“දෙවියන් වහන්සේගෙන් වූ සම්පූර්ණ යුද්ධායුධ කට්ටලය පැළඳගන්න”
ක්‍රිස්තියානින් යුද්ධායුධ පැළඳීම? ඔවුන් එවැනි යුධ බඳු උපකරණ ගත යුත්තේ ඇයි? ඔවුන් සාමයට ප්‍රේම කරන අය නොවේ ද? (2 තිමෝති 2:24) එසේ ය, ඔවුහු එවැනි අය වෙති. එසේ නමුත්, සියලු ක්‍රිස්තියානිහු යුද්ධයක නියැලී සිටිති—එනම් මැරීමට නොව, නමුත් ජය ගැනීමට ඔවුන් දැඩි ප්රයත්න දරන යුද්ධයක ය.
සාතන් කැරළි ගසා නොතිබුණා නම්, එවැනි සටනක් කිසිදා අවශ්‍ය වන්නට නොතිබිණි. එහෙත් ඔහු ඇත්තට ම කැරළි ගැසුවේ ය, තව ද තම කැරැල්ලට ඈඳා ගනු පිණිස ඔහු ආදම් සහ ඒව ව මුළා කළේ ය. එතැන් පටන් ගොඩනැඟුණු ලෝකය රැඳී පවතින්නේ “නපුරා” නම් සාතන් නමැති යක්ෂයාගේ බලය යටතේ ය. (1 යොහන් 5:19) නිසි පරමාධිපතියාණන් වන යෙහෝවඃ වහන්සේට යටත් වන අය, ලෝකයේ සහ එහි පාලකයාගේ බලපෑමට එරෙහි ව සිටිය යුතු ය. ඔවුන් තම ආත්මික ජීවිත රැක ගැනීම වෙනුවෙන් සටන් කළ යුතු ය. මෙය සාක්ෂාත් කර ගැනීම පිණිස, ක්‍රිස්තියානින් හට මෙසේ උනන්දුවෙන් අවවාද කර තිබේ: “යක්ෂයාගේ උපායවලට එරෙහි ව ස්ථිර ව සිටින්ට ඔබට හැකි වන පිණිස දෙවියන් වහන්සේගෙන් වූ සම්පූර්ණ යුද්ධායුධ කට්ටලය පැළඳ ගන්න.”—එපීස 6:11, NW.
යුද්ධායුධ කට්ටලය
අප නිසි අයුරින් ආරක්ෂා වීමට නම්, “දෙවියන් වහන්සේගෙන් වූ සම්පූර්ණ යුද්ධායුධ කට්ටලය” අවශ්‍ය බව සැලකිල්ලට ගන්න. එසේ නම්, පාවුල් විස්තර කරන පරිදි, මෙම යුද්ධායුධ කට්ටලයේ සෑම අංගයක් දෙස ම බලා, අප ආත්මික යුද්ධයේ නියැලීමට මුළුමනින් සන්නාහ සන්නද්ධ ව සිටින්නේදැයි නිශ්චය කර ගැනීමට අපි අප ගැන ම අවංක තක්සේරුවක් කර බලමු.—එපීස 6:14-17.
“එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නමැති පටියෙන් බැඳගෙන [සිටින්න].” (එපීස 6:14අ) බයිබල් කාලවල දී, සොල්දාදුවෝ, අඟල් හයක් දක්වා පළලැති හම් පටියක් ඇන්දාහ. මෙම බඳපටිය ඉඟටි පෙදෙස ආරක්ෂා කිරීමට උපකාරවත් විය. සොල්දාදුවෙක්, තමාගේ බඳ පටිය තද කර ගත් විට, ඉන් ඇඟවූයේ ඔහු යුද්ධයට යාම සඳහා සූදානම් ව සිටි බවයි.
