හොඳ මිනිසුන් දුක්විඳින්නේ ඇයි?
අවුරුද්ද 1914 විය. මුළු ලෝකය ම පළමුවන ලෝක යුද්ධයට පටලැවී තිබුණි. හදිසියේ ම, සර්බියාවේ යුද්ධ සිර කඳවුරක ටයිපස් උණ හට ගත්තේ ය. එහෙත් ඒ හුදු ආරම්භය පමණි. එම භයංකර රෝගය පොදු ජනයා අතරට පැතිර යමින් හුදු මාස හයක් ඇතුළත 1,50,000ක් මරණයට පත් කළේ ය. යුද්ධ සමයේ පැවති තත්ත්වයන් හා ඉන් අනතුරුව රුසියාවේ සිදු වූ විප්ලවය මධ්‍යයේ, මිලියන තුනක් ජනයා ටයිපස් උණෙන් මිය ගියහ. මෙයට ගොදුරු වූ අය අතර හොඳ මිනිසුන් බොහෝ දෙනෙකුත්, එම හේතුවෙන් සොවින් තැවුණු ඔවුන්ගේ පවුලේ සාමාජිකයනුත් සිටින්නට ඇති බව ඔබ නිවැරදි ව නිගමනය කරනවා විය හැක.
මෙය මනුෂ්‍යයන්ට සිදුවන ඛේදවාචකයන්හි හුදු එක් උදාහරණයක් පමණයි. තමන් ප්‍රේම කරන අය රෝගවලට, අනතුරුවලට, හා අනේකාකාර ව්‍යසනයන්හි ගොදුරු බවට පත් වූ විට ඇති වන දුක සමහරවිට ඔබ ම අත්දැක තිබෙන්නට පුළුවන. ධර්මිෂ්ඨ තැනැත්තෙක් සුව කළ නොහැකි රෝගයක වේදනාවෙන් පීඩා විඳින විට, බොහෝ දුරට ඔබටත් සංවේගයක් දැනෙන්නට පුළුවන. යහපත් තැනැත්තෙක්—සමහරවිට වෙහෙස වී වැඩ කරන පවුල්කාරයෙක්—හදිසි අනතුරකින් මිය ගිය විට, ඔබ ද ඇතැම්විට මහත් සේ ශෝක වන්නට පුළුවන. සංවේගයට පත් අයගේ ශෝකය, ඔවුන් උදෙසා ඔබ තුළ ද සිත් වේදනාවක් ඇති කළ හැකි ය.
යහපත කරන්නෙක් විපාකයක් වශයෙන් දුකෙන් තොර ව ජීවත් විය යුතු යයි බොහෝ දෙනෙකුට හැඟේ. දුකෙන් පෙළීම, ඊට ගොදුරු වූ තැනැත්තා වැරදිකරන්නෙක් බවට සාක්ෂියක් යනුවෙන් පවා ඇතැමෙක් සලකති. දැනට වසර 3,600කට පමණ පෙර ජීවත් වූ, මිනිසුන් තිදෙනෙකුගේ තර්කය වූයේ මෙයයි. ඔවුහු යෝබ් නම් යහපත් මනුෂ්‍යයෙකුගේ සමකාලිකයන් වූහ. යහපත් අය දුක් විඳින්නේ මන්ද? යන ප්‍රශ්නයට අප පිළිතුරු සොයත් ම, ඔවුන්ගේ කාලයට නැවත පිය නැගීම සුදුසු ය.
යෝබ්ගේ දුක් වේදනාවන්
යෝබ්ගේ මිත්‍රයන් යයි කියා සිටි තිදෙනා ඔහු ව බැහැදැකීමට පැමිණි කල, ඔහු විස්තර කළ නොහැකි වේදනාවෙන් හා රෝගයෙන් දුක් විඳිමින් සිටියේ ය. ඔහුගේ වියෝ වූ දරුවන් දස දෙනා ගැන ද ඔහු සංවේගයෙන් සිටි අතර ඔහුට තම ද්‍රව්‍යමය සම්පත් ද අහිමි වී තිබුණි. යෝබ් ව උසස් ලෙස සැලකූ අය ඔහු ව පිළිකුල් කළෝ ය. ඔහුගේ භාර්යාව පවා ඔහුට සහය වීම අත්හැර දමා දෙවියන්ට ශාප කොට මැරෙන්නැයි ඔහුට කියා සිටියා ය.—යෝබ් 1:1–2:13; 19:13-19.
