‘කඳුළින් වපුරා ප්‍රීති නාදයෙන් කපා ගැනීම’
මයෝ ඉඩෙයි විසින් පවසන ලදි
“මාව මැරෙන්න යනවා! මා ව මැරෙන්න යනවා! මට උදව් කරන්න!” මගේ පියා මහ හඬින් කෑ ගසා සිටියේ ය. මම නිවසින් පිටතට දිව යනවාත් සමඟ ම ඔහුගේ කට හඬ කාමරය සිසාරා ගියේ ය. එය මධ්‍යම රාත්‍රිය වී තිබුණි. මගේ පියා හෘදයාබාධයකින් පෙළෙමින් සිටියේ ය. අපේ නිවස අසල ජීවත් වූ මගේ මාමා වෙතට මම දිව ගියෙමි. අප යළි නිවස කරා පැමිණෙන විට පියාගේ හුස්ම නතර වී තිබිණි.
එය සිදු වුණේ 1918 සැප්තැම්බර් 14 ය. මගේ වයස අවුරුදු 13 දී මට මගේ දෙමාපියන් අහිමි වී ගියේ ය. මගේ මව මිය ගියේ මා සත් හැවිරිදි වියේ සිටින විට ය. මගේ ජීවිතයේ එතරම් මුල් අවධියේ දී මගේ දෙමාපියන් අහිමි වී ගිය මම, ‘මිනිසුන් මිය යන්නේ ඇයි? මරණයෙන් පසු සිදු වන්නේ කුමක් ද?’ යනුවෙන් කල්පනා කරන්නට පටන් ගතිමි.
ගුරුවරුන් සඳහා වූ පාසලකින් උපාධියක් ලැබූ මම, ටෝකියෝ නුවර පාසලක ගුරුවරියක් වී ෂිනාගාවා ප්‍රාථමික පාසලේ සේවයට පැමිණියෙමි. පසු ව, මා අඳුරන කෙනෙක්, මොටෝහිරෝ නැමැති තරුණයෙකු ව මට හඳුන්වා දුන් අතර මට වයස අවුරුදු 22 දී මම ඔහු සමඟ විවාහ වූයෙමි. පසු ගිය වසර 64 පුරා, අපි ජීවිතයේ මිහිරි හා අමිහිරි අත් දැකීම් බෙදා ගෙන ඇත්තෙමු. වැඩි කල් යන්නට මත්තෙන්, එවකට ජපන් පාලනය යටතේ පැවති තායිවානයේ පදිංචියට අපි ගියෙමු. එම රටේ ප්‍රීතියේ නාදයක් නැංවීමට හේතු සාධකයක් ඇති වෙයි කියා ඒ වන විට මට කිසිදු අදහසක් තිබුණේ නැත.
සත්‍යය ඉගෙන ගැනීම
වර්ෂ 1932 වසන්ත ඍතුවේ දී, මධ්‍යම තායිවානයේ චියයි අවට ප්‍රදේශයේ අප ජීවත් වෙමින් සිටිත් දී, සාබුරෝ ඔකියයි නම් මිනිසෙක් අප ව හමුවීමට පැමිණියේ ය. මළවුන්ගේ නැවත නැගිටීමක් පිළිබඳ පොරොන්දුව ද බයිබල් අනාවැකිවලට ඇතුළත් වන බව ඔහු ගෙන හැර දැක්වී ය. (යොහන් 5:28, 29) මොනතරම් සිත්ගන්නා සුලු අපේක්ෂාවක් ද! මගේ මව සහ පියා ව යළි දැක ගැනීමට මට බොහෝ සෙයින් වුවමනා විණි. තර්කානුකූල පහදා දීම්, සාධාරණ විස්තර කිරීම්, හා ස්ථීර බයිබල් සාක්ෂි සහිත ව තමා කී දේ සත්‍ය බවට ඔහු අපට ඒත්තු ගැන්වූයේ ය. කාලය වේගයෙන් පියඹා ගියේ අප දවස මුළුල්ලේ ම බයිබලය සාකච්ඡා කරනවාත් සමඟ ය. එය මට සිත් ගන්නා සුලු පොතක් බවට පත්වූයේ නිමේෂයකිනි.
වැඩිකල් යන්නට මත්තෙන්, ඔකියයි මහතා අපෙන් ඉවත් වී වෙනත් ස්ථානයකට ගිය අතර, වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි විසින් පළ කරන ලද ක්‍රියේෂන්, හාප් ඔෆ් ගෝඩ්, ගවන්මන්ට්, ප්රොෆසි, ලයිට්, සහ රිකන්සලියේෂන් වැනි පොත් අප සමඟ තබා ගියේ ය. මා ඒවා කියවනවාත් සමඟ ම එහි ඇති දේට මගේ සිත කොතරම් ඇදී ගියේදයත්, මා කියවමින් සිටි දෙය අන්‍යයන් සමඟ බෙදා ගන්නට මා තුළ දැඩි ආශාවක් පහල විණි. යේසුස් වහන්සේ සිය දේව සේවය, උන් වහන්සේගේ ගම වූ නාසරෙත්වලින් ආරම්භ කළා නම්, මා ජීවත් වූ ගමෙන් මා පටන් ගත නොයුත්තේ මන්ද? මම මාගේ අල්ලපු ගෙදර අසල් වැසියා බැලීමට ගියෙමි. දේශනා කරන ආකාරය කිසිවෙකු මට උගන්වා තිබුණේ නැත. එහෙත්, මගේ බයිබලය සහ මා කියවා තිබූ පොත් පත් සමඟ මම හැකි තරම් හොඳින් දේශනා කරමින් ගෙයින් ගෙට ගියෙමි. මිනිස්සු හොඳින් ප්‍රතිචාරය දක්වා සඟරා ලබා ගත්හ. එවකට ජපානයේ වොච් ටවර් සමිතිය හැඳින්වුණු ටොඩයිෂා වෙතින්, ද කිංඩම්, ද හෝප් ඔෆ් ද ව’ල්ඩ් නැමැති පොත් පිංච 150ක් එවන ලෙස ඉල්ලා සිටියෙමි. ඒවා එවනු ලැබූයෙන් මම ඒවා බෙදා හැරියෙමි.
