විඳදරා ගැනීමෙන් යුතු ව තරඟය දිවීම
“අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරා ගැනීමෙන් NW] දුවමු.”—හෙබ්‍රෙව් 12:1.
1. (අ) අප යෙහෝවඃ දෙවියන් වහන්සේට කැප වන විට, අප ඉදිරියේ තබා තිබෙන්නේ කුමක් ද? (ආ) ක්‍රිස්තියානියෙකු සැරසිය යුත්තේ කිනම් ආකාර ධාවන තරඟයකට ද?
අප යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් යෙහෝවඃ වහන්සේට අප ව ම කැප කළ අවස්ථාවේ, සංකේතාත්මක ව පැවසුවහොත්, දෙවියන් වහන්සේ අප ඉදිරියෙහි, ධාවන තරඟයක් තැබූ සේක. ධාවන තරඟය අවසානයේ දී, එය සාර්ථක ව නිමා කරන සියල්ලන්ට ත්‍යාගයක් පිරිනමනු ලැබේ. කිනම් ත්‍යාගයක් ද? සදාකාල ජීවනය වේ! මෙම අති ශ්‍රේෂ්ඨ ත්‍යාගය දිනා ගැනීමට නම්, ක්‍රිස්තියානි ධාවකයාට සූදානම් වීමට අවශ්‍ය වන්නේ, අධිවේග කෙටි දුර දිවීමකට නොව, නමුත් දිගු දුරකින් යුත් ධාවනයකට ය. එමනිසා ඔහුට විඳදරා ගැනීම අවශ්‍ය වනු ඇත. ධාවනය තුළ ම මහත් දීර්ඝ පරිශ්‍රමයක් දැරීමේ දී සහ ධාවනය අතරතුරේ දී බාධකවලට මුහුණ දීම යන දෙකේ දී ම ඔහුට විඳදරා ගන්නට සිදු වනු ඇත.
2, 3. (අ) ක්‍රිස්තියානි ධාවන තරඟය අවසානය දක්වා දිවීමේ දී අපට උපකාර කරනු ඇත්තේ කුමක් ද? (ආ) විඳදරා ගැනීමෙන් යුතු ව ධාවන තරඟය දිවීමට යේසුස් වහන්සේට ප්‍රීතිය උපකාරවත් වූයේ කෙසේ ද?
2 එවන් ධාවන තරඟයක අවසානය දක්වා ම දිවීමට අපට උපකාර කරනු ඇත්තේ කුමක් ද? හොඳයි, යේසුස් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් මේ පොළොව මත සිටින විට, විඳදරා ගැනීමට උන් වහන්සේට උපකාර කළේ කුමක් ද? උන් වහන්සේ, ප්‍රීතිය නමැති ගුණාංගයෙන් අභ්‍යන්තර ශක්තිය ඇදගත් සේක. හෙබ්‍රෙව් 12:1-3 හි මෙසේ කියවීමට තිබේ: “එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සපුර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙස ම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරා ගැනීමෙන් NW] දුවමු. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය [වධ කණුව NW] දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක. ඒ නිසා නුඹලා, නුඹලාගේ සිත්වලින් [ආත්මවලින් NW] ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුත්ටධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුත්ටධකම් ඉවසූ [විඳදරා ගත් NW] තැනන්වහන්සේ කල්පනා කර බලාපල්ලා.”
3 සිය මුළු ප්‍රසිද්ධ දේව සේවය පුරා ම, ධාවන තරඟයේ යෙදෙමින් සිටින්නට යේසුස් වහන්සේට හැකි වූයේ, යෙහෝවඃ වහන්සේ කෙරෙහි තිබු ප්‍රීතිය නිසා ය. (නෙහෙමියා 8:10 සසඳන්න.) උන් වහන්සේගේ ප්‍රීතිය, වධ කණුව මත ඉතා නින්දිත මරණයක් පවා විඳදරා ගැනීමට උන් වහන්සේට උපකාර කළ අතර, ඉන් පසු ව, මළවුන්ගෙන් උත්ථාන වී, සිය පියාණන්ගේ දකුණු පැත්තට නැගීමේ පළ කළ නොහැකි ප්‍රීතිය අත්දැක, එහි දී දෙවියන් වහන්සේගේ වැඩ නිමාවට පත්වනවා දකින සේක. දෙවියන් වහන්සේගේ පැත්තේ සිටින මනුෂ්‍යයෙකු වශයෙන් උන් වහන්සේ තම විඳදරා ගැනීම මගින්, සදාකාල ජීවනයක සිය අයිතිය තබා ගත් සේක. එසේ ය, ලූක් 21:19 [NW] හි පවසන්නාක් මෙන්: “ඔබගේ පැත්තෙන් විඳදරා ගැනීම මගින්, ඔබ ඔබගේ ආත්ම අත්කර ගනු ඇත.”
