විවාහය තුළ යටත්වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
ක්‍රිස්තියානි ස්ත්‍රියක් විවාහ වන විට, ඈට බොහෝ වෙනස්කම් කිරීමට සිදු වේ. ඇතැම් විට මේවායින් බොහොමයක් ඇගේ නිදහසට බලපායි. තනිකඩ වැඩිහිටියෙකු වශයෙන්, කිසිවෙකුගෙන් නොවිචාරා තමාගේ ම තීරණ බොහොමයක් තමා විසින් ම ගැනීමේ නිදහසක් ඇතුව ඈ සිටියා විය හැක. නමුත් දැන් ඈ හට ස්වාමිපුරුෂයෙකු සිටින අතර, ඔහුගෙන් උපදෙස් දැනමුතුකම් ලබා ගෙන, තමා විසින් ම තීරණය කිරීමට පුරුදු ව සිටි බොහෝ දේවල් කිරීමට ඔහුගෙන් අවසර ගැනීමට තිබේ. මෙය මෙසේ වන්නේ මන්ද?
මිනිස් සංහතියේ මැවුම්කරුවාණෝ පළමු ස්ත්‍රිය ව පළමු මිනිසාට විවාහ කර දුන් අවස්ථාවේ දී, ඔහු ව ඔහුගේ භාර්යාවගේ සහ ඔවුන්ගේ අනාගත දරුවන්ගේ මූලිකයා වශයෙන් පත් කළ සේක. මෙය සාධාරණ දෙයක් විය. සංවිධානය වූ ඕනෑ ම ජන කණ්ඩායමකට, එහි පෙරමුණ ගෙන අවසාන තීරණ ගැනීමට යමෙකු අවශ්‍ය වෙයි. විවාහය සම්බන්ධයෙන්, “ස්වාමිපුරුෂයා භාර්යාවගේ මූලිකයා” බව මැවුම්කරුවාණෝ නියෝග කළ සේක.—එපීස 5:23, NW.
මෙයට අනුබල දෙමින්, දිව්‍යමය උපදෙස්වල මෙසේ පවසයි: “භාර්යාවන් තම ස්වාමිපුරුෂයන්ට යටත් ව සිටීවා.” (එපීස 5:22, NW) මෙම විධිවිධානය භාර්යාවකට බලපාන ආකාරය දේවල් දෙකක් මත රඳා පවතී: පළමුවැන්න, ඈ මෙම විධිවිධානයට යටත්වීමට කැමති වන්නේ කොයි තරමකට ද? දෙවැන්න, ඇගේ ස්වාමිපුරුෂයා ඈ කෙරෙහි ඔහුගේ අධිකාරිත්වය ක්‍රියාවෙහි යොදවන්නේ කෙසේ ද? ඇත්තෙන් ම, විවාහක සහකරුවන් දෙදෙනා ම මෙම විධිවිධානය සුදුසු ලෙස සලකන විට, මෙය භාර්යාවට, ස්වාමිපුරුෂයාට සහ ඔවුන්ගේ දරුවන් හට ආශීර්වාදයක් වන බව ඔවුන් දැනගනු ඇත.
ඒකාධිපතියෙකු නොවේ
ස්වාමිපුරුෂයෙක් තම අධිකාරිත්වය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ කදිම ආදර්ශය අනුගමනය කිරීමෙනි. බයිබලය මෙසේ කියයි: “ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්‍ය්‍යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැලවුම්කාරයාය. පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්ය්යාවන්ට ප්‍රේමකරපල්ලා [ප්‍රේම කරමින් සිටින්න NW].” (එපීස 5:23, 25) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සභාව මත මෙහෙය වූ මූලිකත්වය සභාවට ආශීර්වාදයක් වූයේ ය. උන් වහන්සේ ඒකාධිපතියෙකු නොවූ සේක. උන් වහන්සේ, තමන් තහංචි දමන හෝ පීඩාකාරී පුද්ගලයෙකු බව තම ගෝලයන්ට දැනෙන්නට සැලැස්සුවේ නැත. ඒ වෙනුවට, ඔවුන්ට ප්‍රේමනීය ලෙස සහ දයානුකම්පිත ව සැලකීමෙන් උන් වහන්සේ සියල්ලන්ගේ ගෞරවය දිනා ගත් සේක. මෙය තම භාර්යාවන්ට සැලකීමේ ලා අනුගමනය කිරීමට ස්වාමිපුරුෂයන් හට මොනතරම් කදිම ආදර්ශයක් ද!
