ඇදහිල්ල ශක්තිමත් කරන විස්මය ජනක දර්ශන
එළිදරව් පොතෙන් මූලික කරුණු
යෙහෝවඃ වහන්සේගේ සේවකයා වන යොහන්, කුඩා ආසියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි පත්මොස් නම් කුඩා දිවයිනේ සිටී. මහලු වියේ සිටින මේ ප්‍රේරිතවරයා එහි දී දකින්නේ පුදුමාකාර—සංකේතමය, බොහෝ සෙයින් බියජනක, සැබවින් ම අර්ථපූර්ණ දේවල් ය! වර්ෂ 1914 දී යේසුස් වහන්සේ අභිෂේක ලැබීමේ සිට උන් වහන්සේගේ දහස් අවුරුදු පාලනය තෙක් විහිදී යන ස්වාමීන් වහන්සේගේ දවසට ඔහු පැමිණෙයි. යොහන් දකින්නේ මිනිස් වර්ගයාගේ අඳුරු ම පැයේ වන සිදුවීම් වුවද, ක්‍රිස්තුස් වහන්සේගේ දහස් වසර පාලනය තුළ ඔහු කලින් දකින දේවල් කොතරම් තේජවත් ද? එවිට මිනිස් වර්ගයා භුක්ති විඳිනු ඇත්තේ මොනතරම් ආශීර්වාදයන් ද!
යොහන් මෙම දර්ශනයන් එළිදරව් පොතේ වාර්තා කළේ ය. පොදු යුගයේ 96 දී පමණ ලියනු ලැබූ මෙයට, අනාවැකිවල දෙවියන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේ සහ ස්වකීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල ශක්තිමත් කළ හැක.—විස්තර සඳහා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිට් ඔෆ් න්යූ යෝක්, ඉන්ක්කෝපරේටඩ් විසින් ප්‍රකාශිත රෙවලේෂන්—ඉට්ස් ග්‍රෑන්ඩ් ක්ලයිමැක්ස් ඇට් හෑන්ඩ්! නැමැති ප්රකාශනය බලන්න.
ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේමනීය උපදෙස් දෙන සේක
ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේගෙන් පැමිණෙන එළිදරව්වේ ආරම්භයේ ම යේසුස් වහන්සේගේ හවුල් රාජ්‍යය උරුමක්කාරයන්ගේ සභා සතට ලිපි දක්නට ලැබේ. (1:1–3:22) සමස්තයක් වශයෙන්, මෙම ලිපිවල ප්රශංසාවන් ඉදිරිපත් කෙරෙන අතර, ගැටලු හඳුනාගෙන, නිවැරදිකිරීම් සහ⁄හෝ දිරිගැන්වීම් සපයා, විශ්වාසවන්ත කීකරුකමෙන් ඇතිවන ආශීර්වාද ගෙනහැරපායි. එපීසවරුන් විඳදරාගෙන තිබුණත්, තමන්ට මුලින් තිබූ ප්‍රේමය ඔවුහු ඉවත දමා සිටියහ. ආත්මික ව පොහොසත් ව සිටින ස්මර්ණ සභාවට දිරිගැන්වෙන්නේ පරීක්ෂාවන් මැද විශ්වාසවන්ත ව සිටීමටයි. පර්ගමම් සභාව පෙරළා දෑමීමට පීඩාවලට නොහැකි වී ඇතත්, එය නිකාය වාදයට ඉඩ හැර තිබේ. තියාතිරා හි ක්‍රිස්තියානින්ගේ ක්‍රියාකාරකම්වල දියුණුවක් තිබුණ ද, එහි යෙශබෙල් බලපෑමක් පවති. ආත්මික අවදියෙන් සිටීමේ අවශ්‍යතාවයක් සර්දිස් සභාවට තිබෙන අතර, පිලදෙල්පියා සභාවට එහි ඇති දේ තදින් අල්ලාගෙන සිටින ලෙසට උදක්ම ඉල්ලා සිටිනු ලබන අතර, ඇල්මැරී සිටින ලවෝදිකයන් හට ආත්මික සුවය අවශ්‍ය ය.