දිනක් මා පොත් පත් බෙදා දුන් පුද්ගලයෙක් මට කථා කොට, මා ඔහු ව හමු වී පිට ව යනවාත් සමඟ ම පොලිසියෙන් පැමිණ එම පොත් රාජ සන්තක කළ බව පවසා සිටියේ ය. ඉන් වැඩි කල් යන්නට පෙර, රහස් පරීක්ෂකරුවන් සතර දෙනෙකු මගේ නිවසට පැමිණ, මගේ සියලු පොත් පත් සහ සඟරා රාජ සන්තක කරන්නට විය. ඔවුන් ඉතිරි කර ගියේ බයිබලය පමණයි. අවුරුදු පහක් ගත වන තුරු මට කිසි ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් මුණ ගැසුණේ නැත, නමුත්, සත්‍යය නැමැති ගින්න මගේ හදවත තුළ දැල්වෙමින් තිබිණි.
ඊළඟට 1937 දෙසැම්බර් මාසයට එළැඹිණි! ජපානයේ සිට කොල්පෝටර්වරුන් [පූර්ණ කාලීන දේව සේවකයන්] දෙදෙනෙක් අප ව හමුවීමට පැමිණියෝ ය. මවිතයට පත් වූ මම: “ඔබ අප ව සොයා ගත්තේ කෙසේ” දැයි විචාලෙමි. “ඔබගේ නම අප ළඟ තියෙනවා.” යයි ඔවුහු පැවසූහ. යෙහෝවඃ වහන්සේ අප ව සිහි කොට තිබූ සේක! යොරිචී ඔයේ සහ යොෂියූ කොසාකා නැමැති මේ සාක්ෂිකරුවන් දෙදෙනා ඔවුන්ගේ බඩු බාහිරාදිය ද තම පරණ පාපැදිය පිටුපස තබා බැඳ ගෙන ටයිපෙයි සිට චියයි දක්වා සැතපුම් 150ක් [කිලෝමීටර් 240ක්] පමණ පාපැදි පැද ගෙන පැමිණ සිටියහ. ඔවුන් අපට කථා කරන විට, මට හැඟුණේ, “බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේ දැයි” යනුවෙන් ඇසූ ඉතියෝපීය නපුංසකයාට හැඟුණාක් මෙන් ය. (ක්‍රියා 8:36) ඔවුන් පැමිණි රාත්‍රියේ දී, මගේ සැමියා සහ මම බව්තීස්ම වූයෙමු.
සිර ගත කරනු ලැබූ සහෝදරයන් ගැන සැලකිල්ල දැක්වීම
වර්ෂ 1939 දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව සිර භාරයට ගැනීම මුළු ජපානය පුරා පැතිරී ගියේ ය. මෙම පීඩාවේ රැල්ල වැඩි කල් යන්නට මත්තෙන් තායිවානයට ළඟා විණි. අප්‍රියෙල් මාසයේ දී ඔයි සහ කොසාකා යන සහෝදරයන් දෙදෙනා ද සිර භාරයට ගැණිනි. මාස දෙකකට පසු ව අප දෙදෙනාට ද එසේ සිදු විණි. මා ගුරුවරියක් වූ හෙයින් ඊළඟ දවසේ දී මා නිදහස් කරනු ලැබුව ද, මගේ සැමියා ව මාස හතරකට සිර භාරයේ රැඳ විණි. මගේ සැමියා නිදහස් කරනු ලැබූ පසු අපි පදිංචිය පිණිස ටයිපෙයි බලා ගියෙමු. අප දැන් සිටියේ අපගේ සහෝදරයන් ව රඳවා තිබූ සිර ගෙදරට සමීප ව බැවින් එය වාසියට කරුණක් විය.
ටයිපෙයි බන්ධනාගාරය දැඩි රැකවල් යොදා තිබූ සිර ගෙයකි. ආහාර සහ ඇඳුම් රැගෙන මම සහෝදරයන් ව බැලීමට ගියෙමි. ආරක්ෂක භටයෙකු සහ පරික්ෂකවරයෙකු කොසාකා සමඟ, අඟල් 12 [සෙ.මී.30ක්] වූ කම්බි දැල් ජනේලයක් පිටුපසට පැමිණියේ ය. ඔහුගේ සිරුර සුදුමැලි වී තිබූ අතර, ඔහුගේ තොල් රතු ස්ට්‍රෝබෙරි මෙන් පැහැ ගැන්වී තිබුණි. ඔහුට ක්ෂය රෝගය වැළඳී තිබිණි.
