පුරවැසියෙකු වේවා විදේශිකයෙකු වේවා, දෙවියන් වහන්සේ ඔබ ව සාදරයෙන් පිළිගන්නා සේක!
“උන්වහන්සේ . . . සියලු මනුෂ්‍ය ජාතීන් මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.”—ක්‍රියා 17:26.
1. විදේශ සංස්කෘතීන්ට අයත් ජනයා පිළිගැනීම සම්බන්ධයෙන් බොහෝ තැන්වල අද දින පවතිනුයේ කිනම් තත්ත්වයක් ද?
රටවල් ගණනාවක විදේශිකයන්, සංක්‍රමණිකයන්, හා සරණාගතයන් පිළිබඳ ව සැලකිල්ල වර්ධනය වන බව පුවත්පත් වාර්තා අඟවයි. ආසියාවේ, අප්‍රිකාවේ, යුරෝපයේ, හා අමෙරිකාවේ ප්‍රදේශවලින් ඉවත්වීමට මිලියන සංඛ්‍යාත අය උන්මත්තකයන් මෙන් බලා සිටිති. ඇතැම්විට ඔවුන් දැඩි සේ පහරදෙන දිළිඳුකමෙන්, සිවිල් යුද්ධවලින්, හෝ හිංසා පීඩාවන්ගෙන් සහනය සොයනවා විය හැකි ය. එහෙත් වෙනත් තැනක ඔවුන් ව සාදරයෙන් පිළිගැණේ ද? ටයිම් සඟරාව මෙසේ පැවසුවේ ය: “යුරෝපයේ ජනවාර්ගික සම්මිශ්‍රණය වෙනස් වන්නට පටන් ගනිත් ම, ඇතැම් රටවල්, තමන් විදේශී සංස්කෘතීන් පිළිබඳ ව ඉවසිලිවන්ත ව සිටින්නේ යයි වරක් සිතූ ලෙසින්, නොසිටින බව සොයා ගනිති.” “නුවමනා” සරණාගතයන් 1,80,00,000 සම්බන්ධයෙන් ටයිම් සඟරාව කියා සිටියේ: “ඔවුන් විසින් ස්ථායී රටවලට ඉදිරිපත් කරන අභියෝගය පහ නොවනු ඇත” යනුවෙනි.
2, 3. (අ) පිළිගැනීම සම්බන්ධයෙන් බයිබලය ඉදිරිපත් කරනුයේ කිනම් ප්‍රබෝධවත් කරවන සහතිකයක් ද? (ආ) දෙවියන් වහන්සේ ජනයා සමඟ ක්‍රියා කරන ආකාරය පිළිබඳ ශුද්ධ ලියවිල්ල පවසන දෙය පරීක්ෂා කර බැලීමෙන් අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ මන්ද?
2 මේ සම්බන්ධයෙන් කුමක් වර්ධනය වෙතත්, පුද්ගලයෙක් උපතින් පුරවැසියෙක්, සංක්‍රමණිකයෙක්, හෝ සරණාගතයෙක් වේවා, දෙවියන් වහන්සේ සෑම ජාතියක ම ජනයා ව සාදරයෙන් පිළිගන්නා බව බයිබලය පෙන්වයි. (ක්‍රියා 10:34, 35) ‘එහෙත්, ඔබට එසේ පැවසිය හැක්කේ කෙසේ ද? අන්‍යයන් බැහැර කරමින්, දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් පමණක් ස්වකීය සෙනඟ ලෙස තෝරා නොගත් සේක් ද?’ යනුවෙන් ඇතැමෙක් අසනවා විය හැක.
3 හොඳයි, දෙවියන් වහන්සේ පුරාණ ජනයා සමඟ ක්‍රියා කළ ආකාරය අපි බලමු. අද දින සැබෑ නමස්කාරකයන්ට විවෘත ව ඇති වරප්‍රසාදවලට යොමු දක්වන ඇතැම් අනාවැකි ද අපට පරීක්ෂා කර බැලිය හැකි ය. මෙම අනාවැකිමය තොරතුරු පුනරීක්ෂණය කිරීම වඩාත් පූර්ණ වටහාගැන්මක් උදා කරවීමට දායක විය හැකි අතර, ඒවා බොහෝ සෙයින් දිරිගන්වන සුලු යයි ඔබට හැඟී යනවා ඇත. එය, දෙවියන් වහන්සේ මහත් පීඩාවෙන් පසු “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” සමන්විත පුද්ගලයන් සමඟ ක්‍රියා කරනු ඇති ආකාරය පිළිබඳ ව ද ඇඟවීමක් කරයි.—එළිදරව් 7:9, 14-17.
‘සියලු ජාතීන් තමන්ට ම ආශීර්වාද කර ගන්නවා ඇත’
4. ජාති පිළිබඳ ගැටලුව වර්ධනය වූයේ කෙසේ ද, නමුත් දෙවියන් වහන්සේ ගත් පියවර මොනවා ද?
