යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ දී ලැබෙන සැබෑ සන්තෝෂය
“යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය [සන්තෝෂවත් ය NW ].”—ගීතාවලිය 146:5.
1, 2. සන්තෝෂයේ අර්ථ දැක්වීම ගැන පවසනු ලැබ ඇත්තේ මොනවා ද, අද දින බොහෝ දෙනා සඳහා සන්තෝෂයෙන් අදහස් කරන්නේ කුමක් ද?
සන්තෝෂය යනු කුමක් ද? ශබ්දකෝෂ කර්තෘවරුන්, දාර්ශනිකයන්, සහ දේවධර්මාචාර්යවරුන්, එය අර්ථ දැක්වීමට සිය වස් ගණනාවක් පුරා උත්සාහ කර තිබේ. නමුත් ඒකමතික අනුමැතියකට ගැලපෙන අර්ථ දැක්වීමක් ඔවුන් සපයා නැත. දි එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ එකඟ වෙයි: “ ‘සන්තෝෂය’ යනු වඩාත් ග්‍රහණය කළ නොහැකි වචනවලින් එකකි.” පෙනෙන හැටියට, මිනිසුන් ජීවිතය දකින ආකාරය අනුව, සන්තෝෂය යන්නෙන් විවිධ මිනිසුන්ට විවිධ දේවල් අදහස් කරයි.
2 මිනිසුන් බොහෝ දෙනෙකුට, සන්තෝෂය කරකැවෙන්නේ, හොඳ සෞඛ්‍යය, ද්‍රව්‍යමය දේපල, සහ ප්‍රසන්න ආශ්‍රය වටා ය. එහෙත්, මේ සියල්ල තිබෙන නමුත්, අසන්තෝෂයෙන් සිටින මිනිසුන් සිටී. යෙහෝවඃ දෙවියන් වහන්සේට කැපවී සිටින පුරුෂයන් හා ස්ත්‍රීන් හට, සන්තෝෂය පිළිබඳ ව සාමාන්‍ය දෘෂ්ටියට වඩා හාත්පසින් ම වෙනස් වූ සංකල්පයක් බයිබලය සපයයි.
සන්තෝෂය පිළිබඳ ව වෙනස් දෘෂ්ටියක්
3, 4. (අ) සන්තෝෂයෙන් සිටී යයි යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ කා ගැන ද? (අ) යේසුස් වහනසේ සඳහන් කළ, සන්තෝෂයට තුඩු දෙන සාධක පිළිබඳ ව සැලකිල්ලට ගත හැක්කේ කුමක් ද?
3 යේසුස් වහන්සේ සිය කන්ද උඩ දේශනාවේ දී, හොඳ සෞඛ්‍යය, ද්‍රව්‍යමය දේපල, සහ සමාන වෙනත් දෑ මත සන්තෝෂය රඳා පවතින බව පැවසුවේ නැත. උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ, සැබෑ සන්තෝෂයෙන් සිටින්නේ, “තමන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින” අය සහ “ධර්මිෂ්ඨකම උදෙසා කුසගින්නක් හා පිපාසයක් තිබෙන” අය බවයි. සැබෑ සන්තෝෂයට අවශ්‍ය වන මෙම සාධක දෙකට සම්බන්ධ වන දෙය නම්, ව්‍යාකූල යයි පෙනිය හැකි, “වැළපෙන අය සන්තෝෂවත්ය, මක්නිසාද ඔවුන් සනසනු ලබන්නේ ය” යන යේසුස් වහන්සේගේ කියමන ය. (මතෙව් 5:3-6, NW) පැහැදිලි ව ම, යේසුස් වහන්සේ පවසමින් සිටියේ, තමන් ප්‍රේම කරන කෙනෙකු අහිමි වූ විට, මිනිසුන්ට ඉබේට ම සන්තෝෂය ලැබෙන බවක් නොවේ. ඒ වෙනුවට උන් වහන්සේ කථා කරමින් සිටියේ, තම පව්කාර තත්ත්වය සහ එහි විපාක ගැන වැළපෙන අය සම්බන්ධයෙනි.
4 “ජරාවේ වහල්කමින් නිදහස්වීමේ” බලාපොරොත්තුවේ පදනම මත පාපයට යට වී කෙඳිරිගාන මිනිස් මැවිලි ගැන ප්‍රේරිත පාවුල් කථා කළේ ය. (රෝම 8:21, 22) ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ පූජාව තුළින් යෙහෝවඃ වහන්සේගේ පව්පහකිරීමේ සැපයුම පිළිගෙන, දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන අය සැබවින් ම සනසනු ලැබ සන්තෝෂවත් කරනු ලැබේ. (රෝම 4:6-8) “මොළොක් ගතියෙන් යුක්ත අය”, “දයාවන්ත අය”, “හදවතින් නිර්මල ව සිටින අය”, සහ “සාමයට කැමැති අය” සන්තෝෂවත් වන බව ද යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේ දී පැවසූ සේක. පීඩා කරනු ලැබුවත්, එවන් මොළොක් ගති ඇති අය, තම සන්තෝෂය අහිමි කර ගන්නේ නැති බවට යේසුස් වහන්සේ සහතිකයක් දුන් සේක. (මතෙව් 5:5-11, NW) උසස් තලයක තබා ඇති මෙම සන්තෝෂයට දායක වන සාධකයන්, පොහෙසත් සහ දුප්පත් අය ව සමාන තලයක තබන බව සටහන් කර ගැනීම උනන්දුව ගෙන දෙන්නකි.
