යෙහෝවඃ වහන්සේ ඔබ දන්නා හඳුනන කෙනෙක් ද නැතහොත් ඔබගේ මිත්‍රයා ද?
“ජෝන්, මම මගේ මිත්‍රයා ව ඔබට හඳුන්වා දෙන්න ද? මේ තමයි—මට සමාවෙන්න, කරුණාකරලා නම මොකක්ද කියලා ආයෙත් කියනව ද?”
මේ ආකාරයට සංවාදයක දී කරන වැරදි සහගත කියමනක් කවදා හෝ ඔබගේ දෙසවනට වැටී තිබේ ද? සමහර අය “මිත්‍රයා” යන වචනය වැරදි ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳ ව එය උදාහරණයකි. සැබවින් ම ඔවුන් එයින් අදහස් කරන්නේ, “දැන හඳුනාගෙන සිටීමක්” පමණි, සමහරවිට එයවත් නොවේ. පාරේ අනෙක් පැත්තේ සිටින, ස්මිත් මහතා ව දැන හඳුනා ගැනීම එක් දෙයකි; නමුත් ඔහුගේ මිතුරා වීම හාත්පසින් ම වෙනස් දෙයකි.
එක් ශබ්දකෝෂයක්, “දැන හඳුනාගත් තැනැත්තා” [“acquaintance”] යන වචනය, “යම් සමාජීය සම්බන්ධකමක් ඇති කරගෙන තිබූ පුද්ගලයෙක් නමුත් තදබල පුද්ගලික බැඳීමක් නොතිබෙන කෙනෙකු” වශයෙන් අර්ථ දක්වයි. ඉන් අඟවන්නේ, “මිතුරෙකුට වඩා අඩු හුරුපුරුදු බවක්, සමීප බවක්, ඇසුරක් තිබෙන හා අඩුවෙන් හිතවත්කමක් ඇති” කෙනෙකි යන්න ය.
අපගේ මිත්‍රයන්ගේ ජීවිත සමඟ අප ඉතා ලැදියාවෙන් යුතු ව සම්බන්ධකම් ඇති කර ගනිද්දී, අප දන්නා හඳුනන අයට සිදු වන දේවල් ගැන බොහෝ විට අප මඳ අවධානයක් දීමට හේතුව පැහැදිලි කිරීමට මෙම තදබල පුද්ගලික බැඳීමේ ඌනතාවය අපට උපකාරවත් වෙයි. අප හට ගැඹුරින් කාවැදී යන්නා වූ අපගේ මිතුරන්ගේ දුක සැප අපි බෙදා ගන්නෙමු. ඇත්තෙන් ම, ඔවුන්ගේ පුද්ගලික කාරණාවලට බාධා පමුණුවන ලෙසට අප විසින් චිත්ත වේගී ලෙස මැදිහත් වන අයුරින් නොමඟ යවනු ලැබීමෙන් අප ප්‍රවේසම් විය යුතු ය.—1 පේතෘස් 4:15.
අපගේ මිත්‍රයන් වෙත තිබෙන තදබල පුද්ගලික බැඳීම, සාමාන්‍යයෙන් අප ඔවුන් ව සතුටු කිරීමට උත්සාහ කරන්නේ ඇයි ද යන්න ගැන ද අපට පහදා දෙයි. අප දන්නා හඳුනන කෙනෙකු හට අපගේ හැසිරීම නිරස නම් හෝ වැරදි නම්, ඒ ගැන ඔහු දක්වන අකමැත්ත, පෙනෙන විදිහට අප ව වෙනස් කිරීමට එතරම් පොලඹ වන්නේ නැත. එහෙත්, ඇඳුම් පැළඳුම්වල දී වේවා, හැසිරීමේ දී හෝ ආකල්පවල දී හෝ වේවා, ඇත්තෙන් ම මිතුරෙකුට අප කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන්නට පුළුවන.
විශ්වාසය, හිතවත්කම, ගෞරවය, සහ ලැදියාව සම්බන්ධයෙන්, මිත්‍රකම, දැන හඳුනා ගෙන සිටීමට වඩා උසස් පරිමාණයක වගකීමක් ඉල්ලා සිටී. හරියට එකට ගැටගැසුවාක් සේ පවතින මිත්‍රත්වයක් පවත්වා ගැනීමට අකමැති පුද්ගලයෙකුට ඇත්තෙන් ම වුවමනා වන්නේ මිතුරෙකු වීමට නොව ඇත්තෙන් ම දැන හඳුනන කෙනෙකු වීමට පමණි. තදබල පුද්ගලික බැඳීමක් තිබීම, තම මිත්‍රත්වය අනෙක් තැනැත්තාට ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ යයි වටහා ගනිමින් එයින් හේතු කරවන මිතුරුකමේ වගකීම් ඉටු කිරීමට කිට්ටු මිතුරෝ සතුටු වෙත්.
