ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍යරූපවිලාශ වීම ඔබට බලපාන ආකාරය
මිනිසුන් සතර දෙනෙක් උස් වූ කන්දක් නැග්ගා පමණි. එහි මුදුනේ පුදුම සහගත යමක් සිදු විය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයින් තිදෙනෙක් තිගැස්සී බලා සිටිය දී, උන් වහන්සේ ඔවුන්ගේ ඇස් ඉදිරියේ වෙනස් වීමකට භාජනය වූ සේක. මෙම හද දනවන සිද්ධිය පිළිබඳ ව, ශුභාරංචි ලේඛක මාර්ක්ගේ වාර්තාවට සවන් දෙන්න:
“යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද පමණක් වෙන්කොට, ඔවුන් තමන් සමග උස් කන්දකට ගෙනගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක් වූ සේක. උන්වහන්සේගේ වස්ත්‍ර පොළොවෙහි කවර අපුල්ලන්නෙකුටවත් සුදු කරන්ට බැරි තරම් ඉතා සුදුවී දීතිමත්විය. එවිට එලියා මෝසෙස් සමග ඔවුන්ට පෙනුණේය. ඔව්හු යේසුස්වහන්සේ සමග කථාකරමින් සිටියෝය. පේතෘස් යේසුස්වහන්සේට කථාකොට: රබ්බි, මෙහි සිටීම අපට හොඳය. ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මණ්ඩප තුනක් සාදමු යයි කීවේය. මක්නිසාද ඔවුන් ඉතා භයපත්වූ බැවින්, කිය යුතු දේ කුමක්දැයි ඔහු නොදැන සිටියේය. තවද වලාපටලයක් පැමිණ ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. එවිට: මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහුට ඇහුම්කන්දීපල්ලායයි වලාකුළෙන් හඬක් නික්මුණේය. ඔව්හු හදිසියෙන් වටකර බලා, තමුන් සමග යේසුස්වහන්සේම මිස අන් කිසිවෙකු තවත් නුදුටුවෝය.”—මාර්ක් 9:2-8.
කල්පනා කර බලන්න! යේසුස් වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබලෙමින් තිබිණ. (මතෙව් 17:2) උන් වහන්සේගේ වස්ත්‍ර “පොළොවෙහි කවර අපුල්ලන්නෙකුටවත් සුදු කරන්ට බැරි තරම්” ඉතා සුදු වී බැබළෙමින් තිබිණ. ස්වකීය පුත්‍රයාණන් පිළිබඳ ප්‍රකාශයක් කරමින් දෙවියන් වහන්සේගේ ම බලගතු කටහඬ ද එහි ඇසීමට තිබිණ. කොතරම් විස්මය ජනක සිද්ධියක් ද!
“අන්‍යරූපවිලාශ වීම” මෙහි භාවිතා කර ඇති ග්‍රීක් වදන “වෙනත් ස්වරූපයකට මාරු වීම” යනුවෙන් අදහස් කරයි. එය, සිත අලුත් කර ගැනීමෙන් “අන්‍යාකාර” වන ලෙසට රෝම 12:2 හි ක්‍රිස්තියානින්ට වූ උපදේශයෙහි ද දක්නට ලැබේ.—ඩබ්. ඊ. වයින්ගේ ඇන් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් න ටෙස්ටමන්ට් ව’ඩ්ස්, IV වන කාණ්ඩය, 148 වන පිටුව.
එසේ ය, පො.යු. 32 පාස්කු උත්සවයෙන් යම් කලකට පසු යේසුස් වහන්සේ අන්‍යරූපවිලාශ වූ ගත් අවස්ථාවෙහි චමත්කාරජනක සිද්ධියක් සිදු විය. මෙම ආශ්චර්යය කරා එළඹූ පෙර සිද්ධි කවරේ ද? ඊට යම් විශේෂිත අරමුණක් තිබුණේ ද? මෝසෙස් හා එලියා ඊට සම්බන්ධ වූයේ මක්නිසා ද? එමෙන් ම ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍යරූපවිලාශ වීම ඔබට බලපාන්නේ කෙසේ ද?
