රෝගීන් හට ඇදහිල්ල උපකාරවත් වන අයුරු
බයිබලයේ වාර්තා වී තිබෙන ප්රාතිහාර්යමය සුව කිරීම් පිළිබඳ වාර්තාවන්ගෙන් අප හට සහතික ව ම කියා සිටින්නේ, දෙවියන් වහන්සේ අපගේ සුභසාධනය ගැන සැලකිලිමත් වන බවයි, තව ද සුව කිරීමට උන් වහන්සේට ඇති බලයත් ඒවායින් පෙන්වයි. මෙම ප්රාතිහාර්යමය සුව කිරීම් දෙවියන් වහන්සේට මහිමය ගෙනැවිත් බොහෝ ප්‍රීතියකට හේතු වූ නිසා, ශුද්ධාත්මය මගින් සුව කිරීමේ දීමනාව තවමත් ක්‍රියාත්මක වන්නේ ද යන ප්රශ්නය ඇසීම සාධාරණ ය.
මෙම ප්‍රශ්නයට පිළිතුර නම් නැත යන්න ය—මෙයට හේතුව සමහරුන් ව මවිතයට පත් කරවන්නට පුළුවන. පළමු සියවසේ දී කරන ලද එම ප්රාතිහාර්යමය සුව කිරීම් ඒවායේ අරමුණ ඉටුකර තිබේ. දි ඉලස්ට්‍රේටඩ් බයිබල් ඩික්ෂනරි නිවැරදි ලෙස මෙසේ සටහන් කරයි: “සුව කිරීමේ ප්රාතිහාර්යවල අරමුණ වෛද්‍යමය එකක් නොව, නමුත් ආගමික එකක් වූයේ ය.” එම ප්රාතිහාර්ය මගින් ඉටු කරන ලද ඇතැම් ආගමික අරමුණු වූයේ මොනවා ද?
එක් දෙයක් නම්, යේසුස් වහන්සේගේ සුව කිරීමේ ප්රාතිහාර්යන් උන් වහන්සේ මෙසියස් වහන්සේ වශයෙන් හඳුන්වා දීමේ අරමුණ ඉටු කළේ ය. උන් වහන්සේගේ මරණින් පසු, නව ක්‍රිස්තියානි සභාව මත දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ඇති බවට තහවුරු කිරීමට ඒවා උදව් විය. (මතෙව් 11:2-6; හෙබ්‍රෙව් 2:3, 4) තවදුරටත්, මිනිස් වර්ගයා ව සුව කිරීමට දෙවියන් වහන්සේ දී ඇති පොරොන්දුව නව ලෝකය තුළ ඉටු වන බව ඒවායින් පැහැදිලි ව නිරූපනය විණි. “තමා ලෙඩින්යයි කිසි වැසියෙක්” නොකියන “එහි වාසයකරන සෙනගගේ අයුතුකම කමාකරනු” ලබන කාලය සැබවින් ම පැමිණෙනු ඇති බවට අපගේ ඇදහිල්ල ඒවා මගින් තහවුරු වෙයි. (යෙසායා 33:24) පළමු සියවසේ මෙම අරමුණු අත්කර ගනු ලැබීමත් සමඟ ම, තවදුරටත් ප්රාතිහාර්ය අවශ්‍ය වූයේ නැත.