යෝබ් බැහැදැකීමට පැමිණි අය රෑ සතකුත්, දවල් සතකුත් නිහඬ ව ඔහු විඳි දුක් බලා සිටියහ. අනතුරුව ඔවුන්ගෙන් එක්කෙනෙක් ඔහුගේ අධර්මිෂ්ඨ හැසිරීම නිසා දඬුවම් ලබන්නේ යයි කියමින්, ඔහුට චෝදනා කළේ ය. එලිපස් නම් වූ මිනිසා මෙසේ පැවසී ය: “නිදොස්ව සිට විනාශවුණේ කවුද කියාත් අවංක අය සිඳිනු ලැබුවේ කොතැනද කියාත් කල්පනාකරපන්න. මා දැක තිබෙන හැටියට අධර්මිෂ්ඨකම හාලා අයුක්තිය වපුරන්නෝ ඒවාම කපා ගනිති. දෙවියන්වහන්සේගේ හුස්මට ඔව්හු විනාශවන්නෝය, උන්වහන්සේගේ උදහස නමැති සුළං පහරින් ඔව්හු පහව යන්නෝය.”—යෝබ් 4:7-9.
එසේ එලිපස් තරයේ කියා සිටියේ, යෝබ්ගේ පව් උදෙසා දෙවියන් වහන්සේ ඔහුට දඬුවම් කරමින් සිටි බවයි. ව්‍යසනයන් වනාහි, අධර්මිෂ්ඨකම් කරන අයට දඬුවම් කිරීමට දෙවියන් වහන්සේ කරන ක්‍රියාවන් බව, අද දිනත්, ඇතැමෙක් තර්ක කරත්. එහෙත් අධර්මිෂ්ඨ ක්‍රියා කිරීම හේතුවෙන් යෙහෝවඃ වහන්සේ යෝබ්ට දඬුවම් කරමින් සිටියා නොවේ. අප මෙය දන්නේ, පසු ව දෙවියන් වහන්සේ එලිපස් අමතා මෙසේ පැවසූ නිසා ය: “මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ.”—යෝබ් 42:7.
දෙවියන් වහන්සේට දොස් තැබිය නොහැක
අද දවසේ, මිලියන සංඛ්‍යාත අය—නිසැක ව ම, යහපත් අය බොහෝ දෙනෙක් ද ඇතුළු ව—මහත් දිළිඳුබවේ ප්‍රහාරයට ලක් ව ඇති අතර හාමතේ අද්දරෙහි සිටිති. දැඩි තික්ත බවකට පත් වන ඇතැමෙක් සිය දුක් වේදනාවලට දෙවියන් වහන්සේට දොස් පවරති. එහෙත් සාගතය සඳහා උන් වහන්සේට දොස් තැබිය නොහැක. ඇත්ත වශයෙන් ම, මිනිස් වර්ගයාට ආහාර සපයන තැනැන් වහන්සේ උන් වහන්සේ ය.—ගීතාවලිය 65:9.
ආත්මාර්ථය, ගිජුකම හා මිනිසා හා බැඳි වෙනත් සාධක හේතු කොට ගෙන සාගින්නෙන් පෙළෙන්නන්ට ආහාර සැපයීම වැළකෙනවා විය හැක. යුද්ධ කිරීම, සාගතය ඇති වීමට එක් හේතුවකි. උදාහරණයක් හැටියට, ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා මෙසේ පවසයි: “ගොවීන් බොහෝ දෙනෙක් තමන්ගේ කුඹුරු අත්හැර යුද්ධ සේනාවන්ට බැඳෙනවා නම්, යුද්ධයේ ප්‍රතිඵලය සාගතය විය හැකි ය. ඇතැම් අවස්ථාවන්හි, යටත්වීමට සතුරන්ට බල කරනු පිණිස, හමුදාවක් වුවමනාවෙන් ම සාගතයක් ඇති කරවා ඇත. හමුදාව ගබඩා කරන ලද ආහාර හා වැඩෙන භෝග විනාශ කර, සතුරාගේ ආහාර සැපයුම කපා හැරීමට මාර්ග බාධක ඇති කරවයි. නයිජීරියානු සිවිල් යුද්ධයේ දී (1967-70) බියාෆ්‍රා ප්‍රදේශයට ආහාර තොග ළඟා වීම එවන් මාර්ග බාධක මගින් වළක්වනු ලැබිණි. මේ හේතුවෙන් සාගතයක් ඇති වූ අතර, බියාෆ්‍රා ජාතිකයන් මිලියනයකට වැඩි පිරිසක් හාමතෙන් පෙළුණි.”