නියම සන්තෝෂය සඳහා පදනම
5. දෙවියන් වහන්සේට කැපවූ සේවකයන්ගේ සන්තෝෂය සඳහා පදනම කුමක් ද?
5 සැබෑ සන්තෝෂයේ උල්පත හමුවෙන්නේ, ද්‍රව්‍යමය සැපසම්පත් තුළ නොවේ. ප්‍රඥාවන්ත සාලමොන් රජ පැවසුවේ මෙසේ ය: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ, NW ] ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.” (හිතෝපදේශ 10:22) යෙහෝවඃ වහන්සේගේ විශ්වනීය පරමාධිපත්‍යය පිළිගන්නා වූ ජීවීන් සඳහා, සන්තෝෂය, දෙවියන් වහන්සේගේ ආශීර්වාදවලට වෙනස් කළ නොහැකි ලෙසින් සම්බන්ධ වී තිබේ. තමා මත යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාද තිබෙන්නා වූ ද සහ ඒ බව දැනෙන්නා වූ ද කැප වූ පුද්ගලයා, ඔහු හෝ ඇය සැබවින් ම සන්තෝෂයෙන් සිටී. බයිබලයේ දෘෂ්ටි කෝණයෙන් බලන විට, යෙහෝවඃ වහන්සේගේ සේවය තුළ සෑහීම, තෘප්තිය, සහ යමක් සාර්ථක ව ඉටු කර ගැනීමේ හැඟීමක් සන්තෝෂයට ඇතුළත් වෙයි.
6. යෙහෝවඃ වහන්සේගේ ජනයා සැබවින් ම සන්තෝෂ වීමට නම්, ඔවුන්ගෙන් අවශ්‍ය කරවන්නේ කුමක් ද?
6 සැබෑ සන්තෝෂය රඳා පවතින්නේ, යෙහෝවඃ වහන්සේ සමඟ තිබෙන හරි සම්බන්ධතාවය මත ය. දෙවියන් වහන්සේට තිබෙන ප්‍රේමය හා ඇදහිලිවන්තකම මත එය පදනම් වී තිබේ. යෙහෝවඃ වහන්සේගේ කැපවූ සේවකයෝ, පාවුල්ගේ වචනවලට මුළු හදවතින් ම දායක වෙති: “ඇත්තෙන් ම, අපගෙන් කිසිවෙක් තමා සම්බන්ධ ව ජීවත් නොවෙයි. . . . අප ජීවත් වන්නේ යෙහෝවඃ වහන්සේ උදෙසා ය . . . අප අයිති යෙහෝවඃ වහන්සේට ය.” (රෝම 14:7, 8, NW) එම නිසා, යෙහෝවඃ වහන්සේට කීකරු වීමෙන් හා උන් වහන්සේගේ කැමැත්තට ප්‍රීතියෙන් යටත්වීමෙන් බැහැර ව සැබෑ සන්තෝෂය අත්කර ගත නොහැක. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන්නෝ සැබවන්ම වාසනාවන්තයෝය [සන්තෝෂවත් ය! NW ].”—ලූක් 11:28.
සන්තෝෂයට දායක වන නානා ප්‍රකාර සාධක
7, 8. (අ) සන්තෝෂයේ සාධකයන් කෙසේ වර්ගීකරණය කළ හැකි ද? (ආ) විවාහය සහ දරුවන් ඇති දැඩි කිරීම ගැන කුමක් කිව හැකි ද?
7 සන්තෝෂයට තුඩු දෙන ඉහත සඳහන් සාධක, “මූලිකයන්” හෙවත් “නියතයන්” සේ හැඳින්විය හැක්කේ, මන්දයත් ඒවා යෙහෝවඃ වහන්සේගේ කැපවූ සේවකයන් හට සෑම කාලවල දී ම වලංගු වන නිසා ය. ඊට අමතර ව, විචල්‍යයන් යනුවෙන් හැඳින්විය හැකි සාධකයන් තිබෙන අතර, ඒවා එක් කලක දී සන්තෝෂයට හේතු වන නමුත්, වෙනත් කලක දී එයින් සන්තෝෂය ලැබෙන්නේ මඳ වශයෙනි, නැතහොත් ඒවායින් කොහෙත් ම සන්තෝෂයක් ලබා නොදෙයි. ආදි පියවරුන්ගේ කාලයේ දී, සහ පූර්ව ක්‍රිස්තියානි යුගවල දී, විවාහය සහ දරුවන් ඇති දැඩි කිරීම සන්තෝෂය සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස සලකන ලදි. මෙය රාඛෙල් විසින් කරන ලද හෘදයාංගම ආයාචනයෙන් පිළිබිඹු වෙයි: “මට දරුවන් දෙන්න, නැතහොත් මම නසිමි.” (උත්පත්ති 30:1) දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳ ව මේ ආකල්පය, එම කාලය සඳහා වූ යෙහෝවඃ වහන්සේගෙ අරමුණට ගැලපුණි.—උත්පත්ති 13:14-16; 22:17.
