“ඔබේ දරුවන් කෝප නොකරන්න”
“පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න.” එසේ කීවේ ප්‍රේරිත පාවුල් ය. (එපීස 6:4) කාර්මීකරණය වී ඇති සමාජයේ වෙහෙසවීම් හා පීඩාවන්ට ගොදුරු වූ මව්පියන් වෙසෙන බටහිර රටවල්වල, ඔවුනට බොහෝ විට සිය දරුවන් සමඟ කාරුණික ව කටයුතු කිරීම එතරම් පහසු නොවේ. එසේ ම සංවර්ධනය වන්නා වූ රටවල්වල ද දරුවන් හදාවඩා ගැනීම ඊට වඩා අඩු අභියෝගයක් නොවේ. ජීවන ගමනේ වේගය, බටහිරට වඩා අඩු විය හැකි බව සැබෑවකි. එහෙත් කාලයක සිට පැවතෙන සිරිත් හා සම්ප්‍රදායන් සහතික ලෙස ම මව්පියන් ව සිය දරුවන් සමඟ, බොහෝ දුරට කලකිරෙන හා කෝපවන ආකාරයන්ගෙන් කටයුතු කිරීමට පෙලඹවිය හැකි ය.
ඇතැම් සංවර්ධනය වන්නා වූ රටවල්වල දරුවන් පිළිගැනීමේ හා ගෞරව කරනු ලැබීමේ ඉනිමගේ පහත් ම පෙත්තේ තබනු ලැබ ඇත. ඇතැම් සංස්කෘතීන්හි තර්ජනය කිරීම් මෙන් ම ආධිපත්‍ය පැවැත්වීම් ස්වරයන්ගෙන් කෑගැසීම් හා නිග්‍රහ කිරීම් මගින් දරුවන්ට නියෝග කිරීමක් සිදුවේ. වැඩිහිටියෙක් “කරුණාකර” හා “ඔබට ස්තුතියි” වැනි කෘතඥ පූර්වක වූ, කාරුණික වදන් දරුවෙකුට පවසනු අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. පියවරුන්ට හැඟෙනුයේ සිය ආධිපත්‍යය, දැඩි වචන දැඩි පහරදීම් මගින් ප්‍රතිශක්තිමත් කළ යුතු බවයි.
ඇතැම් අප්‍රිකානු සංස්කෘතීන්හි දරුවෙක් තමාගේ ම මුල පිරීමෙන් වැඩි වියට පත් අයෙක් ආමන්ත්‍රණය කිරීම, ගරු සරු නැති ක්‍රියාවක් ලෙසට මතයක් පවතී. තමන්ගේ හිස් මත මහත් බරක් උසුලාගත් යෞවනයින්, වැඩිහිටි සමූහයකට ආචාර කිරීමට අවසර ලැබෙනතෙක් ඉවසිල්ලෙන් බලා සිටිනු දක්නට ලැබීම අසාමාන්‍ය දෙයක් නොවේ. වැඩිහිටියන් තමන්ට ආචාර කිරීමට එසේ බලා සිටින යෞවනයින්ට තමන් අවසර දෙනතෙක් නොසලකා හරිමින්, සිය පලක් නැති කථාවල දිගට ම යෙදී සිටිනු ඇත. දරුවන්ට එතැනින් යාමට අවසර ලැබෙන්නේ එම ආචාර කිරීම්වලින් පසුව පමණක් ය.
දිළිඳුකම දරුවන්ගේ සුභසාධනයට එරෙහි ව ක්‍රියා කළ හැකි තවත් සාධකයකි. සිය සෞඛ්‍ය හා පාසල් ජීවිතය අහිමි කරමින් යෞවනයින් ළමා කම්කරුවන් හැටියට අනිසි ලෙස යොදා ගැනේ. ගෙදර දී පවා දරුවන් කෙරෙහි අයුක්ති සහගත ආකාරයකට බර වැඩ පවරනු ලැබිය හැකි ය. තව ද ගම්බද ප්‍රදේශවල පවුල්, පාසල් යන කාලය තුළ සිය දරුවන් ඥාතීන් විසින් රැකබලා ගැනුමට නගර කරා යවනු ලබන විට, ඔවුන් ව නිතර සැබෑ වහලුන් ලෙස සලකනු ලැබේ. මේ නීච සැලකිලි සියල්ලක් ම දරුවන් ව කෝප කරනු නොඅනුමාන ය!
