නව ලොවක් අත ළඟ මය!
දේශපාලකයන් තමන් ම බිහිකරන්නට යන නව ලෝක ක්‍රමයක් ගැන බොහෝ දේ පවසා ඇත. ලෝකයෙන් භය තුරන් කිරීම ගැනත්, මනුෂ්‍යයන් හා දේශ අතර සහයෝගිතාවයේ බාධක තුරන් කිරීම ගැනත් ඔව්හු කථා කරති. නමුත් නව ලොවක් පිහිටුවීම මිනිසා සතු වගකීමක් ද?
සාමයේ හා සුරක්ෂිතභාවයේ ලොවක් බිහි කිරීම සඳහා මිනිසාට ශතවර්ෂ ගණනාවක් තිබී ඇත. නිසැක ව ම එසේ කිරීමේ දී බොහෝ දෙනෙක් අවංක වෑයමක් දරන්නට ඇත. එවන් බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා මිනිසුන් විසින් ඇතිකරගත් ආණ්ඩුවල සැලසුම් කෙසේ වුවත්, බයිබලයේ වදන් සැබෑ බවට පත් වී ඇත: “ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියමකිරීම අයිති නැත.”—යෙරෙමියා 10:23.
නව ලොවක් පොරොන්දු කර ඇත
එහෙත්, දේවානුභාවය ලත් එම දේව වචනය ම නව ලොවක් තිබෙන්නට යන බවට සහතික ඉදිරිපත් කරයි. දේවල පරණ පිළිවෙළක අවසානය සම්බන්ධයෙන් පුරෝකථනය කිරීමෙන් පසු, ක්‍රිස්තියානි ප්‍රේරිත පේතෘස් මෙසේ ප්‍රකාශ කළේ ය: “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.”—2 පේතෘස් 3:10-13
මෙය කාගේ පොරොන්දුව ද? එය “මුළු පොළොවට මහෝත්තමයාණන්” වන යෙහෝවඃ වහන්සේ විසින් මිස වෙන කිසිවෙකු විසින් දෙන ලද්දක් නොවේ. (ගීතාවලිය 83:17) මිනිසුන් විසින් කළ නොහැකි දෙය උන් වහන්සේ ඉෂ්ට කරන සේක. එසේ ය, යෙහෝවඃ දෙවියන් වහන්සේ නව ලොවක් ගෙන එන සේක. නමුත් කවදා ද?
නව ලොවක් ඉතා ආසන්න ය!
දෙවියන් වහන්සේගේ පොරොන්දු කරන ලද නව ලෝකය සම්පූර්ණ වශයෙන් සැබෑ එකක් බවට පත් වන්නට පෙර, පවතින “ලෝකය” නැතහොත් “දේවල පිළිවෙළ” එහි අවසානයට පත් විය යුතු ය. මේ සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ මෙසේ අසමින්: “ඒ දේ සිදු වනු ඇත්තේ කවදා ද? ඔබවහන්සේගේ පැමිණ සිටීමටත් මේ දේවල පිළිවෙළේ අවසානයටත් ලකුණ කිමෙක් ද?” (මතෙව් 24:3) වඩා නිවැරදි න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් එය සඳහන් කරන ආකාරයට, යේසුස් වහන්සේගේ අනුගාමිකයන් මෙසේ ඇසූහ: “ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේ ද? ඔබවහන්සේගේ ඊමටත් මේ දේවල පිළිවෙළේ අවසානයටත් ලකුණ කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය.”
පිළිතුරක් හැටියට, ආත්ම පුද්ගලයෙක් වශයෙන් ස්වර්ග රාජ්‍ය බලයෙන් උන් වහන්සේගේ අදෘශ්‍යමාන පැමිණ සිටීමේ ලකුණේ අංගයන් බොහෝමයක් යේසුස් වහන්සේ පුරෝකථනය කළ සේක. (1 පේතෘස් 3:18) නිදසුනක් වශයෙන්, උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.” 1914 පටන් “ගාවිනාවල පටන්ගැන්ම” සමඟ ම, යේසුස් වහන්සේ විසින් හුවා දක්වන ලද “මේ පරම්පරාව” උන් වහන්සේගේ අදෘශ්‍යමාන පැමිණ සිටීමේ ලකුණේ කොටසක් හැටියට නොනවතින යුද්ධය, ආහාර හිඟකම්, සහ භූමිකම්පා අත්දැක ඇත.—මතෙව් 24:7, 8, 34.