එසේ නම්, දිව්‍ය සත්‍යය සොල්දාදුවෙකුගේ බඳ පටියට සමාන කිරීම කොතරම් උචිත ද! සත්‍යය නමැති දෙවියන් වහන්සේගේ වචනය, අප විසින් බැඳගෙන සිටින්නාක් මෙන්, එය අප ඉතා සමීපයෙන් තබා ගෙන සිටීම ගැන මින් මොනවට කියා පායි. අප දෙවියන් වහන්සේගේ වචනය පිටුපස තිබෙන චින්තන රටාව ගැඹුරු ලෙස මෙනෙහි කළ යුතු ය. බොරු සහ මුළා කිරීම් මගින් අප ව රවටනු ලැබීමෙන් මෙය අප ව ආරක්ෂා කරයි. එපමණක් ද නොව, යෙහෝවඃ වහන්සේගේ මුඛයෙන් නික්මෙන කියමන්, රුකුලක් වෙමින් අප ව ආත්මික ව ශක්තිමත් කරන අතර, අපගේ අඛණ්ඩතාවයට පිටුවහලක් වනු ඇත.
“ධර්මමිෂ්ඨකම නමැති ළයවැස්ම පැළඳගෙන [සිටීම].” (එපීස 6:24ආ) සොල්දාදුවෙකුගේ ළය වැස්ම අති වැදගත් ශාරීරික ඉන්ද්‍රියයක් ආරක්ෂා කළේ ය, එය නම් හදවතයි. එසේ නම්, දෙවියන් වහන්සේ විසින් අපට දී ඇති ආත්මික යුද්ධායුධ කට්ටලයේ තිබෙන ධර්මිෂ්ඨකම අපගේ හෘදය ආරක්ෂා කරයි. ශුද්ධ ලියවිල්ලට අනුව, හෘදය යනු අපගේ අභ්‍යන්තරය—එනම්, අපගේ හැඟීම්, සිතිවිලි, සහ ආශාවන්හි උචිත සංකේතයකි. හෘදය නපුරුකමට නැඹුරු වී තිබේ යයි ද බයිබලය පවසන හෙයින්, ධර්මිෂ්ඨකම පිළිබඳ යෙහෝවඃ වහන්සේගේ ප්රමිතීන් අල්ලාගෙන සිටීමේ අධිෂ්ඨානයක් වර්ධනය කිරීම අතිශයින් වැදගත් ය. (යෙරෙමියා 17:9) දෙවියන් වහන්සේට කීකරු වීම කුහකකමින් යුත් පිටස්තර ප්‍රදර්ශනයක් නොවිය යුතු ය; එය පැමිණිය යුත්තේ අභ්‍යන්තරයෙනි. අප විසින් ධර්මිෂ්ඨකම කෙරෙහි ප්‍රබල ප්‍රේමයක් හා නොපනත්කම උදෙසා ඒ හා සමාන ප්‍රබල වෛරයක් වර්ධනය කිරීම මින් අවශ්‍ය කරවයි. (ගීතාවලිය 45:7) මෙසේ, අපගේ හෘදයන් ආරක්ෂා වනු ඇත.
“සමාදානයේ ශුභාරංචියේ සූදානම නමැති වහන් පයලා [සිටීම].” (එපීස 6:15) ඔබගේ පාද මේ අයුරින් පැළඳී තිබේ ද? ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා ඒවා ඔබ ව නිති පතා ම ක්ෂේත්‍ර සේවය වෙත ගෙන යනවා ද? ඔබගේ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ ක්‍රියාකාරකම්වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට ඔබ දැඩි ප්රයත්න දරමින් සිටින්නෙහි ද? සමහරක් ප්‍රදේශ සාපේක්ෂ වශයෙන් ප්‍රතිචාරයක් නොදක්වන සුලු ඒවා බව සැබෑවකි. පුද්ගලයන් නොසැලකිලිමත්, උදාසීන විය හැක, එසේ නැතහොත් විරුද්ධවාදී විය හැක. අප දේශනා කිරීම නිසා අපට පීඩා පවා පැමිණෙන්නට පුළුවන. එහෙත් නොකඩවා අත්නෑර නියැලී සිටීමෙන්, සාතන්ගේ ප්‍රහාරවලට එරෙහි ව ආරක්ෂා ව සපයන ගුණාංගයක් වන විඳදරා ගැනීම ක්‍රිස්තියානිහු වැඩි දියුණු කරති. පීඩා කරනු ලැබුව ද, පාවුල් ජ්වලිතවත් දේශනාකරුවෙක් වූයේ ය, තව ද, ‘ඔහු ක්‍රිස්තුස් වහන්සේ ව අනුකරණය කරන්නෙකු වූවාක් මෙන්, අප ද ඔහු ව අනුකරණය කිරීමට’ අප හට දිරිගන්වා තිබේ.—1 කොරින්ති 11:1.