8 විවාහය සහ දරුවන් ඇති දැඩි කිරීම, මුල් කාලවල යෙහෝවඃ වහන්සේගේ ජනයා අතර, දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද ආශීර්වාදයක් සේ සලකනු ලැබිණි. කෙසේ වුවද, ඔවුන්ගේ ඉතිහාසයේ විපත්තිදායක කාලවල දී, මේවා හා වෙනත් තත්ත්වයන් සමඟ ශෝකය මුසු වී තිබණි. (ගීතාවලිය 127, 128 සමඟ යෙරෙමියා 6:12; 11:22; විලාප ගී 2:19; 4:4, 5 සසඳන්න.) එම නිසා, විවාහය සහ දරුවන් ඇති දැඩි කිරීම සන්තෝෂයට තුඩු දෙන ස්ථිරසාර සාධකයන් නොවන බව පැහැදිලි ය.
අතීතයේ දී විවාහයෙන් තොර ව ලැබූ සන්තෝෂය
9. යෙප්තාගේ දුව වාර්ෂික ප්‍රශංසා ලැබුවේ මන්ද?
9 දෙවියන් වහන්සේගේ සේවකයන්ගෙන් බොහෝ දෙනෙක්, විවාහයෙන් තොර ව සැබෑ සන්තෝෂය සොයා ගෙන තිබේ. තම පියාගේ භාරයට ගෞරව දැක්වීමක් වශයෙන්, යෙප්තාගේ දියණිය තනිකඩ ව සිටියා ය. ඈ සහ ඇගේ මිතුරියෝ ඇගේ කන්‍යාභාවය වෙනුවෙන් යම් කලකට වැලපුණෝ ය. එහෙත්, සමහරවිට, “සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ මෙහෙකිරීමට රැස්වන ස්ත්‍රීන්” අතර සිටීමින් යෙහෝවඃ වහන්සේගේ ගෘහයේ පුර්ණ කාලීන ව සේවය කිරීමෙන් ඈට කොපමණ ප්‍රීතියක් තිබුණා ද! (නික්මයාම 38:8) මේ හේතුවෙන්, ඈ වාර්ෂික ප්‍රශංසා ලැබුවා ය.—විනිශ්චයකාරයන් 11:37-40.
10. යෙහෝවඃ වහන්සේට යෙරෙමියාගෙන් අවශ්‍ය කරවූයේ කුමක් ද, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු අසන්තෝෂමත් ජීවිතයක් ගත කළ බව පෙනෙන්ට තිබේ ද?
10 තමා ජීවත් වූ භාරදූර කාලයන් හේතුකොටගෙන, අනාගතවක්තෘ යෙරෙමියා විවාහවීමෙන් සහ මාපිතෘත්වයෙන් වැළකී සිටීමට යෙහෝවඃ වහන්සේට අවශ්‍ය කරවීය. (යෙරෙමියා 16:1-4) එහෙත් යෙරෙමියා දෙවියන් වහන්සේගේ වචනවල ඇති සත්‍යතාවය අත්දුටුවේ ය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] කෙරෙහි විශ්වාස කොට, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] තමාගේ විශ්වාසය කොට තබා ගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය [ආශීර්වාද ලද්දෙක් ය NW ].” (යෙරෙමියා 17:17) පුරා වසර 40 කට වඩා වැඩි තමාගේ ප්‍රොපේත සේවා කාලය තුළ, යෙරෙමියා දෙවියන් වහන්සේට ඇදහිලිවන්ත ව සේවය කළේ තනිකඩ මිනිසෙකු ලෙසටයි. අප දන්නා තරමින්, ඔහු කිසිදාක විවාහ වූයේ වත් ඔහුට දරුවන් සිටියේවත් නැත. එහෙත්, ‘යෙහෝවඃ වහන්සේගේ යහපත්කම නිසා ප්‍රීතියෙන් පිනා ගිය’ ඇදහිලිවන්ත යුදෙව් ඉතිරි කොටස මෙන්, යෙරෙමියා සන්තෝෂයෙන් සිටි බව සැක කළ හැක්කේ කාට ද?—යෙරෙමියා 31:12, NW.
11. විවාහ කලත්‍රයෙක් නොසිටියත්, සන්තෝෂයෙන් සිටියාවූ, යෙහෝවඃ වහන්සේට ඇදහිලිවන්ත සේවය කළාවූ සමහරක් ශුද්ධ ලියවිලිමය ආදර්ශ කවරේ ද?