ඊළඟට සිනාමුසු මුහුණින් යුතු ව පැමිණි සහෝදර ඔයේ “ඔබ ආපු එක කොච්චර දෙයක් ද” යයි යළි යළිත් කියා සිටියේ ය. ඔහුගේ මුහුණ කහපැහැ ගැන්වී ඉදිමී තිබුණෙන් මම ඔහුගේ ශරීර සෞඛ්‍යය ගැන ඔහුගෙන් විමසීමි. “මට මුළුමනින් ම හොඳයි!” ඔහු පිළිතුරු දුන්නේ ය. “මේක බොහොම හොඳ තැනක්. මකුණන්වත් උකුණන්වත් නැහැ. මට තිරිඟු නුඩ්ල්ස් පවා කෑමට පුළුවන්. මේක හරියට සුව පහසු බංගලාවක් වගේ,” යයි ඔහු පැවසී ය. පොලිස් නිලධාරියාට සහ ආරක්ෂක භටයාට ඔවුන්ගේ සිනහව නවතා ගත නොහැකිව, “ඕ, මේ ඔයේ කියන හාදයා ව පරදවන්නට අපට බැහැ.” යයි පැවසූහ.
යළි සිරගත වීම
වර්ෂ 1941 නොවැම්බර් 30 මධ්‍යම රාත්‍රියේ පමණ, දවස් කිහිපයකට පෙර සහෝදරයන් බැලීමට ගොස් මා පැමිණියාත් සමඟ ම දොරට තඩිබාන ශබ්දයක් ඇසිණි. එහා මෙහා කළ හැකි වීදුරු දොර තුළින් බැලූ මට දක්නට ලැබුණේ තොප්පි දමා සිටි කිහිප දෙනෙකුගේ ඡායාමාත්‍රයන් පමණි. ඔවුන් අට දෙනෙකු බව මම දුටිමි. ඔවුහු පොලිස් නිලධාරින් ය. ඔවුන් බලෙන් අපගේ නිවසට ඇතුල් ව නිවසේ තිබූ බඩු බාහිරාදිය සියල්ල ම ඒ මේ අත පෙරලා බැලූහ—නමුත් සියල්ල නිෂ්ඵල විණි. පැයක් පමණ කාලයක් පුරා නිවසේ අස්සක් මුල්ලක් නෑර සොයා බැලූ පසු, ඡායාරූප ඇල්බම් කිහිපයක් රාජසන්තක කොට ඔවුන් සමඟ එන ලෙස අපට කීවෝ ය. යේසුස් වහන්සේ ව සිර භාරයට ගනු ලැබුයේ මධ්‍යම රාත්‍රියේ බව මට මතක් විණි. (මතෙව් 26:31, 55-57; යොහන් 18:3-12) මිනිසුන් අට දෙනෙක් අප දෙදෙනෙකුට මෙතරම් කරදර කිරීම මා හට හාස්‍ය ගෙන දෙන්නක් විය.
අති විශාල නුහුරු නුපුරුදු අඳුරු ගොඩනැගිල්ලකට අප ව ගෙන යන ලදි. එය ටයිපෙයි හිචිසයි බන්ධනාගාරය බව අපට පසු ව දැනගන්නට ලැබිණි. විශාල මේසයක් ඉදිරිපිට වාඩි කරනු ලැබූ අපගෙන් ප්‍රශ්න කිරීම ඇරඹිණි. යළි යළි ඔවුහු අපගෙන් ඇසුවේ: “ඔබ දන්නේ කාව ද?” යනුවෙනි. අප එක් එක්කෙනා ම පිළිතුරු දුන්නේ: “මා කිසිවෙකු ව දන්නේ නැහැ.” කියා ය. මුළු ජපන් රටේ මහා භුමි ප්‍රදේශයේ සිටින අය ව අප දන්නේ කෙසේ ද? අප දැනගෙන සිටියේ ඔයේ සහ කොසාකා යන සහෝදරයන් ව පමණක් වන අතර, අප වක්‍ර ලෙස අසා තිබිය හැකි වූ කිසිවෙකුගේ නම් සම්බන්ධ ව අපි අපේ තොල් තද කර ගතිමු.
වැඩි වේලාවක් යන්නට මත්තෙන් එකී උදෑසන පහ වූ අතර, පරික්ෂකයන් දෙදෙනා මා ව මගේ සිර කුටියට රැගෙන ගියෝ ය. මගේ අලුත් පරිසරයට හුරු පුරුදු වන්නට මට ටික වේලාවක් ගත විය. ජීවිතයේ පළමු වතාවට මා ඇඳේ මකුණන්ගේ ප්‍රහාරයට ලක් විය. අලුතෙන් පැමිණි අය මත මංගල්‍ය පවත්වන්නට සිතා ගෙන සිටින මා වෙතට පැමිණි මෙම කුඩා කෘමීන් මවිසින් සමතලා කර දැමුව ද උන් මට මහත් කුරිරු ලෙස හිරිහැර කළේ සිර කුටියේ සිටි අනෙක් ස්ත්‍රීන් දෙදෙනා ව පැත්තකට දමමිනි. අවසානයේ දී මා එය අතහැර දැමුවෙන් මකුණෝ මට පහර දෙන්නට වූහ.
