එය ඔබ සිතන තරම් ප්‍රමාද ද?
යේසුස් වහන්සේගේ මරණයට දින තුනකට පෙර, වූ දවස යෙරුසලමේ උන් වහන්සේට ඉතා කාර්ය බහුල දවසක් වූ අතර, එය අද දින ජීවත් වන ක්‍රිස්තියානින් හට අති මහත් වැදගත්කමක් ගත්තා වූ දිනයක් බවට පත් විණි. යුදෙව් නායකයන් උන් වහන්සේ ව උගුලකට හසු කර ගැනීම පිණිස උපයෝගි කර ගත්තා වූ ප්රයෝගකාරී බොහෝ ප්‍රශ්නවලට ආපසු හරවා පිළිතුරු දෙමින් උන් වහන්සේ දේව මාලිගාවේ උගන්වමින් සිටි සේක. අවසානයේ දී, ලියන්නන් හා ඵරිසිවරුන් ව ගෙහෙන්නාවට සුදුසු වූ කුහකයන් සහ පොළඟුන් ලෙසට ඔවුන්ට ප්‍රසිද්ධියේ විෂම අන්දමින් තරවටු කොට උන් වහන්සේ ඔවුන් ව නිශ්ශබ්ද කළ සේක.—මතෙව් 22, 23 වෙනි පරිච්ඡේද.
උන් වහන්සේ දේව මාලිගා භූමි ප්‍රදේශයෙන් ඉවත් ව යනවාත් සමඟ ම, උන් වහන්සේගේ එක් ගෝලයෙක් උන් වහන්සේගෙන් මෙසේ ඇසුවේ ය: “ආචාරිනී, බැලුව මැනව, කොයි ආකාර ගල්ද, කොයි ආකාර ගොඩනැගිලිද!” ඒ දසුනින් කුල්මත් නොවූ යේසුස් වහන්සේ ඔහුට මෙසේ පිළිතුරු දුන් සේක: “මේ විශාල ගොඩනැඟිලි ඔබට පෙනෙනවා නොවේ ද? ගලක් මත ගලක් ඉතිරි නොවන සේ ඒවා බිඳ හෙළනු ලැබේ”. (මාර්ක් 13:1, සහ 2, න. අ.) ඉන් පසු, යේසුස් වහන්සේ අවසන් වරට දේව මාලිගාවෙන් පිට වී, කිද්‍රොන් මිටියාවත කරා පහළට බැස, එය හරහා ගමන් කොට, ඔලිව කන්දේ බෑවුම් නැග ගත් සේක.
මිටියාවත හරහා එහායින් මොරියා කන්ද මත වූ දේව මාලිගාවේ දසුන ඇසට හසුකර ගනිමින් සවස් යාමයේ ඔලිව කන්දට වැටුණු හිරු රැස් කිරණින් නැහැවී උන් වහන්සේ එහි වාඩි වී සිටි විට, පේතෘස්, යාකොබ්, යොහන් සහ අන්දෘ පුද්ගලික ව උන් වහන්සේ වෙතට පැමිණුනාහ. දේව මාලිගාව බිඳ හෙලනු ලැබේ යයි උන් වහන්සේ පවසා තිබූ එම වදන් ඔවුන්ගේ මනසට මහා බරක් වී තිබිණි. ඔවුහු මෙසේ ඇසුවෝ ය: “අපට කිව මැනව, මේ දේවල් සිදුවන්නේ කවදා ද, ඔබගේ පැමිණ සිටීමටත් මේ දේවල පිළිවෙළේ සමාප්තියටත් ලකුණ කිමෙක් ද?” (මතෙව් 24:3 NW; මාර්ක් 13:3, 4) එම සවස් යාමයේ ඔලිව කන්ද මත දී, උන් වහන්සේ ඔවුන්ගේ ප්‍රශ්නයට දුන් පිළිතුර අපට අතිශයින් වැදගත් ය. “දේවල පිළිවෙළේ සමාප්තිය” ගැන කල්පනා කිරීමට පමණට වැඩි කාලයක් තිස්සේ බලා සිටීමෙන් එය අප ව වලක්වා තබයි.
