දෙවියන් වහන්සේ දානය කළ නිදහස ප්‍රීතිය ගෙන දෙයි
“ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය [බලකොටුව NW].”—නෙහෙමියා 8:10.
1. ප්‍රීතිය යනු කුමක් ද, තව ද දෙවියන් වහන්සේට කැප වූවන්ට එය අත්දැකිය හැක්කේ මන්ද?
යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයාගේ හෘදයන් ප්‍රීතියෙන් පුරවන සේක. මෙම මහත් ප්‍රීතිමත් තත්ත්වය ලැබෙන්නේ යහපත අත්කර ගැනීමෙන් හෝ එය අපේක්ෂා කිරීමෙනි. ප්‍රීතිය වනාහි දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ හෙවත් ක්‍රියාකාරික බලයේ ඵලයක් වන බැවින් උන් වහන්සේට කැප වූ මිනිසුනට එවන් චිත්ත වේගයන් අත්දකින්නට හැක. (ගලාති 5:22, 23) එබැවින් අප දුක් ගන්වන පීඩාවලින් පහර ලැබුව ද, යෙහෝවඃ වහන්සේගේ ආත්මයෙන් මඟ පෙන්වීම ලබන උන් වහන්සේගේ සේවකයන් හැටියට අපට ප්‍රීති විය හැකි ය.
2. එස්රාගේ දවස්වල සිටි යුදෙව්වෝ සුවිශේෂී අවස්ථාවක ප්‍රීතිමත් වූයේ මන්ද?
2 පොදු යුගයට පෙර පස්වන ශතවර්ෂයේ සුවිශේෂී අවස්ථාවක, යුදෙව්වෝ යෙරුසලමේ ප්‍රීතිමත් කූඩාරම් මංගල්‍යයක් පැවැත්වීම සඳහා දෙවියන් වහන්සේ ඔවුන්ට දානය කළ නිදහස උපයෝගි කර ගත්හ. එස්රා හා වෙනත් ලෙවීවරුන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ඔවුන්ට කියවා තේරුම් කර දීමෙන් පසු, “මුළු සෙනග කන්ටත් බොන්ටත් කොටස් අරින්ටත් බොහෝසේ ප්‍රීතිවෙන්ටත් ගියෝය, මක්නිසාද තමුන්ට දන්වනලද වචන ඔව්හු තේරුම්ගත්තෝය.”—නෙහෙමියා 8:5-12.
යෙහෝවඃ වහන්සේ කෙරෙහි ප්‍රීතිය අපගේ බලකොටුවය
3. “යෙහෝවඃ වහන්සේ කෙරෙහි ප්‍රීතිය” අපගේ බලකොටුව විය හැක්කේ කිනම් තත්ත්වයන් යටතේ ද?
3 එම මංගල්‍යය අතරතුරේ දී, “යෙහෝවඃ වහන්සේ කෙරෙහි ප්‍රීතිය ඔබගේ බලකොටුව ය” යන වදන්වල සත්‍යතාවය යුදෙව්වෝ අවබෝධ කර ගත්හ. (නෙහෙමියා 8:10, NW) අප යෙහෝවඃ වහන්සේගේ කැප වූ, බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් හැටියට දෙවියන් වහන්සේ දානය කළ නිදහස උදෙසා ස්ථිර ව සිටින්නේ නම්, මෙම ප්‍රීතිය අපගේ ද බලකොටුව වනු ඇත. අපගෙන් ස්වල්ප දෙනෙක්, ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබ ක්‍රිස්තුස් වහන්සේ සමඟ ස්වර්ගික හවුල් උරුමක්කරුවන් හැටියට දෙවියන් වහන්සේගේ පවුල තුළට තෝරා ගැනීම අත්දැක ඇත. (රෝම 8:15-23) අද දින අපගෙන් බහුතරයකට භූමික පාරාදීසයක ජීවත්වීමේ බලාපොරොත්තුව ඇත. (ලූක් 23:43) අප කොතරම් ප්‍රීතිමත් විය යුතු ද!
4. ක්‍රිස්තියානින්ට දුක් වේදනා හා හිංසා පීඩා විඳදරා ගත හැක්කේ මන්ද?
4 අපට ආනන්දජනක බලාපොරොත්තු තිබුණ ද, දුක් වේදනා හා හිංසා පීඩා විඳදරා ගැනීම පහසු නැත. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධාත්මය අප හට දානය කරන බැවින්, අපට එසේ කළ හැකි ය. ඒ සමඟින් අපගේ බලාපොරොත්තුව හෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගෙන් සොරා ගැනීමට කිසිවකට නොහැකිය යන ස්ථිර ආත්ම විශ්වාසය අපට තිබේ. එපමණක් ද නොව, අප අපගේ මුළු හෘදයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු ශක්තියෙන්ද, මුළු බුද්ධියෙන්ද උන් වහන්සේට ප්‍රේම කරනතාක් කල් යෙහෝවඃ වහන්සේ අපගේ බලකොටුව වන බව අපට ස්ථිර විය හැකි ය.—ලූක් 10:27.
