ඇදහිල්ල සහ යහපත් හෘද සාක්ෂියක් පවත්වා ගන්න
පළමුවෙනි තිමෝති පොතෙන් මූලික කරුණු
පොදු යුගයේ 56 දී පමණ ප්‍රේරිත පාවුල් එපීස සභාවේ වැඩිමහල්ලන්ට අනතුරු ඇඟවූයේ, ඔවුන් අතරෙන් “රෞද්‍ර වෘකයන්” නැගී සිට “තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරලා කථා කරනු ඇති බව” යනුවෙනි. (ක්‍රියා 20:29, 30) වසර කිහිපයක් ඇතුළත දී ධර්මභේදී ඉගැන්වීම් එතරම් බරපතළ තත්ත්වයකට පත් වුණෙන්, සභාවේ පරිශුද්ධතාවය රැක ගැනීමට සභාව තුළ ආත්මික අන්දමින් යුද්ධ කරන ලෙසත්, ඇදහිල්ලේ ස්ථීර ව සිටීමට සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කරන ලෙසටත් පාවුල් තිමෝතිගෙන් අයැද සිටියේ ය. පො.යු. 61-64 දී පමණ මකිදෝනියාවේ සිට පාවුල් තිමෝතිට තම පළමු ලිපිය ලියන්නට ප්‍රධාන හේතුව වූයේ එයයි.
වැඩිමහල්ලෙකුගේ වැඩ කටයුතු, ස්ත්‍රියකට දෙවියන් වහන්සේ විසින් දී ඇති තැන, වැඩිමහල්ලන්ගේ සහ උපස්ථායක සේවකයන්ගේ සුදුසුකම්, සහ වෙනත් කාරණා පිළිබඳ ව තිමෝතිට උපදෙස් දෙන ලදි. එවැනි උපදෙස් අද දිනට ද ප්‍රයෝජනවත් ය.
ඇදහිල්ල සඳහා අනුශාසනා
ඇදහිල්ල සහ යහපත් හෘද සාක්ෂියක් පවත්වා ගන්නා ලෙසට දී ඇති උපදෙස් සමඟින් පාවුල් තම ලිපිය ආරම්භ කළේ ය. (1:1-20) එපීසයේ රැඳී සිට, “අමුතු ධර්ම නූගන්වන හැටියට සමහරුනට ආඥා කරන” ලෙස ඔහු තිමෝති ව දිරිගැන්වී ය. තමා යේසුස් වහන්සේගේ අනුගාමිකයන්ට පීඩා කරන විට නොදැනුවත්කමින් හා, ඇදහිල්ලේ හීනකමින් ක්‍රියා කළ බව පිළිගත් හේ, තමාට පවරා තිබූ දේව සේවය ගැන කෘතඥ විය. පාවුල් තිමෝතිට අවවාද කරමින්, “තමන්ගේ ඇදහිල්ලේ නැව බිඳගත්” අයට සමාන නොවී, “ඇදහිල්ල සහ යහපත් හෘද සාක්ෂියක් පවත්වා ගනිමින්” ආත්මික යුද්ධය කරමින් සිටින ලෙස දිරිගැන්වී ය.
නමස්කාරය සම්බන්ධ උපදෙස්
ඊළඟට, පාවුල්, “ඇදහිල්ල සහ සත්‍යය ගැන අන්‍ය ජාතීන්ගේ ගුරුවරයෙකු වශයෙන්” උපදෙස් ඉදිරිපත් කළේ ය. (2:1-15) ක්‍රිස්තියානීන් සාමකාමි ජීවිතයක් ගත කරනු වස් උසස් තනතුරු දරන්නන් සම්බන්ධයෙන් යාච්ඤා කළ යුතු ව තිබිණ. සියලු ආකාරයේ මිනිසුන් ගලවනු ලැබීම දේව කැමැත්ත වන අතර, ක්‍රිස්තුස් වහන්සේ ‘සියල්ලන් වෙනුවෙන් තමන් ම අනුරූපී මිදීමේ මිලයක් ලෙස දී තිබේ ය,’ යන්න අතිශයින් වැදගත් ඉගැන්වීමකි. ස්ත්‍රියක් ඇඳුම් පැළඳුම් වල දී විනීත විය යුතු අතර, මනුෂ්‍යයෙකු කෙරෙහි අධිකාරිත්වයක් නොපැවැත්විය යුතු බව පාවුල් පෙන්වී ය.