යේසුස් වහන්සේගේ පළමු සියවසේ ගෝලයන් ද ශාරීරික දුබලතාවයන්ගෙන් පෙලුණු බවත්, ඒවා ප්රාතිහාර්යමය ලෙස සුව කරනු නොලැබූ බවත් සැලකිල්ලට ගැනීම වටී. යේසුස් වහන්සේ මෙන් ම ප්‍රේරිතයන් විසින් කරන ලද ප්රාතිහාර්යමය සුව කිරීමේ කටයුතු සලස්නකු ලැබුවේ වැදගත් සත්‍යයන් ඉගැන්වීමට මිස, වෛද්‍යමය සේවාවක් සැපයීමට නොවන බව මෙය තවදුරටත් සාක්ෂියකි. තිමෝතිට වරින් වර ඇති වූ අසනීප තත්ත්වයන් සඳහා ප්‍රතිකාරයන් නිර්දේශ කරන විට, පාවුල් අනුමත කළේ මුද්‍රිකපානය ඖෂධීය වශයෙන් පාවිච්චි කිරීම මිස, ඇදහිල්ලෙන් සුවය නොවේ. සුව කිරීමේ ප්රාතිහාර්යන් සිදු කළා වූ පාවුල්, තමාට ‘පහර දෙමින්’ තිබුණා වූ, ‘මාංසයේ උලෙන්’ කිසිදු සහනයක් ලැබුවේ නැත.—2 කොරින්ති 12:7; 1 තිමෝති 5:23.
ප්‍රේරිතයන් මිය ගිය විට, සුව කිරීමේ දීමනාව පහ ව ගියේ ය. මෙය සිදු වනු ඇති බව ප්‍රේරිත පාවුල් ම ඇඟවී ය. ක්‍රිස්තියානි සභාව ළදරුවෙකුට සමාන කරමින් පාවුල් මෙසේ පැවසුවේ ය: “මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනා කළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.” මෙම උපහැරණයේ මූලික කරුණ වූයේ, ආත්මයේ ප්රාතිහාර්යමය දීමනාවන්, ක්‍රිස්තියානි සභාව ළදරු කාලයේ කොටසක් ව තිබූ බව ය. ඒවා “බාලයාගේ දේවල් [ගති ලක්ෂණ NW ]” විය. මෙබැවින්, ඔහු මෙසේ සඳහන් කළේ ය: “ඒවා [ප්රාතිහාර්යමය දීමනාවන්] නැතිවන්නේය.”—1 කොරින්ති 13:8-11.
අප රෝගාතුර වන විට අපට උපකාර කිරීමට ඇදහිල්ලට හැකි ද?
කෙසේ වෙතත්, ඇදහිල්ලෙන් සුව කිරීම කෙරෙහි අප රඳා පවතින්නේ නැති වුණත්, අප රෝගාතුර වන විට උපකාරය පතා දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම සැබවින් ම සුදුසු දෙයකි. එමෙන් ම, අප වෙනුවෙන් වෙනත් අය යාච්ඤා කිරීම ද නිසැක ව ම කිසිදු වරදක් නැත. එහෙත්, යාච්ඤාවන් යථාර්ථවාදී විය යුතු අතර, ඒවා දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟ විය යුතු ය. (1 යොහන් 5:14, 15) ඇදහිල්ලේ සුවය පතා යාච්ඤා කරන ලෙස බයිබලය අපට කිසි තැනකවත් නියෝග කරන්නේ නැත.a ඒ වෙනුවට, අසනීප නිසා ඇති වී තිබෙන පීඩාකාරී කාලය අතරතුර යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය අනුබලය උදෙසා අපි යාච්ඤා කරන්නෙමු.
බයිබලය මෙසේ පවසන විට, අසනීපවලින් පෙළෙන ඇදහිලිවන්තයන් කුමක් සඳහා යාච්ඤා කළ යුතු ද කියා එය පෙන්වා දෙයි: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] ඔහු ගිලන්ව ඔත්යහනේදී උසුලනසේක. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස්කරනසේක.” (ගීතාවලිය 41:3) දේව වචනය මත මෙනෙහි කිරීම, චිත්ත වේගී අසනීපවලින් දුක් විඳින අයට උපකාරවත් වනු ඇත. ගීතිකාකරු මෙසේ ලීවේ ය: “මාගේ පාද ලිස්සන්නේයයි මා කී කල, ස්වාමිනී [අහෝ යෙහෝවඃ වහන්ස NW ], ඔබගේ [ප්‍රේමනීය NW ] කරුණාව මා ඉසිලීය. මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැපදෙයි.”—ගීතාවලිය 94:18, 19; 63:6-8 ද බලන්න.