4. යේසුස් වහන්සේ තම සෙසු ධාවකයන් හට තැබුවේ කිනම් ආකාරයේ ආදර්ශයක් ද, තව ද අපගේ මනස් අප තබා ගත යුත්තේ කුමක් මත ද?
4 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම සෙසු ධාවකයන් සඳහා කදිම ආදර්ශයක් තැබූ අතර, අපටත් ජයග්‍රාහකයන් විය හැකි බවට උන් වහන්සේගේ ආදර්ශයෙන් සහතික කෙරේ. (1 පේතෘස් 2:21) කිරීමට අපගෙන් යේසුස් වහන්සේ ඉල්ලා සිටි දෙය කිරීමට අපට පුළුවන. උන් වහන්සේ විඳදරා ගත්තාක් මෙන්, අපට ද විඳදරා ගත හැක. තව ද අපි උන් වහන්සේ ව ස්ථිර ව අනුකරණය කිරීමෙහි නොනැවතී යෙදෙන්නෙමු නම්, ප්‍රීතිමත්වීමට අපට තිබෙන හේතු අප අපගේ මනසේ තබා ගත යුතු ය. (යොහන් 15:11, 20, 21) සදාකාල ජීවනයේ මහිමාන්විත ත්‍යාගය අත්කර ගන්නා තෙක්, යෙහෝවඃ වහන්සේගේ සේවය තුළ ධාවනය නොනැවතී කරගෙන යාමට අප ව ශක්තිමත් කරනු ඇත්තේ ප්‍රීතිමත් ස්වභාවයයි.—කොලොස්සි 1:10, 11.
5. අප ඉදිරියේ තිබෙන ධාවනය සඳහා ප්රීතිමත්වීමටත් ශක්තිමත්වීමටත් අපට හැක්කේ කෙසේ ද?
5 ධාවනය නොනැවතී කරගෙන යාමට උපකාර වනු පිණිස, යෙහෝවඃ වහන්සේ සාමාන්‍යයට වඩා ඉක්ම වූ බලය සපයන සේක. අප පීඩා කරනු ලබන විට, එම බලය සහ පීඩා විඳීමට අප වරප්‍රසාද ලබා තිබෙන බවට වූ දැනුම අප ව ශක්තිමත් කරවයි. (2 කොරින්ති 4:7-9) යෙහෝවඃ වහන්සේගේ නාමය ගෞරවයට පත් කිරීම සහ උන් වහන්සේගේ පරමාධිපත්‍යය පිළිගැනීම උදෙසාවෙන් විඳීමට සිදු වන ඕනෑ ම දෙයක්, අපගෙන් ඉවතට ගැනීමට කිසිවෙකුට නොහැකි වීම ප්‍රීතියක් සඳහා හේතුවක් වෙයි. (යොහන් 16:22) යේසුස් වහන්සේ සම්බන්ධයෙන් යෙහෝවඃ දෙවියන් වහන්සේ ඉටු කර තිබූ පුදුමාකාර දේවල් ගැන සාක්ෂිදැරීම නිසාවෙන් යුදෙව් සෙන්හෙඩ්රින් අධිකරණයෙන් පනවන ලද නියෝගය පරිදි තැලුම් කෑ ප්‍රේරිතවරුන් “ඒ නාමය නිසා නින්දා විඳින්ට තුමූ විටින්නෝයයි ගණන්ගනු ලැබූ බැවින්” සන්තෝෂ වීමට හේතුව මෙය පැහැදිලි කරයි. (ක්‍රියා 5:41, 42) ඔවුන්ගේ ප්‍රීතිය පැමුණුනේ පීඩා නිසා ම නොවේ, නමුත් තමන් යෙහෝවඃ වහන්සේ ව සහ යේසුස් වහන්සේ ව ප්‍රසන්න කළා ය යන්න දැනගැනීමෙන් ලැබූ ගැඹුරු අභ්‍යන්තර තෘප්තිය නිසා ය.
6, 7. තමාට පරීක්ෂා තිබිය දී පවා ක්‍රිස්තියානි ධාවකයෙකුට ප්‍රීතියෙන් ප්‍රමුදිත විය හැක්කේ මන්ද, තව ද කුමන ප්‍රතිඵලයක් ඇතුව ද?
