මම මගේ උඩඟුකම යටපත් කර සන්තෝෂය සොයා ගතිමි
වර්ෂ 1970 දී, මම වයසින් අවුරුදු 23ක් ව සිටි අතර කීර්තියට මහත් ආශාවක් ඇති ව සිටියා. ඉතාලියේ, ඉව්රෙයා හි පිහිටි මෝටර් රථ ක්‍රීඩා සමාජයක් වූ මගේ සේවා ස්ථානයේ, මම ප්‍රධාන ලිපිකාරිය බවට පත් කරනු ලැබුවා. මම යම් වැදගත් කෙනෙක් වීමට අධිෂ්ඨාන කර ගෙන සිටියා. එසේ වුව ද මම කල් ගෙව්වේ මහත් කලකිරීමකින් හා දොම්නසකිනුයි. හේතුව?
මගේ ස්වාමිපුරුෂයා ඔහුගේ මිත්‍රයන් සමඟ සමාජ ශාලාවල කාඩ් සෙල්ලම් කරමින් වැඩි කාලයක් ගත කළ අතර, පවුලේ වගකීම් බොහොමයක් ඔහු මට භාර කළා. අපගේ සම්බන්ධකම ක්‍රමයෙන් පිරිහී යාමට පටන් ගත්තා. අපි ඉතා කුඩා දේවල් ගැන පවා දබර කළා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මගේ මනස නිෂේධාත්මක සිතුවිලිවලින් පිරී යන්නට පටන් ගත්තා.
‘කිසිවෙකු ඔබ ගැන ඇත්තට ම සැලකිලිමත් වෙන්නේ නැහැ’ යයි මම මට ම කියා ගත්තා. ‘ඔවුන්ට ඕනෑ කරන්නේ ඔබගේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමටයි.’ මම මට ම මෙසේ ද කියා ගත්තා: ‘දෙවියන් ඇත්තේ නැහැ, දෙවියන් ඉන්නවා නම්, උන් වහන්සේ මෙතරම් වේදනා හා දුෂ්ටකම්වලට අවසර දෙන්නේ නැහැ. ජීවිතය මරණය කරා දිවීමේ තරඟයක් විනා අන් දෙයක් නොවෙයි.’ මෙය මෙසේ වූයේ මන්දැයි මට ම වටහා ගත නොහැකි වුණා.
වෙනසක ආරම්භය
වර්ෂ 1977 එක් දවසක, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් අපගේ දොරට තට්ටු කළා. මගේ ස්වාමිපුරුෂයා වන ගියාන්කාලෝ, ඔවුන් ව ඇතුළට ආරාධනා කළ අතර, කථා කිරීමට ඔවුන් සාලයට ඇතුල් වුණා. ඔහු ඔවුන් ව ආරාධනා කළේ, ඔවුන්වත් තමා මෙන් පරිණාමවාදීන් කරවීමට වුවත්, ඔහුගේ කල්පනාව වෙනස් කළේ ඔවුනුයි!
වැඩි කලක් ගත වෙන්නට මත්තෙන්, ගියාන්කාලෝ ද ඔහුගේ ජීවිතයේ වෙනස්කම් කරන්නට පටන් ගත්තා. ගියාන්කාලෝ වැඩි කාලයක් හා අවධානයක් මටත්, අපගේ දියණියටත් යොමු කරමින් වඩාත් ඉවසිලිවන්ත ව කටයුතු කරන්නට වුණා. තමා ඉගෙන ගනිමින් සිටි දේවල් ගැන ඔහු මට කථා කරන්නට වෑයම් කළ ද, මම කළේ සැර පරුෂ ආකාරයකට කථා කොට සාකච්ඡාව සහමුලින් ම අවසන් කර දැමීමයි.
පසු ව දවසක් සාක්ෂිකරුවෙක් පැමිණි විට, වාඩි වූ මම ඇත්තෙන් ම සවන් දුන්නා. ඔවුන් මේ දේවල පිළිවෙළේ අවසානය ගැනත්, දේව රාජ්‍යය, පාරාදීස පොළොව, හා මළවුන්ගේ නැවත නැගිටීම ගැනත් කථා කළා. මම මහත් පුදුමයට පත් වුණා! මම ඊළඟ රාත්‍රීන් තුනේ ම නිදා ගත්තේ නැහැ! මට තව තවත් තොරතුරු දැනගන්නට වුවමනා වුණා, නමුත් උඩඟුකම මගේ ස්වාමිපුරුෂයාගෙන් ප්‍රශ්න ඇසීමෙන් මා ව වැළැක්වූවා. පසු ව, දිනක් ඔහු දැඩි ලෙස මට කථා කරමින්: “අද නම් ඔබ සවන් දෙන්ට ම ඕනෑ. ඔබගේ ප්‍රශ්න සියල්ලට ම මා ළඟ පිළිතුරු තිබෙනවා” කියා පැවසුවා. අනතුරුව ඔහු බයිබල් සත්‍යයන් නොනවත්වා මට කියා දෙන්නට වුණා.