මීට අමතර ව, සෞඛ්‍යමය කාරණාවල දී, හොඳ සිහිය පවත්වා ගැනීම අපට අවශ්‍ය වන අතර, මේ ගැන බයිබලය අපට උපදෙස් දෙයි. මත් ද්‍රව්‍ය අනිසි භාවිතයේ, දුම්පානයේ, බොහෝ සෙයින් මත්පැන් බීමේ, හෝ පමණට වඩා ආහාර ගැනීමේ නියැලී අසනීප වන විට අසරණ වී ඇදහිල්ලේ සුවය සොයනවාට වඩා, බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත්වීම වඩාත් හොඳ ය. ලබා ගත හැකි ව තිබේ නම්, පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම හෝ හැකි විට සුදුසුකම් ලත් වෛද්‍යමය උපකාර සෙවීම වැනි, වැළකිය හැකි අසනීපවලින් බේරීමට නුවණින් හැසිරීම වෙනුවට යමෙකුට අසනීපයක් වැළඳුණු විට ප්රතිහාර්යක් උදෙසා යාච්ඤා කිරීම කොහෙත් ම ආදේශයක් වන්නේ නැත.
අපගේ ශාරීරික සෞඛ්‍යයට ප්‍රයෝජනදායක වන සනීපදායී මානසික ආකල්පයන් වර්ධනය කරන ලෙස ද බයිබලය අපට දිරිගන්වයි. හිතෝපදේශ පොත මෙසේ උපදෙස් දෙයි: “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය [හෘදයක් ය NW ]; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.” “තුෂ්ටිමත් [ප්‍රීතිමත් NW ] සිත [හෘදයක් NW ] හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.” (හිතෝපදේශ 14:30; 17:22) අප තුළ ශාන්ත බව සහ ප්‍රීතිය වර්ධනය කිරීම සඳහා ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කිරීමෙන්, අපගේ ශාරීරික සෞඛ්‍යයට ප්‍රයෝජනදායක බලපෑම් ඇති විය හැකි ය.—පිලිප්පි 4:6, 7.
ඇදහිල්ලෙන් සුව කිරීම ගැන කුමක් කිව හැකි ද?
ඇත්ත වශයෙන් ම, යම් පුද්ගලයෙක් තමාගේ තත්ත්වය ඉඩ දෙන තරමින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කළ ද, තවමත් අසනීප ඔහුට පහර දෙනවා විය හැකි ය. එවිට කුමක් කළ යුතු ද? සුව වීමේ බලාපොරොත්තුවෙන් ඇදහිල්ලෙන් සුව කරන්නෙකු වෙතට යාමෙන් යම් කිසි හානියක් තිබේ ද? එසේ ය, හානියක් තිබේ. වත්මන් ඇදහිල්ලෙන් සුව කරන්නන් කිසිදු ගාස්තුවකින් තොර ව එසේ කරන්නේ බොහොම කලාතුරකිනි. අනෙක, වෛද්‍යමය උපකාර ලබා ගැනීම සඳහා වැය කළ හැකි මුදල් ඇදහිල්ලෙන් සුව කරන්නෙකු හට වියදම් කිරීමෙන් සිදු වන්නේ මහත් පාඩුවක් විඳීම පමණි. ඇරත්, ජනයාගේ විශ්වාසයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා පුද්ගලයන්ට මුදල් දෙන්නේ ඇයි?