ඊට පෙර සිදුවීම්
කන්ද නැගීමට පෙර, යේසුස් වහන්සේ හා සිය ගෝලයෝ පිලිප්පි කායිසාරියට කිට්ටුවෙන් සිටියහ. මෙම නගරය හෙර්මොන් කන්දට කිලෝ මීටර් 25ක් නිරිත දිගින් පිහිටි නිසා, අන්‍යරූපවිලාශ වීම මෙහි එක් උස් වූ නෙරුවක සිදු වන්නට ඇත.
“උස් කන්ද” වෙත ඇවිදින අතරතුරේ දී යේසුස් වහන්සේ සිය ගෝලයින්ගෙන්: “මා කවරෙක් කියා මනුෂ්‍යයෝ කියද්දැයි” ඇසූ සේක. ඔවුහු පිළිතුරු දෙමින්: “යොහන් බව්තීස්තය කියාත්, සමහරෙක් එලියාය කියාත් සමහරෙක් අනාගතවක්තෘවරුන්ගෙන් එක් කෙනෙක්ය කියාත් කියතියි” කීවෝ ය. එවිට ක්‍රිස්තුස් වහන්සේ: “නුමුත් නුඹලා මා කවරෙක් කියා කියන්නහුදැයි” ඇසූ සේක. පේතෘස් උත්තර දෙමින්: “ඔබ ක්‍රිස්තුස්වහන්සේයයි” කීවේ ය. මෙහි දී යේසුස් වහන්සේ “තමන් ගැන කාටවත් නොකියන්ට ඔවුන්ට අණකළසේක. එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දේ විඳින්ටත්, ප්‍රධානීන්ද නායක පූජකයන්ද ලියන්නන්ද විසින් එපාකරනු ලබන්ටත්, මරනු ලබන්ටත්, තුන් දවසකට පසු නැවත නැගිටින්ටත් ඕනෑ බව ඔවුන්ට උගන්වන්ට පටන්ගත්සේක.”—මාර්ක් 8:27-31.
යේසුස් වහන්සේ තවදුරටත් මෙම පොරොන්දුව දීමෙහි නිරත වූ සේක: “මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලයෙන් යුක්තව පැමිණ තිබෙන බව දකින තෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝය.” (මාර්ක් 9:1; මතෙව් 16:28) “සදවසකට පසු,” යේසුස් වහන්සේ යාච්ඤා කරමින් සිටිය දී පේතෘස්, යාකොබ් හා යොහන් ඉදිරියේ අන්‍යරූපවිලාශ වූ අවස්ථාවෙහි මෙම පොරොන්දුව ඉෂ්ට විය. මෙය ඉන් “අට දවසකට” පසු සිදු වූ බව ලූක් පවසන අතර, පෙනෙන හැටියට, එසේ වූයේ ඔහු පොරොන්දුවේ දවස හා එය ඉෂ්ට වූ දවස ඇතුළත් කළ නිසා විය යුතු ය.—මතෙව් 17:1, 2; මාර්ක් 9:2; ලූක් 9:28.
සිහිනයක් හෝ සැබවින් සිදු නොවූවක් නොවේ
යේසුස් වහන්සේගේ අන්‍යරූපවිලාශ වීම සිහිනයක් නොවී ය. ප්‍රේරිතයින් තිදෙනාට ම එක ම සිහිනය දැකිය නොහැකි අතර යේසුස් වහන්සේ එය ‘දර්ශනයක්’ ලෙස හැඳින් වූ සේක. එය සැබෑ නොවූ දෙයක් යයි ඉන් අඟවන්නේ නැත, මන්දයත් මතෙව් 17:9 හි යොදා ඇති ග්‍රීක් වදන වෙනත් තැන්වල “දැකීම NW” ලෙස යොදා ඇති නිසා ය. (ක්‍රියා 7:31) මෙබැවින් මෙය නිරීක්ෂණය කළ අය සහමුලින් ම අවදි ව සිටි අතර සිය ඇස් හා කන්වලින් සිදු වෙමින් තිබූ දෙය සැබවින් ම දුටූහ, ඇසූහ.—ලූක් 9:32.
