දෙවියන් වහන්සේගේ පළිගැනීමේ දවස
ඉහත ලිපියේ අප දුටුවාක් මෙන්, අප විසින් පළිගැනීමට සෙවීම වැරදි බව තේරුම් ගැනීමට හේතු කිහිපයක් තිබේ. එය වැරදි වන්නේ, දිගු කාලීන වශයෙන්, එයින් කිසිවක් නොවිසඳෙන නිසා ය. එය වැරදි වන්නේ, මිතුරුකම් වඩවනවා වෙනුවට එය සතුරුකම්වලට පොහොර දමන නිසා ය. තව ද එය වැරදි වන්නේ, පළිගැනීමේ චේතනාවෙන් පැසවමින් සිටින පුද්ගලයාට එයින් නපුරක් වන නිසා ය.
කෙසේ වෙතත්, මිනිසා විසින් පළිගැනීම වැරදි වීමට වඩාත් වැදගත් ම හේතුව, ඊශ්‍රායෙල්වරුන් හට මෝසෙස් විසින් පවසන ලද වචනවල දක්නට ලැබේ: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දයාවන්ත දෙවිකෙනෙක්” ය. (ද්විතීය කථාව 4:31) දෙවියන් වහන්සේ දයාන්විත බැවින්, අප ද උන් වහන්සේ මෙන් දයාවන්ත විය යුතුයි. යේසුස් වහන්සේ සිය අනුගාමිකයන් හට මෙසේ පැවසූ සේක: “නුඹලාගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක්මෙන් නුඹලාත් [නොකඩවා NW] දයාවන්තව සිටපල්ලා.”—ලූක් 6:36.
එහෙත්, යෙහෝවඃ වහන්සේ වනාහි “පළිගැනීමේ ක්‍රියාවන්හි දෙවිකෙනෙකු” බව ද බයිබලය විස්තර කරයි. (ගීතාවලිය 94:1, NW) “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේ NW] කරුණාවේ අවුරුද්ද” ගැන ද, එමෙන් ම, “අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවස” ගැන ද ප්‍රොපේත යෙසායා කථා කරයි. (යෙසායා 61:2) දෙවියන් වහන්සේ දයානුකම්පිත වන්නේත්, පළිගන්නා සුලු වන්නේත් කෙසේ ද? එමෙන් ම, අප විසින් දෙවියන් වහන්සේගේ දයාව අනුකරණය කළ යුතු නම්, පළිගැනීම සම්බන්ධයෙන් උන් වහන්සේ ව අනුකරණය කරන්නට නොහැක්කේ මන්ද?
පළමු ප්‍රශ්නයට පිළිතුර නම්, දෙවියන් වහන්සේ දයාන්විත වන්නේ, උන් වහන්සේ මිනිසාට ප්‍රේම කරන නිසාත්, මිනිසුනට තමන්ගේ මාර්ග නිවැරදි කර ගැනීමට ප්‍රස්තාවක් දෙනු පිණිස, උන් වහන්සේ හැකි තරම් ප්‍රමාණයකට සහ හැකි තරම් කාලයකට අවස්ථාවක් දෙන නිසාත් ය. ප්‍රේරිත පාවුල් වැනි බොහෝ දෙනෙක් මෙම දයාවෙන් ප්‍රයෝජන ගෙන සිටිති. එහෙත් දෙවියන් වහන්සේ පළිගන්නා සුලු ද වන සේක—එනම් යුක්තිය ඉටු කරන අරුතින් ය—මන්දයත් එවන් දයාවක් පවතින්නේ යම් තරමක කාලයක් වන හෙයිනි. තම මාර්ග කිසිවිටෙකත් වෙනස් නොකරන බව සමහරෙකු නිරූපනය කොට ඇත්නම්, උන් වහන්සේගේ පළිගැනීමේ දවස යයි හැඳින්වෙන අවස්ථාවේ දී විනිශ්චය ඉෂ්ට කරනු ඇත.
දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර නම්, නැත යන්නයි, දෙවියන් වහන්සේ පළිගන්නා නිසා අප පළිගන්නා සුලු අය වීම යුක්ති සහගත දෙයක් නොවේ, ඒ මන්දයත්, පළිගැනීම අයත් වන්නේ දෙවියන් වහන්සේට පමණක් වන බැවිනි. යෙහෝවඃ වහන්සේ යුක්තියෙන් පරිපූර්ණ වන සේක. මිනිසුන් එසේ නොවේ. යම් කාරණයක් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ සියලු ම පැති දකින අතර, සැමවිට ම ධර්මිෂ්ඨ තීරණයක් ගන්නා සේක. අපත් එසේ ම කරාවිය කියා අප කෙරෙහි ම විශ්වාසය තැබිය නොහැක. “ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහැරපල්ලා. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාක දෙමියි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කියන සේකැයි ලියා තිබේ” යනුවෙන් පාවුල් උපදෙස් දුන්නේ ඒ නිසයි. (රෝම 12:19) අපගේ ම ප්‍රයෝජනය උදෙසා, පළිගැනීම දෙවියන් වහන්සේගේ හස්තයට භාර කළ යුතු ය.