6 අපගේ ජීවිත තුළ තිබෙන අප ව උසුලන්නා වූ තවත් බලයක් නම්, දෙවියන් වහන්සේ අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව ය. පාවුල් පැවසුවාක් මෙන්: “අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමග සමාදානය ඇතුව සිටිමු. අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ළඟාවී සිටිමුව; තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත්වෙමු. එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද [විඳදරා ගැනීම ද NW], ඉවසිල්ලෙන් [විඳදරා ගැනීමෙන් NW] සහතිකකමද [අනුමැතිය ලත් තත්ත්වයක් ද NW], සහතිකකමෙන් [අනුමැතිය ලත් තත්ත්වයෙන් NW] බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු. බලාපොරොත්තුව ලජ්ජාවට [අපේක්ෂා භංගයට NW] නොපමුණුවන්නේය.”—රෝම 5:1-5.
7 හිංසා පීඩා තනි ව ගත් කල ඒවා තුළ ප්‍රීතියක් ඇත්තේ නැත, එහෙත් පසු ව උපදින සමාදාන ඵල තුළ ප්‍රීතිය තිබේ. මෙම ඵල නම්, විඳදරා ගැනීම, අනුමැතිය ලත් තත්ත්වයක්, බලාපොරොත්තුව, සහ එම බලාපොරොත්තුවේ ඉටු වීම ය. අප විසින් විඳදරා ගැනීම අපට දිව්‍ය අනුමැතිය ලැබීමට මඟ පාදයි. අපට දෙවියන් වහන්සේගේ අනුමැතිය තිබෙන විට, උන් වහන්සේ කර ඇති පොරොන්දුවල ඉටු වීම නිසැක භාවයෙන් යුතු ව බලා සිටින්නට හැක. මෙම බලාපොරොත්තුව අපගේ ක්‍රියා මාර්ගය සැබෑ කරවමින් අප ව තබා ගන්නා අතර, බලාපොරොත්තුව ඉටු වන තෙක් දුක් පීඩා යටතේ දී අප ව අධෛර්ය වෙන්ට නොදී උසුලා ගනී.—2 කොරින්ති 4:16-18.
විඳදරා ගන්නෝ සන්තෝෂවත් ය!
8. මෙම බලා සිටීමේ කාල පරිච්ඡේදය අප සඳහා කාලය නාස්ති කිරීමක් නොවන්නේ මන්ද?
8 ධාවකයන් හට තෑගි බෙදා දීමට දිව්‍යමය නියමිත කාලය එන තෙක් බලා සිටින අතරේ දී, අප අත්දකින වෙනස්කම් තිබේ. මේවා නම්, පරීක්ෂණයන්ට සාර්ථක ව මුහුණ දීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප තුළ ඇති වන ආත්මික දියුණු වීම් වන අතර, මේවා අපට දෙවියන් වහන්සේගේ උතුම් ප්‍රසන්න භාවය දිනා ගැනීමට සලස්වයි. අප කුමන අය දැයි කියා ඔප්පු කරන මේවා, ඉපැරණි කාලවල ඇදහිලිවන්තයන්, විශේෂයෙන් අපගේ ආදර්ශකයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විදහා පෑ එම කදිම ගුණාංග ක්‍රියාවට නැංවීමට අපට ප්‍රස්තාවක් උදා කරවයි. ශ්‍රාවක යාකොබ් පවසන්නේ මෙසේ ය: “මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්ති ගුණය [විඳදරා ගැනීම NW] උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්‍රීතියක්යයි සිතාපල්ලා. නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සපුර්ණව සිටින පිණිස ක්ෂාන්ති ගුණය [විඳදරා ගැනීම NW] සපුර්ණ ලෙස ක්‍රියාකෙරේවා.” (යාකොබ් 1:2-4) එසේ ය, අපට විවිධ පරීක්ෂණ තිබෙන්නට යන බවට අපේක්ෂා කළ හැක, නමුත් නිසි ගුණාංග වර්ධනය කරමින් අප ව තබා ගන්නට මේවා මහෝපකාරී වනු ඇත. මේනයින්, අපි අපට මුහුණ දෙන්නට තිබෙන බාධා මොනවා වුණත්, ත්‍යාගය දිනා ගන්නා තෙක් මෙම ධාවනයේ යෙදී සිටින බව නිරූපනය කරන්නෙමු.