අපගේ ආහාරය වූයේ බාගෙට පිසින ලද හාල් කැඳ කෝප්පයකි, නමුත් එය මගේ කටට දැනුනේ අමු බත් ලෙස ය. ලුණු කැඳ සහිත ඩෙයිකන් (ජපන් රාබු වර්ගයක්) ස්වල්පයක් සමඟ මුසු කළ විට තවමත් එහි වැලි තිබෙනවා දක්නට ලැබෙයි. මුලින් ම, ආහාර කුණු වී ගඳ ගැසූ හෙයින් ඒවා ගිලින්නට මට නොහැකි විණි, එහෙත් සිර කුටියේ සිටි අනෙක් අය පැමිණ ඒවා කෑවෝ ය. ඇත්තෙන් ම, නොමැරී ජීවත්වීම සඳහා ඒ අනුව ක්‍රමක්‍රමයෙන් සකස් වීමට මට සිදු විය.
සිරගෙදර ජීවිතය මහත් සන්තාපය ඇති කරන්නක් විය. එක් අවස්ථාවක දී, ඔත්තුකාරයෙකැයි සැක කරනු ලැබූ මිනිසෙකුට දවසින් දවස වධ දෙන විට ඔහු කෑ ගසන ශබ්දය මට ඇසිණි. අසල කුටියේ සිටින පුද්ගලයෙක් මහත් දුක් ගාවිනා මැද මිය යනවා ද මම දුටිමි. මගේ ඇස් ඉදිරිපිට ම මේ සියල්ල සිදු වෙනවා දුටු මට, තදින් හැඟී ගියේ මේ පරණ පිළිවෙළ පහව යා යුතු බව ය, තව ද දෙවියන් වහන්සේගේ පොරොන්දු ගැන මගේ බලාපොරොත්තුව වෙන කවරදාටත් වඩා ශක්තිමත් විය.
ප්‍රශ්න කිරීම
අවුරුද්දක් පමණ කාලයකට සිර ගත කරනු ලැබූ මගෙන් පස් වතාවක් ප්‍රශ්න කරනු ලැබිණි. එක් දිනක, නීති ප්‍රශ්න කරන්නෙක් පළමු වතාවට මා වෙතට පැමිණි අතර, ප්‍රශ්න කිරීමට අපහසුතා නැති කුටියකට මා ව ගෙන යන ලදි. ඔහු ඇසූ පළමු දෙය නම්: “වඩා උතුම් කවුද, අමටෙරාසු ඔමිකාමි [හිරු-දේවතාවී] ද, නැත්නම් යෙහෝවා ද? නුඹ මට කියපන්!” පිළිතුරු දෙන ආකාරය ගැන මම මඳක් කල්පනා කළෙමි.
“වඩා උතුම් කවුද කියා කියපන්, නැත්නම් මම නුඹට පහර දෙන්නයි යන්නේ!” ඔහු මා වෙත රෞද්‍ර මුහුණකින් බැලුවේ ය.
මම සන්සුන් ව මෙසේ පිළිතුරු දුන්නෙමි: “බයිබලයේ මුලින් ම ලියා තිබෙන්නේ: ‘පටන්ගැන්මේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක’ ” කියායි. තවත් දෙයක් කියන්නට මට අවශ්‍ය නැතැයි මට හැඟුණි. ඔහු වචනයකුදු නොපවසා මගේ මුහුණ දෙස රවා බලා ඊළඟට විෂය මාරු කළේ ය.
සියල්ල සලකා බලන කල, මා ව සිර භාරයේ තබා ගෙන තිබුණේ මන්ද? පරික්ෂණ වාර්තාවේ තිබුණේ මෙසේ ය: “ඈ ඇගේ කථාවෙන් සහ ක්‍රියාවෙන් මහජනයා ව මුලා කරාවි ය යන බියක් පවතී.” කිසි ම නඩු විභාගයක් නොමැති ව මා සිර ගත කරනු ලැබුයේ ඒ නිසා ය.
මේ සියල්ලට මා මුහුණ දෙන විට යෙහෝවඃ වහන්සේ සෑම විට ම මා අසල සිටි සේක. යෙහෝවඃ වහන්සේගේ කරුණාව හේතු කොට ගෙන, සාක්කු ප්‍රමාණයේ ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලක් මා හට සපයනු ලැබිණි. එක් දිනක් පරික්ෂකවරයෙක් මගේ සිරකුටියට එය විසි කරමින්: “මෙය තබා ගැනීමට මං ඔබට ඉඩ දෙන්නම්” යයි පැවසී ය. මා කියවමින් සිටි දෙය කටපාඩමින් කිව හැකි තරමට සෑම දිනක ම මම එය කියෙව්වෙමි. ක්‍රියා පොතේ සඳහන් පළමු සියවසේ ක්‍රිස්තියානින්ගේ නිර්භීත ආදර්ශයන් මා හට මහත් දිරිගැන්වීමේ උල්පතක් විය. පාවුල්ගේ ලිපි 14ද මා ව බොහෝ සේ ශක්තිමත් කළේ ය. පාවුල් අධික ලෙස පීඩාවන්ට මුහුණ දුන් නමුත්, ශුද්ධාත්මය සෑම විට ම ඔහුට අනුබල දුන්නේ ය. එවැනි වාර්තාවන් මා ව බලවත් කළේ ය.
