දෙලීලා ඒක කියනකම්ම සැම්සන්ට කරදර කරපු නිසා අන්තිමේදී එයා මෙහෙම කිව්වා. ‘මගේ කොණ්ඩේ කවදාවත් කපලා නැහැ. මම නසරීතවරයෙක්. හැබැයි මගේ කොණ්ඩේ කැපුවොත් මට තියෙන ශක්තිය නැති වෙලා යයි.’ මේ ගැන කියලා සැම්සන් කළේ ලොකු වරදක්.
දෙලීලා ඉක්මනින්ම පිලිස්තිවරුන්ට කිව්වා ‘මම රහස දැනගත්තා’ කියලා. එයා සැම්සන්ව එයාගේ ඔඩොක්කුවේ නිදිකරවලා තව කෙනෙක්ව ගෙන්නලා සැම්සන්ගේ කොණ්ඩේ කැපුවා. ඊටපස්සේ දෙලීලා කෑගහලා කිව්වා ‘සැම්සන්, පිලිස්තිවරු ඇවිල්ලා’ කියලා. සැම්සන් නැඟිටිද්දී එයාගේ ශක්තිය නැති වෙලයි තිබුණේ. පිලිස්තිවරු එයාව අල්ලගෙන එයාගේ ඇස් උගුල්ලලා හිරේ දැම්මා.
දවසක් පිලිස්තිවරු දහස් ගාණක් එයාලාගේ දෙවි දාගොන්ට පූජාවක් ඔප්පු කරන්න එකතු වුණා. ඒගොල්ලෝ කෑගහලා මෙහෙම කිව්වා. ‘අපේ දෙවියන් අපිට සැම්සන්ව අල්ලලා දුන්නා! එයාව මෙහෙට ගේන්න. අපි එයාව බලලා විනෝද වෙමු.’ ඒගොල්ලෝ සැම්සන්ව ගෙනත් කණු දෙකක් මැද හිටවලා ලැජ්ජා කළා. සැම්සන් යෙහෝවාට කිව්වා ‘අනේ යෙහෝවා දෙවියනි, තව එක සැරයක් මට ශක්තිය දෙන්න’ කියලා. මේ වෙද්දී සැම්සන්ගේ කොණ්ඩේ වැවිලයි තිබුණේ. එයා අල්ලගෙන හිටිය කණු දෙක දෙපැත්තට තල්ලු කළා. එතකොට ගොඩනැඟිල්ල කඩන් වැටිලා සැම්සනුත් එතන හිටිය හැමෝමත් මැරුණා.
“මට බලය දෙන තැනැත්තාගේ උදව්වෙන් ඕනෙම දේකට මූණ දෙන්න මට ශක්තිය ලැබෙනවා.”—ෆිලිප්පි 4:13