9, 10. (අ) පරීක්ෂාවන් විඳදරා ගන්නන් සන්නෝෂවත් වන්නේ මන්ද, තව ද පරීක්ෂණවලට අප මුහුණ දිය යුත්තේ කෙසේ ද? (ආ) පුරාණයේ ප්‍රීතිමත් අය කවරහු ද, තව ද අප ව ඔවුන් අතරට ගණන් ගත හැක්කේ කෙසේ ද?
9 එසේ නම්, යාකොබ් මෙසේ පැවසීම පුදුමයක් නොවේ: “පරීක්ෂාවන් විඳදරා ගනිමින් සිටින මිනිසා සන්තෝෂවත් ය, මන්දයත් ඔහු අනුමැතිය ලත් තත්ත්වයකට පත්වීමෙන්, තමන් වහන්සේට නොකඩවා ප්‍රේමය කරන අයට යෙහෝවඃ වහන්සේ පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න ඔහු ලබා ගනු ඇත”! (යාකොබ් 1:12, NW) පරීක්ෂාවලින් ගොඩ ඒමට අප ව ශක්තිමත් කරවනු ඇති දිව්‍ය ගුණාංගවලින් සැරසී, අපි දිගට ම පරීක්ෂාවන්ට මුහුණ දෙමු.—2 පේතෘස් 1:5-8.
10 දෙවියන් වහන්සේ අප සමඟ කටයුතු කරමින් සිටින්නේ, අලුත් හෝ නව පන්නයේ ආකාරයකින් නොවන බව මතක තබා ගන්න. ඉපැරණි කාලවල ඇදහිලිවන්ත “සාක්ෂිකාර සේනාව,” දෙවියන් වහන්සේට ඔවුන් දක්වන ලද ස්ථිර භාවය ඔප්පු කළාත් සමඟ ම ඔවුන් සමඟ කටයුතු කරන ලද්දේ ද එක ම ආකාරයෙනි. (හෙබ්‍රෙව් 12:1) දෙවියන් වහන්සේ විසින් ඔවුන් ව අනුමත කර තිබීම උන් වහන්සේගේ වචනයේ වාර්තා වී ඇති අතර, පරීක්ෂණය යටතේ ඔවුන් තරඟය නොනවත්වා කර ගෙන ගිය හෙයින් ඔවුන් සියලු දෙනා ම සන්තෝෂවත් අය ලෙස අපි සලකමු. යාකොබ් මෙසේ පවසයි: “සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නමින් කථා කළ ප්‍රොපේතවරුන් පීඩා විඳීමෙත් ඉවසීමෙත් ආදෘශයක් කොට ගනිල්ලා. ඉවසූ අය [විඳදරා ගත් අය NW] ආශීර්වාද ලද්දෝයයි [සන්තෝෂවත් අය යයි NW] අපි කියමුව. යෝබ්ගේ ඉවසීම [විඳදරා ගැනීම NW] ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.” (යාකොබ් 5:10, 11) පැරණි සියවස්වල විසූ එම ප්‍රොපේතවරුන් මෙන්, අඛණ්ඩතාවයෙන් යුතු ව යෙහෝවඃ වහන්සේට සේවය කරන අය මෙම අර්බුද සහිත අවසාන දවස් අතරතුරේ දී, ලෝක දර්ශන තලය මත පෙනී සිටිනු ඇති බව පුරෝකථනය කරන ලදි. එසේ කරන අය අප වීම ගැන අපි සතුටු නොවන්නෙමු ද?—දානියෙල් 12:3; එළිදරව් 7:9.
යෙහෝවඃ වහන්සේගේ දිරිගන්වන සුලු වචනයෙන් පෝෂණය වීම
11. විඳදරා ගැනීමට දෙවියන් වහන්සේගේ වචනය අපට උපකාර කළ හැක්කේ කෙසේ ද, අප යේසුස් වහන්සේගේ උපමාවේ ගල් බිම්වලට සමාන නොවිය යුත්තේ මන්ද?