හොඳින් අවදි ව එහෙත් කිව යුතු දෙය නොදැන සිටි පේතෘස්, මණ්ඩප තුනක්—යේසුස් වහන්සේට එකක් ද, මෝසෙස්ට එකක් ද, එලියාට එකක් ද—සෑදීම යෝජනා කළේ ය. (ලූක් 9:33) පේතෘස් කථා කරමින් සිටිය දී පැමිණි වලාපටලය, ප්රත්යක්ෂ ලෙස ම කාන්තාරයේ ඉශ්රායෙල්වරුන්ගේ සම්මුඛවීමේ කූඩාරමේ මෙන්, කන්ද මත දෙවියන් වහන්සේගේ පැමිණ සිටීම ඇඟවී ය. (නික්මයාම 40:34-38; ලූක් 9:34) තව ද “පියවූ දෙවියන්වහන්සේ,” “මේ මාගේ පුත්‍රයාණෝය, මාගේ තෝරාගත් තැනැත්තේය. මොහුට ඇහුම්කන්දීපල්ලා” යයි ප්‍රකාශ කළ විට නිසැක ව ම ප්රෙරිතයින් නිදාගෙන සිටියේ නැත.—2 පේතෘස් 1:17, 18; ලූක් 9:35.
මෝසෙස් දකිනු ලැබීමට හේතුව
අන්‍යරූපවිලාශ වීම සිදු වූ අවස්ථාවට ශත වර්ෂ ගණනාවකට පෙර මෝසෙස් මරණයට පත් ව සිටි බැවින්, ඔහු ‘කිසිවක් ගැන නොදැන’ සිටියේ ය. (දේශනාකාරයා 9:5, 10) දාවිත් මෙන්, ඔහු මළවුන්ගෙන් නැවත නැගිටුවා නොතිබූ අතර ම පුද්ගලිකව එහි ප්‍රකාශ වී සිටියේ ද නැත. (ක්‍රියා 2:29-31) එහෙත් මෙම දර්ශනයේ දී ක්‍රිස්තුස් වහන්සේ සමඟ මෝසෙස් දකිනු ලැබීමට හේතු වූයේ කුමක් ද?
“මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේ” යයි දෙවියන් වහන්සේ මෝසෙස්ට පවසා තිබුණි. (ද්විතීය කථාව 18:18) පේතෘස් නිශ්චිතාකාරයෙන් මෙම අනාවැකිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අදාළ කළේ ය. (ක්‍රියා 3:20-23) යේසුස් වහන්සේ හැරුණු කොට, මෝසෙස් වනාහි දෙවියන් වහන්සේ විසින් ඉශ්රායෙල් ජාතියට එවූ ශ්‍රේෂ්ඨතම දිවැස්වරයා විය.
මෝසෙස් හා වඩා උතුම් මෝසෙස් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අතර සමානත්වයන් ඇත. උදාහරණයක් වශයෙන්, ඔවුන් ළදරුවන් ව සිටිය දී, ඔවුන් දෙදෙනාගේ ම ජීවිත දුෂ්ට පාලකයින් නිසා අවදානම් තත්ත්වයකට ලක් කරන ලද මුත් ඔවුන් නොනැසී ජීවත් වීම ගැන බවට දෙවියන් වහන්සේ වගබලා ගත් සේක. (නික්මයාම 1:20–2:10; මතෙව් 2:7-23) යෙහෝවඃ වහන්සේගේ විශේෂිත සේවකයන් ලෙස ඔවුන්ගේ වෘත්තීන්වල ආරම්භයේ දී මේ මනුෂ්‍යයින් දෙදෙනා ම දවස් 40 ක් නිරාහාරව සිටියහ. (නික්මයාම 24:18; 34:28; ද්විතීය කථාව 9:18, 25; මතෙව් 4:1, 2) තව ද මෝසෙස් මෙන් ම යේසුස් වහන්සේ ද දෙවියන් වහන්සේගේ බලයෙන් ආශ්චර්යයන් සිදු කළ සේක.—නික්මයාම 14:21-31; 16:11-36; ගීතාවලිය 78:12-54; මාර්ක් 4:41; ලූක් 7:18-23; යොහන් 14:11.
