ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w92 3/1 14-18 පි.
  • යෙහෝවඃ වහන්සේට සමීප ව සිටින්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවඃ වහන්සේට සමීප ව සිටින්න
  • 1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන් වහන්සේගේ අරමුණට එකඟ ව ප්‍රතිචාරය
  • යෙහෝවඃ වහන්සේට සමීප ව සිටීම පිළිබඳ ආදර්ශ
  • යේසුස් වහන්සේ, අපගේ ආදර්ශකයාණෝ
  • යෙහෝවඃ වහන්සේ පිට අපගේ බර තැබීම
  • යාච්ඤාව හා බලාපොරොත්තුව දිගට ම පැවතීමට නියමිතය
  • අප නොකඩවා යාච්ඤා කළ යුත්තේ මන්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිට සමීප වීමට ඔබට හැකි අයුරු
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • යාච්ඤාවේදී පක්ෂපාතී දෑත් දිගු කරන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w92 3/1 14-18 පි.

යෙහෝවඃ වහන්සේට සමීප ව සිටින්න

“යාච්ඤාවෙහි නොකඩවා පවතින්න”—රෝම 12:12 NW.

1. යාච්ඤාව සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත කුමක් ද, එමෙන් ම යාච්ඤා කිරීම සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් දුන් දිරිගැන්වීම කිමෙක් ද?

යෙහෝවඃ වහන්සේ ස්වකීය සියලු ඇදහිලිවන්තයන් හට “බලාපොරොත්තුව දානය කරන දෙවියන් වහන්සේ” ය. ‘යාච්ඤා අසන තැනන්වහන්සේ’ හැටියට, තමන් වහන්සේ ඉදිරියේ තබන එම ප්‍රීතිදායක බලාපොරොත්තුව අත් කර ගැනීමට උපකාරය ඉල්ලා සිටින ඔවුන්ගේ කන්නලව්වලට උන් වහන්සේ සවන් දෙන සේක. (රෝම 15:13 NW; ගීතාවලිය 65:2) තව ද ස්වකීය වචනය වන බයිබලය තුළින්, කැමති ඕනෑ ම වේලාවක උන් වහන්සේ වෙතට ඒමට උන් වහන්සේ ස්වකීය සියලු සේවකයන් හට දිරි දෙන සේක. ඔවුන්ගේ වඩා ඇතුළාන්ත සැලකිල්ලට භාජනය වන දෑ බාර ගැනීමට කැමැත්තෙන්, උන් වහන්සේ නිතර සෑදී පැහැදී සිටින සේක. ඇත්ත වශයෙන් ම, උන් වහන්සේ ‘යාච්ඤාවෙහි නොකඩව පැවතීමටත් [persevere]’ එසේ ම ‘නොකඩව [නිරන්තර ව NW] යාච්ඤා කිරීමටත්’ ඔවුන් දිරිගන්වන සේක.a (රෝම 12:12; 1 තෙසලෝනික 5:17) සියලු ක්‍රිස්තියානින් ස්වකීය පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්, උන් වහන්සේ වෙත තමන්ගේ හෘදයන් වගුරුවමින්, යාච්ඤාවෙන් නිතර ම උන් වහන්සේ ව ඇමතීම යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත ය.—යොහන් 14:6, 13, 14.

2, 3. (අ) “යාච්ඤාවෙහි නොකඩවා පවතින්න” යනුවෙන් දෙවියන් වහන්සේ අපට උනන්දුමය ලෙසින් උපදෙස් දුන්නේ මක්නිසා ද? (ආ) අප යාච්ඤා කිරීම දෙවියන් වහන්සේට වුවමනා කරන බවට අපට ඇත්තේ කිනම් සහතිකයක් ද?

2 දෙවියන් වහන්සේ අපට මෙම උනන්දුමය උපදේශය දෙනුයේ මක්නිසා ද? හේතුව ජීවිතයේ පීඩනයන් හා වගකීම් අපට යාච්ඤා කිරීමට අමතක වන පමණට ම අප කෙරෙහි පීඩා ඇති කළ හැකි බැවිනි. එසේත් නැතහොත් ගැටලු අප ව යටපත් කර බලාපොරොත්තුවෙහි ප්‍රීති වීම වළක්වමින් යාච්ඤා කිරීම නැවැත්වීමට අප ව සැලැස්විය හැකි ය. මේ කාරණා නිසා, අපට යාච්ඤා කිරීමටත්, උපකාරයේ හා සහනයේ ප්‍රභවය වන අපගේ දෙවි වූ යෙහෝවඃ වහන්සේ වෙත ඉතා සමීප වීමටත් අප ව දිරිගන්වන සිහිගැන්වීම් අපට අවශ්‍ය වේ.

3 ගෝලයෙක් වූ යාකොබ් ලීවේ මෙසේ ය: “දෙවියන්වහන්සේට ළංවෙයල්ලා, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක.” (යාකොබ් 4:8) එසේ ය, අපගේ අසම්පූර්ණ මනුෂ්‍ය තත්ත්වයන් තිබියදීත්, දෙවියන් වහන්සේ පමණට වඩා උසස් ව හෝ උන් වහන්සේට වූ අපගේ ප්‍රකාශයන් ඇසීමට තරම් අතිශයින් දුරස් ව හෝ නොසිටින සේක. (ක්‍රියා 17:27) තවදුරටත්, උන් වහන්සේ උදාසීන ව හෝ නොසැලකිලිමත් ව නොසිටින සේක. ගීතිකාකාරයා පවසනුයේ මෙසේ ය: “ස්වාමීන්ගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ [උපකාර සඳහා NW] මොරගැසීමටත් යොමා තිබේ.”—ගීතාවලිය 34:15; 1 පේතෘස් 3:12.

