යෙහෝවඃ වහන්සේගේ සදාකාල හස්තයන් ඔබගේ ආධාරකය කර ගන්න
“සදාකාල දෙවියන් වහන්සේ නුඹේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ ඇත්තේය”—ද්විතීය කථාව 33:27, ඇමෙරිකන් ස්ටෑන්ඩර්ඩ් වර්ෂන්.
1, 2. යෙහෝවඃ වහන්සේගේ ජනයා හට ස්වකීය උපකාරය ගැන නිසැක විය හැක්කේ මක්නිසා ද?
යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා හට සැලකිල්ල දක්වන සේක. මන්දයත්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු දුක් කරදරවල දී “එය උන්වහන්සේට දුක්ගෙන දුන්නේ ය.”! ප්‍රේමයෙනුත් දයාවෙනුත්, උන් වහන්සේ “ඔවුන් ඔසවා උසුලා ගෙන ඉදිරියට ගිය සේක.” (යෙසායා 63:7-9, NW) මෙසේ අප දෙවියන් වහන්සේට විශ්වාසනීය වන්නේ නම්, උන් වහන්සේගේ උපකාරය පිළිබඳ ව අපට නිශ්චිත විය හැකි ය.
2 දිවැස්වර මෝසෙස් මෙසේ පැවසී ය: “පුරාතනයේ දෙවියන් වහන්සේ රක්ෂස්ථානයක් ය, තවද යටින් ඇත්තේ අනාදිමත් කලකට පවතින හස්තයෝ ය.” (ද්විතීය කථාව 33:27, NW] තවත් පරිවර්තනයක් පවසන්නේ: “සදාකාල දෙවියන්වහන්සේ නුඹේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ ඇත්තේය.” (ඇමෙරිකන් ස්ටෑන්ඩර්ඩ් වර්ෂන්) එහෙත් දෙවියන් වහන්සේගේ හස්තයන් ස්වකීය සේවකයන් හට අනුබල දෙන්නේ කෙසේ ද?
මෙතරම් දුෂ්කරතා ඇයි?
3. කීකරු මනුෂ්‍ය වර්ගයා “දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කම” පූර්ණ ලෙස භුක්ති විඳිනු ඇත්තේ කවදා ද?
3 යෙහෝවඃ වහන්සේට සේවය කිරීම අසම්පූර්ණ මනුෂ්‍යයන් හට පොදු වූ දුෂ්කරතාවයන්ගෙන් අප ව ආරක්ෂා කරන්නේ නැත. දෙවියන් වහන්සේගේ සේවකයෙක් වූ යෝබ් මෙසේ පැවසී ය: “ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය.” (යෝබ් 14:1) “අපගේ ජීවිතයේ දවස්” ගැන සඳහන් කළ ගීතිකාකරු, “ඒවායේ . . . වෙහෙස හා දුකම” පවතින බව දක්වයි. (ගීතාවලිය 90:10) ‘මැවිල්ල ජරාවේ වහල්කමින් නිදහස්වී, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පමුණුවනු’ ලබන තෙක්, ජීවිතය එයාකාරයෙන් පවතිනු ඇත. (රෝම 8:19-22) එය ක්‍රිස්තුස් වහන්සේගේ දහස් අවුරුදු පාලනය තුළ සිදුවනු ඇත. යේසුස් වහන්සේගේ මිදීමේ මිලය මත පදනම් ව, රාජ්‍යයේ මනුෂ්‍ය යටත් වැසියන් එවිට පාපයෙන් හා මරණයෙන් ගැලවීම අත් දකිනු ඇත. දහස් අවුරුදු පාලනය අවසානයේ, ක්‍රිස්තුස් වහන්සේ හා සිය හවුල් පූජක-රජවරුන් පරිපූර්ණත්වය කරා ළඟා වීමට කීකරු මනුෂ්‍ය වර්ගයා හට උපකාර කර තිබෙනු ඇති අතර සාතන් හා ඔහුගේ භූතයන් විසින් ගෙනෙන අවසාන පරික්ෂාවෙහි දී දෙවියන් වහන්සේට පක්ෂපාත ව සිටින්නන් සිය නාම ස්ථීර ලෙස “ජීවන පොතේ” ලියා ගනු ඇත. (එළිදරව් 20:12-15) එවිට ඔවුන් පූර්ණ ලෙස දෙවියන් වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කම භුක්ති විඳිනු ඇත.
4. ජීවිතයේ අපට මුහුණ පාන්නට සිදුවන දේ ගැන කොඳුරනු වෙනුවට, අප කළ යුත්තේ කුමක් ද?
