යෙහෝවඃ වහන්සේගේ ගැලවීමේ හස්තය කෙරෙහි දැඩි විශ්වාසය තබන්න
“ස්වාමීන්වහන්ස [අහෝ යෙහෝවඃ වහන්ස NW], . . . උදයක් පාසා ඔවුන්ගේ [අපගේ NW] බල-හස්තයද විපත්ති කාලයේදී අපේ ගැළවීමද වුව මැනව.”—යෙසායා 33:2.
1. යෙහෝවඃ වහන්සේට බලවත් හස්තයක් ඇත්තේ කිනම් අර්ථයකින් ද?
යෙහෝවඃ වහන්සේට බලවත් හස්තයක් ඇත. ඇත්ත වශයෙන් ම, “දෙවියන්වහන්සේ ආත්මයක්” වන බැවින්, එය මාංසමය හස්තයක් නොවන්නේ ය. (යොහන් 4:24) බයිබලයේ, සංකේතමය හස්තය බලය යෙදවීමට ඇති හැකියාව නියෝජනය කරයි. මෙසේ, දෙවියන් වහන්සේ ස්වකීය ජනයා ගලවනුයේ ස්වකීය හස්තයෙනි. ඇත්ත වශයෙන් ම, ‘එඬේරෙකු මෙන් දෙවියන් වහන්සේ තමන්ගේ රැළ පෝෂ්යකරන සේක, උන් වහන්සේ බැටළුපැටවුන් ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරන’ සේක. (යෙසායා 40:11; ගීතාවලිය 23:1-4) ස්වකීය ප්‍රේමනීය හස්තයෙහි සිටින විට, යෙහෝවඃ වහන්සේගේ ජනයාට කොතරම් සුරක්ෂිතභාවයක් දැනේ ද!—ද්විතීය කථාව 3:24 සසඳන්න.
2. මෙහි දී අපගේ සැලකිල්ලට භාජනය වීමට උචිත වන්නේ කිනම් ප්‍රශ්න ද?
2 යෙහෝවඃ වහන්සේගේ හස්තය, අතීතයේ හා වර්තමානයේ ස්වකීය ජනයා ව ගලවාගෙන ඇත්තේ කෙසේ ද? සමූහයක් හැටියට දෙවියන් වහන්සේ ඔවුනට කිනම් උපකාරයක් පිරිනමන සේක් ද? එමෙන් ම තමන්ගේ සියලු ආපදාවන් තුළ ස්වකීය ජනයාට උන් වහන්සේගේ ගැලවීමේ හස්තය කෙරෙහි දැඩි විශ්වාසය තැබිය හැක්කේ මක්නිසා ද?
ක්‍රියාත්මකව පවතින දෙවියන් වහන්සේගේ ගැලවීමේ හස්තය
3. ඉශ්රායෙල්වරුන්ගේ මිසරයෙන් ගැලවීම කුමක් නිසා සිදු වූ බව ශුද්ධ ලියවිලි දක්වයි ද?
3 වසර 3,500කට පෙර ඉශ්රායෙල්වරුන් මිසරයේ වහල් භාවයෙන් ගලවා ගැනීමට පෙර, දෙවියන් වහන්සේ ස්වකීය දිවැස්වර මෝසෙස්ට මෙසේ වදාළ සේක: “මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගු කළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින්ද නුඹලා මුදන්නෙමි.” (නික්මයාම 6:6) ප්‍රේරිත පාවුල්ට අනුව, දෙවියන් වහන්සේ “බලවත් බාහුවකින්” ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පිටතට ගෙනා සේක. (ක්‍රියා 13:17) කෝරාගේ පුත්‍රයෝ මෙසේ පවසමින් පොරොන්දු වූ දේශය යටත් කර ගැනීමේ ගෞරවය දෙවියන් වහන්සේ මත පැවරූහ: “මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.”—ගීතාවලිය 44:3.
4. අෂූරීයේ සතුරුකම් පැවති කාලයේ දී යෙහෝවඃ වහන්සේගේ ගැලවීමේ හස්තය කෙරෙහි දැඩි විශ්වාසය විපාක දායක වූයේ කෙසේ ද?
4 යෙහෝවඃ වහන්සේගේ හස්තය අෂූරීය සතුරුකම් සිදු වූ කාලයේ ද ස්වකීය ජනයාගේ උපකාරය පිණිස ඉදිරිපත් විය. ඒ කාලයේ දිවැස්වර යෙසායා මෙසේ යාච්ඤා කළේ ය: “ස්වාමීන්වහන්ස [යෙහෝවඃ වහන්සේ NW], අපට දයාවුව මැනව; අපි ඔබ ගැන බලාසිටියෙමුව. උදයක් පාසා ඔවුන්ගේ [අපගේ NW] බලහස්තයද විපත්ති කාලයේදී අපේ ගැළවීමද වුව මැනව.” (යෙසායා 33:2) දෙවියන් වහන්සේගේ දේව දූතයා අෂුර්වරුන්ගේ 1,85,000ක් මරා දමමින්, සෙනකෙරිබ් රජ ව, වටලන ලද යෙරුසලම වෙතින් “ලජ්ජා මුහුණින් යුක්තව” හරවා යැවූ අවස්ථාවෙහි, එම යාච්ඤාවට පිළිතුරු ලැබිණ. (2 ලේකම් 32:21; යෙසායා 37:33-37) යෙහෝවඃ වහන්සේගේ ගැලවීමේ හස්තය කෙරෙහි දැඩි විශ්වාසය තැබීම සැම විට ම විපාක දායක ය.