11 පාවුල් මෙසේ පවසන විට විඳදරා ගැනීමට උපකාරවත් වන තවත් ආධාරකයක් ගෙන හැර දැක්වී ය: “ඉවසිලිවන්ත විඳදරා ගැනීම තුළින්, සහ ශුද්ධ ලියවිලිවලින් ඇදගන්නා වූ දිරිගැන්වීම තුළින්, අපගේ බලාපොරොත්තුවට තදින් ඇලී සිටීමට අපට හැකි වනු ඇත.” (රෝම 15:4, ද ට්වෙන්ටියත් සෙන්චරි න ටෙස්ටමන්ට්) සියලු අවස්ථාවල දී අප වෙතින් නිසි ප්‍රතිචාරයක් ඇද ගැනීමට හැකි වන පරිදි, සත්‍යය වන දෙවියන් වහන්සේගේ වචනය අප තුළ ගැඹුරින් මුල් ඇදී තිබිය යුතු ය. වපුරන්නා පිළිබඳ යේසුස් වහන්සේගේ උපමාවේ විස්තර කර ඇති ගල් බිම්වලට සමාන වීමෙන් අප කොහෙත් ම ප්‍රයෝජන ලබන්නේ නැත: “ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්, තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝ වෙත්.” (මාර්ක් 4:16, 17) දෙවියන් වහන්සේගේ වචනයේ සත්‍යය එවන් අය තුළ ගැඹුරින් මුල් බැස ගන්නේ නැත; එබැවින්, පීඩා පරීක්ෂා කාලවල දී, ශක්තියේ සහ බලාපොරොත්තුවේ සැබෑ උල්පත ලෙස එයින් ඇද ගැනීමට ඔවුන්ට හැකි නොවේ.
12. ශුභාරංචිය පිළිගැනීමේ දී, අප නොරැවටිය යුත්තේ කුමක් ගැන ද?
12 රාජ්‍යයේ ශුභාරංචිය පිළිගන්නා වූ ඕනෑ ම අයෙක්, ඊළඟට සිදුවන්නට යන්නේ කුමක් ද යන්න පිළිබඳ ව තමා ව ම රවටා නොගත යුතු ය. ඔහු ගන්නේ පරීක්ෂා සහ පීඩාවන් පමුණුවන ජීවිත මාර්ගයක් ය. (2 තිමෝති 3:12) එහෙත්, දෙවියන් වහන්සේගේ වචනය තදින් ස්ථිර ව අල්ලාගෙන ඒ ගැන අන්‍යයන් සමඟ කථා කිරීම වෙනුවෙන් විවිධ පරීක්ෂාවන්ට මුහුණ දෙන්නට සිදු වීම වරප්‍රසාදයක් සේ සලකා “එය ප්‍රීතියක්” යයි ඔහු විසින් සැලකිය යුතු ය.—යාකොබ් 1:2, 3.
13. තෙසලෝනිකයේ සිටි ක්‍රිස්තියානින් සම්බන්ධයෙන් පාවුල් ප්‍රීති වූයේ කෙසේ ද, එමෙන් ම මන්ද?
13 පළමු සියවසේ දී, පාවුල් දේශනා කිරීම නිසා, තෙසලෝනිකයේ සිටි විරුද්ධවාදීහු ජනයා කැළඹුහ. පාවුල් බෙරීයයට ගිය විට, තවත් කරදර හිරිහැර පැමිණ වීම සඳහා මෙම පීඩාකරුවෝ ඔහු පසු පසින් එහි ගියහ. පීඩාවට ලක් වූ පාවුල්, තෙසලෝනිකයේ ඇදහිලිවන්ත ව රැඳී සිටි අය හට මෙසේ ලීවේ ය: “සහෝදරයෙනි, නුඹලා ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. නුඹලාගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය; එබැවින් නුඹලාගේ සියලු පීඩාවලදීත් නුඹලා ඉවසන දුක්වලදීත් නුඹලාගේ ස්ථිරකමත් [විඳදරාගැනීමත් NW] ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන්වහන්සේගේ සභාවලදී පාරට්ටුකරමුව. ඒ ඉවසීම [විඳදරා ගැනීම] වනාහි දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක් විඳින නුඹලා ඒ රාජ්‍යයට සුදුස්සෝයයි ඒත්තුගනු ලැබීමට තිබෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ ඔප්පුවක්ය.” (2 තෙසලෝනික 1:3-5) සතුරන්ගේ අත්වලින් විඳින්නට සිදු වූ දුක් ගැහැට හමුවේ, තෙසලෝනික ක්‍රිස්තියානිහු ක්‍රිස්තුස් වහන්සේට සමානකමින් හා ගණනින් වර්ධනය වූහ. එය හැකි වූයේ කෙසේ ද? මන්දයත් ඔවුන් යෙහෝවඃ වහන්සේගේ දිරිගන්වන සුලු වචනයෙන් ශක්තිය ඇද ගත් නිසා ය. ස්වාමියාගේ නියෝගවලට කීකරු වූ ඔවුහු, විඳදරා ගැනීමෙන් යුතු ව තරඟය දිව්වෝ ය.—2 තෙසලෝනික 2:13-17.
