ජීවිතය නමැති අනර්ඝ දීමනාව අගය කිරීම
ජීවිතය—මොනතරම් අනර්ඝ වස්තුවක් ද! එය නොමැති ව අපට කිසි දෙයක් කළ නොහැක. එය අහිමි වූ විට, කිසි ම මිනිස් උපක්‍රමයකින් එය යළි ලබා දෙන්නට බැරි ය. අපගේ ජීවිතය අනතුරක පවතී නම්, එය ආරක්ෂා කර ගැනීමට සාධාරණ ව අපට කළ හැකි සෑම දෙයක් ම අපි කරන්නෙමු. ඇයි, විපතට පත් ව සිටින විට, සමහරු අති මානුෂ්‍ය උපකාරයන් පවා අයදිනවා නොවේ ද!
මුහුදේ දී බලවත් කුණාටුවකට හසු වූ නැවක් පිළිබඳ බයිබල් වාර්තාව අපගේ මතකයට නැගේ. එය බිඳී යාමට ආසන්න ව තිබිය දී, “නැව්කාරයෝ භයව, එක එකා තම තමාගේ දෙවියන්ට මොර” ගැසූහ. පසු ව, ඔවුන් සෑම දෙන ම: “අහෝ ස්වාමීන්වහන්ස [යෙහෝවඃ වහන්ස NW], . . . අප පිට විනාශයක් නොවේවා” යනුවෙන් සැබෑ දෙවියන් වහන්සේට මොරගසන්නට වූහ. “[ඔව්හු NW] නැව සැහැල්ලු කරගැනීමට එහි තිබුණු බඩු මුහුදේ දැමුවෝය” යයි ද බයිබල් වාර්තාව තවදුරටත් පවසයි.—යෝනා 1:4-6, 14; සසඳන්න ක්‍රියා 27:18, 19.
එම නාවිකයෝ තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට වෑයමක් වශයෙන් තමන් ලැදියාවෙන් හා සැලකිල්ලෙන් රැකබලා ගත් ද්‍රව්‍යමය වස්තූන් පවා පරිත්‍යාග කිරීමට සූදානමින් සිටියෝ ය. ද්‍රව්‍යමය වස්තු අපට නැවතත් ලබා ගත හැකි ය—නමුත් ජීවිතය එසේ නොවේ. තව ද සහජයෙන් ම, අප අපගේ ජීවිත ආදරයෙන් හා සැලකිල්ලෙන් රැකබලා ගන්නා බැවින්, අනතුරු දකින විට අපි තැති ගන්නෙමු. අපි අපගේ ශරීරවලට පෝෂණය, වස්ත්‍ර, හා සාත්තුව ලබා දෙන්නෙමු. රෝගාතුර ව සිටින විට අපි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නෙමු.
එනමුත්, හුදෙක් අප ස්වයංරක්ෂක සහජ නැඹුරුවාවන් අනුගමනය කරනවාට වැඩියමක් ජීවිත දායකයාණන් අපෙන් ඉල්ලා සිටින සේක. ඇරත්, ජීවිතය මිල කළ නොහැකි තෑග්ගක් වන අතර, එය පැමිණෙන්නේ මුළු මහත් විශ්වයේ වඩාත් ම වැදගත් තැනැත්තාණන්ගෙනි. එහි දායකයාණන්ටත්, දීමනාවටත් අවංක අගය කිරීමක් වශයෙන්, අප ජීවිතය ආදරයෙන් හා සැලකිල්ලෙන් රැකබලා ගත යුතු නොවේ ද? එසේ ම අන්‍යයන්ගේ ජීවිතවලටත් සැලකිල්ලක් දැක්වීම ඊට ඇතුළත් නොවන්නේ ද?