11 වෙනත් බොහෝ දෙනෙක් විවාහ කලත්‍රයෙකු නොමැති ව, ප්‍රීතියෙන් යුතු ව යෙහෝවඃ වහන්සේට සේවය කර තිබේ. ඔවුහු එක්කෝ, තනිඩකයන්, වැන්දඹු ස්ත්‍රීන් හෝ වැන්දඹු පුරුෂයන් වූහ. ප්රොපේතවරියක වූ ආනා, සමහර විට දොර්කස් හෙවත් තබිතා; ප්‍රේරිත පාවුල්; සහ ඔවුන් සියල්ලන්ගේ ම ශ්‍රේෂ්ඨතම ආදර්ශය වූ—යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ අතර වූහ.
අද දින තනිකඩ නමුත් සන්තෝෂයෙන්
12. අද දින යෙහෝවඃ වහන්සේට කැපවූ සන්තෝෂවත් සේවකයන් සමහර දෙනෙක් සිතින් තීරණයක් ගෙන ඉඩ සලසා තිබෙන්නේ කුමක් සඳහා ද, ඒ මන්ද?
12 අද දින, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දහස් ගණනක්, විවාහක සහකරුවෙකු නොමැති ව ඇදහිලිවන්ත ව දෙවියන් වහන්සේට සේවය කරමින් සිටිති. යේසුස් වහන්සේගේ ආරාධනයට කීකරු වන්නට ඇතමෙකුට හැකි වී තිබේ: “ඒක [තනිකඩව සිටීමේ දීමනාව] පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේ.” ඔවුන් මෙය කර තිබෙන්නේ “ස්වර්ග රාජ්‍යය නිසා” ය. (මතෙව් 19:11, 12) එනම්, රාජ්‍යය කටයුතු සම්බන්ධ ව සේවය කිරීමෙහිලා වඩාත් කාලය හා ශක්තිය යෙදවීමෙන්, දෙවියන් වහන්සේ විසින් දානය කර ඇති ඔවුන්ගේ නිදහස හොඳින් භාවිතා කිරීමෙනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, පුරෝගාමින්, මිෂනාරිවරුන්, බෙතෙල් පවුලේ සාමාජිකයන් වශයෙන් වොච් ටවර් සමිතියේ ලෝක මූලස්ථානයේ හෝ සමිතියේ ශාඛා කාර්යාලයක සේවය කරමින් සිටිත්.
13. ක්රිස්තියනියෙකුට තනිකඩ නමුත් සන්තෝෂයෙන් සිටිය හැකි බව පෙන්වන්නේ කුමන ආදර්ශයන්ගෙන් ද?
13 එක් හිතෛශී වයසක සහෝදරියක්, “පුරෝගාමියෙකු වශයෙන් තනිකඩ ව සහ ප්‍රීතිමත් ව” යන සිත් ඇදගන්නා සුලු තේමාව යටතේ ඇගේ ජීවිත කථාව ලියුවා ය. (ද වොච්ටවර්, මැයි 1, 1985, පිටු 23-26) බෙතෙල් නිවාසයේ වසර 50ක් ගත කරමින් සේවය කළාවූ තවත් තනිකඩ සහෝදරියක් පැවසුවේ මෙසේ ය “මම මගේ ජීවිතය සහ වැඩ සමඟ සම්පූර්ණයෙන් ම තෘප්තියට පත් ව සිටිමි. මම මහත් සෙනහසින් ආදරය කරන වැඩක් තුළ වෙන කවරදාටත් වඩා කඩිසර ව සිටින්නෙමි. පසුතැවීමට කිසි ම හේතුවක් මට නැත. මම නැවතත් ගන්නේ ඒ තීරණයමයි.”—ද වොච්ටවර්, ජූනි 15, 1982 පිටු 15.
14, 15. (අ) ප්‍රේරිත පාවුල් පවසන පරිදි, තනිකඩ ව සිටීමට අවශ්‍ය වන්නේ කුමක් ද? (අ) තනිකඩ පුද්ගලයා, “වඩාත් හොඳින් ක්‍රියා කරන” බවත්, “වඩාත් සන්තෝෂයෙන් සිටින” බවත් පාවුල් පවසන්නේ මන්ද?