දෙවියන් වහන්සේ සමඟ මිත්‍රත්වය
මැවුම්කරුවාණන් වශයෙන්, යෙහෝවඃ වහන්සේ මිනිස් වර්ගයාගේ ස්වර්ගීය පියාණන් වන අතර, ප්‍රේමය ලැබීමට, කීකරුකම පෙන්වනු ලැබීමට, සහ ගෞරව කරනු ලැබීමට වටින සේක. එහෙත්, මිනිසුන් විසින් මෙය කරනු ලැබීමට උන් වහන්සේට වුවමනා වන්නේ, තදබල පුද්ගලික බැඳීමක් නිසා මිස, හුදෙක් යුතුකමක් ඉටු කරන අයුරින් නොවේ. (මතෙව් 22:37) මිතුරෙකු වශයෙන් ඔවුන් විසින් ප්‍රේම කරනු ලැබීම ද උන් වහන්සේට වුවමනා ය. (ගීතාවලිය 18:1) “උන්වහන්සේ පළමුකොට අපට ප්‍රේමකළ නිසා”, එවන් මිත්‍රත්වයක් සඳහා උන් වහන්සේ ම පරිපූර්ණ අත්තිවාරමක් දමා තිබෙන සේක.—1 යොහන් 4:19.
අපගේ පළමු දෙමාපියන් වූ ආදම් සහ ඒව, යෙහෝවඃ වහන්සේ ව දැන හඳුනා ගෙන සිටියෝ ය. ප්රශ්නය වූයේ: උන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මිත්‍රත්වය ඔවුන් පිළිගනු ඇත් ද යන්නයි. ඔවුන් එසේ නොකළ බව කනගාටුවෙන් වුවද කීමට තිබේ. දෙවියන් වහන්සේගෙන් ස්වාධීන වීමට ඔවුන් තුළ තිබුණා වූ ආත්මාර්ථකාමී ලෝභකමින් ඇඟවූයේ උන් වහන්සේ කෙරෙහි ඔවුන් තුළ තදබල පුද්ගලික බැඳීමක් නොතිබුණු බවයි. උන් වහන්සේ ඉදිරිපත් කළා වූ මිත්‍රත්වයේ ආශීර්වාද පිළිගැනීමට කැමැත්තෙන් සිටි ඔවුහු, එහි වගකීම් ඉටු කිරීමට අකමැති වූහ. එය හරියට, ඔවුන්ගේ කදිම පාරාදීස නිවාසයේ සැප පහසුකම සහ ආරක්ෂාව භුක්ති විඳීමට වුවමනා වී, එහි කුලිය ගෙවීමට අකමැති වූවාක් මෙනි.
අප සියලු දෙනාට ම, සමහර අයට වෙනත් අයට වඩා යම් තරමකට, මෙම අගය නොකිරීමේ හා ස්වාධීන වීමේ උරුම කරගත් ස්වභාවය තිබේ. (උත්පත්ති 8:21) නිදසුනක් වශයෙන්, සමහරක් යෞවන අය, ස්වාධීන වීමට තිබෙන තම ස්වභාවික ආශාව, තමන්ගේ දෙමාපියන් ව අගය නොකරන සුලු අය බවට පත් කිරීමට හේතු වී තිබේ. මෙය, ජීවිතය පුරා ඔවුන් සහ ඔවුන්ගේ දෙමාපියන් අතර පැවතිය යුතු වඩාත් අනර්ඝ මිත්‍රත්වය කඩා බිඳ දැමීමට හේතු වී ඇත. කෙසේ වෙතත්, මෙය කනගාටුදායක දෙයක් වුවත්, අපගේ ස්වර්ගීය පියාණන් සමඟ තිබෙන සම්බන්ධතාවය බිඳ වැටීම, මීටත් වඩා බොහෝ සෙයින් බරපතළ එකක් වෙයි. ඇත්තෙන් ම, එය මාරාන්තික විය හැක!