4 මේ අතරතුරේ දී, අපට ගත කරන්නට සිදු ව ඇති ජීවිතය ගැන කොඳුරනු වෙනුවට, අප යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය දැක්විය යුතු ය. (1 සාමුවෙල් 12:22; යූද් 16) “දයාව ලබා ගන්නා පිණිස ද, ලබන්ට නොයුතු කරුණාව සොයන පිණිස ද නිසි කලට වුවමනා උපකාරය සඳහා” අපට දෙවියන් වහන්සේ කරා ළඟා විය හැකි තැනන් වහන්සේ ද, අපගේ උත්තම පූජකයාණන් ද, වන යේසුස් වහන්සේට ද අප කෘතඥ පූර්වක විය යුතු ය. (හෙබ්‍රෙව් 4:14-16, NW) අප කිසි විටෙකත් ආදම් හා සමාන නොවිය යුතු ය. ඇත්ත වශයෙන් ම, “මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය. මමද කෑවෙමි” යයි කියමින් වැරදි සහගත ලෙස ඔහු යෙහෝවඃ වහන්සේට චෝදනා කළේ ය. (උත්පත්ති 3:12) දෙවියන් වහන්සේ යහපත් දේවල් දෙන අතර අප කෙරෙහි දුෂ්කරතා නොපමුණුවන සේක. (මතෙව් 5:45; යාකොබ් 1:17) විපත්ති බොහෝ විට අපගේ ම ප්‍රඥාව හීනකම නිසා හෝ අන්‍යයන්ගේ වැරදි නිසා හෝ ඇති වන්නකි. අප පව්කාර නිසාත්, සාතන්ගේ බලයේ පවතින ලෝකයක ජීවත් වන නිසාත් ඒවා අප කෙරෙහි පැමිණෙන්නට ද පුළුවන. (හිතෝපදේශ 19:3; 1 යොහන් 5:19) එහෙත්, යෙහෝවඃ වහන්සේගේ සදාකාල හස්තයන්, තමන් වහන්සේ කෙරෙහි යාච්ඤා පූර්වක ව රැඳී සිටින එසේ ම ස්වකීය වචනයේ උපදෙස් පෞද්ගලික ව අදාළ කර ගන්නා, ස්වකීය පක්ෂපාත සේවකයන් හට සැමවිට ම අනුබල දෙයි.—ගීතාවලිය 37:5; 119:105.
අසනීප අතරතුරේ දී උසුලනු ලැබීම
5. ගීතාවලිය 41:1-3හි රෝගාතුර ව සිටින්නන් හට කුමන දිරිගැන්වීමක් සොයා ගත හැකි ද?
5 ඇතැම් අවස්ථාවල අසනීප අපෙන් වැඩි දෙනෙකුට ශෝකය ඇති කරයි. එහෙත් දාවිත් මෙසේ පැවසී ය: “දිළින්දා සලකන්නා ආශීර්වාදලද්දේය. විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඔහු මුදනසේක. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඔහු රක්ෂාකරන සේක, ඔහුගේ දිවි රක්නාසේක, ඔහු පොළොවෙහි ආශීර්වාදලද්දෙක් [සන්තෝෂ ලද්දෙක් ලෙස ප්‍රකාශ NW] වන්නේය; ඔහුගේ සතුරන්ගේ කැමැත්තට ඔහු භාර නුදුන මැනව. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඔහු ගිලන්ව ඔත්යහනේදී උසුලනසේක. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන [නිසැකව ම NW] සකස්කරන සේක.”—ගීතාවලිය 41:1-3.
6, 7. දාවිත් ඔත් යහනක සිටියදී දෙවියන් වහන්සේ ඔහුට කෙසේ උපකාර කළ සේක් ද, එමෙන් ම මෙය අද දවසේ යෙහෝවඃ වහන්සේගේ සේවකයන් ව දිරිගැන්විය හැක්කේ කෙසේ ද?
6 සැලකිල්ල දක්වන පුද්ගලයෙක් හිඟ ව සිටින්නන් හට උපකාර කරයි. “විපත්ති දවස,” යම් විපත්තිමය අවස්ථාවක් හෝ යම් තැනැත්තෙක් දුර්වල කරන්නා වූ දුෂ්කරත්වයේ දීර්ඝ කාල පරිච්ඡේදයක් හෝ විය හැකි ය. ඔත්පල ව සිටින කාලය තුළ තමන් ආරක්ෂා කිරීමට ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබන අතර අන්‍යයන්, ඔහු සමඟ යෙහෝවඃ වහන්සේගේ දයාන්විත ක්‍රියා පිළිබඳ ව ආරංචි පතුරුවා හැරීමෙන් ‘ඔහු පොළොවෙහි සන්තෝෂමත් යයි ප්‍රකාශ කරති.’ දෙවියන් වහන්සේ “ගිලන්ව ඔත් යහනේදී” දාවිත් උසුලා දැරූ සේක, මෙය ඇතැම් විට දාවිත්ගේ පුත්‍ර අබ්සලොම් ඉශ්‍රායෙල්ගේ සිංහාසනය අල්ලා ගැනීමට වෑයම් කළ පීඩාකාරී කාල පරිච්ඡේදය තුළ දි විය හැකි ය.—2 සාමුවෙල් 15:1-6.