14 “තීරණය” යන වචනය සැලකිල්ලට ගන්න. පාවුල් ලියුවේ මෙසේ ය: “යම් පිරිමියෙක් කිසිම බලකිරීමක් නොමැතිව විවාහ නොවීමට [හෘදයෙන් NW ] ඉතා තදින් අදිටන් [තීරණය NW ] කර තිබේ නම් තම කැමැත්ත සම්පූර්ණයෙන්ම දමනය කිරීමට ඔහු පොහොසත් නම්, කුමක් කළ යුතු ද කියා කල් තියා තම සිත සාදා ගෙන තිබේ නම් ඔහු . . . විවාහ නොවුවහොත් වඩා යෙහෙකි. මෙලෙස කාන්තාවක් හා සමඟ විවාහ වෙන්නා ද යහපත් දෙයක් කරයි. එහෙත් . . . විවාහ නොවන්නා වඩාත් යහපත් දෙයක් කරයි.” (1 කොරින්ති 7:37, 38, ඇත්ත ඇති තැන) “වඩා යහපතක්” වන්නේ මන් ද? පාවුල් මෙසේ පැහැදිලි කළේ ය: “ඔබ හැම හිරිහැර කරදරින් මිදෙන ලෙස මම පතමි. අවිවාහක මිනිසා ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වීමට වැර දරණ බැවින් ඔහු උන්වහන්සේගේ කටයුතුවල නිරත වෙයි. . . . අවිවාහක කාන්තාව හෝ කන්‍යාව ස්වාමීන් වහන්සේට ආත්මීකව හා ශාරීරිකව ඇප කැප වීමට කැමති බැවින් උන්වහන්සේගේ කටයුතුවල නිරත වෙයි. මා මේවා පවසන්නේ ඔබ හැමට ආධාර කිරීමේ අටියෙනි. . . . මට උවමනා කරන්නේ ඔබ යුක්ති සහගත දෙය හා කළ යුතු දෙය ඉටු කිරීමයි. කිසිවක් තමනට ඉතිරි කර නොගෙන [බාධාවකින් තොර ව NW ] ස්වාමීන් වහන්සේගේ සේවයට මුළුමනින්ම [නිරන්තරයෙන් ම NW ] කැප වීමයි.”—1 කොරින්ති 7:32-35, ඇ. ඇ. තැ.
15 ‘ස්වාමීන් වහන්සේගේ අනුමැතිය දිනා ගැනීමේ’ අදහස ඇතුව “බාධාවකින් තොරව ස්වාමීන් වහන්සේගේ වැඩවල නිරතුරුව ම යෙදී සිටීම” සන්තෝෂය සමඟ සම්බන්ධ වී තිබේ ද? පාවුල් එසේ සිතූ බව පෙනෙන්ට තිබේ. ක්‍රිස්තියානි වැන්දඹුවක් ගැන කථා කරමින් ඔහු මෙසේ පැවසුවේ ය: “ඈ කැමති කෙනෙකු සමඟ විවාහ වෙන්ට ඈ නිදහස් ව සිටින්නී ය; නමුත් ස්වාමීන් වහන්සේ තුළ පමණක් ය. නමුත් මාගේ කල්පනාවේ හැටියට, ඈ සිටින ලෙස ම සිටින්නී නම්, ඈ වඩාත් සන්තෝෂයෙන් සිටින්නී ය. මට ද දෙවියන් වහන්සේගේ ආත්මය තිබෙන බව සහතික වශයෙන් ම සිතමි.”—1 කොරින්ති 7:39, 40 NW.
අවිවාහක තත්ත්වයේ තිබෙන වාසි ප්‍රයෝජන
16. යෙහෝවඃ වහන්සේගේ අවිවාහක සාක්ෂිකරුවන් භුක්ති විඳින සමහරක් වාසි ප්‍රයෝජන මොනවා ද?
16 පුද්ගලයෙක් විවාහ නොවී සිටින්නේ, පුද්ගලික තීරණයක් නිසා හෝ තත්ත්වයන්ගේ බලපෑම නිසා වුව ද, තනිකඩභාවය ඔහු හට බොහෝ පුද්ගලික වාසි ප්‍රයෝජන ගෙන දෙයි. සාමාන්‍යයෙන් තනිකඩ පුද්ගලයන්ට දේව වචනය පාඩම් කිරීමට සහ ඒ මත මෙනෙහි කිරීමට වඩාත් කාලය තිබේ. ඔවුන් මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නේ නම්, ඔවුන්ගේ ආත්මිකත්වය වඩාත් ගැඹුරු වෙයි. තම ගැටලු හවුලේ බෙදා ගැනීමට විවාහ කලත්‍රයෙකු නොසිටින බැවින්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බොහෝ සෙයින් යෙහෝවඃ වහන්සේ වෙතට නැඹුරු වී රඳා සිටිමින් සියලු දේවල දී උන් වහන්සේගේ මඟ පෙන්වීම පැතීමට ඉගෙන ගනිති. (ගීතාවලිය 37:5) මෙය යෙහෝවඃ වහන්සේ සමඟ වඩාත් සමීප සම්බන්ධතාවයක් ගොඩ නැගීමට උදව් වෙයි.
17, 18. (අ) යෙහෝවඃ වහන්සේට සේවය කරන අවිවාහකයන්ට පුළුල් සේවා ක්ෂේත්රයක සේවය කිරීම සඳහා තිබෙන ප්‍රස්තාවන් මොනවා ද? (ආ) යෙහෝවඃ වහන්සේට සේවය කරන අවිවාහකයන් ඇතැමෙක් තමන්ගේ සන්තෝෂය ගැන විස්තර කර තිබෙන්නේ කෙසේ ද?