වර්ෂ 1914 පටන් අසාමාන්‍ය අන්දමකින් යුද්ධ මෙම පරම්පරාවට පීඩා ගෙන දී ඇත. පළමු වන ලෝක යුද්ධය මිලියන 14ක් පමණ ජීවිත බිලි ගත්තේ ය. දෙවන ලෝක යුද්ධයේ දී, යුද්ධ භටයින් හා වැසියන් මිලියන 55ක් මරණයට පත් කරන ලදි. ඇයි, 1914 සිට යුද්ධ තුළින් මිලියන 100ටත් අධික ජීවිත විනාශයට පත් වී ඇත! නිසැක ව ම මෙය යේසුස් වහන්සේගේ පැමිණ සිටීමේ ලකුණේ කොටසක් දක්වයි.
ක්‍රිස්තුස් වහන්සේ විසින් පුරෝකථනය කරන ලද ආහාර හිඟකම ද ලෝක යුද්ධ දෙකට පසු, බොහෝ රටවල් පරිහානියට පත් කළේ ය. විද්‍යාත්මක අතින් දියුණුවීම් තිබුණත්, ලෝක ජනගහනයෙන් කාලක් පමණ අද කුසගින්නෙන් සිටියි. මන්දපෝෂණය හේතුකොටගෙන සෑම වර්ෂයක ම මිලියන සංඛ්‍යාත දරුවෝ හා වෙනත් අය මිය යති. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා මෙසේ පවසයි: “අප්‍රිකාවේ, ආසියාවේ, හා ලතින් ඇමරිකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහෝමයක ඔවුන්ගේ රටවැසියන්ට ප්‍රමාණවත් ආහාරවත් නොමැත. මෙම රටවල මිලියන සංඛ්‍යාතයින් කුසගින්නෙන් සිටිති. කිසියම් හේතුවක් නිසා ආහාර නිෂ්පාදනය හෝ ආනයනය අඩු වුවහොත්, සාගතයක් ඇති වී, දහස් ගණන් හෝ මිලියන ගණන් මිනිසුන් මිය යා හැකි ය.”
“අන්තිම කාලය” සළකුණු කරමින් මෙම පරම්පරාව තුළ දී භූමිකම්පා මගින් විශාල ජීවිත සංඛ්‍යාවක් විනාශයට පත් වී ඇත. (දානියෙල් 12:4) භූමිකම්පාවන්ට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව විවිධ වේ. නමුත් 1914 සිට භූමිකම්පා මගින් සිදුවන හානිය ලොව පුරා ඉහළ නැග ඇති අතර, මේවා මගින් ජීවිත සිය දහස් ගණන් විනාශයට පත් වී ඇත. එයින් දෙකක් ගැන පමණක් විස්තර කරමින් 1989, ඔක්තෝබර් 19, යෝක්ශය පෝස්ට් මෙසේ ප්‍රකාශ කළේ ය: “1920 දී චීනයේ ජෙයංසූ ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් 1,80,000 දෙනෙක් ව මරුමුවට පත් කළ අතර, 1976, ජූලි 26 වන දින, එහි නවීන ඉතිහාසයේ දරුණුත ම භූමිකම්පාව අත්දකින්න, චීනයට සිදු විය. ර්ක්ටර් ඒකකයේ 7.8 පමණ විශාලැති භූමිකම්පාවක් මගින් ඊසාන දිග නගරයක් වන ටැංස්ශාන් සම්පූර්ණයෙන් ම වාගේ සමතලා කරනු ලැබූ විට අඩු තරමින් 2,40,000 දෙනෙක් මිය ගියහ.” එම ප්‍රවෘත්ති පත්‍රය 20වන ශත වර්ෂයේ වෙනත් දරුණු භූමිකම්පා 30කටත් අධික සංඛ්‍යාවක් සඳහන් කළේ ය.
යේසුස් වහන්සේගේ අදෘශ්‍යමාන පැමිණ සිටීමේ ලකුණේ එක් අංගයක් වශයෙන් රාජ්‍යය ගැන දේශනා කිරීමේ කාර්යය ද පුරෝකථනය කරන ලදි. උන් වහන්සේගෙන් විමසූ ගෝලයන්ට උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) යේසුස් වහන්සේ පුරෝකථනය කළාක් මෙන්, මෙම දේශනා වැඩය දැනට රටවල් 212ක යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ 40,00,000ටත් අධික දෙනෙකු විසින් කරනු ලබති.