රාජ්‍යය දේශනා කිරීමේ වැඩ කටයුතුවල කඩිසර ව සිටීම, ශුභාරංචිය කෙරෙහි අප තුළ තිබෙන නිසැකකම ශක්තිමත් කරයි. එපමණක් ද නොව, යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට උන් වහන්සේගේ ආත්මය අප තුළ ක්‍රියාත්මක වීමට එය ඉඩ හරී. ඇත්තෙන් ම, එවන් ක්‍රියාකාරකම් අප ව දේව දූතයන් සමඟ—යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ පවා හවුල් වැඩකරුවන් කරවයි. (1 කොරින්ති 3:9; එළිදරව් 14:6) තව ද, ‘ස්වාමීන්ගේ වැඩය තුළ බොහෝ දේවල් කරන්නට’ තිබීමෙන්, අප ව “ස්ථිර ව, සෙලවිය නොහැකි ලෙස” තබයි. (1 කොරින්ති 15:58, NW) මෙය අපට මොනතරම් පුදුමාකාර ආරක්ෂාවක් සපයන්නේ ද!
“ඇදහිල්ල නමැති පලිහ අරගනිල්ලා,” (එපීස 6:16) පැරණි කාලවල විසූ සොල්දාදුවෙක්, විශාල පලිහක් මගින් හෙල්ල සහ ඊතලවලින් තමා ව ම ආරක්ෂා කර ගත්තේ ය. ඔහු පලිහ පාවිච්චි කරන්නට අසමත් වූවා නම්, ඔහු බරපතළ ලෙස තුවාල ලබනවා විය හැක, නැත්නම් මරණයට පත් වනවා පවා විය හැක. ක්‍රිස්තියානින් මුහුණ දෙන්නේ ඊටත් වඩා මාරාන්තික යුද්ධ අවිවලට ය, එනම් “දුෂ්ටයාගේ ගිනිමය මිසයිලවලට ය.” [NW ] අපගේ ඇදහිල්ල දුර්වල කර, අප ව ආත්මික ව මරා දැමීම පිණිස සාතන් විසින් ගෙන එන සියලු ම උපක්රමයන් මීට ඇතුළත් වෙයි. පීඩා, බොරු, මුළා කරවන සුලු ලෞකික දර්ශනවාදයන්, සිත් ඇදගන්නා ද්‍රව්‍යමය දේවල්, සහ දුරාචාරයේ නියැලීමට හටගන්නා පරීක්ෂා මීට ඇතුළත් වෙයි. මේ සියල්ලන්ගෙන් අප ව ආරක්ෂා කර ගැනීම සඳහා, විශාල පලිහක් අපට අවශ්‍ය ය. අපගෙන් කිසිදු කොටසක් ප්‍රහාරවලට ගොදුරු විය හැකි අයුරින් ආරක්ෂාකාරී ව තිබෙන්නට යන්නේ නැත.
ආබ්‍රහම් සහ ඔහුගේ භාර්යාව වූ සාරාට ශක්තිමත් ඇදහිල්ලක් තිබුණි. දරුවන් වැදීමේ වයස ඉක්මවා සිටි ඔවුහු, තමන්ට වංශයක් උපදින බවට දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව කෙරෙහි ඇදහිල්ල තැබුවෝ ය. පසු ව, තම ස්නේහවන්ත සාරා මගින් ලබා ගත් තම එක ම පුත්‍රයා වන ඊසාක් ව පූජා කරන ලෙස දෙවියන් වහන්සේ කළ ඉල්ලීමට කීකරු වූ විට ආබ්‍රහම් පෙන්වූ ඇදහිල්ල කැපී පෙනෙයි. යෙහෝවඃ වහන්සේ ආබ්‍රහම්ගේ අත නැවැත්වූ අතර, විකල්ප පූජාවක් සැපයූ සේක. එහෙත් ආබ්‍රහම් කීකරු වීමට සූදානමින් සිටියේ ය. මන්ද? මක්නිසාදයත්, තම පුත්‍රයා ව නැවත නැගිටුවන්නටත් තමා සම්බන්ධයෙන් කළ පොරොන්දු ඉටු කිරීමට යෙහෝවඃ වහන්සේට හැකි බවටත් ඔහුට සම්පූර්ණ ඇදහිල්ලක් තිබූ නිසා ය.—රෝම 4:16-21; හෙබ්‍රෙව් 11:11, 12, 17-19.