ඔවුන්ගේ ප්රශ්නය දෙයාකාරයක් ගත්තේ ය. එහි එක කොටසක්, දේව මාලිගාවේ සහ යුදෙව් පිළිවෙළේ සමාප්තිය ගැන ය; අනෙක් කොටස, රජ කෙනෙකු වශයෙන් යේසුස් වහන්සේගේ අනාගතික පැමිණ සිටීම සහ මේ දේවල පිළිවෙළේ අවසානය පිළිබඳවයි. මතෙව් 24 සහ 25, මාර්ක් 13, සහ ලූක් 21 වෙනි පරිච්ඡේදවල දෙනු ලැබ තිබෙන පිළිතුරට අනුව, මේ ප්‍රශ්න දෙකට ම පිළිතුරු යේසුස් වහන්සේගේ පිළිතුරෙන් සපයා තිබේ. (එළිදරව් 6:1-8, දක්වා ද බලන්න.) මේ වත්මන් ලෝකයේ නැතහොත් දේවල පිළිවෙළේ අවසානය පිළිබඳ යේසුස් වහන්සේ විස්තර කළා වූ අංගයන් කිහිපයක් එකට ගත් කල, එය අවසාන දවස් හඳුන්වා දෙන සංයුක්ත ලකුණක් වනු ඇත. එම සංයුක්ත ලකුණ ඉටු වෙමින් තිබේ ද? බයිබලයේ පවසා තිබෙන අවසාන දවස් මතට එය අප ව තබයි ද? එහි ඉටුවීම, එය අප සිතන තරම් ප්‍රමාද නොවන බවට අපට අනතුරු අඟවයි ද?
යේසුස් වහන්සේගේ සංයුක්ත ලකුණේ එක් අංගයක් නම්: “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිට සිටීම ය.” (මතෙව් 24:7) වර්ෂ 1914 දී, පළමු ලෝක යුද්ධය ඇරඹිණි. ඉක්බිති ව එම දශකයේ සිටියා වූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ සුපරීක්ෂාවෙන් සිටියහ. ඒ මන්ද? මීට වසර 35කට පෙර, 1879 දෙසැම්බර් මාසයේ දී, වොච්ටවර් සඟරාව, බයිබල් කාල ගණිතය පදනම් කොට ගෙන කියා සිටියේ, 1914, මිනිස් ඉතිහාසයේ කේන්ද්‍රීය වසරක් වන බවයි. ජාතීන් 28ක් අවසානයේ දී ඇතුළත් වුණු, මිලියන 14ක් ජනයා මිය ගියා වූ, සැබවින් ම ලෝක ව්‍යාප්ත පරිමාණයෙන් වූ, මේ යුද්ධය, අවසානය පිළිබඳ යේසුස් වහන්සේගේ සංයුක්ත ලකුණ ඉටුවීමේ ප්‍රථම අදියර විය හැකි ද? ලකුණේ අනෙකුත් අංගයන් සිදුවෙන්නට යයි ද?
“යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්ව” තුළ, මෙම ලේවැගිරීම ම පුරෝකථනය කොට තිබේ. මෙහි රතු පාට අශ්වයෙක් ද, “පොළොවෙන් සමාදානය දුරු කරන” අශ්වාරෝහකයා ද වෙයි. (එළිදරව් 1:1; 6:4) වර්ෂ 1914 සිට 1918 දක්වා එය ඇත්තට ම සිදු විණි. තව ද, පළමු ලෝක යුද්ධය ආරම්භය පමණි. වර්ෂ 1939 දී, දෙවන ලෝක යුද්ධය සිදු විණි. ජාතීන් 59ක් ඒ ගැටුම තුළට ඇදගනු ලැබූ අතර, මිලියන 50ක් පමණ ජනයා ජීවිතක්ෂයට පත් වූහ. දෙවන ලෝක යුද්ධයට පසු වසර 45 තුළ, යුද්ධ 125කට වඩා ඇවිලී තිබෙන අතර, මිලියන 20කට වඩා වැඩි ජනයා ව මරා දමා තිබේ.
