“ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටිනු ඇත”
අපරාධකරු වධ කණුව මත මහත් වේදනාවකින් මිය යමින් සිටින විට, ඔහු තමාගේ පැත්තක සිටි මිනිසාගෙන් මෙසේ අයැදී ය: “යේසුස් වහන්ස, ඔබ රාජ්‍යය බලයෙන් යුක්ත ව එන කළ මා සිහි කළ මැනව.” යේසුස් වහන්සේ ද අතිශයින් දරුණු වේදනාවකින් මිය යමින් සිටිය ද, ඊට මෙසේ පිළිතුරු දුන් සේක: “සැබවින් ම මම ඔබට කියමි අද, ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටිනු ඇත.” (ලූක් 23:42, 43, NW) මිය යමින් සිටින මිනිසෙකුට ඉදිරිපත් කිරීමට මොනතරම් සැනසිලිදායක බලාපොරොත්තුවක් ද!
එනමුත්, න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් හි, ඉහත ඡේදයේ උපුටා දක්වා ඇති පාඨයෙහි යේසුස් වහන්සේගේ මෙම වචන ගෙන හැර දක්වන විට විරාම ලකුණ යොදා ඇත්තේ “අද” යන වචනයට පසු ව බව ඔබ කල්පනාවට ගත්තෙහි ද? මින් ගෙන හැර පාන අදහස නම්, එම අපරාධකරුට පාරාදීසයෙහි ජීවිතය පොරොන්දු වීමට යේසුස් වහන්සේ මිය යන දවසේ දී පවා, උන් වහන්සේට හැකියාව තිබූ බවයි. අනෙක් අතට, ද න ඉංග්ලිෂ් බයිබල් හි යේසුස් වහන්සේගේ වචනවලට මෙසේ විරාම ලකුණ යොදා ඇත: “මම ඔබට මෙය කියමි: අද දින ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටිනු ඇත.” යේසුස් වහන්සේ සහ එම අපරාධකරු එම දවසේ දී ම පාරාදීසයට යමින් සිටියා ය යන අදහස ගෙන හැර පාමින් වෙනත් බොහෝ පරිවර්තන න ඉංග්ලිෂ් බයිබල් සමඟ එකඟ වේ. මේ වෙනස මන්ද? නිවැරදි වන්නේ කොයි විරාම ලකුණ ද?
ඇත්තෙන් ම, බයිබලයේ මුල් ම ග්‍රීක අත් පිටපත්වල විරාම ලකුණක් තිබුණේ නැත. එබැවින්, විරාම ලකුණ හඳුන්වා දෙනු ලැබූ විට, බයිබල් පිටපත් කරන්නන්ට හා පරිවර්තකයන්ට බයිබල් සත්‍යය පිළිබඳ තම අවබෝධයට අනුව, එය ඇතුළත් කිරීමට සිදු විණි. එසේ නම්, සාම්ප්‍රදායික පරිවර්තනය නිවැරදි ද? යේසුස් වහන්සේ සහ අපරාධකරුවා, ඔවුහු මිය ගිය දවසේ ම පාරාදීසයට ගියෙහු ද?
නැත, බයිබලය පවසන පරිදි, ඔවුන් ගියේ, ග්‍රීක් භාෂාවෙන් හේදිස් යනුවෙන් සහ හෙබ්‍රෙව් භාෂාවෙන් ෂෙයොල් යනුවෙන් හඳුන්වනු ලබන ස්ථානයට වන අතර, මේ වචන දෙකෙන් ම යොමු දැක්වෙන්නේ මිනිසාගේ පොදු මිනී වළට ය. (ලූක් 18:31-33; 24:46; ක්‍රියා 2:31) එම ස්ථානයේ සිටින අය ගැන බයිබලය මෙසේ කියයි: “මළාහු කිසිවක් නොදනිති. . . . නුඹ යන මිනීවළෙහි [ෂෙයෝලෙහි NW] [ග්‍රීක්, හේදිස්] වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” පාරාදීසයක් වීම උගහට ය!—දේශනාකාරයා 9:5, 10.
තුන්වන දවස වන තුරු යේසුස් වහන්සේ හේදිසයෙන් නැවත නැගිටුණේ නැත. ඉන් පසු, සති හයක පමණ කාලයක් ඇතුළත, පලස්තීන දේශය පුරා උන් වහන්සේගේ අනුගාමිකයන් හට අවස්ථා කිහිපයක දී පෙනී සිටි සේක. එවන් එක් අවස්ථාවක දී, යේසුස් වහන්සේ මරියාට මෙසේ පැවසූ සේක: “මම තවම පියාණන්වහන්සේ වෙතට නොනැංගෙමි.” (යොහන් 20:17) එබැවින්, ඒ අවස්ථාවේ දී වත් පාරාදීසය යැයි පැවසිය හැකි තැනකට උන් වහන්සේ ළඟා වී තිබුණේ නැත.—එළිදරව් 2:7.
