යෙහෝවඃ වහන්සේගේ භූමික සංවිධානය ඔබ අගය කරන්නෙහි ද?
හොඳින් කැපූ, අති වටිනා දියමන්තියක් දෙස බලන්න, ඔබට පෙනෙන්නේ කුමක් ද? සැබවින් ම අලංකාර මැණිකකි. දැන් එම දියමන්තිය අන්වීක්ෂයක් තුළින් පරීක්ෂා කරන්න, දැන් ඔබට පෙනෙන්නේ මොනවා ද? ඉරිතැලීම්, පිපිරීම්, ඇතුළත දෑ, සහ වෙනත් පලුදු තිබීමට ඉඩ ඇත.
දියමන්තිය අන්වීක්ෂයක් තුළින් පෙනෙන ආකාරය නිසා ම ඔබ එය විනාශ කර දමනවා ද, නැතහොත් එය ඉවතට විසි කර දමනවා ද? ඇත්තෙන් ම නැත! දැන් මඳක් අන්වීක්ෂයෙන් ඉවත් වුවහොත් එම දියමන්තිය වෙනත් මැණික් අතුරින් කැපී පෙනෙන්නට සලස්වන එහි අලංකාරයත් සාමාන්‍යය ඉක්ම වූ කාන්තියෙන් බැබළෙන බවත් තවමත් ඔබට අගය කළ හැක.
දියමන්තියක් මෙන්, යෙහෝවඃ වහන්සේගේ භූමික සංවිධානය බොහෝ ආකාරවලින් කැපී පෙනෙයි. මේ පොළොව මත තිබෙන වෙනත් කිසිදු සංවිධානයක් මැවුම්කරුවාණන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් භුක්ති විඳින්නේ නැත. ස්වර්ගික බලාපොරොත්තුවක් ආදරයෙන් රැක ගෙන සිටියා වූ පළමු සියවසේ ආලේප ලත් ක්‍රිස්තියානින් හට, ප්‍රේරිත පාවුල් මෙම විශේෂ සම්බන්ධතාවය ගැන යොමු දක්වා සිටියේ ය. ඔහු මෙසේ පැවසී ය: “නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක [විශේෂයෙන් අයිති වූ NW] සෙනගක්ද වන්නහුය.” (1 පේතෘස් 2:9) අද දින, පොළොව මත සදාකාල ජීවනයක බලාපොරොත්තුව ඇති “වෙනත් බැටළුවන්ට” අයත් මහත් සමූහය, දෙවියන් වහන්සේට නමස්කාර කිරීමේ ලා, එම “ශුද්ධ ජාතියේ” ඉතිරි කොටස සමඟ එක් වී සිටිත්. (යොහන් 10:16) මෙම කණ්ඩායම් දෙක ම එක් ව, අලංකාර සාමාන්‍යය ඉක්ම වූ කාන්තියෙන් බැබළෙනවාක් බඳු සංවිධානයක් සාදත්.
විවේචනාත්මක ඇසකින් අන්‍යයන් දෙස බැලීමෙන් වළකින්න
එහෙත්, මෙම ලෝක ව්‍යාප්ත සංවිධානය අසම්පූර්ණ මිනිසුන්ගෙන් සමන්විත වන බව අප දැන හඳුනා ගත යුතු ය. එමනිසා, අප ඒ දෙස සංකේතාත්මක අන්වීක්ෂයකින් බැලුවොත් කුමක් සිදු වනු ඇත් ද? එසේ ය, එහි සාමාජිකයන් වී සිටින පුද්ගලයන්ගේ පව්කාර ප්රවණතාවන් සහ පුද්ගලික අඩු ලුහුඬුකම් අප සොයා ගනු ඇත.—රෝම 3:23.
තමාට එවන් අඩු ලුහුඬුකම් තිබූ බවට ප්‍රේරිත පාවුල් පිළිගත්තේ ය. ඔහු මෙසේ පැවසී ය: “මා හරි දේ කිරීමට සිතා සිටින විට, නරක දේ මා සමඟ තිබේ.” (රෝම 7:21, NW) සෑම ක්‍රිස්තියානිවරයෙක් ම එම සටන අත්දකියි. සියල්ලෝ ම අත්වැරදි කරති. එපමණක් ද නොව, ඉක්මනින් හෝ පසුවට බොහෝ අය වෙනත් කෙනෙකුගේ අත්වැරදි නිසා දුක් විඳිති. සෙසු ක්‍රිස්තියානින්ගේ අඩු ලුහුඬුකම් සහ අසම්පූර්ණකම් හෙළි වූ විට අප අධෛර්ය වී හෝ අපේක්ෂා භංග වී යා යුතු ද? එය යෙහෝවඃ වහන්සේගේ සංවිධානය කෙරෙහි අපගේ අගය කිරීම නිවා දැමිය යුතු ද? ඇත්තෙන් ම, නැත! එසේ නොව, අන්වීක්ෂයෙන් ඉවත් ව සිටින්නාක් මෙන් සිට, පුද්ගලයන්ගේ අසම්පූර්ණකම් ගැන තද අවධානය යොමු කිරීම නවතා දැමිය යුතු ය.