මෙම අනාවැකි හා වෙනත් ඒවාහි නවීන දින ඉෂ්ට වීම් අප සැබවින් ම “අන්තිම දවස්වල” ජීවත්වන බව ඔප්පු කරයි. (2 තිමෝති 3:1-5) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පුරෝකථනය කරන ලද “මහත් පීඩාව” ද අපට ඉතා සමීප ව ඉදිරියෙන් ඇත්තේ ය. හර්මගෙදොන්හි “සර්ව පරාක්‍රමවූ දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධයේ” උච්චඅවස්ථාවට පත් වෙමින්, එය අද පවත්නා දුෂ්ට දේවල පිළිවෙළට අවසානයක් ගෙනෙනු ඇත. (මතෙව් 24:21; එළිදරව් 16:14-16) ඉන්පසු දෙවියන් වහන්සේගේ පොරොන්දු කරන ලද නව ලෝකය සෑබෑවක් වන්නේ ය.a
මනුෂ්‍යයන්ට ගෙන දිය නොහැකි ආශිර්වාද
තමන් බිහිකරන්නට යන නව ලෝක ක්‍රමයක් සම්බන්ධයෙන් දේශපාලකයෝ පුරසාරම් දොඩති. නමුත් ස්වර්ගයේ හා පොළොවේ දෙවියන් වන යෙහෝවඃ වහන්සේ, කෙදිනකවත් පවතින පිළිවෙළ වෙනුවට නව ලොවක් සාදන මෙන් මිනිසාගෙන් නොඉල්ලූ සේක. තමන් වහන්සේ පමණක් දන්නා වූ දිනයේ හා පැයේ දී උන් වහන්සේ ම එය කරන සේක. (මතෙව් 24:34, 36) මිනිසුන් නොව, දෙවියන් වහන්සේ කරන්නට යන දෙය සම්බන්ධයෙන් වූ මෙම පෙර දර්ශනය මහලු ප්‍රේරිත යොහන්ට ලැබුණි:
“අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුද ද තවත් නොවීය. තවද තමාගේ පුරුෂයාට සරසනලද මණමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි. තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමගය, උන්වහන්සේ ඔවුන් සමග වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනග වන්නෝය, දෙවියන් වහන්සේම ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය. සිංහාසනය පිට වැඩහුන් තැනන්වහන්සේ කථාකොට: බලව, සියල්ල අලුත්කරමියි කීසේක. තවද උන්වහන්සේ කථාකොට: ලියාපන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීසේක.”—එළිදරව් 21:1-5.
“අලුත් අහස” යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යය යි. “අලුත් පොළොව” තවත් පෘථිවි ගෝලයක් නොව, නමුත් මෙම ග්‍රහලෝකය මත අලුත් මිනිස් සමාජයකි—ඔවුන් සියල්ලෝ ම ගෝත්‍ර, ජාති, හෝ භාෂා බේද නොමැති ව ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයේ කීකරු යටත් වැසියන් ව සිටිති. (ගීතාවලිය 96:1 සසඳන්න.) අද පවත්නා සංකේතවත් ස්වර්ගය හා පොළොව—සාතන් සහ ඔහුගේ භූතයින් විසින් බලය පවත්වන ලද යක්ෂයාගේ දේවල පිළිවෙළ හා එහි ආණ්ඩුමය සැලැස්ම—විනාශයට පත් වී හමාර වනු ඇත. (1 යොහන් 5:19) සැබෑ මුහුදු පැවතුනත්, කලබලකාරී, දුෂ්ට මිනිසුන්ගෙන් යුත් සංකේතාත්මක මුහුද තවත් නොවන්නේ ය. යේසුස් වහන්සේගේ හවුල් ස්වර්ගීය පාලකයන් නව යෙරුසලම සංස්ථාපනය කරන අතර, උන් වහන්සේ සමඟ හවුලේ ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් පාලනය කරන්නට යන ප්‍රධාන සංවිධානයක් සාදති. දහස් වර්ෂ විනිශ්චය දවසේ දී ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ මගින් උන් වහන්සේ සමඟ සමඟි කරනු ලබන විට දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් සමඟ ‘වාසය’ කරන සේක.—එළිදරව් 14:1-4; 20:6.