‘ඔවුන් කෝප කිරීම’ යන්නෙහි අදහස
ඇතැම් මව්පියන් විපාකය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වමින්, ජනප්‍රිය වූ දරුවන් හදාවඩා ගැනීමේ රැල්ලෙන් තමන් ව ඇදගෙන යාමට ඉඩ හරිති. කෙසේ නමුත්, සිය දරුවන් කෝප නොකරන ලෙස දේව වචනය පවසනුයේ හොඳ හේතු ඇතිව ය. “කෝප නොකරන්න” වෙනුවෙන් යොදා ඇති මුල් ග්‍රීක් වදන වචනානුසාරයෙන්, “ඔබ මහත් කෝපයට පොලඹවන්නකු නොවන්න” යන්න අදහස් කරයි. (කිංඩම් ඉන්ටලීනියර්) රෝම 10:19 [NW] හි එම ක්‍රියා පදය ම “සැහැසික කෝපය ඇවිස්සීම” යනුවෙන් පරිවර්තනය කර ඇත.
ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන් මෙසේ පවසයි: “ඔවුන් කෝප කරවන ආකාරයකට ඔබගේ දරුවන්ට නොසලකන්න.” සමානාකාරයෙන් ද ජෙරුසලෙම් බයිබල් මෙසේ පවසයි: “ඔබගේ දරුවන් කිසිවිටෙක නොරිස්සුම් ගතියකට පත් නොකරන්න.” එබැවින් බයිබලය මෙහි දී අසම්පූර්ණත්වය හේතුවෙන් මව්පියෙක් නොදැනුවත් ව ඇති කරවනසුලු කෝප කිරීම් ගැන කථා කරන්නේ හෝ ධර්මිෂ්ඨ ලෙස අදාළ කර ගන්නා හික්මවීමක් දෝෂාරෝපණයට ලක් කරන්නේ හෝ නැත. ලොංගීස් කොමෙන්ට්‍රි ඔන් ද හෝලි ස්ක්‍රිප්චර්ස් අනුව, මෙම බයිබල් වගන්තිය “වහා කිපීමකට, විරෝධය පෑමකට, මහත් සේ අකීකරු වීමකට හා මහත් දොම්නසකට පෙලඹෙන ආකාරයකට . . . දරුවන් පිළිබඳ ඉක්මන්, පරුෂ, නොසන්සුන් සැලකිල්ලක්” ගැන කථා කරයි.
ශික්ෂකයෙක් වන ජේ. එස්. ෆැරන්ට් මෙසේ නිරීක්ෂණය කළේ ය: “මෙහිලා සත්‍යය වනුයේ දරුවන් ද මනුෂ්‍යයින් බව ය. සිය පරිසරයට ශාක ප්‍රතිචාරය වන්නා සේ ඔවුහු නිකම් අක්‍රියාශීලී ආකාරයකට ක්‍රියා නොකරති. ඔවුහු ප්‍රතික්‍රියා කරති.” තව ද බොහෝ විට අයුක්ති සහගත සැලකිල්ලේ ප්‍රතික්‍රියාව ආත්මික හා චිත්ත වේගී පිරිහීමකට තුඩු දෙයි. දේශනාකාරයා 7:7 පවසනුයේ: “සැබවින්ම බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය.”