ශුද්ධාත්මය ක්‍රියාත්මක වන්නා වූ අය ව හඳුන්වා දෙන ගති ලක්ෂණ කිහිපයක් ශුද්ධ ලියවිලිවල ලේඛන ගත කර ඇත. ඒවායින් සමහරක් නම්, “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ කල් ඉවසීම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනයය.” (ගලාති 5:22, 23, NW) මීට පටහැනි ව, මේ ලෝකයේ ආගමික, දේශපාලන, හා ව්‍යාපාර සංවිධාන බොහෝ විට විදහා පාන්නේ, බයිබලයේ යොමු දැක්වෙන, “සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද, වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්” වන මාංසයේ ක්‍රියා ය. (ගලාති 5:20, 21) මෙසේ, සාමාන්‍ය ගල් අතර තිබෙන කාන්තියෙන් බැබළෙන දියමන්තියක් සේ, යෙහෝවඃ වහන්සේගේ ජනයා මෙම ආත්මික ව දූෂිත ලෝකය අතර කැපී පෙනෙයි.—මතෙව් 5:14-16.
“එක ම මනසකින් නිසි සේ එක්සත් වී”
දියමන්තියක තිබෙන එක් කැපී පෙනෙන ලක්ෂණයක් නම්, එහි ළඟින් බැඳී තිබෙන ශක්තිමත් පරමාණුක බන්ධනයයි. ඒ හා සමාන ව, යෙහෝවඃ වහන්සේගේ භූමික සංවිධානය මූල ධර්මවලින් සහ සහෝදරත්වයෙන් අසමසම එක්සත් බවක් විදහා පායි. එම සංවිධානයේ කොටසක් වන අය, බයිබලයේ 1 කොරින්ති 1:10 හි අනුශාසනාව අදාළ කර ගනිති, එහි මෙසේ සඳහන් වෙයි: “සහෝදරයෙනි, නුඹලා සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, නුඹලා අතරෙහි භේද නැතුව එක සිතින් හා එක ක්ලපනාවෙන් එකඟව සම්පූර්ණව [එක ම මනසකින් . . . නිසි සේ එක්සත් වී NW] සිටින හැටියටද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි.”
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්, වාර්ගික අගතීන් සහ ජාතිවාදී උඩඟුකම් අභිබවා නැගී ඇත. “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” ඇති ව සිටින ඔවුන්, ‘පක්ෂවාදී බෙදීම්’ ඇති කරන්නේ නැත. (යාකොබ් 3:17) අසම්පූර්ණ මිනිසුන්ගෙන් සැදුම් ලත් සංවිධානයක මේ සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ ඉටු කර තිබෙන දේ ගැන අපි උන් වහන්සේට ගෞරවය දෙන්නෙමු.
මීට පටහැනි ලෙස, 1990 වසර ගැන කථා කරමින්, ද ක්‍රිස්ටියන් සෙන්චරි නම් සඟරාව සඳහන් කළේ මෙසේ ය: “ආගමික පක්ෂ මගින් ආගමික විශ්වාසයන් සමඟ සමීප ව බැඳුණු වාර්ගික හා ජාතිවාදී හැඟීම් මගින් ලෝකය වෙන කවරදාටත් වඩා බෙදුණු බවක් දක්නට තිබේ. ඉන්දියාවේ සිට යුරෝපය දක්වා සහ මැද පෙරදිග සිට පැසිෆික් දක්වා, ආගම වාර්ගික හා ජාතික පක්ෂ සමඟ මිශ්‍ර වී තිබීමෙන් බොහෝ විට දේශපාලනික හදිසි වෙනස්වීම් ප්‍රතිඵල වී ඇත.” දෙවියන් වහන්සේට සේවය කිරීමට ආශාවක් දක්වන අයට හැරීමට හැක්කේ යෙහෝවඃ වහන්සේගේ ආත්මය සහ ආශීර්වාද භුක්ති විඳින්නා වූ එක ම සංවිධානයකට බව පැහැදිලි ය.
‘දියමන්තියක් මෙන්, මම ඔබේ නළල සෑදුවෙමි’
දියමන්ති වනාහි මිනිසා දන්නා වූ ස්වභාවික ව සෑදෙන වඩාත් ම දැඩි බවින් යුත් ද්‍රව්‍යයයි. තද ද්‍රව්‍යයන්හි ඉරි ඇඳීමට හෝ කැටයම් කැපීම සඳහා දියමන්ති භාවිතා කිරීම ගැන බයිබලය යොමු දක්වයි. (යෙරෙමියා 17:1) යෙහෝවඃ වහන්සේ එසකියෙල්ට පැවසූ වචන ගැන ද සලකා බලන්න: “බලව, මම ඔවුන්ගේ මුහුණුවලට විරුද්ධව නුඹේ මුහුණත් ඔවුන්ගේ නළල්වලට විරුද්ධව නුඹේ නළලත් දැඩිකෙළෙමි. නුඹේ නළල ගිනිගලට වඩා තදවූ විදුරක් [දියමන්තියක් NW] මෙන් කෙළෙමි.” (එසකියෙල් 3:8, 9) මුරණ්ඩු සෙනඟකට අනාවැකි කීමට හැකි කර වූ, දියමන්තිවල දැඩිකමෙන් යුතු වූ අධිෂ්ඨානයක් යෙහෝවඃ වහන්සේ එසකියෙල් හට දුන් සේක.—එසකියෙල් 2:6.