මෝසෙස්ට ද අපට අවශ්‍ය ආකාරයේ ඇදහිල්ලක් තිබිණි. දෙවියන් වහන්සේගේ සෙනඟ සමඟ දුක් පීඩා විඳීමට තෝරා ගත් ඔහු, මිසරයේ සැප සම්පත් ප්‍රතික්ෂේප කළේ ය. ඒ ඇයි? මන්දයත්, යෙහෝවඃ වහන්සේ පවතින බවටත්, ඊශ්‍රායෙල්වරුන් හට ගැලවීම උන් වහන්සේ ගෙන එනු ඇති බවටත් ඔහුට ඇදහිල්ලක් තිබූ නිසා ය. මෝසෙස්ට කොතරම් ශක්තිමත් ඇදහිල්ලක් තිබුණා ද කිවහොත්, “අදෘශ්‍යමාන තැනැන් වහන්සේ දකින්නාක් මෙන් ඔහු දිගට ම ස්ථිර ව සිටියේ ය.”—හෙබ්‍රෙව් 11:6, 24-27, NW.
යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඒ හා සැසඳිය හැකි ඇදහිල්ලක් අපට තිබෙනවා ද? අප හරියට යෙහෝවඃ වහන්සේ ව දකින තරමට උන් වහන්සේ සමඟ අපගේ සබඳතාවය එතරම් ම සමීප ද? දෙවියන් වහන්සේ සමඟ ඇති අපගේ සම්බන්ධතාවය දිගට ම පවත්වා ගෙන යාම සඳහා ඕනෑ ම පරිත්‍යාගයක් කිරීමට හෝ ඕනෑ ම දුෂ්කරතාවයක් විඳදරා ගැනීමට හෝ අපි කැමැත්තෙන් සිටින්නෙමු ද? අපට යෙහෝවඃ වහන්සේ කෙරෙහි පූර්ණ ඇදහිල්ලක් තිබෙනවා ද? (හෙබ්‍රෙව් 11:1) එය එසේ නම්, සාතන්ගේ ගිනිමය මිසයිල අපගේ ඇදහිල්ලේ පලිහ පසාරු කරගෙන යන්නේ නැත.
“ගැළවීම නමැති ආරක්ෂාතොප්පියද . . . [පැළඳ] ගනිල්ලා.” (එපීස 6:17අ) සොල්දාදුවෙකුගේ ආරක්ෂක තොප්පිය, ඔහුගේ හිස සහ ඒ මගින්, ස්නායු සම්බන්ධීකරණයේ සහ සිතිවිලිවල ඉන්ද්රිය වූ මොළය ආරක්ෂා කරලී ය. ගැලවීමේ ක්‍රිස්තියානි බලාපොරොත්තුව මනස ආරක්ෂා කරන හෙයින් එය ආරක්ෂක තොප්පියකට සමාන කොට තිබේ. ක්‍රිස්තියානියෙකුගේ මනස ඒකාන්ත දැනුම තුළින් අලුත් කරනු ලැබ තිබෙතත්, එය තවමත් අයත් වන්නේ දුර්වල සහ අසම්පූර්ණ පුද්ගලයෙකුට ය. (රෝම 7:18 12:2) මේ ලෝකයේ ස්වභාවය මගින් ජනිත කරවනු ලබන, ඇදහිල්ල විනාශ කරනු ලබන අපිරිසිදු සිතිවිලිවලින් අපගේ මනස පෝෂණය වීමට අප ඉඩ හැරියොත්, ගැලවීම කෙරෙහි අපට තිබෙන නිසැකකම මැල වී ගොස්, අවසානයේ දී එය මිය යනු ඇත. අනෙක් අතට, අපි අපගේ මනස දෙවියන් වහන්සේගේ ශක්තිය දනවන වචනවලින් නිරතුරු ව ම පෝෂණය කරන්නෙමු නම්, අපගේ බලාපොරොත්තුව දීප්තිමත් ව පැහැදිලි ව තිබෙනු ඇත. ඔබ ඔබගේ ගැලවීමේ ආරක්ෂක තොප්පිය තදින් දමා ගෙන සිටින්නෙහි ද?