4 ජල ගැල්මෙන් පසු ව, මුළු මනුෂ්‍ය වර්ගයා ම නෝවාගේ කිට්ටු ම පවුල් සාමාජිකයන්ගෙන් සමන්විත වූ අතර, ඔවුන් සියල්ලෝ ම සැබෑ නමස්කාරකයන් වූහ. එහෙත් එම එක්සත්කම ඉක්මනින් ම වෙනස් විණි. වැඩි කලක් යන්නට මත්තෙන්, ඇතැමෙක්, දෙවියන් වහන්සේගේ කැමැත්ත නොසලකමින්, කොතක් ගොඩනගන්නට පටන් ගත්හ. මෙය, මිනිස් වර්ගයා ව භාෂා සමූහයන් ලෙසට බෙදා වෙන් කළ අතර, ඒ නයින් විසුරුනු ජාතීන් හා ජනයන් බවට පත්වීමට මඟ පෑදී ය. (උත්පත්ති 11:1-9) එහෙත් තවමත්, ආබ්‍රහම් දක්වා දිව ගිය පෙළපත තුළින් සැබෑ නමස්කාරය දිගට ම පැවතිණ. ඇදහිලිවන්ත ආබ්‍රහම්ට ආශීර්වාද කළ දෙවියන් වහන්සේ, ඔහුගෙන් පැවතෙන්නන් මහත් ජාතියක් වනු ඇති බවට පොරොන්දු වූ සේක. (උත්පත්ති 12:1-3) එම ජාතිය වූයේ පුරාණ ඊශ්‍රායලයයි.
5. දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමඟ කටයුතු කළ ආකාරයෙන් අප සියල්ලන්ට ධෛර්යක් ලැබිය හැක්කේ මන්ද?
5 කෙසේ වෙතත්, යෙහෝවඃ වහන්සේ ඊශ්‍රායෙල් නොවන ජනයා ව බැහැර කරමින් සිටියේ නැත, මක්නිසා ද සියලු මිනිස් වර්ගයා ම ආවරණය වන පරිදි උන් වහන්සේගේ අරමුණ විහිදී පැවතුණි. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දෙයින් අපි මෙය පැහැදිලි ව දකින්නෙමු: “මාගේ ශබ්දයට නුඹ කීකරුවූ නිසා නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය. [තමන්ට ම ආශීර්වාද ගෙනෙනු ලබන්නෝ ය NW ]” (උත්පත්ති 22:18) එනමුත්, ශතවර්ෂ ගණනාවකට, ජාතික ව්‍යවස්ථා මාලාවක් දෙමින්, ස්වකීය දේවමාලිගාවේ යාග ඔප්පු කිරීමට පූජකයන් පිළියෙළ කරමින්, හා වාසය කිරීමට පොරොන්දු දේශය ලබා දෙමින්, දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය සමඟ සුවිශේෂී ආකාරයකට ක්‍රියා කළ සේක.
6. ඊශ්‍රායෙල් ජාතිය සමඟ දෙවියන් වහන්සේගේ විධිවිධාන අප සියල්ලන්ට ප්‍රයෝජනවත් වනුයේ කෙසේ ද?
6 දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට දුන් ව්‍යවස්ථාව, සියලු ජාතීන්ට අයත් ජනයාට යහපත් එකක් වූයේ, මිනිසාගේ පාප සහමුලින් ම එක වාරයකින් පියවීමට පරිපූර්ණ පූජාවක අවශ්‍යතාව පෙන්වමින්, මිනිසාගේ පව්කාර ස්වභාවය පැහැදිලි කළ බැවිනි. (ගලාති 3:19; හෙබ්‍රෙව් 7:26-28; 9:9; 10:1-12) එහෙත්, සියලු ජාතීන් යම් තැනැත්තෙක් මගින් තමන්ට ම ආශීර්වාද කර ගැනීමට නියමිත ව තිබුණ ද එම තැනැත්තා, එනම් ආබ්‍රහම්ගේ වංශය, පැමිණෙනු ඇති බවටත්, ඊට සුදුසුකම් සපුරාගනු ඇති බවටත් තිබුණේ කිනම් සහතිකයක් ද? ඊශ්‍රායෙල්ට දුන් ව්‍යවස්ථාව මෙහිදී ද උපකාරවත් විණි. දරුවන් පණපිටින් පිලිස්සීමේ චාරිත්‍රය වැනි, දුරාචාරමය පුරුදු හා පිළිවෙත් සඳහා සුප්‍රසිද්ධ සෙනඟක් වූ, කානානිවරුන් සමඟ අවාහ විවාහ කර ගැනීම එය තහනම් කළේ ය. (ලෙවී කථාව 18:6-24; 20:2, 3; ද්විතීය කථාව 12:29-31; 18:9-12) ඔවුන් මෙන් ම ඔවුන්ගේ පුරුදු මුලිනුපුටා දැමිය යුතු යයි දෙවියන් වහන්සේ තීන්දු කළ සේක. එය වංශයේ පෙළපත දූෂ්‍ය වීම වැළැක්වීමට උපකාරවත් වනු ඇති බැවින්, විදේශිකයන් ද ඇතුළු ව, සියල්ලන්ගේ දිගු කාලීන යහපත සඳහා විණි.—ලෙවී කථාව 18:24-28; ද්විතීය කථාව 7:1-5; 9:5; 20:15-18.