රාජ්‍ය පාලනය යටතේ සන්තෝෂය සඳහා හේතු බොහෝමයක් තිබෙනු ඇත. වැළපීම, හැඬීම, හා අසනීපයේ හේතුවෙන් ඇතිවන වේදනාව, දුක, සහ එවැනි අතීතයේ අත්දැකීම් වනු ඇත. අපගේ මුල් මව්පියා [ජනකයා] වන, පව්කාර ආදම්ගෙන්, මිනිස්වර්ගයාට පැතිරී ගිය මරණය පවා තවත් නොවන්නේ ය. (රෝම 5:12) ලොව වටා කඳුළු සඳහා ඇති මෙම හේතුව සදහට ම නැති වන විට කොතරම් ප්‍රීතියක් පවතිනු ඇත් ද!
මෙම ආශිර්වාද සම්බන්ධයෙන් සහතික වන්නේ මැරෙන සුළු කිසියම් මිනිසෙකු නොව නමුත් දෙවියන් වහන්සේ ය. මෙසේ පවසන්නේ උන් වහන්සේ ම ය: “බලව! සියල්ල අලුත්කරමි.” එසේ ය, යෙහෝවඃ වහන්සේ ප්‍රේරිත යොහන්ට මෙසේ පැවසූ සේක: “ලියාපන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑය.”
මූලික අවශ්‍යතා මුළුමනින් ම සපුරාලනු ලැබේ
දෙවියන් වහන්සේගේ නිර්මානයක් වන නව ලෝකයේ, පොළොව අවසාන වශයෙන් පාරාදීසයක් වනු ඇත. මෙය ස්ථිරයි, මන්ද, යේසුස් වහන්සේ උන් වහන්සේ අසළ වධකණුවක එල්ලනු ලැබූ පසුතැවිලි වූ වරදකරුවෙකුට මෙසේ පොරොන්දු වූ සේක: “සැබවක් ඔඹට අද කියමි—ඔඹ මා සමග පරාදීසයෙහි සිටින්නෙහිය.” (ලූක් 23:43, NW) පාරාදීස තත්ත්වයන් යටතෙහි, ආහාර හා නිවහන වැනි මනුෂ්‍ය අවශ්‍යතා සම්පූර්ණයෙන් ම සපුරාලනු ලැබෙයි.
අද ආහාර හිඟකම නිසා ජීවිත මිලියන සංඛ්‍යාවක් විනාශයට පත් වේ. කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර සැපයීම සඳහා වූ වෑයම් කොතරම් උදාර වුවත්, ගිජුකම හා වෙනත් හේතූන් එවන් ගැටලු විසඳීමෙන් මනුෂ්‍යයන් ව වළක්වයි. නිදසුනක් වශයෙන්, දකුණු අප්‍රිකාවේ, ජොහැන්නස්බර්ග්හි ප්‍රවෘත්ති පත්‍රයක් වන සැටඩේ ස්ටාර්, මෙසේ වාර්තා කරයි: “දේශපාලන තර්ක, වැඩි වන ඉන්ධන වියදම හා අප්‍රිකාවේ අවසන් නොවන ආරවුල් කරණකොටගෙන ඇතිවන කළකිරීම් වැනි දේවල් නිසා ආධාර ලැබීමට ප්‍රමාද වේ . . . බරපතළ ලෙස පාඩු වින්ද රටක් වන සූඩාන්හි, 1991 දී මනුෂ්‍යයන් මිලියන 5ත් 6ත් අතර සංඛ්‍යාවක් හාමතයට මුහුණ දෙති.” නමුත් දෙවියන් වහන්සේගේ නව ලොවෙහි සාගතය අමතක වනු ඇත. රාජ්‍ය පාලනය යටතේ “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය.”—ගීතාවලිය 72:16.
අපගේ දවසේ බොහෝ දෙනෙකු විසින් ප්‍රමාණවත් ලෙස සපුරාලනු නොලබන තවත් මනුෂ්‍ය අවශ්‍යතාවයකි නිවාස. මිලියන සංඛ්‍යාත අය පැල්පත්වල හෝ නිවාස නොමැති ව ජීවත් වෙති. ද න යෝක් ටයිම්ස් පුවත් පතට අනුව, එක් ප්‍රාචීන දේශයක, “විද්‍යුත් භාණ්ඩ වෙළඳ මණ්ඩලයක . . . , අවුරුදු 20ක් වයසැති සේවකයින්ට නිවාස සැපයුම් ලබා ගැනීම සඳහා අවුරුදු 73ක් බලා සිටීමට සිදුවේ,” තවද ඇතැම් අයට ගබඩාගාරවල, කාර්යාලවල හෝ වැසිකිලිවල පවා ජීවත් වීමට සිදුවේ යයි ආණ්ඩුවෙන් නිකුත් වූ වාර්තාවක් සඳහන් කරයි. නමුත්, නව ලොවෙහි එය කොතරම් වෙනස් වනු ඇත්ද! අනාගතික පාරාදීසයේ, “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනගගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.”—යෙසායා 65:21, 22.