සභාව හොඳින් සංවිධානය වී තිබිය යුතු ය. (3:1-16) අවේක්ෂකයන්ගේ සහ උපස්ථායක සේවකයන්ගේ සුදුසුකම් පාවුල් ගෙන හැර දැක්වී ය. “සත්‍යයේ කනුව සහ අත්තිවාරම” වන සභාව තුළ තමන් හැසිරෙන්නේ කෙසේ ද යන්න ප්‍රේරිතවරයා ලියූ දෙයින් තිමෝති දැන ගන්නවා ඇත.
බොරු ඉගැන්වීම්වලට එරෙහි ව තමන් ව ම ආරක්ෂා කර ගැනීමට උපකාරවත් වන පුද්ගලික උපදෙස් පාවුල් තිමෝති හට ඉදිරිපත් කළේ ය. (4:1-16) පසු කාලවල දී සමහරුන් ඇදහිල්ලෙන් ඉවත් ව යනවා ඇත. නමුත්, තමාට ම සහ තමාගේ ඉගැන්වීම්වලට නියත අවධානය යොමු කිරීමෙන්, ‘තිමෝති තමාව සහ තමාට සවන්දෙන්නන් ව ගලවා ගනු ඇත.’
යෞවන සහ මහලු පුද්ගලයන් සමඟ කටයුතු කිරීම පිළිබඳ ව ද තිමෝති උපදෙස් ලැබී ය. (5:1-25) නිදසුනක් වශයෙන්, ක්රිස්තියානිකාරියක වශයෙන් හොඳ නමක් දිනාගෙන ඇති වයසක වැන්දඹුවන් සඳහා සුදුසු සැපයුම් ලබා දිය යුතු විය. ඕපාදූප කියමින් යනවාට වඩා යෞවන වැන්දඹුවන් විවාහ වී දරුවන් ප්‍රසූත කළ යුතු ය. යහපත් ලෙස මූලිකත්වය දරන වැඩිමහල්ලන් දෙගුණයක් ගෞරවය ලැබිය යුතු ය.
ලත් පමණින් සතුටුවීම සහ භක්තිවන්තකම
දේවභක්තිය පිළිබඳ උපදෙස්වලින් පාවුල්ගේ ලිපිය අවසන් විය. (6:1-21) “ලත් පමණින් සතුටුවීම සමඟ දේව භක්තිය” මහත් ලාභයක් වන අතර, එහෙත් පෙහොසත්වීමට අධිෂ්ඨාන කරගෙන සිටීම නාස්තියටත් විනාශයටත් තුඩු දෙයි. ඇදහිල්ලේ යහපත් සටනින් සටන් කර ‘සදාකාල ජීවනය තදින් අල්ලා ගෙන සිටින’ ලෙසට පාවුල් තිමෝතිට දැඩි සේ උනන්දු කළේ ය. ධනවත් අය නියම සැබෑ ජීවනය අත්කරගැනීමට නම් “ඔවුන්ගේ බලාපොරොත්තු අස්ථීර වස්තු මත නොව නමුත් දෙවියන් වහන්සේ මත තැබිය යුතු විය”. w91 1⁄15
දරුවන් වැදීම තුළින් ගැලවීම: “ඔවුහු විනීත භාවයෙන් යුක්තව, ඇදහිල්ලෙහිත්, ප්‍රේමයෙහිත් ශුද්ධකමෙහිත් පවතින්නෝ නම්, දරුවන් වැදීම කරණකොටගෙන ගැළවෙනවා ඇත.” යනුවෙන් පාවුල් ලියන විට ඔහු සාකච්ඡා කරමින් සිටියේ සදාකාල ජීවනයට ගැලවීම ලැබීම නොව, නමුත් දේවභක්තික ස්ත්‍රියක වශයෙන් ඇගේ නිවැරදි ක්‍රියා කලාපයයි. (1 තිමෝති 2:11-15) දරුවන් ප්‍රසූත කිරීම, ඇගේ දරුවන් රැක බලා ගැනීම, සහ ගෙදරදොර වැඩ කටයුතු බලා කියා ගැනීම තුළින්, කිසි වැඩක් නැති ඕපාදූප කියමින්, අනික් අයගේ වැඩ කටයුතුවලට මැදිහත් වෙන්නියක් නොවීමෙන් ඇය “ගැලවී සිටිනවා” ඇත. (1 තිමෝති 5:11-15) ඇගේ ගෙදරදොරේ වැඩ කටයුතු, යෙහෝවඃ වහන්සේට ඈ කරන සේවයට සහයක් වනු ඇත. ඇත්ත වශයෙන් ම, සියලු ක්‍රිස්තියානීන් තමන්ගේ හැසිරීම ගැන ප්‍රවේසම් විය යුතු අතර, තම කාලය ඥානවන්ත ව පාවිච්චි කළ යුතු ය.—එපීස 5:15, 16.