විශේෂයෙන් ම ඇතැම් අය දෙවියන් වහන්සේට දොස් නැඟුවේ, IIවන ලෝක යුද්ධයේ දී, යහපත් අය බොහෝ දෙනෙක් දුක් විඳ මිය ගිය විට ය. එහෙත්, එකිනෙකාට වෛර කිරීමෙන් හා එකිනෙකා සමඟ යුද්ධ කිරීමෙන් මනුෂ්‍යයෝ දෙවියන් වහන්සේගේ නීතිය කඩ කරති. “සියලු ආඥාවලින් කොයි එක ප්‍රධානදැයි” යේසුස් වහන්සේගෙන් විමසන ලද විට, උන් වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේ ය: “අහෝ ඉශ්රායෙල්, අසාපන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය. [යෙහෝවඃ වහන්සේ ය. NW] උන්වහන්සේ එකම (දෙවියන්වහන්සේය.) [යෙහෝවඃ වහන්සේ ය. NW] නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්රේමකරපන්න යන එකය. දෙවෙනි එක නම්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්රේමකරපන්න යනුය. මේවාට වඩා උතුම්වූ අන්කිසි ආඥාවක් නැත.”—මාර්ක් 12:28-31.
මහා පරිමාණයේ ඝාතන කිරීමෙන් මිනිසුන් දෙවියන් වහන්සේගේ නීතිය කඩ කරන විට, එහි ප්‍රතිඵලයක් වශයෙන් දුක් වේදනා ඇති වේ නම්, උන් වහන්සේට දොස් තැබීමට කිසිවෙකුට හැකි ද? ඔවුනොවුන් අතර අඬ දබර කර නොගන්නා ලෙස යම් මව්පියෙක් තම දරුවන් හට පවසා තිබිය දී, ඔවුන් ඔහුගේ යහපත් උපදේශය නොසලකා හැර, ඔවුන්ට යම් තුවාල සිදු වී වේදනා විඳින විට ඒ ගැන වගකිව යුත්තේ ඔහු ද? ජනයා දිව්‍ය නීති නොසලකා හරින විට, ඔවුන් විඳින දුකට දෙවියන් වහන්සේ වගකිව යුතු නොවන්නාක් මෙන් ම මව්පියා ද ඊට වගකිව යුතු නොවේ.
යෙහෝවඃ වහන්සේගේ නීතිය නොසලකා ක්‍රියා කරන විට දුක් වේදනා ඇති විය හැකි වුවත්, සාමාන්‍යයෙන් සිදු වන ව්‍යසනයන් දුෂ්ටයන්ට දඬුවම් කිරීමට වූ දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් බව බයිබලය අඟවන්නේ නැත. පළමු මිනිස් යුවළ පව් කළ අවස්ථාවෙහි, ඔවුහු උන් වහන්සේගේ සුවිශේෂ ආශීර්වාදය හා රැකවරණය අහිමි කර ගත්හ. යෙහෝවඃ වහන්සේගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට වූ දිව්‍ය මැදිහත්වීමේ සිද්ධීන් හැරුණු කොට, එදිනෙදා මනුෂ්‍යයාට සිදු වී ඇති දෙය, මෙම ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තිය මගින් පාලනය වී තිබේ: “දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.”—දේශනාකාරයා 9:11.