පළිගැනීමේ දවසක් මන්ද?
එහෙත්, පසුතැවිලි නොවන වැරදි කරන්නන්ගෙන් ගණන් ගැනීමට අවශ්‍ය බව බයිබලයේ බොහෝ තැන්වල පිළිගැනේ. නිදසුනක් වශයෙන්, දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ තුළින්, “දෙවියන්වහන්සේ නාඳුනන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙනු” ඇති බව ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළේ ය. (2 තෙසලෝනික 1:7) එම වචන බැරෑරුම් ලෙස සැලකීමට අපට හොඳ හේතු තිබේ. මන්ද?
එක දෙයක් නම්, අද දින ජීවත් වන බහුතරයක් මැවුම්කරුවාණන්ගේ පරමාධිපත්‍යයට නොකඩවා එරෙහි ව සිටින හෙයින්, ඔවුහු උන් වහන්සේගේ ධර්මිෂ්ඨ නීති නොසලකා හරිති. ඔවුන් දෙවියන් වහන්සේ ව විශ්වාස කරන බව කීවත් නොකීවත්, ඔවුන්ගේ හැසිරීමෙන් පැහැදිලි ව පෙන්වන්නේ, තමන් දෙවියන් වහන්සේ ඉදිරියේ ගණන් දිය යුතු බවක් ඔවුන්ට නොහැඟෙන බව ය. එවන් සියල්ලන්ට ගීතිකාකරුගේ වදන් අදාළ වෙයි: “දුෂ්ටයා දෙවියන්වහන්සේට නින්දා කරන්නෙත් ඔබ පළිනොගන්නා සේකැයි සිතින් [හෘදයෙන් NW] කියන්නෙත් මක්නිසාද?” (ගීතාවලිය 10:13) ස්ථිර ව ම, මේ ආකාරයෙන් තමන් වහන්සේට අවමන් කරනු ලැබීමට යෙහෝවඃ වහන්සේ සදහට ම ඉඩ හරින්නේ නැත. උන් වහන්සේ ප්‍රේමයේ දෙවිකෙනෙකු නමුදු, උන් වහන්සේ යුක්තියේ දෙවිකෙනෙකු ද වන සේක. යුක්තිය ගැන සැබෑවට ම සැලකිල්ල දක්වන අයගේ මොර ගැසීමට උන් වහන්සේ සවන් දෙනු ඇත: “ස්වාමිනී [අහෝ යෙහෝවඃ වහන්ස NW], නැගුටුණ මැනව; [අහෝ NW] දෙවියන්වහන්ස, ඔබගේ අත එසෙවුවමැනව. දිළිඳුන් [පීඩාවට ලක්වූවන් NW] මතක නැති නොකළ මැනව.”—ගීතාවලිය 10:12.
තවදුරටත්, නීති උල්ලංඝනය කරන ජනයා අප ජීවත් වන මේ පෘථීවිය ම විනාශ කරමින් සිටිති. ඔවුහු වාතය, ගොඩබිම, සහ ජලය කිලිටි කරති; අයුක්තියෙන් සහ කුරිරුකමින් ඔවුහු පොළොව පුරවති. තව ද ඔවුහු මිනිස් සංහතියේ පැවැත්මට තර්ජනය කිරීමට ඉවහල් වන රසායනික, න්‍යෂ්ටික, සහ වෙනත් මාරාන්තික යුද අවි ඇති තරම් ගොඩ ගසති. කීකරු මිනිස් වර්ගයා උදෙසා සුරක්ෂිත අනාගතයක් තහවුරු කරනු වස් දිව්‍ය මැදිහත්වීමක් අනිවාර්යයෙන් ම පැමිණෙනු ඇත. (එළිදරව් 11:18) පළිගැනීමේ දවස වශයෙන් යෙසායා යොමු දැක්වූයේ මෙම මැදිහත්වීමටයි.
දෙවියන් වහන්සේගේ පළිගැනීමේ දවස මගින් ඉටු කරනු ලබන්නේ කුමක් ද?
වයින්ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් න ටෙස්ටමන්ට් වර්ඩ්ස්, යන ප්රකාශනයට අනුව, ග්‍රීක් ශුද්ධ ලියවිලිවල, පළිගැනීම සඳහා යෙදී ඇති වචනයේ, දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් ගත් කල, එහි පදගතාර්ථය නම්, “‘යුක්තිය නිසා නික්ම එන දෙය’ යන අදහස මිස, තුවාල කිරීමක් නිසා හෝ හුදෙක් කෝපයේ හැඟීම් නිසා මතු වන ක්‍රියාවක් සමඟ සම්බන්ධ වී නොමැත” යනුයි. මෙබැවින්, ස්වකීය සතුරන්ට එරෙහි ව දෙවියන් වහන්සේගේ පළිගැනීම, පුද්ගලික බද්ධ වෛරයක දී මෙන්, පාලනයෙන් තොර ව කරන ලේ වැගිරීමේ අවස්ථාවක් නොවනු ඇත. “[දිව්‍ය NW] භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන් . . . විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දන්නා සේක.” යයි බයිබලය අපට පවසයි.—2 පේතෘස් 2:9.