අනාගත ස්වර්ගීය රජවරුන්—ඇත්තෙන් ම සියලු ක්‍රිස්තියානින් පුහුණු කිරීමේ ලා මොනතරම් කදිම වචන ද! උදාහරණයක් වශයෙන්, අප අතරෙන් යම් කෙනෙකු ඇල් මැරී සිටින්නේ ද? එසේ නම් පියවර ගන්න! උණුසුම් දවසක සීතල ඇල් වතුර කොප්පයක් මෙන් නැවුම් බවින් යුක්ත වන්න, නමුත් යෙහෝවඃ වහන්සේ සහ උන් වහන්සේගේ සේවය සඳහා උණුසුම් ජ්වලිතයක් විදහා පෑමට පටන් ගන්න.—මතෙව් 11:28, 29; යොහන් 2:17, සසඳන්න.
බැටළු පැටවාණන් පොතක් විවෘත කරන සේක
ඊළඟට, යෙහෝවඃ වහන්සේ ස්වකීය සිංහාසනයේ මහත් තේජසකින් යුක්ත ව වැඩ සිටිනවා දක්නට ලැබේ. (4:1–5:14) උන් වහන්සේ වැඩිමහල්ලන් 24 දෙනෙකු සහ ජීවමාන සත්ත්වයන් හතර දෙනෙකුගෙන් වට වී සිටින සේක. මුද්‍රාවන් සතකින් මුද්‍රා කරනු ලැබූ පොතක් උන් වහන්සේගේ හස්තයේ තිබේ. පොත විවෘත කළ හැක්කේ කාට ද? ඇයි, බැටළු පැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එසේ කීරීමට සුදුසු ව සිටින සේක!
බැටළු පැටවාණන් මුද්‍රාවන් හයක් විවෘත කරනවාත් සමඟ ම චමත්කාරජනක සිද්ධීන් හයක් එළිදරව් වෙයි. (6:1–7:17) පළමු මුද්‍රාව විවෘත වෙනවාත් සමඟ ම, සුදු අශ්වයෙක් මත සිටිනු දක්නට ලැබෙන යේසුස් වහන්සේ, ඔටුන්න (1914 දී) ලැබ, ජයගන්න පිණිස පිටත් ව එන සේක. තවත් මුද්‍රාවන් තුනක් විවෘතවත් ම අනෙකුත් අශ්වාරෝහකයෝ යුද්ධය, සාගතය, සහ මිනිස් වර්ගයා සඳහා මරණය ගෙන එන්නෝ ය. පස්වෙනි මුද්‍රාව විවෘත වීමත් සමඟ ම, ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සිය ප්‍රාණය පරිත්‍යාග කළ අය, තම ලේවල පළිය ගන්නා ලෙස මහත් ශබ්දයකින් මොර ගසන අතර, ඔවුන් සෑම කෙනෙකුට ම “සුදු සළුවක්” දෙන ලද්දේ ය. එය සිය නැවත නැගීටීමෙන් රාජකීය වරප්‍රසාද සහිත අමරණීය ආත්ම මැවිලි වීමෙන් ඇතිකරගත්තා වූ ධර්මිෂ්ඨ තත්ත්වය කියාපායි. (එළිදරව් 3:5; 4:4, සසඳන්න.) හයවෙනි මුද්‍රාව විවෘත වන විට, දෙවියන් වහන්සේගේ සහ බැටළු පැටවාණන්ගේ උදහසේ මහත් දවස භූමිකම්පාවක් මගින් පූර්ව ප්රකාශනය කෙරේ. නමුත් විනාශකාරී විනිශ්චයක් සංකේතවත් කරන “පොළොවේ සතරදිග සුළඟ”, දෙවියන් වහන්සේගේ දාසයන් 1,44,000 මුද්‍රා කෙරෙන තෙක්, අල්ලාගෙන සිටිනු ලබයි. ඔවුන් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයෙන් ආලේප කොට උන් වහන්සේගේ ආත්මික පුත්‍රයන් බවට පිළිගන්නා විට, ඔවුහු තම ස්වර්ගික උරුමයන් සම්බන්ධයෙන් පූර්ව සලකුණක්—මුද්‍රාවක් හෙවත් ප්‍රතිඥාවක්—ලබති. මුද්‍රාව ස්ථිර එකක් බවට පත් වන්නේ පරීක්ෂා කිරීමෙන් පසුව පමණි. (රෝම 8:15-17; 2 කොරින්ති 1:21, 22) එමෙන් ම සියලු ජාතින්ගෙන් සමන්විත “මහත් සමූහයක්”—පාරාදීස පොළොවක සදාකාල ජීවනය ලැබීමේ අපේක්ෂාවෙන් සිටින මහා ජන සමූහයක්—දැකීමෙන් යොහන් කෙතරම් මවිතයට පත්විය යුතු ද! ඔවුහු මිනිස් වර්ගයා සඳහා වූ අසමාන්තර දුක් පීඩා සහිත “මහත් පීඩාව” මැදින් පැමිණෙති.