එහෙත්, මෙම කදිම ආදර්ශය අනුගමනය නොකරන ස්වාමිපුරුෂයෝ සිටිති. ඔවුහු තමන්ට දෙවියන් වහන්සේ දී තිබෙන මූලිකත්වය, තමන්ගේ භාර්යාවන්ගේ යහපතට වඩා ආත්මාර්ථකාමී ලෙස යොදා ගනිති. ඔවුහු, බොහෝ විට භාර්යාවන්ට ඔවුන් උදෙසා තීරණ ගැනීමට ඉඩ නොදී, සම්පූර්ණ යටත්කම ඉල්ලා සිටිමින්, තම භාර්යාවන් ව පාලනය කරන්නේ ඒකාධිපති ආකාරයකින් ය. එවන් ස්වාමිපුරුෂයන්ගේ භාර්යාවන් අසන්තෝෂවත් ජීවිත ගත කරන බව තේරුම් ගත හැකි ය. තව ද එවන් ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවගේ ප්‍රේමනීය ගෞරවය දිනා ගැනීමට අසමත් වීමෙන් ඔහු ද දුක් විඳී.
පවුලේ මූලිකයා වශයෙන් ස්වාමිපුරුෂයා හොබවන තත්ත්වයට ගෞරව කිරීම දෙවියන් වහන්සේ භාර්යාවගෙන් අපේක්ෂා කරන බව සැබෑවකි. එහෙත් පුද්ගලයෙකු වශයෙන් ඇගේ හෘදයාංගම ගෞරවය භුක්ති විඳීමට ඔහු ආශා කරන්නේ නම්, ඔහුට එය දිනා ගැනීමට සිදු වේ, තව ද එසේ කිරීමට තිබෙන හොඳ ම ක්‍රමය නම්, වගකීමෙන් යුතු ව කටයුතු කිරීමෙන් හා පවුලේ මූලිකයා වශයෙන් යහපත්, දිව්‍ය ගුණාංග වර්ධනය කිරීමෙනි.
යටත්කම සාපේක්ෂ ය
තම භාර්යාව කෙරෙහි ස්වාමිපුරුෂයෙකුගේ අධිකාරිත්වය සර්ව සම්පූර්ණ එකක් නොවේ. භාර්යාවකගේ යටත්කම ක්‍රිස්තියානිවරයෙක් ලෝක පාලකයෙකුට දක්වන යටත්කමට යම් ආකාරවලින් සැසඳිය හැක. ක්‍රිස්තියානිවරයෙක් “බලය ලත් මුලාදෑනීන් හට යටත් ව සිටිය යුතු” බව දෙවියන් වහන්සේ ආඥා කරන සේක. (රෝම 13:1, NW) එහෙත් මෙම යටත්කම අප දෙවියන් වහන්සේට දිය යුතු ව තිබෙන දෙය සමඟ සෑම විට ම සමබර විය යුතුයි. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “කායිසර්ගේ දේ කායිසර්ටද දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටද දීපල්ලා.” (මාර්ක් 12:17) කායිසර් (ලෞකික ආණ්ඩුව) අප දෙවියන් වහන්සේට දිය යුතු දෙය අපෙන් ඉල්ලා සිටී නම්, පාලකයාණන් වශයෙන් “මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය” යනුවෙන් ප්‍රේරිත පේතෘස් පැවසූ බව අපි මතකයට නගමු.—ක්‍රියා 5:29.