හොඳ හා නරක යන දෙපාර්ශ්වය ම දුක් විඳිති
ඇත්ත වශයෙන් ම, උරුම වූ පාපය හා අසම්පූර්ණකම නිසා හොඳ හා නරක යන දෙපාර්ශ්වය ම දුක් විඳිති. (රෝම 5:12) උදාහරණයක් වශයෙන්, ධර්මිෂ්ඨ හා දුෂ්ට අය එක සමාන ව වේදනාකාරී රෝග අත්දකිති. ඇදහිලිවන්ත ක්‍රිස්තියානියෙක් වූ තිමෝති “නොයෙක්විට පැමිණෙන . . . දුර්වලකම්වලින් [අසනීපවලින් NW]” වේදනා වින්දේ ය. (1 තිමෝති 5:23) ප්‍රේරිත පාවුල් තමාගේ ම ‘මාංසයේ උලක්’ ගැන සඳහන් කළ විට, ඔහු යම් ශාරීරික ලෙඩක් ගැන අඟවමින් සිටියා විය හැකි ය. (2 කොරින්ති 12:7-9) දෙවියන් වහන්සේ ස්වකීය පක්ෂපාත සේවකයන් සම්බන්ධයෙන් පවා, උරුම කර ගත් දුර්වලතාවයන් හෝ රෝගවලට ගොදුරු වීමට දක්වන නැඹුරුවාව ඉවත් කරන්නේ නැත.
ඇතැම් අවස්ථාවල දී, භක්තිමත් ජනයා පවා, හොඳ විනිශ්චය යොදා නොගැනීම හෝ ශුද්ධ ලියවිලිමය උපදෙස් අදාළ කර නොගැනීම නිසා ද දුක් විඳින්නට පුළුවන. මෙය විස්තර කරතොත්: දෙවියන් වහන්සේට අකීකරු වී නොඇදහිලිකරුවෙකු සමඟ විවාහ වන කෙනෙක්, තමාට වළක්වා ගත හැකි ව තිබූ විවාහ ගැටලුවලින් දුක් විඳින්නට පුළුවන. (ද්වීතිය කථාව 7:3, 4; 1 කොරින්ති 7:39) ක්‍රිස්තියානියෙක් සමබර ආහාරයක් නොගෙන, අවශ්‍ය තරම් විවේකයක් නොලබන්නේ නම්, ඔහු සිය සෞඛ්‍යයට හානි කර ගැනීම නිසා දුක් විඳින්නට පුළුවන.
අප දුර්වලකමට ගොදුරු වී, වැරදි හැසිරීමේ යෙදෙන්නේ නම්, චිත්තවේගී දුක් වේදනා විපාක විය හැකි ය. දාවිත් බැත් ෂෙබා සමඟ කළ කාමමිථ්‍යාචාරය, ඔහුට මහත් දුක් වේදනා ගෙනාවේ ය. (ගීතාවලිය 51) කළ වැරැද්ද සඟවා ගැනීමට වෑයම් කළ කල්හි ඔහු අධික ලෙස දුක් වින්දේ ය. “මා නිශ්ශබ්දව සිටි කල, දවස මුළුල්ලේ හඬා මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂයවිය. . . . මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය” යයි ඔහු පැවසී ය. (ගීතාවලිය 32:3, 4) නියඟයක දී හෝ ග්රීෂ්මයේ වියළි තාපයේ දී ගසකට ජීවන දායක තෙතමනය අහිමි වන්නා සේ, දාවිත් තම වරදින් දැඩි සංවේගයට පත්වීම නිසා, ඔහුගේ ශක්තිය හීන විය. පෙනෙන හැටියට ඔහු මානසික හා කායික යන දෙයාකාරයෙන් ම දුක් වින්දේ ය. එහෙත් පසුතැවිලි වී පාපෝච්චාරණය කිරීමෙන් හා දෙවියන් වහන්සේගේ කමාව ලැබීමෙන් එවන් දුක් විඳීම්වලට සහනයක් ලැබිය හැකි බව ගීතාවලිය 32 පෙන්වයි.—හිතෝපදේශ 28:13.