සත්වෙනි මුද්‍රාව විවෘත කරනවාත් සමඟ ම සිදුවන්නේ මොනතරම් හද සසල කරවන සිද්ධීන් ද! (8:1–11:14) ශුද්ධවන්තයන්ගේ යාච්ඤාවන් අසනු ලැබීමට ඉඩ හරිනු වස්, පැය භාගයක නිශ්ශබ්දතාවයක් පවතින අතර, ඉන්පසු පූජාසනය වෙතින් පොළොව මතට ගින්දර හෙලනු ලැබේ. එවිට, ක්‍රිස්තියානි ලෝකය මත දෙවියන් වහන්සේගේ පීඩාවන් පිළිබඳ නිවේදනය කිරීම සඳහා හොරණෑ පිඹීමට දේව දූතයන් සත් දෙනා සූදානම් වෙති. මෙම හොරණෑවන් අන්තිම කාලය පුරා මහත් පීඩාව වන තෙක් පිඹිනු ලැබේ. සිවු හොරණෑවෝ පොළොව මත, මුහුදේ, මිරිදිය උල්පත්හි, සහ හිරු, සඳු, සහ තරු මතට පැමිණෙන පීඩාවන් ගැන නිවේදනය කරති. පස්වෙනි හොරණෑව පිඹීම, ආලේපලත් ක්‍රිස්තියානින් 1919 සිට ඉදිරියට යුද්ධ කිරීම සඳහා මහා සේනාවක් මෙන් නැගී එනවා සංකේතවත් කරයි. හයවෙනි හොරණෑව පිඹිනවාත් සමඟ ම, අශ්වාරෝහක බල ඇණියේ ප්‍රහාරයක් සිදුවෙයි. මෙහි ඉටුවීමක් වශයෙන්, 1935 සිට “මහත් සමූහය” මගින් අමතර ශක්තියක් එකතු කරනු ලැබූ ආලේපලත් අය, ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයන්ට එරෙහි ව පීඩාකාරී විනිශ්චය පණිවුඩයන් ප්‍රකාශ කරති.
යොහන් ඊළඟට කුඩා පොතක් අනුභව කරන අතර, ඉන් ඇඟවෙන්නේ, ආලේපලත් අය තම පැවරුම භාරගන්නා බවත්, ක්‍රිස්තියානි ලෝකයට එරෙහි ව ඔවුන් ප්‍රකාශ කරන්නා වූ දිව්‍යමය විනිශ්චයන්ගේ ප්රකාශනයන් අඩංගු දේව වචනයේ කොටසෙන් පෝෂණය වන බවත් ය. දේව මාලිගාවේ මළුව මනින ලෙස ප්‍රේරිත වරයා අණ ලැබීමෙන් පෙන්වන්නේ, දේව මාලිගා විධිවිධානය ගැන යෙහෝවඃ වහන්සේගේ අරමුණුවල සහතික ඉටුවීම සහ එම දිව්‍ය ප්රමිතීන් ඒ සම්බන්ධ අය විසින් සපුරාලීම ය. ඊළඟට, ගෝනි රෙදි හැඳ අනාගත වාක්‍ය පවසන දෙවියන් වහන්සේගේ ආලේපලත් “සාක්ෂිකාරයන් දෙදෙනා” මරණු ලැබූ නමුත් නැවත නැගී සිටිති. ඔවුන්ගේ දේශනා වැඩ කටයුතු ‘මරා දැමුවාක් මෙන්’ නතර කරනු ලැබූ නමුත් යෙහෝවඃ වහන්සේගේ සේවකයන් ව ඔවුන්ගේ දේව සේවය සඳහා ප්රාතිහාර්යමය ලෙස යළි පනගන්වනු ලැබූ 1918-19 වසරවලට මෙය යොමු දක්වයි.