7. දෙවියන් වහන්සේ ආගන්තුකයන් සාදරයෙන් පිළිගත් බවට කලින් තිබූ ඇඟවීම කුමක් ද?
7 ව්‍යවස්ථාව ක්‍රියාත්මක ව තිබිය දී, එමෙන් ම ඊශ්‍රායෙල් ජාතිය සුවිශේෂී ජාතියක් ලෙස දෙවියන් වහන්සේ විසින් සැලකූ විට දී පවා, උන් වහන්සේ ඊශ්‍රායෙල් නොවූ අයට දයාව පෙන්වූ සේක. උන් වහන්සේ එසේ කිරීමට කැමැත්තෙන් සිටි බව, මිසරයේ වහල් භාවයෙන් මිදී ඊශ්‍රායෙල් සෙනඟ තම දේශයට ගමන් කළ විට විදහා දක්වන ලදි. “ඔවුන් සමග [අති විශාල NW ] මිශ්‍ර සමූහයක්ද . . . ගියෝය.” (නික්මයාම 12:38) ඔවුන් “විදේශිකයන් විශාල සමූහයක් . . . මිශ්‍රණයක්, හෝ විවිධ ජාතීන්ට අයත් ජන සමූහයක්” ලෙස ආචාර්ය සී. එෆ්. කෙල් හඳුන්වා දෙයි. (ලෙවී කථාව 24:10; ගණන් කථාව 11:4) සැබෑ දෙවියන් වහන්සේ ව පිළිගත් මිසරවරුන් බොහෝ ගණනක් සිටිය බව සිතිය හැක.
විදේශිකයන්ට සාදර ඇරයුම්
8. ගිබියොන්වරු දෙවියන් වහන්සේගේ ජනයා අතරේ තැනක් සොයා ගත්තේ කෙසේ ද?
8 පොරොන්දු දේශය නීච ජාතීන්ගෙන් නිදහස් කර ගැනීමට වූ දෙවියන් වහන්සේගේ ආඥාව ඊශ්‍රායෙල්වරුන් වෙතින් ක්‍රියාත්මක වෙත් ම, යෙරුසලමට උතුරින් ජීවත් වූ, ගිබියොන්වරුන් නම්, එක් විදේශික සමූහයක් ව උන් වහන්සේ ආරක්ෂා කළ සේක. සමාදානය පතා ආයාචනා කරමින්, වෙස් වළා ගත් නියෝජිතයන් ඔවුහු යෝෂුවා වෙත යැවූ අතර, එය දිනා ගත්හ. ඔවුන්ගේ ප්‍රයෝගය සොයා ගනු ලැබූ කල, ගිබියොන්වරුන් “සභාවටත් . . . උන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW ] පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද” ලෙස සේවය කරනු ඇතැයි යෝෂුවා නියම කළේ ය. (යෝෂුවා 9:3-27) අද දින බොහෝ සංක්රමණිකයෝ ද නව ජනතාවකගේ කොටසක් වනු පිණිස යටහත් පහත් සේවා තත්ත්වයන් භාර ගනිති.
9. ඊශ්‍රායෙලයේ විදේශිකයන් සම්බන්ධයෙන් සැලකිල්ලට ගත් කල, රාහබ් හා ඇයගේ පවුලේ ආදර්ශය දිරිගැන්වීමක් වනුයේ කෙසේ ද?
9 ඒ කාලයේ දෙවියන් වහන්සේ සාදරයෙන් පිළිගත්තේ හුදු විදේශික සමූහයන් පමණක් නොවන බව දැනගැනීම ඔබට දිරිගැන්වීමක් වනවා විය හැක; තනි පුද්ගලයන් ව ද සාදරයෙන් පිළිගන්නා ලදි. අද දින ඇතැම් ජාතීන් විසින් භාර ගන්නේ, සමාජයේ උසස් තත්ත්වයක් ඇති, ආයෝජනය කිරීමට සම්පත් ඇති, නැතහොත් උසස් අධ්‍යාපනයක් ලැබූ සංක්‍රමණිකයන් ව පමණි. යෙහෝවඃ වහන්සේ සම්බන්ධ ව එය එසේ නොවන බව, ගිබියොන්වරුන්ගේ සිද්ධියට මද කලකට පෙර සිදු වූ දෙයකින් අපට දැකිය හැක. මෙය සමාජයේ උසස් තත්ත්වයක් පැහැදිලි ව ම නොලද කානානීය වැසියෙකු හා සම්බන්ධ විය. බයිබලය ඇය ව “වේශ්‍යාවවූ රාහබ්” ලෙස හඳුන්වයි. සැබෑ දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඇයගේ ඇදහිල්ල නිසා, යෙරිකෝව බිඳ වැටුණු විට ඇය හා ඇයගේ ගෙයි වැසියන් මුදා ගන්නා ලදි. රාහබ් විදේශික තැනැත්තියක් වුව ද, ඊශ්‍රායෙල්වරු ඇය ව පිළිගත්හ. ඇය අපට අනුකරණය කිරීමට සුදුසු ඇදහිල්ලේ ආදර්ශයක් වන්නී ය. (හෙබ්‍රෙව් 11:30, 31, 39, 40; යෝෂුවා 2:1-21; 6:1-25) ඇය මෙසියස් වහන්සේගේ මුතුන් මිත්තනියක් බවට ද පත්වූවා ය.—මතෙව් 1:5, 16.