යේසුස් වහන්සේ ආත්මික විමුක්තියක් ගෙනෙන්නා සේ ම, දෙවියන් වහන්සේ විසින් ඉශ්රායෙල් මිසරයේ වහල්කමින් මුදවා ගැනීමට මෝසෙස් පාවිච්චි කළ සේක. (නික්මයාම 12:37-14:31; යොහන් 8:31, 32) දෙවියන් වහන්සේ හා ඉශ්රායෙල්වරුන් අතර ව්‍යවස්ථා ගිවිසුමට මැදහත් වීමට මෝසෙස්ට වරප්‍රසාදය ලැබුණු අතර යේසුස් වහන්සේ නව ගිවිසුමේ මැදහත්කරුවාණන් වන සේක. (නික්මයාම 19:3-9; 34:3-7; යෙරෙමියා 31:31-34; ලූක් 22:20; හෙබ්‍රෙව් 8:3-6; 9:15) යේසුස් වහන්සේ යෙහෝවඃ වහන්සේගේ පරිශුද්ධ නාමය මහිමයෙන් පූර්ණ කර ඇත්තා සේ ම, යෙහෝවඃ වහන්සේ ඉශ්රායෙල්වරුන්, මිසරවරුන්, මෙන් ම වෙනත් අය ඉදිරියේ තමන් වහන්සේට නාමයක් සාදනු පිණිස මෝසෙස් උපයෝගි කර ගත් සේක. (නික්මයාම 9:13-17; 1 සාමුවෙල් 6:6; යොහන් 12:28-30; 17:5, 6, 25, 26) අන්‍යරූපවිලාශ වූ යේසුස් වහන්සේ සමඟ මෝසෙස්ගේ පෙනී සිටීම සිදු කිරීමෙන්, ක්‍රිස්තුස් වහන්සේ වඩාත් උත්තරීතර පරිමාණයකට මෙම තත්ත්වයන්හි සේවය කරනු ඇති බව දෙවියන් වහන්සේ පෙන්වූ සේක.
එලියා පෙනී සිටීමට හේතුව
මළා වූ දිවැස්වර එලියා නැවත නැගිටුවනු නොලැබූ නමුත්, හෙතෙම අන්‍යරූපවිලාශ වීමේ දර්ශනයෙහි පෙනී සිටීම උචිත වූයේ ය. නිර්මල නමස්කාරය නැවත ඇති කිරීමෙහිත්, යෙහෝවඃ වහන්සේගේ නාමයට ගෞරව ගෙන ඒමෙහිත් මාහැඟි කාර්ය භාරයක් එලියා සිදු කළේ ය. මෙම පොළොව මත සිටිය දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එය ම කළ අතර, මෙසියානු රාජ්‍යය කරණකොටගෙන නිර්මල ආගම නැවත ඇති කරන්නටත්, සිය ස්වර්ගික පියාණන් නිදොස් බව ඔප්පු කරන්නටත්, මීටත් වැඩි යමක් කරනු ඇත.