7 දාවිත් දිළින්දන් වෙත සැලකිල්ල දක්වා තිබූ බැවින්, තමා ඔත් යහනක අසරණ ව සිටිය දී දෙවියන් වහන්සේ තමා ව උසුලනු ඇත, යයි ඔහුට හැඟුණි. (ගීතාවලිය 18:24-26) උපද්‍රව සහිත රෝගාතුර ස්වභාවයකින් සිටිය ද, ආශ්චර්ය අන්දමින් රෝගය ඉවත් කිරීමෙන් නොව, එහෙත් සහන දායක සිතුවිලිවලින් තමන් ශක්තිමත් කිරීමෙන් දෙවියන් වහන්සේ ‘තම යහන සකස් කරනු ඇතැයි’ ඔහු නිශ්චිත විය. එය යෙහෝවඃ වහන්සේ තමන්ගේ රෝගාතුර වූ යහනක් සිට ශරීර ශක්තිය නැවත ලබා දෙන යහනක් දක්වා වෙනස් කරනවා වැනි ය. සමානාකාරයෙන්, දෙවියන් වහන්සේගේ සේවකයන් හැටියට අප රෝගාතුර ව සිටින්නේ නම්, යෙහෝවඃ වහන්සේගේ සදාකාල හස්තයන් අපට අනුබල දෙනු නියත ය.
අසහනයට පත් වූවන් හට සැනසිල්ල
8. රෝගාතුර එක් ක්‍රිස්තියානියෙක් දෙවියන් වහන්සේ කෙරෙහි සිය රඳා සිටීම පෙන්වා ඇත්තේ කෙසේ ද?
8 අසනීප මානසික අසහනයට තුඩු දිය හැකි ය. ඇතැම් අවස්ථාවල කියවීමට පවා අවශ්‍ය තරම් ශක්තියක් නොමැති ආකාරයකට, බරපතළ ලෙස රෝගාතුර ව සිටින ක්‍රිස්තියානියෙක් පවසනුයේ: “මෙය මා හට අසහනයේ චිත්ත වේගයන් බොහෝමයක්, නොවටිනා භාවයේ හැඟීම්, මෙන් ම කඳුළු පවා ඇති කරයි” යනුවෙනි. කලකිරීමට පත් කිරීමෙන් සාතන්ට තමා ව යටපත් කිරීමට අවශ්‍ය ව ඇති බවත්, යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඇති ව තමාට අසමත් විය නොහැකි බවත් දැනුම් තේරුම් ඇති ව, හෙතෙම එය මැඩපවත්වමින් සිටියි. (යාකොබ් 4:7) මොහු දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාස කරමින් සිටින බව දන්නා අන්‍යයන්ට, මෙම මනුෂ්‍යයා දිරිගැන්වීමක් වන්නේ ය. (ගීතාවලිය 29:11) රෝහල් ගත කරන ලද විට පවා, හෙතෙම රොගාතුර වූවන්ට හා වෙනත් අයට දුරකථනයෙන් අමතමින් ආත්මික ව ඔවුන් ගොඩ නගයි. පටිගත කරන ලද රාජ්‍යය ගීතිකාවලටත්, මෙම සඟරාවේ මෙන් ම එහි සහකාර පිබිදෙව්! සඟරාවේ (ඉංග්‍රීසියෙන්) පටිගත කරන ලද ලිපිවලට සවන් දීමෙනුත්, හවුල් ක්‍රිස්තියානින් සමඟ ඇසුරු කිරීමෙනුත්, ඔහු ම වර්ධනය වන්නේ ය. මෙම සහෝදරයා මෙසේ පවසයි: “විඳදරා ගැනීමට ශක්තිය, මග පෙන්වීම, සහනය, හා උපකාරය දෙන ලෙස ඉල්ලමින්, මම නිරතුරු ව ම යෙහෝවඃ වහන්සේට යාච්ඤාවෙන් කථා කරමි.” ඔබ බරපතළ සෞඛ්‍ය ගැටලු අත්දකින්නා වූ ක්‍රිස්තියානියෙක් නම්, නිතර යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබමින්, උන් වහන්සේගේ සදාකාල හස්තයන් ඔබගේ ආධාරය කර ගන්න.
9. මානසික අසහනය ඇතැම් අවස්ථාවල භක්තිමත් අය හට විපත් ගෙනෙන බව කිනම් අත්දැකීම් පෙන්වයි ද?