5. දැන් අපගේ සැලකිල්ලට භාජනය වනු ඇත්තේ කුමක් ද?
5 යෙහෝවඃ වහන්සේගේ ජනයා මහත් ආශීර්වාදයන් භුක්ති විඳින අතර ප්‍රීති වීමට බොහෝ හේතු තිබේ. ගලාතිවරුන්ට වූ පාවුල්ගේ ලිපියේ ප්‍රීතිය උදෙසා වූ සමහරක් හේතු යෝජනා කෙරේ. අනෙක් ඒවා ශුද්ධ ලියවිල්ලේ වෙනත් තැන්වල අඟවා තිබේ. එවන් ප්‍රීතිමත් ආශීර්වාදයන් සලකා බැලීම අපගේ ස්වභාව ප්‍රකෘතිමත් කරවනු ඇත.
දෙවියන් වහන්සේ දානය කළ නිදහස අගය කරන්න
6. පාවුල් ගලාති ක්‍රිස්තියානින්ට ස්ථිර ව සිටින්නට උදක් ම ඉල්ලා සිටියේ මන්ද?
6 ක්‍රිස්තියානින් වශයෙන්, දෙවියන් වහන්සේ සමඟ පිළිගත් සම්බන්ධතාවයක් ඇති ව සිටීමේ ප්‍රීතිමත් ආශීර්වාදය අපට ඇත. ක්‍රිස්තුස් වහන්සේ සිය අනුගාමිකයන් ව මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් නිදහස් කළ බැවින්, ස්ථිර ව සිට ‘දාසකම නැමති එම වියගහට’ සීමා නොවන ලෙස ගලාතිවරුන්ගෙන් උදක් ම ඉල්ලා තිබුණි. අප ගැන කුමක් කිව හැකි ද? ව්‍යවස්ථාව පැවැත්වීමෙන් අප ධර්මිෂ්ඨ යයි ප්‍රකාශ කරනු ලැබීමට වෑයම් කළේ නම්, අප ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් කරනු ලබනවා ඇත. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේගේ ආත්මයේ උපකාරය ඇති ව ශාරීරික චර්මච්ඡේදනය හෝ ව්‍යවස්ථාවේ වෙනත් ක්‍රියා මගින් නොව, නමුත් ප්‍රේමය තුළින් ක්‍රියාත්මක වන ඇදහිල්ලෙන් ප්‍රතිඵල කරන්නා වූ ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුව කෙරෙහි අපි බලා සිටිමු.—ගලාති 5:1-6.
7. යෙහෝවඃ වහන්සේට වූ පරිශුද්ධ සේවය අප සැලකිය යුත්තේ කෙසේ ද?
7 දෙවියන් වහන්සේ අපට දානය කළ නිදහස “ස්වාමීන්ට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රීතියෙන් මෙහෙ කිරීම” පිණිස යොදා ගැනීම ආශීර්වාදයකි. (ගීතාවලිය 100:2) ඇත්ත වශයෙන් ම, ‘සර්වපරාක්‍රම වූ යෙහෝවඃ දෙවියන් වහන්සේට,’ එනම් ‘සදාකාල රජ්ජුරුවන්ට’ පරිශුද්ධ සේවය පිරිනැමීම තක්සේරු කළ නොහැකි වරප්රසාදයකි! (එළිදරව් 15:3) තමා ගැන ම අඩුවෙන් තක්සේරු කර ගැනීමේ හැඟීමක් ඔබ තුළ ප්‍රබල ව පහළ වෙනවා නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේ තමන් වහන්සේ වෙතට ඔබ ව කැඳවා ගෙන ඇති බවත්, ‘දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ [ශුද්ධ NW] සේවයේ’ පංගුකාරකමක් ඔබට දානය කර ඇති බවත් වටහා ගැනීම උපකාරවත් විය හැකි ය. (රෝම 15:16; යොහන් 6:44; 14:6) ප්‍රීතිමත්වීමට හා දෙවියන් වහන්සේට කෘතඥ පූර්වක වීමට හේතු කොතරම් ද!
8. මහා බබිලෝනිය සම්බන්ධයෙන් ගත් කල, දෙවියන් වහන්සේගේ සෙනඟට ප්‍රීති වීමට ඇති හේතු මොනවා ද?
