අපට ඇදහිල්ල සහ ප්‍රඥාව අවශ්‍ය වීමට හේතුව
යාකොබ් ලිපියේ මූලික කරුණු
යෙහෝවඃ වහන්සේගේ සේවකයන් පරීක්ෂාවන් යටතට පැමිණෙන විට ඔවුනට විඳදරාගැනීම අවශ්‍ය ය. තව ද දිව්‍ය අනුමැතිය නැති වීමට හේතුකරවන හැසිරීමෙන් ද ඔවුන් වැළකී සිටිය යුතු ය. එවැනි මූලික කරුණු යාකොබ්ගේ ලිපිය තුළ අවධාරණය කොට ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඒකාන්ත ලෙස යමක් කිරීම පිණිස, ක්‍රියාශීලි ඇදහිල්ලක් සහ ස්වර්ගීක ප්‍රඥාව අවශ්‍ය කරවයි.
මෙම ලිපියේ ලේඛකයා තමා යාකොබ් නම් ලත් යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන් දෙදෙනාගෙන් කෙනෙකු බවට හඳුන්වා නොදෙන නමුත් ‘දෙවියන් වහන්සේගෙත් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙත් දාසයෙක් ලෙස’ හඳුන්වා දෙයි. ඊට සමාන ව, යේසුස් වහන්සේගේ අර්ධ සහෝදරයා වූ යූද්, තමා “යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක්ද යාකොබ්ගේ සහෝදරයා” ද යන වග පවසයි. (යාකොබ් 1:1; යූද් 1; මතෙව් 10:2, 3) මෙබැවින්, පැහැදිලි ව ම, යේසුස් වහන්සේගේ අර්ධ සහෝදර යාකොබ් සිය නම දරන මෙම ලිපිය ලීවේ ය.—මාර්ක් 6:3.
පොදු යුගයේ 70 වෙනි වසරේ දී සිදු වූ යෙරුසලමේ විනාශය ගැන මෙම ලිපියේ සඳහන් නොවන අතර, ඉතිහාසඥ යොසේෆස් අඟවන්නේ, පො.යු 62 වසරේ දී රෝම බලකාමී පෙස්තුස් මරණින් මඳ කලකට පසු යාකොබ් ප්‍රාණ පරිත්‍යාගී මරණයකට ලක් වූ බවයි. එසේ නම්, පෙනෙන අයුරින්, මෙම ලිපිය ලියනු ලැබුවේ පො.යු 62ට පෙර ය. මෙම ලිපිය “අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල” පවත්වා ගෙන සිටින්නා වූ අයට ලියනු ලැබූ බැවින් ඊශ්‍රායෙල්ගේ “ගෝත්‍ර දොළොසට” යොමු කරන ලදි.—යාකොබ් 1:1; 2:1; ගලාති 6:16.
සිය උපදෙස් මතක තබා ගැනීමට උපකාරවත් වන පිණිස, යාකොබ් උපහැරණයන් භාවිතා කරයි. උදාහරණයක් වශයෙන් දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින මිනිසෙක් අනුමාන නොකළ යුතු බව ඔහු පෙන්වන්නේ “මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවන්නාවූ මුහුදේ රැළට සමාන” බැවිනි. (1:5-8) බෝට්ටුවක් සුක්කානමක් මගින් හසුරුවනු ලබන්නාක් මෙන් අපගේ දිවට අපගේ චර්යාව මෙහෙයවිය හැකි නිසා එය පාලනය කළ යුතු ය. (3:1, 4) එමෙන් ම පරීක්ෂාවන්ට මුහුණ දීම පිණිස, ගොවියෙක් අස්වැන්න නෙලීමට බලා සිටින්නාක් මෙන්, අප ද ඉවසිලිවන්ත ව විඳදරාගැනීම විදහා පෑමට අවශ්‍ය ය.—5:7, 8.
ඇදහිල්ල, පරීක්ෂාවන්, සහ ක්‍රියාවන්
අප හට පරීක්ෂා තිබුණත් ක්‍රිස්තියානීන් වශයෙන් අපට සතුටු විය හැකි බව යාකොබ් පළමුවෙන් පෙන්නුම් කරයි. (1:1-18) අසනීප වැනි සමහරක් පරීක්ෂාවන් සියලු මනුෂ්‍යයන්ට පොදු ව තිබුණ ද, එහෙත් ක්‍රිස්තියානීන් දෙවියන් වහන්සේගෙත් ක්‍රිස්තුස් වහන්සේගෙත් දාසයන් වීම හේතුකොටගෙන ද දුක් විඳිනු ඇත. විඳදරාගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව අප ඇදහිල්ලෙන් යුතු ව යෙහෝවඃ වහන්සේගෙන් අයදමින් සිටියහොත් උන් වහන්සේ අපට එය දානය කරන සේක. නපුරු දේවල් සමඟින් උන් වහන්සේ අප කිසිදා නපුරු දෙයින් පරීක්ෂා නොකරන අතර, යහපත් දේවල් සැපයීම සම්බන්ධයෙන් අපට උන් වහන්සේ කෙරෙහි රඳා පැවතිය හැක.