ලකුණේ තවත් අංගයක් නම්: “නොයෙක් තැන්වල සාගත [ආහාර හිඟකම් NW]” ය. (මතෙව් 24:7) පළමු වැනි ලෝක යුද්ධය අතරතුරේ දී සහ ඉන් පසු ව, සාගත ව්‍යාප්ත ව පැවතිණි. වර්ෂ 1914 සිට ඇති වූ මහත් සාගත 60කට වඩා වැඩි ගණනකින් ජීවිත මිලියන ගණනාවක් ගිල ගත් බව එක් වාර්තාවක් සටහන් කරයි. මීටත් වඩා, දැන් පවා මන්දපෝෂණයෙන් සහ වැලැක්විය නොහැකි ලෙඩ රෝග හේතුවෙන් දවසකට දරුවන් 40,000ක් මිය යති.
“මහත් භූමිකම්පා ද . . . වන්නේය.” (ලූක් 21:11) පළමු වන ලෝක යුද්ධය ආරම්භ වූවායින් පසු, ඒවා පොළොව දෙදරුම් කෑමට සැලැස්වී ය. වර්ෂ 1915 ඉතාලියේ සිදුවුණු භූමිකම්පාවක් ජීවිත 32,610ක් බිලි ගත්තේය; වර්ෂ 1920 දී චීනයේ සිදු වූ තවත් එකක් 2,00,000ක් මරා දැමීය; වර්ෂ 1923 දී ජපානයේ සිදු වූ භූමිකම්පාවකින් 99,300ක් මිය ගියහ; වර්ෂ 1935 දී දැන් පකිස්ථානය යයි හඳුන්වන ප්‍රදේශයේ සිදු වූ එකකින් 25,000ක් තම ජීවිත අහිමි කර ගත්හ; වර්ෂ 1939 දී තුර්කියේ සිදු වූ භූමිකම්පාවකින් 32,700ක් විනාශ වූහ; වර්ෂ 1970 දී පේරු හි දී 66,800ක් මරුමුවට පත් වූහ; වර්ෂ 1976 දී චීනයේ සිදු වූ භූමිකම්පාවකින් 2,40,000ක් මිය ගියහ; (සමහරු 8,00,000 යයි පවසති;) වර්ෂ 1988 දී ආමේනියාවේ වූ භූමිකම්පාවකින් 25,000කට තම ජීවිත අහිමි විය. සහතික වශයෙන් ම, 1914 පටන් මහත් භූමිකම්පා ඇති වී තිබේ!
“නොයෙක් තැන්වල . . . වසංගතද වන්නේය.” (ලූක් 21:11) වර්ෂ 1918 සහ 1919 අතරතුරේ දී 1,00,00,00,000ක් ජනයා ස්පාඤ්ඤ උණෙන් පෙළී සිටිය අතර, 2,00,00,000කට වැඩි සංඛ්‍යාවක් මිය ගියහ. නමුත් එය ආරම්භයක් පමණක් විය. දියුණු වෙමින් තිබෙන ලෝකයේ, මැලේරියාව, ගොලුබෙලි උණ, ගංගා අන්ධකම, පාචනය, සහ වෙනත් ලෙඩ රෝග, මිලියන සිය ගණනක් ජනයා ව නොකඩවා ගොදුරු කොට මරා දමා තිබේ. ඊට අමතර ව, හෘදයාබාධ සහ පිළිකා, මිලයන ගණනකට වඩා ජීවිත ගණනක් ගොදුරු කර ගනී. ලිංගික සමාජ රෝග මිනිස් වර්ගයා ව ව්‍යසනයකට පත් කරමින් තිබේ. අද දින හදවත් චලිත කරවන භයානක වසංගතය නම්, ඒඩ්ස් රෝගය වන අතර, පෙනෙන තෙක් මානයක කිසි ම සුවයක් නොමැති ව සෑම විනාඩියකට ම එක පුද්ගලයෙකුට එය වැලඳෙන බව ගණනය කොට තිබේ.