17 යෙහෝවඃ වහන්සේගේ ප්‍රශංසාව උදෙසා තනිකඩ පුද්ගලයන් හට පුළුල් වූ සේවා ක්ෂේත්රයක ප්‍රස්තාවන් තිබේ. උපස්ථායක පුහුණු පාසලේ දී දෙනු ලබන විශේෂ පුහුණුව සීමා වී ඇත්තේ තනිකඩ හෝ පිරිමි වැන්දඹු සහෝදරයන්ට ය. තනිකඩ සහෝදරියන් ද දෙවියන් වහන්සේගේ සේවයේ ප්‍රස්තාවන් අත්කරගැනීමට වීර්ය කිරීමට වඩාත් නිදහසක් ඇතුව සිටිත්. මීට ඉහත දී සඳහන් වූ වයසක සහෝදරිය, අප්‍රිකානු රටක සේවය කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවා ය. ඈ පවසන හැටියට, ඈ එවිට “වයස අවුරුදු 50ක් ඉක්මවූ ශාරීරික දුර්වලකම් ඇති” තැනැත්තියක් වූවා ය. වැඩ තහනම් කරනු ලැබ, සියලු මිෂනාරීවරුන් පිටමං කළ අවස්ථාවේ පවා ඈ එම රටේ නැවතී සිටියා ය. දැන් ඇගේ වයස වසර 80ක් වුව ද, ඈ තවමත් පුරෝගාමියක වශයෙන් එහි සේවය කරමින් සිටින්නී ය. ඈ සන්තෝෂයෙන් සිටිනවා ද? ඇගේ ජීවිත කථාවේ ඈ ලීවේ: “තනිකඩභාවය නිසා මට ලැබී තිබෙන අමතර නිදහස සහ එහෙ මෙහ යාමට නිදහස් බව, දේව සේවය තුළ මා ව කඩිසර ව තබන අතර, මෙය මට මහත් සන්තෝෂයක් ගෙනැවිත් තිබේ. . . . වසර ගෙවී යත් ම, යෙහෝවඃ වහන්සේ සමඟ මගේ සම්බන්ධය ගැඹුරු වී තිබේ. අප්‍රිකානු රටක සිටින තනිකඩ ස්ත්‍රියක වශයෙන්, උන් වහන්සේ ව ආරක්ෂකයෙකු ලෙසින් මම අත් දැක ඇත්තෙමි.”
18 දශක ගණනාවක් පුරා, වොච් ටවර් සමිතියේ මූලස්ථාන කාර්යාලයේ සේවය කළාවූ සහෝදරයෙකුගේ වචන ද සලකා බැලීමට වටී. ඔහු කිසි විටෙකත් විවාහ නොවී සිටිය ද, විවාහ වීමේ අපේක්ෂාවකින් තොර ව සිටි ඔහුට ස්වර්ගික බලාපොරොත්තුවක් තිබුණ ද, ඔහු සිටියේ සන්තෝෂයෙනි. වයස අවුරුදු 79 දී ඔහු මෙසේ ලීවේ ය: “සෑම දිනක ම මම අපගේ ස්නේහබර ස්වර්ගික පියාණන් ව අමතමින්, උන් වහන්සේගේ ශුද්ධ කැමැත්ත කරමින් සිටීමට මට හැකි වන පිණිස ආත්මික ව ද, ශාරීරික ව ද ශක්තිමත් ව සිටීමට අවශ්‍ය උපකාරය සහ ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරමි. පසුගිය වසර හතළිස් නවයේ දී, යෙහෝවඃ වහන්සේගේ සේවය තුළ, ඇත්ත වශයෙන් ම මම සන්තෝෂවත්, විපාකදායි, ආශීර්වාද ලත් ජීවන මාර්ගය භුක්ති විඳ ඇත්තෙමි. තවද, යෙහෝවඃ වහන්සේගේ ලබන්ට නොවටින කරුණාව සමඟින් මා ඉදිරියට බලා සිටින්නේ, උන් වහන්සේගේ ගෞරවය සහ මහිමයටත් උන් වහන්සේගේ ජනයාගේ ආශීර්වාද සඳහාත් උන් වහන්සේට නොකඩවා සේවය කිරීමටත්ය. . . . ඇදහිල්ලේ යහපත් සටන දිගට ම ගෙන යාමට යෙහෝවඃ වහන්සේගේ ප්‍රීතිය මට උදව් වන අතර, යෙහෝවඃ වහන්සේගේ සතුරන් තව දුරටත් නොසිටින, උන් වහන්සේගේ මහිමයෙන් පොළොව පිරී යන කාලය දෙස නෙත් යොමා බලා සිටීමටත් උදව් වෙයි.”—ගණන් කථාව 14:21; නෙහෙමියා 8:10; ද වොච්ටවර්, නොවැම්බර් 15, 1968, පිටු 699-702.
සැබෑ සන්තෝෂය රැඳී තිබෙන්නේ කුමක් මත ද?
19. සෑමවිට ම අපගේ සන්තෝෂය රඳා පවතිනු ඇත්තේ කුමක් මත ද?