4. යාච්ඤාවට යෙහෝවඃ වහන්සේගේ සාවධාන භාවය කෙසේ විස්තර කළ හැකි ද?

4 යෙහෝවඃ වහන්සේ යාච්ඤා කිරීමට ආරාධනා කරන සේක. මිනිසුන් බොහෝ දෙනෙක් එක්ව කථා කරන්නා වූ රැස්වීමකට අපට මෙය සමාන කළ හැකි ය. ඔබ එහි සිට අන්‍යයන් කථා කරන අයුරු සවන් දෙමින් සිටින්නෙහි ය. ඔබ එහි නිරීක්ෂකයෙකුගේ කාර්ය භාරය ඉටු කරමින් සිටී. එහෙත් එවිට යමෙක් ඔබ දෙසට හැරී, ඔබගේ නම පවසා, ඔහුගේ වදන් ඔබ වෙත යොමු කරයි. මෙය විශේෂ ආකාරයකට ඔබගේ අවධානය යොමු කරවයි. සමානාකාරයෙන්, දෙවියන් වහන්සේ ඔවුන් කොතැනක සිටියත්, නිතර ස්වකීය ජනයාට ඇහුම් කන් දෙමින් සිටින සේක. (2 ලේකම් 16:9; හිතෝපදේශ 15:3) මෙසේ උන් වහන්සේ, යම් හෙයකින්, ආරක්ෂාකාරී ව හා උනන්දුවෙන් නිරීක්ෂණය කරමින් අපගේ වදන්වලට සවන් දෙන සේක. අප යාච්ඤාවෙන් දෙවියන් වහන්සේගේ නාමය අමතන විට, කෙසේ හෝ, උන් වහන්සේගේ අවධානය බැඳ තබන අතර මෙවිට උන් වහන්සේ නිශ්චිත ආකාරයකට අප කෙරෙහි යොමු වන සේක. ස්වකීය බලයෙන්, යෙහෝවඃ වහන්සේට මනුෂ්‍යයාගේ හෘදයේ හා මනසේ සැඟවුනු ගර්භය තුළින් ඉදිරිපත් කෙරෙන නුමුදු වචනින් නොපවසන ලද ඉල්ලීම් පවා සොයා තේරුම් ගත හැකි ය. අවංක ව ස්වකීය නාමය අමතන එමෙන් ම උන් වහන්සේට සමීප ව සිටීමට වෑයම් කරන්නා වූ සියල්ලන්ට උන් වහන්සේ ළංව සිටින බව දෙවියන් වහන්සේ අපට සහතික වන සේක. —ගීතාවලිය 145:18.

දෙවියන් වහන්සේගේ අරමුණට එකඟ ව ප්‍රතිචාරය

5. (අ) “යාච්ඤාවෙහි නොකඩවා පවතින්න” යන උපදේශය අපගේ යාච්ඤා සම්බන්ධයෙන් කුමක් අඟවයි ද? (ආ) දෙවියන් වහන්සේ යාච්ඤාවන්ට පිළිතුරු දෙන්නේ කෙසේ ද?

5 නොකඩවා යාච්ඤාවෙහි පැවතීමට වූ උපදේශය යෙහෝවඃ වහන්සේ ඇතැම් අවස්ථාවල, උන් වහන්සේගේ ප්‍රතිචාරය පැහැදිලි ව පෙනෙන්නට පෙර, යම් කලකට එක්තරා විෂයක් සම්බන්ධයෙන් දිගට ම යාච්ඤා කරන්නට අපට ඉඩ හැරිය හැකි බව අඟවයි. අතිශයින් අවශ්‍ය කරවන බව පෙනිය හැකි නමුත් දීර්ඝ කලකට පමා කරනු ලබන අනුග්‍රහය හෝ ප්‍රේමනීය කරුණාව සඳහා දෙවියන් වහන්සේට කන්නලව් කිරීමෙහි අප වෙහෙසට පත් වන්නට පවා නැඹුරු විය හැකි ය. එබැවින්, යෙහෝවඃ දෙවියන් වහන්සේ එවන් යම් නැඹුරුතාවයකට යටත් නොවී නොකඩව යාච්ඤා කරන මෙන් අපෙන් උදක් ඉල්ලා සිටින සේක. උන් වහන්සේ අපගේ යාච්ඤාවන්ට ගරු කරන බවත්, හුදෙක් අප නියම කර ගත් දෙය නොව, නමුත් අපගේ සැබෑ අවශ්‍යතාව ලබා දෙන බවට නිසැක වෙමින්, අප ට අපගේ මහත් ඕනෑකම් පිළිබඳ ව නොකඩව උන් වහන්සේට කන්නලව් කළ යුතු ය. යෙහෝවඃ දෙවියන් වහන්සේ නිසැක ව ම අපගේ ඉල්ලීම් උන් වහන්සේගේ අරමුණට එකඟ ව සමතුලනය කරන සේක. උදාහරණයක් වශයෙන්, අපගේ ඉල්ලීම්වලින් අන්‍යයන්ට බලපෑම් ඇති කර විය හැකි ය. මෙම විෂය පාපැදියක් ඉල්ලා සිටින පුත්‍රයෙක් ඇත්තා වූ පියෙකුගේ තත්ත්වයට අපට සමාන කළ හැකි ය. එම පුත්‍රයාට පාපැදියක් තමා මිල දී ලබා දුනහොත්, ඔහුගේ අනෙක් පුත්‍රයාටත් එවැන්නක් අවශ්‍ය වන බව පියා දනි. එක් පුත්‍රයෙක් බයිසිකලයක් පාවිච්චි කිරීමට ලාබාල වැඩි බැවින්, එකක්වත් ඒ අවස්ථාවෙහි මිල දී නොගැනීමට පියා තීරණය කළ හැකි ය. සමානාකාරයකින්, උන් වහන්සේගේ අරමුණට එකඟ ව හා කාරණා සිදුවන කාලාන්තරයට අනුව අපගේ ස්වර්ගික පියාණන් අපටත්, එසේ ම අන්‍යයන්ටත් සැබවින් ම වඩාත් යහපත් වනුයේ කුමක් දැයි නිශ්චය කරනු ඇත.—ගීතාවලිය 84:8, 11; හබක්කුක් 2:3 සසඳන්න.