යෙහෝවඃ යන්න මැවුම්කරුවාණන්ගේ නාමය බවත්, ප්‍රේමය උන් වහන්සේගේ ප්‍රධානතම ගුණාංගය බවත්, අපට සදාකාල ජීවිතය ලැබෙන පිණිස උන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ව මිදීමේ මිලයක් හැටියට එවූ බවත්, අර්මගෙදොන් හි දුෂ්ටයන්ගේ විනාශයෙන් පසු, යේසුස් වහන්සේ මළවුන් ව තමන් වහන්සේගේ දහස් අවුරුදු පාලනය තුළ නැවත නැගිටුවනු ඇති බවත් ගියාන්කාලෝ මට කියා දුන්නා. නැවත නැගිටුවනු ලබන අය මානසික හා ශාරීරික පරිපූර්ණත්වයට වර්ධනය වී, පාරාදීස පොළොවක් මත සදාකාලයට ජීවත්වීමේ ප්‍රස්තාව ලබනු ඇති බවත් ඔහු පැවසුවා.
ඊළඟ දවසේ, පළමු වතාවට මම මගේ ස්වාමිපුරුෂයා සමඟ රාජ්‍යය ශාලාවට ගියා. පසු ව මම ඔහුට කථා කොට: “මේ අය එකිනෙකාට ප්‍රේම කරනවා. ඔවුන් ඇත්තෙන් ම සන්තෝෂයෙන් සිටින නිසා මට දිගට ම මෙහෙ එන්න ඕනෑ” යයි කිව්වා. මා දිගට ම රැස්වීම්වලට පැමිණීමට පටන් ගත් අතර, මා සමඟ බයිබල් පාඩමක් පවත්වනු ලැබුවා. මම ඉගෙන ගනිමින් සිටි දෙය ගැන මා බොහෝ සේ කල්පනා කළ අතර, මා දෙවියන් වහන්සේගේ සැබෑ සෙනඟ සොයා ගෙන ඇති බව ඉක්මනින් ඒත්තු ගත්තා. වර්ෂ 1979 ජනවාරියේ, යෙහෝවඃ වහන්සේට අපගේ කැපවීම බව්තීස්ම වීමෙන් මගේ පුරුෂයාත් මාත් සංකේතවත් කළා.
පූර්ණ-කාලීන දේව සේවය
එම වසරේ පසු කලෙක පවත්වන ලද චාරිකා එක්රැස්වීමක දී, පූර්ණ-කාලීන දේශනා ක්‍රියාකාරකම දිරිගන්වමින් කථාවක් ඉදිරිපත් කෙරුණා. එම සේවය පටන් ගැනීමට මට පෙලඹීමක් දැනුන අතර, මම යාච්ඤාවෙන් එම කාරණය යෙහෝවඃ වහන්සේට ඉදිරිපත් කළා. එහෙත් එවිට මා ගර්භිණී වූයෙන්, මගේ සැලසුම් බාධාවට ලක් වුණා. ඊළඟ අවුරුදු හතර ඇතුළත, අපට දරුවන් තිදෙනෙකු ලැබුණා. ඔවුන්ගෙන් දෙදෙනෙකුට වෙනස් අවස්ථාවන්හි දී ජීවිතයට තර්ජනය කරන්නා වූ ශාරීරික ආබාධ ඇති වුණා. ස්තුති වන්නට, ඒ සෑම අවස්ථාවේ දී ම, ඔවුන්ට සම්පූර්ණයෙන් ම සුවය ලැබුණා.
මෙවිට පූර්ණ-කාලීන සේවය සඳහා වූ මගේ සැලසුම් තවදුරටත් කිසි අයුරකින් පමා කළ නොහැකි බව මට හැඟුණා. භාර්යාවක් හා මවක් හැටියට මගේ වගකීම් කෙරෙහි හොඳ අවධානයක් යොමු කිරීමට මම මගේ බාහිර රැකියාවෙන් අස් වුණා. එක්කෙනෙකුගේ ආදායමෙන් ජීවත්වීමට මගේ ස්වාමිපුරුෂයාත් මාත් සැලසුම් කළා. මින් සිදුවුණේ අත්‍යවශ්‍ය නොවන දෑ කපා හැරීමයි. එහෙත්, දිළිඳුකමට හෝ අසරණකමට පත්වීමට කිසිවිටෙකත් අප ව අත්හැර නොදැමූ යෙහෝවඃ වහන්සේ, අපට බොහෝ සෙයින් ආශීර්වාද කළා.
