55වෙනි පාඩම
යෙහෝවාගේ දූතයා හෙසකියාව ආරක්ෂා කළා
ඇසිරියාවේ සෙනකෙරිබ් රජ ඊශ්‍රායෙල් රාජ්‍යය අල්ලගත්තා. එයාට ඕනෙ වුණා යූදා රාජ්‍යයත් අල්ලගන්න. එයා යූදා රාජ්‍යයේ නගර එකින් එක අල්ලගන්න පටන්ගත්තා. එයාට වැඩියෙන්ම ඕනෙ වුණේ යෙරුසලම අල්ලගන්න. ඒත් යෙහෝවා යෙරුසලම ආරක්ෂා කරනවා කියලා සෙනකෙරිබ් දැනගෙන හිටියේ නැහැ.
ඒ කාලේ යූදා රාජ්‍යයේ රජ වෙලා හිටියේ හෙසකියා. යෙරුසලම අල්ලගන්න එපා කියලා එයා සෙනකෙරිබ්ට හුඟක් සල්ලි දුන්නා. ඒත් එයා යෙරුසලම අල්ලගන්න එක නතර කළේ නැහැ. එයා එවපු හමුදාව යෙරුසලමට ළං වෙද්දී එහේ හිටපු අය හුඟක් බය වුණා. ඒත් හෙසකියා එයාලට මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. ඇසිරියානු හමුදාව බලවත් තමයි. ඒත් එයාලව පරද්දන්න යෙහෝවා අපිට උදව් කරයි.’
සෙනකෙරිබ් රබ්ෂාකේ නිලධාරියාව යෙරුසලමට එවලා සෙනඟව සවුත්තු කරලා මෙහෙම කිව්වා. ‘ඔයාලට උදව් කරන්න යෙහෝවාට බැහැ. හෙසකියාට රැවටෙන්න එපා. කිසිම දෙවියෙක්ටවත් බැහැ ඔයාලව අපෙන් බේරගන්න.’
කරන්න ඕනෙ දේ හෙසකියා යෙහෝවාගෙන් ඇහුවාම ඔහු මෙහෙම කිව්වා. ‘රබ්ෂාකේට බය වෙන්න එපා. සෙනකෙරිබ්ට යෙරුසලම අල්ලගන්න ලැබෙන්නෑ.’ ඊටපස්සේ සෙනකෙරිබ් හෙසකියාට ලියුම් එවලා කිව්වා ‘දැන් යටත් වෙන්න, ඔයාලව බේරගන්න යෙහෝවාට බෑ’ කියලා. හෙසකියා මෙහෙම යාච්ඤා කළා. ‘අනේ යෙහෝවා, අපිව බේරගන්න. එතකොට ඔබ තමයි සැබෑ දෙවියන් කියලා හැමෝම දැනගනියි.’ යෙහෝවා කිව්වා ‘ඇසිරියාවේ රජට යෙරුසලමට එන්න ලැබෙන්නෑ. මං මගේ නගරේ ආරක්ෂා කරනවා’ කියලා.
යෙරුසලම අල්ලගන්න පුළුවන් කියලයි සෙනකෙරිබ් හිතුවේ. ඒත් දවසක් රෑ ඇසිරියානු හමුදාව කඳවුරේ ඉද්දී යෙහෝවා දූතයෙක්ව එවලා සෙබළු 1,85,000ක් මරලා දැම්මා. සෙනකෙරිබ්ට වුණේ පැරදිලා හිස් අතින් හැරිලා යන්න. යෙහෝවා පොරොන්දු වුණා වගේම හෙසකියාවයි යෙරුසලමයි ආරක්ෂා කළා. ඔයා යෙරුසලමේ හිටියා නම් ඔයාත් යෙහෝවාව විශ්වාස කරයිද?
“යෙහෝවාගේ දූතයා දෙවියන් ගැන ගරුබියක් තියෙන අය වටේ කඳවුරු බැඳගෙන ඔවුන්ව ආරක්ෂා කරනවා. ඔහු ඔවුන්ව බේරගන්නවා.”—ගීතාවලිය 34:7