දෙවියන් වහන්සේගේ පොරොන්දු කරන ලද නව ලොවෙහි පරිසරය සම්බන්ධ ගැටලු අතුරුදහන් වනු ඇත. සෞඛ්‍යයට-තර්ජනය කරන හා වගාව-විනාශකරන වායු දූෂණය තවත් නොවන්නේ ය. දැන් පැලෑටි හා සත්ත්ව විශේෂන බොහොමයක් අන්තරායට පත් කරන පරිසර දූෂණය හා වාසස්ථාන විනාශ වීම්, එවිට තර්ජනයක් නොවනු ඇත. තවද ඕසෝන් තට්ටුව සිහින් වීම වැනි හේතූන් පොළොව මත ජීවිතවලට හානියක් නොවනු ඇත. යෙහෝවඃ දෙවියන් වහන්සේ මෙම ගැටලු සියල්ලක් ම විසඳන බවට අපට සහතික විය හැක, උන් වහන්සේ ඉක්මනින් “පොළොව විනාශකරන්නවුන් විනාශකරන” බවට උන් වහන්සේගේ වචනය අපට සහතික කරන බැවිනි.—එළිදරව් 11:18.
නව ලොවෙහි, යුද්ධ ද අතීතයේ දෙයක් වන නමුත්, එය එසේ වන්නේ දේශපාලකයන් ජාතීන් නිරායුධ කිරීමෙහි සාර්තක වූ හෙයින් නොවේ. ඒ වෙනුවට, දේශපාලන පාලකයන් අසමර්ථ වූ කාර්යයන් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ක්‍රියා කරන සේක. උන් වහන්සේ ගීතිකාකාරයාගේ මෙම වදන්වලට එකඟ ව කීකරු මනුෂ්‍යවර්ගයාට සාමය ගෙනෙන සේක: “එව්, ස්වාමීන්ගේ (යෙහෝවඃ වහන්සේගේ, NW) ක්‍රියාවන්, එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන්, බලව්. උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුඬ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.” (ගීතාවලිය 46:8, 9) එතරම් අතළඟ ඇති දෙවියන් වහන්සේගේ නව ලොවෙහි, මිනිසුන් තවත් සටන් නොකරන අතර සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ඔවුන් භුක්ති විඳිති.—මීකා 4:2-4.
ඔබ එහි සිටිනු ඇත් ද?
යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් පොරොන්දු කරන ලද නව ලොව කෙරෙහි ඔබට විශ්වාසය තැබිය හැක. උන් වහන්සේ බොරු නොකියන සේක. (හෙබ්‍රෙව් 6:17, 18) උන් වහන්සේගේ වචනය වන බයිබලය සැබෑ වන අතර, එය පොරොන්දු කරන දේ සැමවිට ම සිදු වන්නේ ය.—යොහන් 17:17.
කීකරු මනුෂ්‍යවර්ගයා සඳහා ඇති පුදුමාකාර ආශිර්වාද සම්බන්ධයෙන් වූ ශුභාරංචිය වනාහී, සියලු ම අවංක හදවත් ඇති අය සමඟ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන් බෙදාගැනීමට කැමති වන දෙයයි. දිව්‍යමය අරමුණ ගැන දැනගැන්ම ලබාගැනීම සඳහාත්, ශුද්ධ ලියවිලිවල ඇති ආශ්චර්යමත් පොරොන්දු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමටත් ඔබ දැන් සිට ම වෑයමක් දැරිය යුතු ය. මෙම ක්‍රියා මාර්ගය කෙළවරක් නොවන ජීවනයට මඟපෙන්විය හැකි ය, මන්ද, යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “සදාකාලජීවනය නම් මේය—එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.” (යොහන් 17:3) එවිට ඉදිරියේ ඇති සන්තෝෂමත් කාලවල් භුක්ති විඳීමට ඔබට ප්‍රස්ථාව ලැබෙනු ඇත, මන්ද, දෙවියන් වහන්සේගේ නව ලෝකය අත ළඟ ම ය! w91 7/15.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔෆ් න්‍යු යොර්ක්, මගින් ප්‍රකාශයට පත් කරන ලද පාරාදීස පොළොවක ඔබට සදාකල් ජීවත් වන්නට හැක, පොතෙහි පර්ච්ඡේද 17 සහ 18 බලන්න.