රාජ්‍යය ඉපදී තිබේ!
සත්වෙනි හොරණෑවේ ශබ්දය, රාජ්‍යයේ උපත නිවේදනය කරයි. (11:15–12:17) ස්වර්ගයේ සංකේත ස්ත්‍රියක් (යෙහෝවඃ දෙවියන් වහන්සේගේ ස්වර්ගික සංවිධානය) පිරිමි දරුවෙකු ව (ක්‍රිස්තුස් වහන්සේ රජ වශයෙන් සිටින දේව රාජ්‍යය) උත්පාදනය කරයි, නමුත් සර්පයා (සාතන්) එය ගිලදැමීමට උත්සාහ කළ නමුත් නිෂ්ඵල වෙයි. වර්ෂ 1914 රාජ්‍යයේ උපතට පසු ව පැමිණෙන ස්වර්ගයේ යුද්ධයේ උච්ච අවස්ථාව වශයෙන්, ජයග්‍රාහී මිකායෙල් (යේසුස් ක්‍රිස්තුස් වහන්සේ) මහා සර්පයා සහ උගේ දූතයන් ව පොළොවට හෙලා දමයි. එතැන් සිට, මහා සර්පයා ස්වර්ගික ස්ත්‍රියගේ වංශයේ ආලේපලත් ඉතිරි අයට එරෙහි ව දිගට ම යුද්ධ කරයි.
යොහන් ඊළඟට දකින්නේ, වන මෘගයෙකි, ඌ හට පිළිකුල් රූපයක් සාදනු ලැබ තිබේ. (13:1-18) හිස් සතක් හා අං දසයක් සහිත දේශපාලනමය මෙම වන මෘගයා, “මුහුද” හෙවත් මිනිස් ආණ්ඩු නික්මෙන්නා වූ කලහකාරී මිනිස් වර්ගයන් අතරින් මතු වෙයි. (දානියෙල් 7:2-8; 8:3-8, 20-25, සසඳන්න.) මෙම සංකේතමය සත්ත්වයාට බලය දී තිබෙන උල්පත කුමක් ද? ඒ වෙන කිසිවෙකු නොව මහා සර්පයා හෙවත් සාතන් ය! තව ද ටිකක් සිතා බලන්න! මේ අස්වාභාවික දේශපාලනමය සත්ත්වයාට අං දෙකක් සහිත මෘගයෙකු විසින් (එංගලන්ත-ඇමෙරිකානු ලෝක බලවේගය) දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස හැඳින්වෙන “රූපයක්” සාදනු ලබන බව දක්නට ලැබේ. ඊට අනුකූල ව දේවල් කිරීමෙන් සහ තම ජීවිත පාලනය කිරීමට එයට ඉඩ හැරීමෙන්, වන මෘගයාගේ “ලකුණ” ලැබ ඊට නමස්කාර කිරීමට බොහෝ දෙනාට බල කරනු ලබයි. නමුත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයෝ එම වන මෘගයාගේ යක්ෂාකාර ලකුණ ලැබීමට දැඩි සේ ප්‍රතික්ෂේප කරති!