6. යාච්ඤාව සම්බන්ධයෙන් යේසුස් වහන්සේ දුන් උපමාව කුමක් ද, එමෙන් ම නොකඩවා යාච්ඤාවෙහි පැවතීම කුමක් පෙන්වයි ද?

6 සිය ගෝලයින් “නොමැළිව නිතර යාච්ඤා” කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් යේසුස් වහන්සේ දුන් උපමාව සැලකීම වටී. වැන්දඹුවක් යුක්තිය ලබා ගත නොහැකි ව, අවසානයේ ඇයට යුක්තිය ලැබෙනතෙක්, මනුෂ්‍ය විනිශ්චයකාරයෙක් වෙත ඇයගේ ඉල්ලීම නොනැවතී ඉදිරිපත් කළා ය. “දෙවියන්වහන්සෙත් . . . තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරනසේක්ද?” යයි යේසුස් වහන්සේ තවදුරටත් පැවසූ සේක. (ලූක් 18:1-7) නොනැවතී යාච්ඤා කිරීම මගින් අපගේ ඇදහිල්ල, යෙහෝවඃ වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය, උන් වහන්සේට සමීප ව සිට අපගේ කන්නලව් ඉදිරිපත් කොට ප්‍රතිඵලය උන් වහන්සේගේ හස්තයට භාර කිරීමට වූ අපගේ කැමැත්ත යනාදිය පෙන්වනු ලබයි.—හෙබ්‍රෙව් 11:6.

යෙහෝවඃ වහන්සේට සමීප ව සිටීම පිළිබඳ ආදර්ශ

7. යෙහෝවඃ වහන්සේට සමීප ව සිටීමෙහි අපට ආබෙල්ගේ ඇදහිල්ල අනුකරණය කළ හැක්කේ කෙසේ ද?

7 දෙවියන් වහන්සේගේ සේවකයන් විසින් කරන ලද යාච්ඤා පිළිබඳ වාර්තාවන්ගෙන් බයිබලය පිරී ඇත. “ඉවසිල්ල [විඳදරාගැනීම NW] කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස,” මේවා “අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.” (රෝම 15:4) යෙහෝවඃ වහන්සේට සමීප ව සිටි අයගේ ආදර්ශයන් සමහරක් සලකා බැලීමෙන් අපගේ බලාපොරොත්තුව ශක්තිමත් වේ. ආබෙල් පිළිගත හැකි යාගයක් දෙවියන් වහන්සේට ඔප්පු කළ අතර යාච්ඤා කිරීමක් එහි වාර්තා වී නැතත්, තම යාගය පිළිගන්නා ලෙස ඔහු නිසැක ව ම යෙහෝවඃ වහන්සේට යාච්ඤාවෙන් ආයාචනා කරන්නට ඇත. හෙබ්‍රෙව් 11:4 පවසනුයේ: “ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පුකෙළේය. . . . එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය.” උත්පත්ති 3:15හි දෙවියන් වහන්සේගේ පොරොන්දුව ගැන ආබෙල් දැන සිටියමුත්, දැන් අප දන්නා දෑ සමඟ සැසඳීමේ දී, ඔහු දැන සිටියේ ඉතා සුළු ප්‍රමාණයකි. එහෙත්, ආබෙල් තමාට තිබූ එම දැනගැන්මේ ප්‍රකාරයට ක්‍රියා කළේ ය. එබැවින් අද දින, දෙවියන් වහන්සේගේ සත්‍යය කෙරෙහි අලුත උනන්දුවක් දක්වන සමහරෙකුට තවමත් එතරම් අවබෝධයක් නොමැතිමුත්, ඔවුහු යාච්ඤා කරන අතර ආබෙල් හා සමාන ව, තමන්ට ඇති අවබෝධයෙන් උපරිම ප්‍රයෝජන ගනිති. එසේ ය, ඔවුහු ඇදහිල්ලෙන් ක්‍රියා කරති.