දෙවියන් වහන්සේගේ හික්මවීමෙන් දරුවන් ඇතිදැඩි කිරීම
සිය දරුවන් සත්‍යතාවෙහි හැසිරෙනවා දැකීමට ආශා කරන දෙමව්පියන්, සංස්කෘතිමය න්‍යායන් හා සම්ප්‍රදායන්, ඔවුන් තම දරුවන් ඇතිදැඩි කරන ආකාරය නිශ්චය කරන එක ම හේතුකාරකය වීමට ඉඩ නොහළ යුතු ය. (3 යොහන් 4 සසඳන්න.) සිය දරුවන් කෝප කරවීම පිළිබඳ ව අනතුරු ඇඟවීමෙන් පසු, පාවුල් තවදුරටත් මෙසේ පැවසී ය: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] හික්මවීමෙන්ද අවවාදයෙන්ද [මානසික ශික්ෂණයෙන් NW] ඔවුන් ඇතිකරපල්ලා.” (එපීස 6:4) මෙසේ යෙහෝවඃ වහන්සේගේ ප්‍රමිති පොදුවේ දක්නට ඇති චාරිත්‍ර හා මතයන් අභිබවා යයි.
සමහරක් රටවල්වල දරුවන් පහත් අය මෙන් ම වහල් කම්කරකැවන් ලෙස සැලකීම සාමාන්‍ය දෙයක් වුවත්, ගීතාවලිය 127:3හි බයිබලය ප්‍රකාශ කරනුයේ: “බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.” සිය උරුමය අනිසි ලෙස සැලකුවේ නම් මව්පියෙකුට දෙවියන් වහන්සේ සමඟ හොඳ සම්බන්ධතාවයක් පැවැත්විය හැකි ද? කොහෙත්ම නැත. එමෙන් ම දරුවන් සිය මව්පියන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට පමණක් ජීවත් වන්නේ යයි කල්පනා කරලීමට කිසි ඉඩකඩක් නොමැත. දෙවන කොරින්ති 12:14හි බයිබලය අපට මතක් කරනුයේ: “මක්නිසාද රැස්කර තබන්ට යුතුව තිබෙන්නේ, දරුවන් විසින් මවුපියන්ට නොව මවුපියන් විසින් දරුවන්ටය.”
දරුවන් සිය සාමාන්‍ය ගෙදර දොර කටයුතු හා කාර්ය භාරයන්හි හවුල් වීමෙන් නිදහස් කළ යුතු බව මින් අදහස් නොවේ. එහෙත් දරුවාගේ ම යහපත සැලකිල්ලට ගත යුතු නොවේ ද? උදාහරණයක් වශයෙන්, අප්‍රිකාවේ ක්‍රිස්තියානි දැරියක් වන යා, සිය මව්පියන් තමාට කුමක් කරනවාට වඩාත් කැමතිදැයි තමාගෙන් අසනු ලැබූ විට, ඇය පිළිතුරු දුන්නේ මෙසේ ය: “ක්ෂේත්‍ර සේවා පිළියෙළ කර ඇති දිනවල මගේ සාමාන්‍ය ගෙදර දොර කටයුතු අඩු කරන්නේ නම් මා කැමැතියි.” මෙසේ සාමාන්‍ය ගෙදර දොර කටයුතු නිසා දරුවෙක් කල්වේලා ඇති ව පාසලට හෝ රැස්වීම්වලට සහභාගි වීමේ අපහසුවක් අත්දකින්නේ නම්, යම් වෙනස්කමක් සිදු කිරීම වඩාත් හොඳ නොවේ ද?
තරුණ අය සමඟ කටයුතු කිරීම අපහසු බව ඇත්ත ය. පීඩිත හෝ කෝප නොකරන ආකාරයකට මව්පියන්හට ඔවුන් සමඟ කටයුතු කළ හැක්කේ කෙසේ ද? හිතෝපදේශ 19:11 පවසනුයේ: “සිහි කල්පනාව [තීක්ෂණ බුද්ධිය NW] ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි.” එසේ ය, පළමුකොට තනි පුද්ගලයෙක් හැටියට ඔබ ඔබගේ දරුවා ව තේරුම් ගැනීමට වෑයම් කළ හැකි ය. එක් එක් දරුවා සිය ආශාවන්, හැකියාවන්, මෙන් ම අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් අතිවිශේෂ වෙයි. මේවා මොනවා ද? ඔබ ඔබගේ දරුවා හැඳිනගෙන, මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට කාලය වැය කර තිබෙනවා ද? එක් ව වැඩ කිරීම හා නමස්කාර කිරීම, පවුලේ විනෝද කටයුතුවල නියැලීම—මේ දේවල් මව්පියන් ව සිය දරුවන් වෙතට වඩාත් සමීප කර වීමට අවකාශය ලබා දෙයි.