10. ඊශ්‍රායෙලයේ විදේශිකයන්ගේ පිළිගනු ලැබීම රඳා පැවතුනේ කුමක් මත ද?
10 ඊශ්‍රායෙල් නොවන්නන් ව පොරොන්දු දේශයේ දී පිළිගනු ලැබුවේ, සැබෑ දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට ඔවුන් ගන්නා ලද ප්රයත්නයට අනුව ය. යෙහෝවඃ වහන්සේට සේවය නොකළ අය සමඟ, විශේෂයෙන් ආගමික වශයෙන් සමාගම් නොපවත්වන්නට ඊශ්‍රායෙල්වරුන් හට පවසනු ලැබිණි. (යෝෂුවා 23:6, 7, 12, 13; 1 රාජාවලිය 11:1-8; හිතෝපදේශ 6:23-28) කෙසේ වෙතත්, ඊශ්‍රායෙල්ට අයත් නොවූ පදිංචිකරුවන් බොහෝ දෙනෙක් මූලික ව්‍යවස්ථාවන්ට කීකරු වූහ. අන්‍යයන් චර්මඡේදනය ලත් නමස්කාරය වැළඳ ගත්තවුන් බවට පවා පත්වූ අතර, යෙහෝවඃ වහන්සේ ඔවුන් ව ස්වකීය සභාවේ සාමාජිකයන් වශයෙන් සාදරයෙන් පිළිගත් සේක.—ලෙවී කථාව 20:2; 24:22; ගණන් කථාව 15:14-16; ක්‍රියා 8:27.a
11, 12. (අ) ඊශ්‍රායෙල්වරුන් විදේශික නමස්කාරකයන්ට සැලකිය යුතු ව තිබුණේ කෙසේ ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමෙහි අප වැඩි දියුණු වීමට අවශ්‍යතාවයක් තිබිය හැක්කේ මන්ද?
11 විදේශික නමස්කාරකයන් කෙරෙහි පවතින ස්වකීය ආකල්පය අනුකරණය කිරීමට දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට නියම කළ සේක: “නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්රේමකරපන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.” (ලෙවී කථාව 19:33, 34; ද්විතීය කථාව 1:16; 10:12-19) අප ව්‍යවස්ථාව යටතේ නොසිටියත්, මෙය අපට පාඩමක් සපයයි. වෙනත් වර්ගයකට, ජාතියකට, හෝ සංස්කෘතියකට අයත් අය කෙරෙහි අගතිගාමී හා සතුරුකාමී වීමේ උගුලට ගොදුරු වීම පහසු දෙයකි. එබැවින්, අප මෙසේ ඇසීම වඩාත් හොඳ ය: “යෙහෝවඃ වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින්, මම මා ව එවන් අගතීන්ගෙන් නිදහස් කර ගැනීමට වෑයම් කරන්නෙමි ද?”
12 දෙවියන් වහන්සේ විසින් සාදරයෙන් පිළිගනු ලැබීමේ දෘශ්‍යමාන සාධක ඊශ්‍රායෙල්වරුන් හට තිබිණ. “ඔබගේ සෙනගවූ ඊශ්‍රායෙල් කෙනෙක් නොවන . . . ඔබගේ නාමය නිසා දුර දේශයකින් ආවාවූ විදේශියෙක් මේ ගෘහය දෙසට හැරී යාච්ඤාකළොත්, . . . පොළොවේ සියලු සෙනග විසිනුත් ඔබගේ නාමය ඇඳිනගන ඔබ කෙරෙහි භයවන පිණිස . . . ස්වර්ගයෙහි සිට අසන” මෙන් සාලමොන් රජ යාච්ඤා කළේ ය.—1 රාජාවලිය 8:41-43; 2 ලේකම් 6:32, 33.
13. ඊශ්‍රායෙල් සමඟ කටයුතු කිරීම වෙනස් කිරීමට දෙවියන් වහන්සේ සැපයුමක් සූදානම් කළේ මන්ද?