වර්ෂ 1984 දී, එවකට අවුරුදු 15ක් වයස් ව සිටි, අලුත බව්තීස්ම ලත් මගේ දියණිය, පුරෝගාමි සේවිකාවක් හැටියට පූර්ණ-කාලීන සේවය පටන් ගත්තා. ඒ සමඟ ම මගේ ස්වාමිපුරුෂයා වැඩිමහල්ලෙකු වශයෙන් පත් කරනු ලැබුවා. එතකොට මම? මට තවමත් පුරෝගාමි සේවයේ නිරත නොවිය හැකි බව දැනුන නිසා, මම දේශනා කිරීමේ වැඩය සඳහා මසකට පැය 30ක් වැය කිරීමට ඉලක්කයක් තබා ගත්තා. මම එය අත්කර ගත් අතර මට ම මෙසේ කියා ගත්තා: ‘ඉතා හොඳයි! ඔබ දැන් හුඟක් වැඩ කරනවා.’
කෙසේ වුවත්, යළිත් වරක්, උඩඟුකම මගේ ගැටලුව බවට පත් වුණා. (හිතෝපදේශ 16:18) මා කොතරම් හොඳින් වැඩ කරමින් සිටියා ද කියාත්, වැඩිදුර ආත්මික ප්‍රගතියක් කිරීම මට ඕනෑ නැත කියාත් මම දිගින් දිගට සිතුවා. මගේ ආත්මිකත්වය පිරිහීමට පටන් ගත් අතර, මා අත්කර ගෙන තිබූ හොඳ ගුණාංග පවා මට අහිමි වන්නට වුණා. මට අවශ්‍ය වූ තරවටුව ලැබුණේ එවිටයි.
වර්ෂ 1985 සංචාරක අවේක්ෂකයන් දෙදෙනෙක් හා ඔවුන්ගේ භාර්යාවන්, අපගේ සභාවන්ට වරින් වර පැමිණි විට ඔවුන් අපගේ නිවසේ නැවතුණා. මෙම යටහත්පහත්, ආත්ම පරිත්‍යාගී ක්‍රිස්තියානින් ව නිරීක්ෂණය කිරීම සැබවින් ම කාරණා මෙනෙහි කිරීමට මා පෙලඹවූවා. වොච් ටවර් සමිතියේ ප්‍රකාශන භාවිතා කරමින්, යටහත්පහත්කම යන විෂය සම්බන්ධයෙන් මම ගවේෂණය කළා. යෙහෝවඃ වහන්සේ පව්කාර මනුෂ්‍යයන් වන අප සමඟ කටයුතු කිරීමේ දී පෙන්වන මහත් යටහත්පහත්කම ගැන මම කල්පනා කරන්නට වුණා. (ගීතාවලිය 18:35) මගේ සිතිවිලි රටාව වෙනස් කරන්නට තිබෙන බව මම දැනගත්තා.
තමන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වන ආකාරයට උන් වහන්සේට සේවය කරනු පිණිස යටහත්පහත්කම ඇති කර ගැනීමට මට උපකාර කරන ලෙසත්, මා සතු දීමනා උන් වහන්සේගේ මහිමය උදෙසා පාවිච්චි කිරීමට මට මඟ පෙන්වන ලෙසත් මම යෙහෝවඃ වහන්සේගෙන් අයැද සිටියා. පුරෝගාමි සේවය සඳහා අයදුම්පතක් පුරවා ඉදිරිපත් කළ මම, 1989 මාර්තු මාසයේ පටන් පූර්ණ-කාලීන දේව සේවයේ යෙදීමෙන් උන් වහන්සේට සේවය කරන්නට පටන් ගත්තා.
මා දැන් සැබවින් ම සන්තෝෂයෙන් සිටින බවත්, මගේ සන්තෝෂයට දායක වූයේ මගේ උඩඟුකම යටපත් කර ගැනීම බවත් මට කිව හැකියි. ජීවත්වීමට සැබෑ හේතුව මම සොයා ගත්තෙමි—එය නම් සැබෑ දෙවි වන, යෙහෝවඃ වහන්සේ, තමන් වහන්සේ ව සොයන්නන්ගෙන් දුරස් ව නොසිටින බව දැනගැනීමට අවශ්‍ය අයට උපකාර කිරීමයි.—වේරා බ්රැන්ඩොලීනි විසින් පවසන ලදි w92 8/1