90වෙනි පාඩම
යේසුස් ගොල්ගොතාවලදී මිය යයි
නායක පූජකයන් යේසුස්ව ආණ්ඩුකාරයාගේ මාලිගාවට අරන් ගියාම පිලාත් ඇහුවා ‘මේ මිනිහාට තියෙන චෝදනාව මොකක්ද’ කියලා. එයාලා මෙහෙම කිව්වා. ‘එයා කියනවා එයා රජෙක් කියලා.’ එතකොට පිලාත් යේසුස්ගෙන් ඇහුවා “ඔයා යුදෙව්වන්ගේ රජද” කියලා. යේසුස් කිව්වා “මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ” කියලා.
ඊළඟට පිලාත් යේසුස්ව ගලීලයේ පාලකයා වන හෙරොද් ළඟට යැව්වාම හෙරොද්ටත් යේසුස්ගේ වරදක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා ආයෙත් යේසුස්ව පිලාත් ළඟට යැව්වාම පිලාත් සෙනඟට මෙහෙම කිව්වා. ‘මටවත් හෙරොද්ටවත් බැරි වුණා මේ මනුස්සයාගේ කිසිම වරදක් හොයාගන්න. මං එයාව නිදහස් කරනවා.’ එතකොට සෙනඟ කෑගහලා කිව්වා “මේ මිනිහාව මරලා දාන්න” කියලා. හේවායෝ යේසුස්ට කස පහර දීලා, කෙළ ගහලා හොඳටම ගැහුවා. කටු අතුවලින් ඔටුන්නක් හදලා ඒක යේසුස්ගේ ඔළුවට දාලා මෙහෙම සමච්චල් කළා. ‘යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, සුබ දවසක්!’ ‘මේ මනුස්සයාගේ කිසිම වරදක් නැහැ’ කියලා පිලාත් කිව්වාම සෙනඟ කෑගහලා කිව්වා “එයාව කණුවක ඇණ ගහලා මරන්න” කියලා. ඒ නිසා පිලාත් යේසුස්ව මරන්න අණ කළා.
හේවායෝ යේසුස්ව ගොල්ගොතා කියන තැනට අරන් ගිහින් කණුවක ඇණ ගැහුවා. ඒ වෙලාවේ යේසුස් මෙහෙම යාච්ඤා කළා. “තාත්තේ, එයාලට සමාව දෙන්න. මොකද එයාලා මොනවාද කරන්නේ කියලා එයාලට තේරෙන්නේ නැහැ.” මිනිස්සු යේසුස්ට සමච්චල් කරලා කිව්වා ‘ඔයා දෙවියන්ගේ පුතා නම් කණුවෙන් බැහැලා එන්න. ඔයාවම බේරගන්න’ කියලා.
යේසුස් ළඟ ඇණ ගහලා හිටිය හොරෙක් යේසුස්ට කිව්වා ‘ඔබේ රාජ්‍යයට ඇතුල් වෙද්දී මාව අමතක කරන්න එපා’ කියලා. “ඔයා මාත් එක්ක පාරාදීසයේ ඉන්නවා” කියලා යේසුස් එයාට පොරොන්දු වුණා. දවල් 12ට විතර එකපාරටම මුළු පොළොවම අන්ධකාර වුණා. එතන ගෝලයෝ ටිකදෙනෙකුයි මරියායි හිටියා. යේසුස් යොහන්ට කිව්වා මරියාව එයාගෙම අම්මා වගේ බලාගන්න කියලා.
“හැම දෙයක්ම ඉටු වුණා” කියලා යේසුස් කිව්වාට පස්සේ ඔහු මැරුණා. ඒ වෙලාවේ ලොකු භූමිකම්පාවක් ඇති වෙලා දේවමාලිගාවේ ශුද්ධස්ථානයයි අතිශුද්ධස්ථානයයි වෙන් කරපු ලොකු තිරය දෙකට මැදින් ඉරුණා. වෙච්ච දේවල් දැකලා එතන හිටිය හමුදා නිලධාරියෙක් කිව්වා ‘ඇත්තෙන්ම මේ දෙවියන්ගේ පුතාම තමයි’ කියලා.
“ඇත්තටම දෙවියන් කොයි තරම් පොරොන්දු දීලා තිබුණත් ඒ හැම එකක්ම යේසුස් මාර්ගයෙන් ඉටු වුණා.”—2 කොරින්ති 1:20