9 අසහනය ඉපැරණි ගැටලුවකි. පරීක්ෂාවට යටත් ව සිටිය දී, දෙවියන් වහන්සේ විසින් අත් හරිනු ලැබූ මනුෂ්‍යයෙක් ලෙස යෝබ් කථා කළේ ය. (යෝබ් 29:2-5) යෙරුසලමේ හා එහි පහුරුවල පාළු ස්වභාවය පිළිබඳ සැලකිල්ල නෙහෙමියා ව දොම්නසට පත් කළ අතර ක්‍රිස්තුස් වහන්සේ ව ප්‍රතික්ෂේප කිරීම ගැන පේතෘස් කොතරම් කනස්සලු වූයේදයත් හෙතෙම බලවත් දුකින් හැඬුවේ ය. (නෙහෙමියා 2:1-8; ලූක් 22:62) පිලිප්පියේ ක්‍රිස්තියානින් තමා රෝගාතුර ව සිටි බව ඇසූ බැවින් එපප්‍රොදිතස් ඉතා අසහනයට පත් ව සිටියේ ය. (පිලිප්පි 2:25, 26) අසහනය තෙසලෝනිකයේ ඇතැම් ක්‍රිස්තියානින්ට මහත් හිරිහැරයක් වූ නිසා, “ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්ර්ය්යකරන මෙන්” පාවුල් සහෝදරයන්ට ඕනෑකමින් අවවාද කළේ ය. (1 තෙසලෝනික 5:14) එසේ නම් දෙවියන් වහන්සේ එවන් අයට උපකාර කරනුයේ කෙසේ ද?
10. මානසික අසහනය සමඟ ක්‍රියා කිරීමට වෑයම් කිරීමේ දී කුමක් උපකාරවත් විය හැකි ද?
10 උග්‍ර අසහනය සඳහා ප්‍රතිකාරය පිළිබඳ ව පුද්ගලික තීරණයක් ගත යුතු ය.a (ගලාති 6:5) ප්‍රමාණවත් විවේකය හා සමතුලිත ක්‍රියාකාරකම් උපකාරවත් විය හැක. ගැටලු ගණනාවක් සමස්තයක් වශයෙන් එක් ප්‍රධාන අසරණ තත්ත්වයක් ලෙස කල්පනා කරනු වෙනුවට වරකට එක් ගැටලුව බැගින් විසඳීම, උපකාරවත් බව අසහනයට පත් තැනැත්තා අත් දකිනු ඇත. විශේෂාකාරයෙන් මෙම චිත්ත වේගී ගැටලුව ආත්මික ලෙස වේ නම්, සභා වැඩිමහල්ලන්ගෙන් ලැබෙන සහන දායක උපකාරය ප්‍රයෝජනවත් විය හැකි ය. (යාකොබ් 5:13-15) අන් සියල්ලක් ම අභිබවා, යෙහෝවඃ වහන්සේ මත රැඳී සිටිමින්, ‘උන් වහන්සේ අප ගැන සලකන බැවින්, අපගේ හැම කරදරයක් ම උන් වහන්සේ පිට තැබීම’ වැදගත් ය. අඛණ්ඩ එමෙන් ම හෘදයාංගම යාච්ඤාව යමෙක් හට ‘ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ හෘදයන් ද මානසික ශක්තීන් ද ආරක්ෂා කරන්නා වූ දෙවියන් වහන්සේගේ සමාදානය’ ගෙනෙන්නට පුළුවන.—1 පේතෘස් 5:6-11; පිලිප්පි 4:6, 7.
ශෝකය විඳදරා ගැනීමට යෙහෝවඃ වහන්සේ අපට උපකාර කරන සේක
11-13. ආදරය කළ යමෙකුගේ මරණය පිළිබඳ දුක සංසිඳවීමට කුමක් උපකාරවත් විය හැකි ද?
11 ආදරය කළ යමෙකුගේ මරණය ශෝකය දනවන තවත් අත් දැකීමකි. ආබ්‍රහම් සිය බිරිඳ වූ, සාරාගේ වියෝව ගැන වැලපුණෙ ය. (උත්පත්ති 23:2) තම පුත්‍ර අබ්සලොම් මියගිය විට, දාවිත් බලවත් ලෙස ශෝකයට පත් විය. (2 සාමුවෙල් 18:33) ඇයි, පරිපූර්ණ මනුෂ්‍යයා යේසුස් වහන්සේ පවා, සිය මිත්‍ර ලාසරුස්ගේ මරණය සම්බන්ධයෙන් “ඇඬූ සේක”! (යොහන් 11:35) මෙසේ ආදරය කළ අයෙක් මිය ගිය විට එය ශෝකජනක ය. එහෙත් එවන් ශෝකයක් සංසිඳවීමට කුමක් උපකාරවත් විය හැකි ද?