8 ප්‍රීති වීමට තිබෙන තවත් හේතුවක් නම්, බොරු ආගමික ලෝක අධිරාජ්‍ය වන, මහා බබිලෝනියෙන් දෙවියන් වහන්සේ අප ව නිදහස් කරවා ගැනීම ය. (එළිදරව් 18:2, 4, 5) මෙම ආගමික වේශ්‍යාව, “මනුෂ්‍ය වර්ගයෝද සමූහයෝද ජාතීහුද භාෂාවෝද” අදහස් කරන “බොහෝ ජල පිට [සංකේතාත්මක ව] හිඳින” නමුත්, ඇය යෙහෝවඃ වහන්සේගේ සේවකයන් පිට හිඳින්නේවත් ආගමික වශයෙන් බලපෑම් කරන්නේවත් පාලනයක් කරන්නේවත් නැත. (එළිදරව් 17:1, 15) මහා බබිලෝනියට අනුග්‍රහය දක්වන්නන් ආත්මික අන්ධකාරයෙන් සිටින අතරතුර, අපි දෙවියන් වහන්සේගේ ආනන්දජනක ආලෝකය තුළ ප්‍රීති වන්නෙමු. (1 පේතෘස් 2:9) එසේ ය, “දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල්” සමහරක් තේරුම් ගැනීමට අපහසු වන්නට පුළුවන. (1 කොරින්ති 2:10) එහෙත් ප්‍රඥාව සහ ශුද්ධාත්මයේ උපකාර පතා කරන යාච්ඤාවන් ශුද්ධ ලියවිලිමය සත්‍යයන් තේරුම් ගැනීමට අපට උදව් වන අතර, ඒවා සතු අය ආත්මික ව නිදහස් ය.—යොහන් 8:31, 32; යාකොබ් 1:5-8.
9. අප ආගමික වැරදිවලින් අඛණ්ඩ නිදහස්කමක් භුක්ති විඳින්නට නම්, අප කළ යුත්තේ කුමක් ද?
9 අපි ආගමික වැරදිවලින් ලත් නිදහසක ආශීර්වාදයන් අඛණ්ඩ ව භුක්ති විඳින්නෙමු, නමුත් එම විමුක්තිය පවත්වා ගැනීමට, අප ධර්ම භේදය ප්‍රතික්ෂේප කළ යුතු ය. ගලාතිවරුන් ක්‍රිස්තියානි ධාවනය හොඳින් දුවමින් සිටිය නමුත් ඇතැමෙක් ඔවුන් විසින් සත්‍යයට කීකරු වීම බාධා කරමින් සිටියහ. එවන් දුෂ්ට පෙලඹීම් දෙවියන් වහන්සේගෙන් නොවූ අතර ඊට විරුද්ධ ව ක්‍රියා කළ යුතු ව තිබිණ. මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන්නා සේ, බොරු ගුරුවරුන් නැතහොත් ධර්ම භේදය කරා නැඹුරුවාවක් මුළු සභාවක් ම දූෂිත කළ හැකි ය. ගලාතිවරුන්ගේ ඇදහිල්ල පැහැර ගැනීමට සොයමින් චර්මච්ඡේදයට පක්ෂ ව කථා කරන්නන් හුදු චර්මච්ඡේදය කළ යුතුවා පමණක් නොව ඔවුන් තමන් ව ලිංගික ව ඡේදනය කළ යුතු යයි පාවුල් සිය කැමැත්ත පළ කර සිටියේ ය. ඇත්තෙන් ම තද කියමනකි! එහෙත් අප ආගමික වැරදිවලින් දෙවියන් වහන්සේ දානය කළ අපගේ නිදහස පැවැත්වීමට නම් ධර්ම භේදය ප්‍රතික්ෂේප කිරීමෙහි අප ඉතා ස්ථිර ව සිටිය යුතු ය.—ගලාති 5:7-12.
එකිනෙකාට ප්‍රේමයෙන් දාසකම් කරන්න
10. ක්‍රිස්තියානි සහෝදරත්වයේ කොටසක් හැටියට අපගේ වගකීම කුමක් ද?
10 දෙවියන් වහන්සේ දානය කළ නිදහස අප ව ප්‍රේමනීය සහෝදරත්වයක ඇසුරට ගෙනැවිත් තිබේ, නමුත් අප එහි කොටසක් වශයෙන් ප්‍රේමය පෙන්විය යුතු ය. ගලාතිවරුන් සිය නිදහස “මාංසයට ප්‍රස්තාවක් පිණිස” හෝ ප්‍රේමනීය නොවන ආත්මාර්ථකාමිත්වය සඳහා නිදහසට කරුණක් ලෙස යොදා නොගත යුතු විය. ප්‍රේමය පොලඹවන සාධකය ලෙස තබා ගනිමින් ඔවුන් එකිනෙකාට දාසකම් කළ යුතු විය. (ලෙවී කථාව 19:18; යොහන් 13:35) අප එකිනෙකා විසින් අප ව ම විනාශයට ලක් කිරීමට හේතු කර විය හැකි, නැති තැන අගුණ කීමෙන් හා බද්ධ වෛරයෙන් අප වැළකිය යුතු ය. ඇත්තෙන් ම, අප සහෝදර ප්‍රේමය පෙන්වන්නේ නම් මෙය සිදු නොවනු ඇත.—ගලාති 5:13-15.
11. අන්‍යයන්ට ආශීර්වාදයක් වීමට අපට හැක්කේ කෙසේ ද, එමෙන් ම ඔවුන් අප ගැන ප්‍රශංසා මුඛයෙන් කථා කරනු ඇත්තේ කෙසේ ද?
