57වෙනි පාඩම
යෙරෙමියා දිගටම දේශනා කළා
යෙහෝවා අනාගතවක්තෘවරයෙක් විදිහට යෙරෙමියාව තෝරගත්තා. ඔහු යෙරෙමියාට කිව්වා නරක වැඩ අත්හරින්න යූදා දේශයේ අයට කියන්න කියලා. එතකොට යෙරෙමියා කිව්වා ‘අනේ යෙහෝවා, මං තාම තරුණයෙක්. මං කතාවට දක්ෂ කෙනෙක් නෙමෙයි’ කියලා. එතකොට ඔහු මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මං ඔයාට උදව් කරන්නම්. කියන්න ඕනෙ දේ මං ඔයාට කියන්නම්.’
ඊළඟට යෙහෝවා යෙරෙමියාට කිව්වා වැඩිමහල්ලන් ඉස්සරහා මැටි භාජනයක් බිඳලා ‘යෙරුසලමත් ඒ විදිහටම විනාශ වෙනවා’ කියලා කියන්න කියලා. එහෙම කළාම වැඩිමහල්ලන්ට හුඟක් කේන්ති ගියා. පෂ්හූර් කියන පූජකයා යෙරෙමියාට ගහලා එයාව දඬුකඳේ දැම්මා. මුළු රෑම යෙරෙමියාට එකම විදිහකට ඉන්න වුණා. පහුවෙනිදා උදේ එයාව නිදහස් කළාම යෙරෙමියා කිව්වා ‘මට තවත් නං දරාගෙන ඉන්න බැහැ. මං ආයේ දේශනා කරන්නෑ’ කියලා. හැබැයි එයා ඒ ගැන තව ටිකක් හිතුවාට පස්සේ මෙහෙම කිව්වා. ‘යෙහෝවාගේ පණිවිඩය මගේ හිතේ ඇවිළෙන ගින්නක් වගේ. දේශනා කරන්නේ නැතුව ඉන්න මට බැහැ.’ ඊටපස්සේ යෙරෙමියා දිගටම දේශනා කළා.
අවුරුදු ගාණකට පස්සේ යූදා දේශයේ අලුත් රජෙක් පත් වුණා. පූජකයෝයි බොරු අනාගතවක්තෘවරුයි යෙරෙමියා කියපු පණිවිඩේ අහන්න කැමති වුණේම නැහැ. එයාලා අධිපතීන්ට කිව්වා ‘මේ මිනිහාට මරණ දඬුවම දෙන්න ඕනෙ’ කියලා. එතකොට යෙරෙමියා මෙහෙම කිව්වා. ‘ඔයාලා මරන්න හදන්නේ අහිංසක කෙනෙක්ව. මං කතා කරන්නේ මගේ පණිවිඩයක් නෙවෙයි යෙහෝවාගේ පණිවිඩයක්.’ එතකොට අධිපතීන් කිව්වා ‘මෙයා මරණ දඬුවම ලබන්න තරම් වරදක් කරලා නෑ’ කියලා.
යෙරෙමියා දිගටම දේශනා කළා. ඒ ගැන අධිපතීන්ට හුඟක් කේන්ති ගිහින් ශෙදකියා රජට කිව්වා යෙරෙමියාව මරන්න කියලා. එතකොට රජ කැමති දෙයක් කරන්න කියලා කිව්වා. පස්සේ අධිපතීන් යෙරෙමියාව මඩ තිබුණු ළිඳකට දැම්මා. එයාලා හිතුවේ යෙරෙමියා ඒක ඇතුළේ මැරෙයි කියලා. යෙරෙමියා මඩේ එරෙන්න පටන්ගත්තා.
ඒක රජ මාලිගාවේ නිලධාරියෙක් වුණු එබෙද්මෙලෙක්ට ආරංචි වුණාම එයා රජට මෙහෙම කිව්වා. ‘අධිපතීන් යෙරෙමියාව ළිඳකට දාලා. එයා මැරෙයි.’ එතකොට රජ කිව්වා මිනිස්සු 30දෙනෙක් එක්ක ගිහින් යෙරෙමියාව ළිඳෙන් එළියට ගන්න කියලා. මොන දේ වුණත් යෙරෙමියා දේශනා කරන එක නතර කළේ නැහැ. අපිත් ඒ වගේ වෙන්න ඕනෙ නේද?
“ඔයාලා මගේ අනුගාමිකයන් නිසා හැමෝම ඔයාලට වෛර කරයි. ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා ගැලවෙනවා.”—මතෙව් 10:22