නමස්කාර කරන්නන් එක් රැස් කිරීම
ප්‍රේරිත යොහන්ට “ස්වාමීන්වහන්සේගේ දවසේදී” සිදු වනු ඇති ලොව-කම්පා කරවන සිද්ධීන්වල දර්ශනයක් දෙනු ලැබී ය. ස්වර්ගික ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සුදු අශ්වයෙකුගෙන් විචිත්‍රිත ධර්මිෂ්ඨ යුද්ධයක් කිරීමට—“ජයගනිමින්ද ජයගන්න පිණිසද”—ඌ මතින් පිටත් ව යනු ඔහු දුටුවේ ය. උන් වහන්සේ කරන පළමු දෙය වනුයේ, දෙවියන් වහන්සේගේ පරම සතුරා වන, සාතන්, ස්වර්ගයෙන් මෙම පොළොව සමීපයට හෙළීම ය. සාතන් පෙර නොවූ විරූ ඝාතන, සාගත සහ රෝගවලින් මිනිස් සංහතියට දරුණු ලෙස පහර දෙන අතර සංකේතාත්මක අශ්වාරෝහකයන්ගෙන් හා ඔවුන්ගේ රතු, කළු සහ සුදුමැලි අශ්වයන්ගෙන් මේවා විචිත්‍රණය වෙයි. (එළිදරව් 1:10; 6:1-8; 12:9-12) මෙම විපත් පළමු ව 1914 දී උද්ගත වූ අතර එවක් පටන් සීඝ්රයෙන් වැඩි වී ඇත. තවත් කෙටි කලකින්, “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක්” හැටියට යේසුස් වහන්සේ විස්තර කළ සිද්ධියෙන් ඒවා උච්චාවස්ථාවකට පත් වෙනවා ඇත.—මතෙව් 24:3-8, 21.
යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන් හට ඒ අවස්ථාවෙහි කුමක් සිදු වනු ඇත් ද? මෙම නමස්කාර කරන්නන් එකතු කරන තෙක් විනාශයේ සුළං “අල්ලාගන” සිටින දේවදූත බලකායක් සම්බන්ධයෙන්, එළිදරව් 7වන පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා පදවල පැවසේ. වර්ෂ 1914න් පසු කාලය තුළ, සංඛ්‍යාවෙන් 1,44,000ක් වන ආත්මික ඊශ්‍රායලයට අයත් පොළොව මත වෙසෙන අන්තිම අය එකතු කරනු ලැබේ. ඉන් පසු ව, බලව! “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” සිටිත්. මෙම මහත් සමූහය දැනටමත් මිලියන සංඛ්‍යාවන් දක්වා වර්ධනය වී තිබේ. අහිංසක බැටළුවෙකු මෙන් ඝාතනය කරනු ලැබූ යේසුස් වහන්සේගේ මිදීමේ රුධිරය කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නැංවීම නිසා දෙවියන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ අනුමැතිය ලත් තත්ත්වයක ඔවුහු සිටිති. “ඔව්හු: සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ගැළවීම අයිතිය කියා මහත් ශබ්දයකින්” හඬ නගන්නෝ ය. මෙම ජ්වලිත නමස්කාර කරන්නන් තවත් අයට “එන්න!” යයි කියන අතර, එම අය ද “මහත් පීඩාව” තුළින් ගැලවීම සඳහා එකතු කරනු ලබත්.—එළිදරව් 7:14-17; 22:17.