13 යෙහෝවඃ වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය ස්වකීය සෙනඟ ලෙස තවමත් යොදා ගනිමින්, ඒ නයින් මෙසියස් වහන්සේ පැමිණෙන වංශය ආරක්ෂා කරමින් සිටි කල්හි, දෙවියන් වහන්සේ සැලකිය යුතු වෙනස්කම් පුරෝකථනය කළ සේක. මීට පෙර, ඊශ්‍රායෙල් ජාතිය ව්‍යවස්ථා ගිවිසුම යටතේ සිටීමට එකඟ වූ විට, ඔවුන්ට ‘පූජක රාජ්‍යයක සහ ශුද්ධ ජාතියක’ උල්පත වීමට දෙවියන් වහන්සේ අවස්ථා දානය කළ සේක. (නික්මයාම 19:5, 6) එහෙත්, ඊශ්‍රායෙල්වරු ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ නොඇදහිලිකාරකම පෙන්වූහ. එබැවින්, තමන් වහන්සේ “ඊශ්‍රායෙල් වංශය” සකසන අය සමඟ නව ගිවිසුමක් ඇති කර ගන්නා බවත්, ඔවුන්ගේ අපරාධ හා පාප, ක්ෂමා කරන බවත් යෙහෝවඃ වහන්සේ පුරෝකථනය කළ සේක. (යෙරෙමියා 31:33, 34) එම නව ගිවිසුම මෙසියස් වහන්සේ ව බලාපොරොත්තුවෙන් සිටියේ ය, උන් වහන්සේගේ යාගය සැබවින් ම බොහෝ දෙනෙකු ව පාපයෙන් පවිත්‍ර කරනු ඇත.—යෙසායා 53:5-7, 10-12.
ස්වර්ගයේ ඊශ්‍රායෙල්වරු
14. යෙහෝවඃ වහන්සේ පිළිගත්තේ කිනම් නව “ඊශ්රායෙලයක්” ද, සහ ඒ කෙසේ ද?
14 මේ සියල්ලක් ම ඉෂ්ට කරනු ලැබූ ආකාරය තේරුම් ගැනීමට ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි අපට උපකාර කරයි. යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ වූ අතර උන් වහන්සේගේ මරණය ව්‍යවස්ථාව සම්පූර්ණ කර පාපයේ පූර්ණ ක්ෂමාව සඳහා පදනම සකස් කළේ ය. එම ප්‍රයෝජනය අත්කර ගැනීමට මාංශයෙන් චර්මච්ඡේදනය ලත් යුදෙව්වෙක් වීමට යමෙකුට අවශ්‍ය නොවී ය. නැත, නව ගිවිසුමේ “ඇතුළතින් යුදෙව්වෙක්ව සිටින්නා යුදෙව්වෙක් වේ; චර්මව්ඡෙද්යය නම් ලියවිල්ලේ හැටියට නොව ආත්මයේ හැටියට සිතෙහි [හෘදයෙහි NW ] වූ එකය” යයි ප්‍රේරිත පාවුල් ලීවේ ය. (රෝම 2:28, 29; 7:6) යේසුස් වහන්සේගේ පූජාව කෙරෙහි ඇදහිල්ල තබන අය පව් සමාව ලද අතර, ඔවුන් “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” යයි හඳුන්වනු ලබන ආත්මික ජාතියක් සකසන, ‘ආත්මය මගින් යුදෙව්වන්’ ලෙස දෙවියන් වහන්සේ ඔවුන් ව අනුමත කළ සේක.—ගලාති 6:16.
15. ආත්මික ඊශ්‍රායෙලයෙහි කොටසක් වීමට උපන් ජාතිය සාධකයක් නොවන්නේ මන්ද?
15 එසේ ය, ආත්මික ඊශ්‍රායලය තුළට පිළිගනු ලැබීම යම් ජාතික හෝ වාර්ගික පසුතලයක් මත රඳා පැවතුණේ නැත. යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන් වැනි, සමහරෙක්, ස්වභාවික යුදෙව්වන් වූහ. රෝමානු හමුදා නිලධාරියා වන කොර්නේලියස් වැනි, තවත් අය චර්මච්ඡේදනය නොකරන ලද අන්‍ය ජාතිකයන් වූහ. (ක්‍රියා 10:34, 35, 44-48) ආත්මික ඊශ්‍රායෙල් සම්බන්ධයෙන් පාවුල් නිවැරදි ව මෙසේ පැවසුවේ ය: “ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මව්ඡෙද්යයෙක්වත් අචර්මව්ඡෙද්යයෙක්වත් ම්ලෙව්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත්” නැත. (කොලොස්සි 3:11) දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ආලේප ලත් අය “තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද” බවට පත් වූහ.—1 පේතෘස් 2:9; නික්මයාම 19:5, 6 සසඳන්න.
16, 17. (අ) ආත්මික ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් වහන්සේගේ අරමුණ තුළ ඇති කාර්ය භාරය කුමක් ද? (ආ) දෙවියන් වහන්සේගේ ඊශ්රායෙලයට අයත් නොවන අය ව සලකා බැලීම සුදුසු වනුයේ මන්ද?