11 දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට එකඟ ව දෙවියන් වහන්සේ අපට දානය කළ නිදහස පාවිච්චි කිරීමෙන්, අප ප්‍රේමය පෙන්වනු ඇති අතර අන්‍යයන්ට ආශීර්වාදයක් ද වනු ඇත. ශුද්ධාත්මයෙන් අප ව පාලනය කරනු ලැබීමට හා මඟ පෙන්වනු ලැබීමට ඉඩ හැරීම පුරුද්දක් විය යුතු ය. එවිට “එහි තෘෂ්ණාවෙන් ආත්මයාණන් වහන්සේට [ආත්මයට NW] විරුද්ධ” ව පවතින අපගේ පව්කාර මාංසය ප්‍රේමය රහිත ව පින වීමට අප නැඹුරු වන්නේ නැත. අප දෙවියන් වහන්සේගේ ආත්මයේ මඟ පෙන්වීමෙන් කටයුතු කරන්නේ නම්, එසේ කරන්නේ නීතිවලට කීකරු වීම අවශ්‍ය කරන නිසාවත් වැරදි කරන්නන් කෙරෙහි දඩ නියම කරන නිසාවත් නොවේ, නමුත් ප්‍රේමනීය දේ අප කරන නිසා ය. උදාහරණයක් වශයෙන්, අන්‍යයන්ට නින්දා අපහාස කිරීමෙන් අප ව වළක්වන්නේ, හුදු නීතියක් නොව ප්‍රේමයයි. (ලෙවී කථාව 19:16) කරුණාවන්ත අන්දමින් කථා කිරීමටත් ක්‍රියා කිරීමටත් ප්‍රේමය අප ව පොලඹවයි. අප ප්‍රේමය නැමැති ආත්මයේ ඵලය විදහා පෙන්වන නිසා, අන්‍යයන් අපට ප්‍රශංසා කරනු ඇත, නැතහොත් අප ගැන හොඳ කියනු ඇත. (හිතෝපදේශ 10:6) එපමණක් නොව, අප සමඟ ඇසුර ඔවුන්ට ආශීර්වාදයක් වනු ඇත.—ගලාති 5:16-18.
එකිනෙකට වෙනස් ඵල
12. පව්කාර “මාංසයේ ක්‍රියාවලින්” වැළකීම හා සම්බන්ධ සමහරක් ආශීර්වාද මොනවා ද?
12 “මාංසයේ ක්‍රියාවලින්” වැළකීමෙන් දෙවියන් වහන්සේ අපට දානය කළ නිදහස හා සම්බන්ධිත ආශීර්වාදයන් බොහොමයක් විපාක වශයෙන් ලැබේ. අප වේශ්‍යාකම, අපවිත්‍රකම, හා සල්ලාලකම ව්‍යවහාර නොකරන බැවින්, දෙවියන් වහන්සේගේ ජනයා පොදුවේ ගත් කල, මහත් දුක් සන්තාපවලින් වැළකෙති. රූප වන්දනාවෙන් වැළකී සිටීමෙන්, ඒ සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ සතුටු කිරීමෙන් විපාක වන්නා වූ ප්‍රීතිය අප සතු ය. (1 යොහන් 5:21) අප මායාව (ආත්ම බන්ධනය) ව්‍යවහාර නොකරන බැවින්, භූතමය ආධිපත්‍යයෙන් අපි නිදහස් ව සිටින්නෙමු. සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද, හා වෛරයෙන් අපගේ ක්‍රිස්තියානි සහෝදරයත්වය විනාශ නොවේ. එමෙන් ම අපගේ ප්‍රීතිය බීමත්කමෙන් හා මංගල්‍ය ඝෝෂා ආදියෙන් නැති නොවේ. මාංසයේ ක්‍රියාවන් ව්‍යවහාර කරන්නන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නා බව පාවුල් අනතුරු ඇඟවී ය. කෙසේ වෙතත්, අප ඔහුගේ වචනවලට කීකරු වන බැවින්, අපට ප්‍රීතිමත් රාජ්‍යය බලාපොරොත්තුවෙහි වෙළී සිටිය හැකි ය.—ගලාති 5:19-21.
13. යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මය කිනම් ඵල නිපදවයි ද?
13 ක්‍රිස්තියානින් යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මයේ ඵල විදහා පෙන්වන බැවින්, දෙවියන් වහන්සේ දානය කළ නිදහස අපට ප්‍රීතිය ගෙන දෙයි. ගලාතිවරුන්ට වූ පාවුල්ගේ වදන්වලින්, පහසුවෙන් දැකිය හැකි දෙයක් නම්, භක්තිමත් හෘදයන් තුළ රෝපණය කරනු ලබන ශුද්ධාත්මයේ ඉතා කදිම ඵල වන ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, හා ආත්ම දමනය යනාදියට වෙනස් ව පාපතර මාංසයේ ක්‍රියා, කටු හා සමාන බව ය. පාපතර මාංසයේ තෘෂ්ණාවන්ට විරුද්ධ ව ජීවත් වීමට අධිෂ්ඨාන කරගෙන සිටින අපි, දෙවියන් වහන්සේගේ ආත්මයෙන් මඟ පෙන්වීම ලැබීමටත්, එමගින් ජීවත් වීමටත් ආශා වන්නෙමු. එම ආත්මය “මමත්වයට නැඹුරු නොවී, එකිනෙකා අතර තරඟ නොඅවුස්සා, එකිනෙකාට ඊර්ෂ්‍යා නොවී,” අප ව යටහත් පහත් හා සාමකාමී කරවයි. ආත්මයේ ඵල විදහා පෙන්වන අය සමඟ ඇසුරු කිරීම ප්‍රීතියක් වනු පුදුමයක් නොවේ!—ගලාති 5:22-26, NW.