12 වියෝ වීමෙන් ඇති වන මහත් සංවේගය විඳදරා ගැනීමට දෙවියන් වහන්සේ ස්වකීය ජනයා හට උපකාර කරන සේක. මළවුන්ගේ නැවත නැගිටීමක් සිදුවනු ඇතැයි උන් වහන්සේගේ වචනය පවසයි. එබැවින්, “බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන්” අපි ශෝක නොවන්නෙමු. (1 තෙසලෝනික 4:13; ක්‍රියා 24:15) යෙහෝවඃ වහන්සේගේ ආත්මය, සමාදානය හා ඇදහිල්ල ඇති ව සිටීමටත්, ආදරය කළ මිය ගිය තැනැත්තා පිළිබඳ ශෝකජනක සිතුවිලිවලින් අප සහමුලින් ම යටපත් නොවන ලෙසින්, ස්වකීය වචනයේ පොරොන්දු වී ඇති ආශ්චර්යමත් අනාගතය ගැන මෙනෙහි කිරීමටත්, අපට උපකාර කරයි. ශුද්ධ ලියවිල්ල කියවීමෙන් ද, “සෑම සැනසිල්ලේ දෙවියන් වහන්සේට” යාච්ඤා කිරීමෙන් ද අස්වැසිල්ලක් ලැබේ.—2 කොරින්ති 1:3, 4; ගීතාවලිය 68:4-6.
13 “අහෝ, ඔබවහන්සේ [යෙහෝවඃ වහන්සේ] මා ෂෙයෝලෙහි වසා තබා, ඔබගේ උදහස පහවන තුරු මා සඟවා, මට කාලයක් නියමකොට මා සිහි කරනසේක් නම් කැමැත්තෙමි! මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? මාගේ නිදහස පැමිණෙන තෙක්, මාගේ සටනේ සියලු දවස්වල බලාසිටින්නෙමි. ඔබ අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවන සේක” යයි පැවසූ, භක්තිමත් යෝබ් මෙන්, අපටත් නැවත නැගිටීමේ බලාපොරොත්තුවෙන් සහනය ලැබිය හැකි ය. (යෝබ් 14:13-15) ආදරය කරන මිත්‍රයෙක් ගමනක් ගිය කළ, අපි ඔහු නැවත දැකීමට බලාපොරොත්තු වන බැවින්, සාමාන්‍යයෙන් බොහෝ සේ දුක් නොවන්නෙමු. ඇදහිලිවන්ත ක්‍රිස්තියානියෙකුගේ මරණය සම්බන්ධයෙන් අප සමානාකාරයෙන් කල්පනා කරන්නේ නම්, ආදරය කළ අයෙකුගේ මරණය ඇති කරන්නා වූ මහත් දුක යම් ප්‍රමාණයකට අඩු වී යනු ඇත. ඔහුට භූමික බලාපොරොත්තුවක් තිබුණේ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ දහස් අවුරුදු පාලනය තුළ ඔහු පොළොව මත ජීවිතය සඳහා මරණ නින්දෙන් අවදි කරනු ඇත. (යොහන් 5:28, 29; එළිදරව් 20:11-13) එසේ ම අප පොළොව මත සදාකාලයට ම ජීවත් වන්නට බලාපොරොත්තු වන්නේ නම්, නැවත නැගිටුවන ලද අප ප්‍රේම කළ තැනැත්තාට ශුභ පතන්නට අප ද මෙහි සිටින්නට පුළුවන.
14. ක්‍රිස්තියානි වැන්දඹුවන් දෙදෙනෙක් තමන්ගේ පුරුෂයන්ගේ මරණය සමඟ ක්‍රියා කළේ කෙසේ ද?