අන්‍යයන්ගේ ගැලවීම සඳහා
14. (අ) අමාරුකම් මැද අප දේව සේවය තුළ ප්‍රීතියෙන් රැඳී සිටින්නේ කුමන හේතු නිසා ද? (ආ) අප යාච්ඤා කරන්නේ කුමක් සඳහා ද, ඒ මන්ද?
14 මූලික ව, දෙවියන් වහන්සේ නිදොස්වීම සඳහා, අපි ඇදහිලිවන්ත ව සහ කොඳුරන්නේ නැති ව අමාරුකම් සහ පීඩාවන් දරා ගනිමු. එහෙත් අප එවන් දේවලට යටත්වීමට ඉවහල් වන තවත් පරාර්ථකාමී හේතුවක් තිබේ: එය නම්, “ගැළවීම පිණිස මුඛයෙන් කියා” දීමට දෙවියන් වහන්සේගේ රාජ්‍යය සඳහා තව තවත් ප්‍රචාරකයන් ඇති කරලනු වස්, අප රාජ්‍යය පුවත් අන්‍යයන් වෙත දන්වා සිටිනු පිණිස ය. (රෝම 10:10) දෙවියන් වහන්සේගේ සේවයේ වැඩ කරමින් සිටින අය, තව තවත් රාජ්‍යයේ ප්‍රචාරකයන් සැපයීම මගින් තමන්ගේ වැඩයට ආශීර්වාද කරන මෙන් අස්වැන්නේ ස්වාමියාට යාච්ඤා කළ යුතු ය. (මතෙව් 9:38) පාවුල් තිමෝතිට මෙසේ ලීවේ ය: “බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි නුඹ මාගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්ට සමර්ථවූ විශ්වාසවූ [ඇදහිලිවන්ත වූ NW] මනුෂ්‍යන්ට භාරදීපන්න. ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විඳීමට පංගුකාරයෙක් වෙයන්න.”—2 තිමෝති 2:2, 3.
15. අප සොල්දාදුවන් සහ “ක්‍රීඩාවල” තරඟකරුවන් මෙන් අප ව හසුරුවා ගත යුත්තේ මන්ද?
15 හේවායෙක් හෙවත් සොල්දාදුවෙක්, යුද්ධ හමුදාවට සම්බන්ධ නැති පුරවැසියෙකුගේ අවහිර සීමාවන්ගෙන් අඩු ජීවිතයෙන් තමා ව ම වෙන් කර ගනී. ඒ හා සමාන ව, ස්වාමියාගේ හමුදාව තුළ නොසිටින නමුත් ඇත්තෙන් ම ඊට විරුද්ධ පැත්තේ සිටින අයගේ කටයුතුවලට අප අප ව ම පටලවා නොගත යුතු ය. මේ නිසා, පාවුල් තවදුරටත් තිමෝතිට ලීවේ මෙසේ ය: “ඕනෑ ම හේවායෙක් ජන සමාජයේ [වානිජ්‍යමය NW] කටයුතුවල පැටලෙන්නේ නැතිව, තමා බඳවාගත් තැනැත්තා සතුටු කරන්නට බලයි. තවද තරඟයේ සියලු නීති රීති අනුව ක්‍රියා නොකළොත්, ක්‍රීඩකයෙකුට ජය කිරුළක් පැළඳ ගැනීමට ලැබෙන්නේ නැත.” (2 තිමෝති 2:4, 5, නව අනුවාදය) “ජීවනයේ ඔටුන්න” සඳහා වූ තරඟයේ ජයග්‍රහණය දිනා ගැනීම සඳහා දැඩි ප්රයත්න දැරීමේ දී, ධාවකයෝ ආත්ම දමනය ක්‍රියාවට නැංවිය යුතු අතර, ඵලක් නැති බර පටලවා ගැනීමෙන් වැළකිය යුතු ය. මේ අයුරින්, අන්‍යයන් වෙත ගැලවීමේ ශුභාරංචිය ගෙන යාමට ඔවුන්ට තම මුළු අවධානය යොමු කළ හැකි ය.—යාකොබ් 1:12; 1 කොරින්ති 9:24, 25 සසඳන්න.
16. බඳිනු ලබන්ට නොහැක්කේ කුමක් ද, එමෙන් ම අප විඳදරා ගන්නේ කාගේ ප්‍රයෝජනය සඳහා ද?