යෙහෝවඃ වහන්සේගේ සේවකයෝ ක්‍රියා කරති
දෙවියන් වහන්සේගේ උදහසේ භාජන සත වැගිරෙන විට උන් වහන්සේගේ විවිධ සේවකයන් ක්‍රියාත්මක වී සිටිනවා දක්නට ලැබේ. (14:1–16:21) සවන් දෙන්න! ස්වර්ගීය සියොන් කන්දේ සිටින 1,44,000 ක් අලුත් ගීතයක් ගායනා කරනවාක් මෙන් යොහන්ට ඇසෙයි. අහස මැද පියාසර කරන දේව දූතයෙකුට පොළොවේ වැසියන් හට ප්‍රකාශ කිරීම පිණිස සදාකාල ශුභාරංචියක් තිබේ. මින් පෙන්නුම් කරන්නේ කුමක් ද? එනම්, රාජ්‍යයේ පණිවුඩය ප්‍රකාශ කිරීමේ දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් වෙත දේව දූතමය උපකාරය තිබෙන බවයි.
පොළොවේ නෙලන ලද මිදි දෙවියන් වහන්සේගේ උදහසේ මිදි පැස මඬින්නාක් මෙන් සියලු ජාතීන් අඹරනු ලබන දර්ශනයෙන් යොහන් මවිතයට පත් වෙනවා නියත ය. (යෙසායා 63:3-6; යෝවෙල් 3:12-14, සසඳන්න.) යෙහෝවඃ වහන්සේගේ අණ ලැබූ සැනින් දේව දූතයෝ දිව්‍ය උදහසේ භාජන සත වගුරුවති. උදහසේ පළමු භාජන හය වගුරුවන විට, පොළොව, මුහුද, මිරිදිය උල්පත්, සහ හිරු ද, වන මෘගයාගේ සිංහාසනය, සහ එප්‍රාත් [යුප්‍රටීස්] ගඟ ඒවායේ බලපෑමට ලක් වුණි. යක්ෂාකාර ප්‍රචාරයන් දෙවියන් වහන්සේගේ හර්–මගෙදොන් යුද්ධයට මිනිස් රජවරුන් ව එකතු කරන අයුරු දකින යොහන් උද්දීප්ත වී සිටිනවා සිතින් මවා ගන්න. උදහසේ සත්වෙනි භාජනය වාතය මත මුදා හැරෙන විට ප්‍රතිඵල අති විනාශකාරී ය.
සංකේතාත්මක ස්ත්‍රීන් දෙදෙනෙක්
බොරු ආගමික ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනියේ අවසානය දැකීමේ දී හා, ඇගේ විනාශයෙන් පසු සිදුවන ප්‍රීතිමත් සිද්ධීන් නිරීක්ෂණය කිරීමේදීත් යොහන් මහත් සේ ප්‍රීති වන බවට ස්ථිර ය. (17:1–19:10) ශුද්ධවන්තයන්ගේ ලෙයින් මත් වී සිටින ඈ, හිස් සතක් හා අං දසයක් ඇති තද රතු පාට මෘගයෙකු (ජාතීන්ගේ සංගමය හා එහි අනුප්‍රාප්තිකයා වන එක්සත් ජාතීන්ගේ සංගමය) පිට වාඩි වී සිටිනවා දක්නට ලැබේ. ආහ්, නමුත් මෘගයාගේ අං ඈට එරෙහි ව පැමිණෙන විට ඈ අත්දකින විනාශය මොනතරම් ද!
මහා බබිලෝනියාවේ විනාශය සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කරන ස්වර්ගික හඬවල් ඇසේ. බැටළු පැටවාණන් සහ සිය මනාලිය වන නැවත නැගිටවනු ලැබූ ආලේපලත් අයගේ සරණ මංගල්‍යය පූර්වයෙන් නිවේදනය කරන්නා වූ එම ගර්ජනාත්මක ප්රශංසාවන් මොනතරම් ද!