දෙවන තිමෝති 2:22හි, පාවුල් තිමෝතිට මෙසේ පැවසූ විට, තවත් සිත්ගන්නා නිරීක්ෂණයක් කළේ ය: “යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව” සිටින්න. එසේ ය, යෞවන විය කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක් බව පාවුල් අවබෝධ කර ගත්තේ ය. චමත්කාර වූ ශාරීරික හා චිත්තවේගී වෙනස් වීම් සිදු වේ. විරුද්ධ ලිංගයේ අය වෙත ආකර්ෂණය වැඩි වේ. මේ කාලය තුළ, භයංකර බොරුවළවල් මඟහැරීමට යෞවනයින්ට මේරූ එමෙන් ම ප්‍රේමනීය වූ මඟපෙන්වීම අවශ්‍ය වේ. එහෙත් ඔවුන් දුරාචාරමය අය ලෙස සැලකිය යුතු නොවේ. එක් ක්‍රිස්තියානි මිනිසෙකුගේ කෝපයෙන් ඇවිලුණු දියණිය මෙසේ වැළපුණා ය: “මා වේශ්‍යාකම් නොකර සිටියදීත් මාගේ පියා ඒ වෙනුවෙන් මට දොස් පවරන්නේ නම්, මා එහි නියැලීම වඩාත් හොඳ ය.” නපුරු අභිප්‍රායන් ආරූඪ කරනු වෙනුවට, ඔබගේ දරුවා කෙරෙහි නිසැකකම ප්‍රකාශ කරන්න. (2 තෙසලෝනික 3:4 සසඳන්න.) විවේචනාත්මක වෙනවා වෙනුවට, ප්‍රේමනීය, ස්ථාවර ආකාරයකට සංවේදනය සහිත ව ද, විචාර බුද්ධිය සහිත ව ද සිටින්න.
මව්පියන් කල් ඇතිව දරුවෙක් මුහුණ දෙන සදාචාරමය අන්තරාවන් ගැන සාකච්ඡා කරන්නේ නම්, කෙසේ හෝ, ගැටලු ගණනාවක් වළක්වා ගත හැකි ය. තම දූදරුවන් දේව වචනයෙහි පුහුණු කර ඉගැන්වීම දෙවියන් වහන්සේ මව්පියන්ගෙන් බලකර ඉල්ලා සිටින බව මතකයේ තබා ගන්න. (ද්විතීය කථාව 6:6, 7) ඒ සඳහා සෑහෙන කාලයක් හා වෑයමක් අවශ්‍ය විය හැකි ය. අභාග්‍යයකට මෙන්, ඇතැම් මව්පියෝ තමන්ට ඉවසීම නැති නිසා තම ඉගැන්වීමේ පැවරුම ඉටු කිරීමට අසමත් වෙති. සංවර්ධනය වන්නා වූ බොහෝ දේශවල අති මහත් ගැටලුවක් වන, අකුරු සාස්ත්‍රයේ නොදැනීම, වෙනත් මව්පියන්ට බාධකයක් ව පවතී.