එසේ නම්, යෙහෝවඃ දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතියට දුන් ව්‍යවස්ථාවෙහි අන්‍යයන්ගේ ජීවිත හා සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සැලැස්වූ ආඥා ඇතුළත් කර තිබීම ගැන පුදුම වීමට දෙයක් නැත. (නික්මයාම 21:29; ද්විතීය කථාව 22:8) ඒ හා සමාන ව, අද දින ක්‍රිස්තියානින් ද ශරීරය ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් විය යුතු ය. උදාහරණයක් වශයෙන්, ඔබගේ නිවසේ ඔබට ළාබාල දරුවන් සිටින්නේ නම්, පබළු, ඇල්පෙනෙති හෝ මුවහත් උපකරණ වැනි දේවල් සමඟ අහිංසක ලෙස සෙල්ලම් කරන විට හෝ ඒවා ගිල දැමීමෙන් දරුවෙකුට බරපතළ හානි සිදු විය හැකි බැවින් ඒවා ඔවුන්ට ගත හැකි පරිදි ඔබ තබනවා ද? භයානක රසායනික ද්‍රව්‍ය හා බෙහෙත් දරුවන්ට ගත නොහැකි පරිදි තබනවා ද? පොළොව මත වතුර ඉහිරී ගොස් තිබේ නම්, ඉන් විය හැකි අනතුර වළක්වාලීම පිණිස එය පිස දැමීමට ඔබ ඉක්මන් වනවා ද? දෝෂ සහිත විදුලි උපකරණ වහා ම අලුත්වැඩියා කිරීමට ඔබ වගබලා ගන්නවා ද? ඔබගේ වාහනයට විධිමත් නඩත්තුවක් කරනු ලැබේ ද? ඔබ ආරක්ෂා සහිත රියදුරෙක් ද? ඔබ ජීවිතයේ වටිනාකම සැබවින් ම අගය කරන්නේ නම්, සාධාරණ පූර්වාරක්ෂක පියවරවල් ගැනීමට ඔබ පෙලඹෙනවා ඇත.
එසේ නමුත්, ඇතැමෙක් තමන්ගේ ම ජීවිතය පවා නොසලකා හැරීම කනගාටුවට කරුණකි. උදාහරණයක් වශයෙන්, දුම්පානය කිරීම සෞඛ්‍යයට හානිකර බව අද දින නොදන්නේ කවරෙක් ද? එහෙත්, මිලියන සංඛ්‍යාවක් එම පුරුද්දට වහල් වී සිටින අතර, ඔවුන් එම විෂ සහිත දුම සිරුර තුළට උරන සෑම වාරයක් පාසා ම ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිරිහීමට පත් වේ. තමන්ට ම හානි පමුණුවා ගනිමින්, තවත් අය මත් ද්‍රව්‍යත්, තවත් පිරිසක් මත්පැනුත්, අනිසි ලෙස භාවිතා කරති. ඒඩ්ස් වනාහි මෙතෙක් ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති මාරාන්තික රෝගයකි. එහෙත් කල් ඇති ව ලිංගික දුරාචාරයත්, ඇතැම් ආකාර මත් ද්‍රව්‍යවල අනිසි භාවිතයත්, රුධිර ප්රවේශනයත් මඟ හැරියේ නම්, බොහෝ දෙනෙකුට එම රෝගය වැළඳීම වළක්වා ගැනීමට ඉඩ තිබුණි. කොතරම් දුක්ඛදායක ආකාරයකට ජීවිතය කෙරෙහි අගය නොපෙන්වා තිබේ ද!—රෝම 1:26, 27; 2 කොරින්ති 7:1.
වෙනසක් කළ හැකි ය!
ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාණන් වන, යෙහෝවඃ වහන්සේ ව අගය කරන්නා වූ අයට, ජීවිතය අනර්ඝ දෙයක් හැටියට සැලකීමට බලගතු හේතු තිබේ. ජීවිතය වනාහි උන් වහන්සේගේ පරිශුද්ධ තෑග්ගකි. එබැවින් එය එසේ සැලකීමට කළ යුතු ඕනෑ ම වෙනස්කමක් කිරීමට, එබැවින් ඔවුහු සැබවින් ම කැමති වෙති. ඝානාවේ ගුරුවරයෙක් වන, ක්වාකුගේ අත්දැකීම සලකා බලන්න. කිසි සීමාවකින් තොර ව මත්පැන් පානය කළ ඔහු තම ජීවිතය විනාශ කර ගනිමින් සිටියේ ය.