මේ හා සමාන අයුරකින්, ක්‍රිස්තියානි ස්ත්‍රියක් ක්‍රිස්තියානි ප්‍රතිපත්ති තේරුම් නොගන්නා වූ හෝ ඊට ගෞරව නොකරන්නා වූ පුරුෂයෙකු හා විවාහ වී සිටියත්, ඈ ඔහුට යටත්වීමට බැඳී සිටින්නී ය. දෙවියන් වහන්සේ විසින් ඇති කොට තිබෙන මෙම විධිවිධානයට එරෙහි ව කැරලි ගසනවා වෙනුවට, ඔහු කෙරෙහි ප්‍රේමයෙන් හා සැලකිල්ලෙන් ක්‍රියා කොට, ඒ මගින් ඔහුගේ නිසැකකම දිනා ගැනීමට ඈට පුළුවන. සමහර විට, එවන් කදිම හැසිරීම මගින් ඇගේ ස්වාමිපුරුෂයා ව වෙනස් කිරීමට මං උදා කළ හැක. එය ඇතැම් විට ඔහු ව සත්‍යය වෙත දිනා ගන්නට ද හැකි කර වන්නට පවා පුළුවන. (1 පේතෘස් 3:1, 2) දෙවියන් වහන්සේ තහනම් කොට ඇති යම් දෙයක් කරන ලෙස ඇගේ ස්වාමිපුරුෂයා ඈ හට අණ කළහොත්, ඇගේ ප්‍රධාන පාලකයා දෙවියන් වහන්සේ බව ඈ මතකයේ තබා ගත යුතු ය. නිදසුනක් වශයෙන්, භාර්යාවන් හුවමාරු කිරීම වැනි දුරාචාර ලිංගික ක්‍රියාවන් තුළ යෙදීමට බල කළොත් ඊට යටත් නොවීමට ඈ බැඳී සිටින්නී ය. (1 කොරින්ති 6:9, 10) ඇගේ ස්වාමිපුරුෂයා කෙරෙහි ඇති යටත්කම පාලනය වන්නේ, ඇගේ හෘදය සාක්ෂියෙන් සහ දෙවියන් වහන්සේ වෙත ඈ දක්වන මූලික යටත්කම මගිනි.
දාවිත් රජගේ කාලයේ දී, අබීගායෙල්, දිව්‍ය ප්‍රතිපත්තිවලට ගෞරවය නොදැක් වූ සහ දාවිත් සහ ඔහුගේ මිනිසුන් වෙත සැරපරුෂ සහ ප්‍රේමනීය නොවන අන්දමින් සැලකූ නාබල් සමඟ විවාහ වී සිටියා ය. මොවුන් නාබල්ට අයත් එළුවන් සහ බැටළුවන් දහස් ගණනක් ආරක්ෂා කොට තිබූ නමුත්, ආහාර සම්මාදමක් දෙන මෙන් දාවිත් ඉල්ලා සිටි විට, නාබල් කිසිවක් දීම ප්‍රතික්ෂේප කළේ ය.
තම සැමියාගේ මසුරු ආකල්පය, තම ගෙවැසියන් කෙරෙහි විපතක් ගෙන එන්නට යන බව දැන ගත් අබීගායෙල්, දාවිත් වෙත ආහාර රැගෙන යාමට ඇය ම තීරණය කළා ය: “අබීගායිල් ඉක්මන්කර, රොටි දෙසියයක්ද මුද්‍රිකපාන භාජන දෙකක්ද පුලුස්සාපු බැටළුවන් පස්දෙනෙක්ද විලඳ නැළි පහක්ද වියළි මුද්‍රිකඵල පොකුරු සියයක්ද අත්තික්කා කැටි දෙසියයක්ද රැගෙන, ඒවා කොටළුවන් පිට පටවා, ඇගේ වැඩකාරයන්ට කථා කොට: නුඹලා මට පෙරටුව පලයල්ලා; මම නුඹලාට පස්සෙන් එන්නෙමියි කීවාය. එහෙත් ඇගේ පුරුෂයාවූ නාබල්ට ඈ ඒ බව කීවේ නැත.”—1 සාමුවෙල් 25:18, 19.
අබීගායිල් ක්‍රියා කරමින් සිටියේ තම සැමියාගේ කැමැත්තට පටහැනි ව ද? මේ අවස්ථාවේ දී එසේ නොවී ය. විශේෂයෙන් නාබල්ගේ අඥාන ක්‍රියා මාර්ගය, ඔහුගේ මුළු ගෙවැසියන් ව ම අන්තරායට ඇද දැමූ හෙයින්, අබීගායෙල්ගේ යටත්කම, තම සැමියා මෙන් ප්‍රේමනීය නොවන ආකාරයක් පෙන්නුම් කිරීම අවශ්‍ය කරවූයේ නැත. මෙබැවින්, දාවිත් අබීගායිල් හට මෙසේ පැවසී ය: “මා සම්බවෙන්ට අද දවසේ නුඹ එවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රශංසා වේවා. නුඹේ නුවණටද ප්‍රශංසා වේවා.” (1 සාමුවෙල් 25:32, 33) මීට සමාන ව, අද දින ක්‍රිස්තියානි භාර්යාවන් තමන්ගේ ස්වාමිපුරුෂයන්ගේ මූලිකත්වයට එරෙහි ව දබර කිරීම හෝ කැරලි ගැසීම නොකළ යුතු නමුත්, මොවුන් ක්‍රිස්තියානි නොවන ක්‍රියා මාර්ගයක් ගනී නම්, මෙහි දී ඔවුන් ව අනුගමනය කිරීමට භාර්යාවන්ට අවශ්‍ය නැත.
“එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වෙන්නාක්මෙන් භාර්‍ය්‍යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වෙත්වා” යයි පාවුල් තමාගේ ලිපියේ පවසන බව සැබෑවකි. (එපීස 5:24) භාර්යාවගේ යටත්කමට සීමාවන් නොමැති බවක් පාවුල් මෙහි දී යොදා ගන්නා “සියලු දේවල” යන වචනයෙන් අදහස් කරන්නේ නැත. “සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වන්නාක් මෙන්” යනුවෙන් පාවුල්ගේ යෙදුමෙන්, ඔහුගේ මනසේ තිබූ දෙය අඟවයි. ක්‍රිස්තුස් වහන්සේ සිය සභාවෙන් ඉල්ලා සිටින සෑම දෙයක් ම, ධර්මිෂ්ඨ ය, දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟ ය. එමනිසා සෑම දෙයක දී ම පහසුවෙන් සහ ප්‍රීතියෙන් යුතු ව උන් වහන්සේට යටත්වීමට සභාවට හැකි ය. ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට මහත් උනන්දුවෙන් වෙර දරන ස්වාමිපුරුෂයෙකුගේ භාර්යාවක්, සෑම දෙයක දී ම ඔහුට යටත්වීමට සතුටු වනු ඇත. ඇගේ සුභසිද්ධිය ගැන තම සැමියා බොහෝ සැලකිල්ල දක්වන බවත්, දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟ නොවන යම් දෙයක් කරන මෙන් ඔහු හිතාමතා කිසිවිටෙකත් ඉල්ලා නොසිටින බවත් ඈ දනී.
එකිනෙකාට ප්‍රේම කරන මෙන් සිය අනුගාමිකයන්ට නියෝග කළ තම හිස වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දිව්‍ය ගුණාංග ස්වාමිපුරුෂයා පිළිබිඹු කරන විට, ඔහු තම භාර්යාවගේ ප්‍රේමය සහ ගෞරවය රැක ගනු ඇත. (යොහන් 13:34) ස්වාමිපුරුෂයෙක් වරදින සුලු, අසම්පූර්ණ කෙනෙක් වුවත්, ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් මූලිකත්වයට අනුකූල ව ඔහු තම අධිකාරත්වය හසුරුවන්නේ නම්, ඇගේ මූලිකයා වශයෙන් තමා ව සතුටින් පිළිගැනීමට ඔහු තම භාර්යාවට පහසු කරවයි. (1 කොරින්ති 11:3) භාර්යාවක් විනීතකමේ හා ප්‍රේමනීය කරුණාවේ ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරන්නේ නම්, තම සැමියා හට යටත්වීම ඈ හට අසීරු දෙයක් නොවේ.
යටහත් පහත් සහ සාධාරණ
සභාවේ ස්වාමිපුරුෂයෝ හා භාර්යාවෝ වනාහි යෙහෝවඃ වහන්සේ ඉදිරියේ සමාන පිහිටීමක් ඇති ආත්මික සහෝදරයන් සහ සහෝදරියන් වෙති. (ගලාති 3:28, සසඳන්න) කෙසේ වෙතත්, සභාවේ අධීක්ෂණ කටයුතු කිරීමට දෙවියන් වහන්සේ විසින් පුරුෂයන්ට පවරා තිබේ. සියලු ආකාර යටත්කමින් යුතු ව හරි හෘදයක් ඇති ස්ත්‍රීන් විසින් මෙය සතුටින් පිළිගෙන තිබේ. එමෙන් ම, රැළ කෙරෙහි අධිපතිකම් නොකරන ලෙසට දී ඇති බැරෑරුම් නියෝගය, සභාවේ මේරූ පුරුෂයන් විසින් යටහත් පහත් ලෙස පිළිගෙන තිබේ.—1 පේතෘස් 5:2, 3.