“පොළොව මුළුල්ලේ”
මෙම කැප වූ නමස්කාරකයන් සම්බන්ධයෙන්, මෙසේ පැවසිය හැකියි: “ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.” (රෝම 10:18) ඔවුන් වෙහෙස මහන්සි වී කරන වැඩ සඳහා කැපී පෙනෙන ඵල සමඟින් ආශීර්වාද ලැබී තිබේ. උදාහරණයක් වශයෙන්:
මෙක්සිකෝව දැන් යෙහෝවඃ වහන්සේගේ ක්‍රියාශීලී නමස්කාරකයන් 3,35,965ක් වාර්තා කරයි, මෙය හුදු වසර තුනක් ඇතුළත එක් ලක්ෂයකට ආසන්න වැඩි වර්ධනයකි! මෙතරම් මහත් ව්‍යාප්තියක් ඇති වූයේ මන්ද? මතු දැක්වෙන වාර්තාව, එය විස්තර කිරීමට උපකාරවත් වනු ඇත. අවුරෙලියෝ නම් යෞවනයා කතෝලික පල්ලියක සංක්රිස්තියන්වරයා ව සිටියේ ය. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් එම ගමට පැමිණි සෑම අවස්ථාවක ම, යමෙක් ඔවුන්ට සවන්දීම අධෛර්යවත් කිරීමට ඔහු පල්ලියේ සීනුව නාද කළේ ය. කලකට පසු ඔහු කතෝලික ජෙරුසලෙම් බයිබල් පිටපතක් ගෙනවුත් එය කියවන්නට පටන් ගත් නමුත් ඔහුට එය තේරුම් ගත නොහැකි විය. පසු ව දිනක් සිය කිහිල්ලේ න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් පිටපතක් ඇති ව සිටි මිත්‍රයෙක් ඔහු දුටුවේ ය. අවුරෙලියෝ සිය මිත්‍රයාට සැරෙන් බැණ වැදී ඔහුගේ බයිබලය බොරු බව පවසමින්, “නියම” බයිබලය ඔහුට පෙන්වීමට ඔහු ව ඔහුගේ නිවසට කැඳවා ගෙන ගියේ ය. ඔහුගේ මිත්‍රයා: “නික්මයාම 20 කියවන්න,” යයි පවසා පිටත් ව ගියේ ය.
පළමුවන පරිච්ඡේදයෙන් පටන්ගෙන 20වන පරිච්ඡේදයේ 4වන හා 5වන වගන්තිවලට එළඹෙන තෙක් එම සංක්රිස්තියන්වරයා මුළු නික්මයාම පොත ම කියෙව්වේ ය. සිය කතෝලික බයිබලය පිළිම ගැන පැවසූ දේ සම්බන්ධයෙන් ඔහු කම්පා විය. ඊළඟ ඉරුදින පූජාවෙන් පසු, ඔහු පිළිම ගැන පැවසූ වගන්ති සමඟින් පූජකයා මුණ ගැසුණි. තමා ද පිළිමවලට දැක්වූයේ හුදු ගෞරවනීය භක්තියක් මිස, තමා ඒවාට නමස්කාර නොකළ බව එම පූජකයා මුලින් පැවසුවේ ය. අවුරෙලියෝ මින් සෑහීමකට පත් නොවූ බව දුටු පූජකයා, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ පාඩම් කිරීම ගැන ඔහුට දොස් නැගී ය. අවුරෙලියෝ මෙය ප්‍රතික්ෂේප කළමුත්, “දැන් මා එය කරන්නට යනවා!” යයි ද වැඩිදුරටත් කීවේ ය.
සාක්ෂිකරුවන් එම ගමට පැමිණි ඊළඟ වතාවේ, අවුරෙලියෝ ඔවුන් හමු වී ඔවුන් සමඟ බයිබලය ඉගෙන ගන්නට පටන් ගත්තේ ය. ඔහු පල්ලියේ වැඩ කිරීම නැවැත් වූ අතර තෙමසකින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ප්‍රසිද්ධ දේශනා සේවයේ හවුල් වීමට ද සුදුසුකම් ලැබී ය. ඔහු දේශනා කිරීමට ගිය පළමු නිවස, එම පූජකයාගේ නිවස වූ අතර, රාජ්‍යය ප්රචාරකයෙකුගේ වැඩක යෙදෙන හිටපු සංක්රිස්තියන්වරයා ව දැකීම ඔහුට විශ්වාස කළ නොහැක්කක් විය. ඔහු ව පල්ලියෙන් නෙරපන බවට පූජකයා ඔහුට තර්ජනය කළ ද, තමා දැනටමත් පල්ලියෙන් ඉවත් වී ඇති බැවින් මෙය අවශ්‍ය නොවන බව අවුරෙලියෝ ඔහුට පැවසී ය. ඔහුගේ නිර්භීත ක්‍රියා මාර්ගය මේ වන විට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ඉගෙන ගනිමින් සිටි එම ග්‍රාමයේ බොහෝ දෙනෙකු ව දිරිගැන්වී ය. එම ග්‍රාමයෙන්, අවුරෙලියෝ හා තවත් 21 දෙනෙක් ඊළඟ දිස්ත්‍රික්ක සමුළුවේ දී බව්තීස්ම කරනු ලැබූහ. මෙම ප්‍රදේශයේ වර්ධනය කොතරම් වේගවත් ද කියතොත්, බව්තීස්ම අපේක්ෂකයන් සඳහා වූ ප්‍රශ්න මෙම කණ්ඩායමත් සමඟ පුනරීක්ෂණය කිරීමට එහි සිටියේ එක් වැඩිමහල්ලෙක් පමණි.