ඇතැම් විට උපකාර කරනු පිණිස මේරූ ක්‍රිස්තියානියෙකු කැඳවිය හැකි ය. අත්දැකීම් අඩු මව්පියාට හුදෙක් යෝජනා ඉදිරිපත් කිරීම පමණක් ඊට ඇතුළත් විය හැක. (හිතෝපදේශ 27:17) නොඑසේ නම් පවුල් පාඩම පැවැත්වීමෙහි උපකාර කිරීමක් ඊට අදාළ විය හැකි ය. එහෙත් මෙය සිය දූදරුවන්ට දේව වචනය ඉගැන්වීම පිණිස වූ වගකීමෙන් මව්පියා ව නිදහස් කරන්නට යන්නේ නැත. (1 තිමෝති 5:8) ඔහු ක්ෂේත්‍ර සේවයෙහි තම දරුවන් සමඟ වැඩ කරන විට, කෑම කන විට හෝ වෙනත් සුදුසු අවස්ථාවන්හි ආත්මික කාරණා සාකච්ඡා කිරීමට වෑයමක් දැරිය හැකි ය.
වැඩිහිටිභාවය කරා ළඟා වෙන යෞවනයෙක් වැඩි නිදහසක් ස්වභාවයෙන් ම ආශා කළ හැකි ය. බොහෝ විට මෙය යටත් නොවීමක් නැතහොත් ගරුසරු නැති බවක් ලෙස වරදවා වටහා ගැනේ. මව්පියන් ඔහු ව කුඩා දරුවෙක් ලෙස සලකමින්, සිය ක්‍රියාවන්හි ඔහුට වැඩි නිදහසක් දී ම ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය කොතරම් කුපිත කරවන්නක් ද! ඔහු සමඟ සන්සුන් හා ගෞරවනීය ආකාරයකට කාරණා කථා කර නොගනිමින්—අධ්‍යාපනය, වෘත්තිය, විවාහය වැනි—ඔහුගේ ජීවිතයේ සෑම අංශයක් ගැන ම තමන් තීරණය කිරීම, සමානාකරයෙන් කෝප කරවන්නක් වනු ඇත. (හිතෝපදේශ 15:22) “බුද්ධියෙන් පුරුෂයෝ වෙයල්ලා [දැනගැන්මේ බලයන්ගෙන් පූර්ණ මේරූ භාවයට පැමිණෙන්න NW]” යයි ප්‍රේරිත පාවුල් සහකාර ක්‍රිස්තියානීන්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය. (1 කොරින්ති 14:20) තම දරුවන්—චිත්තවේගී මෙන් ම ආත්මික ව වර්ධනය වීම මව්පියන් ආශා කළ යුතු නොවේ ද? එහෙත්, යෞවනයෙකුගේ “තියුණු වූ ඉන්ද්‍රියන්” පුහුණු කළ හැක්කේ “ව්‍යවහාරයෙන්” පමණකි. (හෙබ්‍රෙව් 5:14, න. අ.) ඒවා ව්‍යවහාර කිරීමට තෝරා ගැනීම පිළිබඳ යම් පමණක නිදහසක් ඔහුට දානය කළ යුතු ය.
මේ දුෂ්කර කාලයන්හි දරුවන් ඇතිදැඩි කිරීම පහසු නැත. එහෙත් දේව වචනය අනුගමනය කරන මව්පියෝ “කල නොකිරෙන පිණිස” සිය දරුවන් කෝප හෝ කුපිත නොකරති. (කොලොස්සි 3:21) ඒ වෙනුවට, ඔවුහු තම දරුවන්ව උණුසුම් භාවයෙන්, අවබෝධයෙන්, හා ගෞරවයෙන් සලකන්නට බලවත් උත්සාහයක් දරති. ඔවුන්ගේ දරුවන් දක්කාගෙන යනවා නොව මගපෙන්වනු ලැබේ; නොසලකා නොව පෝෂණය කරනු ලැබේ; කෝපයට හෝ කලකිරීමට පොලඹවනු වෙනුවට ප්‍රේමයට පොලඹවනු ලබමින් වර්ධනය වනු ඇත. w91 10/1
[16වන පිටුවේ පින්තූරය]
ඝානාවේ සාමාන්‍ය ගෘහස්ත ක්‍රීඩාවක් වන “ඔවා” ක්‍රීඩාවෙහි යෙදීම, සිය දරුවන් ඇසුරු කිරීමට මව්පියන්ට ප්‍රස්තාවක් ලබා දෙයි.