නරක මිනිසුන් බොහෝ විට දුක් විඳින්නේ, දිව්‍ය දඬුවමක් වශයෙන් නොව, සල්ලාල ක්‍රියා මඟක හඹා යාම නිසා ය. මහා හෙරෝද් රෝගාතුර වූයේ නපුරු පුරුදු නිසා ය. ඔහුගේ අන්තිම දවස්වල දී, හෙරෝද් “දරුණු පීඩා වින්දේ” යයි යුදෙව් ඉතිහාසඥයෙක් වන ජොසේෆස් පවසයි. “ඔහුට තමා ව කසා ගැනීමට දරුණු ආශාවක් ඇති විය. ඔහුගේ බඩවැල් වණ සහිත වූ අතර ඔහුගේ රහස් අංග කුණුවීමටත් පණුවන් ඇති වීමටත් ලක් ව තිබුණි. තමාගේ හුස්ම ගැනීමේ අපහසුව හා ශරීරය වේගවත් ව ගැස්සීම නිසා කුලීරෝʹආ හි පිහිටි උණුසුම් දිය උල්පත්වලින් යම් සහනයක් ලබා ගැනීමට ඔහු අසාර්ථක වෑයමක් දැරී ය. . . . මේ වන විට හෙරෝද් කොතරම් දරුණු ලෙස වේදනා වින්දේ ද කියතොත් ඔහු තමාට ම පිහියෙන් ඇණ ගැනීමට තැත් කළේ ය. නමුත් ඔහුගේ ඥාති සහෝදරයෙකු විසින් එය වළක්වන ලදි.”—පොල් එල්. මාආර් විසින් පරිවර්තනය කර සංස්කරණය කරන ලද, ජොසේෆස්: දි එසෙන්ෂල් රයිටිංස්.
දෙවියන් වහන්සේගේ නීතියට අවනත වීම ලිංගික ව බෝවෙන රෝග වැනි දෑවලින් යම් ආරක්ෂාවක් ලබා දෙයි. එහෙත්, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සොයන්නා වූ යහපත් අයට පමණ ඉක්මවා දුක් විඳින්නට සිදු වනුයේ මන්ද?
ධාර්මික මිනිසුන් දුක් වීදීමට හේතුව
ධාර්මික මිනිසුන් දුක් විඳීමට එක් මූලික හේතුවක් වනුයේ ඔවුන් ධර්මිෂ්ඨ වීම ය. කුල දෙටු යාකොබ්ගේ පුත් යෝසෙප් සම්බන්ධ සිද්ධියෙන් මෙය පැහැදිලි වේ. තමා සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්නැයි පෝතිඵර්ගේ භාර්යාව නොකඩවා යෝසෙප්ගෙන් ඉල්ලා සිටිය ද, ඔහු ඇසුවේ: “මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්ද?” යනුවෙනි. (උත්පත්ති 39:9) මෙය අයුක්ති සහගත වූ සිරගත කිරීමකට හේතු වූ අතර, යෝසෙප් ඍජු ව සිටි නිසා දුක් වේදනා වින්ඳේ ය.
එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය ඇදහිලිවන්ත සේවකයන්ට දුක් විඳින්නට ඉඩ හරින්නේ මන්ද? මේ සඳහා පිළිතුර කැරලිකාර දේව දූතයෙක් වන සාතන් නම් යක්ෂයා විසින් නගන ලද ප්‍රශ්නයක ගැබ් ව තිබේ. මෙම ප්රශ්නය දෙවියන් වහන්සේ කෙරෙහි වූ අඛණ්ඩතාවයට හා සම්බන්ධ වෙයි. අප ඒ බව දන්නේ කෙසේ ද? මන්දයත් කලින් සඳහන් කළ ධර්මිෂ්ඨ මිනිසා වූ යෝබ් සම්බන්ධ සිද්ධියෙන් මෙය පෙන්වනු ලැබූ නිසා ය.