ක්‍රිස්තුස් වහන්සේ ජය ගෙන පාලනය කරන සේක
යොහන් ඊළඟට දකින්නේ, රජවරුන්ගේ රජාණන් සාතන්ගේ දේවල පිළිවෙළ විනාශ කරමින් ස්වර්ගික සේනාවන් මෙහෙයවන ආකාරයයි. (19:11-21) එසේ ය, යේසුස් වහන්සේ, “දෙවියන් වහන්සේගේ වාක්‍යාණෝ” ජාතීන්ට එරෙහි ව යුද්ධ කරන සේක. වන මෘගයා (සාතන්ගේ දේශපාලන සංවිධානය) සහ බොරු අනාගතවක්තෘ (එංගලන්ත-ඇමෙරිකානු ලෝක බලවේගය) සම්පූර්ණ, සදාකාලික විනාශයේ සංකේතය වන “ගිනි විලට” හෙලනු ලබනවා යොහන් දකී.
ඊළඟට, කුමක් ද? ඇයි, සාතන් ව පාතාලයට හෙලනු ලබනවා යොහන් නිරීක්ෂණය කරයි. ඉන් පසු, ක්‍රිස්තුස් වහන්සේගේ දහස් අවුරුදු පාලනයේ පූර්ව දර්ශනයක් දක්නට ලැබේ. යේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ නැවත නැගිටුවනු ලැබූ හවුල් පාලකයන් මිනිස් වර්ගයා ව විනිශ්චය කොට, කීකරු අය මිනිස් පරිපූර්ණත්වය කරා ඔසවනු ලැබීම කරනු ඇත්තේ මෙම කාලය තුළ දී ය! (20:1-10) එය දැන් අවසාන පරීක්ෂණය සඳහා කාලයයි. පාතාලයෙන් මුදනු ලැබ සිටින සාතන්, පරිපූර්ණත්වයට පත් ව සිටින මිනිස් වර්ගයා මුළා කිරීමට ඉඩ හරිනු ලබන අතර, දෙවියන් වහන්සේට විරුද්ධ ව ගනු ලබන සියලු යක්ෂ සහ මිනිස් ක්‍රියා මාර්ගයන් විනාශයෙන් නිමා වනු ඇත.
කාලයේ පසුපසට පියමං කරන යොහන්, හේදීසයේ (මිනිස් වර්ගයාගේ පොදු මිනීවලේ), සහ සමුද්‍රයේ මියගොස් සිටින සියල්ලන්, නැවත නැගිටුවනු ලැබ මහත් සුදු සිංහාසනය මත වාඩි වී සිටි දෙවියන් වහන්සේ ඉදිරියේ විනිශ්චය කරනු ලබනවා දකින විට, ඔහු කෙතරම් කුල්මත් වනු ඇත්ද! (20:11-25) මරණය සහ හේදීසය නැවත කිසිදා කිසිවෙකු ව ගොදුරු කර නොගන්නා ලෙසින් ගිනිවිලට හෙලනු ලබන විට, නිර්දෝෂ අය භුක්ති විඳින්නේ මොනතරම් සහනයක් ද!
යොහන් දකින දර්ශනයන් අවසානයට පැමිණෙන විට ඔහු දකින්නේ නව යෙරුසලමයි. (21:1–22:21) ස්වර්ගයෙන් බැස එන්නා වූ ආණ්ඩු කරන එම නුවර, ජාතීන් හට මහත් ආලෝකයක් ගෙන එයි. නව යෙරුසලම තුළින් ගලා එන්නේ “ජීවන වතුර ඇති ගංගාවකි.” ඉන් පිළිබිඹු කරන්නේ, ශුද්ධ ලියවිලිමය සත්‍යයන් සහ කීකරු මනුෂ්‍යයන් ව පාපයේ සහ මරණයේ වහල් භාවයෙන් නිදහස් කර ගෙන ඔවුනට සදාකාල ජීවනය දානය කරන්නා වූ යේසුස් වහන්සේගේ ජීවිත පූජාව මත පදනම් වූ දෙවියන් වහන්සේ විසින් දී තිබෙන වෙනත් සියලු සැපයුම් ය. (යොහන් 1:29; 17:3; 1 යොහන් 2:1, 2) මෙම ගංගාවේ සෑම ඉවුරේ ම, කීකරු මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනය දානය කරන යෙහෝවඃ වහන්සේගේ සැපයුම්වල කොටසක් විචිත්‍රණය කරන්නා වූ, සුවකිරීම සඳහා වූ කොළ සහිත ගස් යොහන් දකී. දෙවියන් වහන්සේගෙන් සහ ක්‍රිස්තුස් වහන්සේගෙන් අවසන් පණිවුඩයන් පැමිණෙන්නේ ආරාධනයක් මගිනි. ආත්මයාණන් සහ මනමාලී පිපාසා ඇති සෑම අයෙකුට ම ‘එන්න, ජීවන වතුර නොමිලේ ගන්න’ යැයි කියනවා ඇසීම මොනතරම් මවිතකර ද! එමෙන් ම එළිදරව්වේ අවසන් වදන් අප කියවන විට, කිසි ම සැකයකින් තොර ව යොහන්ගේ මහත් ප්රකාශනයේ මහත් උද්යෝගයට අප ද හවුල් වෙමු: “ආමෙන්! ස්වාමීවූ යේසුස් වහන්ස, වැඩිය මැනව.” w91 05/01
අවදියෙන් සිටින්න: දෙවියන් වහන්සේගේ හර්–මගෙදොන් (අර්මගෙදොන්) යුද්ධය පිළිබඳ ව වූ අනාවැකිමය වචන මාධ්‍යයේ, පවසනු ලැබ ඇත්තේ: “බලව, මම [යේසුස් ක්‍රිස්තුස් වහන්සේ] සොරෙකු මෙන් එමි. නග්නව ඇවිද තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කර ගන්නා ආශීර්වාදලද්දෙක්ය.” (එළිදරව් 16:5) මෙය, යෙරුසලමේ කන්දේ දේව මාලිගාවේ අවේක්ෂකයෙකු හෝ නිලධාරියෙකුගේ රාජකාරීන්ට මඳ වශයෙන් යොමු දක්වනවා විය හැක. මුර සේවා කාලය තුළ දී, ඔහු දේව මාලිගය තුළින් යමින්, ලෙවීය මුර කරුවන් තම මුර කුළුණු අසල අවදියෙන් සිටිනවා ද නැතහොත් නින්දේ පසුවෙනවා ද කියා පරීක්ෂා කර බැලී ය. යම් මුරකරුවෙකු නින්දේ පසුවුණි නම්, පොල්ලකින් පහර කෑමට ඔහුට සිදු වූ අතර, ලජ්ජා සහගත දඬුවමක් වශයෙන් ඔහුගේ පිටත වස්ත්‍රයන් ගින්නට දමා පුළුස්සනු ලැබිය හැක. අර්මගෙදොන් දැන් ඉතා ළඟ බැවින්, “රාජකීය පූජක සමූහයේ” හෙවත් “ආත්මික ගෘහයේ” ආලේපලත් ඉතිරි අය, ආත්මික ව අවදියෙන් සිටීමට අධිෂ්ඨාන කර ගෙන සිටිති. ඔවුන්ගේ ආශ්‍රිතයන් වන භූමික බලාපොරොත්තු ඇති “මහත් සමූහය” ද දේව මාලිගාවේ දිවා රෑ දෙකේ දෙවියන් වහන්සේට සේවය පිරිනමමින් සිටින හෙයින් ඔවුන් ද එසේ ම සිටිය යුතුයි. (1 පේතෘස් 2:5, 9; එළිදරව් 7:9, 17) විශේෂයෙන් ම, ක්‍රිස්තියානි අවේක්ෂකයන් සභාව තුළ නරක තත්ත්වයන් වර්ධනය වීමට එරෙහි ව හොඳ සුපරීක්ෂාවෙන් සිටිය යුතු ය. මක්නිසා ද දෙවියන් වහන්සේගේ ආත්මික ගෘහයේ සියලු පක්ෂපාත නමස්කාරකයන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වශයෙන් තම ගෞරවනීය සේවය අඟවන්නා වූ “වස්ත්‍රය” දමා ගෙන සිටින්නේ, ක්‍රිස්තියානි අවේක්ෂකයන් අවදියෙන් සිටින විට ය.