ක්වාකු මතකයට නගයි: “විශේෂයෙන් මා මත් ව සිටි විට, මට ගෞරව කිරීමට මගේ භාර්යාව ව බලෙන් පෙලඹ වීමට මම වෑයම් කළා. බොහෝ විට මින් සිදු වුණේ කෝපයෙන් යුත් විවාද හා සටන් ඇති වීමයි. අධික ලෙස මත්පැන් පානයෙහි නියැලී සිටීම නිසා, මා බොහෝ විට මුදල් හිඟ තත්ත්වයක සිටි අතර මගේ පවුලේ නඩත්තුව පිණිස මුදල් ලබා දීම මම නිතර පැහැර හැරියා. මෙය මගේ බිරිඳ ව අතිශයින් කෝපයට පත් කළ බව තේරුම් ගන්ට ඔබට පුළුවන්. මා අත මුදල් නොතිබුණ හැමවිට ම (මෙය නිතර සිදු විය), මගේ පුරුද්දට රුකුල් දීමට මට හැකි ඕනෑ ම දෙයක් මම කළා. වරක් මගේ ශිෂ්‍යයන් ව පොදු විභාගයක් සඳහා ලියා පදිංචි කිරීමට ඔවුන්ගෙන් එකතු කරන ලද මුදල් පුද්ගලික ව පාවිච්චි කරන තරමට මම දුර දිග ගියා. ඒ අවස්ථාවේ දී අධික ලෙස මත්පැන් පානය කිරීමට සල්ලාල වූ මම, මත්පැන් පානය කළ මගේ සගයන්ට ද මත්පැන් මිල දී ලබා දුන්නා. අතීතයේ ක්‍රියාවන් සඳහා මා විසින් ගණන් දිය යුතු කාලය ඉක්මනින් පැමුණුනා. මගේ විද්යාලාධිපතිගේ කාලෝචිත මැදිහත්වීම සිදු නොවන්නට, මට මගේ රැකියාව අහිමි වන්නට තිබුණා.
“මගේ ජීවිතය තිබුණේ හරියට අවුල් ජාලයක් වගෙයි. මා කලකිරීමට ලක් ව සිටිය ද, මා ඉතා ඉක්මනින් ඉන් ගොඩ ආවා. අනතුරුව මගේ ජීවිතය අසාර්ථක වී ඇතැයි මට හැඟුනු නිසා, සිය දිවි හානි කර ගැනීම ගැන මා සිතන්නට පටන් ගත්තා. තවමත්, මත්පැන්වලට ඇබ්බැහි වීමෙන් මට නිදහස් වෙන්නට බැරිවුණා. එහෙත් දිනක් බීමත්කම නිසා මා මත්පැන් හලක රණ්ඩුවකට පැටලී, පිහියකින් අණිනු ලැබූ විට, මත්පැන්වලට ඇති මගේ ආදරය යම් දිනක මගේ ජීවිතය මට අහිමි කළ හැකි බව මම වේදනාවෙන් යුතු ව තේරුම් ගත්තා.
“මේ කාලය තුළ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්, බයිබලය කෙරෙහි අප තුළ උනන්දුවක් ඇති කිරීමට වෑයම් දරමින්, විටින් විට අපගේ නිවසට පැමිණෙමින් සිටියා. ඔවුන් කරදරයක් යයි අප සිතූ නිසා මගේ භාර්යාවත් මාත් නිතර ඔවුන් ව මඟ හැරියා. කෙසේ වුණත්, එක් අවස්ථාවක, මා තුළ ඇති වූ අනුකම්පාව නිසා ඔවුන්ට සවන් දීමට මම තීරණය කළා. බයිබලය පිළිබඳ ව මා කළ අධ්‍යයනය, දෙවියන් වහන්සේගේ නව පිළිවෙළේ සදාකාලයට ම ජීවත්වීමේ පුදුම සහගත අපේක්ෂාව කෙරෙහි, ඉක්මනින් ම මට හොඳ වැටහීමක් ලබා දුන්නා. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ උපකාරය ඇති ව මා බයිබලය වැඩියෙන් ඉගෙන ගත් තරමට, අපගේ ජීවිත දායකයාණන් වශයෙන් යෙහෝවඃ වහන්සේටත්, ජීවිතය පිළිබඳ උන් වහන්සේගේ දීමනාවටත් මගේ අගය කිරීම ගැඹුරු වූ අතර, බයිබලයේ උපදෙස්වල ප්‍රායෝගිකත්වය ගැන මගේ සිතට වැඩියෙන් කාවැදුණා. මෙය මගේ ජීවිතය පවිත්‍ර කර ගන්නට තවදුරටත් මා ව දිරිගැන්වූවා. මට නොකඩවා අඩියක් ගැසීමට [මත්පැන්] මෙන් ම මගේ පැරණි යහළුවන්ට එරෙහි ව සිටින්නට සිදු වූ නිසා, මෙය එතරම් පහසු දෙයක් වූයේ නැහැ. යාච්ඤා අසන තැනැන් වහන්සේ වන යෙහෝවඃ වහන්සේ, මගේ හෘදයේ අධිෂ්ඨානය දැක, මට සවන් දුන්නා.a
“මගේ භාර්යාව, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරියක් නොවූවත්, මගේ ජීවිතයේත්, අපගේ යුග දිවි සම්බන්ධතාවයේත් ඇය දකින්නා වූ මහත් පරිවර්තනය නිසා ඇය දැන් මාවත්, මගේ ආගමත් ඉතා වැදගත් කොට සලකනවා. මගේ භාර්යාවත් මාත් අතර ගැටුම්වල දී අපගේ අසල්වැසියන් මැදිහත් වෙන්නට තවදුරටත් අවශ්‍ය නැහැ. මා දැන් භුක්ති විඳින්නා වූ මනසේ සාමය මම ආදරයෙන් හා සැලකිල්ලෙන් රැක ගන්නවා. නිසැක ව ම, අපගේ ජීවිත දායකයාණන් හැටියට යෙහෝවඃ දෙවියන් වහන්සේ අගය කිරීමත්, ජීවිතයේ අනර්ඝත්වය පිළිබඳ උන් වහන්සේගේ දෘෂ්ටි කෝණය පිළිගැනීමත්, ජීවත් විය යුතු ආකාරය පිළිබඳ උන් වහන්සේගේ උපදෙස්වලට කීකරු වීමත් ජීවිතයේ එක ම ප්‍රයෝජනවත් ක්‍රමයයි.”