සමහරු මෙසේ තර්ක කරන්නට පුළුවන: ‘ “සුව කරන්නන්” වෙතට යන අයගෙන් සුවය ලැබෙන්නේ කුඩා ප්‍රතිශතයකට වුවත්, ඇදහිල්ලෙන් සුව කිරීමට අඩුතරමින් යම් වටිනාකමක් තිබිය යුතුයි.” එහෙත් ඇදහිල්ලෙන් සුව කරන්නන්, යමෙකු ව ඇත්තෙන් ම නිට්ටාවට සුව කරනවා ද යන්න වාද සහිත ය. එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ එකඟ වෙයි: “ඇදහිල්ලෙන් සුව කිරීම තුළ තිබෙන නොදන්නා සාධක බොහොමයක් ගැන පාලනයකින් යුතු ව ගවේෂණය කොට තිබෙන්නේ සාපේක්ෂ වශයෙන් ස්වල්ප ප්රමාණයකි.”
සුළු සංඛ්‍යාවක් සුවය ලබන බවක් පෙනෙන්නට තිබුණත්, මෙය ශුද්ධාත්මය ක්‍රියාත්මක වී තිබෙන බවට සාක්ෂියක් නොවේ. කන්ද උඩ දේශනාවේ දී, යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනී, ස්වාමිනී, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් [නොපනත් ක්‍රියා NW ] කරන්නෙනි, මා කෙරෙන් අහක්ව පලයල්ලා යයි ඔවුන්ට කියන්නෙමි.” (මතෙව් 7:22, 23) දෙවියන් වහන්සේගේ අනුමැතිය නොතිබුණ ද සමහරක් අය, ලකුණු මාර්ගයෙන් තමන් වෙතට අවධානය ඇද ගනු ඇති බව ද යේසුස් වහන්සේ වදාළ සේක: “මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.” (මතෙව් 24:24) ස්ථිර ව ම, ඔවුන්ගේ නාට්‍ය ශෛලී ඉදිරිපත් කිරීම්, නිතර මුදල් ඉල්ලා සිටීම්, සහ සිදු කරනවා යයි ඔවුන් කියා සිටින ප්රාතිහාර්යමය සුව කිරීම් සහිත ව වත්මන් ඇදහිල්ලෙන් සුව කරන්නන් ව, එම වචනවල අදාළ වීමට ඇතුළත් කළ හැක.
එවන් අය යේසුස් වහන්සේගේ අඩිපාර අනුගමනය කරන්නේ නැත. එසේ නම් ඔවුන් අනුගමනය කරන්නේ කාව ද? පාවුල් මෙසේ පවසන විට අපට ඒ ගැන ඉඟියක් දෙයි: “මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි. එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ; ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය.” (2 කොරින්ති 11:14, 15) ඇදහිල්ලෙන් සුව කරන්නන්, කරනවා යයි කියා සිටින සුව කිරීම් කරන්නේ නැත්නම්, ඔවුහු “මුළු ජනාවාස පොළොව ම රවටන්නා වන” යක්ෂයාගේ මාර්ගය අනුගමනය කරන රැවටිලිකාරයෝ ය. (එළිදරව් 12:9, NW ) නමුත්, ඔවුන් රෝගීන් සුළුතරයකට සුව කිරීම් කරනවා නම්, කුමක් ද? ඔවුන්ගේ “බලවත් ක්‍රියා” සාතන් සහ ඔහුගේ භූතයන්ගේ බලයේ බලපෑමෙන් කරනු ලබන ඒවා විය යුතු නොවේ ද? එසේ ය, සැබෑ තත්ත්වය එය විය යුතු ම ය!