ස්වර්ගයේ පැවති දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ රැස්වීමක දී, යෙහෝවඃ වහන්සේ සාතන්ගෙන් මෙසේ ඇසූ සේක: “නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහුමෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැත.” මනුෂ්‍යයන් පරීක්ෂාව යටතේ යෙහෝවඃ වහන්සේට අඛණ්ඩතාවය පවත්වනු ඇද්ද පිළිබඳ තර්කයක් තිබූ බව මෙයට යක්ෂයා දුන් පිළිතුරෙන් තහවුරු කරයි. යෝබ් දෙවියන් වහන්සේට සේවය කළේ, ප්‍රේමයෙන් වූ පෙලඹීමකින් නොව, ඔහු භුක්ති විඳි ද්‍රව්‍යමය සැප සම්පත් නිසා යයි සාතන් තරයේ කියා සිටියේ ය. අනතුරුව සාතන් මෙසේ පැවසුවේ ය: “ඔබගේ අත දිගුකර [යෝබ්ට] ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇත.” මෙයට යෙහෝවඃ වහන්සේගේ පිළිතුර වූයේ මෙයයි: “බලව, ඔහුට ඇති සියල්ල නුඹේ අත යටතේය; නුමුත් ඔහුට විරුද්ධව නම් නුඹේ අත දිගු නොකරන්න.”—යෝබ් 1:6-12.
සාතන් කළ සියල්ල හමුවේ, ධර්මිෂ්ඨ ක්‍රියා මාර්ගයක් පවත්වාගත් යෝබ්, තමා යෙහෝවඃ වහන්සේට සේවය කළේ ප්‍රේමයෙන් වූ පෙලඹීමෙන් බව ඔප්පු කළේ ය. ඇත්ත වශයෙන් ම, තමාට චෝදනා කළ අයට යෝබ් මෙසේ පැවසී ය: “මිනිසුනි, ඔබ ධර්මිෂ්ඨ යයි මා ප්‍රකාශ කළ යුතු බව මගේ පැත්තෙන් සිතීමට බැරි තරම් ය! මා නසින තුරු මගේ අඛණ්ඩතාවය මම මගෙන් ඉවත නොදමන්නෙමි!” (යෝබ් 27:5, NW) එසේ ය, එවන් අඛණ්ඩතාවයක් පවත්වන්නන්, ධර්මිෂ්ඨකම උදෙසා දුක් විඳින්නට ද සැමකල්හි ම කැමැත්තෙන් සිට තිබේ. (1 පේතෘස් 4:14-16) දෙවියන් වහන්සේට නොසැලෙන ප්‍රේමයක් ඇති ව සිටීමෙන්, උන් වහන්සේට ගෞරව කිරීමටත්, යෙහෝවඃ වහන්සේගෙන් සියලු මනුෂ්‍යයන් ව තමාට හරවා ගත හැකි බවට වූ සාතන්ගේ ප්‍රකාශය බොරු බව ඔප්පු කිරීමටත් ධර්මිෂ්ඨ ජීවිත ගත කළ අය බොහෝ දෙනෙකු පිළිබඳ ව බයිබලය පවසයි. දෙවියන් වහන්සේ කෙරෙහි අඛණ්ඩතාවය පැවැත්වීම නිසා දුක් විඳින සෑම කෙනෙකුට ම, තමා යක්ෂයා ව බොරුකාරයෙකු බවට ඔප්පු කරමින් යෙහෝවඃ වහන්සේගේ හෘදය ප්‍රීතිමත් කරන නිසා සතුටු විය හැකි ය.—හිතෝපදේශ 27:11.
දෙවියන් වහන්සේ ස්වකීය ඇදහිලිවන්ත සේවකයන්ගේ දුක් වේදනා පිළිබඳ ව නොසැලකිලිමත් ව සිටිනවා නොවේ. ගීතිකාකාර දාවිත් පැවසුවේ මෙසේ ය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] වැටෙන සියල්ලන්ට ආධාරසේක, නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක.” (ගීතාවලිය 145:14) යෙහෝවඃ වහන්සේට කැප වී සිටින්නන්, උන් වහන්සේගේ සෙනඟ වශයෙන් තම ජීවිතයේ අත්දකින්නා වූ දුක් වේදනා හා පීඩාවන් දරා ගැනීමට අවශ්‍ය තරම් පුද්ගලික ශක්තියක් ඇතුව නොසිටිනවා විය හැකි ය. එහෙත් දෙවියන් වහන්සේ ඔවුන් ව ශක්තිමත් කර, උසුලා දරා, ඔවුන්ගේ පරීක්ෂාවන් සියල්ල විඳදරා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ඔවුන්ට දානය කරන සේක. (ගීතාවලිය 121:1-3; යාකොබ් 1:5, 6) පීඩා කරන්නන් යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත සේවකයන්ගෙන් සමහරෙකු ව මරණයට පත් කළත්, දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද මරණයෙන් නැවත නැගිටීමේ බලාපොරොත්තුව ඔවුන්ට තිබේ. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) එතරම් ප්‍රමාණයකට පවා, තමන්ට ප්‍රේමකරන්නන් විසින් අත්දකිනු ලබන ඕනෑ ම දුක් වේදනාවක බලපෑම් අවලංගු කිරීමට දෙවියන් වහන්සේට හැකි ය. යෝබ්ගේ දුක් වේදනාවන් නිමාවකට පත් කළ උන් වහන්සේ, ඍජු ලෙස ක්‍රියා කළ ඒ මිනිසාට බහුල ලෙස ආශීර්වාද කළ සේක. එසේ ම අපගේ කාලයේ පවා, යෙහෝවඃ වහන්සේ ස්වකීය සෙනඟ අත් නොහරිනු ඇති බව අපට නිසැක විය හැකි ය.—යෝබ් 42:12-16; ගීතාවලිය 94:14.