8. ආබ්‍රහම් යෙහෝවඃ වහන්සේට සමීප ව සිටි බව අපට නිසැක විය හැක්කේ මන්ද, එමෙන් ම අප අපගෙන් ම ඇසිය යුත්තේ කිනම් ප්‍රශ්නය ද?

8 “ඇදහිල්ල ඇති සියල්ලන්ගේ පියා” වන ආබ්‍රහම්, දෙවියන් වහන්සේගේ තවත් ඇදහිලිවන්ත සේවකයෙකු විය. (රෝම 4:11, NW) අද දින, අන් කවරදාකටත් වඩා, අපට දැඩි ඇදහිල්ලක් අවශ්‍ය කරවන අතර ආබ්‍රහම් කළාක් මෙන් අප ද ඇදහිල්ලෙන් යාච්ඤා කළ යුතු ය. ඔහු “ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමය කියා යාච්ඤා” කළ බව, උත්පත්ති 12:8 පවසයි. ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ නාමය දැන සිටි අතර යාච්ඤා කිරීමේ දී එය හුවා දැක් වී ය. නොයෙක් විට හෙතෙම “සදාකාල [අනන්ත ව පවතින්නා වූ NW] දෙවිවූ ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමය” අමතමින් අවංක ව යාච්ඤාවේ නොකඩවා යෙදුනේ ය. (උත්පත්ති 13:4; 21:33) ආබ්‍රහම්, පසුව තමා ප්‍රසිද්ධත්වයට පත් වූ ඇදහිල්ලෙහි පිහිටා දෙවියන් වහන්සේ අමතමින් සිටියේ ය. (හෙබ්‍රෙව් 11:17-19) රාජ්‍යය බලාපොරොත්තුවෙහි මහත් සේ ප්‍රීතිවෙමින් සිටීමට යාච්ඤාව ආබ්‍රහම්ට උපකාරවත් විය. නොකඩවා යාච්ඤාවෙහි නියැළී සිටීම පිළිබඳ ආබ්‍රහම්ගේ ආදර්ශය අපි අනුගමනය කරමින් සිටින්නෙමු ද?

9. (අ) දාවිත්ගේ යාච්ඤා අද දින දෙවියන් වහන්සේගේ සේවකයින් හට මහත් සේ ප්‍රයෝජනවත් වනුයේ මන්ද? (ආ) දාවිත් කළාක් මෙන් යෙහෝවඃ වහන්සේට සමීප ව සිටීමට කරන අපගේ යාච්ඤාවෙන් කුමක් විපාක විය හැකි ද?

9 යාච්ඤාවෙහි නොකඩවා යෙදීම සම්බන්ධයෙන් දාවිත් කැපීපෙනුන අතර, ඔහුගේ ගීතිකා මගින් විස්තර කරනුයේ යාච්ඤා කුමනාකාරයේ විය යුතු ද යන්න ය. උදාහරණයක් හැටියට, දෙවියන් වහන්සේගේ සේවකයන් හට ගැළවීම හා මිදීම (ගීතා 3:7, 8; 60:5), මග පෙන්වීම (ගීතා 25:4, 5), රැකවරණය (ගීතා 17:9), පව් කමාව (ගීතා 25:7, 11, 18), හා නිර්මල හෘදයක් (ගීතා 51:10), වැනි දෑ වෙනුවෙන් යුතු ලෙස යාච්ඤා කළ හැකි ය. දාවිත්ට පීඩා පහර දුන් විට, “ඔබගේ මෙහෙකරුවාගේ ආත්මය ප්‍රීතිමත්කළ මැනව” කියා ඔහු යාච්ඤා කළේ ය. (ගීතා 86:4) අප අපගේ බලාපොරොත්තුවේ ප්‍රීති වීම යෙහෝවඃ වහන්සේගේ ආසාව බව දැන, අපට සමානාකාරයෙන් හෘදයේ ප්‍රීතිය පිණිස යාච්ඤා කළ හැකි ය. දාවිත් යෙහෝවඃ වහන්සේට සමීප ව සිට මෙසේ යාච්ඤා කළේ ය: “මාගේ ආත්මය ඔබට ඇලුම්ව ඔබ අනුව යයි. ඔබගේ දකුණත මා උසුලයි.” (ගීතා 63:8) දාවිත් කළාක් මෙන්, අපත් යෙහෝවඃ වහන්සේට සමීප ව සිටිනු ඇද්ද? අප එසේ කරනවා නම්, උන් වහන්සේ අපවත් උසුලනු ඇත.

10. එක් අවස්ථාවක ගීතිකාකාර ආසාප්ට තිබුනේ කිනම් වැරදි සහගත සිතුවිලි ද, එහෙත් ඔහු අවබෝධ කර ගන්නට යෙදුනේ කුමක් ද?