මිත්‍රත්වය සඳහා අවශ්‍යතාවයන්
මිනිසුන් සමඟ හෝ වේවා දෙවියන් වහන්සේ සමඟ හෝ වේවා කිසි සම්බන්ධතාවයක්, දැඩි විශ්වාසයෙන් තොර ව, වැඩි කලක් පවත්වා ගත නොහැක. ආදි පිතෘ ආබ්‍රහම් මෙය තේරුම් ගත්තේ ය, තව ද ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි යළි යළි පූර්ණ විශ්වාසයක් තැබුවේ ඒ නිසා ය. උත්පත්ති 12:1-5 සහ 22:1-18 කියවා බලා, ඔහු යෙහෝවඃ වහන්සේට දැක්වූ දැඩි විශ්වාසයේ කැපී පෙනෙන උදාහරණ දෙකක් බලන්න. එසේ ය, “ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කෙළේය [කෙරෙහි ඇදහිල්ල තැබුවේ ය NW ], එය ධර්මමිෂ්ඨකම කොට ඔහු ගණන්ගනු ලැබුවේය.” ඔහු “දෙවියන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW ] මිත්‍රයායයි කියනු ලැබුවේ” එමනිසා ය.—යාකොබ් 2:23.
දෙවියන් වහන්සේ සමඟ තිබෙන මිත්‍රත්වය සඳහා වූ තවත් අවශ්‍යතාවයක් නම්, මෙම මිත්‍රත්වයට ඇතුළත් වන කොන්දේසි සපුරාලීමයි. යෙහෝවඃ වහන්සේට සාපේක්ෂ ව අප දරන පහත් තත්ත්වය හේතුවෙන්, තර්කානුකූල ලෙස, අප මිනිසුන් සමඟ ඇති කරගන්නා මිත්‍රත්වයන්ට ඇතුළත් වන කොන්දේසිවලට වඩා ඒවා බොහෝ සෙයින් වැඩි ය. අප මිනිස් මිතුරෙකු ව සතුටු කරන්නාක් මෙන් නොව, සමහරක් දේවල දී උන් වහන්සේ ව සතුටු කිරීමට වඩා ඒවා ඉක්මවා යයි. ඒවාට ඇතුළත් වන්නේ සියලු දේවල දී උන් වහන්සේ ව සතුටු කිරීමට වුවමනා වීම ය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා සහ උන් වහන්සේගේ කිට්ටු ම මිතුරා වන යේසුස් වහන්සේ, යෙහෝවඃ වහන්සේ ගැන මෙසේ පැවසූ විට, එය පෙන්වූ සේක: “උන්වහන්සේට ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමි.”—යොහන් 8:29.
මෙසේ, යෙහෝවඃ වහන්සේ සමඟ, එසේ නැතහොත් උන් වහන්සේගේ පුත්‍රයාණන් සමඟ තිබෙන මිත්‍රත්වය, බැඳීම් රහිත ස්වභාවයකින් ලබා ගත නොහැක; එය රැඳී පවතින්නේ, යෙහෝවඃ වහන්සේත් යේසුස් වහන්සේත් විසින් තබා ඇති අවශ්‍යතාවයන්වලට එකඟ ව ජීවත්වීමෙනි. (ගීතාවලිය 15:1-5 බලන්න.) සිය ගෝලයන් සමඟ කළ සංවාදයේ දී උන් වහන්සේ මෙය පැහැදිලි ව පෙන්වූ සේක. “මා නුඹලාට ආඥා කරන දේ නුඹලා කරනවා නම්, නුඹලා මාගේ මිත්‍රයෝය.”—යොහන් 15:14.
මිත්‍රත්වය සඳහා තිබෙන තවත් අවශ්‍යතාවයක් නම්, විවෘත සහ නොවළහා කරන අදහස් හුවමාරුවයි. තමා මිය යන දවසේ දී, යේසුස් වහන්සේ සිය ඇදහිලිවන්ත ප්‍රේරිතයන් හට මෙසේ පැවසූ සේක: “දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝය.” (යොහන් 15:15) යේසුස් වහන්සේ තම මිත්‍රයන් සමඟ තමන්ගේ අදහස් බෙදා ගත් විට, උන් වහන්සේ අනුගමනය කරමින් සිටියේ සිය පියාණන්ගේ ආදර්ශයයි, ඒ තැනැන් වහන්සේ ගැන ආමොස් 3:7 මෙසේ පවසයි: “සැබවින් [පරමාධිපති NW] ස්වාමිවූ දෙවියන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක.”