එලියාගේ වැඩය අනාගත ක්‍රියාකාරකම් පෙරඡායාකොට දැක් වූ බව දිවැස්වර මලාකි පෙන්වී ය. මලාකි කරණකොටගෙන දෙවියන් වහන්සේ මෙසේ පැවසූ සේක: “බලව, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ප්‍රොපේතවූ එලියා නුඹලා වෙතට එවන්නෙමි. මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් [හෘදය NW] දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් [හෘද NW] පියවරුන් වෙතටත් හරවන්නේය.”—මලාකි 4:5, 6.
මෙම අනාවැකිය යොහන් බව්තීස්තගේ කාර්ය භාරය තුළ සුළු පරිමාණයක ඉෂ්ට වීමක් අත් දිටී ය. අන්‍යරූපවිලාශ වීමෙන් පසු, මෙසියස් වහන්සේගේ ප්‍රකාශ වීමට පෙරාතුව—එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ කුමක් නිසා කියනු ඇත්දැයි සිය ගෝලයින් ඇසූ අවස්ථාවෙහි, යේසුස් වහන්සේ මෙය හුවා දැක් වූ සේක. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “එලියා එන්නේමය, ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේය. නුමුත් නුඹලාට කියමි—එලියා ආවේය, ඔව්හු ඔහු නෑඳින, යමක් යමක් කරන්ට කැමතිවූවෝද ඒ ඒ දේ ඔහුට කළෝය. එසේ ම මනුෂ්‍ය පුත්‍රයාත් ඔවුන්ගෙන් පීඩා විඳින්නේය.” වාර්තාව තවදුරටත් මෙසේ එකතු කරයි: “උන් වහන්සේ යොහන් බව්තීස්ත ගැන තමුන්ට කථාකළ බව එකල ගෝලයෝ තේරුම් ගත්තෝය.” —මතෙව් 17:10-13.
ව්‍යවස්ථා ගිවිසුමට එරෙහි ව සිටි යුදෙව්වන්, සිය පාප වෙනුවෙන් පසුතැවිලි වූ කළ, යොහන් බව්තීස්ත ඔවුන් ව බව්තීස්ම කරමින් එලියා හා සමාන කාර්ය භාරයක් ඉටු කළේ ය. වඩාත් වැදගත් ලෙසින්, යොහන් මෙසියස් වහන්සේගේ පෙර මඟ සලසන්නා වූ අතර එමගින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව හඳුන්වා දුන්නේ ය. (මතෙව් 11:11-15; ලූක් 1:11-17; යොහන් 1:29) එහෙත් යොහන්ගේ කාර්ය භාරය මලාකිගේ අනාවැකියේ සුළු පරිමාණයේ ඉෂ්ට වීමක් වූයේ මක්නිසා ද?
මෙම දර්ශනයෙහි, එලියා යේසුස් වහන්සේ සමඟ කථා කරමින් සිටීම දක්නා ලදී. මෙය යොහන් බව්තීස්තගේ මරණයෙන් පසු සිදු වූ අතර, මෙසේ අනාගතයේ දී එලියාගේ කාර්ය භාරයක් ඉෂ්ට වනු ඇති බව ඇඟවී ය. මීට අමතර ව, මෙම කාර්ය භාරය “යෙහෝවඃ වහන්සේගේ මහත් එමෙන් ම භය උපදවන දවසට” පෙර සිදු වනු ඇති බව එම අනාවැකිය පෙන්වී ය. වේගයෙන් ළඟා වන්නා වූ එම සිද්ධියට හර්–මගෙදොන්හි නැතහොත් අර්මගෙදොනයෙහි “සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධය” ද අයත් වනු ඇත. (එළිදරව් 16:14-16) එවිට, මෙය දෙවියන් වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයේ අනාගතික ස්ථාපිතයට පෙරාතුව, එලියා හා ඔහුගේ අනුපූරකයා වූ එලිෂාගේ ක්‍රියාකාරකම්වලට අනුරූප වන වැඩක් සිදු වනු ඇති බව අදහස් කළේ ය. තව ද දැන් ශත වර්ෂයකට වැඩි කාලයක් පුරා, යෙහෝවඃ වහන්සේගේ නවීන දින සාක්ෂිකරුවෝ නිර්මල නමස්කාරය යළි ඇති කිරීම හා දෙවියන් වහන්සේගේ නාමය ප්‍රශංසා කිරීම හා සම්බන්ධ කාර්යයක් සිදු කරමින් සිටිති.—ගීතාවලිය 145:9-13; මතෙව් 24:14.