ළඟ දී ම—දුක් වේදනා තවත් නැත!
මෙසේ, සෑම කෙනෙක් ම මෙම දුෂ්ට පිළිවෙළ තුළ තමන් උරුම කර ගත් අසම්පූර්ණත්වයත්, ජීවිතයත් නිසා දුක් වේදනා අත්දකිමින් සිටිති. භක්තිමත් අයට පවා යෙහෝවඃ වහන්සේට වූ අඛණ්ඩතාවය නිසා දුක් වේදනා විඳීම අපේක්ෂා කළ හැකි ය. (2 තිමෝති 3:12) එහෙත් දෙවියන් වහන්සේ ඉක්මනින් ම කඳුළු, මරණය, වැලපීම, හැඬීම හා වේදනාවන් යනාදියට නිමාවක් ගෙනෙන බැවින්, ඔවුන්ට සතුටු විය හැකි ය. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත යොහන් ලීවේ මෙසේ ය:
“අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය. තවද තමාගේ පුරුෂයාට සරසනලද මණමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි. තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමගය, උන්වහන්සේ ඔවුන් සමග වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනග වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන සේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය. සිංහාසනය පිට වැඩහුන් තැනන්වහන්සේ කථාකොට: බලව, සියල්ල අලුත් කරමියි කීසේක. තවද උන්වහන්සේ කථාකොට: ලියාපන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීසේක.”—එළිදරව් 21:1-5.
මේ හා සමාන ව, “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද උන්වහන්සේගේ [යෙහෝවඃ දෙවියන් වහන්සේගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු” යයි ප්‍රේරිත පේතෘස් පැවසී ය. (2 පේතෘස් 3:13) අප මදක් ඉදිරියේ ඇත්තේ කොතරම් මහත් බලාපොරොත්තු ද! පාරාදීස පොළොවක ජීවිතය ඔබගේ ප්‍රීතිමත් ම වරප්‍රසාදය විය හැකි ය. (ලූක් 23:43) එමනිසා, වත්මන් දින පවතින දුක් වේදනාවන්ට ඔබ ව අධෛර්යවත් කිරීමට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට ශුභවාදී ව අනාගතය දෙස බලන්න. තදාසන්න ව ඇති දෙවියන් වහන්සේගේ නව ලෝකය කෙරෙහි ඔබගේ බලාපොරොත්තුව හා නිසැකකම තබන්න. යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි ක්‍රියා මාර්ගය ලුහු බඳින්න. එවිට ඔබට දුක් වේදනාවන්ගෙන් නිදහස් ලෝකයක සදාකාලයට ම ජීවත් විය හැකි වනවා නොඅනුමාන ය. w92 9/15
යෝබ් දුක් වින්ද ද, ඔහු දෙවියන් වහන්සේට පිළිගත හැකි ක්‍රියා මාර්ගයක් ලුහු බැන්දේ ය
සියලු දුක් වේදනාවන්ගෙන් තොර ලෝකයක ඔබට ජීවත් විය හැක
Collier’s Photographic History of the European War