5. පළමු වන ලෝක යුද්ධය අවසානයේ දී පීඩා කරන ලද ක්‍රිස්තියානින්ට දෙවියන් වහන්සේගේ බලවත් හස්තය කළේ කුමක් ද?
5 දෙවියන් වහන්සේගේ බලවත් හස්තය පළමු වන ලෝක යුද්ධය අවසානයේ පීඩාවට පත් කරන ලද ආලේපලත් ක්‍රිස්තියානීන් ගැලවී ය. වර්ෂ 1918 දී සිය සතුරන් විසින් පාලක මණ්ඩලයේ මූලස්ථානයට පහරදෙන ලද අතර ප්‍රසිද්ධ සහෝදරයන් සිරගත කරනු ලැබී ය. ලෞකික බලධාරීන්ට භයෙන්, ආලේප ලත් අය සම්පූර්ණයෙන් ම වාගේ සිය සාක්ෂි දැරීමේ වැඩය නැවැත්වූහ. එහෙත් ඔවුහු එහි පුනර්ජීවය සඳහාත්, අක්රියාකාරිත්වයේ පාපයෙන් හා භීතියේ අපවිත්‍රකමෙන් පවිත්‍රකරනු ලැබීම උදෙසාත් යාච්ඤා කළහ. දෙවියන් වහන්සේ සිරගත කරන ලද සහෝදරයන් මුදනු ලැබීමටත්, ඒ සමඟ ම ඔවුන් නිදොස් කරනු ලැබීමටත් සලස්වමින්, ස්වකීය ප්‍රතිචාරය ඔවුන් සඳහා දැක් වූ සේක. වර්ෂ 1919 සිය සමුළුවේ දී ප්‍රකාශ කරන ලද සත්‍යයන්හි විපාකයක් වශයෙනුත්, දෙවියන් වහන්සේගේ සක්‍රිය කරවන්නා වූ ආත්මයේ වැගිර වීම හේතුවෙනුත්, යෝවෙල් 2:28-32හි අවසාන ඉෂ්ට වීමක් වශයෙන් යෙහෝවඃ වහන්සේට අභීත සේවයක් පිරිනැමීමට ආලේප ලත් අය ව ප්‍රබෝධමත් කරනු ලැබී ය.—එළිදරව් 11:7-12.
සභාව තුළ උපකාර
6. සභාවක පවතින් පරීක්ෂාකාරී තත්ත්වයක් විඳදරා ගත හැකි බව අප දන්නේ කෙසේ ද?
6 දෙවියන් වහන්සේ පොදුවේ ස්වකීය සංවිධානයට අනුබල දෙන්නාසේ ම, උන් වහන්සේගේ හස්තය, එහි එක් එක් තැනැත්තා ව ද උසුලන්නේ ය. ඇත්ත වශයෙන් ම, මනුෂ්‍යයන් සියලු දෙනා අසම්පූර්ණ බැවින්, කිසිඳු සභාවක තත්ත්වයන් සම්පූර්ණ නැත. (රෝම 5:12) මෙබැවින් යෙහෝවඃ වහන්සේගේ සමහරක් සේවකයින් ඇතැම් අවස්ථාවල සභාවක් තුළ පරීක්ෂාකාරී තත්ත්වයක් අත්දකින්නට පුළුවන. උදාහරණයක් වශයෙන්, ගායස් ආගන්තුක සහෝදරයන් ව සත්කාරශීලී ව පිළිගනිමින් ‘විශ්වාසනීය ක්‍රියාවක් කළ’ ද, දියොත්‍රෙපස් ඔවුන් පිළිනොගත් අතර ආගන්තුක සත්කාරශීලී වූවන් සභාවෙන් පහ කරන්නට පවා වෑයම් කළේ ය. (3 යොහන් 5, 9, 10) එහෙත්, යෙහෝවඃ වහන්සේ, රාජ්‍ය දේශනා කටයුත්තට අනුබලයක් වශයෙන් තව දුරටත් ආගන්තුක සත්කාරශීලී වීමට ගායස්ටත් අන්‍යයන්ටත් උපකාර කළ සේක. අපගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ඇති තත්ත්වයක් නිවැරදි කිරීම සඳහා උන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබමින්, විශ්වාසනීය ක්‍රියාවන්හි නියැලී සිටීමට දෙවියන් වහන්සේ කෙරෙහි යාච්ඤා පූර්වක රැඳී සිටීම, අපට උපකාරවත් වනු ඇත.