මගේ සිරුර වැහැරී ගොස් දුර්වල විණි, නමුත් බොහෝ විට අනපේක්ෂිත අයුරින් යෙහෝවඃ වහන්සේ මා ශක්තිමත් කළ සේක. එක් ඉරිදා දිනක මා කිසිවිටෙකත් හමු වී නොතිබුණු පරීක්ෂකවරයෙක්, රෙදි කඩකින් ඔතා තිබූ කුඩා පාර්සලයක් අතැතිව පැමිණියේ ය. ඔහු සිර කුටියේ දොර විවෘත කොට මා ව පිටත මිදුලට කැඳවා ගෙන ගියේ ය. අප විශාල කපුරු ගසක් යටට පැමිණි විට, ඔහු පාර්සලය විවෘත කළේ ය. මොනව ද කියල බලන්න! කෙසෙල් සහ බනිස් ඒ තුළ විය. එහි දී ඒවා අනුභව කරන ලෙස ඔහු මට කීවේ ය. පරික්ෂකවරයා මෙසේ කීය: “ඔබ සියලු දෙනා ම හොඳ මිනිස්සු. එහෙත් ඔයගොල්ලන්ට මෙසේ සලකන්නට අපට සිදු වී තිබෙනවා. මේ වැඩවලින් ඉතා ඉක්මනින් ම ඉවත් වීමට මං කැමතියි.” මේ නිසා ආරක්ෂක භටයෝ සහ පරික්ෂකවරු මට කරුණාවන්ත ලෙස සැලකීමට පටන් ගත්තෝ ය. ඔවුන් මා කෙරෙහි විශ්වාසය තබා, ඔවුන්ගේ කාමර පිරිසිදු කිරීමට මට ඉඩ දුන් අතර, වෙනත් ආකාරවල වරප්‍රසාද ලත් වැඩ කටයුතු කිරීමට ඉඩ දුන්හ.
වර්ෂ 1942 අග භාගයේ දී, අප ව අත් අඩංගුවට ගත් පරික්ෂකවරයෙකු විසින් මා ව සිතාසි කරන ලදි. “ඔබ මරණ දඬුවමට නියම වී සිටියත්, අද දින ඔබ නිදහස්,” ඔහු ප්‍රකාශ කළේ ය. මගේ නිදහස් වීමට මාසයකට පමණ ඉහත දී මගේ සැමියා නැවත නිවසට පැමිණ තිබිණි.
සාක්ෂිකරුවන් සමඟ ඇසුර යළි අලුත් කිරීම
අප සිර ගත වී සිටි අතරතුර, ජපානය දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ වී තිබිණි. ඊළඟට, 1945 දී, ජපානය යුද්ධයෙන් පරාජය වූ බව අපට අසන්නට ලැබුණු අතර දේශපාලන සිරකරුවන් නිදහස් කරනු ඇති බවත් අපි පුවත් පත්වලින් කියවීමු. සහෝදර කොසාකා අසනීප වී සිර ගෙදර තුළ මිය ගිය බව අපි දැන සිටියෙමු. මම ක්ෂණික ව ම ටයිපෙයි චින්චූ සහ වෙනත් නගරවල තිබූ සිර ගෙවල්වලට ලිපි යවා සහෝදර ඔයේට කුමක් සිදු වී ඇත් දැයි සොයා බැලුවෙමි. කෙසේ වෙතත්, මට කිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පසු ව මට දැනගන්නට ලැබුණේ සහෝදර ඔයේ, භට කණ්ඩායමක් විසින් වෙඩි තබා කරන ලද ඝාතනයක දී මිය ගිය බවයි.
වර්ෂ 1948 දී ෂැංහායි නුවරින් අපට අනපේක්ෂිත ලිපියක් ලැබුණේ ය. එය එවා තිබුණේ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ගිලියඩ් නම් අලුතින් පිහිටුවනු ලැබූ මිෂනාරි පාසලෙන් චීනයට යවනු ලැබ සිටි සහෝදර ස්ටැන්ලි ජෝන්ස් ය. යෙහෝවඃ වහන්සේ යළිත් අප ව සිහි කොට තිබූ සේක! යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සමඟ මෙම සම්බන්ධකම ඇති කර ගැනීමේ හේතුවෙන් මම ප්‍රීතියෙන් පිනා ගියෙමි. අප සහෝදර ඔයේ ව දුටුවායින් පසු වසර හතක් ගත වී තිබුණි. ඒ කාලය තුළ මුළුමනින් ම මා තනි වී සිටිය ද, මම ශුභාරංචිය ගැන අන්‍යන්ට කථා කරමින් සිටියෙමි.