16 ආත්මික ඊශ්‍රායෙල්ට දෙවියන් වහන්සේගේ අරමුණෙහි ඇත්තේ කිනම් අනාගතයක් ද? “කුඩා රැළ, භය නොවෙල්ලා; මක්නිසාද නුඹලාට රාජ්‍යය දෙන්ට නුඹලාගේ පියාණන්වහන්සේ ප්‍රසන්නව [අනුමැතිය ඇති ව NW ] සිටිනසේක” යනුවෙන් යේසුස් වහන්සේ පිළිතුරු දුන් සේක. (ලූක් 12:32) සිය “නාගරිකත්ටය ස්වර්ගයෙහි” ඇත්තා වූ ආලේප ලද්දෝ, බැටළු පැටවාණන් සමඟ රාජ්‍යය පාලනයේ හවුල් උරුමක්කාරයන් වනු ඇත. (පිලිප්පි 3:20; යොහන් 14:2, 3; එළිදරව් 5:9, 10) මොවුන් ‘ඊශ්‍රායෙල් පුත්‍රයන් අතරින් මුද්‍රාකරනු ලැබූ අය’ බවත් “දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝ” බවත් බයිබලය අඟවයි. ඔවුන් සංඛ්‍යාවෙන් 1,44,000කි. කෙසේ වෙතත්, මුද්‍රා කරනු ලබන මෙම සංඛ්‍යාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, යොහන් වෙනස් සමූහයක්—“සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්”—හඳුන්වා දෙයි.—එළිදරව් 7:4, 9; 14:1-4.
17 සමහරුන් මෙසේ කල්පනා කරන්නට පුළුවන: ‘එම මහත් සමූහය ලෙස මහත් පීඩාව තුළින් බේරී යා හැකි, ආත්මික ඊශ්‍රායෙලයේ කොටසක් නොවන මිලියන සංඛ්‍යාත අය ගැන කුමක් කිව හැකි ද? ආත්මික ඊශ්‍රායෙලයේ ඉතිරි වී සිටින ස්වල්ප දෙනා හා සැසඳීමේ දී අද දින ඔවුන්ට ඇත්තේ කිනම් කාර්ය භාරයක් ද?’b
අනාවැකි තුළ සඳහන් විදේශිකයෝ
18. බබිලෝනීය වහල් භාවයෙන් ඊශ්‍රායෙල් ජාතිය ආපසු පැමිණීමට මඟ පෑදුවේ කුමක් ද?
18 ඊශ්‍රායෙල්වරුන් ව්‍යවස්ථා ගිවිසුම යටතේ සිටි නමුත් එයට ඇදහිලිවන්ත ව නොසිටි කාලය වෙත හැරී බැලීමේ දී, ඊශ්‍රායෙල් පාළු කිරීමට බබිලෝනිවරුන්ට ඉඩ හැරීමට දෙවියන් වහන්සේ අධිෂ්ඨාන කළ බව අපට සොයා ගත හැකි ය. පොදු යුගයට පෙර 607 දී, ඊශ්‍රායෙලය වසර 70කට වහල් භාවයට ගෙන යනු ලැබී ය. ඉන් පසු, දෙවියන් වහන්සේ එම ජාතිය යළි මිල දී ගත් සේක. ආණ්ඩුකාර සෙරුබ්බාබෙල්ගේ නායකත්වය යටතේ, ස්වභාවික ඊශ්‍රායෙල්ගේ කුඩා සමූහයක් සිය රටට යළි පැමිණියෝ ය. බබිලෝනිය පරාජයට පත් කළ මේදවරුන්ගේද පර්සියානුවන්ගේද පාලකයෝ, නැවත එමින් සිටි වහලුන්ට අවශ්‍යතා සපයා දෙමින් ඔවුන්ට උපකාර පවා කළෝ ය. යෙසායාගේ පොත මෙම සිද්ධීන් පුරෝකථනය කළේ ය. (යෙසායා 1:1-9; 3:1-26; 14:1-5; 44:21-28; 47:1-4) එමෙන් ම ඔවුන්ගේ යළි පැමිණීම පිළිබඳ ඓතිහාසික තොරතුරු එස්රා අපට සපයයි.—එස්රා 1:1-11; 2:1, 2.
19. ඊශ්‍රායෙල්ගේ ආපසු පැමිණීම හා සම්බන්ධයෙන්, විදේශිකයන් ඊට සම්බන්ධ වනු ඇති බවට තිබූ අනාවැකිමය ඇඟවීම කුමක් ද?