7. පක්ෂපාත ක්‍රිස්තියානින් දෙවියන් වහන්සේට සිය කැපවීම ඉටු කළේ කොරින්ති සභාවේ තිබුණු කිනම් තත්ත්වයන් මධ්‍යයෙහි ද?
7 ඔබ පළමු ශත වර්ෂයේ කොරින්ති සභාවත් සමඟ ඇසුරු කරමින් සිටියේ යයි සිතන්න. එක්තරා අවස්ථාවක, භේදයන් එහි එක්සත් භාවයට තර්ජනය කළ අතර දුරාචාරයට ඉඩ දීම එහි අධ්‍යාත්මික ගුණය අනතුරට ලක් කළේ ය. (1 කොරින්ති 1:10, 11; 5:1-5) ඇදහිලිවන්තයින් එකිනෙකා ලෝකයේ උසාවිවලට ගෙන ගිය අතර සමහරෙක් විවිධ කාරණා සම්බන්ධයෙන් දබර කර ගත්හ. (1 කොරින්ති 6:1-8; 8:1-13) ආරවුල්, ඊර්ෂාව, කෝපය, හා අවුල් සහිත බව ජීවිතය අසීරු කළේ ය. සමහරුන් පාවුල්ගේ බලය ප්‍රශ්නයට ලක් කරමින්, ඔහුගේ කථාව සුළු කර සැලකූහ. (2 කොරින්ති 10:10) එහෙත්, එම සභාවෙහි සිටි පක්ෂපාතී අය එම පරීක්ෂණාත්මක කාලය තුළ දෙවියන් වහන්සේට වූ සිය කැපවීම සම්පූර්ණ කළහ.
8, 9. සභාවක් තුළ අපට පරීක්ෂාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වේ නම්, අප කුමක් කළ යුතු ද?
8 පරීක්ෂාකාරී තත්ත්වයක් පැන නැගෙතොත්, අප දෙවියන් වහන්සේගේ ජනයා සමඟ රැඳී සිටිය යුතු ය. (යොහන් 6:66-69 සසඳන්න.) ඇතැම් පුද්ගලයන් හට ‘අලුත් පුද්ගලිකත්වය’ පැළඳ ගෙන අනුකම්පාව, කරුණාවන්තකම, යටහත්කම, මෘදුකම, හා බොහෝ ඉවසිලිවන්තකම ක්‍රියාවට නැගීමට අන්‍යයන්ට වඩා වැඩි කාලයක් ගත වන බව තේරුම් ගනිමින් අප එකිනෙකා සමඟ ඉවසීමෙන් කටයුතු කළ යුතු ය. දෙවියන් වහන්සේගේ සේවකයින් පසුතලයෙන් ද වෙනස් වන බැවින්, අප සියල්ලන් ම ප්‍රේමය පෙන්වමින් සමාව දිය යුතු ය.—කොලොස්සි 3:10-14.
9 යෙහෝවඃ වහන්සේට වසර බොහොමයක් සේවය කිරීමෙන් පසු, එක්තරා සහෝදරයෙක් මෙසේ පැවසුවේ ය: “යම් දෙයක් මා හට වඩාත් වැදගත් ව පැවතියේ ද, ඒ යෙහෝවඃ වහන්සේගේ දෘශ්‍යමාන සංවිධානයට සමීප ව සිටීම ය. මනුෂ්‍ය වැටහීම මත රැඳී සිටීම කොතරම් අඥානදැයි මගේ පෙර අත්දැකීම් මට ඉගැන්වී ය. එම කාරණය සම්බන්ධයෙන් මාගේ මනස ස්ථිර කර ගත් කල, මම විශ්වාසනීය ව සංවිධානයට සමීප ව සිටීමට අධිෂ්ඨාන කර ගත්තෙමි. යමෙකුට යෙහෝවඃ වහන්සේගේ අනුග්‍රහය හා ආශීර්වාදය ලබා ගත හැකි වෙනත් මාර්ග මොනවා ද?” සමානාකාරයෙන් ස්වකීය ප්‍රීතිමත් ජනයා සමඟ යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට ඇති ඔබගේ වරප්‍රසාදය ඔබ ආදරයෙන් රැකබලා ගන්නෙහි ද? (ගීතාවලිය 100:2) එසේ කරතොත්, ඔබ දෙවියන් වහන්සේගේ සංවිධානයෙන් ඔබ ව ඉවතට හැරවීමට හෝ, තමන් වහන්සේට ප්‍රේම කරන සියල්ලන් ව ගලවන හස්තයක් ඇත්තා වූ තැනැන් වහන්සේ සමඟ ඇති ඔබගේ සම්බන්ධතාවය විනාශ කිරීමට හෝ, කිසිවකට ඉඩ නොදෙනු ඇත.