“ඔවුන්ගේ ශබ්දය පැතිරී ගියේය”
රාජ්‍යය දේශනාවෙන් ගැලවෙන්නට නොහැක. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් තමන් හමු වීමට පැමිණි සෑම වතාවක ම ඔවුන් ගැන කෝප වීමට එක් ඉතාලියානු කතෝලිකයෙක් නැඹුරු වී සිටියේ ය. ඔහුගේ සමාගම ඔහු ව සිංගප්පූරුවට ස්ථාන මාරුවක් කළ විට, තමාට දැන්වත් ඔවුන්ගෙන් තවදුරටත් කරදරයක් නොවනු ඇතැයි ඔහුට දැනුණි. එහෙත් ඔහු ව මවිතයට පත් කරමින්, සාක්ෂිකරුවෝ එහි ද වූහ. එබැවින් පැමිණි ඊළඟ සාක්ෂිකරුවන් ව හපාකනු පිණිස ඔහු සැර බල්ලන් දෙදෙනෙක් මිලට ගත්තේ ය. සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඔහුගේ නිවසට පැමිණි විට, එම බල්ලෝ ඔවුන් වෙත කඩා පැන්නෝ ය. භීතියට පත් එම ස්ත්‍රීහු හැකි පමණ වේගයෙන් දිව යමින්, මංසන්ධියකින් දෙපැත්තකට දිව ගියහ. එක් බල්ලෙකු තමන් සමීපයට පැමිණි විට, එක් සාක්ෂිකාරියක් කිසිවක් කර කියා ගත නොහැකි ව විවරණිකා දෙකක් සිය මල්ලෙන් රැගෙන විවෘත ව තිබූ බල්ලාගේ කටේ ගැසුවා ය. ඒත් සමඟ ම, ඌ ඇය එළවීම නවතා, ආපසු හැරී, හෙමින් නිවස වෙත දිව යන්නට විය.
ඊළඟ සතියේ, එම සාක්ෂිකාරියන් දෙදෙනා ම පාරේ එහා පැත්තේ නිවසක නැවත බැලීමකට යමින් සිටියහ. එම බල්ලන්ගේ අයිතිකරුවා සිය වත්තේ සිටි අතර, පුදුම සහගත ලෙස, ඔහු ඔවුන්ට ආචාර කර ඔවුන් ව නිවස තුළට ආරාධනා කළේ ය. තමා කිසිවිටෙක යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ කථා කර හෝ ඔවුන්ගේ යම් ප්රකාශනයක් කියවා හෝ නැතැයි ඔහු ඔවුන්ට කීවේ ය. එහෙත් එම විවරණිකා ඔහුගේ බල්ලන්ගෙන් එකෙකුගේ කටේ තිබෙනු දැකීමෙන් ඔහු පුදුමයට පත් වී තිබුණි. එදින සවස ඔහු එම විවරණිකා කියවා තිබුණු අතර ඒවා සැබවින් ඔහුගේ සිත ගෙන තිබිණි. තමා ජීවිත කාලය පුරා කතෝලිකයෙක් ව සිටිය ද, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට ඔහු ආශාවක් පළ කොට සිටියේ ය.
