49වෙනි පාඩම
නපුරු රැජිනකට ලැබුණු දඬුවම
යෙෂ්රෙයෙල්වල හිටිය ආහබ් රජගේ මාලිගාවේ ඉඳන් බලද්දී ලස්සන මිදිවත්තක් පේන්න තිබුණා. ඒක අයිති නාබොත්ට. ආහබ්ට ඕන වුණා ඒ මිදිවත්ත ගන්න. හැබැයි උරුමයෙන් ලැබුණු ඉඩමක් විකුණනවාට යෙහෝවා කැමති නැහැ කියලා නාබොත් දැනගෙන හිටියා. ඒ නිසා ඒක විකුණන්න එයා කැමති වුණේ නැහැ. ඒ ගැන කේන්ති ගත්ත ආහබ් රජ කන්නේ බොන්නේ නැතුව එයාගේ කාමරයට වෙලා කල්පනා කරකර හිටියා.
ආහබ්ගේ බිරිඳ වුණු යෙසබෙල් රැජින ඒක දැනගත්තාම මෙහෙම කිව්වා. ‘ඔයා ඊශ්රායෙල්වල රජ නේද? ඉතින් ඔයා කැමති ඕනම දෙයක් ඔයාට ගන්න පුළුවන්. ඒ ඉඩම මං ඔයාට අරන් දෙන්නම්.’ ඊටපස්සේ එයා නගරේ හිටපු වැඩිමහල්ලන්ට ලියුමක් ඇරියා. නාබොත් දෙවියන්ට ශාප කළා කියලා චෝදනා කරලා ගල් ගහලා එයාව මරන්න කියලා එයා එයාලට කිව්වා. වැඩිමහල්ලන් එහෙම කළාට පස්සේ යෙසබෙල් ආහබ්ට මෙහෙම කිව්වා. ‘නාබොත් මැරිලා, එයාගේ මිදිවත්ත දැන් අයිති කරගන්න.’
නාබොත්ව විතරක් නෙවෙයි යෙහෝවාට ආදරේ කරපු හුඟදෙනෙක්ව යෙසබෙල් මැරුවා. ගොඩක් නරක වැඩ කරපු එයා නමස්කාර කළේ බොරු දෙවිවරුන්ට. එයා කරපු හැම දෙයක්ම යෙහෝවා දැක්කා. ඉතින් යෙහෝවා එයාට මොනවා කරයිද?
ආහබ් මැරුණාට පස්සේ රජ වුණේ එයාගේ පුතා යෙහෝරම්. යෙසබෙල්ටත් එයාගේ පවුලේ අයටත් දඬුවම් කරන්න යෙහෝවා යේහුව යැව්වා.
යේහු එයාගේ අශ්ව රථයට නැඟලා යෙසබෙල් ජීවත් වුණු යෙෂ්රෙයෙල්වලට ආවා. එතකොට යෙහෝරම් යේහුව හම්බ වෙන්න ඇවිත් ඇහුවා ‘ඔයාලා එන්නේ අපිත් එක්ක සටන් කරන්න නෙමෙයි නේද’ කියලා. එතකොට යේහු මෙහෙම කිව්වා. ‘ඔයාගේ අම්මා යෙසබෙල් මෙච්චර නපුරු වැඩ කරද්දී මං කොහොමද ඔයාලා එක්ක සටන් නොකර ඉන්නේ?’ ඒ වෙලාවේ යෙහෝරම් ඉක්මනින්ම එතනින් පැනගන්න හැදුවත් යේහු ඊතලයකින් විදලා එයාව මැරුවා.
ඊටපස්සේ යේහු යෙසබෙල්ගේ මාලිගාවට ගියා. එයා එනවා කියලා දැනගත්තාම යෙසබෙල් හැඩවැඩ වෙලා උඩ තට්ටුවට ගිහින් ජනේලෙන් බලන් හිටියා. යේහු ආවාම යෙසබෙල් කතා කළේ නපුරු විදිහට. යෙසබෙල්ගේ ළඟින් හිටිය සේවකයන්ට යේහු කිව්වා “දාන්න එයාව පල්ලෙහට” කියලා. එයාලා යෙසබෙල්ව ජනේලෙන් එළියට දැම්මාම එයා එතනම මැරුණා.
යේහු ආහබ්ගේ පුත්තු 70දෙනෙක්වත් මරලා ඒ නගරයෙන් බාල් නමස්කාරය සම්පූර්ණයෙන්ම නැති කළා. යෙහෝවාට හැම දෙයක්ම පේනවා කියලත් නරක වැඩ කරන අයට සුදුසු කාලයේදී දෙවියන් දඬුවම් කරනවා කියලත් ඔයා දැක්කාද?
“කෑදරකමින් උරුමයක් ලබාගත්තත් අන්තිමේදී ඒකෙන් කිසිම ආශීර්වාදයක් ලැබෙන්නේ නැහැ.”—හිතෝපදේශ 20:21