පරීක්ෂාවන් අපට පහර දෙන විට උපකාරය
10. (අ) පරීක්ෂාවන්ට මුහුණ දීමට දෙවියන් වහන්සේගේ ජනයාට යාච්ඤාව උපකාර කරනුයේ කෙසේ ද? (ආ) පළවන කොරින්ති 10:13හි පාවුල් දුන්නේ කිනම් සහතිකය ද?
10 දෙවියන් වහන්සේගේ සංවිධානය සමඟ හවුල් වූ ඇදහිල්වන්ත අය හැටියට, පරීක්ෂා පවතින අවස්ථාවන්හි දී අපට උන් වහන්සේගේ උපකාරය ඇත. උදාහරණයක් හැටියට, අප පරීක්ෂාවන්ට මුහුණ දී සිටින විට, උන් වහන්සේට ඇති අපගේ අඛණ්ඩතාව පැවැත්වීමට උන් වහන්සේ අපට උපකාර කරන සේක. ඇත්ත වශයෙන් ම, “අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන්,” එනම් සාතන් නම් යක්ෂයාගෙන් “අප ගැළවුව මැනව” යන යේසුස් වහන්සේගේ වදන්වලට එකඟ ව අප යාච්ඤා කළ යුතු ය. (මතෙව් 6:9-13) මෙසේ උන් වහන්සේට අකීකරු වීමට පොලඹවනු ලබන විට එයින් අසමත් වන්නට අපට ඉඩ නාරින ලෙස දෙවියන් වහන්සේගෙන් අපි අයැද සිටින්නෙමු. පරීක්ෂා මැඩපැවැත්වීමට ප්‍රඥාව ඉල්ලා කරන යාච්ඤාවලට ද උන් වහන්සේ පිළිතුරු දෙන සේක. (යාකොබ් 1:5-8) එසේ ම යෙහෝවඃ වහන්සේගේ සේවකයින් හට උන් වහන්සේගේ උපකාරය පිළිබඳ ව සහතික විය හැකි ය, මන්දයත් පාවුල් මෙසේ පැවසුවේ ය: “මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙන සේක.” (1 කොරින්ති 10:13) මෙවන් පරීක්ෂාවන් පැමිණෙන්නේ කොතැනින් ද, එමෙන් ම දෙවියන් වහන්සේ මිදෙන මාර්ගය සාදා දෙන්නේ කෙසේ ද?
11, 12. ඉශ්රායෙල්වරුන් කිනම් පරීක්ෂාවන්ට ගොදුරු වූයේ ද, එමෙන් ම ඔවුන්ගේ අත්දැකීමෙන් අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේ ද?
11 පරීක්ෂාවන් දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වීමට අප ව පෙලඹවිය හැකි තත්ත්වයන් පැමිණේ. පාවුල් මෙසේ පැවසී ය: “ඉදින් ඔවුන් [ඉශ්රායෙල්වරුන්] නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය. සෙනග කන්ටද බොන්ටද හිඳ, ක්‍රීඩාකරන්ට නැගුටුණෝයයි ලියා තිබෙන ලෙස, ඔවුන්ගෙන් සමහරෙකුමෙන් රූපවඳින්නෝ නොවෙල්ලා. ඔවුන්ගෙන් සමහරෙක් වේශ්‍යාකම් කළාක්මෙන් අපි වේශ්‍යාකම් නොකරමු, එයින් එක දවසෙයි විසිතුන්දහස් දෙනෙක් විනාශවුණෝය. අපි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] පරීක්ෂා නොකරමු, ඔවුන්ගෙන් සමහරෙක් පරීක්ෂාකොට සර්පයන්ගෙන් නාස්තිවුණෝය. නුඹලා නොකොඳුරල්ලා, ඔවුන්ගෙන් සමහරෙක් කොඳුරා, විනාශකයාගෙන් නාස්තිවුණෝය.”—1 කොරින්ති 10:6-10.