16 අප දෙවියන් වහන්සේටත් උන් වහන්සේ ව සොයමින් සිටින බැටළු ගුණැති අයටත් ප්‍රේම කරන නිසා, ගැලවීමේ ශුභාරංචිය අන්‍යයන් වෙත ගෙන යාමේ දී අපි බොහෝ දේවල් සතුටින් දරා ගන්නෙමු. දෙවියන් වහන්සේගේ වචනය දේශනා කිරීම හේතුවෙන් සතුරන් අප ව බඳිනවා විය හැක. එහෙත් දෙවියන් වහන්සේගේ වචනය බඳින්නට නොහැක, තව ද අන්‍යයන්ගේ ගැලවීම උදෙසා ඒ ගැන කථා කිරීමට ද දම්වැල් දැමිය නොහැක. පරීක්ෂාවන්ට මුහුණ දීමට තමා එතරම් කැමැති වූ හේතුව පාවුල් තිමෝතිට මෙසේ විස්තර කළේ ය: “මාගේ ශුභාරංචියේ ප්‍රකාරයට දාවිත්ගේ වංශයෙන් උපන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටින බව සිහිකරපන්න. ඒ ශුභාරංචිය නිසා වරදකාරයෙකු මෙන් බැඳුම් යන දුක පවා විඳිමි; නුමුත් දෙවියන්වහන්සේගේ වචනය බැඳලා නැත. එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇත්තාවූ ගැළවීම සදාකාල තේජස සමග ලබන පිණිස, ඔවුන් නිසා සියල්ල ඉවසමි [විඳදරා ගනිමි NW].” (2 තිමෝති 2:8-10) අද දින අපගේ මනසේ සිටින්නේ ස්වර්ගීය රාජ්‍යය සඳහා පෙළ ගැසී සිටින ඉතිරි කොටසේ ස්වල්ප දෙනා පමණක් නොව, නමුත් මාහැඟි එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වෙනත් බැටළුවන්ගේ මහත් සමූහයත් ය, ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය යටතේ භුමික පාරාදීසය දිනා ගන්නා වූ මහත් සමූහය ය.—එළිදරව් 7:9-17.
17. අප ධාවනය අත්නොහැරිය යුත්තේ මන්ද, තව ද දිගට ම අවසානය දක්වා අප ධාවනයේ යෙදුණහොත් ප්‍රතිඵල මොනවා ද?
17 අප සේවය අත්හරින සුලු අය නම්, අප අපටවත් වෙනත් කෙනෙකුටවත් ගැලවීම සඳහා උදව් නොකරනු ඇත. අපට මුහුණ දෙන්නට තිබෙන බාධක මොනවා වුණත්, ක්‍රිස්තියානි තරඟය තුළ දී විඳදරා ගෙන සිටීමෙන් ත්‍යාගය සඳහා අප නොකඩවා පෙළ ගැසී සිටින අතර, අන්‍යයන් සඳහා ශක්තියේ ප්‍රබල ආදර්ශයක් වන අතරේ දී, ගැලවීම සඳහා ඔවුන් හට ඍජු ලෙස උපකාර කළ හැකි ය. අපගේ බලාපොරොත්තුව කුමක් වුවත්, ස්වර්ගික වුවත් භූමික වුවත්, “ත්‍යාගය උදෙසා ඉලක්කය වෙත ලුහුබැඳ යාමේ” පාවුල්ගේ ආකල්පය අනුකරණය කිරීමට කදිම එකකි.—පිලිප්පි 3:14, 15, NW.
තරඟය තුළ නොකඩවා ස්ථිර ව සිටීම
18. ත්‍යාගය දිනා ගැනීම රඳා පවතින්නේ කුමක් මත ද, නමුත් අවසානය දක්වා රැඳී සිටීමට නම්, කුමකින් වැළකිය යුතු ද?
18 යෙහෝවඃ වහන්සේගේ නිදොස්වීම සඳහා අපගේ ක්‍රිස්තියානි මාර්ගය ජයග්රාහි ලෙස අවසන් කිරීම සහ උන් වහන්සේ අපට වෙන් කර තිබෙන ත්‍යාගය දිනා ගැනීම රඳා පවතින්නේ තරඟයේ මුළු දිග පුරා ම නොකඩවා ස්ථිර ව සිටීම මත ය. එමනිසා, ධර්මිෂ්ඨකමට හේතු නොවන දේවලින් අපි අප ව ම බර කර ගෙන සිටින්නෙමු නම්, අපට නිමාව දක්වා යන්නට බැරි ය. එවන් දේවල් ඉවතට ගලවා දමන විට පවා, අපට උපදවා ගත හැකි සියලු ස්ථිර භාවය එක්රැස් කොට යොදවා ගැනීමට තරම් එම අවශ්‍යතා තවමත් ප්‍රබල ය. එමනිසා, පාවුල් මෙසේ උපදෙස් දුණි: “සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, . . . අප ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් [විඳදරා ගැනීමෙන් NW] දුවමු.” (හෙබ්‍රෙව් 12:1) යේසුස් වහන්සේ මෙන්, අපට උසුලා ගැනීමට තිබෙන දුක් ගැහැට ඕනෑවට වඩා අවධාරණය නොකළ යුතු නමුත්, ප්‍රීතිමත් ත්‍යාගය සඳහා ගෙවන්නට තිබෙන සුළු මුදලක් ලෙස ඒවා සැලකිය යුතුයි.—රෝම 8:18, සසඳන්න.