සභාවේ පුරුෂයා සහ ස්ත්‍රිය අතර තිබෙන සම්බන්ධය එවැන්නක් නම්, යම් ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් ඒකාධිපතියෙකු සේ තම භාර්යාවට, තමාගේ ආත්මික සහෝදරිය කෙරෙහි ක්‍රියා කිරීම යුක්තිසහගත යමක් බව පෙන්විය හැක්කේ කෙසේ ද? එමෙන් ම, මූලිකත්වය සඳහා තම ස්වාමිපුරුෂයා සමඟ තරඟ කිරීම යුක්තිසහගත බව පෙන්වීමට භාර්යාවකට හැක්කේ කෙසේ ද? එසේ නොව, සභාවේ සියලු සාමාජිකයන් හට පේතෘස් අවවාද කළාක් මෙන් ඔවුන් එකිනෙකා කෙරෙහි සැලකිල්ල දැක්විය යුතු ය: “ඔබ සියලු දෙනා ම ගැලපෙන මානසික ස්වභාව පෙන්වමින් අන්‍යෝන්‍ය අවබෝධයේ හැඟීම් පෙන්වා, සහෝදර ස්නේහය ඇතුව මුදු මොළොක් දයානුකම්පිත බව සහ මනසින් යටහත් පහත්කම ඇතුව සිටින්න.” (1 පේතෘස් 3:8, NW) පාවුල් ද මෙසේ උපදෙස් දුණි: “දයාබර හිතක්ද ගුණවන්තකමද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන, එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙයල්ලා; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] නුඹලාට කමාවුණක්මෙන් නුඹලාත් කරපල්ලා.”—කොලොස්සි 3:12, 13.
සභාව තුළ එවන් ආකල්පයන් වර්ධනය විය යුතු ය. එමෙන් ම ක්‍රිස්තියානි නිවසේ ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතරේ එම ගුණාංග විශේෂයෙන් වර්ධනය කළ යුතු ය. තම භාර්යාවගේ යෝජනාවන්ට සවන් දීමෙන් තම මුදු මොළොක් සෙනෙහස සහ මෘදුකම පෙන්වන්නට ස්වාමිපුරුෂයෙකුට හැක. ඔහු තම පවුලට බලපාන්නා වූ තීරණයක් ගැනීමට පෙර තම භාර්යාවගේ අදහස ගැන සලකා බැලිය යුතු ය. ක්‍රිස්තියානි භාර්යාවෝ හිස් මනසක් ඇති අය නොවෙති. සාරා තම ස්වාමිපුරුෂයා වූ ආබ්‍රහම් හට කළාක් මෙන් තමන්ගේ ස්වාමිපුරුෂයන් හට බොහෝ විට වටිනා යෝජනා ඉදිරිපත් කරන්නට භාර්යාවන්ට හැකිකම තිබේ. (උත්පත්ති 21:12) අනෙක් අතට, ක්‍රිස්තියානි භාර්යාවක් තම ස්වාමිපුරුෂයාගෙන් අසාධාරණ ලෙස දේවල් ඉල්ලා නොසිටී. ඔහුගේ මූලිකත්වය පසු පස යාමෙන් සහ ඔහු ගන්නා තීරණ ඇතැම් අවස්ථාවල දී තමාගේ කැමැත්තට අනුව නොවුවත් ඒවාට අනුබලය දීමෙන් ඈ ඇගේ කරුණාවන්තකම සහ මනසින් යටහත් පහත්කම පෙන්වන්නී ය.
සාධාරණ ස්වාමිපුරුෂයෙක්, සාධාරණ වැඩිමහල්ලෙකු මෙන් එළැඹිය හැකි සහ කරුණාවන්ත කෙනෙකි. අසම්පූර්ණකම් හා ජීවිතයේ පීඩනයන් හමුවේ ඔහුගේ වගකීම් ඉටු කිරීමට ඔහු ගන්නා ප්රයත්නයන් හඳුනාගන්නා ප්‍රේමනීය භාර්යාවක්, දයානුකම්පිත වීමෙන් හා බොහෝ ඉවසිලිවන්තකම දැක්වීමෙන් ඊට ප්‍රතිචාර දක්වන්නී ය. ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනා ම එවන් ආකල්පයන් වර්ධනය කරන විට, විවාහය තුළ යටත්කම දැක්වීම ගැටලුවක් වන්නට යන්නේ නැත. එසේ නොව, එය ප්‍රීතියේ, සුරක්ෂිතබවේ, සහ කාලීන තෘප්තියේ උල්පතක් වෙයි. w91 12/15