12 දෙවියන් වහන්සේ ආශ්චර්යමත් අන්දමින් සැපයූ වටුවන් එකතු කිරීමෙහි හා අනුභව කිරීමෙහි ගිජු වීමට වූ පරීක්ෂාවට ඉශ්රායෙල්වරුන් යටත් වූ විට, ඔවුහු හානිදායක දෑ ආශා කළෝ ය. (ගණන් කථාව 11:19, 20, 31-35) ඊට කලින්, මෝසෙස් තමන් අසල නොසිටි විට දී, වහු නමස්කාරයෙහි නියැලීමේ පරීක්ෂාව කරණකොටගෙන ඔවුහු රූප වඳින්නන් බවට පත් වූහ. (නික්මයාම 32:1-6) පරීක්ෂාවට වැටී මෝවබ් ස්ත්‍රීන් සමඟ වේශ්‍යාකම් කරන්නට පටන් ගත් විට දහස් සංඛ්‍යාවක් මරණයට පත් වූහ. (ගණන් කථාව 25:1-9) ඉශ්රායෙල්වරුන් පරීක්ෂාවට වැටී කැරලිකාර කෝරා, දාතාන්, අබිරාම්, හා ඔවුන්ගේ සමාගම්කරුවන්ගේ විනාශය ගැන කොඳුරන්නට පටන් ගත් විට, 14,700 දෙනෙක් දිව්‍යමය ආකාරයකට එවන ලද වසංගතයකින් මැරුණහ. (ගණන් කථාව 16:41-49) මෙම පරීක්ෂාවන් කිසිත් ඉශ්රායෙල්වරුන්ට මැඩපැවැත්විය නොහැකි තරම් ප්‍රබල නොවූ බව අප තේරුම් ගන්නේ නම්, අපට ද එවන් අත්දැකීම්වලින් ප්‍රයෝජන ලැබිය හැකි ය. ඔවුන් ඇදහිල්ල පෙන්වා, දෙවියන් වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ලට කෘතඥ පූර්වක වී, ස්වකීය ව්‍යවස්ථාවේ යහපත් භාවය අගය කළේ නම්, ඔවුනට ද එසේ කරන්නට පුළුවන්කමක් තිබුණි. එවිට යෙහෝවඃ වහන්සේගේ හස්තය අප ව ගලවන්නට පුළුවන් ලෙස ම, ඔවුන් ව ද ගලවන්නට ඉඩ තිබුණි.
13, 14. ස්වකීය සේවකයන් පරීක්ෂාවට මුහුණ දෙන විට, යෙහෝවඃ වහන්සේ ස්වකීය මාර්ගය සකස් කරනුයේ කෙසේ ද?
13 ක්‍රිස්තියානින් හැටියට, මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන පොදු පරීක්ෂාවන්ට අපි මුහුණ දෙන්නෙමු. එහෙත් උන් වහන්සේගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීමෙනුත්, පරීක්ෂා මැඩපැවැත්වීමට ක්‍රියා කිරීමෙනුත් අපට දෙවියන් වහන්සේ සමඟින් වැඩිදුරටත් විශ්වාසනීය ව සිටිය හැකි ය. දෙවියන් වහන්සේ විශ්වාසනීය ව සිටින අතර ම අපට දැරිය හැකි පමණ ඉක්මවා අප පරීක්ෂා කරනු ලබන්නට උන් වහන්සේ ඉඩ නොදෙන සේක. අප යෙහෝවඃ වහන්සේට පක්ෂපාතී නම්, ස්වකීය කැමැත්ත කළ නොහැකි යයි අපට කිසි විටෙක හැඟෙන්නට යන්නේ නැත. පරීක්ෂාවන්ට විරුද්ධ ව ක්‍රියා කිරීමට අප ව ශක්තිමත් කිරීමෙන් උන් වහන්සේ මිදීමේ මඟක් සකස් කරන සේක. උදාහරණයක් වශයෙන්, පීඩා කරනු ලබන විට, එම වධ හිංසාවන්ගෙන් හෝ මරණයෙන් බේරීමේ බලාපොරොත්තුවෙන් ඇදහිල්ල පාවා දීමට අප පරීක්ෂා කරනු ලැබිය හැකි ය. එහෙත් අප යෙහෝවඃ වහන්සේගේ බලවත් හස්තය කෙරෙහි විශ්වාසය තබන්නේ නම්, අපගේ ඇදහිල්ල බලවත් කරමින්, අඛණ්ඩතාව පැවැත්වීමට අවශ්‍ය තරම් ශක්තියක් අපට දීමට උන් වහන්සේට නොහැකි වන තත්ත්වයකට පරීක්ෂා පත් නොවනු ඇත. ප්‍රේරිත පාවුල් පැවසුවාක් මෙන් ය: “අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් [මිදීමේ මඟක් NW] නැතුව නොවේය; ලුහුබඳිනු [පීඩා කරනු NW] ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.”—2 කොරින්ති 4:8, 9.
14 යෙහෝවඃ වහන්සේ ස්වකීය ශුද්ධාත්මය, මතකයට නගන්නෙක් හා ගුරුවරයෙක් ලෙස පාවිච්ච් කිරීමෙන් ද, ස්වකීය ජනයා ශක්තිමත් කරන සේක. පරීක්ෂා මැඩපැවත්වීමට හැකිවන ලෙසට ආත්මික කාරණා මතකයට නගමින් සහ ඒවා අදාල කර ගත යුතු ආකාරය තේරුම් ගැනීමට සහයෝගය දීමෙන් එය අපට උපකාර කරයි. (යොහන් 14:26) යෙහෝවඃ වහන්සේගේ ඇදහිලිවන්ත සේවකයින් පරීක්ෂාවකට සම්බන්ධිත ව පවතින ප්‍රධාන ප්‍රශ්න තේරුම් ගෙන සිටින අතර වැරදි ක්‍රියාදාමයක් අනුගමනය කිරීමට මුළා නොවනු ඇත. දෙවියන් වහන්සේ මිදීමට මඟක් සකස් කොට ඇත්තේ, පරීක්ෂාවට යටත් නොවී මරණය දක්වා පවා විඳදරාගැනීමේ හැකියාව ඔවුන් හට දානය කිරීමෙනි. (එළිදරව් 2:10) ස්වකීය ආත්මයෙන් තමන්ගේ සේවකයන්ට උපකාර කිරීමට අමතර ව, යෙහෝවඃ වහන්සේ ස්වකීය සංවිධානය වෙනුවෙන් තමන් වහන්සේගේ දේවදූතයන් ද පාවිච්චි කරන සේක.—හෙබ්‍රෙව් 1:14.
