ජීවිතය දේව දීමනාවකි
නකට පැය විසිහතරක් පුරා, අපගේ හෘදය ශරීරය තුළින් අති අනර්ඝ රුධිරය පොම්ප කරයි. අප නින්දට ගිය විට, අපගේ පෙණහලු නොකඩවා ප්‍රසාරණය හා සංකෝචනය වෙයි. අප ගන්නා ආහාර වේලකින් පසු, එම ආහාර ඉබේ ම ජීරණය වේ. මේ සියල්ලක් ම දින පතා සිදුවන්නේ අපගේ පැත්තෙන් මඳ නැතහොත් කිසිදු සාවධාන වෑයමක් නොමැති ව ය. මෙතරම් පහසුවෙන් සිදුවන මෙම අභිරහස් හා විස්මයජනක ක්‍රියාවලියන්, ජීවිතය යනුවෙන් අප විසින් හඳුන්වන දීමනාවේ කොටසක් වේ. එක් අතකින් එය ආශ්චර්යයක් වශයෙන් ද හැඳින්විය හැකි දීමනාවකි.
මිනිස් පිළිසිඳ ගැනීමේ හා ඉපදීමේ ක්‍රියාවලිය ගැන සලකා බලන්න. සාමාන්‍යයෙන් සිරුර බාහිර පටක ප්‍රතික්ෂේප කළ ද, සංසේචනය වූ බීජයක් සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ විශේෂ ආකාරයකට ය. වර්ධනය වන්නා වූ කලලය ශරීරයට අයත් නොවන පටකයක් සේ ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, එය ළදරුවෙකු වශයෙන් පිටතට පැමිණීමට සූදානම් වනතෙක්, එය එම කලලය පෝෂණය කොට ආරක්ෂා කරයි. තම සිරුරට අයත් නොවන දෑ ප්‍රතික්ෂේප කිරීමේ මේ තීරණාත්මක වෙන් කොට දැක්වීම සිදු කිරීමට ගර්භාශයට හැකියාවක් නොතිබෙන්නට, මිනිස් උපත සිදුවිය නොහැකි වනු ඇත.
එසේ වුවද, භෲණය මාස හතරක් පමණක් වන විට ගර්භාශයේ සිදුවන්නා වූ වර්ධනය සිදු නොවන්නට අලුත උපන් ළදරුවෙක් සඳහා ජීවිතය කෙටි එකක් වනු ඇත. ඒ අවස්ථාවෙහි, සිය මවගේ පියයුරුවලින් පෝෂණය වීමට යථා කාලයේ දී හැකියාව ලබා දෙන්නා වූ පේශීන් ව්‍යායාමයේ යොදවන එය, එහි මාපටැඟිල්ල උරන්නට පටන් ගනී. තව ද මෙය ළදරුවාගේ උපතට බොහෝ කලකට පෙර විසඳනු ලබන ජීවිතයත් මරණයත් අතර කාරණා බොහොමය අතුරින් හුදු එකක් පමණි.
කලලයක් ගර්භාශයේ තිබෙන අතරේ දී, එහි හෘද බිත්තියේ සිදුරක් පවතී. කෙසේ වුව ද, මෙම සිදුර උපතේ දී ඉබේ ම වැසී යයි. මීට අමතර ව, භෲණය ගර්භාශයේ තිබෙන අතරතුර පෙණහැලි මඟ හැර ගමන් කරන විශාල රුධිර වාහිනියක් උපතේ දී ඉබේ ම හැකිළේ; ළදරුවා පළමු වතාවට හුස්ම ගනිත් ම රුධිරයට ඔක්සිජනීකරණය විය හැකි පරිදි දැන් එය පෙණහලුවලට ගමන් කරයි.
මේ සියල්ලක් ම හුදු ආරම්භය පමණි. ජීවිතය පුරා කදිම ආකාරයකට නිර්මාණය කරන ලද පද්ධතීන් මාලාවක් (ශ්වසන, රුධිර සංසරණ, ස්නායු, හා අන්තරාසර්ග වැනි පද්ධතීන්) මිනිස් අවබෝධය අතිශයෙන් විස්මපත් කරවන කාර්යක්ෂමතාවයකින් සිය කාර්යයන් ඉටු කරමින් සම්බන්ධීකරණය කරයි—මේ සියල්ල ම ජීවිතයේ නිත්‍ය පැවැත්ම සඳහා ය. දෙවියන් වහන්සේට යොමු දක්වමින් පුරාතන ලේඛකයෙක් මෙසේ පැවසීම පුදුමයක් නොවේ: එබැවින් “මම ඔබ ව මහ හඬින් පසසන්නෙමි, මන්දයත් ගරුබිය දනවන අයුරින් මා ව පුදුමාකාර ලෙස සාදා තිබේ. ඔබගේ ක්‍රියාවන් විස්මයජනකය. මගේ ආත්මය ඒ බව මනාව දනී. —ගීතාවලිය 139:14, NW.
පැහැදිලි ව ම, එම සිත්ගන්නා වදන් ලියූ ලේඛකයා ජීවිතය තේරුමක් නැති, පරිණාමික ඉබේ සිදුවීමක් හෝ අහම්බෙන් සිදුවූවක් යයි කල්පනා කළේ නැත. කාරණා එයාකාරයට සිදු වී තිබුණේ නම්, අපගේ ජීවිත අප පාවිච්චි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අපට කිසි බැඳීමක් හෝ වගකීමක් නොතිබෙනු ඇත. ඒ කෙසේ වෙතත්, ජීවිත ක්‍රමය පැහැදිලි ව ම නිර්මාණයක් පිළිබිඹු කරන අතර නිර්මාණය කිරීමට නම් නිර්මාතෘවරයෙක් සිටිය යුතු ය. බයිබලය එය මෙසේ ගෙනහැර දක්වයි: ඇත්ත වශයෙන් ම, “සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවූ තැනන්වහන්සේ දෙවියන්වහන්සේය.” (හෙබ්‍රෙව් 3:4) එබැවින් “යෙහෝවඃ වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගන්න. අප ව සාදා ඇත්තේ උන් වහන්සේ ය, අප විසින් ම නොවේ ය.” යන කාරණය ඒත්තු ගැනීම ඉතා වැදගත් ය. (ගීතාවලිය 100:3, NW) එසේ ය, ජීවිතය අනුග්‍රහශීලී අහඹු සිදුවීමකට වැඩි යමක් වේ —එය දෙවියන් වහන්සේගේ ම දීමනාවක් වෙයි.—ගීතාවලිය 36:9.
කාරණය මෙය වීම නිසා, ජීවිත දායකයාණන් කෙරෙහි ඇති අපගේ බැඳියාවන් මොනවා ද? උන් වහන්සේ අපෙන් අපේක්ෂා කරන්නේ අපගේ ජීවිත කෙසේ ගත කිරීම ද? මේවාත් මීට සම්බන්ධ වෙනත් ප්‍රශ්නත් මීළඟ ලිපියේ සලකා බලනු ලබනවා ඇත. w92 8/1