දෙවියන් වහන්සේගේ පිරිනැමීම වන සදාජීවනය
ක්වාකු හා සමාන, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින්, දහස් සංඛ්‍යාවකට “සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා [පෞද්ගලිකත්වය NW] පැළඳ” ගැනීමට උපකාරය ලැබා දී ඇත. (එපීස 4:24) ඔවුන් තමන්ගේ වත්මන් ජීවිතය පමණක් නොව භූමික පාරාදීසයක සදාකාලයට ම ජීවත්වීමේ බලාපොරොත්තුව ද අගය කරන්නට පටන් ගෙන තිබේ. “සේනාවල ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] . . . සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක් . . . සාදන” බැවින්, දෙවියන් වහන්සේ සාදන එම පාරාදීසයේ, කිසි භූමික වැසියෙක් කුසගින්නේ අඛණ්ඩ වේදනාවන් යළිත් අත් නොදකින බව බයිබලය පොරොන්දු කරයි.—යෙසායා 25:6.
වර්තමානයේ, ජීවිතය පුදුමාකාර තෑග්ගක් වුව ද, එය තාවකාලික එකක් පමණි. සෑම කෙනෙක් ම මරණයට මුහුණ දෙයි, මරණය කොතරම් වේදනාකාරී පහරක් ද! කෙටියෙන් ම කියතොත්, ඔබ ආදරය කරන යමෙක් ජීවතුන් අතරින් සොහොනේ නිශ්චලත්වයට අතුරුදහන්වීම දැකීම, බොහෝ සංවේගාත්මක ය. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ විසින් පාලනය කරනු ලබන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය යටතේ, “මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” යන යෙහෝවඃ වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට වෙනවා ඇත.—එළිදරව් 21:4.
එම කාලයේ දී, ජීවිතය නමැති දීමනාව ආශ්චර්යවත් ආකාරයකට උදා කරනු ලබනවා ඇත. මෙම පොළොව මතට පැමිණෙන අවසාන පීඩාවෙන් බේරී ජීවත් වන්නන්ට ජීවිතයේ පූර්ණත්වයට ඇතුල්වීමට ප්‍රස්තාව උදා වෙනවා ඇත. තව ද එවිට, නැවත නැගිටුවීමක් හෙවත්, යළි ජීවිතයට පමුණුවනු ලැබීමක් මගින්, යෙහෝවඃ දෙවියන් වහන්සේ, මරණ නින්දේ පසුවන්නන්ට ද, ස්වකීය මිල කළ නොහැකි දීමනාව යළි ලබා දෙනවා ඇත. (යොහන් 5:24, 28, 29) මින් අදහස් කරනු ඇත්තේ, මිය ගිය තමන් ප්‍රේම කළා වූ අය හා අතීතයේ විසූ දේව භයැති අය නැවත පැමිණීමයි!
මේ සියල්ලක් ම සැබෑ වීමට තරම් හොඳ වැඩි ද? නැත, මන්දයත් “දෙවියන්වහන්සේගෙන් වූ කිසි වචනයක් බල රහිත නොවන්නේය.”—ලූක් 1:37; සසඳන්න යෝබ් 42:2.