14 සිය පුරුෂයාගේ මරණයෙන් පසු, දේව සේවය සමඟින් සිය ජීවිතය ගත කළ යුතු බව එක් සහෝදරියක් දැන සිටියා ය. ‘ස්වාමීන් වහන්සේගේ මෙහෙයෙහි’ බොහෝ දේ කර සිටීමට අමතර ව, ඇය රෙදි කෑලි 800 ක් එකට මූට්ටු කර ඇතිරිල්ලක් තනා ගත්තා ය. (1 කොරින්ති 15:58) “මා වැඩ කරමින් සිටි කාලය පුරා මට රාජ්‍යය ගීතිකා මෙන් ම පටිගත කළ බයිබලයට මට සවන් දිය හැකි බැවින්, මෙය හොඳ ව්‍යාපෘතියක් විය. එය යමක් තුළ නියැලී සිටීමට උපකාර විය” යයි ඇය පවසයි. අත්දැකීම් ලත් වැඩිමහල්ලෙකු හා ඔහුගේ බිරිඳගේ බැහැදැකීම ඇය ආදරයෙන් මතක් කරයි. බයිබලයෙන්, වැන්දඹුවන්ට දෙවියන් වහන්සේ ඇත්තෙන් ම සැලකිල්ල දක්වන බව වැඩිමහල්ලා පෙන්වූයේ ය. (යාකොබ් 1:27) තවත් ක්‍රිස්තියානි කාන්තාවක් තමාගේ පුරුෂයා මිය ගිය විට ආත්ම-අනුකම්පාවට යටත් නොවූවා ය. ඇය මිත්‍රයන්ගේ උපකාරය අගය කළ අතර අන්‍යයන් කෙරෙහි ද වැඩි සැලකිල්ලක් දැක්වූවා ය. ‘මම වඩ වඩා යාච්ඤා කර යෙහෝවඃ වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කර ගතිමි’ යයි ඇය පවසන්නී ය. තවද දෙවියන් වහන්සේගේ සදාකාල හස්තවල අනුබලය ලැබීම මොනතරම් ආශීර්වාදයක් ද!
අප වැරදි කරන විට උපකාරය
15. ගීතාවලිය 19:7-13 හි දාවිත්ගේ වදන්වල සාරය කුමක් ද?
15 අපි යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රේම කළ ද, ඇතැම් අවස්ථාවල අපි වැරදි කරන්නෙමු. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට, සිහි ගැන්වීම්වලට, පනත්වලට, හා විනිශ්චයන්ට, රත්රන්වලට වඩා ආශා කළ දාවිත්ට වූවාක් මෙන්, අපවත් කනස්සල්ලට පත් කරනු නියත ය. “එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය; එය පිළිපැදීමෙන් විපුල විපාක අත් වන්නේ ය. මාගේ රහස් වැරදි දන්නෝ කවුරු ද? නොදැන මා කළ පව් සෝදා හළ මැනව. උඩඟුකමේ [හිතුවක්කාරකමේ NW] පාපයෙන් මා වැළැක්වුව මැනව. එහි බලපෑමට මම යටත් නොවෙම්වා. එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි” යයි ඔහු පැවසී ය. (ගීතාවලිය 19:7-13, න. අ.) අපි මෙම වදන් විග්රහ කර බලමු.
16. අප හිතුවක්කාරකම වැළැක්විය යුත්තේ මක්නිසා ද?
16 හිතුවක්කාරකමේ ක්‍රියාවන්, අත් වැරදිවලට වඩා බරපතළ පාප වන්නේ ය. හිතුවක්කාර ලෙස පූජා ඔප්පු කිරීම උදෙසාත්, අමලෙක්වරුන් විනාශ කළ යුතු බවට දෙවියන් වහන්සේ ආඥා කර තිබුණ ද, අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් හා කොල්ලය ඉතිරි කිරීම උදෙසාත් රජ හැටියට සාවුල් ප්‍රතික්ෂේප කරනු ලැබී ය. (1 සාමුවෙල් 13:8-14; 15:8-19) උස්සියා රජ හිතුවක්කාර ලෙස පූජකයන්ට අයිති වැඩ කිරීමට යාම නිසා කුෂ්ඨ රෝගයෙන් පහර ලැබී ය. (2 ලේකම් 26:16-21) ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙනෙන විට, ගිවිසුම් පෙට්ටිය සහිත කරත්තය ඇද ගෙන ගිය හරකුන් දැඟලූ බැවින්, එය ස්ථීර ව තබා ගැනීමට ගරු සරු නැති ලෙස උස්සා අත දිගු කර එය ඇල්ලීම නිසා දෙවියන් වහන්සේ ඔහුට පහර දුන් බැවින් ඔහු මැරුණේ ය. (2 සාමුවෙල් 6:6, 7) එබැවින්, අප කළ යුතු දෙය නොදන්නේ නම්, එසේත් නැතහොත් යමක් කිරීමට අපට බලය පවරා නැත්නම්, අප විනීතභාවය විදහා පෙන්වමින්, දැනුම් තේරුම් ඇති අයගෙන් දැනමුතුකම් ලැබිය යුතු ය. (හිතෝපදේශ 11:2; 13:10) ඇත්ත වශයෙන් ම, අප යම් කලෙක හිතුවක්කාර ව සිටියේ නම්, අප සමාව ඉල්ලා යාච්ඤා කළ යුතු අතර අනාගතයේ දී හිතුවක්කාරකමට එරෙහිව ආරක්ෂා වීමට අපට උපකාර කරන ලෙස ද ඉල්ලිය යුතු ය.
17. සැඟවුණු වැරදි යම් තැනැත්තෙකුට බලපෑම් කළ හැක්කේ කෙසේ ද, එහෙත් පව් සමාව හා සහනය ලබා ගත හැක්කේ කෙසේ ද?
