51වෙනි පාඩම
ඔයාගේ කතාබහ ගැන යෙහෝවා සතුටු වෙනවාද?
කතා කරන්න අපිට තියෙන හැකියාව යෙහෝවා අපිට දුන්න වටිනා තෑග්ගක්. අපි ඒ තෑග්ග හොඳට පාවිච්චි කරනවාද නැද්ද කියන එක ගැන ඔහු හුඟක් සැලකිලිමත්. (යාකොබ් 1:26 කියවන්න.) එහෙමනම් අපිට ලැබුණ ඒ තෑග්ග හරි විදිහට පාවිච්චි කරලා යෙහෝවාව සතුටු කරන්න පුළුවන් කොහොමද?
1. කතා කරන්න අපිට තියෙන හැකියාව අපි පාවිච්චි කරන්න ඕනෙ කොහොමද?
“දිගටම එකිනෙකාව දිරිගන්වන්න. එකිනෙකාව ගොඩනංවන්න” කියලා බයිබලයේ කියනවා. (1 තෙසලෝනික 5:11) අධෛර්යය වෙලා ඉන්න කෙනෙක්ව ඔයා දන්නවාද? එයාට සහනයක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඔයා එයාට ආදරෙයි කියලත් එයා ගැන සැලකිලිමත් කියලත් මුලින්ම එයාට දැනෙන්න සලස්වන්න. ඔයා ආස එයාගේ මොන ගතිගුණවලටද කියලා එයාට කියන්න. ඒ වගේම ඒ වගේ කෙනෙක්ව ශක්තිමත් කරන්න පුළුවන් බයිබල් පද හුඟක් තියෙනවා. ඔයාට ඒ වගේ එකක් මතක් වෙනවාද? ඔයා කියන දේවල් ගැන විතරක් නෙමෙයි ඒවා කියන විදිහ ගැනත් පරෙස්සම් වෙන්න. මොකද ඔයා දේවල් කියන විදිහෙන් කෙනෙක්ව සනසන්නත් පුළුවන් එයාව වට්ටන්නත් පුළුවන්. ඒ නිසා කෙනෙක්ට දෙයක් කියද්දී එයාගේ හිත රිද්දන්නේ නැතුව ආදරෙන් ඒක කියන්න හැම වෙලේම උත්සාහ කරන්න.—හිතෝපදේශ 15:1.
2. යෙහෝවා ආස නැත්තේ අපි මොන වගේ දේවල් කතා කරනවාටද?
“ඔයාලාගේ කටින් කිසිම පිළිකුල් වචනයක් පිට වෙන්න ඉඩ දෙන්න එපා” කියලා බයිබලයේ කියනවා. (එෆීස 4:29 කියවන්න.) ඒ කියන්නේ කුණුහරුප, නරක විහිළු, හිත රිද්දන, නපුරු, අනිත් අයව පහත් කරන දේවල් කියන එකෙන් අපි වළකින්න ඕනේ. ඕපාදූප කතා කරන එකෙන් සහ කෙනෙක්ගේ හොඳ නමට හානියක් වෙන්න පුළුවන් දේවල් කතා කරන එකෙනුත් අපි වළකින්න ඕනේ.—හිතෝපදේශ 16:28 කියවන්න.
3. තව කෙනෙක්ව දිරිගැන්වෙන විදිහට කතා කරන්න පුළුවන් කොහොමද?
අපි කතා කරන දේවලින් අපේ හිතේ තියෙන්නේ මොනවාද කියලා දැනගන්න පුළුවන්. (ලූක් 6:45) ඒ නිසා දිරිගැන්වෙන දේවල් ගැන කතා කරන්න නම් අපි නිතරම දෙවියන් හරියි කියලා සලකන, පවිත්ර, ආදරේ කරන්න පොලඹවන, ප්රශංසා කරන්න වටින දේවල් ගැන හිතන්න පුරුදු වෙන්න ඕනේ. (ෆිලිප්පි 4:8) ඒකට අපි විනෝදයට කරන දේවල් ගැන, අපි තෝරගන්න යාළුවන් ගැන ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ. (හිතෝපදේශ 13:20) අපි කියන දේවල් අනිත් අයට බලපාන නිසා අපි දෙයක් කියන්න කලින් ඒ ගැන හොඳට හිතන්නත් ඕනේ. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “හිතන්නේ බලන්නේ නැතුව කියන වචන හරියට කඩුවෙන් අනිනවා වගේ. ඒත් ප්රඥාවන්ත කෙනෙක්ගේ වචන සුවය ගෙන දෙයි.”—හිතෝපදේශ 12:18.
තවත් හොයමු
ඔයාගේ කතාබහෙන් යෙහෝවාව සතුටු කරන්න සහ අනිත් අයව දිරිගන්වන්න ඔයාට පුළුවන් කොහොමද කියලා බලන්න.
4. කියන්න කලින් හිතන්න
සමහර වෙලාවට අපි කියන දේවල් ගැන අපි පස්සේ දුක් වෙනවා. (යාකොබ් 3:2) ගලාති 5:22, 23 කියවලා මේ ප්රශ්න ගැන කතා කරන්න.