දෙවියන් වහන්සේගේ පළිගැනීමේ දවස වනාහි, හරි හැසිරීම නිර්දෝෂ කරනු ලබන, ධර්මිෂ්ඨයන් දුෂ්ටයන්ගේ පීඩාවන්ගෙන් මුදවනු ලබන කාලයක් ලෙස දෙවියන් වහන්සේගේ සේවකයෝ ඉදිරිය බලා සිටිති. ඔවුන් ද්වේෂ සහගත නපුරු සිතකින්, පළිගන්නා සුලු අය බව මින් අදහස් නොකරයි. “තව කෙනෙකුගේ විපත්තියේ දී ප්‍රීති වෙන්නා, දඬුවමින් නිදහස් නොවනු ඇත,” යයි බයිබලය අනතුරු අඟවයි. (හිතෝපදේශ 17:5, NW) මීට පටහැනි ව, ඔවුහු දයාව සහ දයානුකම්පාව වර්ධනය කරන අතර, පළිගැනීම සම්බන්ධ ඕනෑ ම තීරණයක් ගැනීම දෙවියන් වහන්සේට භාර කරති.
ඇත්ත ය, මේ මාර්ගයෙන් කටයුතු කිරීම කෝප වෙන පුද්ගලයෙකුට පහසු නැත. නමුත් එය කරන්නට පුළුවන, තව ද බොහෝ දෙනෙක් එසේ කර තිබේ. නිදසුනක් වශයෙන්, පෙඩ්රෝ සිය ළමා වියේ දී අසතුටෙන් සිටි අතර, ඔහුගේ වැඩිමහල් සහෝදරයා විසින් නිතර ම පාහේ පහර දෙනු ලැබිණි. සහසිකයෙකු ලෙස හැදී වැඩුණු ඔහු, නිරතුරු ව ම පාහේ පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගත්තේ ය. තව ද තම සොහොයුරා කෙරෙහි පැවති කෝපය ඔහු සිය බිරිඳ හා දරුවන් මත පෙන්වන්නට විය. අවසානයේ දී, ඔහු යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකුට සවන් දී, පසු ව බයිබල් පාඩමක් ආරම්භ කළේ ය. ඔහු මෙසේ විස්තර කරයි: “යෙහෝවඃ වහන්සේගේ උදව් ඇති ව මම වෙනස් වූයෙමි, දැන්, මම මිනිසුන් සමඟ දබර කරනවා වෙනුවට, ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු වශයෙන් ඔවුනට උපකාර කරමි.” බයිබලයේ සහ ශුද්ධාත්මයේ උපකාරය සමඟින්, තවත් අසංඛ්‍යාත දෙනෙක්, ද්වේෂ සහගත හෝ පළිගැනීමේ ස්වභාවයක සිට අන් අයට ප්‍රේමය සහ ඉවසිලිවන්තකම දක්වන තත්ත්වයට මේ හා සමාන ව ම වෙනස් වී සිටිති.
ඔබ කරනු ඇත්තේ කුමක් ද?
දෙවියන් වහන්සේගේ පැමිණෙන පළිගැනීමේ දවස මනසේ තබා ගෙන සිටීම, යෙහෝවඃ වහන්සේගේ ඉවසීමෙන් ප්‍රයෝජන ගැනීමට අපට උපකාරවත් වෙයි. නමුත් එසේ කිරීමට තිබෙන ප්‍රස්තාව අසීමිත එකක් නොවේ. එම දවස ඉතා ඉක්මනින් ම එළැඹෙනු ඇත. එය තවමත් පැමිණ නැත්තේ මන්ද කියා ප්‍රේරිත පේතෘස් පෙන්වූයේ ය: “ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවන සේක; නුමුත් සියල්ලන් පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකැමතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසන සේක.”—2 පේතෘස් 3:9.
එසේ නම්, ශුද්ධ ලියවිලි පාඩම් කිරීමෙන් හා ඒවායේ උපදෙස් අදාළ කර ගැනීමෙන් දෙවියන් වහන්සේගේ ගණන් ගැනීමේ දවසට සූදානම් වීම හදිසි දෙයකි. ගීතිකාකරුගේ මෙම වචන අනුගමනය කිරීමට ඒවා අපට මහෝපකාරී වනු ඇත: “තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය. මක්නිසාද නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නුමුත් ස්වාමින් [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි බලා සිටින්නෝ දේශය [පොළොව NW] උරුම කරගන්නෝය.”—ගීතාවලිය 37:8, 9. w91 11/1
[7වන පිටුවේ පින්තූරය]
දෙවියන් වහන්සේගේ පළිගැනීමේ දවසින් පසු, ‘යෙහෝවඃ වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෝ පොළොව උරුම කර ගනිති’