සහෝදර ජෝන්ස් ප්‍රථම වතාවට අප ව හමුවීමට පැමිණි කාලය, ප්‍රීතිමත් එකක් විණි. ඔහු ඉතා මිත්‍රශීලී පුද්ගලයෙකු විය. අප ඔහු ව මීට පෙර කිසි දා දැක නොතිබුණ ද, අපට හැඟී ගියේ, හරියට අප අපගේ කිට්ටු ඥාතියෙකු ව පිළිගන්නා අයුරිනි. මීට ටික දවසකට පසු, සහෝදර ජෝන්ස් කඳු හරහා ගමන් කරමින් ඔහුගේ අනුවාදකයා වශයෙන් මගේ සැමියා සමඟ ටායි-ටුං වෙත ගමන් කළේ ය. සතියකට පමණ පසු ඔවුන් ආපසු පැමිණි අතර, එම කාලය තුළ ඔවුන් එක් දින රැස්වීමක් පවත්වා, නැගෙනහිර මුහුදුබඩ තීරයේ අමිස් ගෝත්‍රයේ 300 දෙනෙකු පමණ බව්තීස්ම කොට තිබුණි.
සහෝදර ජෝන්ස්ගේ සංචාරය මට තවත් අතකින් අර්ථවත් විය. ඒ වන විටත් මා දේශනා කරමින් සිටියේ තනි ව ම ය. දැන් අලුත් යුවළක්, එනම්, අපගේ ගෙවත්ත හිමියා සහ ඔහුගේ බිරිඳ බව්තීස්ම වූයේ සහෝදර ජෝන්ස්ගේ සංචාරය අතරතුරේ දී ය. එතැන් පටන්, රාජ්‍යය ප්‍රචාරය කිරීමේ ප්‍රීතියට අමතර ව, ගෝලයන් සෑදීමේ ප්‍රීතිය බොහෝ වාර ගණනක් මම අත් දැක ඇත්තෙමි. පසු ව, අප චින්චූ නගරයේ පදිංචියට ගිය අතර, එහි දී සහෝදර ජෝන්ස් අප ව බැලීමට තුන් වතාවක් පැමිණියේ, සෑම වතාවක දී ම සති දෙකක් ගත කරමිනි. එම ප්‍රයෝජනවත් ආශ්‍රය මම මුළුමනින් ම භුක්ති වින්දෙමි. අවසාන වතාවේ දී, ඔහු මෙසේ කීය: “ඊළඟ වතාවේ දී මම මගේ සහයකයා වන හැරල්ඩ් කිං ව කැඳවා ගෙන එන්නම්” යයි පැවසුවේ ය. නමුත් ඒ “ඊළඟ වතාව” කිසි දා පැමිණියේ නැත, මන්දයත් වැඩි කල් යන්නට මත්තෙන් ඒ දෙදෙනා ව ම චීනයේ සිරභාරයට ගෙන තිබිණි.
එකොලොස් වෙනි ගිලියඩ් පාසලෙන් පිට වූ ජෝසෆ් මැක්ග්‍රාත් සහ සිරිල් චාල්ස් යන මිෂනාරිවරුන් දෙදෙනා 1949 දී, තායිවානයට පැමිණියෝ ය. ඔවුන් තායිවානය පුරා සිය වැඩ කටයුතු පුළුල් කළේ, අපගේ නිවස මධ්‍යස්ථානයක් ලෙස පාවිච්චි කරමිනි. ඔවුන්ගේ ආදර්ශය සැබවින් ම මා ව දිරිගැන්වී ය. කෙසේ වෙතත්, දේශපාලන තත්ත්වය නිසා ඔවුනට හොංකොං බලා යන්නට සිදු විය. ඔවුන් පොලිස් නිලධාරියෙකු සමඟ පිට වී යන විට මාගේ ඇස්වල කඳුළු මට වාවා ගත නොහැකි විය. “අඬන්න එපා, මයෝ,” ජෝ පැවසී ය. “ඔබට ස්තුතියි,” යනුවෙන් පැවසූ ඔහු සිහිවටනයක් වශයෙන් ඔහු හොඳින් පාවිච්චි කළ පෑන මගේ අතට දුන්නේ ය.
දරු පුහුණුව සමඟ කටයුතු කිරීම
මගේ සැමියාට සහ මට දරුවන් සිටියේ නැත, එබැවින් මගේ සැමියාගේ ලේලිය ව, ඈට වයස මාස හතරක් වන විට දරුකමට හදා ගැනීමට අපි භාර ගතිමු. ඇගේ මවගේ ජීවිතය ඇදුම රෝගයෙන් අන්තරාවට ලක් වී තිබිණි.
වර්ෂ 1952 දී, ජපානයේ මිෂනාරිවරයෙක් ලෙස සේවය කරමින් සිටි සහෝදර ලොයිඩ් බැරී, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතුවලට නීත්‍යානුකූල පිළිගැනීම ලබා ගැනීමට කටයුතු කරනු වස් තායිවානයට පැමිණියේ ය. ඔහු අප සමඟ නතර වී අප ව බොහෝ සෙයින් දිරිගැන්වී ය. ඒ වන විට අපගේ දියණියට මාස 18ක් විය. ඔහු ඈ ව වඩා ගෙන “දෙවියන් වහන්සේගේ නම මොකක්ද?” යයි ඇගෙන් ඇසී ය. “ඔබ කියන්නේ මේ තරම් පොඩි කාලයේ පටන් අප ඈට ඉගැන්විය යුතුයි කියා ද?” යනුවෙන් මම මවිතයෙන් ඔහුගෙන් ඇසුවෙමි. “ඔව්”, ඔහු ස්ථීර ලෙස පිළිතුරු දුණි. ඊළඟට ඔහු මට කථා කළේ, ඉතා මුදු මොළොක් වයසේ පටන් දරුවෙකු ව පුහුණු කිරීමේ ඇති වැදගත්කම ගැන ය. “ඔබගේ සැනසිල්ල සඳහා ඈ යෙහෝවඃ වහන්සේගෙන් ඔබට ලැබී තිබෙන තෑග්ගක්” යන ඔහුගේ වචන මගේ හිතට කිඳා බැස්සේ ය.