ස්ථාන මාරුවකින් යළිත් එම මනුෂ්‍යයා ව ඉතාලියට මාරු කර තිබූ බැවින්, එහි දී ඔහුට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ පාඩම් කිරීමට කටයුතු යොදනු ලැබී ය. ඔහුත් ඔහුගේ බිරිඳත් රැස්වීම්වලට පැමිණීමට පටන් ගනිත් ම, මීසමේ පූජක තැන කෝපයෙන් ඔවුන්ට තර්ජනය කරන්නට විය. යමෙක් ඔවුන්ගේ වත්තට ගිනි තැබූ කල, එම යුවළ පල්ලිය සමඟ තිබූ සියලු සම්බන්ධකම් අත්හැරියාහ. “යෙහෝවඃ වහන්සේ එක ම සැබෑ දෙවියන් බව ඔවුන් දැනගැනීම මට අවශ්‍ය ව ඇති බැවින්, මම දැනටමත් මගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙකුට සාක්ෂි දරා ඇත්තෙමි” යයි මෙම මනුෂ්‍යයා දැන් පවසයි.
“ජනාවාස පොළොවේ සීමාවන් දක්වා”
රාජ්‍යය පණිවුඩය අගය කරනු ලබන්නා වූ, එසේ ම එය ජීවිත වෙනස් කිරීමට උපකාරවත් වන ආකාරය ලෝකයේ එක් සීමාවකින් පැමිණි තවත් අත් දැකීමක් පෙන්වයි. ප්‍රාග්ප්‍රසව පන්තිවලට සහභාගි වන අතරතුර දී ඕස්ට්‍රේලියාවේ සාක්ෂිකාරියකට, ගැබිණි කාලය තුළ දුම්පානය පවා නතර කිරීම ප්‍රතික්ෂේප කළ, බොහෝ නරක පුරුදුවලින් යුත් කාන්තාවක් හමු විය. ඇයගේ ආකල්පයෙන් එම සාක්ෂිකාරිය අතිශයෙන් කැළඹුනා ය. කෙසේ හෝ, ඒ දෙදෙනාට ම එක ම අවස්ථාවෙහි, එක ම වාට්ටුවේ දී දරුවන් ලැබුණි. මේ නිසා ඔවුන්ට කථා කිරීමට ප්‍රස්තාවක් ලැබුණි. එම කාන්තාවට සිය ළමා වියේ බොහෝ ගැටලු තිබුණ බවත්, මේ වන විට ඇයගේ විවාහය කැඩෙන්නට ආසන්න බවත් පෙනෙන්නට තිබුණි. මේ නිසා, රෝහලෙන් පිට වීමෙන් පසු, සාක්ෂිකාරිය එම කාන්තාව බැහැදැක, ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම යන පොත උපයෝගි කර ගනිමින් ඇය සමඟ බයිබල් පාඩමක් පටන් ගත්තා ය.
එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා, තමාට සැබෑ ආගම සොයා ගැනීමට උපකාර කරන මෙන් දෙවියන් වහන්සේට යාච්ඤා කර තිබුණේ, “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හැර!” යන අතුරු විධානය ඇතුළත් කරමිනි. එහෙත් සිය භාර්යාව සාක්ෂිකරුවන් සමඟ පාඩම් කරන බව දැනගත් කල, ඔහු ප්‍රශ්න කරන්නට පටන් ගත් අතර පාඩමට හවුල් වන මෙන් ඔහු හට ආරාධනා කෙරුණි. ඔහු එසේ කර, ඉක්මනින් ම සභා රැස්වීම්වලට සහභාගි වන්නට පටන් ගත්තේ ය. දැන් ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනා ම බව්තීස්ම ලබා ඇති අතර ඔවුන්ගේ විවාහ ජීවිතයේ තත්ත්වය පැහැදිලි ව ම අතිශයින් වැඩි දියුණු වී ඇත.