19 යෙහෝවඃ වහන්සේ සමඟ අපට තිබෙන අනර්ඝ සම්බන්ධය, උන් වහන්සේගේ අනුමැතිය, සහ උන් වහන්සේගේ ආශීර්වාද—සදාකාලය පුරා සැබෑ සන්තෝෂය ගෙන එනු ඇති සාධකයන් නම් මේවා ය. නියම සන්තෝෂය ගෙන එන මෙම දේවල් ගැන නිසි ආකල්පයක් ඇතුව, යෙහෝවඃ වහන්සේට සේවය කරන විවාහකයන් පවා වටහා ගෙන ඇත්තේ, ඔවුන්ගේ ජීවිතවල වඩාත් වැදගත් ම දේ නම්, ඔවුන්ගේ විවාහය නොවන බවයි. ඔවුහු ප්‍රේරිත පාවුල්ගේ උපදෙසට අවනත වෙති: “සහෝදරයෙනි, මෙය මම කියමි, කාලය ලුහුඬු කරන ලද්දේය, එමනිසා, භාර්යාවන් සිටින අය, එවැන්නන් කිසිවෙක් නොසිටියා වූ අය මෙන් ක්‍රියා කරාවා.” (1 කොරින්ති 7:29, NW) ඔවුන් තම භාර්යාවන් ව නොසලකා හැරිය යුතු බව මින් අදහස් කරන්නේ නැත. මේරූ ක්‍රිස්තියානි ස්වාමි පුරුෂයෝ යෙහෝවඃ වහන්සේගේ සේවය මුල් තැනට තබති, එමෙන් ම, ඔවුන්ගේ දේව භක්තික, ප්‍රේමනීය, සහ සහයෝගය දක්වන භාර්යාවෝ ද එසේ ම කරති. තම ස්වාමි පුරුෂයන්ගේ හවුල් කාරියන් වශයෙන් සමහරු පූර්ණ කාලීන ව පවා සේවය කරති.—හිතෝපදේශ 31:10-12, 28; මතෙව් 6:33.
20. බොහෝ ක්‍රිස්තියානින්ට තමන්ගේ විවාහ වරප්රසාදයන් කෙරෙහි ඇත්තේ කිනම් නිසි ආකල්පය ද?
20 සංචාරක අවේක්ෂකයන්, බෙතෙල් ස්වේච්ඡා සේවකයන්, සභා වැඩිමහල්ලන් වන විවාහක සහෝදරයන්—එනම් ඇත්තෙන් ම, රාජ්‍යය කාරණා මුලින් තබන සියලු විවාහක ක්‍රිස්තියානින්—‘ලෝකය මුළුමනින් ම පාවිච්චි කරන්නේ’ නැත; ඔවුන් ක්‍රියා කරන්නේ, ඔවුන්ගේ විවාහ වරප්‍රසාද යෙහෝවඃ වහන්සේගේ සේවයට ඔවුන් කැප කළ ජීවිතයට ගැලපෙන සේ සකස් කර ගැනීමටයි. (1 කොරින්ති 7:31) එහෙත්, ඔවුන් සිටින්නේ සන්තෝෂයෙනි, මන්ද? මක්නිසාදයත්, ඔවුන්ගේ සන්තෝෂය කෙරෙහි බලපවත්වන ප්‍රධාන හේතුව ඔවුන්ගේ ම විවාහය නොව, නමුත් යෙහෝවඃ වහන්සේට ඔවුන් කරන සේවය වීම නිසා ය. තවද බොහෝ ඇදහිලිවන්ත ස්වාමි පුරුෂයන්, භාර්යාවන්—එසේ ය, ඔවුන්ගේ දරුවන් ද—එය එසේ වීම ගැන සන්තෝෂ වෙති.
21, 22. (අ) යෙරෙමියා 9:23, 24 හි පවසන දේ පදනම් කරගෙන, අප ව සන්තෝෂයෙන් පුරවා ලිය යුත්තේ කුමක් ද? (ආ) හිතෝපදේශ 3:13-18 හි සඳහන් සන්තෝෂයට තුඩු දෙන සාධක මොනවා ද?
21 අනාගතවක්තෘ යෙරෙමියා මෙසේ ලීවේ ය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] මෙසේ කියනසේක: ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා, බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා, වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා, නුමුත් පාරට්ටුකරගන්නා පොළොවෙහි කරුණවත් විනිශ්චයත් [යුක්තියක් NW ] ධර්මමිෂ්ඨකමත් පවත්ව ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] මමයයි තේරුම් ගෙන, මා දැනගැනීම නම්වූ කාරණය ගැනම පාරට්ටුකරගනීවා. මක්නිසාද මා ප්රියවන්නේ මේ දේවලටයයි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW ] කියන සේක.—යෙරෙමියා 9:23, 24.