ප්‍රීතිය සඳහා වෙනත් හේතු
14. දුෂ්ට ආත්ම බලවේගයන්ට එරෙහි අපගේ සටනට කිනම් යුද්ධායුධ අපට අවශ්‍ය වේ ද?
14 දෙවියන් වහන්සේ අපට දානය කරන ලද ආත්මික නිදහස සමඟ සම්බන්ධ ව පවතින දෙයක් නම් සාතන් සහ භූතයන්ගෙන් ආරක්ෂා වීමේ ආශීර්වාදයයි. දුෂ්ට ආත්ම බලවේගයන්ට එරෙහි ව අපගේ සටනෙන් සාර්ථක වන්නට නම්, අප “දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ කට්ටලය පැළඳ” ගත යුතු ය. අපට සැබෑකම නමැති බඳපටියත්, ධර්මිෂ්ඨකම නමැති ළයවැස්මත් අවශ්‍ය වේ. අපගේ පාද සමාදානයේ ශුභාරංචියේ සූදානම නමැති වහන්වලින් වැසී තිබිය යුතු ය. නපුරාගේ සියලු දැවෙන මිසයිල නිවන්නට ඇදහිල්ල නමැති විශාල පලිහ ද අවශ්‍ය වේ. අප ගැලවීම නමැති ආරක්ෂා හිස්වැස්ම පැළඳ ගෙන, “ආත්මයේ කඩුව” වන, දේව වචනය ලෙලවිය යුතු ය. අපි “සියලු කාලවලදී ආත්මයාණන් [ආත්මය NW] කරණකොටගෙන යාච්ඤා” කරමින් සිටිමු. (එපීස 6:11-18) අප ආත්මික යුද්ධායුධ කට්ටලය පැළඳ භූත ඇදහිලි ප්‍රතික්ෂේප කරන්නේ නම්, අපට නිර්භය ව ප්‍රීතියෙන් සිටිය හැකි ය.—ක්‍රියා 19:18-20 සසඳන්න.
15. දෙවියන් වහන්සේගේ වචනයට එකඟ ව අප අප ව හසුරුවා ගන්නා බැවින් කිනම් ප්‍රීතිමත් ආශීර්වාදයන් අපට ලැබේ ද?
15 අපගේ හැසිරීම දේව වචනයට අනුකූල වන නිසාත්, බොහෝ වැරදිකරුවන්ට පීඩා කරන්නා වූ වරදකාරිත්වයෙන් අප නිදහස් ව සිටින නිසාත් ප්‍රීතිය අප සතු ය. අප ‘දෙවියන්වහන්සේ කෙරෙහිත් මනුෂ්‍යයන් කෙරෙහිත් නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්ට නිතර උත්සහ’ කරනු ඇත. (ක්‍රියා 24:16) එබැවින්, මුරණ්ඩු, පසුතැවිලි නොවන පව්කාරයන් කෙරෙහි පැමිණෙන දිව්‍ය ඵල විපාකවලට අප බිය විය යුතු නැත. (මතෙව් 12:22-32; හෙබ්‍රෙව් 10:26-31) හිතෝපදේශ 3:21-26 හි [නව අනුවාදය] උපදේශය අදාළ කර ගැනීමෙන්, එම වචනවල ඉෂ්ට වීම අප අවබෝධ කර ගනු ඇත: “විචක්ෂණ බුද්ධිය ද තීක්ෂණ ඥානය ද දියුණු [ආරක්ෂා NW] කරගන්න. . . . ඒවා ඔබට ජීවනය ද ඔබේ ගෙලට ආභරණයක් ද වනු ඇත. එවිට ඔබේ දෙපා නොපැකිළ, ඔබ සුව සේ ජීවන මග යනු ඇත; සැතපෙන කල ඔබට බියක් නැත; ඔබේ නින්ද සැපදායක වනු ඇත. හදිසි භීතියට වත් දුදනන්ගෙන් එන දුර්විපතට වත් බිය නොවන්න. සමිඳාණෝ [යෙහෝවඃ වහන්සේ NW] ඔබ සුරක්නා සේක; ඔබේ දෙපා උගුලට අසු නොවන සේ රක්නා සේක.”
16. යාච්ඤාව ප්‍රීතිය සඳහා හේතුවක් වනුයේ කෙසේ ද, එමෙන් ම මේ සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මය ඉටු කරන කාර්ය භාරය කුමක් ද?