10 අප යෙහෝවඃ වහන්සේට සමීප ව සිටින්නට යන්නේ නම්, තම කරදරවලින් නිදහස් හා ද්‍රව්‍යවාදී ජීවිත ගෙවන දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා කිරීමෙන් වළකිනු ඇත. දුෂ්ටයන් “නිතර සැපසේ වෙසෙමින්” සිටින බැවින්, යෙහෝවඃ වහන්සේට සේවය කිරීම නොවටිනා දෙයක් ලෙස ගීතිකාකාර ආසාප්ට වරක් හැඟිණ. කෙසේ වෙතත්, ඔහුගේ තර්ක කිරීම වැරදි සහගත බවත්, දුෂ්ටයන් “ලිස්සන තැන්වල” සිටින බවත් ඔහු තේරුම් ගත්තේ ය. යෙහෝවඃ වහන්සේට සමීප ව සිටීම තරම් වෙන කිසිම දෙයක් වඩා හොඳ නොවන බව ඔහු අවබෝධ කර ගත් අතර ඔහු මෙයාකාරයෙන් දෙවියන් වහන්සේට තම අදහස් පැහැදිලි කළේ ය: “මම නිතරම ඔබ සමගය. ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක. මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය. . . . දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මාගේ සරණ කරගතිමි.” (ගීතාවලිය 73:12, 13, 18, 23, 27, 28) බලාපොරොත්තුවක් නැති අය වන, දුෂ්ටයන්ගේ කරදරවලින් නිදහස් ජීවිතය ගැන ඊර්ෂ්‍යා කරනු වෙනුවට, යෙහෝවඃ වහන්සේට සමීප ව සිටීමෙහි අපි ආසාප් අනුකරණය කරමු.

11. දානියෙල් යෙහෝවඃ වහන්සේට සමීප ව සිටීමේ මාහැඟි ආදර්ශයක් වනුයේ මක්නිසා ද, එමෙන් ම අපට ඔහු අනුකරණය කළ හැක්කේ කෙසේ ද?

11 යාච්ඤාව පිළිබඳ නිල තහංචි නොසැලකීම හේතුවෙන් සිංහ ගුහාවේ සිටීමේ අන්තරාව හමුවේ පවා, දානියෙල් අධිෂ්ඨාන පූර්වක ව නොකඩවා යාච්ඤාවේ යෙදුනේ ය. එහෙත් දානියෙල් ගලවා ගනිමින් යෙහෝවඃ වහන්සේ “තමන්ගේ දූතයා එවා, . . . උන්ගේ [සිංහයන්ගේ] කටවල් පියෙවුසේක.” (දානියෙල් 6:7-10, 22, 27) දානියෙල් නොකඩවා යාච්ඤාවේ යෙදීමෙන් මහත් සේ ආශීර්වාද ලැබී ය. විශේෂාකාරයෙන් අපගේ රාජ්‍යය දේශනාවට වූ විරුද්ධත්වයන්ට මුහුණ දී සිටින විට, අපිත් නොකඩවා යාච්ඤාවේ යෙදෙන්නෙමු ද?

යේසුස් වහන්සේ, අපගේ ආදර්ශකයාණෝ

12. (අ) සිය සේවයේ මූලාරම්භයේ දී, යාච්ඤාව සම්බන්ධයෙන් යේසුස් වහන්සේ කිනම් ආදර්ශයක් තැබූ සේක් ද, එමෙන් ම මෙය ක්‍රිස්තියානින්ට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේ ද? (ආ) යේසුස් වහන්සේගේ ආදර්ශ යාච්ඤාව, යාච්ඤා සම්බන්ධයෙන් කුමක් එළිදරව් කරයි ද?

12 සිය භූමික සේවයේ මූලාරම්භයේ පටන් ම, යේසුස් වහන්සේ යාච්ඤාවේ යෙදීම නිරීක්ෂණය කළ හැකි ය. බව්තීස්ම කරනු ලබන කල සිය යාච්ඤා පූර්වක ආකල්පය නවීන කාලවල වතුර බව්තීස්මය ලබන්නන් හට මාහැඟි ආදර්ශයක් තබයි. (ලූක් 3:21, 22) වතුර බව්තීස්මයෙන් සංකේතවත් කරනු ලබන දෙය ක්‍රියාවේ යෙදවීමට දෙවියන් වහන්සේගේ උපකාරය ඉල්ලා යමෙකුට යාච්ඤා කළ හැකි ය. යාච්ඤාවෙන් යෙහෝවඃ වහන්සේ වෙත එළැඹීමට යේසුස් වහන්සේ අන්‍යයන්ට ද උපකාර කළ සේක. එක්තරා අවස්ථාවක යේසුස් වහන්සේ යම් නිශ්චිත ස්ථානයක යාච්ඤා කරමින් සිටි විට, සිය ගෝලයන්ගෙන් කෙනෙක් ඉක්බිති ව උන් වහන්සේ අමතා මෙසේ පැවසුවේ ය: “ස්වාමිනි, . . . අපටත් යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනව.” යේසුස් වහන්සේ එවිට ප්‍රමුඛත්වය දිය යුතු විෂයන්හි අනුක්‍රමය දෙවියන් වහන්සේගේ නාමය හා අරමුණ බව පෙන්වන්නා වූ, පොදුවේ ආදර්ශ යාච්ඤාව ලෙස හඳුන්වනු ලබන යාච්ඤාව කියා දුන් සේක. (ලූක් 11:1-4) මෙසේ, අපගේ යාච්ඤාවන්හි “වඩා වැදගත් දේවල්” නොසලකා නොහරිමින්, අප යථාදර්ශනීය ව හා සමතුලිත ව සිටිය යුතු ය. (පිලිප්පි 1:9, 10, NW) ඇත්ත වශයෙන් ම, විශේෂිත අවශ්‍යතා පවතින, නැතහොත් නිශ්චිත ගැටලුවක් දැන්විය යුතු අවස්ථා ඇත. යේසුස් වහන්සේ මෙන්, ක්‍රිස්තියානින්ට යම් පැවරුම් ඉටු කිරීමට, එසේත් නැතහොත් යම් යම් පරීක්ෂා හෝ අන්තරාවන්ට මුහුණ දීම සඳහා ශක්තිය ඉල්ලීමට දෙවියන් වහන්සේ වෙතට යා හැකි ය. (මතෙව් 26:36-44) සැබවින් ම, පුද්ගලික යාච්ඤාවට ජීවිතයේ සෑම කුඩා මූණතක් ම ඇතුළත් කර ගත හැකි ය.