“නොපනත්කම වැඩිවීම.” (මතෙව් 24:12, NW) වර්ෂ 1914 සිට අද දක්වා නොපනත්කම වේගයෙන් හඹා දිව ගොස් තිබෙන අතර, අද එය පුපුරා යන තත්ත්වයක තිබේ. මිනීමැරුම්, දූෂණය කිරීම්, සොරකම්, කල්ලි සටන්—මේවා පුවත් පත්වල, ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ ප්රවෘත්ති විකාශනවල ප්‍රධාන සිරස්තල බවට පත් වී තිබේ. නිකරුණේ කරන අපරාධ කිසිදු බාධාවකින් තොර ව වේගයෙන් පැතිරී යයි. එක්සත් ජනපදයේ, තුවක්කු කරුවෙක්, වේගයෙන් ක්‍රියා කරන ගිනිමය පහර එල්ල කරන රයිෆලයක් පාසල් ළමුන් සමූහයක් වෙතට එල්ල කොට වෙඩි සියයක් පමණ විසුරුවා හරියි—5 දෙනෙක් මරු දකී, 29කට තුවාල. එංගලන්තයේ පිස්සුවෙන් වියුරු වැටුණු මිනිසෙක්, AK-47 වර්ගයේ පහර දෙන රයිෆලයකින් මිනිසුන් 16 දෙනෙකු ව මරා දමයි. කැනඩාවේ ස්ත්රීන්ට ද්වේෂ කරන මිනිසෙක් මොන්ට්‍රියෙල් සරසවියට ගොස් එහි සිටි 14 දෙනෙකු මරා දමයි. එවැනි මිනිසුන් හරියට ම ග්‍රහණය කර විනාශ කිරීමට සුදුසු වෘකයන්, සිංහයන් වැනි සතුන්, කල්පනා කරන්නට බැරි මෘගයන් මෙනි.—එසකියෙල් 22:27; ශෙපනියා 3:3; 2 පේතෘස් 2:12, සසඳන්න.
“භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්ත වන්නේය.” (ලූක් 21:26) පළමුවෙනි පරමාණු බෝම්බය පිපිරීමෙන් පසුව, පරමාණු විද්‍යාඥයෙක් වන හැරල්ඩ් සී. යූරේ, අනාගතය ගැන පැවසුවේ මෙසේ ය: “අපි අනුභව කරනු ඇත්තේ භයෙනි, නිදා ගනු ඇත්තේ භයෙනි, ජීවත් වනු ඇත්තේ භයෙනි, මිය යනු ඇත්තේ ද භයෙනි.” අපරාධ, සාගත, ආර්ථික අස්ථායිතාව, සදාචාර බිඳ වැටීම, පවුල් පිරිහීයාම, පොළොවේ පරිසර දූෂණය පිළිබඳ භයට, න්‍යෂ්ටික යුද්ධයේ භය එකතු වී තිබේ. ඇත්ත වශයෙන් ම දිනපතා ප්රවෘත්ති පත්‍රවලින් හා රූපවාහිනි ප්රවෘත්ති විකාශනවලින් ප්‍රදර්ශනය කරන ලද නපුරු කාලවල් සෑම තැනක ම භය පතුරුවා හරියි.
මේ දේවල පිළිවෙළේ අවසානයේ දී පැතිර පවත්නා වූ තත්ත්වයන් පිළිබඳ ව ප්‍රේරිත පාවුල් ද ලීවේ ය. ඔහුගේ වචන කියවීම, හරියට දවසේ පුවත් කියවනවාක් මෙනි. “නමුත් මෙය සිතට ගන්න,” ඔහු ලීවේ: “අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇතිවෙයි. ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, අහංකාර, ආඩම්බර, අශිෂ්ට, දෙමාපියන්ට අකීකරු, කෙලෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ, අනුකම්පා රහිත, දයාවිරහිත, [අපහසාත්මක] ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති, ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන් වහන්සේට වඩා සැප සෙල්ලමට ආශා ඇති අය වන්නෝ ය. ආගමේ බාහිර පෙනුම ඔවුන්ට තිබුණත්, ඔව්හු එහි අභ්‍යන්තර බලය ගැන නොසලකති. එබඳු අයගෙන් අහක් වී සිටින්න.”—2 තිමෝති 3:1-5, නව අනුවාදය.