එහි අරමුණ
මෙම අන්‍යරූපවිලාශ වීම තමන්ට විඳින්නට තිබූ වේදනාවන් හා මරණය උදෙසා යේසුස් වහන්සේ ව ප්‍රබල ව ශක්තිමත් කරන්නට ඇත. ස්වකීය අනුමැතිය ලත් පුත්‍රයාණන් ලෙස සිය ස්වර්ගික පියාණන් කථා කරනු ඇසීම, යේසුස් වහන්සේගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නට ඇත. එහෙත් අන්‍යරූපවිලාශ වීම අන්‍යයන් සඳහා කළේ කුමක් ද?
යේසුස් වහන්සේගේ අන්‍යරූපවිලාශ වීම එය බලා සිටි අයගේ ද ඇදහිල්ල ශක්තිමත් කළේ ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වනාහි දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව එය ඔවුන්ගේ මනස්වල තහවුරුවක් ලබා දුණි. ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේගේ ප්‍රධාන නියෝජිතයා, එනම් වාක්‍යයාණෝ, තමන් අතරේ සිටි බැවින්, දෙවියන් වහන්සේගේ ම කටහඬ මෙසේ ප්‍රකාශ කරන අයුරු ඔවුනට ඇසිණි: “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි.” යේසුස් වහන්සේ බව්තීස්ම ලද අවස්ථාවෙහි ද යෙහෝවඃ වහන්සේ සමානාකාරයෙන් සාක්ෂි දැරුව ද, අන්‍යරූපවිලාශ වීමේ දී ගෝලයින් ස්වකීය පුත්‍රයාට සවන් දිය යුතු බව දෙවියන් වහන්සේ තව දුරටත් පැවසූ සේක.—මතෙව් 3:13-17; 17:5; යොහන් 1:1-3, 14.
අන්‍යරූපවිලාශ වීම වෙනත් ආකාරයකට ද ඇදහිල්ල ශක්තිමත් කළේ ය. මෙම දර්ශනය තුළ, යේසුස් වහන්සේ, “මෝසෙස්,” හා “එලියා” “යෙරුසලමේදී සිදුකරන්ට තිබුණු [ක්‍රිස්තුස් වහන්සේගේ] ඉකුත්වීම” ගැන කථා කළෝ ය. (ලූක් 9:31) “ඉකුත්වීම” එ’ක්සො·ඩොස් නම් ග්‍රීක් වචනයේ රූපාකාරයකින් පරිවර්තනය කර ඇත. මෙම නික්මයාමට, නැතහොත් ඉකුත්වීමට, පැහැදිලි ව ම යේසුස් වහන්සේගේ මරණය හා දෙවියන් වහන්සේ විසින් ආත්ම ජීවිතයට උන් වහන්සේගේ නැවත නැගිටීම අයත් විය. (1 පේතෘස් 3:18) මෙසේ අන්‍යරූපවිලාශ වීම ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීමෙහි ඇදහිල්ල වර්ධනය කළේ ය. විශේෂාකාරයෙන් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ මෙසියානු රාජ්‍යයේ රජු වනු ඇති බවට ඒත්තු ගත හැකි සාක්ෂි ඉදිරිපත් කරමින් එය ඇදහිල්ල ගොඩ නැගී ය. එපමණක් නොව, මෙම දර්ශනය එම රාජ්‍යය තේජාන්විත වන බව ද පෙන්වී ය.