13. යේසුස් වහන්සේ වෙනත් අය උදෙසා යාච්ඤා කිරීමේ වැදගත්කම පෙන්වූයේ කෙසේ ද?

13 සිය මාහැඟි ආදර්ශයෙන්, යේසුස් වහන්සේ අන්‍යයන් වෙනුවෙන් යාච්ඤා කිරීමේ වැදගත්කම පෙන් වූ සේක. තමාට සිදු වූ ආකාරයට ම, සිය ගෝලයන්ට ද වෛර හා පීඩා කරනු ලබන බව උන් වහන්සේ දැන සිටි සේක. (යොහන් 15:18-20; 1 පේතෘස් 5:9) එබැවින්, උන් වහන්සේ “නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන පිණිස” දෙවියන් වහන්සේට කන්නලව් කළ සේක. (යොහන් 17:9, 11, 15, 20) තව ද පේතෘස්ට මුහුණ දෙන්නට තිබූ විශේෂිත පරීක්ෂාව දැන: “නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි” යයි උන් වහන්සේ ඔහුට වදාළ සේක. (ලූක් 22:32) හුදෙක් අපගේ ම ගැටලු හා ශුභ සිද්ධිය පමණක් නොව අන්‍යයන් ගැන ද කල්පනා කරමින්, අපගේ සහෝදරයන් සඳහා ද අප නොනැවතී යාච්ඤා කරන්නේ නම් එය කොතරම් ප්‍රයෝජනවත් ද!—පිලිප්පි 2:4, NW; කොලොස්සි 1:9, 10, 12ආ.

14. යේසුස් වහන්සේ සිය භූමික දේව සේවය පුරා යෙහෝවඃ වහන්සේට සමීප ව සිටි බව අප දන්නේ කෙසේ ද, එමෙන් ම අපට උන් වහන්සේ අනුකරණය කළ හැක්කේ කෙසේ ද?

14 සිය සේවය පුරා ම යේසුස් වහන්සේ යෙහෝවඃ වහන්සේට ඉතා සමීප ව සිටිමින්, නොකඩවා යාච්ඤාවෙහි යෙදුන සේක. (හෙබ්‍රෙව් 5:7-10) ප්‍රේරිත පේතෘස්, ක්‍රියා 2:25-28 හි, ගීතාවලිය 16:8 උපුටා දක්වමින්, එය ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අදාළ කරයි: “දාවිත් උන්වහන්සේ ගැන කථාකරමින්: ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නිතරම මා ඉදිරියෙහි සිටිනවා දුටිමි; මා සොලවනු නොලබන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටිනසේක.” අපටත් එයාකාර කළ හැකි ය. අපට සමීප ව සිටින ලෙසින් අප හට දෙවියන් වහන්සේට යාච්ඤා කළ හැකි අතර නිරන්තරයෙන් ම මානසික වශයෙන් උන් වහන්සේ ව අපගේ නෙත් හමුවේ තැබීමෙන් අපට යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇති අපගේ විශ්වාසය පෙන්විය හැකි ය. (ගීතාවලිය 110:5; යෙසායා 41:10, 13 සසඳන්න.) එවිට යෙහෝවඃ වහන්සේ අපට ආධාර කරනු ඇති අතර, අප කිසි විටෙකත් සොලවනු නොලැබ, අප සියලු ආකාර කරදර මඟහරිනු ඇත.

15. (අ) අප නොකඩවා යාච්ඤාවෙහි පැවතීමට අසමත් නොවිය යුත්තේ කුමක් සම්බන්ධයෙන් ද? (ආ) අපගේ ස්තුතිපූර්වක වීම සම්බන්ධයෙන් කිනම් අනතුරු ඇඟවීමක් දී තිබේ ද?