“මැවීමේ පටන් ගැන්මේ සිට” සියලු දේ තිබුණාක් මෙන් පවතී ද?
අවසාන දවස්වල තිබෙන්නා වූ තවත් අංගයක් ගැන ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළේ ය: “මෙය පළමු කොට දැනගන්න; අන්තිම දවස්වල දී තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන, ඔබට සරදම් කරන ගරහන්නන් පැමිණ මෙසේ කියනු ඇත, ‘උන් වහන්සේගේ ආගමනය [පැමිණ සිටීම NW] පිළිබඳ පොරොන්දුවට කිමෙක් වී ද? පියවරුන් මළ පසු සියලු දේ මැවීමේ පටන් ගැන්මේ සිට තිබුණු ලෙසම තවමත් තිබෙනවා නොවේ ද?’ ”—2 පේතෘස් 3:3, 4, න. අ.
අද දින, අන්තිම දවස් පිළිබඳ විෂය ගැන කථා කරන විට, බොහෝ මිනිස්සු, ‘ආ, මේ ඔක්කොම දේවල් මීට පෙරත් සිදුවෙලා තිබෙනවා. මේ නිකම් ඉතිහාසයේ සිදු වූ දෙයක් නැවත සිදුවීමක් විතරයි’ යනුවෙන් සරදම් ලෙස කියමින් පේතෘස්ගේ අනාවැකිමය වචන ඉටු කරති. මේ අයුරින්, ඔවුහු “තමන්ගේ ම ආශාවන් අනුව දිගට ම ගමන් කරමින්”, අනතුරු ඇඟවීම් ඉවත දමති. අවසාන දවස් ගැන මෙතරම් පැහැදිලි ව හඳුන්වා දෙන අනාවැකිවල ඉටුවීම උවමනාවෙන් ම ඉවත ලන්නේ, “තමන්ගේ ම කැමැත්තෙනි.”—2 පේතෘස් 3:5, NW.
එහෙත්, යේසුස් වහන්සේ පුරෝකථනය කළා වූ සංයුක්ත ලකුණේ වෙන වෙනස් අංගයන් සියල්ල, එවැනි කෙටි කාල පරිච්ඡේදයක් තුළ දී, එවැනි තීව්‍රතාවයකින්, පුළුල් බලපෑමක් ඇති විපාකයන් ගෙන දෙමින් මීට පෙර කිසි කලෙක සිදු වී නොමැත. (නිදසුනක් වශයෙන්, මතෙව් 24:3-12; මාර්ක් 13:3-8; ලූක් 21:10, 11, 25, 26, පුනරීක්ෂණය කර බලන්න.) එමෙන් ම, එළිදරව් පොතේ විස්තර කොට තිබෙන අවසාන දවස්වල වෙනත් අංගයක් වෙතට ඔබගේ අවධානය විශේෂයෙන් යොමු කරවීමට අපි කැමැත්තෙමු.
අපි එළිදරව් 11:18ට පෙරළමු. ක්‍රිස්තුස් වහන්සේ රාජ්‍යය පාලනය අරඹන විට, ජාතීන් උදහස් වන බවත්, විනිශ්චය කාලය එළඹෙන අතර, එවිට, යෙහෝවඃ වහන්සේ “පොළොව විනාශ කරන්නවුන් විනාශ කරන” බව එය පවසයි. අද දින පරිසර දූෂණය පොළොව විනාශ කරමින් නොතිබේ ද? තමන්ට ම වාසි ප්‍රයෝජන ලබා ගැනීමට මිනිසුන් පොළොව සෑම විට ම අනිසි ලෙස යොදා ගෙන තිබෙන බව සත්‍යයකි. නමුත් එසේ කිරීමෙන්, එය ජනාවාසී ග්‍රහයෙක් වශයෙන් විනාශ කිරීමට හැකි තත්ත්වයක ඔවුන් සිට නොමැත. දැන්, ඇති වී තිබෙන විද්‍යාත්මක තාක්ෂණික දියුණුව නිසා 1914 සිට, මිනිසුන් හට ඒ බලය ඇත්තට ම තිබෙන අතර, ධනයට ඇති ආශාවෙන් ගිජු ලෙස එය බලෙන් අල්ලා ගෙන තිබීම මගින්, පරිසරය දූෂණය කරමින්, ජීවිත පෝෂණය කිරීමට පොළොවට තිබෙන හැකියාවට හානි පමුණුවමින් ඔවුහු ඇත්තට ම පොළොව විනාශ කරමින් සිටිත්.