මිත්‍රයන් අතර සාමාන්‍යයෙන් සිදු වන්නේ මෙය නොවේ ද? පාරේ එහා පැත්තේ සිටින ස්මිත් මහතා සමඟ අපගේ අත්දැකීම් බෙදා ගැනීමට අපට පෙලඹීමක් ඇති නොවෙනවා විය හැක. තව ද, අපගේ හද පත්ලේ සිතිවිලි හෝ හැඟීම් ඔහුට කියන්නට අපට වුවමනා නොවන බව සහතික ය. මන්දයත්, ඔහු අප දැන හඳුනන කෙනෙකු පමණයි. එහෙත් අපගේ මිත්‍රයන් සමඟ නම්, එවන් දේවල් නොපවසා සිටිය නොහැකි තරම් ය!
දෙවියන් වහන්සේ සමඟ තිබෙන අපගේ සම්බන්ධයත් එසේමයි. අපගේ අවශ්‍යතාවයන්, අපගේ ආශාවන්, සහ අපගේ ඇතුළාන්තයෙන් ම පැමිණෙන්නා වූ සිතිවිලි හෙළි කරමින් යාච්ඤාව තුළින් උන් වහන්සේ ව අමතන්නට බලා සිටින්නට අපට බැරි තරම් ය. ඇත්ත වශයෙන් ම, අදහස් පළ වන්නේ එක් පැත්තකින් පමණක් නම්, ඉක්මනින් ම මිත්‍රත්වය මිය යනවා ඇත. එමනිසා, දෙවියන් වහන්සේ විසින් අප වෙත කථා කිරීමට ඉඩ හැරීමට ද අප කැමැත්තෙන් සිටිය යුතු ය. අප මෙය කරන්නේ, උන් වහන්සේගේ ලිඛිත වචනයට සවන් දීමෙන්, උන් වහන්සේගේ උපදෙස් මත මෙනෙහි කිරීමෙන්, සහ ඉන් පසු අපට පුළුවන් තරම් හොඳින් ඒවා අදාළ කර ගැනීම මගිනි.
යෙහෝවඃ වහන්සේගේ මිත්‍රත්වය ඔබට කොතරම් වැදගත් ද?
එම ප්‍රශ්නයට පිළිතුරු දීමට ඔබට උපකාර කිරීමට, මිනිස් මිත්‍රත්වයන්ගේ විශේෂ ආකාරයක් ගැන සලකා බලන්න. ඔබ යෞවනයෙක් නම්, සමහරවිට, විවාහයට හේතු කරවන මිත්‍රත්වයක් ගැන ඔබ උනන්දුවෙන් සිටිනවා විය හැකි ය. ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින කලත්‍රයා ව හුදෙක් දැන හඳුනා ගෙන සිටීම විවාහය සඳහා නිසි පදනමක් නොවන බව ඔබ වටහා ගන්නෙහි ය. දැන හඳුනා ගෙන සිටීම, ප්‍රථමයෙන් මිත්‍රත්වයකට හැරවිය යුතුයි. ඉන් පසු මෙම මිත්‍රත්වය දියුණු වී, හොඳින් සකස් වී, අවසානයේ දී, සන්තෝෂවත් විවාහයක් සඳහා නිසි පදනමක් සාදන්නා වූ වඩාත් කිට්ටු සම්බන්ධතාවයක් දක්වා වර්ධනය කළ හැක.
දැන්, සලකා බලන්න. මේ අන්දමේ මිත්‍රත්වයක් ගොඩ නැගීමට බොහෝ මිනිසුන් කොතරම් ප්රයත්නයක් දරනවා ද? එය පිහිටුවා ගැනීමට සහ පවත්වා ගැනීමට ඔවුන් කොතරම් කාලයක් හා මුදලක් වැය කරනවා ද? ඒ ගැන සිතමින් සිටින්නට ඔවුන් කොතරම් කාලයක් වැය කරනවා ද? මෙම සම්බන්ධතාවය වැඩි වර්ධනය කිරීමේ හෝ පවත්වා ගෙන යාමේ අරමුණින්, මොනතරම් දුරකට ඔවුන් සැලසුම් කරනවා ද, නැතහොත් සැලසුම් වෙනස් කිරීමට කැමැත්තක් දක්වනවා ද?