සැනෙකින් ම වාගේ, මගේ දියණිය වූ ආකෙමිට යෙහෝවඃ වහන්සේ ගැන දැනගෙන උන් වහන්සේට ප්‍රේම කරන්නටත් උන් වහන්සේගේ සේවිකාවක් වීමටත් පුහුණු කිරීමේ ‘ව්‍යාපාරය’ දියත් කළෙමි. ජපන් බසින් “එහෝබා” හෙවත් යෙහෝවඃ වහන්සේ යන වචනය සාදන්නා වූ එ, හෝ, සහ බා යන අකුරුවලින් පටන් ගෙන ඈට උච්චාරණ සංකේතයන් ඉගැන්වීමට මම පටන් ගතිමි. ඈ දෙවැනි වියට පත්වනවාත් සමඟ ම මා ඈට පැවසූ දෙය තේරුම් ගැනීමට ඈට හැකි විණි. එමනිසා, සෑම රාත්‍රියක ම අප නින්දට යාමට පෙර, මම ඈට බයිබල් කථාන්තර කීවෙමි. ඈ ඒවා උනන්දුවෙන් අසා මතක තබා ගත්තා ය.
ඈට වයස අවුරුදු තුනහමාර වන විට, සහෝදර බැරී යළි අප බැහැදැකීමට පැමිණි අතර, ඔහු ඈ හට ජපානයේ කථා කරන බසින් ලියවුනු බයිබලයක් දුන්නේ ය. ඈ බයිබලය අතැතිව: “ආකෙමිගේ බයිබලය! ආකෙමිගේ බයිබලය!” යයි කියමින් කාමරය පුරා ඇවිද්දා ය. මිනිත්තු කිහිපයකින් ඈ කෑගසමින්: “ආකෙමිගේ බයිබලයේ යෙහෝවඃ වහන්සේ නැහැ! මට මේක එපා” යයි කියා සිටියා ය. ඈ එය බිමට විසි කෙරුවා ය. මවිත වූ මම එහි ඇතුල් පිටු පරික්ෂා කළෙමි. ප්‍රථමයෙන් ම යෙසායා 42 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදයට පෙරලීමි. එහි යෙහෝවඃ වහන්සේගේ නාමය, “ස්වාමින් වහන්සේ” යනුවෙන් අනුයුක්ත කර තිබිණි. මම අනෙක් ශුද්ධ ලියවිලි පරීක්ෂා කොට බැලුවෙමි. නමුත් මට යෙහෝවඃ යන දිව්‍ය නාමය සොයා ගත නොහැකි විය. අකෙමී සංසිඳුණේ, පැරණි ජපන් බසින් වූ මගේ පැරණි බයිබලයෙන් යෙහෝවඃ වහන්සේගේ නම යළිත් ඈට පෙන් වූ පසු ව ය.
නැවත ජපානයට පැමිණීම
අපි 1959 දී යළි ජපානයට පැමිණ, කෝබේ හි සැනෝමියා සභාව සමඟ ඇසුරු කළෙමු. යෙහෝවඃ වහන්සේට කෘතඥ වීමට මා හට බොහෝ හේතු තිබුණෙන්, පුරෝගාමියෙක් හෙවත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේව සේවිකාවක් වීමෙන් යෙහෝවඃ වහන්සේට වූ මගේ කෘතඥතාවය පෙන්වීමට මට වුවමනා විය. පුරෝගාමි සේවය තුළ මම බොහෝ සෙයින් වෙහෙසී වැඩ කළෙමි. ප්‍රතිඵලයක් වශයෙන්, නිවාස බයිබල් පාඩම් බොහොමයක් පවත්වන්නට මට හැකි වූ අතර, 70 සිට 80 දක්වා දෙනෙකුට සත්‍යයට පැමිණීමට උපකාර කිරීමේ ප්‍රීතිය මම අත් දැක්කෙමි. මගේ සැමියා සහ දියණිය ව රැක බලා ගන්නා අතරේ දී, සෑම මසක ම ක්ෂේත්රයේ පැය 150කට වඩා වැඩ කරමින්, කලකට, විශේෂ පුරෝගාමියෙකු ලෙස සේවය කරන්නට පවා වරප්‍රසාද ලැබු යෙමි.
අප තායිවානයේ වසර 30කට වඩා වැඩි කලක් ජීවත් වී තිබුණෙන්, ජපානයේ ජීවිතය සංස්කෘතිකමය වශයෙන් කම්පනයක් වූ අතර, පරීක්ෂාකාරී අත් දැකීම් කිහිපයක් මූණ පෑමට සිදු වුණි. මීට අවුරුදු ගණනාවකට පෙර සහෝදර බැරී පවසා තිබුණාක් මෙන්, එවැනි අවස්ථාවන් හි දී, ආකෙමී මා හට මගේ සැනසීම හා අනුබලය බවට පත් වූවා ය. මා කනස්සලු ස්වභාවයකින් සිටින විට, ඈ මට කියන්නේ: “අම්මා, ධෛර්යවත් වන්න. යෙහෝවඃ වහන්සේ කාරණාවල් හරි ගස්සාවි.” “ඔව් උන් වහන්සේ එසේ කරාවි” මම පිළිතුරු දෙමින් ඈ ව තදින් වැළඳ ගන්නෙමි. මොනතරම් දිරිගැන්වීමේ උල්පතක් ද! යෙහෝවඃ වහන්සේට ස්තුති කරනවා හැරෙන්නට මට කළ හැකි වෙන කිසිවක්නැත!