ඒ හා සමාන ව අද දිනත්, යෙහෝවඃ වහන්සේ ස්වකීය සෙනඟට මහත් විරුද්ධතා මැද දියමන්තිවල බඳු දැඩි බවක් දානය කර තිබෙන සේක. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, නීත්‍යානුකූල තහනම් කිරීම්, අඩන්තේට්ටම්, විභාගවලින් තොර ව මරණයට පත් කිරීම්, පහරකෑම්, අයුක්ති සහගත සිර ගත කරනු ලැබීම්, දරුණු වධදීම්, හිස ගසා දැමීම් පවා විඳදරා ගෙන සිටිත්. එහෙත්, තම ඇදහිල්ල නොබිඳිය හැකි බව ඔවුන් පෙන්වා තිබේ.
“මගේ සේවකයන් ප්‍රීති වනු ඇත”
මිනිසුන් “දේව භක්තියේ වෙස්” ඇති මුත් “එහි බලය බොරු බව ඔප්පු කරනු ඇති” අය ව සිටිනු ඇති බවට වූ කාලයක් ගැන බයිබලය පුරෝකථනය කළේ ය. (2 තිමෝති 3:1, 5, NW) “රෙපරමාදුවන්, රෝමානු කතෝලිකයන් සහ යුදෙව්වන් යන සියල්ලන්” තමන්ගේ පල්ලිවල සහ සිනගෝගවල බැතිමතුන් “සිඳී යාම ගැන සැලකිල්ල දක්වා තිබෙන” බව එක් පුවත් පතක් වාර්තා කළේ ය. අනෙක් අතට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ බයිබලය බැරෑරුම් ලෙස පාඩම් කරන ශිෂ්‍යයෝ ය. සංඛ්‍යාවෙන් වැඩි වෙමින් පවතින බාල, මහලු, ගැහැණු, පිරිමි යන ඔවුන් සියල්ලෝ ම සති පතා රැස්වීම් කිහිපයකට සහභාගි වෙති. පුවත් පතකට යවන ලද ලිපියක පැවසූවේ, “ඔවුන්ගේ ආගම වනාහි ඔවුන්ට තිබෙන අති වටිනා ම දේ ය, තව ද ඔවුන්ගේ මූලික ම සැලකිල්ල වී ඇත්තේ එය අන්‍යයන් සමඟ බෙදා ගැනීමයි” කියා ය.
එවන් ආකල්පයක් යෙහෝවඃ වහන්සේගේ සංවිධානය අනර්ඝ දියමන්තියක් සේ කැපී පෙනෙන්ට සලස්වයි. තව ද ප්‍රශංසාව යන්නේ, ස්වකීය ශුද්ධාත්මය තුළින් අසම්පූර්ණ පුද්ගලයන් ව ශක්තිමත් කොට මඟ පෙන්වන්නා වූ තැනන් වහන්සේට ය.
ප්‍රොපේත යෙසායා මෙසේ පුරෝකථනය කළේ ය: “ස්වාධිපති ස්වාමි වූ යෙහෝවඃ වහන්සේ පැවසූ දේ මෙයයි: ‘බලව! මාගේ සේවකයන් අනුභව කරනු ඇත. . . . බලව! මාගේ සේවකයන් පානය කරනු ඇත. . . . බලව! මාගේ ම සේවකයන් ප්‍රීති වනු ඇත. . . . බලව! මාගේ සේවකයන් ඔවුන්ගේ හෘදයේ යහපත් තත්ත්වය නිසා ප්‍රීතියෙන් ඉපිල ගොස් ඝෝෂා නඟනු ඇත.’ ”—යෙසායා 65:13, 14, NW.
අද දින අපි මෙම අනාවැකියේ ඉටු වීම දකින්නෙමු. දෙවියන් වහන්සේ ස්වකීය සෙනඟ ව අපූර්ව අන්දමින් රැක බලා ගන්නා සේක! ඔබ ඔවුන් සමඟ ඇසුරු කරන්නේ නම්, ඔබගේ ප්‍රීතිය සොරා ගැනීමට කිසි ම නිෂේධාත්මක සිතිවිල්ලකට ඉඩ නොදෙන්න. සම්පූර්ණ චිත්‍රය දෙස බලන්න, තව ද මෙය මතක තබා ගන්න: මේ පොළොව මත වෙනත් කිසි ම සංවිධානයක් දෙවියන් වහන්සේගේ විශේෂ සැලකිල්ල සහ ආරක්ෂාව භුක්ති විඳින්නේ නැත. එහි කොටසක් වීමේ ඔබගේ වරප්‍රසාදය අගේ කොට සැලකීම කිසිදා නතර නොකරන්න. w91 11/1