මෙවන් ප්‍රකාශන පදනම් කර ගෙන පවත්වන නිවාස බයිබල් පාඩම්වල ප්‍රතිඵලය වී ඇත්තේ, බොහෝ අලුත් නමස්කාර කරන්නන් එක් රැස් කිරීමයි. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට විප්ලව, සිවිල් යුද්ධ, හෝ ආණ්ඩු තහංචි යනාදියට මුහුණ දීමට සිදු වූ රටවල, නිවාස බයිබල් පාඩම් ක්‍රියාකාරකම වැඩි වර්ධනය වී ඇත. ඇන්ගෝලාවේ වසර ගණනාවකට සිවිල් යුද්ධයක් ඇවිලෙමින් තිබූ අතර, සාක්ෂිකරුවෝ හිංසා පීඩාවන් මෙන් ම දුෂ්කරත්වයන් වින්දාහ. පසුගිය වසරේ මුල් භාගයේ, සාමාන්‍යයෙන්, එක් එක් ප්‍රචාරකයා නිවාස බයිබල් පාඩම් තුනක් පමණ පැවැත් වුවද, ප්‍රචාරකයන්ට තිබුණේ බයිබල් ප්‍රකාශන ස්වල්පයක් බව, වාර්තා පෙන්වී ය. දිවා කාලයේ ක්ෂේත්‍ර සේවයටත්, එක් එක් සවස් භාගයන්හි රැස්වීම්වලටත් කටයුතු සකසමින්, සංචාරක අවේක්ෂකයෝ එක් එක් දින කුඩා කණ්ඩායමකට සේවය කළහ. සටන් අවසන් වී දකුණු අප්‍රිකාවෙන් අතිශයින් අවශ්‍ය කරන බයිබල් පොත්පත් ටොන් 42ක් ලැබුණු විට, එය කොතරම් ප්‍රීතියක් වී ද! නිසැක ව ම, එම සහෝදරයන්ගේ ප්‍රේමය නිසා ඔවුන්ට දැන් “වඩාත් වැදගත් දේවල් ගැන සහතික වෙන්ට” පුළුවන්කම ඇති බැවින්, “නිවැරදි දැනුමෙන් හා පූර්ණ විචාර බුද්ධියෙන් වඩ වඩාත් පිරී සිටින්ට” හැකි වනු ඇත. (පිලිප්පි 1:9, 10, NW) දැනටමත් බයිබල් අධ්‍යයන ආධාරක බොහෝ සේ ඇත්තවුන් හට, යෙහෝවඃ වහන්සේ මේ තරම් කරුණාභරිත ව කරන සැපයුම්වලින් පූර්ණ ප්‍රයෝජන ගැනීමට එය කොතරම් දිරිදීමක් ද!—1 තිමෝති 4:15, 16.
මෙම ඇදහිලිවන්ත නමස්කාරකයන්ගේ ප්‍රීතිය, යේසුස් වහන්සේගේ කන්ද උඩ දේශනාවේ මෙම වදන් අපගේ මතකයට නගයි: “තම ආත්මික අවශ්‍යතා ගැන සිහි ඇති ව සිටින්නෝ සන්තෝෂවත් වන්නෝ ය, මක්නිසා ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ට අයිති ය. . . . ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ සන්තෝෂවත් වන්නෝ ය, මක්නිසා ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ට අයිති ය. . . . ප්‍රීතිවන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න, මක්නිසා ද ස්වර්ගයෙහි ඔබගේ විපාකය මහත් ය.” (මතෙව් 5:3-12, NW) ඇන්ගෝලාවේ දැනටමත් කොතරම් මහත් අස්වැන්නක් එකතු කරමින් තිබෙනවා ද!
ලෝකයේ වෙනත් තැන්වල ද, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ කටයුතුවලට ඇති තහංචි ලිහිල් වෙමින් පවතී. නැතහොත් ඉවත් කරමින් පවතී. යේසුස් වහන්සේ සිය දවසෙහි, එසේ ය, “ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය” යයි වදාළ සේක. (මතෙව් 9:37) මෙය අද දවසේ කොතරම් සැබෑ ද! වැඩිපුර සේවකයන් සඳහා සැම විට ම අවශ්‍යතාවයක් තිබේ. අස්වැන්න එකතු කිරීම අපගේ නමස්කාරයට අයත්වීම ගැන අපි සතුටු වෙමු. යෙහෝවඃ වහන්සේට වූ අපගේ ඵලදායි කැප වූ සේවය හැරුණු කොට අද දවසේ පොළොව මත සොයා ගත හැකි වැඩි ප්‍රීතියක් තවත් නොමැත.
කෙසේ වෙතත්, මෙවන් ප්‍රීතියක් හා ජ්වලිතයක් පෙන්වීමට යෙහෝවඃ වහන්සේගේ නමස්කාර කරන්නන් ව පොලඹ වන්නේ කුමක් ද? අපි බලමු. w92 1/1