නීරෝගීකම සහ සන්තෝෂය—ඒවා ඔබගේ විය හැකි ද?
අසම්පූර්ණ මිනිසුන් හා ස්ත්‍රීන් ජීවත් ව සිටින තාක් කල් ම, ඔවුන් නීරෝගීකම හා සන්තෝෂය කෙරෙහි දැඩි ආශාවකින් බලා සිට ඇත. ස්ථිර වශයෙන් ම, මේවා වඩා වැදගත් මිනිස් ආශාවන් දෙකක් වුව ද, ඒවා අත් පත් කර ගැනීමට අසීරු වී ඇත.
මේ පිළිබඳ ව කරන ලද ගවේෂණවල දී, මිනිසුන් මේ ගැන බොහෝ සෙයින් කල්පනා කොට තිබේ, බොහෝ උපදෙස් ඉදිරිපත් කොට තිබේ. වෛද්‍ය. ඩෙනිස් ජැෆ් මෙසේ නිරීක්ෂණය කළේ ය: “අද දින, දිගු කාලීන නීරෝගීකම සහ සුවය බොහෝ විට රඳා පවතින්නේ ඔබගේ ම හැසිරීම මත ය.” ඒබ්‍රහැම් ලින්කන් වරක් මෙසේ ප්‍රකාශ කළේ ය: “ජනයා සන්තෝෂයෙන් සිටින්නේ ඔවුන් තම මනස ඊට අනුකූල ව සාදා ගන්නා තරමටයි.” ඔබ මීට එකඟ වන්නෙහි ද? ඔබ සන්තෝෂයට ආශා කරන්නේ කොතරම් උනන්දුවකින් ද? එය ලබා ගැනීම, යහපත් සෞඛ්‍යය මත රඳා පවත්නේ කොතරම් ප්‍රමාණයකට ද?
පෙනෙන ලෙස, සන්තෝෂය ලබා ගැනීමේ අටියෙන් අසීමිත මග පෙන්වීම් අනුගමනය කරමින්, ජනයා සෑම දිශාවක් ම බලා තිබේ. ඔවුන් දර්ශනවාදය, මනෝවිද්‍යාව, සහ අධ්‍යාත්ම විද්‍යාව [metaphysics] ගැන පුළුල් ලෙස පරීක්ෂා කොට ඇත. සන්තෝෂය සොයා යාමේ දී, සමහරුන් විද්‍යාව, කලා ශිල්පය, සංගීතය ගැඹුරින් සෝදිසි කර තිබේ. එහෙත්, සැබෑ සන්තෝෂයේ ප්‍රධාන කොටසක් යහපත් සෞඛ්‍යය සමඟින් සම්බන්ධ වී ඇතැයි යනුවෙන් මඳ සැකයක් පවතී. “ඔබට නීරෝගීකමක් තිබේ නම්, ඔබ සියල්ල ම පාහේ ලබා ගත්තා හා සමානයි” යනුවෙන් එක් ජනප්‍රිය රූපවාහිනි වෙළඳ දැන්වීමක් පැවසී ය.
මේ මග ඔස්සේ ලුහු බඳිමින්, බොහෝ දෙනෙකු සම්මත හා අසම්මත යන දෙවර්ගයේ ම න්‍යායන් පුළුල් ලෙස පිරික්සා බලා තිබේ. ආහාර ක්‍රම හසුරුවා ගත යුතු අයුරුත් ප්‍රතිකාර විධි පිළිබඳවත් අනන්ත අප්‍රමාණ විකල්පයන් සෑම මහජන පුස්තකාලයක ම පාහේ දැක් වේ. “පුරාතනයේ පටන්, නීරෝගීකම පිළිබඳ ව බොහෝ පොත් ලියනු ලැබ තිබේ” යයි ප්‍රසිද්ධ හෘද විශේෂඥයෙකු වන වෛද්‍ය. පෝල් ඩඩ්ලි වයිට් විවරණය කළේ ය. “මේ අතරින් හොඳ ම එකක් වූයේ, මීට වසර දහසකට පමණ ඉහත දී ලියන ලද රෙජිමන්ට් ඔෆ් හෙල්ත් [නිරෝගිකමේ වට්ටෝරුව] යන්නයි.”
මේ සියල්ල කර ඇති නමුත්, නීරෝගීකම සහ සන්තෝෂය සඳහා කරනු ලැබ ඇති ගවේෂණය මිනිසුන් බහුතරයකගේ බලාපොරොත්තු කඩ වීමට හේතු වී තිබේ. සිතන අයුරින් අපගේ ශිෂ්ටාචාරය මොනතරම් දියුණුවට පැමිණ තිබේදැයි සැලකීමේ දී, මෙය ඔබ ව මවිතයට පත් කරවයි ද? පැහැදිලි ව ම, විද්‍යාව අසනීප, මහලු වයස, හා මරණය ඉවත් කොට නොමැත.
නමුත්, සන්තෝෂය මැන බලා, එය කුමක් දැයි ඊට නිර්වචනයක් දීමට අප හට තවමත් මගක් නැතැයි ඔබට දැන ගැනීමට ලැබීම ඔබ ව තව දුරටත් පුදුමයට පත් කරවනු ඇත් ද? “සන්තෝෂය ගැන මෙනෙහි කිරීම” යන මැයෙන් පැවැත්වුනු දේශනයක දී, පියේර් තෙලාඩ් ඩ’ චාර්ඩ’න් මෙසේ නිගමනය කළේ ය: “ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ, එකිනෙකට පසු ව ආ නිමාවක් නැති පොත් පත් පර්යේෂණයන්හි, පුද්ගලික හා සාමුහික පරීක්ෂණවල මූල විෂය මෙය වී තිබේ; තව ද, සඳහන් කරන්නට තිබෙන කනගාටුදායක දෙයක් නම්, සම්මුතියකට එළැඹීමට මුළුමනින් ම මේවා අපොහොසත් වී තිබීමයි. අවසානයේ දී, මුළු සාකච්ඡාවෙන්, අපගෙන් බොහෝ දෙනෙකුට එළැඹෙන්නට තිබෙන එකම ප්‍රායෝගික නිගමනය නම්, මේ ගැන නොකඩවා ගවේෂණය කිරීම නිෂ්ඵල දෙයක් බවයි.”
සන්තෝෂය පිළිබඳ ව ඔබට හැඟෙන්නේ එලෙස ද? පුද්ගලික නමුත් අවංක ප්‍රශ්න සමහරක් ඔබගෙන් ම අසන්න. ඔබ ඇත්තට ම දැන් සන්තෝෂයෙන් සිටිනවා ද? එසේ නැතහොත්, නියම සන්තෝෂය ලබා ගත හැක්කේ ස්වර්ගයේ දී පමණක් ද? නීරෝගීකම සහ සන්තෝෂය අපට ලබා ගත හැකි බවට, විශේෂයෙන් ම මේ පොළොව මත දී පවා ලබා ගත හැකි බවට යම් ස්ථිර අපේක්ෂාවක් තිබේ ද? w91 8/15