15 අප කෙරෙහි පෙන්වන සියලු යහපත්කම් වෙනුවෙන් අප කිසි විටෙකත් යෙහෝවඃ වහන්සේට ස්තුති කරන්නට අසමත් නොවිය යුතු ය, එසේ ය, අපගේ පාප සඳහා මිදීමේ මිලයක් ලෙසට ස්වකීය පුත්‍රයාණන් ත්‍යාග කිරීම ද ඇතුළත් වන්නා වූ, “සියල්ල ඉක්මවා යන දෙවියන් වහන්සේගේ ලැබිය නොයුතු කරුණාව” මෙයට අයත් වේ. (2 කොරින්ති 9:14, 15, NW; මාර්ක් 10:45; යොහන් 3:16; රෝම 8:32; 1 යොහන් 4:9, 10) ඇත්ත වශයෙන් ම, යේසුස් වහන්සේගේ නාමයෙන්, “සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිරතම ස්තුතිකරපල්ලා.” (එපීස 5:19, 20; කොලොස්සි 4:2; 1 තෙසලෝනික 5:18) අපට නොමැති දෙය සම්බන්ධයෙන් නැතහොත් අපගේ පුද්ගලික ගැටලු සම්බන්ධයෙන් අප පමණට වඩා සැලකිලිමත් ව සිටීමෙන්, අපට ඇති දෙය සම්බන්ධයෙන් අපගේ ස්තුතිවන්ත භාවය පිළුණු ගතියකට පත් නොවන්නට අප වගබලා ගත යුතු ය.

යෙහෝවඃ වහන්සේ පිට අපගේ බර තැබීම

16. යම් බරක් අපට කරදර කරන විට, අප කළ යුත්තේ කුමක් ද?

16 නොකඩවා යාච්ඤාවේ යෙදීම අපගේ භක්තියේ ගැඹුරු බව පෙන්වයි. අප දෙවියන් වහන්සේ අමතන විට, උන් වහන්සේගෙන් පිළිතුරක් ලැබීමට පෙර පවා, අප කෙරෙහි බලපෑම යහපත් වේ. යම් බරක් අපගේ මනසට වද දෙන්නේ නම්, මෙම උපදේශය අනුගමනය කිරීමෙන් අපට යෙහෝවඃ වහන්සේට සමීප ව සිටිය හැකි ය: “නුඹේ බර ස්වාමීන් [යෙහෝවඃ වහන්සේ NW] පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක.” (ගීතාවලිය 55:22) දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ ඇදහිල්ලෙන් යුක්ත ව, අපගේ බර—එනම් කාන්සාවන්, කරදර, බලාපොරොත්තු කඩවීම්, භය, යනාදිය—උන් වහන්සේ කෙරෙහි පූර්ණ ඇදහිල්ල තබමින් උන් වහන්සේ පිට දැමීමෙන්, “කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය,” නැමැති හෘදයේ සන්සුන්කමක් අප ලබනු ඇත.—පිලිප්පි 4:4, 7; ගීතාවලිය 68:19; මාර්ක් 11:24; 1 පේතෘස් 5:7.

17. අපට දෙවියන් වහන්සේගේ සමාදානය ලබා ගත හැක්කේ කෙසේ ද?

17 දෙවියන් වහන්සේගේ මෙම සමාදානය ක්ෂණික ව පැමිණේ ද? අපට වහාම යම් සහනයක් ලැබෙතත්, යේසුස් වහන්සේ ශුද්ධාත්මය වෙනුවෙන් යාච්ඤා කිරීම සම්බන්ධයෙන් වදාළ දෙය මෙහි දී සැබෑ වේ: “ඉල්ලමින් සිටින්න, එවිට ඔබට දෙනු ලැබේ; සොයමින් සිටින්න, එවිට ඔබට සම්බවේ; තට්ටුකරමින් සිටින්න, එවිට ඔබට එය විවෘත කරනු ලැබේ.” (ලූක් 11:9-13, NW) අප කාංසාව ඉවත් කරනුයේ ශුද්ධාත්මය කරණකොටගෙන බැවින්, අප දෙවියන් වහන්සේගේ සමාදානයත්, අපගේ බර සම්බන්ධයෙන් උන් වහන්සේගේ උපකාරයත් නොනැවතී ඉල්ලිය යුතු ය. නොනැවතී යාච්ඤා කිරීමෙන් අප කැමති වන්නා වූ සහනයත්, හෘදයේ සන්සුන් භාවයත් අපට ලැබෙන බව අපට නිසැක විය හැකි ය.

18. යම් තත්ත්වයක් යටතේ යාච්ඤාවෙන් හරියට ම කුමක් ඉල්ලිය යුතු දැයි අප නොදන්නේ නම්, යෙහෝවඃ වහන්සේ අප උදෙසා කුමක් කරන සේක් ද?

18 එහෙත් හරියට ම කුමක් ඉල්ලා යාච්ඤා කළ යුතු දැයි අප නොදන්නේ නම් කුමක් ද? අපගේ තත්ත්වය අප සම්පූර්ණයෙන් තේරුම් නොගන්නා නිසා, එසේත් නැතහොත් යෙහෝවඃ වහන්සේට ඉදිරිපත් කළ යුතු දෙය සම්බන්ධයෙන් අප අවිනිශ්චිත ව සිටින නිසා, අපගේ අභ්‍යන්තර කෙඳිරිය බොහෝ විට ප්‍රකාශ නොවී පවතී. ශුද්ධාත්මය අප වෙනුවෙන් මැදහත් විය හැක්කේ මෙහි දී ය. පාවුල් ලීවේ: “යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම [ආත්මය ම NW] කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම් කරනසේක [කරයි NW].” (රෝම 8:26) ඒ කෙසේ ද? දේව වචනයෙහි අපගේ තත්ත්වයට අදාළ වන ආනුභාවය ලත් අනාවැකි හා යාච්ඤා ඇත. ඒවා හට යම් ආකාරයකින්, අප උදෙසා මැදහත්කම් කරන්නට උන් වහන්සේ ඉඩ හරින සේක. අප ඒවායේ තේරුම් පමණක් දැන සිටියේ නම්, අප යාච්ඤාවෙන් ඉල්ලන දෙය ලෙස උන් වහන්සේ මේවා පිළිගන්නා අතර ඊට අනුකූල ව උන් වහනසේ ඒවා ඉෂ්ට කරන සේක.