- මෙතන තියෙන ගුණාංග ඔයාට උදව් වෙනවා යෙහෝවා සතුටු වෙන විදිහට කතා කරන්න. ඔයාට යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න පුළුවන් ඒ මොන ගුණාංග වර්ධනය කරගන්නද? ඒ ගුණාංග ඔයාට උදව් වෙන්නේ කොහොමද? 
1 කොරින්ති 15:33 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
- ඔයා තෝරගන්න යාළුවන්, ඔයා විනෝදයට කරන දේවල් ඔයාගේ කතාබහට බලපාන්න පුළුවන් කොහොමද? 
අපේ තේරීම් අපේ කතාබහට බලපාන්නේ කොහොමද?
දේශනාකාරයා 3:1, 7 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
- සමහර වෙලාවලදී හොඳම දේ තමයි නිහඬව ඉන්න එක. එහෙම නැත්නම් කියන්න ඕනෙ දේ සුදුසු වෙලාවක් බලලා කියන එක. එහෙම කරන්න පුළුවන් මොන වගේ වෙලාවලදීද? 
5. අනිත් අයගේ හොඳ පැති ගැන කතා කරන්න
අනිත් අයට දොස් කියන එකෙන්, එයාලව පහත් කරලා කතා කරන එකෙන් වළකින්න පුළුවන් කොහොමද? වීඩියෝ එක බලලා මේ ප්රශ්න ගැන කතා කරන්න.
- අනිත් අය ගැන කතා කරන විදිහ වෙනස් කරගන්න ඕනෙ කියලා වීඩියෝ එකේ ඉන්න සහෝදරයාට හිතුණේ ඇයි? 
- එයා ඒ වෙනස්කම් කරගන්න මොනවාද කළේ? 
දේශනාකාරයා 7:16 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
- අනිත් අයගේ වැරදි ගැන කතා කරන්න හිතුණාම අපි මතක් කරගන්න ඕනෙ මොනවාද? 
දේශනාකාරයා 7:21, 22 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
- කෙනෙක් අපි ගැන වැරදි විදිහට කතා කරද්දී කේන්ති ගන්නේ නැතුව ඉන්න, ඒ පදවල කියන දේ ඔයාට උදව් වෙන්නේ කොහොමද? 
6. පවුලේ අයට ආදරෙන් කතා කරන්න
අපේ පවුලේ අය එක්ක ආදරෙන් කතා කරයි කියලා යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක බලලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
- පවුලේ අය එක්ක ආදරෙන් කතා කරන්න ඔයාට උදව් වෙන්නේ මොන වගේ දේවල්ද? 
එෆීස 4:31, 32 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
- පවුලේ අය එක්ක කොයි විදිහට කතා කළොත්ද එයාලා එක්ක තියෙන බැඳීම් ශක්තිමත් කරගන්න පුළුවන්? 
යෙහෝවා ඔහුගේ පුතාට ආදරෙයි කියලා හැමෝටම ඇහෙන්න කිව්වා. මතෙව් 17:5 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
- පවුලේ අය එක්ක ඔයා කතා කරද්දී යෙහෝවාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? 
අනිත් අයව අගය කරන්න අවස්ථා හොයාගන්න
සමහරු මෙහෙම කියනවා: “මං මගේ හිතට ආපු දේ කෙළින්ම කියලා දානවා. අනිත් අය ඒකට කැමති නැති වුණත් මට කරන්න දෙයක් නෑ.”
- එහෙම හිතන එක හරිද? ඔයා එහෙම කියන්නේ ඇයි? 
ඉගෙනගත්ත දේ
අපි කියන දේවලින් කෙනෙක්ව ශක්තිමත් කරන්නත් වට්ටන්නත් පුළුවන්. ඒ නිසා දෙයක් කියන්න කලින් අපි කියන දේ ගැන, ඒක කියන විදිහ ගැන හිතන්න ඕනේ. ඒ වගේම ඒ දේ කියන්න සුදුසුම වෙලාව ඒකද කියලත් හිතන්න ඕනේ.
ඔයා හිතන්නේ මොකක්ද?
- කතා කරන්න තියෙන හැකියාව අනිත් අයට ප්රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? 
- යෙහෝවා ආස නැත්තේ අපි මොන වගේ දේවල් කතා කරනවාටද? 
- අනිත් අයට ආදරෙන්, එයාලව දිරිගැන්වෙන විදිහට කතා කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද? 
තව දැනගන්න
අනිත් අයව දිරිගැන්වෙන විදිහට කතා කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?
නරක වචන කියන්නේ නැතුව ඉන්න ඔයාට උදව් වෙන්නේ )කියලා දැනගන්න.
ඕපාදූප කතා කරන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.
නරක වචන කියන පුරුද්ද අත්හරින්න යෙහෝවා කෙනෙක්ට උදව් කළේ කොහොමද කියලා දැනගන්න.
“මං ජීවිතේ ගැන බැරෑරුම්ව හිතන්න පටන්ගත්තා” (2013 අගෝස්තු 1 ‘මුරටැඹ’)