17 සැඟවුණු වැරදි පීඩා ගෙනෙන්නට පුළුවන. ගීතාවලිය 32:1-5 අනුව දාවිත් සිය පාපය වසන් කිරීමට වෑයම් කළ නමුත්, ඔහු මෙසේ පැවසුවේ ය: “මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය. මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හ්සතය මා පිට බරවිය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය.” දෝෂ සහගත හෘදසාක්ෂියක් මැඩපැවැත්වීමට වෑයම් කිරීමෙන් දාවිත් වෙහෙසට පත් වූ අතර නියඟය හෝ ග්‍රීෂ්ම කාල තුළ ගසක් වියළීම නිසා ජීවන-දායක ඕජස් අහිමි කර ගන්නා සේ, සංවේගය ඔහුගේ ප්‍රාණවත්කම අඩු කළේ ය. පෙනෙන හැටියට ඔහු පාපෝච්චාරණය කිරීමට අසමත් වීම නිසා මානසික ව හා කායික ව අතුරු වේදනාවන් විඳි අතර ප්‍රීතිය අහිමි කර ගත්තේ ය. දෙවියන් වහන්සේට කරන්නා වූ පාපෝච්චාරණයක් පමණක් සමාව හා සහනය ගෙනෙන්නට පුළුවන. “අපරාධයට කමාවත් පාපයට වැස්මත් ලැබූ තැනැත්තේ ආශීර්වාදලද්දෙක්ය. . . . මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක” යයි දාවිත් පැවසී ය. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් ලැබෙන ප්‍රේමනීය උපකාරය ආත්මික සුවය සඳහා අනුබල ලැබීමට දායක විය හැකි ය.—හිතෝපදේශ 28:13; යාකොබ් 5:13-20.
18. පාපයෙන් දීර්ඝ කාලීන බලපෑමක් ඇති විය හැකි බවට කිනම් සාක්ෂි ඇත්තේ ද, එහෙත් මෙවන් තත්ත්වයන් යටතේ සහනය සඳහා උල්පත කුමක් විය හැකි ද?
18 දීර්ඝ කාලීන බලපෑම් පාපයට ඇති කළ හැක. බැත්-ෂෙබා සමඟ කාමමිථ්‍යාචාරය කළා වූ ද, ඇගේ ස්වාමි පුරුෂයගේ මරණය මෙහෙය වූ, ගර්භිණී වැන්දඹුවක් විවාහ කර ගත්තා වූ ද, දාවිත් සම්බන්ධයෙන් එය එසේ විය. (2 සාමුවෙල් 11:1-27) රාජ්‍යය ගිවිසුම, දාවිත්ගේ පසුතැවිල්ල, හා අන්‍යයන් කෙරෙහි ඔහුගේ දයානුකම්පිත සැලකිල්ල නිසා දෙවියන් වහන්සේ දයාව පෙන්නුව ද, දාවිත් ‘ඔහුගේ ම පවුලෙන් විපත්ති’ අත්දුටුවේ ය. (2 සාමුවෙල් 12:1-12) කාමමිථ්යචාරයෙන් වැදූ දරුවා මළේ ය. දාවිත්ගේ පුත්‍ර අම්මොන් තමාගේ අඩ-සොහොයුරිය වන තාමර් ව දූෂණය කළ අතර ඇයගේ සහෝදර අබ්සලොම්ගේ නියෝගය අනුව මරණයට පත් කරනු ලැබී ය. (2 සාමුවෙල් 12:15-23; 13:1-33) අබ්සලොම් දාවිත්ගේ උප භාර්යාවන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමෙන් දාවිත් ව ලජ්ජාවට පත් කළේ ය. ඔහු සිංහාසනය පැහැර ගැනීමට වෑයම් කළ ද, මරණයට පත් විය. (2 සාමුවෙල් 15:1–18:33) පාපයට තවත් නරක ප්‍රතිඵල ඇත. උදාහරණයක් වශයෙන්, නෙරපන ලද වැරදිකරුවෙක් පසුතැවිලි වී, සභාවට අනුයුක්ත කර ගැනීමට පුළුවන. එහෙත් වැරැද්දේ ප්‍රතිඵලයක් වශයෙන් කෙලෙසුනු කීර්තිය හා චිත්ත වේගීය තැවුල මැඩපැවැත්වීමට වසර ගණනාවක් ගත වනු ඇත. මේ අතරතුරේ දී, යෙහෝවඃ වහන්සේගේ සමාවත්, උන් වහන්සේගේ සදාකාල හස්තයන්ගේ උපකාරයත් තිබීම කොතරම් සහනයක් ද!