යාච්ඤාව හා බලාපොරොත්තුව දිගට ම පැවතීමට නියමිතය

19. යාච්ඤාවත්, බලාපොරොත්තුවත් සදහට ම පවතිනු ඇත්තේ මක්නිසා ද?

19 විශේෂාකාරයෙන් නව ලෝකය හා එහි සියලු දීමනා සඳහා වූ ස්තුතිය සම්බන්ධයෙන්, අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ වෙත කෙරෙන යාච්ඤා සදාකාලයට ම පවතිනු ඇත. (යෙසායා 65:24; එළිදරව් 21:5) යම් ආකාරයක බලාපොරොත්තුවක් සදාකාලයට ම පවතිනු ඇති බැවින්, අප දිගට ම බලාපොරොත්තුවෙහි ද ප්‍රීති වනු ඇත. (1 කොරින්ති 13:13 සසඳන්න.) පොළොව සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ, තමන් වහන්සේ විසින් ම පන වන ලද විවේක ගැනීමේ සබත් දිනයට තව දුරටත් යටත් නොවන විට, උන් වහන්සේ ගෙනෙනු ඇති අලුත් දේවල් අපට පරිකල්පනය කරන්නට පවා නුපුළුවන. (උත්පත්ති 2:2, 3) සදාකාලයට ම, උන් වහන්සේ ස්වකීය ජනයා වෙනුවෙන් ප්‍රේමනීය වූ පුදුම සහගත දේවල් ඉදිරිපත් කරනු ඇති අතර උන් වහන්සේගේ කැමැත්ත කිරීම මත පදනම් ව අනාගතය ඔවුන් උදෙසා ශ්‍රේෂ්ඨ දේවල් පිරිනැමීමට නියමිත ය.

20. අපගේ අධිෂ්ඨානය කුමක් විය යුතු ද, එමෙන් ම ඒ මක්නිසා ද?

20 අප ඉදිරියේ මෙවන් හද දනවන බලාපොරොත්තු තිබිය දී, නොකඩවා යාච්ඤාවෙහි පැවතීමෙන් අපි සියල්ලන් යෙහෝවඃ වහන්සේට සමීප ව සිටිමු. අපගේ සියලු ආශීර්වාදයන් සඳහා අපගේ ස්වර්ගික පියාණන් වහන්සේට ස්තුති කිරීමෙන් අපි කිසි දිනක නතර නොවෙමු. යෙහෝවඃ වහන්සේට “අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට” හැකියාව ඇති බැවින්, යුතු කාලයේ දී අපගේ අපේක්ෂාවන් අප පරිකල්පනය කළ හෝ බලාපොරොත්තු වූ පමණ ඉක්මවා ප්‍රීතිමත් ලෙස ඉටුවනු ඇත. (එපීස 3:20) මෙබැවින්, අපි සදාකාලයට ම සියලු ප්‍රශංසා, මහිමය හා ස්තුතිය ‘යාච්ඤා අසන තැනන්වහන්සේ’ වන, අපගේ දෙවි වූ යෙහෝවඃ වහන්සේට පිරිනමමු! w91 12/15

[පාදසටහන්වල]

a වෙබ්ස්ට’ස් න ඩික්ෂනරි ඔෆ් සිනනිම්ස් අනුව දෘඩෝත්සාහය බොහෝ දුරට ප්‍රශංසනීය ගුණාංගයක් අදහස් කරයි; එය අසමත් වීම්වලින්, සැකයන්ගෙන්, හෝ අපහසුතාවයන්ගෙන් අධෛර්යමත් වීම ප්‍රතික්ෂේප කිරීමත්, නිමාවක් හෝ බාරගත් කටයුත්තක් පිළිබඳ ස්ථීර නැතහොත් උත්සාහය අත් නොහරින ලුහුබැඳීමක් යන දෙඅංගය ම අඟවයි.”

ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?

◻ අප නොකඩවා යාච්ඤාවෙහි පැවතීමට අවශ්‍ය වනුයේ මන්ද?

◻ යාච්ඤාව පිළිබඳ පූර්ව ක්‍රිස්තියානි ආදර්ශයන්ගෙන් අප ඉගෙන ගන්නේ කුමක් ද?

◻ යේසුස් වහන්සේගේ ආදර්ශය, යාච්ඤාව පිළිබඳ ව අපට උගන්වන්නේ කුමක් ද?

◻ අපට අපගේ බර යෙහෝවඃ වහන්සේ පිට දැමිය හැක්කේ කෙසේ ද, එමෙන් ම කිනම් විපාක සහිත ව ද?

[17වන පිටුවේ පින්තූරය]

සිංහයන්ගේ ගුහාවට විසි කරනු ලැබීමේ තර්ජනය මධ්‍යයෙහි දානියෙල් නොකඩවා යාච්ඤාවෙහි නියැලුනේ ය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න