19 තවදුරටත්, දෙවියන් වහන්සේගේ ජනයා ව නැවත මිල දී ගැනීම හා ආපසු පැමිණීම පුරෝකථනය කරමින්, යෙසායා මෙම මවිතකර අනාවැකිය පළ කළේ ය: “ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.” (යෙසායා 59:20; 60:3) සාලමොන්ගේ යාච්ඤාවට අනුව, මින් අදහස් කරන්නේ, එම විදේශික පුද්ගලයන් ව සාදරයෙන් පිළිගනු ලැබීමට වඩා වැඩි යමකි. යෙසායා යොමු දක්වමින් සිටියේ තත්ත්වයන්හි අසාමාන්‍ය වෙනසක් ගැන ය. “ජාතීන්” ඊශ්‍රායෙල්ගේ පුත්‍රයන් සමඟ සේවය කරනවා ඇත: “විදේශීහු [ඇත්ත වශයෙන් ම NW ] නුඹේ පවුරු ගොඩනගන්නෝය, ඔවුන්ගේ රජවරුද නුඹට සේවයකරන්නෝය. මක්නිසාද මම මාගේ උදහසෙන් නුඹට පහරදුන් නුමුත් මාගේ කරුණාවෙන් නුඹට අනුක්මපාකෙළෙමි.”—යෙසායා 60:10.
20, 21. (අ) වහල් භාවයෙන් ඊශ්‍රායෙල්ගේ ආපසු පැමිණීමට නවීන දින කිනම් සමානත්වයක් අපි දකින්නෙමු ද? (ආ) ඉන් අනතුරුව ආත්මික ඉශ්‍රායෙලයට ‘පුත්‍රයන් හා දූවරුන්’ එකතු කරනු ලැබුවේ කෙසේ ද?
20 ආකාර කිහිපයකින් බලන කල, ඊශ්‍රායෙල් ජාතිය වහල් භාවයට යාම හා නැවත හැරී ඒම, නවීන දින ආත්මික ඊශ්‍රායෙල් සමඟ සමාන්තරයක් දක්නට තිබෙයි. පළමුවන ලෝක යුද්ධයට පෙර, ආලේප ලත් ක්‍රිස්තියානින්ගේ ඉතිරි කොටස සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟ ව ක්‍රියා කළේ නැත: ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවලින් පවරාගත් ඇතැම් මත හා පුරුදු ඔවුනට තිබිණි. අනතුරුව, යුද්ධ සමයේ උණුසුම් සමය තුළ හා යම් පමණකට පූජක පක්ෂයේ පෙලඹ වීම නිසා ආත්මික ඊශ්‍රායෙලයේ ඉතිරි කොටසේ පෙරමුණ ගන්නන් අයුක්ති සහගත ලෙස සිරගත කරනු ලැබිණි. යුද්ධයෙන් පසු, පො.යු. 1919 දී, එම ආලේප ලත් අය ව සැබෑ සිරගෙවල්වලින් නිදහස් කර නිදොස් කරනු ලැබූහ. බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන, මහා බබිලෝනියේ වහල් භාවයෙන් දෙවියන් වහන්සේගේ ජනයා ව මුදාහරිනු ලැබූ බවට මෙය සාක්ෂි දැරී ය. ආත්මික පාරාදීසයක් ගොඩනගා එහි වාසය කිරීමට උන් වහන්සේගේ ජනයා ඉදිරියට ගියේ ය.—යෙසායා 35:1-7; 65:13, 14.
21 මෙය යෙසායාගේ විස්තර ප්‍රකාශයේ අඟවනු ලැබී ය: “ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත; නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත. එකල නුඹ දැක ප්‍රීතිවන්නෙහිය, නුඹේ සිතද පිනාගොස් විශාලවන්නේය; මක්නිසාද මුහුදේ සම්පත් නුඹ වෙත හැරීඑන්නේය, ජාතීන්ගේ වස්තුද නුඹ ළඟට පැමිණෙන්නේය.” (යෙසායා 60:4, 5) ඉන් පසු දශකවල, ආත්මික ඊශ්‍රායෙලයේ අන්තිම ස්ථාන පිරවීමට ආත්මයෙන් ආලේප ලත්, ‘පුත්‍රයෝ හා දූවරු’ නොකඩවා ඇදී එන්නට පටන් ගත්හ.
22. “විදේශිකයන්” ආත්මික ඊශ්‍රායෙල්වරුන් සමඟ වැඩ කරන්නට පැමිණ ඇත්තේ කෙසේ ද?
22 ‘සැබවින් ම නුඹේ පවුරු ගොඩනගන විදේශීන්’ ගැන කුමක් කිව හැකි ද? මෙය ද අපගේ කාලයේ සිදු වී ඇත. එක්ලක්ෂ හතලිස් හාර දහස් දෙනාගේ කැඳවීම අවසානයකට එළඹෙත් ම, සියලු ජාතීන්ට අයත් මහත් සමූහයක් ආත්මික ඊශ්‍රායෙල් සමඟ නමස්කාර කිරීමට එක්රැස් වන්නට පටන් ගත්හ. මෙම අලුත පැමිණි අයට පාරාදීස පොළොවක සදාකාලයට ජීවත්වීමේ බයිබලය මත පදනම් අපේක්ෂාව ඇත. ඔවුන්ගේ ඇදහිලිවන්ත සේවයේ අන්තිම ස්ථානය වෙනස් එකක් වුවත්, ඔවුන් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමෙහි ආලේප ලත් ඉතිරි කොටසට උපකාර කිරීමට අතිශයින් සතුටු වූහ.—මතෙව් 24:14.