ඉතා ගිජු මේ ද්‍රව්‍යවාදී සමාජය මෙය ම කරමින් ම සිටින්නේ තැති ගන්වන සුලු වේගයකිනි. දරුණු ප්‍රතිඵල සමහරක් නම් මේවා ය: අම්ල වැසි, ග්‍රහයා උණුසුම් වීම, ඕසෝන් තට්ටුවේ සිදුරු ඇති වීම, අධික කුණු කසල, විස සහිත කුණු ගොඩවල්, භයානක වල් පැලෑටි නාශක සහ පළිබෝධ නාශක, න්‍යෂ්ටික අපද්‍රව්‍ය, තෙල් ඉහිරුම්, කැළි කසළ ගොඩ ගැසීම, ජීවින් විශේෂයන් අනතුරට පත්කරවීම, ‘මළ විල්’ ඇති කරවීම, දූෂිත භූගත ජලය, විනාශ වූ වනාන්තර, දූෂණය කරන ලද පස, ඉහළින් ඇති සාරවත් ඓන්ද්‍රීය [හ්‍යුමස්] පස් තට්ටුව විනාශ කිරීම, ශාක, අස්වැන්න මෙන් ම මිනිසාගේ ශරීර සෞඛ්‍යයට හානි පමුණුවන රසායනික දුමාරය ආදිය මිශ්‍ර වූ මීදුම් පටලය වැනි දේවල් ය.
මහාචාර්ය බැරී කොමනර් මෙසේ පවසයි: “පොළොව දූෂණය කිරීම කිසිදු බාධාවකින් තොර ව සිදු වුවහොත්, මෙම ග්රහයෙහි මිනිස් ජීවිතයට සරිලන බව අවසානයේ දී විනාශ කර දමනු ඇතැයි මම විශ්වාස කරමි. . . . මෙම අසීරුතාවයට හේතු වී ඇත්තේ විද්‍යාත්මක නොදැනුවත්කම නොව නමුත් සිතා මතා ඇති ගිජුකමයි.” ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් 1987 යන පොතෙහි 5 වෙනි පිටුව මෙසේ පවසයි: “මිනිස් ක්‍රියාවන්ගේ නැගීම පොළොවේ වාසය කිරීමේ හැකියාවට තර්ජනය කිරීමට පටන් ගෙන තිබේ.” එක්සත් ජනපදයේ 1990 වසරේ මහජන රූපවාහිනියේ විසුරවා හරින ලද ප්‍රධාන වැඩ සටහනක තේමාව වූයේ, “ග්‍රහයා ගැලවීමට කරන තරඟය” යන්නයි.
මිනිසා පොළොව දූෂණය කිරීම කිසිවිටෙකත් නොනවත්වනු ඇත; පොළොව විනාශ කරන්නවුන් ව විනාශ කරන විට, එය නවත්වනු ඇත්තේ දෙවියන් වහන්සේ ය. අවසන් අර්මගෙදොන් යුද්ධයේ දී, ද්‍රව්‍යවාදී ජාතීන් මත විනිශ්චය ඉටු කිරීම මගින්, දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ යුද සේනාධිපතියාණන් වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මෙය කරන සේක.—එළිදරව් 16:14, 16; 19:11-21.