පුද්ගලික කාරණාවල දී උපකාරය
15. සාලමොන්ගේ ගීතිකාවෙහි අපට කිනම් පුද්ගලික උපකාරයක් සොයා ගත හැකි ද?
15 යෙහෝවඃ වහන්සේගේ සංවිධානය සමඟ ඇසුරු කරන අයට පුද්ගලික කාරණාවල දී උන් වහන්සේගේ උපකාරය ඇත. උදාහරණයක් වශයෙන්, සමහරෙක් ක්‍රිස්තියානි සහකරුවෙකු සොයනවා විය හැකි ය. (1 කොරින්ති 7:39) බලාපොරොත්තු කඩවීමක් සිදු වී නම්, ඉශ්‍රායෙල්ගේ සාලමොන් රජ සැලකිල්ලට ගැනීම උපකාරවත් විය හැකි ය. ෂුලම්මීය කන්‍යාව නිහතමානී එඬේරෙකුට පෙම් කළ බැවින්, විවාහය පිණිස ඇගේ අත දිනා ගැනීමට හෙතෙම අසමත් විය. මේ පිළිබඳ රජුගේ වාර්තාව සාලමොන්ගේ බලාපොරොත්තු සුන් වූ ප්‍රේමයේ ගීතිකාව ලෙස හැඳින්විය හැකි ය. අපගේ ම ප්‍රේම බන්ධනය පිළිබඳ වෑයම් යම් අවස්ථාවක නිශ්ඵල වේ නම් අප කඳුළු සැලිය හැකි වුවත්, සාලමොන් හට තමාගේ බලාපොරොත්තු කඩ වීම උසුලා ගෙන සිටීමට හැකි වූ අතර අපටත් එසේ කළ හැකි ය. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය ආත්ම දමනය හා වෙනත් දිව්‍යමය ගුණාංග විදහා පෙන්වීමට අපට උපකාර කළ හැකි ය. යමෙක් විසින් හුදෙක් ඕනෑ ම කෙනෙකුට පෙම් කළ නොහැකි බවට වූ වේදනාකාරී සිද්ධාන්තය පිළිගැනීමට ස්වකීය වචනය අපට උපකාරී වේ. (සාලමොන්ගේ ගීතිකාව 2:7; 3:5) එහෙත්, සාලමොන්ගේ ගීතිකාව අපට බොහෝ සේ ප්‍රේම කරන යම් සහකාර ඇදහිලිවන්තයෙක් සොයා ගත හැකි වනු ඇතැයි ද පෙන්වා දෙයි. වඩාත් වැදගත් ලෙසින්, මෙම “උතුම් ගීතිකාව” යහපත් එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ආලේපලත් අනුගාමිකයින් 1,44,000 දෙනාගෙන් සමන්විත සිය ‘මණමාලිය’ වෙත දක්වන ප්‍රේමයෙන් සම්පූර්ණ වන්නේ ය.—සාලමොන්ගේ ගීතිකාව 1:1; එළිදරව් 14:1-4; 21:2, 9; යොහන් 10:14.
16. විවාහ වූ ක්‍රිස්තියානින් විසින් අත්දකිනු ලබන ‘මාංසයෙහි දුක්වලට’ කුමක් අයත් විය හැකි ද?
16 ඇදහිලිවන්තයෙක් විවාහ කර ගන්න අයට පවා “මාංසයෙහි දුක්” ඇත්තේ ය. (1 කොරින්ති 7:28) ස්වාමි පුරුෂයා, හා භාර්යාව ද ඔවුන්ගේ දරුවන් ද සම්බන්ධ කරදර හා කනස්සලුවීම් පවතිනු ඇත. (1 කොරින්ති 7:32-35) අසනීප, බර හා ක්ලමථය [stress, අධික වෙහෙස] ගෙනෙන්නට පුළුවන. ක්‍රිස්තියානි පියෙකු විසින් සිය පවුල සඳහා සැපයිය යුතු ජීවනයේ අවශ්‍යතාවයන්, පීඩාවන් හෝ ආර්ථික අමාරුකම් කරණකොටගෙන අඩාල කළ හැකි ය. සිරගත කිරීමෙන් මව්පියන් හා දරුවන් වෙන් කරනු ලැබිය හැකි අතර සමහරෙකුට වධහිංසා පමුණුවා මරණයට පවා පත් කරනු ලැබිය හැකි ය. එහෙත් එවන් සියලු තත්ත්වයන් යටතේ, අපි යෙහෝවඃ වහන්සේගේ බලවත් හස්තය කෙරෙහි ඇත්තෙන් ම දැඩි විශ්වාසය තබන්නෙමු නම්, ඇදහිල්ල ප්‍රතික්ෂේප කරන්නට වූ පරීක්ෂාව අපට මැඩපැවැත්විය හැකි ය.—ගීතාවලිය 145:14.