16 ප්‍රීති වීමට තිබෙන තවත් හේතුවක් නම්, යෙහෝවඃ වහන්සේ අපට සවන් දෙනවා ය යන සහතිකය ඇති ව උන් වහන්සේ වෙත යාච්ඤාවෙන් එළැඹීමට දෙවියන් වහහන්සේ අප හට දානය කළ නිදහස ය. එසේ ය, ‘යෙහෝවඃ වහන්සේ කෙරෙහි’ නමස්කාර පූර්වක ‘භයක්’ අපට ඇති නිසා, අපගේ යාච්ඤාවලට පිළිතුරු ලැබේ. (හිතෝපදේශ 1:7) මීට අමතර ව, “ශුද්ධාත්මයාණන්වහන්සේ [ශුද්ධාත්මය NW] තුළ සිට යාච්ඤා” කිරීමෙන් දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි අපට රැඳී සිටීමට අපට උපකාර කෙරේ. (යූද් 20, 21) යෙහෝවඃ වහන්සේට පිළිගත හැකි හෘද තත්ත්වයක් පවත්වා ගැනීමෙන් ද, යාච්ඤා කළ යුතු ආකාරයත්, යාච්ඤාවෙන් ඇසිය යුතු දෙයත් අපට පෙන්වා දෙන්නා වූ, උන් වහන්සේගේ වචනයට හා උන් වහන්සේගේ කැමැත්තට අනුකූල දේවල් ආත්මයේ බලපෑම යටතේ ඉල්ලීමෙන් ද අපි මෙය කරන්නෙමු. (1 යොහන් 5:13-15) අප මහත් වේදනාවෙන් වෙහෙසට පත් ව, යාච්ඤා කළ යුතු දෙය නොදැන සිටින්නේ නම්, ‘ආත්මය අපගේ දුර්වලකම්වල දී උපකාර කර, කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්’ කරයි. දෙවියන් වහන්සේ එවන් යාච්ඤාවලට පිළිතුරු දෙන සේක. (රෝම 8:26, 27) අපි ශුද්ධාත්මය උදෙසා යාච්ඤා කර යම් නිශ්චිත පරීක්ෂණයකට මුහුණ දීමට විශේෂයෙන් අවශ්‍ය කරවන එහි ඵල අප තුළ නිපද වීමට ඉඩ හරිමු. (ලූක් 11:13) යාච්ඤා පූර්වක ව හා කඩිසර ව දෙවියන් වහන්සේගේ ආත්මයේ අනුභාවය ලත් වචනය හා ආත්මයේ මඟ පෙන්වීම යටතේ සූදානම් කර ඇති ක්‍රිස්තියානි ප්‍රකාශන අධ්‍යයනය කිරීමෙන් ද අපට අපගේ ප්‍රීතිය වැඩි කර ගත හැකි ය.
නිරන්තර උපකාරයෙන් ආශීර්වාද කර ඇත
17. යෙහෝවඃ වහන්සේ ස්වකීය සෙනඟ සමඟ සිටින බව මෝසෙස්ගේ අත්දැකීම හා දාවිත්ගේ වදන් පෙන්වනුයේ කෙසේ ද?
17 දෙවියන් වහන්සේ අපට දානය කළ නිදහස හරියාකාරයෙන් පාවිච්චි කිරීමෙන්, යෙහෝවඃ වහන්සේ අප සමඟ සිටින බව දැන සිටීමේ ප්‍රීතිය අපට තිබේ. පීඩාකාරී තත්ත්වයන් මිසරය හැර යාමට මෝසෙස්ට හේතු කර වූ විට, ඇදහිල්ලෙන් “අදෘශ්‍යමාන තැනන්වහන්සේ දකින්නාක්මෙන් ඔහු ස්ථිරව සිටියේය.” (හෙබ්‍රෙව් 11:27) මෝසෙස් තනි ව ගමන් කළේ නැත; යෙහෝවඃ වහන්සේ තමන් සමඟ සිටි බව ඔහු දැන සිටියේ ය. ඒ හා සමාන ව කෝරාගේ පුත්‍රයෝ මෙසේ ගායනා කළහ: “දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය. එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්, එහි ජල ගුගුරා කැලඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පාවෙතත් [අපි] භය නොවන්නෙමු.” (ගීතාවලිය 46:1-3) ඔබට දෙවියන් වහන්සේ කෙරෙහි එවන් ඇදහිල්ලක් තිබේ නම්, උන් වහන්සේ ඔබ ව කිසිදා අත් නොහරිනු ඇත. දාවිත් මෙසේ පැවසී ය: “මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නුමුත් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] මා පිළිගන්නාසේක.” (ගීතාවලිය 27:10) දෙවියන් වහන්සේ ස්වකීය සේවකයන් හට මෙතරම් සලකන බව දැනගැනීම කොතරම් ප්‍රීතියක් ද!—1 පේතෘස් 5:6, 7.