නියම සුවය ලැබෙන කාලය
යේසුස් වහන්සේ සිදු කළා වූ ප්රාතිහාර්යමය සුව කිරීම් කරනු ලැබූවේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ උපකාරයෙනි. දෙවියන් වහන්සේගේ නියමිත කාලයේ දී, මිනිසාගේ සෞඛ්‍යය ගැටලු සියල්ලක් ම විසඳීමට වූ උන් වහන්සේගේ අරමුණ ඒවා මගින් නිරූපනය විණි. “ජාතීන්ගේ සුවවීම” ගැන යෙහෝවඃ වහන්සේ පොරොන්දු කරන සේක. (එළිදරව් 22:2) උන් වහන්සේ අසනීප සුව කරනවා පමණක් නොව, නමුත් මරණය ද ඉවත් කරන සේක. යේසුස් වහන්සේ පැමිණියේ, “උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස” බව යොහන් පැහැදිලි කරයි. (යොහන් 3:16) එය මොනතරම් කදිම සුව කිරීමක් වේවි ද! බයිබලයේ වාර්තා වී ඇති ඒවා මෙන් යේසුස් වහන්සේ යළිත් සුව කිරීම් සිදු කරනු ඇත, නමුත් වඩාත් විශාල පරිමාණයකින් ය. උන් වහන්සේ මළවුන් ව පවා නැවත නැගිටුවනු ඇත! (යොහන් 5:28, 29) මෙය සිදු වනු ඇත්තේ කවදා ද?
සියලු සාධකවලට අනුව, අතළඟ ම තිබෙන දෙවියන් වහන්සේගේ නව ලොව තුළ දී ය. මෙම දේවල පිළිවෙළේ දුෂ්ටකම සදහට ම ඉවත් කරනු ලැබීමෙන් පසු, හඳුන්වා දීමට නියමිත එම නව ලොව හරි හදවත් ඇති මිනිස් වර්ගයාට සැබෑ ආශීර්වාදයක් වනු ඇත. එය දුක් වේදනාවන්ගෙන් තොර ලෝකයක් වනු ඇත. “[දෙවියන් වහන්සේ] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන සේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:4) අද දින අප දකින දෙයට වඩා මොනතරම් හාත්පසින් ම වෙනසක් ද!
එමනිසා, අසනීප අවස්ථාවන්හි දී, උපකාරය පතා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න. අසනීපයෙන් සිටිය ද, සනීපයෙන් සිටිය ද, අසනීපවලින් තොර සදාකාල ජීවිතයක් ඇත්තට ම තිබෙන්නට යන ආකාරය ගැන ඉගෙන ගන්න. දෙවියන් වහන්සේගේ මෙම විශ්වාසදායක පොරොන්දුව ගැන බයිබලයේ තිබෙන බොහෝ යොමු දැක්වීම් අධ්‍යයන කිරීම මගින් ඔබගේ ඇදහිල්ල ගොඩ නගන්න. මේ සම්බන්ධ ව දෙවියන් වහන්සේගේ අරමුණ, උන් වහන්සේගේ ම කාල සටහනට අනුව, ඉටුවීමට ළඟා වෙමින් තිබෙන අයුරු ගැන ඉගෙන ගන්න. කිසි සැකයක් ඇති කර නොගන්න, මන්දයත් දේව වචනය අපට මෙසේ සහතික කරයි: “උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක [ගිලදමන සේක NW ]; ස්වාමිවූ දෙවියන්වහන්සේ [පරමාධිපති යෙහෝවඃ වහන්සේ NW ] සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක;”—යෙසායා 25:8. w92 6/1
[පාදසටහන්වල]
a යාකොබ් 5:14, 15 හි සඳහන් වචන ඇදහිල්ලෙන් සුව කිරීම සමඟ සම්බන්ධ යයි ඇතැම්හු සිතති. නමුත් පාඨ සම්බන්ධයෙන් පෙන්වන්නේ, යාකොබ් මෙහි කථා කරන්නේ ආත්මික අසනීප ගැන බවයි. (යාකොබ් 5:15ආ, 16, 19, 20) ඇදහිල්ලෙන් දුර්වල වී සිටින පුද්ගලයන් හට ඔහු උපදෙස් දෙන්නේ උපකාරය සඳහා වැඩිමහල්ලන් ව අමතන ලෙසටයි.
යේසුස් වහන්සේ සිදු කළ ප්රාතිහාර්යමය සුව කිරීම් ඒවායේ අරමුණ ඉටු කළේ ය
යේසුස් වහන්සේ යළි ප්රාතිහාර්යන් බොහෝ සෙයින් සිදු කරනවා ඇත