අප කෙරෙහි ඇති ක්ලමථයන්ගෙන් [stress] ගලවනු ලැබීම
19. අප දැඩි ලෙස පරීක්ෂාවන්ට ලක් කරනු ලැබූ විට, දෙවියන් වහන්සේගේ ආත්මය උපකාරවත් විය හැක්කේ කෙසේ ද?
19 මහත් පරීක්ෂාවට ලක් කරනු ලැබූ විට, තීරණයක් ගැනීමට හා එය ක්‍රියාවට නැගීමට අපට අවශ්‍ය තරම් ප්‍රඥාව හා ශක්තිය නොතිබෙන්නට පුළුවන. එවන් අවස්ථාවක, දෙවියන් වහන්සේගේ ආත්මය “අපගේ දුර්වලකම්වලදී උපකාරකරන සේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම [ආත්මය ම NW] කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම් කරනසේක.” (රෝම 8:26) යෙහෝවඃ වහන්සේ තත්ත්වයන්හි වෙනසක් ඇති කරන සේක් නම්, අප කෘතඥ පූර්වක විය යුතු ය. එහෙත් උන් වහන්සේගේ හස්තය වෙනත් ආකාරයකට ද අප ව ගලවන්නට පුළුවන. අප ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්නේ නම්, යෙහෝවඃ වහන්සේ ස්වකීය ශුද්ධාත්මයෙන් අප කළ යුතු දෙයත්, එය කිරීමට අවශ්‍ය ශක්තියත් අපට දානය කරන සේක. (යාකොබ් 1:5-8) උන් වහන්සේගේ උපකාරය ඇති ව, “අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන” විට අපට දරා සිටිය හැකි අතර පරීක්ෂා කරනු ලැබූ හා ශක්තිමත් කරන ලද ඇදහිල්ලක් ඇති ව ඒවා තුළින් ඉදිරියට ගමන් කළ හැකි ය.—1 පේතෘස් 1:6-8.
20. යෙහෝවඃ වහන්සේගේ සදාකාල හස්තයන් අපගේ ආධාරකය කර ගන්නේ නම්, අප කුමක් භුක්ති විඳිනු ඇත් ද?
20 යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරීමෙහි අපි කිසිකළෙක වෙහෙසට පත් නොවෙමු. “මාගේ ඇස් නිතරම ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW] දෙසට යොමුව තිබේ; මක්නිසාද උන්වහන්සේ මාගේ පාද දැලෙන් මුදාගන්නාසේක.” යයි දාවිත් පැවසී ය. මා දෙසට හැරී මට කරුණාකළ මැනව; මක්නිසාද මම අසරණයෙමි, පීඩිතයෙමි. මාගේ සිතේ [හෘදයේ NW] දුක් වැඩිව තිබේ. මාගේ විපත්තිවලින් මා මුදාගත මැනව. මාගේ පීඩාව සහ වේදනාවද බැලුව මැනව; මාගේ සියලු පව් කමාකළ මැනව.” (ගීතාවලිය 25:15-18) යෙහෝවඃ වහන්සේගේ සදාකාල හස්තයන් අප සැබවින් ම අපගේ ආධාරය කර ගන්නේ නම්, දාවිත් මෙන්, අප දිව්‍ය ගැලවීම, අනුග්‍රහය, හා පව් සමාව භුක්ති විඳිනු නියතය. w91 10/1
[පාදසටහන්වල]
a මානසික අසහනය පිළිබඳ එවේක්! හි 1987, ඔක්තෝබර් 22, පිටු 2-16, සහ 1987, නොවැම්බර් 8, පිටු 12-16 යන ලිපි බලන්න.
ඔබ ප්‍රතිචාරය දක්වනුයේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේ අසනීප ව සිටින ස්වකීය සේවකයන් හට උපකාර කරනුයේ කෙසේ ද?
◻ මානසික අසහනය සමඟ ක්‍රියාකරලීමට අප වෑයම් කරන විට, කුමක් උපකාරවත් විය හැකි ද?
◻ ආදරය කළ අයෙකුගේ මරණය පිළිබඳ ශෝකය සංසිඳවීමට කුමක් උපකාර කළ හැකි ද?
◻ තමන්ගේ පාප සඟවා ගන්නන්ට සහනයක් ලැබිය හැක්කේ කෙසේ ද?
◻ යෙහෝවඃ වහන්සේගේ ජනයා දැඩි සේ පරීක්ෂාවට ලක් කරනු ලැබූ විට ඇත්තේ කිනම් උපකාරයක් ද?
[30, 31වන පිටුවේ පින්තූරය]
භක්තිමත් යෝබ් මෙන්, නැවත නැගිටීමේ බලාපොරොත්තුවෙන් අපට සහනය ලැබිය හැකි ය