පොදු යුගයේ තුන්වන සියවසේ දී, එනම් ක්‍රිස්තියානි ඉගැන්වීම් ග්‍රීක් දර්ශනවාදය සමඟ සම්බන්ධ වීම ඉක්මනින් ම සිදු වෙමින් තිබූ කාලයේ දී, යේසුස් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ බව ඔරිගන් ගෙන හැර පෑවේ ය: “අද දින ඔබ මා සමඟ දෙවියන් වහන්සේගේ පාරාදීසයෙහි සිටිනු ඇත.” පොදු යුගයේ හතරවන සියවසේ සභා ලේඛකයෝ, “අද” යන වචනයට පසු ව විරාම ලකුණක් යෙදීමට එරෙහි ව විවාද කළහ. යේසුස් වහන්සේගේ වචන උච්චාරණයේ සම්ප්‍රදායික ක්‍රමයට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව මින් පෙන්නුම් කරයි. එහෙත් ඉන් පෙන්වන තවත් දෙයක් නම්, පො.යු. හතරවන සියවසේ පවා, සමහරෙක් විසින් යේසුස් වහන්සේගේ වචන න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් හි ගෙන හැර දක්වා ඇති ආකාරයට කියවනු ලැබූ බව ය.
අද දිනත්, බොහෝ පරිවර්තකයන් ලූක් 23:43 හි පල්ලි සම්ප්‍රදායට අනුව විරාම ලකුණ යොදන නමුත්, සමහරු එයට විරාම ලකුණ යොදන්නේ න වර්ල්ඩ් ට්රාන්ස්ලේෂන්ට සමාන ව ය. නිදසුනක් වශයෙන්, මහාචාර්ය විල්හෙම් මිකාහෙලිස් විසින් කරන ලද ජර්මන් පරිවර්තනයෙහි යේසුස් වහන්සේගේ වචන මෙසේ කියවීමට තිබේ: “ඇත්තෙන් ම, අද පවා මම මේ සහතිකය ඔබට දෙමි: ඔබ (යම් දිනක) මා හා එක් ව පාරාදීසයෙහි සිටිනු ඇත.”
එසේ නම්, යේසුස් වහන්සේ අපරාධකරුට පැවසූ වචනවලින් අදහස් කළේ කුමක් ද? යේසුස් වහන්සේ වනාහි පොරොන්දු වූ රජ බවට කියා සිටීම ඔහු විසින් අසා තිබුණා විය හැක. පිලාත් විසින් යේසුස් වහන්සේගේ හිසට උඩින් සටහන් කර තිබූ “යුදෙව්වන්ගේ රජ” යන පදවිය ගැන ඔහු දැන සිටියාට කිසිදු සැකයක් නැත. (ලූක් 23:35-38) ආගමික නායකයන් උද්දච්ච ලෙස යේසුස් වහන්සේ ව ප්‍රතික්ෂේප කළ නමුත්, මෙම පසුතැවිලි වූ අපරාධකරු, “යේසුස්වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනව” යයි පවසමින් තම ඇදහිල්ල ප්‍රකාශ කළේ ය. යේසුස් වහන්සේ සමඟ පාලනය කරන්නට ඔහු අපේක්ෂා කළේ නැත, නමුත් යේසුස් වහන්සේගේ පාලනයෙන් ප්‍රයෝජන ලබන්නට ඔහුට වුවමනා විය. එබැවින්, යේසුස් වහන්සේ, එම මහත් අසීරු දවසේ දී පවා, වරදකරුවා උන් වහන්සේ සමඟ පාරාදීසයෙහි සිටිනු ඇති බවට පොරොන්දු වූ සේක.
කොයි පාරාදීසයේ ද? බයිබලයේ, ප්රාරම්භක පාරාදීසය වනාහි අපගේ මුල් දෙමාපියන් අහිමි කර ගත් උද්‍යානයක් බඳු ඒදන් උයන විය. යේසුස් වහන්සේ රජ වී සිටින දෙවියන් වහන්සේගේ රාජ්‍යය යටතේ එම භුමික පාරාදීසය යළි පිහිටුවනු ලබන බව බයිබලය පොරොන්දු වෙයි. (ගීතාවලිය 37:9-11; මීකා 4:3, 4) මෙබැවින්, යේසුස් වහන්සේ එම වැරදිකරු ව සහ වෙනත් අසංඛ්‍යාත මළ අය ව ඔවුන්ගේ සොහොන්වලින් පාරාදීස පොළොවකට නැවත නැගිටුවා, දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉගෙන ගෙන සදාකාල ජීවනය ලැබීමට ප්‍රස්තාව දෙන විට, උන් වහන්සේ ඔවුන් සමඟ සිටිනු ඇත.—යොහන් 5:28, 29; එළිදරව් 20:11-13; 21:3, 4. w91 10/15