දැන් ඔබගෙන් ම මෙසේ අසන්න: ‘මගේ මැවුම්කරුවාණන් සමඟ මිත්‍රත්වය ගොඩ නැගීමට හෝ එසේ නැතහොත් එය වැඩි දියුණු කර එය ශක්තිමත් කරගෙන යාමට මා ගන්නා ප්රයත්නය මේ සමඟ සැසඳෙන්නේ කෙසේ ද? මෙසේ කිරීමට මා කෙතරම් කාලයක් වැය කරනවා ද? යෙහෝවඃ වහන්සේ සමඟ තිබෙන මිත්‍රත්වය මගේ සිතිවිලිවල ලැගුම් ගන්නේ කොතරම් දුරකට ද? මෙම සම්බන්ධතාවය වැඩි දියුණු කොට, එය පවත්වා ගෙන යාමේ අරමුණින් දේවල් සැලසුම් කරන්නේ, නැතහොත් සැලසුම්වල වෙනස්කම් කිරීමට කැමති වන්නේ කොතරම් ප්‍රමාණයකට ද?’
අවසානයේ දී විවාහයට තුඩු දෙන සම්බන්ධතාවය ඇතුළු සියලු ම මිනිස් සම්බන්ධතාවයන්, තමන්ගේ මැවුම්කරුවාණන් සමඟ තිබීමට අවශ්‍ය මිත්‍රත්වයට වැදගත්කමින් දෙවෙනි වන බවට සියලු ම යෞවන ක්‍රිස්තියානින් මුළුමනින් ම සාවධානයෙන් සිටිය යුතු ය. දේශනාකාරයා 12:1 හි [NW ] මෙසේ උදක් ම ඉල්ලා සිටින්නේ එබැවිනි: “දැන්, ඔබගේ යෞවන භාවයේ දී ඔබගේ උත්තරීතර මැවුම්කරුවාණන් ව සිහි කරන්න.” දෙවියන් වහන්සේගේ දේව සේවකයන් වශයෙන් ප්‍රසිද්ධියේ සේවය කරමින් බොහෝ දෙනෙක් මෙය කරමින් සිටින අතර, පූර්ණ කාලීන දේශනාකරුවන් හෙවත් පුරෝගාමින් ලෙස සේවය කරන ඔවුන්ගේ සංඛ්‍යාව වෙන කවරදාටත් වඩා එන්ට එන්ට ම වැඩිවෙමින් තිබේ.
යෙහෝවඃ වහන්සේට විරුද්ධ ව බොරු අපහාස හා චෝදනා එල්ල වන විට, අප අවට පවතින නින්දා සහගත ස්වභාවය හා අධර්මය හමුවේ මේ අය නිර්භීත ලෙස යෙහෝවඃ වහන්සේට පක්ෂ ව කථා කරති. යෙහෝවඃ වහන්සේ ස්වකීය මිත්‍රයන්ගෙන් හරි ලෙස අපේක්ෂා කළ යුත්තේ මෙය නොවේ ද? අප අපගේ මිත්‍රයන්ගෙන් අපේක්ෂා කළ යුත්තේ මෙය නොවේ ද? තව ද, අපගේ මිතුරන් ජ්වලිත ව හා අවබෝධයකින් යුතු ව එසේ කළා කියා අප දැනගන්නා විට, අපගේ හදවත් සතුටු නොවනු ඇත් ද?—හිතෝපදේශ 27:11 සසඳන්න.
එසේ ය, දෙවියන් වහන්සේ සමඟ හෝ වේවා නැතහොත් මිනිසුන් සමඟ හෝ වේවා ඇති කරගන්නා මිත්‍රත්වයන් කාලීන ව පවතින්නට නම්, ඉටු කළ යුතු වගකීම් ඒ හා මුසු ව පවතී. මෙම වගකීම් භාර ගැනීමට, හෝ දෙවියන් වහන්සේට කැප වීමක් කර, ඉන් පසු එය පවත්වා ගෙන යාමට අකමැති වන්නා වූ පුද්ගලයෙක්, ඇත්තෙන් ම යෙහෝවඃ වහන්සේ ව දැන හඳුනා ගෙන සිටිනවා විය හැකි ය. කෙසේ වෙතත්, උන් වහන්සේ ව මිත්‍රයෙක් වශයෙන් තබා ගැනීමේ ප්‍රීතීන් තවමත් ඔහුට අත්දැකීමට තිබේ. w92 6/1
ආබ්‍රහම් දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබූ බැවින් ඔහු යෙහෝවඃ වහන්සේගේ මිත්‍රයා යයි කියනු ලැබිණි