23. “විදේශිකයන්” ආලේප ලත් අයට සහය වී ඇත්තේ කොතරම් ප්‍රමාණයකට ද?
23 අද දින, 40,00,000කට වැඩි “විදේශිකයන්” සංඛ්‍යාවක් ‘නාගරිකත්වය ස්වර්ගයෙහි’ ඇත්තා වූ රැළේ ඉතිරි අය සමඟ යෙහෝවඃ වහන්සේට සිය භක්තිය තහවුරු කරමින් සිටිති. පුරුෂ හා ස්ත්‍රී, බාල හා මහලු වන ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, පුරෝගාමින් ලෙස පූර්ණ කාලීන සේවයේ නියැලෙති. සංඛ්‍යාවෙන් 66,000කට වැඩි වූ සභාවන් බොහොමයක, මෙවන් විදේශිකයෝ වැඩිමහල්ලන් හා උපස්ථායක සේවකයන් ලෙස වගකීම් දරති. “විදේශියෝ සිට නුඹලාගේ බැටළු රැළවල් පෝෂ්‍යකරන්නෝය, විදේශියෝ නුඹලාගේ ගොවියෝද නුඹලාගේ මිදිවතු වවන්නෝද වන්නෝය” යන යෙසායාගේ වදන්වල ඉෂ්ට වීම දකිමින්, ඉතිරි කොටස මේ තුළ ප්‍රීති වෙති.—යෙසායා 61:5.
24. අතීතයේ ඊශ්‍රායෙල්වරුන් හා අන්‍යයන් සමඟ දෙවියන් වහන්සේ කටයුතු කර තිබෙන ආකාරය අපට දිරිගැන්වීමක් වන්නේ කෙසේ ද?
24 එබැවින්, ලෝකයේ කිනම් කොටසක ඔබ පුරවැසියෙක්, සංක්‍රමණිකයෙක්, හෝ සරණාගතයෙක් ව සිටියත්, සර්වපරාක්‍රමයාණන් විසින් හෘදයාංග ව ම සාදරයෙන් පිළිගන්නා ආත්මික විදේශිකයෙක් වීමට ඔබට උදාර ප්‍රස්තාවක් ඇත. දැනුත් එසේ ම සදාකාලික අනාගතයෙහිත් උන් වහන්සේගේ සේවයේ වරප්‍රසාද භුක්ති විඳීමේ හැකියාව උන් වහන්සේගේ සාදර පිළිගැනීමට ඇතුළත් වෙයි. w92 4/15
[පාදසටහන්වල]
a “පරදේශික වූ පදිංචිකරුවා,” “පදිංචිකරුවා,” “ආගන්තුකයා,” හා “විදේශිකයා” යනාදීන් අතර වෙනස දැනගැනීමට, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්., මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් 1 වෙළුමේ, පිටු 72-5, 849-51 බලන්න.
b යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් 1991 පවත්වන ලද ස්වාමීන්ගේ අන්තිම රාත්‍රි භෝජනය සිහිකිරීමේ වාර්ෂික අනුස්මරණයට 1,06,00,000කට වැඩි සංඛ්‍යාවක් පැමිණි නමුත් ආත්මික ඊශ්‍රායලයේ ඉතිරි කොටසට අයත් බව ප්‍රකාශ කළේ 8,850 දෙනෙක් පමණි.
යෙහෝවඃ වහන්සේ ව නමස්කාර කරන්නට පැමිණෙනු ඇති විදේශිකයන් පිළිබඳ ව සාලමොන් රජ යාච්ඤා කළේ ය
ඔබ මෙය සටහන් කර ගත්තෙහි ද?
◻ සියලු ජාතීන්ට අයත් ජනයා තමන් වහන්සේ විසින් පිළිගනු ලබන බවට දෙවියන් වහන්සේ බලාපොරොත්තුවක් දුන්නේ කෙසේ ද?
◻ දෙවියන් වහන්සේගේ විශේෂිත සෙනඟ වූ, ඊශ්‍රායෙල්ට අමතර ව, වෙනත් ජනයාටත් උන් වහන්සේ කරා පැමිණිය හැකි බව පෙන්වන්නේ කුමකින් ද?
◻ විදේශිකයන් තමන් ඊශ්‍රායෙල්වරුන්ට එක් කරවා ගනු ඇතැයි දෙවියන් වහන්සේ අනාවැකි තුළ ඇඟවූයේ කෙසේ ද?
◻ බබිලෝනියේ වහල් භාවයෙන් ඊශ්‍රායෙල්ගේ ආපසු පැමිණීම කුමකට සමාන්තරයක් වී ඇත් ද? තව ද විදේශිකයන් ඊට සම්බන්ධ වී ඇත්තේ කෙසේ ද?