17. ඊසාක්ට හා රෙබෙකාට විඳදරාගැනීමට දෙවියන් වහන්සේ හැකියාව ලබා දුන් පවුල් ගැටලුව කුමක් ද?
17 අප විසින් දීර්ඝ කලකට සමහරක් පීඩාවන් විඳදරා ගත යුතු ව තිබෙනවා විය හැකි ය. උදාහරණයක් වශයෙන්, පුතෙක් නොඇදහිලිවන්තියක් විවාහ කර ගැනීමෙන් සිය භක්තිමත් මව්පියන් හට පීඩා පමුණුවන්නට පුළුවන. එය ආදි පිතෘ ඊසාක් හා ඔහුගේ භාර්යාව වූ රෙබෙකාගේ පවුල තුළ සිදු විය. ඔවුන්ගේ 40-හැවිරිදි පුත් ඒසව් හිත්තීය ස්ත්‍රීන් දෙදෙනෙකු පාවා ගත් අතර ඔවුහු “ඊසාක්ටද රෙබෙකාටද ශෝක හේතුවක් වූහ.” ඇත්ත වශයෙන් ම, “රෙබෙකා ඊසාක්ට කථා කොට: හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට එපාවී තිබේ. යාකොබ් [ඔවුන්ගේ අනෙක් පුත්‍රයා] මේ දේශයේ දූවරුන් වූ හෙත්ගේ දූවරුන්ගෙන් මෙබඳු භාර්යාවක් පාවාගන්නේ නම් මාගේ ජීවිතය මට කුමටදැයි කීවාය.” (උත්පත්ති 26:34, 35; 27:46) පෙනෙන හැටියට, රෙබෙකාගේ ධර්මිෂ්ඨ ප්‍රාණය මෙම නිරන්තර ගැටලුවෙන් මහත් වේදනාවට පත් ව තිබිණ. (2 පේතෘස් 2:7, 8 සසඳන්න.) එහෙත්, උන් වහන්සේ සමඟ ශක්තිමත් සබදතාවයක් පවත්වා ගත් අතර, මෙම හිංසාව විඳදරාගැනීමට උපකාර කරමින් යෙහෝවඃ වහන්සෙගේ හස්තය ඊසාක් හා රෙබෙකා ව ඉසිලී ය.
18. දෙවියන් වහන්සේගේ උපකාරය ඇති ව සී. ටී. රසල් විඳදරා ගත්තේ කිනම් පුද්ගලික ගැටලුව ද?
18 පවුලේ බව්තීස්ම ලත් සාමාජිකයෙක් දේව සේවයෙහි ක්‍රියාශීලී භාවය අඩුකරන විට එය ශෝකය ගෙන දෙන දෙයකි. (2 තිමෝති 2:15 සසඳන්න.) එහෙත්, වොච් ටවර් සමිතියේ පළමුවන සභාපති වන, චාල්ස් ටී. රසල් සම්බන්ධයෙන් සිදු වූවාක් මෙන්, සහකරුවෙකු ආත්මික වශයෙන් අහිමි වීම පවා විඳදරා ගෙන ඇත. ඔහුගේ භාර්යාව වසර 18කට ආසන්න කාලයක් විවාහ වී සිටීමෙන් පසු, සමිතිය සමඟ ඇයගේ සම්බන්ධකම් කපා හැර 1897 දී ඔහු ව අත් හැරියා ය. වර්ෂ 1903 දී නීතිමය වශයෙන් වෙන් වීමට ඇය නඩු පැවරූ අතර 1908 දී ඊට අවසර දෙනු ලැබී ය. කලින් ලියන ලද ලිපියක ඔහු ඇයට මෙසේ ලියා දැන්වීමෙන් ඔහුගේ ශෝකය පැහැදිලි විය: “මම ඔබ වෙනුවෙන් මහත් ඕනෑකමින් ස්වාමීන් වහන්සේට යාච්ඤා කළෙමි. . . . මා විටින් විට ඔබගේ ඇඳුම් හා වෙනත් දේවල් බලද්දී, ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය වන—එතරම් ම ප්‍රේමයෙන්, සානුකම්පාවෙන්, හා උපකාරශීලීත්වයෙන් පිරි—ඔබේ පෙර ස්වභාවය පැහැදිලි ව මාගේ මනසට නැගෙත් ම, මාගේ ශෝකයට හේතු වූ කාරණාවලින් මා ඔබට කරදර කරන්නේ හෝ මාගේ ක්‍රියාවන්හි මාගේ චිත්තවේගී හැඟීම් ගෙනහැර දක්වමින් ඔබගේ සානුකම්පාව ලබා ගැනීමට වෑයම් කරන්නේ හෝ නැත. . . . අහෝ, මා කියන්නට යන දෙය යාච්ඤා පූර්වක ව සලකා බලන්න. තව ද මාගේ ශෝකයේ තියුණු කෙළවර, එහි තියුණු ඛේදජනක ස්වභාවය, ඉතිරි ජීවන ගමනේ මාගේ තනිකමක් නොව, එහෙත් මාගේ පෙම්වතිය, ඔබගේ වැටීම ය, මට පෙනෙනාකාරයට, ඔබගේ සදාකාලික නැතිවීම ය.” මෙවන් හෘද වේදනාවන් තිබුණ ද, රසල්ට සිය භූමික ජීවිතයේ අවසානය දක්වා දෙවියන් වහන්සේගේ අනුබලය ලැබිණ. (ගීතාවලිය 116:12-15) යෙහෝවඃ වහන්සේ සැම විට ම ස්වකීය පක්ෂපාතී සේවකයන් උසුලන සේක.