“දෙවියන්වහන්සේගේ වචනය නමැති [ආත්මයේ] කඩුව.” (එපීස 6:17ආ) හොඳින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව, හොඳ ම ආරක්ෂාවයි යන කියමන ක්‍රිස්තියානි යුද්ධයේ දී සත්‍යයක් වෙයි. අප සමාදානයේ ශුභාරංචියේ වහන්වලින් සැරසී, නොඇදහිලිකාරයන් අතරට යන විට, අප නිරායුධ වී සිටින්නේ නැත. දෙවියන් වහන්සේගේ වචනය වන බයිබලය, බලවත් කඩුවක් සේ ක්‍රියා කර ආත්මික බොරු හා වැරදි අදහස් කපා ඉවතට හෙලන අතර, ආත්මික නිදහස සොයා ගැනීමට හරි හෘදයක් ඇති අයට උපකාර කරයි.—යොහන් 8:31, 32.
සාතන් යේසුස් වහන්සේ සමඟ විවාදයේ නියැලුනු අවස්ථාවේ දී, යේසුස් වහන්සේ මෙම යුධ අවියේ බලය පෙන්වූ සේක. වනාන්තරයේ දී පරීක්ෂා කරනු ලැබූ විට, දේව වචනය ප්‍රබල ලෙස යොදා ගනිමින්, “එය ලියා තිබේ” යයි පැවසීමෙන් සාතන්ගේ ප්‍රහාර තුනකට එරෙහි ව තමන් ව ම ආරක්ෂා කර ගත් සේක. (මතෙව් 4:1-11) අප මෙම කඩුව දක්ෂ ලෙස පාවිච්චි කිරීමට ඉගෙන ගන්නවා නම්, සාතන්ගේ බලය යටතේ සිටින මොළොක් ගුණැති අයට ඉන් පිටතට ඒමට උපකාර කිරීමට අපට හැකි වෙයි. එමෙන් ම, සභා වැඩිමහල්ලෝ ද, දුර්වල අයගේ ඇදහිල්ල පෙරළා දැමීමට මාන බලන පුද්ගලයන්ගෙන් රැළ ආරක්ෂා කිරීමට දේව වචනය පාවිච්චි කරති.—ක්‍රියා 20:28-30.
කඩුවකින් හරඹ කිරීමේ දක්ෂකම සොල්දාදුවෙකුට ඉබේ පැමිණෙන්නේ නැත. එය දක්ෂ ලෙස හැසිර වීමට පුහුණුව සහ දිගුකලක් පුරා කැප වී අභ්‍යාස කිරීම අවශ්‍ය වෙයි. ඒ හා සමාන ව, ආත්මික යුද්ධ කිරීමේ දී, දේව වචනය දක්ෂ ලෙස භාවිතා කරන්නන් බවට පත්වීමට, බොහෝ පාඩම් කිරීම සහ දේව සේවය තුළ නිති පතා එය ව්‍යවහාර කිරීම අවශ්‍ය කරවයි. සත්තකින් ම, අපි, ‘සත්‍යතාවයේ වචනය හරියාකාර ව හැසිරවීමට’ සමත් දක්ෂ ආත්මික අසිපත්කරුවන් වීමට අවශ්‍ය ප්රයත්නය දරමු.—2 තිමෝති 2:15.
යාච්ඤාවේ නොකඩවා පවතින්න, ස්ථිර ව සිටින්න
දෙවියන් වහන්සේ වෙත අඛණ්ඩතාවය පවත්වා ගැනීම සඳහා, අපගේ ආත්මික යුද්ධායුධ කට්ටලයේ සියලු ම කොටස් අතිශයින් වැදගත් ය. එහෙත් අප මෙම ආයුධ කට්ටලය දිගට ම පැළඳ ගෙන සිටින්නේ කෙසේ ද? බයිබලය නිති පතා පාඩම් කිරීම, ක්‍රිස්තියානි රැස්වීම්වලට කලින් සූදානම් වීම, සහ එමෙන් ම ඒවා හොඳින් සවන් දී, ක්‍රියාශීලී ලෙස ඒවාට සහභාගි වීම අපගේ යුධායුධ කට්ටලය පැළඳ ගෙන සිටීමට අප හට උපකාරවත් වෙයි. (2 තිමෝති 3:16; හෙබ්‍රෙව් 10:24, 25) නිති පතා ජ්වලිතයෙන් ක්ෂේත්‍ර සේවයේ සහභාගි වීම සමඟ කදිම ක්‍රිස්තියානි ඇසුර ද, අපගේ ප්‍රහාරාත්මක සහ අප ව ආරක්ෂා කරන්නා වූ අපගේ ආත්මික යුද්ධායුධ හොඳ තත්ත්වයේ තබා ගැනීමට අපට උදව් වනු ඇත.—හිතෝපදේශ 13:20; රෝම 15:15, 16; 1 කොරින්ති 15:33.