22 අප තනිකඩ ව සිටියත්, විවාහ වී සිටියත්, අපගේ සන්තෝෂයේ උදාරතම උල්පත විය යුත්තේ, යෙහෝවඃ වහන්සේ පිළිබඳ ව අප ලබන දැනුම සහ, අප උන් වහන්සේගේ කැමැත්ත කරන හෙයින්, උන් වහන්සේගේ ආශීර්වාද අපට තිබෙන බවට ස්ථිර විශ්වාසයක් ඇතුව සිටීම ය. යෙහෝවඃ වහන්සේ ප්‍රීති වන්නාවූ, සාරධර්මවල සැබෑ මිණුම් දණ්ඩට අයත් දේ ගැන විනිවිද පෙනෙන ඥානයක් ඇතුව සිටීම ගැන ද අපි සතුටු වෙමු. බොහෝ වරක් විවාහ වූ සාලමොන් රජ සන්තෝෂයට එක ම මඟ විවාහය යයි සැලකුවේ නැත. ඔහු මෙසේ පැවසී ය: “ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය [විචාර බුද්ධිය NW ] ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය [සන්තෝෂ ලද්දෝ ය NW ] මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය. ඈ රතුකැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඈට සමාන කළ නොහැක. ඇගේ දකුණතෙහි දීර්ඝායුෂද ඇගේ වමතෙහි වසතුව හා ගෞරවයද ඇත. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය. ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය [සන්තෝෂ යයි පැවසිය හැකි අය වන්නහු ය NW ].”—හිතෝපදේශ 3:13-18.
23, 24. දේවල නව පිළිවෙළේ දී, යෙහෝවඃ වහන්සේගේ සියලු ම ඇදහිලිවන්ත සේවකයන් සන්තෝෂයෙන් සිටිනු ඇති බව අපට සහතික විය හැක්කේ මන්ද?
23 දිව්‍ය කැමැත්ත කිරීමෙහි සදාකාලික ප්‍රීතිය ලබන අය අතර විවාහ වූ අප ද සිටීවා. තව ද තෝරා ගැනීමෙන් හෝ තත්ත්වයන්ගේ බලපෑම නිසා තනිකඩ ව සිටින අපගේ ස්නේහවන්ත සහෝදර සහෝදරියන් ද, ඔවුන්ගේ සියලු පරීක්ෂා විඳදරාගෙන, දැනුත් සදාකාලයටත් යෙහෝවඃ වහන්සේට සේවය කිරිමේලා සන්තෝෂය සහ සෑහීම සොයාගනිත්වා. (ලූක් 18:29, 30; 2 පේතෘස් 3:11-13) දෙවියන් වහන්සේගේ පැමිණෙන දේවල පිළිවෙළේ දී, “පොත්” විවෘත වනු ඇත. (එළිදරව් 20:12) කීකරු මිනිස් සංහතියේ සන්තෝෂයට දායක වන කුතුහලය දනවන අලුත් නීති හා කොන්දේසි මේවායේ අඩංගු වනු ඇත.
24 අපගේ සම්පූර්ණ සන්තෝෂයට හේතු කරවන පුදුමාකාර යහපත් දේවල් අපගේ “සන්තෝෂවත් දෙවියන් වහන්සේ” අප උදෙසා ගබඩා කර ගෙන තිබෙන බව අපට ස්ථිර ව ම නිසැක විය හැක. (1 තිමෝති 1:11, NW) දෙවියන් වහන්සේ ‘ස්වකීය හස්තය විදහා සෑම ජීවමාන කෙනෙකුගේ ම ආශාව දිගට ම සෑහීමකට පත් කරනවා’ ඇත. (ගීතාවලිය 145:16) යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ දී සැබෑ සන්තෝෂය තිබෙන බවටත් සෑම විට ම එය තිබෙනු ඇති බවටත් පුදුම විය යුතු නැත. w92 5/15
බොහෝ තනිකඩ සහෝදරියෝ පූර්ණ කාලීන දේව සේවිකාවන් වශයෙන් සන්තෝෂයෙන් යුතුව යෙහෝවඃ වහන්සේට සේවය කරති
යෙහෝවඃ වහන්සේගේ කාරණා කටයුතුවල සේවය කිරීම සන්තෝෂය ලැබීමේ මූලික උල්පතයි
ඔබ කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත් ද?
◻ යෙහෝවඃ වහන්සේට කැපවී සිටින සේවකයන්ගේ සන්තෝෂය සඳහා මූලික පදනම වනුයේ කුමක් ද?
◻ බයිබල් කාලවල විසූ, යෙහෝවඃ වහන්සේට සතුටින් සේවය කළ අවිවාහකයන් සමහරක් කවුද?
◻ පාවුල් තනිකඩභාවය නිර්දේශ කළේ ඇයි, සමහරක් ක්‍රිස්තියානින් මෙය සන්තෝෂවත් ජීවිතයක් බවට සොයා ගෙන ඇත්තේ කෙසේ ද?
◻ සන්තෝෂය සෑමවිට ම රඳා පවතිනු ඇත්තේ කුමක් මත ද?
◻ දේවල නව පිළිවෙළේ සියලු ම ඇදහිලිවන්තයන් සන්තෝෂයෙන් සිටිනු ඇති බවට අප නිසැක විය යුත්තේ මන්ද?