ආලෝකය සහ ප්‍රේමය තුළ හැසිරෙමින් සිටින්න
පළමුවෙනි යොහන් පොතෙන් මූලික කරුණු
යෙහෝවඃ වහන්සේ ආලෝකයේ සහ ප්‍රේමයේ උල්පත වන සේක. ආත්මික ආලෝකය ලැබීම පිණිස අප දෙවියන් වහන්සේ දෙස බැලිය යුතු ය. (ගීතාවලිය 43:3) එමෙන් ම, ප්‍රේමය උන් වහන්සේගේ ශුද්ධාත්ම ඵල අතර තිබෙන ගුණාංගයකි.—ගලාති 5:22, 23.
පොදු යුගයේ 98 දී පමණ එපීසයේ දී හෝ ඒ අසල දී ලියනු ලැබූ බවට සැලකිය හැකි ප්‍රේරිත යොහන්ගේ දේවානුභාවලත් මෙම ලිපිය තුළ, ආලෝකය, ප්‍රේමය, සහ වෙනත් කාරණා සාකච්ඡා කොට තිබේ. එය ලිවීමට ප්‍රධාන හේතුවක් වූයේ, ධර්ම භේදයෙන් ක්‍රිස්තියානින් ව ආරක්ෂා කොට ආලෝකය තුළ හැසිරෙමින් සිටීමට ඔවුනට උපකාර කිරීමයි. අප ද අපගේ ප්‍රේමයට, ඇදහිල්ලට සහ සත්‍යය කෙරෙහි ඇති අඛණ්ඩතාවයට සම්බන්ධ අභියෝගයන්ට මුහුණ දෙන නිසා, මෙම ලිපිය සලකා බැලීම, ස්ථිර වශයෙන් ම අප හට ප්‍රයෝජන ලබා දෙනු නියත ය.
‘ආලෝකය තුළ හැසිරෙන්න’
ඇදහිලිවන්ත ක්‍රිස්තියානින් ආත්මික ආලෝකය තුළ හැසිරිය යුතු බව යොහන් පැහැදිලි කළේ ය. (1:1–2:29) ඔහු පැවසුවේ: “දෙවියන් වහන්සේ ආලෝකය ය, උන් වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නැත [නපුරු, දුරාචාර, අසත්‍ය, හෝ අශුද්ධ කිසිවක් නැත].” ආත්මයෙන් ආලේපලත් ක්‍රිස්තියානින් ‘ආලෝකය තුළ හැසිරෙන’ නිසා, ඔවුනට දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, සහ එකිනෙකා සමඟ “පංගුකාරකමක්” තිබේ. එමෙන් ම, ඔවුහු යේසුස් වහන්සේගේ රුධිරය මගින් පිරිසිදු කරනු ලැබ සිටිති.
අප ස්වර්ගික බලාපොරොත්තුවක් ඇති ව සිටින ආලේපලත් ක්‍රිස්තියානින් හෝ අප පොළොව මත සදාකල් ජීවත් වන්නට අපේක්ෂාවෙන් සිටින අය හෝ වේවා, අප යේසුස් වහන්සේගේ ජීවිත පූජාවෙන් නොකඩවා ප්‍රයෝජන ලබන්නේ, අප ලෝකයට නොව නමුත් අපගේ සහෝදරයන්ට ප්‍රේම කළහොත් පමණි. එමෙන් ම, පියාණන් වහන්සේ ව සහ පුත්‍රයාණන් ව ප්‍රතික්ෂේප කරන්නා වූ “විරුද්ධ ක්‍රිස්තු” වැනි ධර්මභේදීන්ගේ බලපෑමට හසු වීමෙන් අප වැළකී සිටිය යුතු ය. තව ද, සදාකාල ජීවිතය භුක්ති විඳිනු ඇත්තේ, සත්‍යයට ඇලී සිටින සහ ධර්මිෂ්ඨකම් කරන අය පමණක් බව අපි කිසිවිටෙකත් අමතක නොකරමු.
දෙවියන් වහන්සේගේ දරුවෝ ප්‍රේමය විදහාපාති
ඊළඟට යොහන් ආලෝකයේ දරුවන් ව හඳුන්වා දුන්නේ ය. (3:1–4:21) එක දෙයක් නම්, ඔවුන් කරන්නේ ධර්මිෂ්ඨ දේවල් ය. එමෙන් ම, ඔවුහු යෙහෝවඃ දෙවියන් වහන්සේගේ ආඥාවලට කීකරුවෙමින් ‘උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල දක්වා, එකිනෙකාට ප්‍රේම කරති.’
“දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම” ඇති පුද්ගලයෙක් යෙහෝවඃ වහන්සේගේ අරමුණ සහ උන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කොට තිබෙන ආකාරය දනියි. ප්‍රේමය විදහා පෑමට මෙය මෙම පුද්ගලයාට උපකාරවත් විය යුතු ය. ඇත්තෙන් ම, “ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේව නාඳුනයි; [දැන ගැනීමට පැමිණ නැත, NW] මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයය.” දිව්‍ය ප්‍රේමය පෙන්වනු ලැබුවේ, දෙවියන් වහන්සේ “ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් ව අපගේ පව් උදෙසා [නැවත අනුග්‍රහය ලබාදෙන පූජාවක් NW]” ලෙස එවීමෙනි. යෙහෝවඃ වහන්සේ අප හට ඒ තරමට ප්‍රේම කළ සේක් නම්, අපි එකිනෙකාට ප්‍රේම කිරීමට බැඳී සිටින්නෙමු. එසේ ය, දෙවියන් වහන්සේට තමා ප්‍රේම කරනවා යැයි කියා සිටින ඕනෑ ම කෙනෙකු, තමාගේ ආත්මික සහෝදරයාටත් ප්‍රේම කළ යුතු ය.
ඇදහිල්ල ‘ලෝකය ජය ගනී’
ප්‍රේමය දෙවියන් වහන්සේගේ දරුවන් ව පොලඹවන්නේ උන් වහන්සේගේ ආඥා පැවැත්වීමට ය. නමුත් ඔවුන් ‘ලෝකය ජය ගන්නේ’ ඇදහිල්ල තුළිනි. (5:1-21) දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ වචනය, සහ උන් වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි අපගේ ඇදහිල්ල, ලෝකයේ වැරදි සිතිවිලි හා එහි මාර්ගයන් එපා කිරීමෙන් සහ යෙහෝවඃ වහන්සේගේ ආඥාවන් පැවැත්වීමෙන් ‘ලෝකය ජය ගැනීමට’ අප හට ඉවහල් වෙයි. දෙවියන් වහන්සේ ලෝකයෙන් ‘ජය ගන්නන්’ හට සදාකාලික ජීවනයේ බලාපොරොත්තුවක් දී තිබෙන අතර, උන් වහන්සේගේ කැමැත්තට එකඟ ඔවුන්ගේ යාච්ඤාවන්ට සවන් දෙන සේක. “දෙවියන් වහන්සේගෙන් ඉපද සිටින” කෙනෙකු පාපය පුරුද්දක් කර නොගන්නා නිසා, සාතන් එවැනි පුද්ගලයෙකු මත ඔහුගේ ග්‍රහණය තහවුරු කර ගෙන නොසිටී. නමුත් ‘මුළු ලෝකය ම නපුරාගේ බලය තුළ රැඳී තිබෙන’ බව ආලේපලත් අය සහ භුමික බලාපොරොත්තුවක් ඇති යෙහෝවඃ වහන්සේගේ සේවකයන් මතක තබා ගත යුතු ය. w91 04/15
පව් කමා කිරීමේ පූජාව: යේසුස් වහන්සේ “අපේ [උන් වහන්සේගේ ආලේපලත් අනුගාමිකයන්ගේ] පව් උදෙසා ශාන්තිකර [නැවත අනුග්‍රහය ලබාදෙන NW] පූජාවය, අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයත් උදෙසාය,” හෙවත් සෙසු මිනිස් වර්ගයා උදෙසා ය. (1යොහන් 2:2) උන් වහන්සේගේ මරණය “පව් කමා කිරීමක්” විය. (ග්‍රීක් හි·ලා·ස්මොස්ʹ [hi·la·smosʹ] අනුව “සංසිඳුවීමේ මඟක්,” “කළ වරදට වන්දි ගෙවීමක්” අදහස් කරයි) නමුත් එය දෙවියන් වහන්සේගේ පැත්තෙන් සිත් වේදනාවන් සංසිඳුවීමක් ය යන අදහසක් ගෙන දෙන්නේ නැත. ඊට වඩා, යේසුස් වහන්සේගේ ජීවිත පූජාව, පරිපූර්ණ දිව්‍යමය යුක්තියෙන් ඉල්ලා සිටි දේවල් සංසිඳුවාලූයේ ය, සෑහීමකට පත් කළේ ය. කෙසේ ද? පව් කමා කිරීම පිණිස ධර්මිෂ්ඨ සහ යුක්ති සහගත පදනමක් සැපයීම මගින්, “යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන [පාපය උරුමයෙන් ලද] මිනිසා ධර්මිෂ්ඨ බව ප්‍රකාශ වන විට දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ වන සේක.” (රෝම 3:23-26 NW; 5:12) යෙහෝවඃ වහන්සේ සමඟ හරි සම්බන්ධතාවයන් නැවත පිහිටුවාලනු වස්, මිනිසාගේ පාපය උදෙසා සම්පූර්ණ සෑහීමක් ගෙන දීමට මාර්ගයන් පාදා දීමෙන්, යේසුස් වහන්සේගේ පූජාව මිනිසාට ප්‍රසාදය, හෙවත් අනුග්‍රහයක් ලබා දුන්නේ ය. (එපිස 1:7, හෙබ්‍රෙව් 2:17) මේ ගැන අප සියලු දෙනා ම කොතරම් ස්තුතිවන්ත විය යුතු ද!