සියලු පීඩාවන්ගෙන්
19. පීඩාකාරී ගැටලු දිගට ම පවතී නම්, අප මතකයේ තබා ගත යුත්තේ කුමක් ද?
19 යෙහෝවඃ වහන්සේගේ ජනයා උන් වහන්සේ “දවස්පතා අපේ බල උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවි” කෙනෙක් ව සිටින බව දනිති. (ගීතාවලිය 68:19, 20) එබැවින්, ස්වකීය භූමික සංවිධානය සමඟ සම්බන්ධිත කැප වූ අය හැටියට, ශෝකය ඇතිකරන ගැටලු දිගට ම පැවතියත් අප බලාපොරොත්තු නැති කර නොගත යුතු ය. “දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්” බව සිහි ඇති ව සිටින්න. (ගීතාවලිය 46:1) උන් වහන්සේ කෙරෙහි ඇති අපගේ දැඩි විශ්වාසයට සැම විට ම විපාක ලැබේ. “ස්වාමීන් සෙවීමි, [යෙහෝවඃ වහන්සේගෙන් විචාලෙමි NW] උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක. . . . මේ දුප්පතා මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක” යයි දාවිත් පැවසී ය.—ගීතාවලිය 34:4-6.
20. සලකා බැලීමට ඉතිරි ව ඇති ප්රශ්නය කුමක් ද?
20 එසේ ය, අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ සියලු විපත්තිවලින් ස්වකීය ජනයා ගලවා ගන්නා සේක. උන් වහන්සේ සභා කාරණා මෙන් ම පුද්ගලික කටයුතු සම්බන්ධයෙන් උපකාරය සපයමින්, ස්වකීය භූමික සංවිධානයට අනුබලය දෙන සේක. ඇත්ත වශයෙන් ම, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමන් සෙනග ඉවත නොදමනසේක.” (ගීතාවලිය 94:14) එහෙත් යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා හට පුද්ගලික ව උපකාර කරන වෙනත් ආකාරයන් අපි ඊළඟට සලකා බලමු. අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ රෝගාතුර ව සිටින, මානසික වශයෙන් අසහනයට පත්ව සිටින, වියෝවීම නිසා සංවේගයට පත්ව සිටින, නොඑසේ නම් තමන්ගේ ම වැරදි සම්බන්ධයෙන් දුකට පත් ව සිටින ස්වකීය සේවකයන් කෙසේ උසුලන සේක් ද? අප දකිනු ඇති ලෙසින්, මෙම කාරණාවල දී ද, අපට යෙහෝවඃ වහන්සේගේ බලවත් හස්තය කෙරෙහි රැඳී සිටීමට හේතු ඇත. w91 10/1
ඔබ ප්‍රතිචාරය දක්වනුයේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේගේ හස්තය පුරාතන කාලවල දී ගැලවීම ලබා දී ඇත්තේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේ අද දවසේ සභාව තුළ ස්වකීය ජනයාට උපකාර කරනුයේ කෙසේ ද?
◻ දෙවියන් වහන්සේ පුද්ගලික කාරණාවල දී උපකාරය සපයනුයේ කෙසේ ද?
◻ ශෝකජනක ගැටලු දිගට ම පවතී නම් අප කුමක් කළ යුතු ද?
[22, 23වන පිටුවේ පින්තූරය]
දෙවියන් වහන්සේ “බලවත් බාහුවකින්” ඉශ්රායෙල්වරුන් මිසරයෙන් පිටතට ගෙනා සේක