අන්‍යරූපවිලාශ වීම ශුද්ධ ලියවිලිමය අනාවැකි කෙරෙහි ඇදහිල්ල ද ශක්තිමත් කළේ ය. ඉන් වසර 32කට පමණ පසුව (පො.යු. 64 පමණ) එවිටත් පේතෘස් එම අත් දැකීම මතකයට නගමින් මෙසේ ලීවේ ය: “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයත් ඊමත් අප නුඹලාට දැන්වූ කල, උන්වහන්සේගේ මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදනලද ප්‍රබන්ධ අනුව එසේ නොකෙළෙමුව. මක්නිසාද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළවූ කල්හි, පියවූ දෙවියන්වහන්සේගෙන් ගෞරවයත් තේජසත් උන්වහන්සේ ලැබූසේක. උන්වහන්සේ සමග ශුද්ධවූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමුව. ඊට වඩා ස්ථීරකරනලද්දාවූ අනාගතවාක්‍යය අපට තිබේ. . . . අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් [හෘද NW] තුළෙහි පායන තුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය.”—2 පේතෘස් 1:16-19.
ඔබට එහි අර්ථය
එසේ ය, පේතෘස්, යේසුස් වහන්සේගේ අන්‍යරූපවිලාශ වීම දෙවියන් වහන්සේගේ අනාවැකිවල බලගතු ස්ථිර කිරීමක් ලෙස සැලකුවේ ය. ප්‍රේරිත යොහන් පවා මෙසේ පැවසූ විට, මෙම දර්ශනය කෙරෙහි යම් සඳහනක් කරන්නට ඇත: “වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.” (යොහන් 1:14) සමානාකාරයෙන්, අන්‍යරූපවිලාශ වීම යෙහෝවඃ වහන්සේගේ අනාවැකි පිළිබඳ ව ඔබගේ ඇදහිල්ල ද ගොඩ නැගිය හැකි ය.
අන්‍යරූපවිලාශ වීම හා ඒ හා සම්බන්ධ සිදුවීම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් මෙන් ම පොරොන්දු වූ මෙසියස් වහන්සේ බවට ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කළ හැකි ය. එය ස්වර්ගයෙහි ආත්ම ජීවිතයකට යේසුස් වහන්සේගේ නැවත නැගිටුවීම කෙරෙහි ඔබගේ විශ්වාසය ප්‍රබල ව ශක්තිමත් කළ හැකි ය. අන්‍යරූපවිලාශ වීම ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය හා රාජ්‍යය බලය පිළිබඳ පූර්ව දර්ශනයක් වූ බැවින්, මෙම පුදුම සහගත දර්ශනය දෙවියන් වහන්සේගේ ආණ්ඩුව කෙරෙහි ඔබගේ ඇදහිල්ල ද වැඩි කළ යුතු ය.
ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍යරූපවිලාශ වීම, යේසුස් වහන්සේගේ ප්රකාශවීමෙහි යථාර්ථයක් වන්නා වූ අපගේ දවස කෙරෙහි යොමු දැක් වූ බව දැන ගැනීම විශේෂාකාරයෙන් ඇදහිල්ල ශක්තිමත් කරන්නකි. (මතෙව් 24:3-14) වර්ෂ 1914 පටන් උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පත් කරන ලද රජාණන් වශයෙන් ස්වර්ගයේ පාලනය කරමින් සිටින සේක. දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද අධිපතිකම හා බලය, නව ලොවකට මාර්ගය විවෘත කරමින්, ඉතා ඉක්මනින් ම දිව්‍ය පාලනයේ සියලු සතුරන්ට එරෙහි ව ක්‍රියාත්මක කරනු ලබනවා ඇත. (2 පේතෘස් 3:13) යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍යරූපවිලාශ වීම දක්වා දිව යන පුදුමාකාර දේවල් කෙරෙහි ඔබ ඇදහිල්ල තබන්නෙහි නම්, ඔබට නිමාවක් නැති ආශීර්වාදයන් භුක්ති විඳිය හැකි ය. w91 9/15