18. යෙහෝවඃ වහන්සේගේ ප්‍රීතිය ඇති අයට, දරා ගත නොහැකි කාන්සාවලින් තොර දෙවියන් වහන්සේ දානය කළ නිදහසක් හිමි වී ඇත්තේ මන්ද?
18 යෙහෝවඃ වහන්සේ කෙරෙහි ප්‍රීතිය ඇති ව සිටින අප දරා ගත නොහැකි කාන්සාවන්ගෙන් දෙවියන් වහන්සේ දානය කළ නිදහස සතු ව සිටින්නෙමු. “කිසිවක් ගැන කනගාටු නොසිතා,” යයි පැවසූ පාවුල්, “සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිත්ද [හෘද ද NW] සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත” යයි ද පැවසී ය. (පිලිප්පි 4:6, 7) දෙවියන් වහන්සේගේ සමාදානය වනාහි ඉතා පීඩාකාරී තත්ත්වයන් යටතේ පවා නොසැසඳිය හැකි සන්සුන් භාවයකි. ඒ සමඟින් අපගේ හෘදයන් සන්සුන් ව පවතී—මෙය ආත්මික ව, චිත්තවේගී ව හා ශාරීරික ව අපට යහපත් දෙයකි. (හිතෝපදේශ 14:30) දෙවියන් වහන්සේ ඉඩ හරින කිසිවක් අපට දිගු කාලීන හානියක් කළ නොහැකි බව අප දන්නා බැවින්, එය මානසික සමබරකමක් පැවැත්වීමට ද අපට උපකාර කරයි. (මතෙව් 10:28) ක්‍රිස්තුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයකින් විපාක වන්නා වූ මෙම සාමය අප සතු වී ඇත්තේ, අප යෙහෝවඃ වහන්සේට කැප වී ඇති නිසාත්, ප්‍රීතිය, සමාදානය වැනි ඵල නිපද වන්නා වූ උන් වහන්සේගේ ආත්මයේ මඟ පෙන්වීමට අප යටත් වන නිසාත් ය.
19. ප්‍රීතිමත් ව සිටීමට අපට උපකාර කරනු ඇත්තේ අපගේ හෘදයන් කුමක් කෙරෙහි යොමු කර තැබීමෙන් ද?
19 දෙවියන් වහන්සේ අපට දානය කළ නිදහස හා රාජ්‍යය බලාපොරොත්තුව කෙරෙහි අපගේ හෘදයන් අචල ව තබා ගැනීම ප්‍රීතිමත් ව සිටීමට අපට උපකාර කරනු ඇත. උදාහරණයක් වශයෙන්, දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් ගැන ඇතැම් විට එතරම් යමක් කළ නොහැකි වන්නට පුළුවන, නමුත් ප්‍රඥාව උදෙසා යාච්ඤා කර ඒ සමඟ ක්‍රියා කිරීමට ධෛර්යවත් වීමෙන්, අප දැන් භුක්ති විඳින්නා වූ ආත්මික සෞඛ්‍ය ගැනත්, රාජ්‍යය පාලනය යටතේ සිදුවන ශාරීරික සුවයන් ගැනත් කල්පනා කර සහනයක් ලබන්නට අපට පුළුවන. (ගීතාවලිය 41:1-3; යෙසායා 33:24) අපට අද දවසේ පවතින අගහිඟකම් විඳදරා ගැනීමට සිදු වුවත්, එතරම් සමීප ව ඇති පාරාදීස පොළොවේ ජීවිතයේ අවශ්‍යතාවයන්හි කිසි අඩුවක් නොතිබෙනු ඇත. (ගීතාවලිය 72:14, 16; යෙසායා 65:21-23) එසේ ය, අපගේ ස්වර්ගික පියාණන් දැන් අප ව උසුලා දරා අවසානයේ අපගේ ප්‍රීතිය සම්පූර්ණ කරනු ඇත.—ගීතාවලිය 145:14-21.
දෙවියන් වහන්සේ දානය කළ ඔබේ නිදහස භක්ත්‍යාදරයෙන් රැකබලා ගන්න
20. ගීතාවලිය 100:1-5ට අනුව, අප යෙහෝවඃ වහන්සේ ඉදිරියේ අප ව ම ඉදිරිපත් කළ යුත්තේ කෙසේ ද?