දෙවියන් වහන්සේගේ උපකාරය ලැබීමට නම්, අපගේ ඇදහිල්ල නිරූපනය කරන ක්‍රියා තුළින් අපගේ නමස්කාරය පුද කළ යුතු ය. (1:19–2:26) මින් අවශ්‍ය කරවන්නේ අප නිකම් ම වචනය අසන්නන් වීම නොව නමුත් “වචනය පිළිපදින්නන්” වීමයි. අප දිව පාලනය කර ගත යුතු අතර, මව්පියන් නැති දරුවන් ව සහ වැන්ද ඹුවන් ව බලා ගැනීමත් ලෝකයෙන් කිලුටු නොවන ලෙස අප ව ම ආරක්ෂා කර ගැනීමත් අවශ්‍ය ය. අප ධනවතුන්ට ගැතිකම් කොට දුප්පතුන් නොසලකා හැරියා නම්, අපි ප්‍රේමයේ “රාජකීය ව්‍යවස්ථාව” කඩ කරන්නෙමු. තවත් අපට මතක තබා ගැනීමට අවශ්‍ය වන්නේ, ආබ්‍රහම්ගේ සහ රාහබ්ගේ ආදර්ශයන් හොඳින් නිරූපනය කළාක් මෙන්, ඇදහිල්ල පෙනෙන්නේ ක්‍රියා මගින් බව ය. ඇත්තෙන් ම, “ක්‍රියා නැති ඇදහිල්ල මැරී තිබේ.”
ස්වර්ගීය ප්‍රඥාව සහ යාච්ඤාව
ගුරුවරුනට තම වගකීම් ඉටු කිරීමට ඇදහිල්ල සහ ප්‍රඥාව අවශ්‍ය ය. (3:1-18) උපදෙස් දෙන්නන් වශයෙන් ඔවුන් හට බරපතළ වගකීමක් තිබේ. ඔවුන් මෙන් ම, අප ද අපගේ දිව පාලනය කර ගත යුතු ය. මෙය කිරීමට අපට උපකාරවත් වන්නේ ස්වර්ගීක ප්රඥාවයි.
ලෞකික නැඹුරුවාවන්ට යටත් වීමට දෙවියන් වහන්සේ සමඟ තිබෙන අපගේ සම්බන්ධතාවයට හානි පමුණුවන බව තේරුම් ගැනීමට ද ප්‍රඥාව අපට මහෝපකාරී වෙයි. (4:1–5:12) අප ආත්මාර්ථකාමී ඉලක්කයන් ඉටු කර ගැනීමට යත්න දරා තිබේ නම් හෝ අපගේ සහෝදරයන් ව පාච්චල් කොට හෙලාදැක තිබේ නම්, පසුතැවිලි වීමට අපට අවශ්‍ය ය. එමෙන් ම, මේ ලෝකය සමඟ මිත්‍රවීමෙන් වැළකි සිටීම කොතරම් වැදගත් ද, මන්දයත් එය ආත්මික වේශ්‍යාකමක් වෙයි! ද්‍රව්‍යවාදී සැලසුම් ඇති කර ගැනීම මගින් අප දේව කැමැත්ත කිසිදා නොසලකා නොහරිමු. තව ද අප එකිනෙකාට එරෙහි ව නොඉවසීමේ හා කෙඳිරීමේ ස්ප්‍රීතුවක් ඇතිවීමෙන් ආරක්ෂා වෙමු.
ආත්මික ව අසනීපයකින් පෙළන යමෙක් සිටී නම්, ඔහු සභා වැඩිමහල්ලන්ගේ උපකාරය පැතිය යුතු ය. (5:13-20) යම් පාපයන් කර තිබේ නම්, ඔවුන්ගේ යාච්ඤාවන් සහ ප්‍රඥාවන්ත උපදෙස්, පසුතැවිලි වන්නා වූ පව්කාරයෙකුගේ ආත්මික සෞඛ්‍යය නැවත පිහිටුවීමට උපකාරවත් වෙයි. ඇත්ත වශයෙන් ම, ‘පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා [වැරදි කළ තැනැත්තාගේ] ආත්මය [ආත්මික සහ සදාකාලික] මරණයෙන් ගලවයි.’ w91 3/15
වචනය පිළිපදින්නෝ: “වචනය අසන්නන් පමණක් නොව එය පිළිපදින්නන් විය යුතුය.” (යාකොබ් 1:22-25) නිකම් ම අසන්නෙක් “කැඩපතකින් තමාගේ ස්වභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.” මඳක් ඒ දෙස බලාගෙන සිටීමෙන් ඉවත් ව යන ඔහු, “තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙලේම මතක නැති කරයි.” නමුත් ‘වචනය පිළිපදින්නා’ දෙවියන් වහන්සේගේ පරිපූර්ණ, සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස ප්‍රවේසමෙන් බලමින් ක්‍රිස්තියානිකාරයෙකුට අවශ්‍ය කරන්නා වූ සියල්ල ඉන් උකහා ගනී. එයට සමීප ලෙස තම ජීවිතය එකඟ කරනු වස්, නිවැරදිතාවයන් කිරීමේ අටියෙන් එම ව්‍යවස්ථාව නොකඩවා සියුම් ලෙස පරීක්ෂා කරන හේ, ඒ දෙස ම “බලා ගෙන සිටී.” (ගීතාවලිය 119:16) “ක්‍රියාකරන්නෙක්” කණ්ණාඩියක් දෙස නිකම් බැල්මක් හෙලා ඉන් හෙළිවන දේ අමතක කරන මනුෂ්‍යයෙකුගෙන් වෙනස් වන්නේ කෙසේ ද? ඇයි, ක්රියාකරන්නා යෙහෝවඃ වහන්සේගේ වචනය ක්‍රියාවට නගා උන් වහන්සේගේ අනුමැතිය භුක්ති විඳීමෙනි!—ගීතාවලිය 19:7-11.