අවසන් දවස් ගැන යේසුස් වහන්සේගේ අනාවැකියේ කැපී පෙනෙන අංගය දෙස අන්තිම වශයෙන් සැලකිල්ලට ගන්න: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව [ජනාවාස පොළොව NW] මුළුල්ලේ දේශනා කරනු ලබන්නේය.” (මතෙව් 24:14) දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැන් ස්වර්ගයේ සිට පාලනය කෙරෙනු ඇති බවත්, මෙම දුෂ්ට පිළිවෙළ විනාශ කොට පාරාදීසය පොළොවට යළි පිහිටුවීමට ඉක්මනින් ක්‍රියා කරන බවත් මේ ශුභාරංචිය පවසයි. ශුභාරංචිය මීට පෙර දේශනා කරනු ලැබ තිබුණ ද, කිසිවිටෙකත් මුළු ජනාවාස පොළොව ආවරණය කර නොමැත. කෙසේ වෙතත්, 1914 සිට, යේසුස් වහන්සේ පුරෝකථනය කළා වූ පීඩා—එනම්, ආණ්ඩු තහංචි, කල්ලි අපරාධ, සිරගත කිරීම්, දරුණු වධ හිංසා, සහ බොහෝ මරණ වැනි දේවල් මධ්‍යයෙහි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මෙය කර තිබේ.
එක් දහස් නව සිය දහනවයේ දී දේශනා කරමින් සිටි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සිටියේ 4,000කි. ඔවුන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් තිබෙන අතර, මේ හේතුවෙන් පසුගිය වසරේ 40,00,000කට වඩා අධික සංඛ්‍යාවක්, භාෂා 200කින් පමණ රටවල් 212ක දේශනා කරමින්, මිලියන සිය ගණනක්, බයිබල්, පොත්, සහ සඟරා, බෙදමින්, ජනයාගේ නිවෙස්වල දී මිලියන ගණනක් බයිබල් පාඩම් පවත්වමින්, ලොවේ සෑම කොටසක ම පාහේ විශාල ක්‍රීඩාංගණවල සමුළු පවත්වමින් සිටියහ. මෙම අති මහත් පරිමාණයේ ශුභාරංචිය දේශනා කිරීම, 1914ට පෙර, කිසිදා කරනු ලැබ තිබෙන්නට හැකියාවක් නොමැත. මේ පරිමාණයෙන් එය ඉටු කරනු ලැබීමට, අපගේ කාලයේ දී විශේෂයෙන් ලබා ගත හැකි අධි-වේගී මුද්‍රණ යන්ත්‍ර, ප්‍රවාහන පහසුකම්, පරිගණක, ෆැක්ස් යන්ත්‍ර, එමෙන් ම නැව් ගත කිරීමේ සහ පණිවුඩ හුවමාරු කිරීමේ පහසුකම් අවශ්‍ය කරවා තිබේ.
යෙරෙමියාගේ දවස්වල වූ යෙරුසලමට ඒ මත පැමිණෙන්නට යන විනාශය ගැන අනතුරු ඇඟවිණි; එහි වැසියන් කළේ එයට සරදම් කිරීම පමණි, නමුත් එය ඔවුන් සිතූ තරම් ප්‍රමාද වූයේ නැත. අද දිනත්, අර්මගෙදොන්හි ඇතිවන මහත් විනාශය ගැන ඒ සනාථ කරවන්නා වූ අපමණ සාක්ෂි සාධක සමඟින්, ඊටත් වඩා අතිමහත් අනතුරු අඟවනු ලැබීමක් කරමින් තිබේ. (එළිදරව් 14:6, 7, 17-20) මිලියන ගණනක් මීට තම කන් බිහිරි කර ගෙන ඇත. නමුත් කාලය වේගයෙන් ගෙවී යයි; එය ඔවුන් සිතන තරම් ප්‍රමාද නොවනු ඇත. එය ඔබ සිතන තරම් ප්‍රමාද වනු ඇත්ද? w91 4/1
යෙරෙමියාගේ දවස්වල දී එය ඔවුන් සිතූ තරම් ප්‍රමාද වූයේ නැත