20 යෙහෝවඃ වහන්සේගේ සෙනඟ වශයෙන්, අපට ප්‍රීතිය හා මෙතරම් මහත් ආශීර්වාදයන් ලබා දී ඇති දෙවියන් වහන්සේ දානය කළ නිදහස නිසැක ව ම අප භක්ත්‍යාදරයෙන් රැකබලා ගත යුතු ය. ගීතාවලිය 100:1-5 හි [NW] “ප්‍රීතිමත් මොරගැසීමකින්” දෙවියන් වහන්සේ ඉදිරියට පැමිණෙන මෙන් උදක් ම ඉල්ලා සිටීම පුදුමයක් නොවේ. යෙහෝවඃ වහන්සේ අපගේ අයිතිකරුවාණන් ව සිටින අතර ප්‍රේමනීය එඬේරෙක් මෙන් අප රැකබලා ගන්නා සේක. එසේ ය, “අපි උන්වහන්සේගේ සෙනගය, උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝ ය.” උන් වහන්සේගේ මැවුම්කාර තත්ත්වය හා උතුම් ගුණාංග, ප්‍රශංසාවෙන් හා ස්තුති දීමෙන් උන් වහන්සේගේ ශුද්ධස්ථානයේ මණ්ඩපවලට ඇතුල් වීමට අපට අනුබල දෙයි. අපි “උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා” කිරීමට, යෙහෝවඃ දෙවියන් වහන්සේ ගැන ගුණ කථනය කිරීමට පෙලඹී සිටිමු. මීට අමතර ව, අප කෙරෙහි උන් වහන්සේගේ ප්‍රේමනීය-කරුණාව, නැතහොත් දයානුකම්පිත සැලකිල්ල කෙරෙහි සෑම විට ම අපට රැඳී සිටිය හැකි ය. යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත කරන්නන් හට ‘පරම්පරාවෙන් පරම්පරාවට’ උන් වහන්සේ විශ්වාසනීය ය, ප්‍රේමය පෙන්වීමෙහි අකලංක ය.
21. මෙම සඟරාවේ පළමු කලාපයේ කිනම් දිරිගැන්වීමක් දෙනු ලැබී ද, එමෙන් ම දෙවියන් වහන්සේ දානය කළ නිදහස ගැන අප කුමක් කළ යුතු ද?
21 අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන්, අපට දැන් සියලු පරීක්ෂාවලින් බේරෙන්නට නුපුළුවන. කෙසේ වෙතත්, දිව්‍ය උපකාරය ඇති ව, කෙසේ හෝ, අපට ධෛර්යවත් ව යෙහෝවඃ වහන්සේගේ ප්‍රීතිමත් සාක්ෂිකරුවන් විය හැකි ය. මේ සම්බන්ධයෙන් මෙම සඟරාවේ මුල් කලාපයේ (වර්ෂ 1879 ජූලි) දක්නට ලැබෙන මෙම වදන් සැලකිල්ලට ගැනීම වටී: “පටු මාර්ගයේ වෙහෙසට පත් පියවර තබමින් දුවන්නට සොයන මාගේ ක්‍රිස්තියානි සහෝදරය හෝ සහෝදරිය . . . ධෛර්යවත් වන්න. කර්කශ මාර්ගය ගැන කරදර නොවන්න; ඒ සියල්ලක් ම ස්වාමියාගේ ආශීර්වාද ලත් පාදයන්ගෙන් පවිත්‍ර භාවයට පත් කොට, ශුද්ධත්වයට පත් කර ඇත. සෑම කටුවක් ම පුෂ්පයක් ලෙස ද; සෑම තියුණු පර්වතයක් ම සැතපුම් කණුවක් සේ ද සලකමින් ඉලක්කය කරා වූ ඔබගේ ගමන ඉක්මන් කරන්න. . . . ඔබගේ නෙත් ත්‍යාගය කෙරෙහි යොමු කර තබාගන්න.” දැන් යෙහෝවඃ වහන්සේට සේවය කරන්නා වූ මිලියන සංඛ්‍යාත අය ත්‍යාගය කෙරෙහි සිය නෙත් යොමුකර තබා ඇති අතර ධෛර්ය හා ප්‍රීතිය උදෙසා හේතු බොහොමයක් ඇති ව සිටිති. ඔවුන් සමඟ, දෙවියන් වහන්සේ දානය කළ නිදහස උදෙසා ස්ථිර ව සිටින්න. එහි අරමුණ වරද්දා නොගන්න, එසේ යෙහෝවඃ වහන්සේ කෙරෙහි ප්‍රීතිය නිතර ඔබගේ බලකොටුව වේවා! w92 3/15
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේ ද?
◻ “යෙහෝවඃ වහන්සේ කෙරෙහි ප්‍රීතිය” අපගේ බලකොටුව විය හැක්කේ කෙසේ ද?
◻ ආගමික අර්ථයෙන් ගන්නා කල, දෙවියන් වහන්සේ දානය කළ නිදහස යෙහෝවඃ වහන්සේගේ ජනයාට කිනම් ආශීර්වාද ගෙනැවිත් තිබේ ද?
◻ එකිනෙකාට ප්‍රේමයෙන් දාසකම් කළ යුත්තේ මන්ද?
◻ දෙවියන් වහන්සේ දානය කළ නිදහස හා බැඳී තවත් ආශීර්වාද සමහරක් මොනවා ද?
◻ දෙවියන් වහන්සේගේ ජනයාට දිගට ම ප්‍රීතිමත් ව සිටිය හැක්කේ කෙසේ ද?
[23වන පිටුවේ පින්තූරය]
“සෑම කටුවක් ම පුෂ්පයක් සේ ද; සෑම තියුණු පර්වතයක් ම සැතපුම් කණුවක් සේ ද සලකා, ඉලක්කය කරා වූ ඔබගේ ගමන ඉක්මන් කරන්න”