මගේ දියණිය ව යෙහෝවඃ වහන්සේට පුද කිරීම
ආකෙමි වයස අවුරුදු 7 දී ප්‍රචාරිකාවක් බවට පත් වූ අතර, වයස අවුරුදු 12 දී බව්තීස්ම වූවා ය. ඒ 1963 ග්‍රීෂ්ම කාලයයි. මම හැකිතාක් දුරට ඈ සමඟ කාලය ගත කිරීමට උත්සාහ කළෙමි. (ද්විතීය කථාව 6:6, 7) ඇගේ නව යොවුන් අවධියේ යම් අවස්ථාවල දී ගැටලු තිබූ නමුත්, අපගේ සභාවට එවනු ලැබූ විශේෂ පුරෝගාමින්ගේ කදිම ආදර්ශයන් හා දිරිගැන්වීම් හේතු කොට ගෙන, නව ප්‍රදේශයන් හි පුරෝගාමි සේවය කිරීම, ආකෙමි අවසානයේ දී ඇගේ ඉලක්කය කර ගත්තා ය.
වර්ෂ 1968, පළාත් සමුළුවේ දී, බයිබල් නාට්‍යයේ යෙප්තාගේ දියණියගේ චරිතය ඈ නිරූපනය කළා ය. මා මෙතෙක් කලක් ආදරයෙන් රැක බලා ගත් මගේ දියණිය ව, යෙප්තා කළාක් මෙන්, පූර්ණ කාලීන සේවය සඳහා යෙහෝවඃ වහන්සේට කැප කිරීමට නාට්‍යය නරඹද්දී, මම තීරණය කළෙමි. මගේ දියණිය මා ළග නොමැතිව තත්ත්වය කුමක් වේවි ද? මා ඒ වන විටත් වයස අවුරුදු 60කට වඩා වූ බැවින්, එය අභියෝගයක් විණි.
වර්ෂ 1970 දී, අපගේ දියණියට අප ව හැරයන්නට කාලය පැමිණියේ ය. ඈ මගේ සැමියාගේ අවසරය ගෙන පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමට කියොටෝ නුවර බලා ගියා ය. අපගේ හැඟීම් අවබෝධ කර ගත් ඇගේ හදවත කැකෑරී යනවාක් මෙන් පෙනිණි. වෙන්ව යාමේ ශුද්ධ ලියවිලි පදය වශයෙන් ගීතාවලිය 126:5, 6 මම ඈ වෙත උපුටා දැක්වීමි: “කඳුලු සහිතව වපුරන්නෝ ප්‍රීතියෙන් කපන්නෝය. ඔහු බීජ මල්ල රැගෙන හඬමින් පිටත්ව යන්නේ නුමුත්, තමාගේ ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් එන්නේය.” මෙම වචන මගේ හදවතට ද දිරිගැන්වීමක් විණි.
ආකෙමි විවාහ වූවායින් පසු ව, ඈ ඇගේ සැමියා සමඟ නොකඩවා විශේෂ පුරෝගාමි සේවයේ යෙදුණා ය. ඇගේ සැමියා 1977 දී චාරිකා අවේක්ෂකයෙක් වශයෙන් පත් කරනු ලැබූ දා සිට ඔවුහු සංචාරක සේවයේ නියැලී සිටිති. මම නිති පතා සිතියමක් දිග හැර මගේ දියණිය සමඟ සිතියමෙන් “සංචාරය” කරන්නෙමි. ඔවුන්ගේ අත් දැකීම් අසන්නට ලැබීම මහත් සතුට ගෙන දෙන්නක් වන අතර, මගේ දියණිය මාර්ගයෙන් බොහෝ සහෝදරියන් මට හඳුනා ගැනීමට හැකි විණි.
මම දැනටමත් 86 වෙනි වියේ පසු වෙන්නියක්මි. ගත වී ගිය දවස් හරියට පෙනෙන්නේ, රාත්‍රියේ දුටු සිහිනයක් මෙන් ය. පෙර දී කළ තරම් වැඩ කරන්නට මට බැරි වුවත්, ක්ෂේත්‍ර සේවය මට තවමත් ප්‍රීතියක් ගෙන දෙයි. මා සත්‍ය ඉගෙන ගත් දා පටන් ගත වූ අවුරුදු 60 ගැන මෙනෙහි කරන විට, දෙවියන් වහන්සේගේ ස්ථීරසාර පොරොන්දුවලින් මගේ හදවත පිනා යයි. එසේය, යෙහෝවඃ වහන්සේ පක්ෂපාත අය සමඟ පක්ෂපාත ලෙස ක්‍රියා කොට, බහුල වූ ප්‍රීතියක් නෙලා ගැනීමට ඉඩ දෙන සේක.—ගීතාවලිය 18:25. w91 9/1