හරි මානසික ආකල්පයක් වර්ධනය කිරීම ද වැදගත් ය. මේ ලෝකයේ සිත් ඇදගන්නා දේවලින් අපගේ අවධානය වෙනතකට ගෙන යාමට ඉඩහැරීම අප ප්‍රතික්ෂේප කළ යුතු ය. ඒ වෙනුවට, අපි ‘සරල ඇසක්’ වර්ධනය කරමු. (මතෙව් 6:19-24) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව අනුකරණය කිරීමක් වශයෙන්, අප ධර්මිෂ්ඨකමට ප්‍රේම කොට, නොපනත්කමට වෛර කළ යුතු ය. (හෙබ්‍රෙව් 1:9) දෙවියන් වහන්සේ විසින් අපට දී තිබෙන ආත්මික යුද්ධායුධ කට්ටලය තබා ගැනීමට මේ සියල්ල ම අපට උපකාර කරයි.
ආත්මික යුද්ධායුධ කට්ටලයේ එක් එක් කොටස ගැන සාකච්ඡා කිරීමෙන් පසු, පාවුල් අවසන් කරන්නේ මෙසේ පවසමිනි: “සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවල දී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරපල්ලා. සියලු ශුද්ධවන්තයන් ගැනද . . . නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටපල්ලා.” (එපීස 6:18, 20) පක්ෂපාත සොල්දාදුවන් යුධහමුදා මූලස්ථාන සමඟ නිරතුරු ව ම සම්බන්ධකම් පවත්වන අතර, අණදීම්වලට කීකරු වෙයි. ක්‍රිස්තියානි සොල්දාදුවන් වශයෙන්, අපි ස්වකීය “ජාතික සමූහයන්ගේ උතුම් අණ දෙන්නා” වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපගේ පරමාධිපතියාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ නිරතුරු ව ම සම්බන්ධකම් පැවැත්වීම අවශ්‍ය ය. (යෙසායා 55:4, NW) මෙය කළ හැකි වන්නේ, නිකම් යුතුකමක් හැටියට කරන යාච්ඤාවෙන් නොව, නමුත් යෙහෝවඃ වහන්සේ කෙරෙහි වඩාත් සමීපතාවයක් සහ ගැඹුරු භක්තියක් පිළිබිඹු කරන්නා වූ හෘදයාංගම ආයාචනය තුළිනි. යෙහෝවඃ වහන්සේ සමඟ නිති පතා කථා කිරීමෙන් සටනේ දී අප ව දරා ගැනීමට ඉවහල් වන ශක්තිය අපි දින පතා ලබා ගන්නෙමු.
“මම ලෝකයෙන් ජයගතිමි” යයි යේසුස් වහන්සේ පැවසූ සේක. (යොහන් 16:33) අප ද ජයග්‍රාහකයන් වීම යෙහෝවඃ වහන්සේට වුවමනා ය. ප්‍රේරිත පාවුල් මරණයේ දොරටුව ළඟට පැමිණෙනවාත් සමඟ ම, ඔහු ට මෙසේ පවසන්නට හැකි විණි: “මම යහපත් යුත්ටධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි.” (2 තිමෝති 4:7) සටනේ දී අපගේ කොටස සම්බන්ධයෙන් ප්රකාශනයක් කිරීමට අපට හැකි වේවා. අපට මේ සඳහා සැබවින් ම ආශාවක් ඇත්නම්, දෙවියන් වහන්සේගෙන් වූ සම්පූර්ණ යුද්ධායුධ කට්ටලය දිගට ම පැළඳ ගෙන සිටිමින්, අපි, “යක්ෂයාගේ කූට උපායවලට එරෙහි ව ස්ථිර ව” සිටිමු.—එපීස 6:11, NW. w92 5/15