එපමණක් ද නොව, මේ සියල්ල සිදුවනු ඇති බවට යෙහෝවඃ දෙවියන් වහන්සේ ම මිනිස් වර්ගයාට සහතිකයක් ලබා දී තිබේ. ඒ කෙසේ ද? පාපයෙන් හා මරණයෙන් අප ව ගලවා ගැනීම පිණිස, උන් වහන්සේට වඩාත් ම ප්‍රේම කරන තැනැත්තාණන්, ස්වකීය ප්‍රේමනීය පුත්‍රයාණන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව පූජා කිරීම මගිනි. රෝම 8:32 හි අපට මෙසේ සහතික වෙයි: “තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ [යෙහෝවඃ දෙවියන් වහන්සේ] පුත්‍රයා ඇතුළු ව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේ ද?” මිනිස් වර්ගයා ව සදාචාර පරිහානියෙන් පවිත්‍ර කිරීම ද, සියලු ආකාර අයුක්තීන්, අපරාධ, හා ප්රචණ්ඩත්වය ඉවත් කිරීම ද මීට ඇතුළත් වනු ඇතැයි බයිබලය අපට පවසයි. (යෙසායා 11:9) යළිත් කිසිවිටෙකත් ජීවිතය නොවැදගත් යමක් ලෙස සලකනු ලබන්නේ නැත.
අසම්පූර්ණ තත්ත්වයන් යටතේ, දැන් පවා, ජීවිතයෙන් බොහෝ සතුට භුක්ති විඳිය හැක. ආහාරවල මනබඳින සුවඳ, උණුසුම් දිනයක සිසිල් සුළං රොදක පහස, මනස්කාන්ත කන්දක දසුනක්, මනහර ඉරු බැසයාමක්, ලැසි ගමනින් ගලන දොළක්, සිත් ගන්නා වර්ණයන්ගෙන් යුත් මල්, සුමිහිරි සංගීත නාදය, නැතහොත් කුරුල්ලන්ගේ ගීත යනාදියෙන් ප්‍රීතිය නොලබන්නේ කවරෙක් ද? මොහොතක් නැවතී සිතා බලන්න. සදාකාලයට ම එවන් දේවල් භුක්ති විඳීම කොයි ආකාර වනු ඇත් ද?
එසේ නම්, තමා ව ම පිනවා ගන්නා ජීවිත රටාවකින් ගෙනා හැකි, තේරුමක් නැති, යම් තාවකාලික සුඛ විහරණයන් නිසා සදාකාලයට ම ජීවත්වීමේ අනගි වරප්‍රසාදය ඉවත දැමීමේ කිසියම් අර්ථයක් තිබේ ද? (හෙබ්‍රෙව් 11:25 සසඳන්න.) ‘ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව, දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවිතය ගත කරන්න’ යයි ප්‍රඥාවන්ත ලෙස, බයිබලය අපට අවවාද කරයි. (1 පේතෘස් 4:2) දෙවියන් වහන්සේගේ වචනය වන බයිබලය ඉගෙන ගැනීමෙන් ද, ඔබ ඉගෙන ගන්නා දේවල් අනුව ක්‍රියා කිරීමෙන් ද, එසේ කරන ලෙස අපි ඔබ ව ඉතා උනන්දුවෙන් දිරිගන්වන්නෙමු, එසේ ය, අපි ඔබගෙන් උදක් ම ඉල්ලා සිටින්නෙමු. (යොහන් 13:17) මේ අයුරින්, ඔබ, යහපත්කමෙන් හා කරුණාවෙන් පූර්ණ, ඔබට සදාකාල ජීවිතය ත්‍යාග කළ හැකි දෙවියන් වන, යෙහෝවඃ වහන්සේ සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා නොඅනුමාන ය! w92 8/1
[පාදසටහන්වල]
a මත්පැන් උවදුරෙන් සුවපත්වීම, බොහෝ විට විශේෂඥ උපකාරයක් අවශ්‍ය කරවන්නා වූ භාරදූර කටයුත්තකි. මෙම විෂයට අදාළ උපකාරවත් තොරතුරු සඳහා පිබිදෙව්! නම් අපගේ සහකාර සඟරාවේ 1992 ඔක්තෝබර් 8, කලාපය බලන්න.
ඔබ ජීවිතය අගය කරන බව ඔබගේ ජීවිත රටාවෙන් පිළිබිඹු වෙයි ද?
ජීවිතයේ සතුට සදාකාලික ව භුක්ති විඳීමට දෙවියන් වහන්සේගේ නව ලෝකයේ දී අපට හැකියාව ලැබෙනු ඇත!