19. (අ) පාවුල් තම ජීවිතයේ නිමාවට ආසන්න ව සිටින විට, ඔහු පළ කළේ කිනම් නිසැකකම ද? (ආ) විඳදරා ගැනීමේ ධාවනයෙහි අවසානයට අප ළඟා වෙනවාත් සමඟ ම, පොරොන්දු වී ඇති ත්‍යාගය ගැන අපට තිබිය යුත්තේ කිනම් නිසැකකමක් ද?
19 තම ජීවිතයේ නිමාව ආසන්නයේ දී, මෙසේ කියන්නට පාවුල්ට හැකි විණි: “මම යහපත් යුත්ටධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවර කළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ.” (2 තිමෝති 4:7, 8) අප මෙම විඳදරා ගැනීමේ ධාවනයේ යෙදී සිටින්නේ, සදාකාල ජීවනයේ ත්‍යාගය දිනා ගැනීමට ය. අප ධාවනය ආරම්භ කළ අවස්ථාවේ දී අපේක්ෂා කළාට වඩා හුදෙක් එය තරමක් දිගු වීම නිසා අපගේ විඳදරා ගැනීම ක්‍රමයෙන් නැති වී යනවා නම්, පොරොන්දු වූ ත්‍යාගය දිනා ගැනීමට අප ආසන්නයේ සිටින විට අප වැටී යනු ඇත. කිසිවක් වරද්දා නොගන්න. ත්‍යාගය එහි තිබෙන බවට කිසිදු ප්‍රශ්නයක් නැත.
20. ධාවනයේ අවසානයට ළඟා වෙන තෙක්, අපගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක් ද?
20 එමනිසා, පළමු ව මහා බබිලෝනියටත් ඊළඟට යක්ෂයාගේ සංවිධානයේ ඉතිරි කොටසටත් විනාශය ගෙන එන්නා වූ මහත් පීඩාව පටන් ගන්නවා බලා සිටිමින් අපගේ ඇස් වෙහෙසට පත් නොවේවා. (2 පේතෘස් 3:11, 12) අපට දක්නට ඇති අප අවට සිදුවන සියලු ලකුණු සැලකිල්ලට ගනිමින්, අපි ඇදහිල්ලෙන් යුතු ව ඉදිරිය දෙස බලමු. අපි අපගේ විඳදරා ගැනීමේ බලයේ ඉඟටි තදින් බැඳ ගෙන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් යෙහෝවඃ වහන්සේගේ නිදොස් බව ඔප්පු වන්නට හැකි පරිද්දෙන් අවසානය ළඟා වී ප්‍රීතිමත් ත්‍යාගය දිනා ගන්නා තෙක්, යෙහෝවඃ දෙවියන් වහන්සේ අප ඉදිරියේ තබා තිබෙන ධාවනය තුළ, වික්‍රමාන්විත ව ඉදිරියට යමු. w91 11/1
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේ ද?
◻ ක්‍රිස්තියානිවරයෙක් සැරසිය යුත්තේ කිනම් ආකාරයේ ධාවන තරඟයකට ද?
◻ ධාවනය දිවීමේ දී ප්‍රීතිය මෙතරම් වැදගත් වන්නේ මන්ද?
◻ අමාරුකම් මැද පවා අප දේව සේවය තුළ රැඳී සිටින්නේ කිනම් ප්‍රධාන හේතු නිසා ද?
◻ දෙවියන් වහන්සේ අප ඉදිරියේ තබා ඇති ධාවනය අප අත්නොහැරිය යුත්තේ මන්ද?
[15වන පිටුවේ පින්තූරය]
දිගු දුර ධාවන තරඟයක මෙන්, ක්‍රිස්තියානින් විඳදරා ගත යුතු ය
[17වන පිටුවේ පින්තූරය]
“ජීවනයේ ඔටුන්න” අත්කර ගැනීම සඳහා, ධාවකයන් ආත්ම දමනය ක්‍රියාවට නැංවිය යුතු ය